කෑම ලෑස්තියි, ඒත් මෙලෝ රහක් නැහැ!


මෙල්බන් වල අපේ යාලුවෙකුගේ පොඩි පුතෙක් ඔය “ජන්ක් කෑම” කන කොට, අර යාලුව (පුතාගේ අම්ම) කියනවා “අනේ ළමයෝ ඔය කුණු ජරාව කන්න එපා” කියල. වෙන මොනවාවත් නොවේ, ඔයා බිස්කට්, චිප්ස් වගේ ජාති. ඉන් පසුව මේ දරුවා මේ කෑම ඉල්ලුවේ “අම්මේ මට කුණු ජරාව ටිකක් දෙනවද” නැත්නම් “අම්මේ මං කුණු ජරාව ටිකක් කන්නද” යනාදී වශයෙන්. අපට මේකට ඒ දවස් වල හිනා.

අද අවුරුදු ගණනාවකට පස්සේ හැදුවා, පොල් රොටි. රොටි හදල, වංගෙඩියේ දාල කොටලා හදපු ලුණු මිරිස් එක්ක කාල, කහට එකක් ගැහුවා.

කඩෙන් ගන්න වියලි පොල් නැත්නම් “ඩේසිකේටඩ් කොකනට්” වලින් පොල් රොටි හදන කොට මෙහෙම කරන්න පුළුවන්. මුලින්ම කඩෙන් ගත්තු පොල් කිරි පිටි වලින්ම පොල් කිරි එකක් හදා ගෙන අර වියලි පොල් එයට එකතු කරන්න ඕනේ. දැන් මේක තමයි පාන් පිටි එකට දාන්න ඕනේ.

කබලේ හරි සැන්විච් මේකර් එකක හරි රොටි “පුච්චා” ගන්න පුලුවන්. වැඩේ තියෙන්නේ සැන්විච් මේකරයට යනවා නම්, රොටි වල මැද වතුර ගතිය නැතිවී, ටිකක් බිස්කට් වගේ වෙනවා. මේකට සමහරුන් කැමති නැහැ. මාත් කැමති නැහැ. කබල තමයි නැගල යන්නේ. කබලට මෙහෙ තියන frying pan එකක් ගන්නත් පුළුවන්. අර නොන් ස්ටික් නැතිනම් නොඇලවෙන ඒවා හරි යන්නේ නැහැ.

පොල් රොටි කන්න ඕනේ දෙහි දාල හදපු සැර ලුණු මිරිසක් සමග. විස්කි/අරක්කු ටිකකුත් ගත්තට වරදක් නැහැ. හොද්දක් හදා ගන්නත් පුළුවන්.

වසර ගණනාවකට පසු වුනත්, සුපුරුදු රසය දිවට දැනුනා විතරක් නොවේ, එයට අපේ තියන කැමැත්තත් වැටහුනා. අපේ මාරු වෙලා නැති එක පුල්ලියක් තමා කුඩා කාලේ කාපු මෙවැනි ආහාර වලට තියන කැමැත්ත. මොන ලෝකේ කරක් ගැහුවත්, එයින් අපට මිදෙන්න බැහැ. එහෙම මිදෙන්න අවශ්‍යත් නැහැ. මට එහෙම බලාපොරොත්තුවකුත් නැහැ.

හැබැයි අපේ සමහර පුල්ලි මාරු වෙනවා. එය මට ඊයේ තරම් දැනුන වෙන දිනයක් නැහැ. ඊයේ කැන්බරා නුවර දී අර “කෑම ලෑස්තියි” කියන නාට්‍යය වේදිකා ගත වුනා. විශේෂයෙන් පොදු කටයුත්තක් නිසා මාත් බිරිඳත් මෙය බලන්න ගියා.

