Cheerio! Cheerio!!, තවත් බයිලා බැරියෝ!!!


අද උදේ රේඩියෝ එකේ ගිය පුවතක් තමා, එංගලන්තයේ ඔක්ස්පර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස් සහ ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලය කරගෙන යන එංගලන්තයේ කතා කරන ඉංගිරිසි භාෂාවේ ඇතිවෙමින් පවතින පරිණාමයන් හා නව ප්‍රවණතා ගැන පර්යේෂණයේ එක් සොයා ගැනීමක්. එනම්, එංගලන්ත ඉංගිරිසි වලින් ඔය චියරියෝ, මාමලේඩ්, පුසි කැට්, මාර්වලස් වගේ වචන වියැකී යමින් පවතින වග.

ඔවුන් කියන පරිදි, ඉහත කරුණට එක හේතුවක් තමා ජිගිටල් යුගය. අනෙක් හේතුව තමා ඇමෙරිකානු බලපෑම. අමෙරිකානු බලපෑමෙන් තොර කිසිවක් මෙලොව තිබේද? අර මේ අඹ ගස හැර වෙනත් අඹ ගස් තිබේද වගේ තමා. සිනමා, කළා, සාහිත්‍ය, ජනමාධ්‍ය මෙකි නොකී ක්ෂේත්‍ර වල තියන ඇමෙරිකානු බලපෑම අපට උදේ ඉඳන් හවස් වෙනතුරු දකින්න පුළුවන්.

භාෂාවක් කියන්නේ නිරන්තර වෙනස් වීමකට භාජනය වන්නක්. හැබැයි අප එක එක කෙනාට ඕනේ විදිහට එකම භාෂාව වෙනස් විදිහට යොදා ගන්න පුලුවන්ද? උදාහරණයකට මටම ආවේනික ව්‍යාකරණ රීතියක්. එවැනි උත්සහයන් නම් ටිකක් ගොන් පාර්ට්. මොකද, අප හැම දෙනාම එහෙම තමන්ගේ භාෂා රීති හදා ගන්න ගියොත්, අපේ සන්නිවේදන ක්‍රියා සියල්ල අංජබජල් වෙනවා. භාෂා වෙනස් වන්නේ එහෙම නොවේ. පොදු සමාජයේ එකඟත්වයෙන්. එනම්, එවැනි වෙනස් වීම් ගැන පොදුවේ හැමෝම, නැත්නම් වැඩි දෙනෙක් එකඟයි. ඒවා ක්‍රමානුකුලව සිදුවන දේවල්. එනම් ඇඟට දැනෙන්නේ නැහැ. අර පර්යේෂණය කියන්නෙත් එයමයි.

අපට කුඩා කාලයේ මව් භාෂාවෙන් ඉගැන්වීම නිසා සියලු ප්‍රශ්න වලට මුල කියන කරුණට යලි ගියොත්, අලුතින් යමක් අපට එකතු කරන්න පුළුවන්ද? මේ මා අද කියවපු ලිපියක්. මෙහි තියන කරුණු සියල්ල මා මෙයට පෙර සිංහලයෙන් ලියා තියනවා. වැඩේ තියෙන්නේ මොන භාෂාවෙන් ලියුවත්, මේවා ඇත්තටම කියවන්න අවශ්‍ය පිරිසට, එනම් රජරට ජනතාවට ඒවා සන්නිවේදනය වෙනවද? ඇත්තටම ඔවුන් කියවන, අසන හා නරඹන ජනමාධ්‍ය හෝ වෙනත් මාධ්‍ය වල මේ කතන්දරේ කියවෙනවද? ඔවුනගේ දේශපාලන භාවිතාව, එනම් කැමැත්ත ප්‍රකාශ කිරීම තුල, තමන්ගේ ප්‍රශ්නයම මූලික නොවීම අපට පෙන්නුම් කරන්නේ, කතන්දරේ ඔවුන්ට තේරෙන භාෂාවෙන් කියන්න කිසිවෙකු නැති වගයි. නැත්නම් කියන දේ ඔවුනට තේරෙන්නේ නැති වගයි.

එයට හේතුව අප ඉගෙන ගත්ත භාෂා මාධ්‍යයද කියන එක නම් මට යලිත් ප්‍රශ්නාර්ථයක්. කුඩා කල පටන්ම, ඔය කියන ඉන්ගිරිසි පරිසරයක හැදිලා, අද පුවත්පත් වල පවා කතුකම් කරන සමහරුන්ගේ ජාතිවාදය හා ලාමකකම, මෙහෙ ඉන්න සුදු ජාතිවාදීන් තුල පවා නැහැ. ඉංගිරිසියෙන් ඉගෙන ගත් හා සිතුව ජේ ආර් පවා, ඔහුගේ සමකාලීන ලෝක නායකයන් සමග සසඳන විට, මහා ලෝක දැක්මක් තිබුන කෙනෙක් හෝ හෝ රටේ සුබ සිද්ධියට අවංකවම කටයුතු කළ කෙනෙකු කියා මට නම් සිතෙන්නේ නැහැ.

දොස්තර ගුණදාස ඉගෙන ගත්තේ, අප වගේ සිංහලයෙන් නොවේ. නලින් පවා අප වගේම, “සිංහලෙන් ඉගෙන ගත්තත්”, ඉංගිරිසියෙන් වැඩ කරන විට දොස්තර ගුණදාසල වගේම තමා, වෙනසක් නැහැ. ලංකාව, අද පැමිණ තියන තැන, ජේ ආර් ගේ දහන්ගැටයේ පමණක් නොවේ, ගුණදාස-නලින් බාන විසින් සමාජ ගත කරපු නියැන්ඩතාල්වාදයේ අග්‍රඵලය කියාත් කියන්න පුළුවන්.

මගේ පුතාල අනාගතයේ මොනවා කරාවිද, කොයි රටක ජිවත් වේවිද, කුමන රැකියාවක් කරාවිද, කවුරුන් කසාද බඳිවිද කියන දේවල් ගැන මට කිසි වගකීමක් ගන්න බැහැ. මොකද, ඔවුනුත් මා වගේම ස්වාධීන අදහස් දරන පුද්ගලයන් වේවි. හැබැයි මා එක දෙයක් බලාපොරොත්තු වෙනවා. එනම්, ඔවුනගේ ජිවිතයට වඩාත්ම බලපෑම් කරනු ඇත්තේ, මා හා බිරිඳ කුඩා කාලයේ ඔවුනට ලබා දුන්න භෞතික හා මානසික පරිසරය කියන දෙය. එයත් මා බලාපොරොත්තු වන ආකාරයට වඩා වෙනස් වෙන්න පුළුවන්.

