ගනඳුර වැටෙත්දී දකිමුද අරුනලු?*


මෙහි ලියැවෙන දේවල් ප්‍රතිරාවය වීම ගැන කමා කරන්න. මා එහෙම කරන්නේ, කලින් ලියුව දේවල් නොබලපු කෙනෙකුට වුවත් තනි ලිපියක් ලෙස කියවන්නට පුළුවන් වන්නට. මා අලුත් සටහනක් ලියන්නේ ප්‍රතිචාර වලට ප්‍රති උත්තර දීල. මා කලිනුත් කියුවානේ මා කියවන පිරිස දක්වන සංවේදීතාවයට ප්‍රතිචාර දක්වනවා. නැහැ කියන්නේ බොරුවට.

මගේ බ්ලොගය ඊමේල් ලිපිනයට ගෙන්න ගන්න දෙතුන් දෙනාගෙන් කෙනෙක්, පසුගිය දවසක මගෙන් ඇහුවේ, මා මූලිකව ඉලක්ක කරන්නේ ලංකාවේ පාඨකයන් නේද කියල. මොකද, මා සිංහලයෙන් නේ ලියන්නේ (ඔව් ඉතිං නැත්නම් මලලසේකර පිහිට තමයි). ලංකාවේ අයට ලියන හින්දනේ සිංහල මාධ්‍යය ලෙස ගත්තේ නේද? ඔහු කියපු තව කතාවක් තමා, ඔහු ආසාවෙන් බලන සිංහල බ්ලොග් වලින්, මගේ එක ඉදිරියෙන් ඉන්නවා කියන එක. මුරුංග අතු හයිය නැති වුනාට, නරක දේවල් නොවේ. මේ කතාව ගැන මා තව දුරටත් සිතුවා.

ඇත්තම කියුවොත්, සංක්‍රමණික ජීවිතය පිලිබඳ මා හොඳටම තෘප්තිමත්. ලංකාවට නැවත පැමිණ ජිවත් වීමට මා බලාපොරොත්තු වනවා, කියුවොත් එය බොරුවක්. එහෙම ඇවිල්ල ජිවත් වීමට ක්‍රමයකුත් නැහැ. ඒ වගේම දවසේ වෙනත් සියලු වැඩ නිමා වුනාට පසුව මට ඉතුරු වන කාලයෙන් කොටසක් තමා මෙයට යොදා වන්නේ. ඒ කියන්නේ විවේකයකුත් තියනවා. මෙහි පළමු සටහන ලියුවේ රෑ මැදියම.

මේ බ්ලොග් එක මුලින්ම ලියන විට, ප්‍රකාශන මාධ්‍යයක් විදිහට මා සිංහල භාවිතා කරලා තිබුනේ නැහැ දිගු කාලයක්. මුලින්ම මට තේරුණ දෙයක් තමා, කොතරම් වචන අමතකද කියන එක. භාවිතා නොකරන දේවල් හීනවී යනවා. එය ස්වභාව ධර්මයේත්, එක ධර්මතාවයක්.

පසුගිය දිනවල මා සිතුවා, මා අවට සිදුවන දේවල් වලට වැඩි අවධානයක් යොමු කරන්න. අන්තිම ටිකේ මා කරවල වලින් මිදිලා, බැටළු මස් වලට වැඩිපුර අවධානය යොමු කරන්න පටන් ගැනීම අර පාඨකයාගේ සිත් ගත්තේ නැහැ කියා මට දැනුනා. ඒ වගේම, ඒවා කියවන්නට එන පිරිසත් සීමිතයි.

මා සිංහල වලින් ලියන්නේ එමගින් මට වඩාත් හුරු පුරුදු මිනිස් කොට්ටාශයට ඉලක්ක කර ලියන්න පුළුවන් නිසා. මා ලියන දේවල් වෙන තැන් වලත් ලියවෙනවා. එකිනෙකට වෙනස් අයුරින්. ඒ වගේම මේ සටහන් කියවන පිරිසෙන් තේරෙන්නේ, මගේ අදහස් සමග එකඟ වන පිරිස් ඉන්නවා කියන එක. එකඟ නොවන පිරිස එයිට වඩා වැඩියි. ඔවුන් මේවා කියවන්න හෝ එන්නේ නැහැ. අපිත් එහෙමනේ.