අනේද කියන්නේ, කාගේ වරදක් ද දන්නේ නැහැ, මේක නිකමට හෝ බලාගෙන ඉඳීම මට නම් මහා “ටෝචර් එකක්” වුණා. මට විතරක් නම් කමක් නැහැ, බිරිඳත් කියුවේ එයමයි. දැන් මේ ගොන් නාට්ටිය යද්දී නැගිටලා එන්න හොඳ නැති නිසා, මැද විවේකය වෙනකම් ඉඳල අප දෙන්න පැන්නා.

වෘත්තීය රංග ශිල්පින් වන ශ්‍රියන්තල, කුඹුකගේල, විට්ටච්චිල ගැන මට දුකයි. ඔවුන්ට වෙන විකල්පයක් නැතුව ඇති. මොකද මාත් ඒ වගේ ශිල්පියෙක් නම්, මේ වගේ ගොන් නාට්ටියක රඟ පාන්න ඉඩ තියනවා. මොකද, රජතුමා කන්න දෙන්නේ නැහැනේ.

හැබැයි ‘ගොන් ජෝක්’ වත් හරියට හදා ගන්න පුළුවන් කෙනෙක් ලංකාවේ නැත්ද? මේ කුණු ජරාව මොනවාද? නැත්නම්, අපේ පුල්ලි මාරු වීමද මෙයට හේතුව? ගෙදර එන ගමන් මා කල්පනා කලේ ඔන්න ඕවයි.

Advertisements

18 Comments

Filed under Opinion

18 responses to “කෑම ලෑස්තියි, ඒත් මෙලෝ රහක් නැහැ!

  1. kathandarakaraya

    සෙන්ටි මීටරයක් දෙකක් අරගෙන, රොටී කෑල්ලක් කාලා ගියා නං ඉවරයි නේ? දහජරාව කාලා ද ඒක බලන්න ගියේ?

    • මේක නම් කකා සෙන්ටිමීටර දෙකකින් ගොඩ යන වැඩක් නොවේ. ඇත්තම කියන්න අප ගියේ ජරාව කාල, තේකක් බිලා තමයි! 😀

      රොටි හැදුවේ පහුවෙන්දා. එදා නම් සෙන්ටිමිටරයක් ගත්තා රොටි කන්න.

  2. අර ගෝත කරුමයො ඉන්න බව ඇති ෂුවර් එකට,,,,

  3. ඔය නාට්‍ය බලලා නෑ මචං. ඉතිං ඒක ගැන මොකුත් කියන්න බෑ.

    උඹේ අර රොටි හදන ක්‍රමේ මට කල්පනා වුනේ නෑ. හැබැයි අපිට නම් පොල් තියෙනවා හැබැයි වේලිච්ච ඒවා. උඹ අයන් එකේ රොටි පුච්චලා අනෙතුව ඇති නේද?

    උඹ දන්නවා නම් ආප්ප ඉඳිආප්ප හදන හැටිත් පොඩ්ඩක් කියාපංකෝ ආධුනිකයෙකුට.

    • මේක නම් පුතෝ බලන්න යන්න එපා!

      මයික්‍රෝ වේව් උදුනේ කොන්ඩ කැවුම් හදන මට ඕවත් දේවල්ද මචං?
      අයන් එකේ රොටි විතරක් නොවේ, මං හදන්නේ. මෙන්න අහගනින්. දවසක් මං ස්ටීම් අයන් එකක ඉඳිආප්ප තැම්බුවා. කන්න ගන්න බලන කොට සේරම ආප්ප. පස්සේ තමා මතක් වුනේ,රැලි සේරම ගියේ ඇයිද කියා.

      ඉඳිආප්ප වැඩේ මා හදපු දවසක අලුත් පිට ලියන්නම්. ෆ්‍රොම් ස්ක්‍රැච් හදනවා නම්, වැඩේ දීර්ගයි!

      (අරක බොරු කතාවක්. අයන් එකේ රොටි පුච්චන වැඩේ කොහොමද කරන්නේ?)