හැබැයි දොස්තර ගුණදාස පවා ජීවිතය දෙස අවංකවම නැවත සිතා බලන්න ඕනේ. එනම් තමන්ගේ සෙවණේ උපතේ පටන් හැදුන දරුවා, රටින් යන්නට ගියේ මොකද? ඔවුන් දේශනා කරපු, ප්‍රාර්ථනා කරපු ඒ ලෝකය ගොඩ නැගිලා තියන පරිසරයක, ජිවත් වන්නට තමාගේ පුතා පවා අකමැති ඇයි? මා මේ දැන් කියන ලෝකයේ ජිවත් වන්නට, මගේ දරුවන් අකමැති වුවොත්, මා නම් ඒ ගැන යලිත් සලකා බලාවි කියල, මා “දැන්” සිතනවා. අනාගතය ගැන කියන්න මට බැහැ.

ලෝකයේ නව දැනුම සොයා යාමට අපට ස්ව භාෂාව හැර වෙනත් අන්තර්ජාතිකව භාවිතා වන භාෂාවක් අවශ්‍යයි. එයට හොඳම භාෂාව ඉන්ගිරිසියයි. හැබැයි, අපේ ආකල්ප වලට පදනම් වන, භාෂාව මතම රඳා නොපවතින තව සාධක ගණනාවක් තියනවා. සිංහලයෙන් ඉගෙන ගත් පිරිසත්, ඔය ඉංගිරිසියෙන් පමණක් ඉගෙන ගත් පිරිසත්, මේ දෙකෙන්ම ඉගෙන ගත් පිරිසත් අතර ඉන්න එකිනෙකාට සමාන හා වෙනස් ආකල්ප හා මතවාද දරණ පිරිස් අපට පෙන්නා දෙන්නේ එයයි.

සටහනට අදාළ පුවත්

http://www.outlookindia.com/news/article/Changing-Faces-of-English-Not-Marvellous-But-Awesome/857193

http://news.sky.com/story/1324831/cheerio-marvellous-youre-no-longer-awesome

http://www.outlookindia.com/news/article/Changing-Faces-of-English-Not-Marvellous-But-Awesome/857193

Advertisements

22 Comments

Filed under Agriculture, Lifestyle, Opinion

22 responses to “Cheerio! Cheerio!!, තවත් බයිලා බැරියෝ!!!

  1. Pingback: Cheerio! Cheerio!!, තවත් බයිලා බැරියෝ!!! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. උඹ ලියන සමහර ලිපි මාව ගොලු කරනවා. ඒ කියන්නේ කියන්න දෙයක් – වැදගත් දෙයක්- එකතු කරන්න දෙයක් නැතුව ගියාම මම යන්න යනවා.
    මේක එහෙම නෙවෙයි. මේ මගේ ජීවිතයෙම කොටසක්.
    හිටහං මම දැන් එලියට යනවා (ශරීර සුවතාවයට). ගිහින් ඇවිත් ආයෙම කියවලා කමන්ට් එකක් කොටන්න ඕනේ.

    • මේක නම් යමර ශරීර සුවතාවයක්. 😀

      ඔය වගේ පසුව හරියට ලියන්නම් කියන කොමෙන්ටු මචං, අර විකල්ප වෙබ් අඩවි කාරයන් ඔය “එක්ස්ක්ලුසිව් නිවුස්” දාල (අතේ රෝල්), අන්තිමට ලියනවා, මේ පිලිබඳ වැදගත් තොරතුරු ඇතුලත් ලිපි ගොනු අප සතුව ඇත. එම විස්තර යථා කාලයේ සුදුසු වෙලාවට හෙළි කරන්නෙමු කියල. මේ වැදගත් ලිපිගොනු කිසිදා එලියට නම් දාන්නේ නැහැ. හරි නම්, මුං ගාව මෙම “වැදගත් ලිපි ගොනු” තියනවා නම්, ඒවා පළ කළ යුත්තේ අර “එක්ස්ක්ලුසිව් පුවත” සමගයි.

      • නෑ මචං එක දිගටම දවස් දෙකක් ජොග් කලා නෙවෙයි. 😀

        මම දැන් මේ ආයේ උඹේ පි‍ටුව ඇරලා බැලුවාම මට පිස්සු හැදුනා. පිස්සු හැදුනා කියන්නේ පිස්සු වැඩි වුනා. මේ ටික කියෙව්වට පස්සේ මට ආයෙ මොනවත් කියන්න දෙයක් නෑ. උඹලා කියලා තියෙන දේවල් ගැන කල්පනා කරනවා ඇරෙන්න.

        එකම දෙයක් කිව්වොත්, ඉංග්‍රීසි වලින් වචන අතෑරලා දානවා වගේම තේරුම් වෙනස් වෙච්ච දේවල් වලට මොකද කරන්නේ කියලත් හිතන්න වෙයි. මේ බලාපංකෝ මේ අපි පොඩි කාලේ කිව්ව මේ සමලිංගික කවිය.

        Work while you work
        Play while you play
        This is the way
        To be happy and gay

        • පිස්සු පීකුදු කියන්නේ ඔන්න ඕවා තමා මචං!
          මා කලින් හිතුවේ තාම දුවනවා කියල. 😀

  3. හිරු

    මට වෙලාවකට හිතෙන දෙයක් තමා යුරෝපයයි ආසියාවයි කියන්නෙ ලෝක දෙකක් කියල.. ඒ කියන්නෙ එකකට බලපාන දේවල් අනිත් එකට බලපාන්නෙ, එහෙම නැත්තං අදාල වෙන්නෙ මාරම වෙනස් විදියට… අර අපි සමහර වෙලාවට කියන්නෙ … “ මේක සිරි ලංකාව හලෝ… කියල… හි හි

    පස්සෙ කතාවට අදාල කමෙන්ට් එකක් දාන්නං…

    • හි හි, ඔන්න මේකට පිළිතුර මා හෙන්රිට දීලා! 😀

      ලෝකේ දෙකේ කතාව නම් ඇත්ත!

  4. දූපත් මානසිකත්වය, සාම්ප්‍රදායික චින්තනය, ඔය තව තව අරවා මෙව්වා කියනවනේ අපි සිංහලෙන් හිතනකොට සිංහලෙන් කියනකොට. දැනටමත් අපේ භාෂාවේ පිරිසිදු බව තියෙන්නේ පාසල් පොත්වලයි, විභාග වලයි, විතරද මන්දා. සිංහල කියලා අනන්‍යතාවක් අපිට තවදුරටත් අවශ්‍යනම්, කන්‍යාභාවය/පතිවත/ රැකගන්නවා වගේ, භාෂාව රැකගත යුතුයි.

    හැබැයි හැමදාම එක තැන පල් නොවී ඉදිරියට යායුතුයි. අලුත් වචන, තාක්ෂණික පද විතරක් නෙවෙයි. ඉංගිරිසියේ Z අකුර ශබ්ද කරන්න සිංහල අකුරක් හැදීමත් නොපමාව කලයුතුයි. මොකක්දෝ කරුමෙකට සිංහලයටත් නැති, ඉංගිරිසියටත් නැති, සමාජයේ ජනප්‍රිය සක්ක වචන තමයි, වැඩිපුර භාවිත වන්නේ. අපේ ළමයි සිංහල ඉගෙනගන්නේ, සිංහල කියන විෂයය, විභාග වලට පෙනේසිටින විෂයයක් නිසා මිසක්, ඒ තුළ අපේ උරුමයක් තියනවා කියන හැඟීමෙන් නෙවෙයි. ඉංග්‍රීසි දැණුමෙන් තදබල ලෙස සන්නද්ධ වියයුතුයි. හැබැයි, අඟහරු ලෝකෙදි මුණගැහුනත්, සිංහලයෝ දෙන්නෙක් සිංහලෙන් කතාකරනවානම් තමයි හොඳ.

