අවිචාර සමය! How To Kill a Mockingbird?


මෑත කාලයේ මා දුටු දේවල් ඇසුරින් මෙවැනි දෙයක් ලියන්න සිතුනේ. මා අද පළ වෙන සිංහල විචාර කියවන්නේ නැති වග මුලින්ම මතක් කරන්නට අවශ්‍යයි. වෙන දෙයක් නිසා නොවේ, ඒවාට අසුවන කෘති හෝ නිර්මාණත් මා නොකියවන හෝ නොබලන හෝ නොඅසන නිසා. පොදු නොවන, එක නිර්මාණයකට විතරක් අදාළ වන විචාර කියවිය යුත්තේ අදාල නිර්මාණය සමගයි. එම නිර්මාණය මොකක්ද කියා දන්නේ නැත්නම්, මේවා එතරම් වැදගත් නැහැ.

හැබැයි අප පාසල් යන කාලයේ පත්තර වල ගිය විචාර පමණක් නොවේ, වික්‍රමසිංහ, ගුණසිංහ, සරත්චන්ද්‍ර, විමල් දිසානායක, ගම්ලත් ආදී වශයෙන් සිංහලයෙන් විචාර කෘති පළ කරපු බොහෝ දෙනා ලියපු දේවල් කියෙව්වා. මේවායින් සමහර දේවල් එදා අපට තේරුනේ නැහැ. තවත් සමහරක් සමග එකඟ වුණේ නැහැ. හැබැයි වයසින් මුහුකුරා යත්ම ඒ සියල්ල නිසා අප සිතන පතන විදිහ හැඩගස්වා තියනවා කියා අද තේරෙනවා.

අදා මා මහා විචාර කෘති කියවන්නේ නැහැ (අප “ලිට්‍රේචර් රිවිව්” යනුවෙන් අද කරන්නේ සාහිත්‍යය විචාරයක් නොවේ). හැබැයි මෙහෙ පත්තර යන කුඩා සාහිත්‍ය, සිනමා විචාර කියවනවා. මේවා සමග එකඟ වන්න හෝ නොවන්න අපට අයිතිය ඔය කවුද කියන්නා වගේ තියනවා. සමාජයේ බොහෝ දේවල් එසේමයි. මා මේ ලියන්නේ, මා එකඟ වන දේවල් ගැනනේ බොහෝ විට. ඉතිං අන් අය එසේ නොවන වග අපට යෝජනා කරන්න නොහැකියි.

අර මට දකින්න ලැබුන දේවල් වලින් සමහරක් මෙසේයි. එනම් කාල් මාක්ස් කියන්නේ හිඟන කමින් මියගිය අයෙක්. ලෙනින් මියගියේ අහවල් ලෙඩෙන්. ඔය පොත් කියවුවොත්, අනාගතයේ ගණිකාවන් පවා පොත් ලියාවි. ඔන්න ඔය වගේ දේවල්.

මෙවැනි කරුණු උලුප්පා දැක්වීම මගින් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා මා දන්නේ නැහැ. නිකම් කුණු රසය හෝ වෛරය ඒවායින් අදහස් වෙන්නත් පුළුවන්.

මාක්ස් කියන්නේ මනුෂ්‍ය ඉතිහාසයේ එදා මෙදාතුර සිතීමේ නිම් වළලු පුළුල් කරපු කෙනෙක්. ලෙනින් පවා විප්ලවවාදියෙකු පමණක් නොවේ, ලෝකයේ පහල වූ චින්තකයෙක්. මොවුන් ඉදිරිපත් කරපු බොහෝ දේවල් මට අද පවා කියවා තේරුම් ගන්න නොහැකියි.

