I thought the apes were different to human, but they aren’t!


මගේ කලින් සටහනකට ආපු ප්‍රතිචාරයක් තමා, අර ශ්රෙක් කියන කාටුන් සිනමා පට ඔහුට සම්භාව්‍යයි කියල හිතෙනවා කියල. ඔහුගේ පූර්ව නිගමනයක් වුනේ ඔබ නම් (ඒ කියන්නේ මා නම්) එහෙම හිතන එකක් නැහැ කියල. ඔහු වැරදියි. මාත් මේ කාටුන් නරඹපු හා රස විඳපු කෙනෙක්. ඒවා තුල, ඔහු කියන්නා වාගේම කුඩා ළමුනට ග්‍රහණය කර ගන්න නොහැකි කතාවකුත් තියනවා.

ගිය ඉරිදා බලපු “Dawn of the planet of the Apes” චිත්‍රපටය මා කැමති මාතෘකාවක් වටේ ගෙතී තියෙන්නක්. පෘථිවියේ සත්ව හා ශාක පරිණාමය කියන්නේ අප දන්නා දේවල් වලට වඩා නොදන්නා දේවල් වලින් පිරුණු ක්ෂේත්‍රයක්. අද අප මිනිසුන් සේ ලෝකයේ “බලය අල්ලාගෙන” ඉන්න තත්වයට ආවේ කොහොමද කියන එකම මහා ප්‍රෙහෙලිකාවක්. ඩයිනෝසරයන් වඳ වුනේ ඇයි? වසර මිලියන ගණනක් නොනැසී ජිවත් වන, කැරපොත්තන් අප මෙන් විකාශනය නොවුනේ ඇයි? මේවාට සැබෑ පිළිතුරු අප ගාව නැහැ.

අර කලින් ආපු Planet of the Apes සිනමා පට වල මුල්ම එක, මා නැරඹුවේ වෙනත් භාෂාවකින්. එය ඇත්තටම ආසාවෙන් බලන්න පුළුවන් වුනා. ඉන්පසු මේ මෙහි පසු කතා කිහිපයක් නිපදවුවත්, මුල් සිනමා පටය තරම් ඒවා සිත්ගන්නා සුළු වුනේ නැහැ.

ඉන්පසු මෑතක නිපදවන ළද Planet of the Apes (2001) හා Rise of the Planet of the Apes (2011) කියන සිනමා පට දෙකම එතරම් ගතියක් තිබුන ඒවා නොවේ.

හැබැයි අලුත් Dawn of the planet of the Apes, ඒ දෙකට වඩා මගේ සිත් ගත්තා. මෙහි කතාව ලියන එකේ තේරුමක් නැහැ. හැබැයි මෙහෙමයි පටන් ගන්නේ. මිනිසා විසින්ම නිපදවන වයිරස් වසංගතයක් නිසා නුතන මිනිස් ශිෂ්ඨාචාරය වැනසී යනවා. මේ වයිරසයට ප්‍රතිරෝධී, කලින් කතාවේ (Rise of the Planet of the Apes) කැලේට ගිය, මිනිසාගේම නිෂ්පාදනයක් වුන සීසර් නමැති චිම්පන්සියා නැත්නම් වානරයා, තමන්ගේ වානර ප්‍රජාවක් වර්ධනය කර ගන්නවා. අර වයිරසය නිසා අපේ ශිෂ්ඨාචාරය වැනසී අවුරුදු දහයකට පස්සේ තමා දැන් මේ කතාව යන්නේ.

කොහොම වුනත්, මිනිසා නැත්නම් අප, තවත් අප වගේම බුද්ධිමත් ජීවියෙකුට කොයි වගේ ප්‍රතිචාරයක් දක්වාවිද කියන ප්‍රශ්නය මේ සිනමා පටය තුලින් මතු වෙනවා. ඒ වගේම විශ්වයේ කරක් ගහන බුද්ධිමත් ජීවින් ඉන්නවා නම්, ඔවුන් අපට කොයි ආකාරයෙන් ප්‍රතිචාර දක්වාවිද?