  4. අපෝ ලංකාවේ ගොන් නාට්‍ය කරන්නැ

  5. මේ විදියට රොටී හදලා බලන්ට ඕනි. බිස්කට් වගේ වුනාට කමක් නෑ. ලේසී…රස පාටයි.
    🙂

  6. චැහ්…
    ලංකාවෙ බාගෙට බාගයක් නාට්ටි කඩේ යන ඒවනෙව..
    ඒව බලනවට වඩා
    රොටියක් කාල නිදාගන්නව සැපයි

    • අන්න හරි. මගේ කතාවත් එයයි. මේකේ නම් කඩේ යන ඒවා නැහැ. ඒත් නිකම් මෝඩ ජෝක් විතරයි මහේෂ්!

  7. //පොල් රොටි කන්න ඕනේ දෙහි දාල හදපු සැර ලුණු මිරිසක් සමග. විස්කි/අරක්කු ටිකකුත් ගත්තට වරදක් නැහැ. හොද්දක් හදා ගන්නත් පුළුවන්.//
    ඒ විස්කි හොද්දෙ රෙසිපි එකත් දාන්න පුලුවන්ද?

    • වැඩිය විචචුරණ නැහැ. ඕනෙම ජාතියක හොද්දක් එක්ක, රොටි කාල විස්කි බොන්න. බඩේදී ගානට විස්කි හොද්ද හැදේවි!

  8. හිරු

    පොල් රොටියෙ රස මං හිතන්නෙ කිරිබතට වඩා අපිට වැදිල තියෙන්නෙ.. එක එකා ඔය පොල් රොටිය කන විදි තියෙනව… මට රොටිය ඕනෙ පිඟානට වඩා ලොකුවට.. අපෙ නැත්දම්ම ඕක ජෑම් බෝතල් පියනකින් කපනව… සමහරු කැමති ලුණුමිරිස රොටිය මැදට දාලා කන්න.. සමහරු ඕක බටරුයි සීනියි දාල කන්න කැමතියි… අපෙ මහත්තය කැමති හකුරු එක්ක කන්න.. එහෙම නැත්තං ජෑම් එක්ක… මට ඕක හරියන්නෙ කට්ට සම්බෝලෙ එක්ක.. ලුනු මිරිස හරියන්නෙම නෑ.. ඒක නිසා මං දැං පොල් රොටි හදන්න ආස නෑ.. හදනව නං ලූණු අමුමිරිස් කපලා දාලා සැරට හදාගෙන හොදි නැතුවම කාලා දානව…

    ඒ කොච්චර කළත් හොඳට උම්බලකඩ දාපු සැරම සැර කට්ට සම්බෝලෙත් එක්ක උණු උණු පොල් රොටියකුත් පිඟානට දාගෙන, ඇඳේ පෙරලිලා පරණ ට්‍රාන්ස්ලේෂන් එකක් කියෝ කියෝ ඕක කනකොට තියෙන ගතිය කියල වැඩක් නෑ…

    ෂික්.. අපි මොනවට වයසට යනවද මන්ද….

    • මා අවංක නිසා කට්ට සම්බෝලය කියන එක පාවිච්චි කරන්නේ නැහැ. ඔය ලුණු මිරිස් කියා මා හඳුන්වන්නේ කට්ට සම්බෝලය තමා. උම්බලකඩ, සැර කෑලි මිරිස්, ගෙඩි භාගයක ලූනු, දෙහි (හා ගම්මිරිස් ද දානවා) කොටලා ගන්නවා.

      අපට තියන විශේෂ සීමා කම් නිසා වෙනස්ව සිතන්න ඕනේ. අලුත් පොල් තිබුනත්, ඒක ගෙනත් ගාල ගන්න කොට වෙලා යනවා. සමහර පොල් බිංදහම තමා දැන ගන්නේ කුණු වෙලා කියල. වියලි පොල් වලින් පුළුවන්. පුච්චන්න අකමැති කට්ටියට, සැන්විච් මේකර මෙතඩ් එක යොදා ගන්න පුලුවන්.

