මේ මට ලඟදි අහන්න ලැබුන කතාවක්. ඕස්ට්‍රේලියාවේ එක්තරා නගරයක ටික කලක් ජිවත්වුණ, අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් දෙන්නත් අරගෙන ආපසු ලංකාවට ගිහින්. මොකද දන්නවද? දරුවන්ට පාසලෙන් කිසි “ස්ට්‍රෙස් එකක්” ලැබෙන්නේ නැහැ කියලා. ඔව් ඒක තමයි වචනය. දැන් දරුවන් ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල් යවනවලු. ස්ට්‍රෙස් ලෙවල් එක නම් කොහොමද දන්නේ නැහැ.
බහුතර දෙමාපියන්ගේ ජිවිතයේ කොටසක් වැය වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනුයි. මේ බටහිර දෙමාපියනුත් එසේමයි. බොරු කියන්න අවශ්‍ය නැහැ, අපත් දරුවන් ඉගෙන ගැනීම ගැන උනන්දුයි. ඒ වෙනුවෙන් ඔවුන්ට නිතරම මතක් කරනවා. පුළුවන් විදිහට හා අවශ්‍ය විටෙක එම ඉගෙනීම් වෙනුවෙන් උදව් ද කරනවා.
සංක්‍රමණික ජිවිතයේ මා දකින එක් හොඳ කමක් තමා දරුවන්ට, අප කැමති ආකාරයට ආසන්නයට යන පාසල් අධ්‍යාපනයක් ලබා දෙන්න හැකි වීම. දේශපාලක ගොන් බලපෑම් අවමව හා ආගම් වල අනවශ්‍ය බලපෑම් වලින් තොරව, ටියුෂන් වලින් තොරව, අර අම්ම බලාපොරොත්තු වන ස්ට්‍රෙස් වලින් තොරව ලෞකික අධ්‍යාපනයක් ලබා දීමට හැකි වීම හොඳ දෙයක් නොවේද?
අර කලින් සටහනේ පුල්ලි කතාවට යලිත් ගියොත් මට තව දෙයක් මතක් වුනා. ලංකාවට ගිය වෙලාවේ, අපේ පාසලේ හිටපු දැනට මා ළඟ විස්තර තියන යහළුවෙකුට කතා කළා. ඔහු දවසකට පසු මට ආපසු කතා කරන විට කියුවේ, එදා අපත් එක්ක හිටපු කට්ටිය දෙතුන් දෙනෙක් පොඩියට සෙට් වෙනවා, පුළුවන් නම් වරෙන් කියා. මට ගමනාගමනය පවා මෙය සංවිධානය කරන කෙනා දෙන බව කියුවා. මේ කට්ටියගෙන් කිසිවෙකු, මා අපොස සාපෙන් පසුව හමු වෙලත් නැහැ. ඉතින් මාත් යන්න කැමති වුණා.
දැන් කට්ටිය එකතු වෙලා. මුලින්ම කට්ටිය කටපත්ත ඇද්දේ බොන ඒවා ගැන. සමහරුන්ට තියන “ගාණ” මදිය කියා මැවිසිලි නැගුවා. මේ කට්ටිය කතා කරන්න සෙට් වුණ විට තමා, මට තේරුම් ගියේ, ආපු මෝඩ කම කියා.
ඔවුන්ගේ ලෝකයේ විශාල කොටසක් තවම තියෙන්නේ පාසල ඇතුලේ. ගොඩක් දෙනාගේ දරුවන් ද දැන් යන්නේ එම පාසලටමයි. විදුහල්පති මාරු කරන හැටි, ගුරුවරුන් පාලනය කරන හැටි, උදේ රැස්වීමේදී දරුවන් ලවා හූ කියන කතා යනාදී වශයෙන් ඔවුනට ගැටළු බොහොමයි. කෙනෙකු කියුවේ වැඩේ වරද්දා ගත්තොත් ආණ්ඩුවත් කඩා වැටේවිය කියල.
මේ කතා අහගෙන හිටිය මට, අර මගේ පුල්ලි මාරු වීම කොතරම් ද කියා කල්පනා වුණා. මා ඉගෙන ගත්තු ආයතන පිලිබඳ මගේ විශාල බැඳීමක් තියනවා කියල කියුවොත් එය බොරුවක්. ඒ සියල්ල මගේ ජිවිතයට උදව් කර තිබුනත්, මේවට ඇලීම එතරම් තේරුමක් ඇති දෙයක් නොවේ. එයින් එකකටවත් මා දරුවන් යැවීමට බලාපොරොත්තුවක් ද නැහැ. මොකද කියනවා නම්, ඔවුන් අනාගතයේ කුමක් කරාවිදැයි කියා මා දන්නෙත් නැහැ.
Picture source: Bing Images (http://www.bing.com/images/search?q=caged+birds+images&qpvt=caged+birds+images&FORM=IGRE#a)