ඒ වගේම ඔක්තෝබර් විප්ලවය කියන්නෙත්, මිනිස් ශිෂ්ඨාචාරයේ වැදගත් සංධිස්ථානයක් වගේම සාධාරණ සමාජයක් සඳහා මිනිසුන්ගේ තියන නිරන්තර බලාපොරොත්තුව දැල් වූ මොහොතක්. අද ආපසු හැරී බලන අප, එම අතීතයේ සිදුවුණ දේවල් වලින් පාඩම් ඉගෙන ගන්නවා. එතැනදී මාක්ස් යහන් ගතවුනේ කවුරුන් සමගද යන්න හොයා බැලීම අපට යමක් එකතු කර දෙන්නේ නැහැ.

මේවා කියැවීමෙන් අනාගතයේ ගණිකාවන් පවා පොත් ලියාවි යයි යමෙකු සාහිත්‍ය විචාරයක් මුවාවෙන් කියන විට, පාඨකයා තේරුම් ගත යුත්තේ කුමක්ද? මේ කියන විචාරත් කරන්නේ නිම් වළලු පුළුල් කිරීමේ නාමයෙන්. මේ මා කියවූ අවිචාරයක එක කොටසක් පමණයි. එය කෑලි වලට කඩා දෙන්නම් බැටේ විචාරයකට යන්න හැකි වුවත්, මගේ එවැනි බලාපොරොත්තුවක් නැහැ.

මගේ මතකයට එන්නේ ආචාර්ය Brooke Magnanti. ඇය අද කීර්තිමත් පොත් පළ කරන්නියක් විතරක් නොවේ, ලිංගිකත්වය, අධ්‍යාපනය හා සමාජය පිලිබඳ අපේ නිම් වළලු පුළුල් කරපු කෙනක් විදිහටත් සැලකෙනවා. ඇය තමන්ගේ කීර්තිමත් ලේඛණ දිවිය ආරම්භ කෙරුවේ, නිර්නාමික බ්ලොගයකිනුයි.

යම් කෙනෙක් හෝ කාණ්ඩයක් පිලිබඳ prejudice නැත්නම් කලින් නිගමනයකට ඇවිත් මත ප්‍රකාශ කිරීම යනු නිම් වළලු පුළුල් කිරීමක් නොවේ. මෙවැනි දේවල් විචාර කලාව විතරක් නොවේ, සාමාන්‍ය සමාජයේ පුවත් පළ කෙරෙන විට පවා අද බැහැර කරනවා.

විශේෂයෙන් ලංකාව පුරා පැතිරී තියන, ප්‍රචණ්ඩත්වයේ උල්පත වන්නේ මේ prejudice ම තමා.

මේ ලෙසම අපගේ අතීත කැරලිකරුවන් ගැනද මත පළ කරනවා. ගොඩක් වෙලාවට වෛරය සමග පළ කෙරෙන මේවා මගින් අප බලාපොරොත්තු වන්නේ මොනවාද? ජිවිතයේ එක අදියරක දී කෙරුන, අපරාධ වලට හවුල් වූ කැරලිකරුවෙක් වූ පමණින්, කෙනෙකුගේ ජිවිතයම එසේ යයි අප තීරණය කරන්නේ කුමන පදනම මතද කියන එකයි වැදගත් වන්නේ. එවැනි කෙනෙකුට අපටත් වඩා මානුෂික අයෙකු වීමට වරමක් හෝ ඉඩක් නැත්ද?

දැනට බාලි නුවර මරණ දඬුවමට නියමව සිටින, සුකුමාරන් පිලිබඳ වැඩසටහනක් ලඟදි ගියා. ඔහුගේ නව ජිවන දෘෂ්ටියෙන් පසක් වන්නේ අතීතයේ කරපු වැරැද්ද පිලිබඳ සැබෑවටම කනගාටු වනවා විතරක් නොවේ, මේ සාමාන්‍ය නිදහස් පරිසරයේ සිටින මිනිසෙකුටත් වඩා ඔහු මුහුකුරා ගිය හා මානුෂික අයෙක් වගයි. වැරදි කිරීම මෙන්ම, ජිවිතයේ දෙවන අවස්ථාවක් දීමත් අප කරන්න ඕනේ දෙයක්. වෙනකක් නිසා නොවේ අප මනුෂ්‍යයන් නිසා (මරණ දඬුවම නම් මා ප්‍රතික්ෂේප කරන දෙයක්).