      හිරු කියන විදිහටම රොටි ඕනෙම විදිහකට කන්න පුළුවන්. ඔබට තහනම් ප්‍රෝටීන වර්ගයක් හොද්ද හදල හෝ වියලියට කරකවල ගන්නත් පුළුවන්. වෙජිටේරියන් අයට පියලි කරපු කඩල පරිප්පු හෝ රතු පරිප්පු වතුර අඩුවට හදල ගන්න පුළුවන්. කෝ මේ අරූ? මගේ බ්ලොගය කුකරි ක්ලාස් එකක් වෙන්නද යන්නේ?

  9. රයිගම්…..අර උඩ කටහ කෝප්පය කහට කෝප්පය කරපන්. නැත්නම් ඒ කික් එක මශා එක ඇඟට වදින්නේ නැහැ.
    මාත් පොල් රොටි හදනකොට ඩෙසිකේටඩ්වලට දෙන්නේ ඔය ඉන්ජෙක්ෂන් එක තමයි. ඩෙසිකේටඩ් පොල් සම්බෝල නම් මම කන්න ආස නැහැ. හැබැයි හදන්න වුනොත් ඩෙසිකේටඩ් ටිකට දෙහි මිරිකලා හොඳට තෙත් වෙන්න තියලා තමයි හදන්නේ. එතකොට ආපහු දෙහි මිරිකන්නේ නැහැ. මචං පොල් රොටි ලුණු මිරිසට…මම හිටපු ගමන් කරවල (කීරමින් )පොඩි කූරියෙක්..ලිප උඩ තියලා පුච්චලා අරන් ලුණුමිරිසත් එක්කම කොටනවා. ගෙවල් ගඳ ගහනවා…ඒත් මොනවා කරන්නද..

    ඔය කෑම ලෑස්තියි හදපු අජිත් මෙන්ඩිස් කෑම පරක්කුයි කියලාත් එකක් හැදුවා. දෙකම බලලා නැහැ. මේ නාට්ටි කර්මාන්තේ පුදුම අමාරුවකින් කරගෙන යන්නේ. හරි හමන් නාට්ටි හැදෙන්නේ නැති එකනම් ඇත්ත. හැබැයි උන් ලොකු කට්ටක් කනවා. ජැක්සන්ලා ලොකු පකීර්ලා වෙලා සොල්දරේ හිටියත්, ශ්‍රියන්ත තාමත් වේදිකාවේ ඉන්න එකට පමනක් මම පොරට ගරු කරනවා. මම ඉස්සර නාට්ටි පිස්සෙක් මචං.

    • කටහ වැඩේ මාත් දැක්කේ නැහැ බං. ස්තුතියි කියුවාට.

      අපත් සම්බෝල හදන්නේ අලුත් පොල් වලින්. මෙහෙ උතුරේ පොල් වැවෙනවා. මං ගේන්නේ කඩේ පොල් පලලා තිබුනොත් එයින් භාගයක් විතරයි. ඩේසිකේටඩ් පොල් වලින් මචං , නිවිති (ස්පිනිච්) මලවන්න පුළුවන් ගතියට.

      වෙන්න ඇති බං. රසිකයන් හැටියටනේ නාට්‍ය හදන්නේ. අපට මේවා රස විඳින්න අමාරුයි බං. ජැක්සන්ලාට, ටියුෂන් කඩ කාරයන්ට අද කියන්නේ ජාතියේ බුද්ධිමතුන් කියල. මේකෙන්ම තේරෙනවා නේ මචං සෝදා පාළුවේ තරම.

      මා නාට්‍යයේ ටිකට් ගත්ත එක ගැන කනගාටුවක් නැහැ. මොකද බලන්න බැරි වුනත් ශිල්පීන්ට හා මේ රටේ පොදු කටයුත්තකට ඒ මුදල් යන නිසා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s