    • මගේ මහා කතාව භාෂාව ගැනම නොවේ. නමුත් විචාරක, ප්‍රවීනා, අමිල, ප්‍රා හා අරූ එකෙනෙකට ගැට ගැසුන ඉන්ටරෙස්ටින් අදහස් කිහිපයක් ඉදිරිපත් කරලා තියන නිසා, වෙනම පිළිතුරු නොදී ඒ සියලුම කොමෙන්ටු මගින් මතුකර අදහස් ගැන මගේ මතය කියන්න හිතුනා.

      මා බාසා වෙල්ලෙක් නම් නොවේ. නමුත්, මගේ වුවමනාවන් වෙනුවෙන් යොදා ගන්න භාෂාවන් යම් තරමකට දියුණු කර ගන්න මා අදත් වෙහෙසෙනවා. භාෂාවක් පිලිබඳ මගේ අදහස් වඩාත් සමීප වන්නේ. ප්‍රා ඉදිරිපත් කර තිබෙන අදහස් සමගයි. මේවා කෙරෙහි සෙන්ටිමෙන්ටල් ආසාවක් හෝ වන්දනා මාන කරන්න අදහසක් හෝ යන්තමින් දන්නවා කියල මහන්තත්ත කමක් මවා ගන්න හෝ මගේ අදහසක් නැහැ. අර මං කලින් ලියුවා වගේ කරවල හා බත් හෝ හැම් බේකන් හෝ කනවා කියල විශේෂ මාන්නයක් හෝ හීනමානයක් මට නැතුවා වාගේම තමා. මේවා අපේ ජිවිතයට උදවු කරන මෙවලම්, මිසක් වන්දනා මාන කරන්න අවශ්‍ය දේවල් නොවේ.

      කලින් කියුවා වගේ මේ සටහන ලියුවේ භාෂාව ගැන කියන්නම නොවේ. මොකද මා විශාරදයෙක් නොවන නිසා. ලඟදි මා පොතක් මිලදී ගත්ත. එය old school English grammar පිලිබඳ කුඩා අත්පොතක්. එහි ප්‍රස්තාවනාව ඇසුරින් මෙහි ඉතුරු ටික මා පසුව ලියන්නම්.

  5. සිංහල ලියන්න බොහෝ අය දැනගෙන හිටියත් ඒ නිසා ඉදිරිපත් නොවෙන්න එක හේතුවක් තමයි ව්‍යාකරණ සහ අක්ෂර..

    • දන්නවා නම් ව්‍යාකරණ සහ අක්ෂර බැරිය කියන්නේ ඇයි අමිල? 🙂

  6. //භාෂාවක් කියන්නේ නිරන්තර වෙනස් වීමකට භාජනය වන්නක්. //
    ‘c ya ,bak, grt, dnt, ‘දැන් කාලේ දකින්ට තියෙන ෆෝන් ඉංග්රීසි ලිවිල්ල ගැන මොකද හිතෙන්නේ? ලියනකොට ලියනකොට අනේ මෙහෙමම ලියන්ට තිබ්බානම් කොච්චර ලේසිද වගේ හිතෙන්නේ නැද්ද?

  7. මට නම් භාෂාව කියන්නෙ හුඟක් වින්දනය ලබන දෙයක්. මම ද්විභාෂා විතරක් එක කණගාටුවෙන දෙයක්. දෙමල බැරි එක ලැජ්ජා වෙන දෙයක් ඒත් ඔක්කොම කරන්න බැරි නිසා ඉගන ගන්න ආසාව තියෙන්නෙ ස්පැනිශ්.
    මං කිව්වට ගොඩක් අය මාව වරදවා වටහා ගන්න දෙයක් තමයි මට පුලුවන් භාෂා දෙක අතරින් මං වඩා ප්‍රිය කරන කියල එකක් නෑ කියන එක. මට කවදාවත් සිංහලවලට සෙන්ටිමෙන්ටල් ආසාවක්වත්, ඉන්ග්‍රීසිවලට හීන හෝ අධිමානයක්වත් තිබිල නෑ. සමහර විෂයන් සඳහා ඉන්ග්‍රීසිත් සමහර ඒවා සඳහා සින්හලත් මම කැමතියි. ඒවා මට tools for communication සහ මං අද්යනය කරන්න ආස විශයන් දෙකක් පමණයි.
    BTW, බිල් බ්‍රයිසන්ගේ පොත් වල ඉන්ග්‍රීසි භාෂාව ගැන (විකාශනය ආදී ) තියන දේ රයිගම් කියවල තියනවද?

    • නිකං හිතුන දෙයක් මේ ලියන්නේ. කාලයක් ලියන්නත් බැරිවුනා. අපි ජීවිතයේ හැම දෙයක්ම සරල සහ පහසු කරගෙන යන අයනේ. තමන්ට එන අදහස් කමියුනිකේට් කරගන්න, වියක්ත භාශාවක් ඕනෙද කියන තැන මම හිතනවා. මට බැරි කම වෙනම දෙයක්. නමුත් භාශාව නිසා අදහස් පලකිරීම, රස වින්දනයට බාධා ඇතිකල ගත යුතු නොවේ කියා මම හිතනවා. වඩාත් වැදගත්වෙන්නේ සංනිවේදනයයි නේද? අපේ රටට ගිය ඉතාලි ජාතික සාමන්‍ය මිනිහෙක් මට කියනවා අපේ රටේ තියෙන අක්‍රමිකතා….කියන්නේ කැඩිච්ච ඉංග්‍රීසියෙන්. මාත් දන්නේ එහෙම එහෙම කැඩිච්ච භාශාවක් වුනත් අපි දෙන්නා කමියුනිකේට් කරා. බ්ලොග්ස් තුල ශාස්ත්‍රීය ලිපි ලියනවානම් ඒ තුල භාශාවේ රීති රැක ගත යුතුයි. නැත්නම් බ්ලොග් ලියන්න මිනිස්සු බය වෙයි හැම තැනම රීති රැකිය යුතුද කියා. භාශාව කියන්නේ අදහස් එහ මෙහා කරන මෙවලමක් විතරයි කියලා මම හිතන්නේ. අපේ දුවත් ටෙලිෆෝන් එකේ මෙසේජ් එවන කොට අර කෑලි ඉංග්‍රීසි වලින් එවන්නේ. මම බැන්නා. නමුත් එහෙම තමයි වර්තමානයේ වැඩේ යන්නේ. අපේ දුව පීඑච්ඩී එකක් කරනවා. එතනදී ඇය හරි ඉංග්‍රීසි දන්නවා. නමුත් ඒ අය භාවිතා වෙන ලෝකය ප්‍රායෝගිකයි. මම වැරදි ඇති. හැබැයි අපි ලියන්නේ මොකකද සහ ඒ තුල භාශාව හිරිහැරයක් කර ගත යුතුමද කියා සිතිය යුතුයි. ඉංග්‍රීසි ලියන්න බැරි ලංසි මචංලා ලාස්සන ඉංග්‍රීසි තනු හැදුවා, ගැයුවා. හෙමීට ලියන්න පටන් ගන්නම්. මම මාර විදිහට වෙලාව හා ඔට්ටු වෙමින් ඉන්නේ.