ඒ වුනාට, මට අවශ්‍ය ලංකාවේ ජිවත් වන පිරිසට පමණක් ලියන එක නොවේ. අප කරවල කනවා වගේ, අර දැන් නොමැති කම නිසා මග හැරුණු දේවල් සොයා යාම මගේ අභිප්‍රාය නොවේ. ජිවිතයේ මගහැරුණු දේවල් තියෙන්න හැකි නමුත්, ඒවා ගැන සිතීමත් මා කරන්නේ නැහැ. අනික එහෙම දේවල් සොයා ගන්නට නැවත ලංකාවට ආවත් නොහැකියි (වෙන ලෝකයකින් පුළුවන් වුවත්). ජීවිතය ගැන තෘප්තිමත් යනුවෙන් මා අදහස් කරන්නේ එයයි.

ලියන්නේ විනෝදාංශයක් වශයෙන් වුවත්, එය මට පමණක් නොවේ, කියවන කෙනාටත් ප්‍රයෝජනයක් වන ලෙස කරන්නට මා වෙහෙසෙනවා.

එහෙම නම් මේ ලංකාවේ දේශපාලනය ගැන ලියන එක සිත රවටගන්න කරන බොරුවක් නේද? මේ ලියුවා කියල කිසිම රටක දේශපාලනය වෙනස් කිරීමට හැකියාවක් නැහැ. අඩුම ගානේ, මේ ඉන්න රටේ වත්. ඒ වගේම තමා ලංකාවේ, මන් වගේම සිතන සාමාන්‍ය මනුෂයෙකුට රටේ පාලනයට කරන්න පුළුවන් බලපෑම, මා සැතපුම් දහස් ගානකට එහා ඉඳන් කරන බලපෑමට සමානයි. ඒ කියන්නේ හරිම සීමිතයි.

ඒ වුනත් අපගේ අත්දැකීම්, අහුලා ගත් දැනුම හා වෙනස් කර ගත්තු ආකල්ප ගැන අනෙක් අයත් එක්ක අදහස් හුවමාරු කර ගැනීම නරක දෙයක් කියා සිතන්න ඉඩක් නැහැ. සමාජ ජාල බිහි වුනේ, අප වැනි “තද සිවිල් පොරවල්” නොවන අයට අදහස් හුවමාරු කර ගැනීමට. දැනටම සමාජයේ අනෙක් “සියලුම ජාල අල්ලාගෙන” ඉන්න තද සිවිල් පොරවල් වලටත්, අනේ ඇවිත් බ්ලොග් ලියාපල්ලකෝ කියමින් පින්සෙන්ඩු වීම මා දකින්නේ, මේ සමාජ ජාල බිහි වුණ අර්ථය වටහා නොගැනීමක් හැටියට.

සමහරවිට එකම රටේ, එකම සංස්කෘතික, සමාජ හා ආර්ථික තත්ත්ව යටතේ හැදී වැඩුණු දෙදෙනෙකුගේ අදහස් හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන් වගේම, හාත්පසින් වෙනස් පරිසර දෙකක හැදී වැඩුණු දෙදෙනෙකුගේ සිතුම් පැතුම් එක සමාන වන්න පුළුවන්. මා වැඩ කරන්නේ මල්ටි එත්නික් පරිසරයක නිසා මේ වග හොඳින් දන්නවා. ඒ පමණක් නොවේ, මෙහි ලියවෙන දේවල් මා සහකාරිය සමග, දරුවන් සමග හා වැඩ කරන තැන සගයන් සමග කතා කරන කරුණු.

මා මෙයිට වඩා යහපත් ලෝකයක් බලාපොරොත්තු වෙනවා. දුප්පත් කම අඩු, සමාජයේ අසමානකම් අඩු, ලෙඩ දුක් වලට මෙයට වඩා හොඳ ප්‍රතිකාර, හැමටම හොඳ ආහාර වේලක් ගන්න පුළුවන් කම, මෙයිට දියුණු කෘෂිකර්මයක්, හැම රටකටම යහපාලනයක්, දරුවන් සියල්ලට පාසල් අධ්‍යාපනයක්, වැඩ කරන්න අවශ්‍ය හැමටම රැකියා, ජාතිය, ආගම ඇදහීම හෝ නොඇදහිම, ඉපදුන රට, හමේ පාට, ලිංගික ආකර්ෂණ, කතා කරන භාෂාව, ආබාධිත තත්වයන් ආදියට වෙනස් කම් නොකරන යනාදී දේවල් සහිත ලෝකයකුයි.