අපේ වට්ටෝරුව තුල වගේම, මේ කතාවෙත් සැබෑ වානර/මානව වාදීන් මෙන්ම දුෂ්ඨයන්ද සිටිනවා. මා දුටුවා ටයිම් සඟරාවේ විචාරයක තියනවා සීසර් කියන්නේ චේ හා ගාන්ධිගේ සංකලනයක් කියා. මා නම් එතරම් දුර යන්නේ නැහැ. හැබැයි සිසර්ගේ චරිතයෙන් එක කරුණක් මතු කරනවා. එනම්, බුද්ධිමත් ජීවින් දෙජාතියක්‍ අතර ගනුදෙනුවක් කොතරම් සංකීර්ණ වන්න පුලුවන්ද කියන එක.

පෘථිවිය අකාල අවසානයක් කරා ලඟා උනොත්, ඒ අපේම ක්‍රියාකාරකම් නිසාම වෙන්න පුළුවන්. අද පවා, අප අපේ හමේ පාටේ වෙනස්කම් වලට, ඉපදුන රටවල් වල වෙනස්කම් වලට, තමන් විසින්ම හදා ගත් ආගම් කියන දේවල් වලට, ඉගෙන ගත් පාසල් වලට, සිතින් මවා ගත් කුල වලට යනාදී වශයෙන් කෙල ගන්නා දේවල් වල කෙළවරක් නැහැ. එහෙම තියෙද්දී වෙනස් ආකාරයක බුද්ධිමත් ජීවියෙකුට, අපේ ප්‍රතිචාරය කොහොම එකක් වනු ඇතිද කියා මා තවම කල්පනා කරනවා.

සටහනේ මාතෘකාව ලෙස මා ගත්තේ සිනමා පටයේ යන්තමින් මතක පරිදි දෙබසක කැබැල්ලක්. සීසර් (වානරයා) කියන්නේ ඔවුන්, අපට වඩා වෙනස් යයි ඔහු කලින් සිතුව බවයි. නමුත් මේ කතාව ගලා ගෙන ගිය හැටියට, අන්තිමේ දී ඔහු එහෙම කියනවා. එය මා අර කලින් මතු කරපු ප්‍රශ්න වලට පිළිතුරු කොයි වගේ වේවිදැයි කියා යම් ඉඟියක් අපට සපයනවා.

එනම් අපව හොයාගෙන යම් ජීවියෙක් එනවා නම් එන්නේ, මේ පෘථිවියෙන් අප ඔවුන්ව සොයා යන ආකාරයේ පිරිසක් මයි. අපගේ විශ්ව ගවේෂණ නිකම්ම කුතුහලය නිසාම කෙරෙන ඒවා නොවේ. විශ්ව/අභ්‍යවකාශ ගවේෂණ වලින් මිනිස් සංහතියට යම් යම් සේවා වුනා යයි කියවෙනවා. හැබැයි තරාදියකට දැමුවහොත් මේකෙන් කොයි පැත්තද බර වැඩි කියල අපටම දැන ගන්න පුළුවන්.

තමන්ගේ රටේ දහසක් ප්‍රශ්න තියෙත්දී හුදෙක් බලාධිපත්වය පවත්වා ගැනීම සඳහා බිලියන ගණන් වියදම් කරන මහා බලවතුන් වගේම පිරිසක් තමා, කවදා හරි අපවත් සොයාගෙන ආවොත්. ඔවුන් එනවා ඇත්තෙත් අතට අත දීල හායි කියන්න නොවේ. අප වගේම සම්පත් සෙවීම, බලශක්තිය සෙවීම හා බලය පැතිරවීමට තමා.

Advertisements

11 Comments

Filed under Opinion

11 responses to “I thought the apes were different to human, but they aren’t!