    • බිල් ගැන මා දන්නවා වුවත්, පොත් කියවා නැහැ. ඔහුගේ පොත් ගැන, ඔබගේ අදහස මොකක්ද? ඒවා අපට සම්භාව්‍ය වැඩි නැත්ද?

      • අර ප්‍රා කලින් සටහනේ කියුවා වගේ, බටහිර විරෝධය පාන්නන් හා ජාතික චින්තනකාරයන් ඇත්තම ජිවිතයේ කරන දේවල් හා සමාජයේ පතුරවන දේවල් අතර වෙනස නිසා, සැබෑවටම අමාරුවේ වැටෙන්නේ, එයාල නොවේ, එයාල පසුපස හරකුන් සේ යන අනුගාමිකයන් විතරයි. ඒකාධිපතියන් තමන්ගේ ඉන්වෙස්ට්මන්ට් කරන්නේ ආශ්චර්යයන් කරනවා යයි කියන, තමන්ගේම රටවල නොවේ, බටහිර සුරක්ෂිත යයි හිතන තැන්වල. දරුවන් (මැටි මෝල්ලුන් වුවත්), ඉගෙන ගැනීමට යවන්නේ බටහිරට. අනෙක් හැත්ත බුරුත්තත් ඔය එම්බසි, මහකොමාසාරිස් කාර්යාල වල වැඩට එවනවා.

        මහාචාර්ය නලින්ගෙන් මේක ඇහුවොත් කියන්නේ ඉතින් පශ්චාත් උපාධි කොහොමත් ලංකාවේ නැහැ නේ. ඒකයි දරුවා පිටරට යැවුවේ. නැත්නම් කියයි, මොකටද බටහිර අනුකාරකවාදීන්ගේන් ඉගෙන ගන්නේ, නියමම එවුන්ගාවට ගිහින් ඉගෙන ගන්න එක එයිට වඩා හොඳයිනේ කියා. අනෙක තමා දොස්තර ගුණදාස, නලින් විතරක් නොවේ, අනෙක් අවශේෂ අයියලා අඩුම ගානේ ඇමෙරිකාවට හරි ගිහින් ආචාර්ය උපාධියක් හෝ වෙනත් පස්තාච්චියක් කරන්න ට්‍රයි එකක් හරි දීල, ගිහින් තමයි ජාතික චින්තනයට සෙට් වන්නේ.

        මෙයාල ගොඩ. හැබැයි, පස්සෙන් යන අය, බටහිර හොඳ නැහැ, ඉංගිරිසි වලින් වැඩක් නැහැ, බටහිර විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව කියන්නේ වැඩකට නැති දේවල්, අපිටත් විද්‍යාවන් තියනවා, අපේ රටේ ලෝකේ තියන ලොකුම සම්පත් ටික තියනවා, මේක කන්න තමයි හැමෝම බලාගෙන ඉන්නේ යනාදී වශයෙන් සිහින ලෝක වල අතරමං වෙමින් ඉන්න විට, නලින්ලගේ දොස්තර ගුණදාසලගේ දරුවන් බටහිර පශ්චාත් උපාධිත් නිම කරලා ඉවරයි.

        මගේ මතය අනුව, මෑත ඉතිහාසයේ ලංකාවේ හරියටම සමාජගත කරන්න පුළුවන් වුනේ මතවාද දෙකයි. එකක් තමා ජාතික චින්තන කළු බළලා, අනෙක තමා කිසිවෙකුට හරියට පැහැදිලි කරන්න බැරි වුනත්, කොහේ හරි තියනවා යයි මිනිසුන් හිතන සමාජවාදය කියන ලාංකික චින්තනය. එයත් අරුම දෙයක්. මේ මතවාද වපුරපු අයගෙන් ටික දෙනෙක් බිනොවලන්ට් වෙන්න පුළුවන්. නමුත් බහුතරය, වෙනත් ජිවිත අපේක්ෂාවන් අනුව වැපුරූ මේවා නිසා, සාමාන්‍ය ජනතාව සිහින ලෝක වල වල්මත් වුණා පමණක් නොවේ, ඔවුන්ගේ ජිවිත කඩාකප්පල් වුණා.

        තව දෙයක් තමා අධ්‍යාපනයේදීත්, වැඩපොලේදීත් මේ මතවාද නිසා අවැඩක්ම මිසක් වැඩක් වෙලා නම් නැහැ. නමුත් සමාජයේ හරි වටිනාකමක් තියනවා බොරු වචන වලට. ජේ ආර් පවා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විතරක් නම් කරන්නේ නැතුව, සමාජවාදයක් අස්සට රිංගුවේ ඒකයි. අන්තිමට දෙකෙන් කොයික වත් නැහැ. ඇත්තටම යම් සමාජවාදී ගුණාංග තියන රටවල් වල නම් වල මොකුත් සඳහනක් නැහැ. මොකද නම් ඕනේ වෙන්නේ, නැති දෙයක් බොරුවට උපුටල පෙන්නන් විතරයි. හැබැයි ඉතින් ජනතාවට එයත් ඇති.

        අඟහරු ලොවේ හමු වුනත් සිංහල කතා කරන එක නම් නරක දෙයක් නොවේ, නමුත් නාථ හා විපස්සකල පස්සෙන් ගිහිං නම් මේ කපේදී අඟහරු තියා, කතරගම වත් යන්න බැහැ.

        අපේ අතීතයේ පටන්ම තියනවා යයි කියනා මමත්වයෙන් තොර ජීවිතය කියන එක හරියට, ඔය නලින් මල පැනලා දෙන ටෝක් වගේම තමා. අපේ බුද්දාගම කියන්නේ, බුදුන් දෙසූ ධර්මයවත්, මමත්වයෙන් තොර කමවත් නොවේ. ඔය ගම් වල ඉන්න බොහෝ දෙනෙක් එහෙම ආසාවල් නසපු අපූරු මිනිසුන් නොවේ. නලින් වගේම තමා, මල පැනල ඉන්න ගමන්, මෛත්‍රීය වඩනවා. උදේ භාවනා කෙරුවය කියනවා. දවල් කුණුහරුපෙන් මලපන්නගෙන බනිනවා.