දේශපාලන නායකයන් හෝ සිවිල් ක්‍රියාකාරීන් නොවන අප මේ දේවල් කරා යොමු වීමට දායක වන්නේ, අප තෝරා ගන්න ජිවන විලාසිතා අංග තුලින්.

ලංකාව ගත්තොත්, එහි යහපාලනයක් බිහිවනු දැකීමට මා, ලෝකයේ වෙනත් ඕනෙම රටක එවැනි පාලනයක් බිහි වීමට වඩා කැමැත්තක් දක්වනවා. ඕස්ට්‍රේලියාව වැනි රටක පවා දැනට තිබෙන යහපාලන දේවල් වෙනස් කිරීමේ ප්‍රයත්නයක් හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා. මා කියන්නේ සමාජ අසමතුලිතතා තවත් ඉහල දමා ගැනීමට ක්‍රියා කරන පිරිස්.

මෙවැනි දේවල් වලට සංවේදී පිරිස සමාජයේ සුලුතරයයි. ලෝකයේ හැම තැන එහෙමයි. හැබැයි ඕස්ට්‍රේලියාව වගේ රටවල සමාජයේ වැඩි සංවේදීකමක් තියනවා.

එයිට අමතරව, දියුණු වෙමින් රටවලට පොදු සමාජ දුර්වලතා කොටසක් තියනවා. ඒ වගේම සිංහල කතා කරන අපේ සමාජයේත්, දකුණු ආසියානු අනික් සමාජ වලත් අපටම ආවේනික දුර්වලකම් යයි මා හඳුන්වන දේවල් ටිකක් තියනවා. මෙවැනි දේ වලින් ඈත් වන එක ලෙහෙසි නැහැ. ඈත් වෙන්න පවා, ඒවා දුර්වලකම් ලෙස හඳුනා ගත යුතුයි නේ. ගොඩක් දෙනා එහෙම සලකන්නේ නැහැ. එනම්, ඒවා දුර්වල කම් නොවේ, අපේ ප්‍රබලතා ලෙසද සලකනවා.

දකුණු ආසියාවේ පමණක් නොවේ ලෝකයම සැලකුවත් අධ්‍යාපන හා සෞඛ්‍ය දර්ශක අතින් ඉහල තැනකට ආපු, ශ්‍රී ලංකාවට, ආර්ථික හෝ සමාජ සංවර්ධනයක් හෝ යහපාලනයක් ලබා ගැනීමට නොහැකි වුනේ මන්ද? තෘතිය අධ්‍යාපනයෙන් පසුව පවා රැකියා නැත්තේ ඇයි? රැකියා කරමින් ඉන්න සමහරෙක් රටින් පනින්න හිතන්නේ ඇයි? ජනතාව දූෂණය, ඥාති-සංග්‍රහය, රාජ්‍ය දේපොළ මංකොල්ල කෑම, මිනි මැරීම, වධකාගාර පවත්වාගෙන යාම, දරුවන් අපයෝජනය කිරීම, සුළුතර කාණ්ඩ වලට එරෙහි ප්‍රචණ්ඩත්වය යනාදී දේවලට සංවේදී නොවන්නේ ඇයි? කොටින්ම ප්‍රාදේශීය මැතිවරණ වලදී දුෂිත, අඥාන පරිස් දිගින් දිගටම බලයට පත් වන්නේ ඇයි. ඥාන-අසාර කාණ්ඩ පසු පස යන මිනිසුන් සිටින්නේ ඇයි?

මෙවැනි කරුණු වලට ඒකීය පුද්ගලයන් වශයෙන් කළ හැකි දේවල් මොනවාද? දැන් මා ලංකාවේ හිටියා නම්, වෙනස් කමක් සඳහා මොනවගේ දායකත්වයක් දෙන්න තිබුනද? බොරු නැතුව කියුවොත්, ඉතා කුඩායි. මොකද සමහර විට මා ජිවන අරගලයේ කරවටක් ගිලී ඉන්නවා ඇති. එයිට අමතරව, මා වගේම මේවට එරෙහිව සිතන පිරිස් ඉන්නවා වුනත්, ඔවුන් ඉතා සුළුතරයක්.

ඒ වගේම මේ රටවල් වල ඉන්න අපේ පිරිස් වුවත්, මේ රටවල් වල දේශපාලනය, සමාජ ප්‍රශ්න හෝ සංස්කෘතික දේවල් ගැන උනන්දුවක් නැහැ. ගොඩක් දෙනා පුවත් පත්, රූපවාහිනී වගේ දේවල් බලන්නෙත් නැහැ. ජිවත් වුනත්, චන්දෙ දාන්න යන්නේ නැහැ. පොත් පත්, චිත්‍රපට කියන ඒවා දුරස්ථ දේවල්.