… කලාව යනු මිනිසුන් ජීවත් වන්නා වූ සමාජය, එය චලනය කරවන බලවේග ආදිය ගැන ඥානය ලබාගන්නා එක් ක්‍රමයකි. සමාජ විද්‍යාව ඒ සඳහා තවත් ක්‍රමයකි. එසේ හෙයින් කලාව කලින් කලට වෙනස් වන්නේ මක් නිසා ද යන්න සෙවිය යුත්තේ මිනිසාගේ සමාජ පැවැත්ම තුළය….. (මාක්ස්වාදය හා සාහිත්‍යකලා, සුචරිත ගම්ලත්, පිට 16, 2008).

පළ කෙරෙන “සාහිත්‍ය කෘති” පමණක් නොවේ, මිනිසුන්ගේ නිම් වළලු වලලු පුළුල් කිරීමට යයි ලියෙවෙන “විචාර” ද අප සලකා බලන්න ඕනේ එම ව්‍යුහය තුලයි. මොක ද මේවා සමස්තයක් ලෙස පෙන්නුම් කරන්නේ, සමාජයේ තියන සංවර්ධනය හෝ පරිහානියයි.

Advertisements

13 Comments

Filed under Books, Social

13 responses to “අවිචාර සමය! How To Kill a Mockingbird?

  1. Pingback: අවිචාර සමය! How To Kill a Mockingbird? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. //විශේෂයෙන් ලංකාව පුරා පැතිරී තියන, ප්‍රචණ්ඩත්වයේ උල්පත වන්නේ මේ prejudice ම තමා./

    /Be tolerant ; you’ll be tolerated !

    • ඔබල ප්‍රා, කෝච්චියේ අන්තිම පෙට්ටි වල ගිය පිරිස. අපට පසුපස යන්තම් එල්ලී යන්න හැකියාව ලැබුණා.

  3. thnx රයිගම ….. Susan Boyle ගෙ වීඩියෝව කීප වරක් නරඹා /ශ්‍රවණය කරමින් රස වින්ද…..
    පුදුමයි…………………………!

    • ඕකනේ කියන්නේ, මගේ බ්ලොගයෙනුත් නිම් වළලු පළල් වෙනවා කියා! 🙂

      වසර 2013 වන විට ඇය ලෝකය පුරා ගීත ඇල්බම් මිලියන 19 ක් අලෙවි කර තිබුණා.