        මෙයම තමා, අප සමාජවාදය ලෙස කරන්නෙත්. එනම් කියන්නේ එකක්, නමුත් කියන කෙනාවත් ඒ දෙයට ආසන්න ජිවන පැවැත්මක් ගත කරන්නේ නැහැ. පොඩි කාලේ දන්නේ නැති කමට මේවා පස්සේ යන පිරිස්, ඉගෙනීමත් කඩා කප්පල් කරගෙන, ජිවිතයේ පසු කාලයේ ඇරියස් සොයනවා. සීගිරි යන්න බැරි වුන නිසා, ඇමෙරිකාවේ ඩිස්නිලන්තයේ යනවා.

        දැන් භාෂාවට ආවොත්, භාෂාවක පිරිසිදු කම රැක ගන්නවා යයි කියන්නේ හරියට, ගැහැණියෙක් හෝ පිරිමියෙක් ලිංගික සේවා සපයල මුදල් ටිකක් හම්බ කරන්න හිතන අතරේ, කන්‍යා භාවය රැක ගන්නේ කොහොමද කියලත් හිතනවා වගේ දෙයක්. මොකද පාවිච්චි කරන අතරේ, අනෙකත් රැක ගන්න බැහැ. එහෙම නම් මේවාට අත නොතබනු කියල, කැවුතුකාගාර වල තියන්න වෙනවා. එහෙම තිබ්බත් කන්ගැට්ටල වැඩේ දෙනවා.

        භාෂාව කියන්නේ සන්නිවේදන කාර්යය සඳහා මිනිසා නිපදවා ගත් ප්‍රභලම මෙවලමයි. අප සිනාවෙන්, ඉඟි කිරීමෙන් හා තවත් ක්‍රම වලින් පවා සන්නිවේදනය කර ගන්නවා. ගස් වැල් පවා, රසායන ද්‍රව්‍යයයන් මගින් එකිනෙකා සමග තොරතුරු හුවමාරු කර ගන්නවා. අනෙක් සතුන් පවා නොයෙක් ක්‍රම මගින් සන්නිවේදන කටයුතු කර ගන්නවා. එසේ වුනත්, සත්ත්ව ලෝකයේ ඉහලම සන්නිවේදන හැකියාවන් අත්පත් කර ගත්තේ මිනිසායි.

        මිනිසුන් කතා කරන්නට පටන් ගත්තේ කවදාද කියල කියන්න හරියටම පුළුවන් වී නැහැ. පොසිල හා වෙනත් සාක්ෂි ඇසුරින් ඒ ගැන යම් තොරතුරු අත්පත් කරගෙන තිබුණත්, කතා කෙරුවේ කවදද හෝ භාෂා හරියට පැන නැගුනේ එක්තරා නිශ්චිත වකවානුවක යයි කියන්නට තවම අප සමත් නැහැ. හැබැයි එයට අඩුම ගන්නේ අවුරුදු ලක්ෂයක වගේවත් ඉතිහාසයක් තිබෙන්න පුළුවන්.

        භාෂාවක තියන රීති අප හදාගෙන තියෙන්නේ, සන්නිවේදනයේ පහසුව සඳහාමයි. එකිනෙකා වෙනස් විදිහට එකම භාෂාවක් භාවිතා කෙරුවොත්, අන්තිමට එය තේරුම් ගන්න පුළුවන් වන්නේ ලියන හෝ කියන කෙනාට විතරයි. මේ රීති මගින් අතීත-වර්තමාන කාල වෙනස්කම්, ස්ත්‍රී-පුරුෂ බව, ක්‍රියාකරු තනි කෙනෙක්ද-කණ්ඩායමක්ද යනාදී වෙනස්කම් අපට තෝරා ගන්නට උපකාරී කරනවා.

        මා ලඟදි පුස්තකාලෙන් ගෙනාවා චීන-ඇමෙරිකානු කතුවරියකගේ නවකතාවක්. එය ඕනෙකමින්ම ලියා තිබුනේ ඉංගිරිසි වල තියන ව්‍යාකරණ රීතින් නොසලකා. මට මුල් පිටු ටිකෙන් පසු කියවන්න එපා වුණා. ඇයි? අපගේ මනස දැනටම හැඩ ගැසිලා තියනවා යම් ක්‍රමයකට.

        සිරි ගුනසිංහ හැටේ දශකයේ වගේ ඔය න,ණ, ල, ළ නොසලකා ලියුවා. හැබැයි එය සමාජයේ පොදු භාවිතාව කරන්න ඔහුගේ තනි ප්‍රයත්නය ප්‍රමාණවත් වුණේ නැහැ. හැබැයි විචාරක කියනවා වගේ, අද තියෙන්නේ නණ ලළ තියා මොකුත්ම නැති මහා කරච්චල් මාධ්‍ය භාෂාවක්. එය පැන නැගුනේ කෙසේද?

        The earliest grammar system we know of were in Iron Age India,about the fifth century BC. The Greeks had a grammar system by 100 BC, and the Romans created a Latin grammar system following the Greek example. Some 272 grammars of English were published before the eighteenth century.

        භාෂාව කියන දේ සමාජයේ අනෙක් දේවල් වලින් වියුක්ත කර, පිරිසිදුව තබා ගන්නා නොහැකියි වගේම, භාෂාවක් සමාජයෙන් වියුක්ත කර පිරිසිදුව තබා ගැනීමේ තේරුමකුත් නැහැ. අපේ තාත්තල පවා හෙළ හවුල්කාරයන්. හැබැයි හෙළ හවුලේ භාෂාව නිකම් බොරු ප්‍රයත්නයක් විතරයි. මොකද එය සාමාන්‍ය මනුෂ්‍යයාට තේරුම් ගන්නත් බැහැ, එයාලගේ ජිවිතයට එය අවශ්‍යත් නැහැ.

        සමාජයේ අවශ්‍යතා අනුව භාෂාවක් වෙනස් නොවනවා නම්, එම භාෂාව වැඩකට නැතිවී කොහොමත් වඳ වී යනවා. It is in the nature of a living language to evolve, as new inventions require new words, foreign influences enliven the vocabulary and social changes give people more or less leisure to write at length. The monks who copied out medival texts invented short forms to save themselves time, which passed into the languaage as ligatures in words such as, funnily enough, mediaval, which we now deem archaic. දැන් අප කියනවනේ SMS භාෂාව තිබුනොත් හොඳයි කියල. ප්‍රවීනා, පේනවා නේද, මේවා මිනිස් ඉතිහාසයේ අමුතු දේවල් නොවේ.

        සාහිත්‍යය හා කලා වගේම පාසලේ පොත් වලින් පමණක් භාෂාවක් උගන්වන්න හෝ රැක ගන්න නොහැකියි. අනෙක භාෂාව කියන දේ අනෙක් විෂයයන්ගෙන්ද වියුක්ත කර උගන්වන්නටද නොහැකියි. පාසලෙන් එලියට බහින දරුවා, මහමගදිත්, බස් එකේදිත්, ගෙදරත් භාෂාව භාවිතා කරනවා. ඒ භාවිතාව එනම් සන්නිවේදනය සිදු වන්නේ සමාජයේ ඉන්න තවත් නොයෙකුත් දෙනා සමග, මාධ්‍යත් එක්ක. එතකොට සිංහල පීරියඩ් එකේ සුපිරිසිදු සිංහල කතා කරලා, ලියල එලියට බැස්සහම මොකද වෙන්නේ? සමාජයේත් ඔය කියන පිරිසිදුකම තියෙන්න ඕනේ.