සමාජ ප්‍රගමන අයත්කරගෙන තිබෙන්නේ, සමාජයේ විශාල කොටසක් එකම අයුරින් සිතන විට. සමාජයේ විශාල පිරිසක් අකමැති නම්, ආඥයාදායකත්ව පවා සදාකාලික නැහැ. ප්‍රජාතාන්ත්‍රික සමාජයේ පොදුමතය කොහොමත් එලියට එනවා.

සුළුතරයට අයත් අප මෙවැනි අදහස් හුවමාරු ගැනීමෙන් මා බලාපොරොත්තු වන්නේ, මතු දිනෙක මේ පිරිසේ වර්ධනයක් විතරක් නොවේ, මේ ලියන අවස්ථාවේ පවා වෙනස්ව සිතීම, සුළුතර කාණ්ඩ වලට අයත්වීම අඩම්තේට්ටම් වලට ලක්වෙන කරුණක් නිසා, එවැනි සියලු පිරිස් වලට සහයෝගයක් වශයෙන්. එකඟ වෙන්න බැරි දේවල් වලට එරෙහි වෙන අතරේ, අප එකඟ නොවන මත දරන පිරිස් වෙත වාචික හා ශාරීරික ප්‍රචණ්ඩත්වය මුදා හැරීමෙන් වළකිමු!

*මා ඊයේ පෙරේද දවසක සවස පහට පමණ ගත්තු පින්තූරයක්, නලින් දුටුවේ උදෑසනක් ලෙස. ඇත්තටම මටත් දැන් එය පෙනෙන්නේ උදෑසනක් ලෙසම තමා.

Read this too

Advertisements

8 Comments

Filed under Opinion

8 responses to “ගනඳුර වැටෙත්දී දකිමුද අරුනලු?*

  1. රටක/ප්‍රදේශයක ස්වබාවික ආහාර පරි‍‍ෙබා්ජන රටාව සකස්වන්නෙ,පරිසර සාධක වලට ගැලපෙන්න.ගිය තැනක එ් පැත්තේ විදියට කාලා ඉන්නවනම් ඇගට පහසුයි.පරිසරයට අනුවර්තනය වෙන්න ලේසියි.අපි එම පරිසරයේම කොටසක් වෙනවා.
    මේක මං සාමාන්‍යෙයන් පාවිච්චි කරන ක්‍රම වේදය.අමු මාලු නෙමෙයි.ගැරඩි මස් වුනත්.

    මේ කියන්නේ නාගරික කෘතිම ආහාර ගැන නම් නෙවෙයි.නමුත්,නගරවල මේවා ජනප්‍රිය වෙන්නෙත් නාගරික පරිසරයේ ජිවන රටාවට ගැලපෙන නිසා.

    “උදෑසන“ ළමේක්ට දාන්න ‍‍ෙහාද නමක් නේද ?
    🙂

    • මේ කොමෙන්ටුව හරි තැනද වැටිලා තියෙන්නේ?
      මුලින්ම ළමයෙක් හදල ගන්න ඕනේ. 🙂

  2. පින්තූරෙ: අහස තැඹිලි පාටට තියනව නං සීයට අනූ ගනනක්ම ඒක හවස් කාලෙ ගත්ත එකක් වෙන්න ඕන.

  3. //මෙවැනි කරුණු වලට ඒකීය පුද්ගලයන් වශයෙන් කළ හැකි දේවල් මොනවාද? දැන් මා ලංකාවේ හිටියා නම්, වෙනස් කමක් සඳහා මොනවගේ දායකත්වයක් දෙන්න තිබුනද? බොරු නැතුව කියුවොත්, ඉතා කුඩායි.//

    ලංකාවෙ හිටියත් නැතත් අපි ඔක්කොටම එහෙම තමයි. ලංකාවෙ බහුතරය මේව හිතන්නෙවත් නෑ

    • //මේ ලියුවා කියල කිසිම රටක දේශපාලනය වෙනස් කිරීමට හැකියාවක් නැහැ. අඩුම ගානේ, මේ ඉන්න රටේ වත්//
      ඔව් ප්‍රා, හැමතැනම එහෙම තමා. හැබැයි මේ සමාජ වල පොදු යහපත, දුෂණයට එරෙහි වීම වගේ දේවල් තියනවා. ඥාන-අසාර පිරිස් හිටියත්, ඔවුන්ට ප්‍රධාන ධාරාව හසුරවන්න බැහැ.