  4. සංයමයෙන් යුතුව ලියන ලද මේ වියමන දෙතුන්වරක්ම කියවා බැලුවෙමි. මේ සටහන ලියන්නට හේතු වූයේ සමකය වටේ අඩවියේ ගිය රන්ජන් අමරරත්නගේ විචාරය බැව් වටහාගතිමි. එක් බ්ලොග් සටහනක් උදෙසා සංවාදාත්මක මෙවන් බ්ලොග් සටහනක් ලියැවී තිබීම ද බ්ලොග් කලාවේ සුබ නිමිත්තකි. ලිපිය පුරාවට ඔබ ඔබේ පරිණත බව මැනවින් පසක් කොට ඇත. දැන් යමු කතිකාව දෙසට….
    //අර මට දකින්න ලැබුන දේවල් වලින් සමහරක් මෙසේයි. එනම් කාල් මාක්ස් කියන්නේ හිඟන කමින් මියගිය අයෙක්. ලෙනින් මියගියේ අහවල් ලෙඩෙන්. ඔය පොත් කියවුවොත්, අනාගතයේ ගණිකාවන් පවා පොත් ලියාවි. ඔන්න ඔය වගේ දේවල්.//
    යම් විචාරයක එවන් දේ ඇත්නම් එය සුළුකොට තැකිය නොහැක. ඒ මන්ද යත් එය වියමන විවේචනයක් පමණක් නොව ඉන් ඔබ්බට ගොස් නිර්මාණකරුගේ පාරභෞතික ජීවිතය ද විවේචනය කරන බැවිනි.
    නුතන විචාරකයා සිය විචාරයට ආභාසය ලබා ගන්නේ විවිධ විචාරක විධි ක්‍රම හරහාය. ඒ අතර සමාජවාදී විචාර කලාව, ට්‍රොස්කිවාදී විචාර කලාව, නුතනවාදී විචාරකලාව, ප්‍රශ්චාත් නුතනවාදී විචාර කලාව, කැමූවාදි(ශුන්‍යවාදි) විචාර කලාව, පෙරමුණ ගනියි. ලතින් අමෙරිකානු විචාර කලාවද නූතන ජර්මානු සාහිත්‍ය විචාර කලාවද ඇතැම්හු භාවිතයට ගනිති.
    කර්තෘ මූලික කොටගනිමින් කෘතිය විවේචනය ජර්මානු විචාරකලාව සමග ආ දෙයකි. විටෙක එවන් විචාර විචාරදැයි ඇතැම්විට පාඨකයාට සිතේ. ඒවා පල් හැලි හෝ මඩ ගොහොරු ලෙසද දකිති. ඒවාට එකග වන්නෝත් නැත්තේද නොවේ.
    මේ කුමණ දෙයින් හෝ විය යුත්තේ විචාරය තුළින් කෘතියක් වඩාත් පහසුව විවිධ කෝණයන්ගෙන් රසවිවිඳින්නට පාඨකයාට උත්තේජයක් ලබා දීමයි. එහෙත් වින්දනාත්මක දෙයක් හෝ ගත යුත්තක් නොමැති ම කෘතියක ට, එය දෙන්නම් බැටේ විචාරයක් සේ පෙනෙන්නට ද හැකිය. මොනවා වුණත් නමක් හදාගත් (පොරක් වූ) සාහිත්‍යකරුවෙක් සිය නිර්මාණය හරහා හිතාමතාම බස නසා දමන්නේ නම් හෝ උකහාගන්නට යමක් එම කෘතියෙන් නොදේ නම් එය දැඩිව විවේචනයට ලක්වේ. එසේ නොවුවහොත් එහි අගතිය පාඨකයාට ය,සමාජයට ය.
    විචාරයක් කියැවීමෙන් පමණක් අපට කෘතියක් ගැන අනුමාන දෙන්නට නොහැකිය. අපද කෘතිය පරිශීලනය කර තිබිය යුතුය. එවිට ය අපට අපේ මානයන් හා විචාර හරහා ගොඩනැගෙන යම් ස්ථාවරයන්ට අනුව වඩාත් නිවැරැදි මානයකට පැමිණිය හැක්කේ.

    //යම් කෙනෙක් හෝ කාණ්ඩයක් පිලිබඳ prejudice නැත්නම් කලින් නිගමනයකට ඇවිත් මත ප්‍රකාශ කිරීම යනු නිම් වළලු පුළුල් කිරීමක් නොවේ. // මෙතැන දි මම ඔබ සමග එකගය.

    කෘතිය කාගේ හෝ වේවා ඔහු පිළිබඳ පූර්ව නිගමනයකින් විචාරය කෙරෙන්නේ නම් එය විචාරයක් නොවේ. එනමුදු යමෙකුගේ සාර්ථක නිර්මාණ කලින් තිබූ පමණින් ඒ තැනැත්තාගේ සියලුම කෘති උත්කෘෂඨ ය යන ආකල්පයේ පිහිටා විචාරයේ යෙදීම ද අගති දායකය. ඒ අගතිය ද පාඨකයාට හෝ ප්‍රෙක්ෂකයාට ය. සමස්ත සමාජයට ය.

    මෙවන් කතිකාවක් ගොඩනැඟිම ගැන යළත් ඔබට මගේ ස්තුතිය.

    • නලින්, ඊයේ මා ගෙදර හිටියේ. පොඩි පුතා ලෙඩ වෙලා. මට වෙලාව ටිකක් ලැබුනා.