        දැන් ප්‍රශ්නේ තමයි විචාරකල ඉගෙන ගත්තු කාලේ තිබුණ ඒ සුපිරිසිදු බවට මොකද අප්පේ මේ වුණේ කියන එක. Anyone who has so much as run their eye over an Anglo-Saxon lament, a tale by Chaucer or a play by Shakespeare will see that the English in which they are written is very different from the way we write and speak today. Even a novel written as little as fifty years ago may differ from modern one in style, vocabulary and punctuation. The books of poor old Enid Blyton, most of which were written in the 1940s and 1950s, have already had to be revised for modern children because they were considered so out of touch-and not least because she had a propensity for naming her characters Fanny, Dick and so on. මේ කියන්නේ මා නොවේ. පෙනෙනවා නේද අප ඕල්ඩ් වික්ටෝරියන් ඉංගිරිසි වලට වඳින අතරේ, නූතන ඇත්ත ඉංගිරිසි ලෝකය යන විදිහ.

        එතකොට මේ කලවම් සිංහලක් හදාගෙන කතාකරන එෆ් එම් ඉටිකිරිස් කෑලි (මල්ලිලා ද සමග), පත්තර වල ජරා භාෂාවක් ලියන අයියල කරන්නෙත් මේකම නේද? එනම් වෙනස් වන ලෝකයේ, වෙනාස් වුන භාෂාවක් භාවිතා කිරීම. වැඩේ තියෙන්නේ මේකයි; We cannot stop English changing-and only the most ardent dyed-in-the-wool pedants waste their time trying-but we can do our best to ensure that it does not become compromised along the way, and to preserve its best features. Since linguistic sloppiness often leads to ambiguity- which is one of the things that grammar rules try to avoid-a few rules are surely good thing. අමිල කියනවනේ සිංහල දන්නවා වුනත් සමහරුන් නොලියන්නේ මේ ව්‍යාකරණ හා අක්ෂර බැරි නිසා කියල. සිංහල දන්නවා කියන්නේ ව්‍යාකරණ හා අක්ෂර දන්නවා කියන එක. හැබැයි මාත් පිලි ගන්නවා, ව්‍යාකරණ හා අක්ෂර සංකීර්ණ වෙන්න, වෙන්න කරන වැරදි වැඩි වෙනවා. අද ලෝකයට එහෙම භාෂාවක් අවශ්‍ය නැහැ. ඇමෙරිකානුවන් ඉංගිරිසියට කරන්නේ එම වෙනස්කම්.

        අර භාෂාවේ ස්ලොපිනස් කියන එක වැදගත්. ඒ කියන්නේ භාෂාව නොදැන කරන වෙනස්කම් හින්ද අන්තිමට වෙන්නේ අදහස් හරියට කියන්න බැරි වීම. එනම් සරල දේවල් විතරයි කියන්න පුළුවන්. වැදගත් කතාවක් කරන්න බැහැ. ඔය කිචි-බිචි ගාන එෆ් එම් ගිරවු වගේ. අනෙක භාෂාව වැදගත් භාෂාව ඉගෙන ගන්න පමණක් නොවේ, අනෙක් විශයයන් ඉගෙන ගන්නත්. ගණිතය පවා. භාෂාව දන්නේ නැති ගුරුවරයා, අනෙක් කිසිම විශයයක් (මේකත් විෂයයක් කියලත් ලියන්න පුළුවන්නේ. මේ වගේ අනවශ්‍ය සංකීර්ණ කිරීම් වැඩක් නැහැ) උගන්වන්න සමතෙක් නොවේ. මා ඒකයි කියන්නේ අපට එදා සිංහලෙන් නැතුව ඉංගිරිසියෙන් ඉගැන්වූවා නම්, අද අප ඉන්නේ කොයි ලෝකෙද කියල හිතන්නත් අමාරුයි.

        මා සිංහල ලියන්නෙත් කලවම් විදිහට. මට සිංහල කියන්නේ විශාල විදිහට අවශ්‍ය දෙයක් නොවේ. ගෙදර කතා කිරීම හැරුන කොට සිංහල භාවිතා වන්නේ අඩු වශයෙන්. නමුත් මේ බ්ලොගය ලියන්නට ගත්තට පසුව සිංහල වල දැනීම මා අලුත් කර ගත්තා. හැබැයි මෙය කතා කරන භාෂාවකින් මා ලියන්නේ සිතාමතාමයි.

        ඒ වුනත්, මෙවැනි භාෂාවක් භාවිතා කර පාසලක උගන්වන්න නොහැකියි. මොකද අවශ්‍ය දේවල් ඒ ආකාරයෙන්ම සන්නිවේදනය කරන්න හැකියාවක් නැහැ. අපේ පුතාලගේ අධ්‍යාපනයේදීත්, ඉංගිරිසි වලට ලොකු බරක් යෙදෙනවා. ඔවුන් වෙනම ව්‍යාකරණ ඉගෙන ගන්නේ නැහැ. අනික ඉංගිරිසි හා අනෙක් විශයය කරුණු අතර ගැලපීමක් කුඩා පන්ති වල ඉඳං තියාගෙන යනවා. සමෝධානික ඉගැන්වීමක්. කියවීමටත් විශාල තැනක් දෙනවා. ඔවුනගේ ලිවීම් වලදී sms භාෂාවක් භාවිතා කරන්නට ඉඩක් නැහැ. ව්‍යාකරණ හා අනෙක් රීතින් දැඩිව සලකා බලනවා.

        භාෂාවක් නොදැනීම නිසා රීති කැඩීම හා කඩන්න අවශ්‍ය යයි සිතෙන නිසා රීති කැඩීම යයි කියන්නේ දෙකක්. බ්ලොග් එකක් වුණත්, සරල ව්‍යාකරණ පවා නොසලකා ලියල තියනවා නම්, තිත් හෝ කොමා නැත්නම්, වාක්‍ය අතර ඉඩක් තබා නැත්නම් මා කියවන්න වෙහෙසෙන්නේ නැහැ. ඇත්තටම කියවන්න අමාරුයි. අර චීන-ඇමෙරිකානු කතුවරියගේ පොත වගේ. සමහර තැන් වලදී මේවා මා පෙන්වා දෙන්නේ හොඳ හිතින්. ඒ මා දන්නා පාරාසය තුල.

        හැමතැනම අප පුළුවන් ආකාරයෙන් මේ රීති රකින්න ඕනේ. බ්ලොග් කියා වෙනසක් නැහැ. මොකද කියනවා නම් අපට හරියට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වන්නේ එමගිනුයි.