  1. Pingback: I thought the apes were different to human, but they aren’t! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. >>මිනිසාගේම නිෂ්පාදනයක් වන සීසර් නමැති චිම්පන්සියා නැත්නම් වානරයා, තමන්ගේ වානර ජනකායක් වර්ධනය කර ගන්නවා. අපේ ශිෂ්ඨාචාරය වැනසී අවුරුදු දහයකට පස්සේ තමා දැන් මේ කතාව යන්නේ.<< …….
    හ්ම්ම්ම්….. ගණන් එහෙම වෙනස් වෙන්න ඕන අපේ විදියට නම් අයියෙ … 🙂

  3. හැට ගණන් වල අන්තිමේ සිට හැත්තෑ ගණන්වල මැද/ අග දක්වා ඔරිජිනල් සීරීස් එකේ චිත්‍රපටි 5 ක් හැදුව.
    80/90 ගණන් වල ලංකාවේ ටීවී එකේ හරි විඩියෝ හරි 3ක් විතර මම බැලුව.
    2000 ගණන්වල ආවේ/එන්නෙ re-make සහ prequel/reboot
    තාම මතක සීන් එකක් තමයි මුල් ෆිල්ම් එකක තිබුන පරණ circus /Zoo poster එකක වානරයෙක් දකින දියුණු වානරයෙක් ගේ shock එක

    • ඔබ හරි. හැට ගණන් අන්තිම ආපු මුල් එක තමා එයින් හොඳම. ඒකෙ සක්සෙස් එක නිසා හදපු අනික්වා, එන්න එන්නම ජරා වුනා.
      දැන් මේ යන්නේ වෙනම කතාවක් ප්‍රා. අලුත්ම එකත් ඉවර වෙන්නේ තව කොටසකට ඉඩ තියලා. දැන් පසුබිම් තල හා වේශ නිරූපණ වල තත්වය ඉහල නිසා, ටිකක් බිලිවබල් ගතියක් තියනවා.

      • “Rise”බැලුවා. special effects/animation විතරක් නෙමෙයි කතාවත් හොදයි.
        මෙහෙ “Dawn” එනකම් ඉන්නෙ බලන්න.
        මුල් කතාවෙ පටන්ගැනීම තමයි අලුත් සීරීස් එකේ තියෙන්නෙ නේ?

        • ඔව් ප්‍රා. හැබැයි මේක වැල යන අතට මැස්ස ගැහිල්ලක් වගේ මට පේන්නේ. ඉතිං කොහින් කොහොම ඉවර කරාවිද කියල එයාලවත් දන්නේ නැතුව ඇති.

          මට dawn හොඳයි rise වලට වඩා. ආවහම බලල කියන්න. “noon” නුත් එන්න ඉඩ තියනවා! 🙂

  4. අපේ ටවුමටත් තාම Dawn ආවේ නෑ…ආව ගමන් යන්න ඉන්නේ බලන්න…

    අලුත් සීරීස් එක කොච්චර චාටර් වුනත් පුද්ගලිකව මටනම් මේ පුංචි සීන් එකෙන් විතරක් දුන්න වින්දනයම ඇති ජීවිත කාලෙටම… 😀

    • චාටර්ම කියන්නත් බැහැ බිට්ල්. මේ කතාව නොයෙක් අතට ගෙන යන්න පුළුවන් එකක්. ඇත්තටම අද මේ සරල රසවින්දනය වෙනුවට, හැමතැනම ප්‍රමෝට් කරන්නේ/වෙන්නේ ගර්භිත නිෂ්පාදන (මේවා ගීත වුනත්, සිනමා පට වුනත්, නවකතා වුනත් කළා කෘති කියා කියන්න අමාරුයි). මට යමක් ලියන්න බැරි වුන එකට සමාවන්න. ඔබේ පාපන්දු කුසලාන සමාලෝචනය (චායාරූප ඇසුරින්) අගනා එකක්.
      Dawn වල එක දෙයක් තියනවා. දැන් මේ වයිරසයට ප්‍රතිරෝධිව ඉතුරු වෙලා ඉන්න කුඩා පිරිසට අවුරුදු දහයක් ගිහිං, විදුලියත් නැතුව ඉන්න වෙලාවේ, එක දෙයක් නම් අඩුවක් නැතුව තියනවා. මොනවාද දන්නවද? බ්ලැක් ලේබල්! 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s