      ඔබ දන්නවනේ, මගේ බ්ලොගයේ එහෙම කතිකාවක් ඇති වන්නේ නැහැ. 🙂

      මගේ සටහන් කියවන හා ප්‍රතිචාර දමන පිරිස් ලියන්නේ මොනවාද කියලත් මා හොයනවා. මොකද කියනවා නම්, බ්ලොග් කියන්නේ ජාල. මේ සටහනට අදාළ වුනේ එවැනි කියවීමක්. එය මා නිතර දකින හෝ කියවන පන්නයේ එකක් නොවේ. මට අමුතු වුණාට, එය තමයි අද “සාමාන්‍යය” කියා මට වැටහෙනවා. ඔබ කියන පරිදි, ඔබේ බ්ලොගයේ පළ වුන විචාරය තමා එයට පාදක වුණේ.

      මා වෙන බ්ලොගයක නම් යමක් ලියන්නෙත් නැහැ. නමුත් නලින් ඔබ මට එවැනි කෙනෙකු නොවේ. මගේ බ්ලොගය ඔබ, දිගටම කියවීම මා අගය කරන දෙයක්.

      මගේ අදහස්ද නිර්දයයි. හිතවත්කම් හෝ වෙනත් සබඳතා අනුව විචාරය නොකරනවා හා පසුගාමී අදහස් සමාජය තුල වපුරනවා කියන්නේ දෙකක්. බොරු කියන්න අවශ්‍ය නැහැනේ. මා “සාමාන්‍ය පාඨකයෙකු” නොවේ. මාත් විෂයයක් ලෙස විචාරය ඉගෙන ගෙන තියනවා. නමුත් ඒ සාහිත්‍ය විචාරය නොවේ. ඒත් ජිවිතයේ දකින, හමුවන හා කියවන දේවල් විචාරාත්මකව දකින්න එයත් ප්‍රයෝජනවත්.

      සාහිත්‍ය විචාරය ගැන ඔබ කියපු විචාර කලා හා ගුරුකුළ මා ටිකක් දන්නවා. හැබැයි නලින්, ඔය සියල්ලට වඩා, මා අභාෂය ලද, විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය, සාහිත්‍ය කෘතියක්, ගීතයක්, සිනමා පටයක් තේරුම් ගන්න මා උපයෝගී කර ගන්නවා.

      මගේ හිතවත්ම පාඨකයා වන කෙන්ජි මේ බ්ලොගය මුල පටන්ම සිටින කෙනෙක්. ඔහුගේ සමහර අදහස් මා විවේචනය කළේ දයා විරහිතව. ඒත් කෙන්ජි අදත් මගේ සටහන් කියවන දෙතුන් දෙනා ගෙන් කෙනෙක්. සිර නොවූ මනස් සමග ජිවත් වනවා යයි මා අදහස් කරන්නේ එයයි.

      නලින්, මා කලින් ලියා ඇති පරිදි මේ ලෝකයේ පීචන් රසවින්දනය කියා දෙයක් තියනවා. එය පුද්ගලානුබද්ධ දෙයක්. විටින් විට මා එය ලියනවා. අප මේ සියලු කතිකා කළ යුත්තේ එයත් සිතේ තියාගෙන.

      අද ලංකාවේ පවතින විචාරය ඇත්තටම මා දන්නේ නැහැ. පෙරදා, අප නවකතාවක් කියවූ පසුව, ඒ පිලිබඳ පළ කෙරුණ විචාරත් කියවූවා. එයට ප්‍රධාන හේතුවක් වුණේ, අපේ ගෙදර එම කෘති තිබුණා. මොකද තාත්තා ඒවා කියවූ හා විචාරය කරපු හින්දා. ඇත්තටම මා සිංහල සාහිත්‍යය ගැන චුට්ටක් “දන්නේ” ඒ නිසා.