        භාෂාව අදහස් ප්‍රකාශ කිරීමේ මෙවලමක් විතරයි තමා. නමුත් මේ මෙවලම හරියට නොදන්නා නිසා හිතු මතේ වෙනස් කිරීමෙන් එහි ප්‍රයෝජන එයාකාරයෙන්ම අපට ලැබෙන්නේ නැහැ. … one person’s unbreakable rule is another person’s insufferable pedantry. Knowing the rules-and breaking them because you feel like it, not because you don’t know any better- will make you a more confident, creative and entertaining writer and speaker.

        අරූ කියල තියනවා වගේ කැඩිච්ච භාෂාවකින් දෙදෙනෙකු කොහොම හරි අදහස් හුවමාරු කර ගන්නවා කියන්නේ හා ආචාර්ය උපාධියකට නිබන්ධනය ලියනවා කියන්නේ දෙකක්. යන්තම් භාෂාව දන්නා කෙනෙකුට අර දෙවෙනි එක කරන්න බැහැ. නමුත් ආචාර්ය කෙනෙකුට වුවත් sms මෙසේජ් යවන්න, සරල භාෂාවකින් බ්ලොග් ලියන්න පුළුවන්. මෙතැනදී අප එකිනෙකා උසස් හෝ පහත් කර ගන්න අවශ්‍යත් නැහැ. අවශ්‍ය වන්නේ අප‍ට ජිවිතයේ ඕනේ කරණ තරමට භාෂා කුසලතාවයන් අත්පත් කර ගැනීමට වැඩ කරන එකයි.

        ඊයේ මා පත්තරේ කියවපු උද්‍යාන පිලිබඳ විශේෂාංග ලිපියක මෙහෙම තිබුනා; A garden is never complete. It is a work in progress. දැන් භාෂාවක් කියන්නෙත්, භාෂාවක් ඉගෙනීම කියන්නෙත් a work in progress ම තමා.

        මා කතාවක් කියන්නම්. මා දන්නා කෙනෙක් ඕස්ට්‍රේලියාවේ උපාධි දෙකක් නිම කර තිබෙනවා. නමුත් ඔහුට/ඇයට තාම ස්ථිර පදිංචි විසා සඳහා ඉල්ලුම් කර ගන්න බැහැ. මොකද IELTS අවශ්‍ය ලකුණු සමග ගොඩ දා ගන්න බැහැ. මෙතනිනුත් මා කියන්න අදහස් කරන්නේ භාෂාවක් අපට අවශ්‍ය වන ආකාරයයි. එය යම් තරමින් හෝ දැන සිටීම හා දැනගන්නට උත්සහ කිරීම සන්නිවේදනයට පමණක් නොවේ, අපේ එදිනෙදා ජිවිතයට ද වැදගත්. තමන් තමා තීරණය කරන්න ඕනේ, කොච්චර දැන ගත්තොත් ඇතිද කියා.

        ….. when you’re chatting among friends, it may not much matter how you express yourself, but what about when you are applying a job or compiling a report or trying to write a introduction for a book like this? Language is as much a part of how you present yourself-and how other people react to you-as the way you dress. if we alwez rote howeva we pleazed itd b like turning up 2 an interview in ript jeanz n a cruffy t-shirt, y’know?
        And one wouldn’t dream of doing that, would one?

        සියලුම දෙනා පළ කරපු අදහස් වලට මගේ දීර්ග පිළිතුර මෙයයි. ලංකාවේ අධ්‍යාපනය හා සිංහල වලට වුණ දෙය ගැන මගේ අදහස මෙතන මට ලියන්න අවශ්‍ය නැහැ. මොකද එය මේ කතාවට අදාළ නොමැති නිසා.

        ඉංගිරිසියෙන් සඳහන් කරුණු “My Grammar and I, Caroline Taggart and J.A.Wines, Michael O’Mara Books Limited, 2011” යන කුඩා අත්පොතේ හැඳින්වීම ලෙස “A very brief history of English grammar” යයි ලියා ඇති කොටසින් ගෙඩි පිටිං උපුටා ගන්නා ලද ඒවාය. මෙම කුඩා පොත ප්‍රයෝජනවත් එකක්. මගේ සටහන භාෂාව පිලිබඳම නොවුනත්, එම විස්තර ඇතුලත් කෙරුවේ, මා භාෂා විශේෂඥයයෙකු නොවන නිසා.

        • kathandarakaraya

          ඇඩෝව්! ඉන්දියන්. ග්‍රීක්, රෝමන් ග්‍රැමර් විතර නෙමේ අපේ සිදත් සඟරාවත් ක්‍රි.පූ. නේද ඩෝ?

      • //සම්භාව්‍ය වැඩි නැත්ද//
        කොහෙත්ම නැත
        ඔබ වැන්නෙක් ඒවා ඔබට සම්භාව්ය වැඩියි කිව්ව කියල අහුනොත් බ්‍රයිසන් පොත් ලිවිල්ල නවත්වයි. 😀

        • @රයිගම්…..මචං උඹේ සාර්ථක පිලිතුර අගය කරනවා. එහි වැදගත් සටහන් පිලිබඳව මට තර්කයක් නැහැ. මට පැහැදිලි කරගත යුතු එක් කරුණක් වෙන්නේ ….උඹ සිරි ගුණසිංහයන් හා අජිත් තිලකසේන යන ලේඛකයන් භාශාව හසුරුවීම තුල, දකින යම් වෙනසක් හෝ පරස්පරයක් දකිනවාද යන්න බව…ඒ භාශා හැසිරීම් රටා තුල වූ වින්නැහියක් තිබේද? සම්ප්‍රදායික ගුරුකුළ මගින් භාශාව රැකගෙන ඉදිරියට යා හැකිද? දේව භාශාවක් ලෙස සලකන ඉංග්‍රීසියේ පවා මේ නූතන වෙනස් වීම් සිදුවී නැද්ද? ගලේ කෙටුවා ලෙස සියල්ලම 1+1=2 කියන තැන තිබුනා නම්…වික්ටෝරියානු ඉංග්‍රීසියේ ලතින් ගැලපීමත්, සෙල් ලිපි තුල ගබඩාවුනු සිංහල භාශාව තුලත් උඹලා වැනි උගතුන් බිහි කරන්නේ කෙසේද? අද ශාස්ත්‍රීය ලිපි ලියනා උගතුන්,අද පරම්පරාව කියවා තේරුම් නොගන්නා ස්වරයෙන්ම ලිවිය යුතුද?

          • //උඹලා වැනි උගතුන් බිහි කරන්නේ කෙසේද?//
            අයියා, හීන් නූලෙන් සාර්කැස්ටික් වෙන්න නම් දන්නවා නේද? 🙂

            මචං පිළිතුර පසුව ලියන්නම් (අර වැදගත් තොරතුරු ඇතුලත් ලිපි ගොනුව කියවල!) 😀

            • ඇත්තටම මා උඩින් ලියා තිබෙන පිළිතුර නැවත කියෙව්වා. එකක් තමා මා සිදු කරලා තිබුණ සරල වැරදි හදන්න. අනෙක තමා උඹට අලුත් පිළිතුරක් ලියන්න පටන් ගන්නේ කොහොමද කියල හිතන්න.

              උඹ මතු කරන සියලුම ප්‍රශ්න වලටම වාගේ පිළිතුරු ඉහත උත්තරයේ තියනවා.