      ලංකාවේ යහපාලනය ඇතිකර ගැනීමට තවත් බාදකයක් තමා, පිරිසක් අඥාන ලෙස නිර්ධන පන්ති ඒකාධිපතිත්වයක් ගැන සිහින මැවීම. ඔවුන්ට අධ්‍යයන කරන්න ඕනේ මේ ලෝකේ ඇත්ත සමාජවාදය තියන මේ ලිස්ට් එකේ මුලට තියන රටවල් ටික http://en.wikipedia.org/wiki/List_of_countries_by_inequality-adjusted_HDI

      කවදා හරි ප්‍රා වෙනස්ව හිතන පිරිසගේ අදහස් ස්නෝ බෝල් එෆෙක්ට් වේවි යයි කියා හිතමු!

  4. රැකියාව කරන තුරාවට දේශපාලන ගොහොරුවේ හිරවෙන මා සිතට සිසිලසක් විවේකයක් ගන්නේ මෙවන් අගනා බ්ලොග් සටහනක් පොතක් කියැවීමෙන් …

    • අවුරුදු 27 ක් තිස්සේ එකම රැකියාවක් කරගෙන ඒම පහසු කටයුත්තක් නොවේ නලින්. එය කියන්නේ ඔබගේ තියන අන් අයට (සමහරවිට) නොමැති ගුණාංගයි.

      මට ලිවීමෙන් ගතමනාවක් නොලැබෙන නිසා හා ලිවිම කියන දෙය (සිංහල බ්ලොග් ලිවිම ලෙස නිවැරදි වෙන්න ඕනේ) මගේ ගතමනාවට බල නොපාන නිසා හා සැඟවුන හෝ හෙළිවුන න්‍යාය පත්‍ර නැති නිසා, මගේ සිතිවිලි මෙලෙස ලියන්න නිදහස තියනවා.

      ඇත්තටම නලින්, මෙලෙස අපට හිතන්න, ලියන්න, කැමති දේ කියවන්න ඇති නිදහස කන්නද කියා සමහරු අහනවා. මොකද අපේ පරිසරය දරිද්‍රතාවයෙන් පිරිලා. හැබැයි, මේ අයියල එහෙම නිදහස නැති පරිසරයක එක සතියක් ජිවත් වුනොත්, මුලින්ම කෙඳිරි ගානවා ඇත්තෙත් ඔවුන්ම තමා. මෙය මනුෂ්‍යත්වයේ එක සරදමක්.

      ලංකාවේ වුනත් සමහර පිරිස් නමක් ගමක් නොමැතිව දක්වන අදහස්, ඔවුන් තමන්ගේ පරමාදර්ශී රටවල් ලෙස අදහන රටවල් ජිවත් වෙනවා නම්, පළ කරන්නට නොහැකි බව, දන්නවා ද නැත් ද කියා මා දන්නේ නැහැ.

      මේ ලෝක තුනේම ජිවත් වී අත්දැකීම් ගන්නට පුළුවන් වීම මා ලද එක්තරා යුනික් එක්පිරියන්ස් එකක්. දහම් පාසලෙනුත්, තවත් සහතික පත් එකතු කරන ලෝකයක ජිවත් අපට, මේ අනෙක් බොහෝ දේවල් එතරම් වැඩකට නැහැ.

      මා මගේ සිතිවිලි ලියන්නේ හැඟීම් වලට වහල් වෙලා නොවේ නලින්. මා දැකපු දේවල් අනුව, හරිය කියල විශ්වාස කරන දේවල් මෙහි ලියනවා. කියවන පිරිසට එකඟ වෙන්න හෝ නොවෙන්න නිදහස කොහොමත් තියනවනේ. ඒ වගේම එකඟ නොවෙනවා නම්, හේතු ඇතිව මෙහි ලියන්නත් නිදහස තියනවා.

      දිග පිළිතුර පොදුවේ ලියපු එකක්. ඔබ කියවා දමන ප්‍රතිචාර අගය කරනවා විතරක් නොවේ, ඔබ වැනි කියවන කිහිප දෙනා නිසා තමයි මා මගේ බ්ලොගය ප්‍රකාශයට පත් කරන්නේ. අපි අනාගතය දෙස සුබවාදීව බලමු නේද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s