      හැබැයි නලින් මේ දශක කිහිපය තුලදී අපේ ඥානය හා සමාජ සඹදතා පිලිබඳ අපේ ආකල්ප වෙනස් වී තියනවා. එන්න එන්නම අප හමේ පාට, ලිංගික ආකර්ෂණ, ස්ත්‍රී-පුරුෂ භාවය ආදිය මත මිනිසුන් ගැන තීරණය නොකරන ආකල්ප වර්ධනය කර ගනිමින් යනවා. අඩුම ගානේ මා ජිවත් වන සමාජයේ වත්. මේවාට ප්‍රතිරෝධතා නැතුවා නොවේ. ජාති වාදීන්, වර්ගබේද වාදීන්, ස්ත්‍රීන්ට, සම ලිංගික පිරිස් වලට ගරහන පිරිස් හැම තැනම ඉන්නවා. ඒ පිරිස ඉතාම සුළුතරය වුන දාට මේ ලෝකය මෙයට වඩා සුන්දර වේවි.

      ඒ විතරක් නොවේ, කෙනෙක් විවාහකව ඉන්න අතරේ, වෙනත් අය සමග සම්බන්දතා ඇතිකර ගැනීම (ලිංගික හා භාවාත්මක) මේ ලෝකයේ අමුතු කරුණුවත්, කෙනෙක්ව තව කෙනෙකුට හෙලා දකින්න පුළුවන් කරුනුවත් නොවේ. මේවා සංකීර්ණ මානුෂික සඹදතා. සාහිත්‍යකරුවා, මේවා දිහා බලන්නේ පූර්ව නිගමන වලින් තොරව. එමගින් ඔහු අපට ඒ ගැන තීරණය කරන්නට ඉඩ හරිනවා. සාහිත්‍යකරුවා ස්ත්‍රීන් නිසා හෝ පුරුෂයන් නිසා හෝ කියා මිනිසුන්ව පහත් හෝ උසස් කර උපුටා දක්වන්නේ නැහැ. ඔහු ඉදිරිපත් කරන්නේ මේ මනුස්සයන්ගේ සඹදතා වල ගැටුමයි.

      විචාරකරුවා එයිට එහාට යන කෙනෙක්. ඔහුට පුළුවන් වෙන්න ඕනේ මේ සඹදතා වල සංකීර්ණත්වය අපට වඩා, සරල වචන වලින් පහදා දෙන්න. එහෙම වන්නට නම්, එම විචාරකරුවා මුලින්ම, මනුෂ්‍යත්වය පෙරට ගන්න කෙනෙක් වෙන්න ඕනේ. ඔබේ විචාරකරුවා එහෙම කෙනක් කියා මට නම් කණගාටුවකට වගේ පෙනෙන්නේ නැහැ.

      අර අමරරත්නගේ විචාරය මුල පටන්ම ප්‍රතිගාමී එකක්. එනම්, නිම් වළලු පුළුල් කිරීමක් නොවේ කරන්නේ, එහි අනෙක් පැත්ත. මට එය එකින් එක පෙන්නා දෙන්න පුළුවන් වුවත්, නැවත කියවලා ඔබටම තේරුම් ගන්න හරිනවා.

      මෙවැනි විචාර යටතේ උගත් පිරිසක් ඉන්න විට, විචාරය හෝ අවිචාරය අතර වෙනස නොපෙනීම පුදුමයක් නොවේ. එය පසුගිය කාලය මුළුල්ලේ පොදුවේ කඩා වැටුන අපේ අධ්‍යාපන ක්‍රමයේ එක පැතිකඩක් පමණයි.

      මේවා නියම විචාර හා ඒවා නිසා නිම් වළලු පුළුල් වනවා යයි සිතන පිරිස මේවා දිගටම කියවගෙන ගියාට මගේ අමනාපයක් හෝ විරෝධයක් නැහැ. මොකද මේවා ප්‍රධාන ධාරාවේ තියන දේවල්. නලින්, ඔබට විතරයි මා යමක් කියුවේ. හබරල කොළ වලට, මා වතුර වක් කරන්න බලාපොරොත්තුවක් නැහැ.