              මා අජිත් තිලකසේනගේ පොත් කිසිවක් කියවා නැහැ. ගුනසිංහ ලියපු බොහෝ පොත් (නිසඳැස් ද ඇතුළුව) කියවා තිබෙනවා. සමහර නිසඳැස් කුඩා කාලේ කියෙව්වත්, තාම මතකයි. ඔහුගේ ඒ උත්සාහයයන් නිසා සිංහල වලට මොකුත් වුණා යයි මා සිතන්නේ නැහැ. එක දෙයක් තියනවා, ඔහු වෙනස් කම් කෙරුවේ නොදන්නා නිසා නොවේ, ඒවා අවශ්‍යය යයි සිතුන නිසා යයි මා විශ්වාස කරනවා.

              ගුරුකුළ භාෂාව කියා උඹ කියන්නේ හෙළ හවුල වගේ ඒවාද? ඒවායින් ප්‍රධාන ධාරාවට ඇති බලපෑම සිමිතයිනේ.

              සිංහල ලිවිම ගැන මා වැඩි දුර ලියන්න බලාපොරොත්තුවක් නැහැ. එදාට වඩා අද, ඉංගිරිසිය කොතරම් වෙනස් වුවත්, පිළිගත් සඟරාවක ලිපියක් පළ කර ගන්න නම්, ව්‍යාකරණ අනුව, “සාමාන්‍යයෙන් වැදගත්” විදිහකට ලියල තිබුණේ නැත්නම්, මුල් අදියරේදීම ප්‍රතික්ෂේප වනවා. අනික ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස් මගින් නිතර කරන පර්යේෂණ වලින් පෙන්නුම් කරන්නේ, එය දේව භාෂාවක් නොවන බවයි. එය නිරන්තරයෙන් වෙනස්වීම් වලට භාජනය වන්නක්. හැබැයි අප වගේ ඉංගිරිසින් කලවම් භාෂා භාවිතා කරන්නේ නැහැ. විචාරක කියන්නේ එයයි.

              මා විචාරක සමග එතැනදී එකඟයි. හැබැයි සිංහල අප ඉගෙන ගන්න ඕනේ, එය අපේ උරුමය නිසා හින්ද නම් නොවේ. එයනේ අපගේ ඉගෙනීමේ මාධ්‍යයය. ඉංගිරිසි කියන්නේ පාසලේ තවත් විශයයක් හා දෙවන භාෂාවක් විතරයිනේ. ඉගෙන ගන්නා මාධ්‍යය හරි හැටි නොදැන කිසිවක් ඉගෙන ගන්නේ කොහොමද කියන එකයි මගේ මූලික ප්‍රශ්නය.

              ලංකාවේ පාසල් අධ්‍යාපනය වෙනස් කරන්න පුළුවන් කොයි ආකාරයටද, සිංහල දියුණු කරන්න පුළුවන් කොහොමද, ඉංගිරිසි උගැන්වීමට (සිංහල යම් තරමක් දැනගෙන පාසලට එන දරුවන්ට) සිංහලත් උපයෝගී කර ගත යුත්තේ ඇයි හා එය කරන්නේ කොහොමද, කියවීම් හා සාහිත්‍යය පාසැලේ ප්‍රධාන විශයයක් විය යුත්තේ ඇයි, ආගම් කියන ඒවා විශයයන් වශයෙන් පාසලෙන් බැහැර කළ යුත්තේ මොකද, උසස් පෙළට පෙනී සිටින සියලුම ශිෂ්‍යයන්ට සිංහල විශයයක් ලෙස උගැන්විය යුත්තේ ඇයි යන කාරණා ගැන මගේ අදහස් ගැන මට එක දිගට ලියාගෙන යන්න පුළුවන් වුවත්, එය බ්ලොගයක කාර්යයක් කියා මා නොසිතන නිසාත්, එවැනි දෙයකින් කිසිම ඒකීය පුද්ගලයෙකුට සුගතියක් ඇති නොවන නිසාත් ලියන්නට මම අදහස් නොකරමි.

              ඒ වෙනුවට මෙහෙම දෙයක් ලියන්නම්. මා ලංකාවේ විශ්ව විද්‍යාල වලට තේරෙන දරුවන්ට තියන අර “ආකල්ප ප්‍රවර්ධන වැඩසටහන් වල” සම්බන්ධීකාරකයා නම්, එයට සම්බන්ධ කර ගන්න එක සම්පත් දායකයෙක් තමා උඹ. කටපාඩම් ක්‍රමයකින් විශ්ව විද්‍යාල වලට තේරෙන බහුතරයකට, කඩයිම් විභාග කියන්නේ ජීවිතයත්-මරණයත් අතර දෙයක් නොවන වගත්, ජිවිතයේ එක කඩුල්ලක් මගහැරුණ පමණින් ජීවිතය එතනින් අවසන් වන්නේ නැති වගත්, නිරන්තර උත්සහයය අපට අවශ්‍යම දෙයක් වගත්, ඉගෙනීම කියන්නේ පොත පතම පමණක් නොවේ කියන දෙයත් එයාලට කියල දෙන්න අවශ්‍යම කරන දේවල්.

              අද කරන්නේ මොකක්ද? හමුදා කඳවුරු වල දාගෙන සරඹ කරවනවා. හැබැයි විශ්ව විද්‍යාල වල සෙල්ලම් පිටි වල හවසට සෙල්ලම් කරන්න බැහැ. ඔන්න අපේ ආකල්ප සංවර්ධනය.

              ඒ අතරේ “සිංහල ජේෂ්ඨ කත්කාචාර්ය” (කථිකා නොවේ) ලා පාසැල් දරුවන්ගේ ආකල්ප සංවර්ධනය කරනවා, ගෙදර ගෘහ මූලික කම ගන්නේ කොහොමද කියල. “වෛද්‍ය ජේෂ්ඨ කත්කාචාර්ය” ලා කුඹුරු වල හීනටි වී වවනවා.

              ඔය අව් අස්සේ, මේ අපේ අයියල උඩ දාගෙන ගිහිං චන්දෙ දෙයි මුළු රටම හමුදා කඳවුරක් කරන්න. උඹට තේරෙනවනේ මා හරියට සිංහල උගන්වන්න අවශ්‍ය ඇයි කියන්නේ මොකද කියන එක.

              ප ලි
              පාසලෙන් පසුව මා වගේම, උඹත් සිංහල භාෂාවක් ලෙස ඉගෙන ගෙන නැතුවා වුවත්, ලෝකය පුරා කරක් ගැහුවා වුවත්, තමන්ගේ ජිවිත කතාව කෙනෙකුට තේරෙන විදිහට ලියන්නට පුළුවන් වීම මගින් කියන්නේ උඹ එදා (කට්ටි පනිමින් වුවත් 😀 ) ලබපු පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව විතරක් නොවේ, එදා හිටපු සමාජයෙන් ළද (සන්නිවේදනය මගින්) ධනාත්මක ආභාෂයයි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s