      නිර්දය විචාරය යනු මොකක්ද කියා සිංහල පාඨකයාට දැන ගන්න ඕනේ නම්, ඔය ගම්ලත් ලියූ පොත් ටිකම ප්‍රමාණවත් (මේවා කියවන්නට යම් පමණකට සිංහල භාෂාව දැනගෙන ඉන්න ඕනේ. ඔබට එය කජ්ජක් නොවේ කියා දන්නවා වුවත්, අපේ “සාමාන්‍ය පාඨකයාගේ” සිංහල නම් එයට ප්‍රමාණවත් නැහැ කියා, මේ බ්ලොග් කියවන විට මට තේරුම් යනවා).

      ඒත්, මේවා පවා කියෙවූවා කියල මගේ අදහස්ද අද එක වර තියා “දෙක වර” වත් වෙනස් වන්නේ නැහැ. මොකද අපත් ජිවිතයේ ගොඩක් දුර ඇවිත් තියනවා. හැබැයි අද වුනත් කෙනෙක් කරුණු ඇතුව යමක් කියනවා නම්, මා පිළිගන්න සුදානම්.

      අර කියමනක් තියනවානේ “විදුරු ගෙවල් වල ඉඳන්, අනුන්ට ගල් ගහන්න එපා” කියා. අඩුම ගානේ අප එවැනි සරල කරුණක් හෝ තේරුම් ගන්න උත්සහ කරමු.

      • ඔබ මගේ ප්‍රතිචාරයට දමල තියන උත්තරය කියවූවේ දැනුයි. එයට මට එකතු කරන්න වෙන යමක් නැහැ. සුචරිතගේ විතරක් නොවේ ගුණසිංහලගේත් විචාර පවා මා කියවා තියනවා. ඒ කුඩා කාලයේ. අද මා වෙනස් මිනිහෙක්.

        මෙතන මා කියන්නේ පිට කසන නොකසන එකක් නොවේ නලින්. එයිට එහා යන මනුෂ්‍යත්වය. මා ඔය කියන නවකතාව කිසි කලක කියවන එකක් නැහැ. නමුත් අප මිනිසුන් දිහා බලන විදිහක් තියනවා. මා කියන කරුණ ලාංකික සමාජයට සමහර විට ආගන්තුක වෙන්න පුළුවන්. එයම තමා අපේ සමාජයේ තියන “ගං කබරත්වය”. එය ගැන අපි ඉදිරියටත් කතා කරමු!

        • ඉතා හොඳ තැනකට ඔබ මේ සංවාදය ගෙනැවිත් තිබෙනවා. එහෙත් මට දැන් කාලය මදි. හෙට උදැසනම මාතර යා යුතුයි. පසුදින මදුරන්කුළියේ යාමට තිබේ. එනිසා නිදා ගනිමි.
          //මා කියන කරුණ ලාංකික සමාජයට සමහර විට ආගන්තුක වෙන්න පුළුවන්. එයම තමා අපේ සමාජයේ තියන “ගං කබරත්වය”. එය ගැන අපි ඉදිරියටත් කතා කරමු!//

          සත්තකින්ම පොතේ කතිකා නොව සැබැවින්ම මේ දුපතෙන් එපිට ලෝකය හා ගැටුණු ඔබ වැනි වියතුන් තමා මේ කතිකාව මට මෙන්ම ලාංකීය සමාජයට සේන්දු කළ යුත්තේ. මේ කදිම වේදිකාවකි අරඹමු අපි එය. දින දෙකක් තුනක් මා හට ජාල ගතවිය නොහැකි විය හැකියි.

          • ඔන්න ඔන්න ඔබත් පිට පනින්නයි යන්නේ. බොරු මුරුංගා අතු නං එපා නලින්. මා වියතෙක් හෝ අයියා කෙනෙක් නොවේ. බ්ලොගයක් ලියන්නෙම ඒ නිසයි. ඒ නිසා යමක් කතා කරනවා නම් අපි සාමාන්‍ය මිනිසුන් ලෙස කතා කරමු! 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s