Poisoned minds? අයාලේ යන සිතිවිලි!


SONY DSC

මේ ලියන දේවල් වලින් ලෝකය වෙනස් කරන්න බැහැ තමා. නමුත් අප යමක් තේරුම් ගන්න හැටියට සාමාන්‍ය ජිවිතයේ අප ක්‍රියා කරන විදිහ රැඳී තියනවා. කෘෂිකර්මය ගැන මා මගේ අදහස් ඇතුලත් සටහන් කිහිපයක් ලියා තියනවා. අදත් මේ එවැනි එකක්. මෙහි තියන සමහර කරුණු මා කලින් ලියා ඇති.

අද ලෝකයේ ආහාර අර්බුධයක් තියනවා නම් තියෙන්නේ, දියුණු වෙමින් පවතින රටවල. බටහිර රටවල් වල ජනතාව අවශ්‍ය පමණට වඩා ආහාර පරිභෝජනය කරනවා කියල, කන් කෙඳිරි ගෑවට වැඩක් නැහැ. මොකද එහෙම පරිභෝජනය කරනවා නම්, ඒ එම ජනතාවට පුළුවන් හා ඒ සඳහා කැමති නිසා. අනෙක් රටවල් ද රටේ ජනතාවට ප්‍රමාණවත් ආහාර එක්කෝ නිපදවා ගන්න ඕනේ, නැත්නම් පිටින් ගන්න ඕනේ.

දැන් මේ නව ලිබරල් වාදය නිසා දුප්පත් රටවල් වල ගොවින් දුප්පත්කමින්, දුප්පත් කමට යනවා කියනවනේ. එහෙම නම් එයටත් අවශ්‍ය විසඳුම් සොයා ගත යුත්තේ එම රටවල්මයි. බහුජාතික සමාගම් ගොවියන් සූරා කනවා නම්, එය නතර කර ගන්න පුළුවන් කොහොමද කියලත් විසඳුම් සොයන්න ඕනේ එම රටවල්මයි.

මේ සේරටම අමතරව විකල්ප කෘෂිකර්මයක්/අඩු යෙදවුම් කෘෂිකර්මයක් ගැනත් ලෝකයේ කතාවක් තියනවා. ලෝකයේ බොහෝ රටවල් මිට වසර තිහ හතළිහකට පෙර කරපු සමහර කෘෂිකර්ම භාවිතාවන් වලින් දැන් ඉවත් වෙමින් යනවා. ගස්-වැල් ගැන, පස ගැන හා ශාක පෝෂණය පිලිබඳ අපේ දැනුම අද වෙනදට වඩා වැඩියි.

ඕස්ට්‍රේලියාවේ පවා, හැට හැත්තෑ ගණන් වල කරපු කෘෂිභාවිතාවන් සමහරක් වැරදියි කියලත්, තවත් සමහරක් තව වැඩි දියුණු කළ යුතුයි කියලත් අද කතා වෙනවා. ඒ ගමන ඇත්තටම නොනවතින එකක්. ලෝකයේම වියලීම මහාද්වීපයේ ගොවිතැන් කිරීමම, මහ අභියෝගයක්. එසේ වුවත්, ඕස්ට්‍රේලියාව මේ රටේ ජිවත් වෙන පිරිස වගේ තව ගුණයක බාහිර පිරිසට අවශ්‍ය ආහාර නිපදවා විකුනනවා. දැන් ගොවින් කොහොමත් අනුගමනය කරන්නේ අඩු යෙදවුම් කෘෂිකර්මයක් තමා. මොකද නැත්නම්, යොදවන මුදලට නිෂ්පාදන විකුණා ගන්න නොහැකියි.

ඉන්දියාව කියන්නේ කෘෂිකාර්මික රටක්. ජනගහනයෙන් 60% ක් වගේ යැපෙන්නේ, කෘෂිකර්මයට අදාළ රැකියාවකින්. ඒ අතරේම ලෝකයේ දිළිඳු ගොවින් ඉන්නෙත් ඉන්දියාව හා අප්‍රිකානු රටවල. අප්‍රිකාව ගත්තොත්, මේ රටවල් වල කෘෂිකර්මය කරන්න පුළුවන් කොහොමද කියල, දකුණු අප්‍රිකාව, කෙන්යාව, ඉස්සර සිම්බාබ්වේ වැනි රටවල් පෙන්වා දී තියනවා.

දැන් අර විකල්ප කෘෂිකර්මයට ආවොත්, ඕස්ට්‍රේලියාවේ පවා කාබනික කෘෂිකර්මයක් තියනවා. හැබැයි ඒවාත් ඉන්ටෙන්සිව් ඇග්‍රිකල්චර්. ඒ කියන්නේ යන්ත්‍ර සුත්‍ර භාවිතාවෙන් කෙරෙන සුක්ෂම එකක්. නැතුව ඔවුන්ට මේ රටේ පැවැත්මක් නැහැ. තුන් වන ලෝකයේ රටවල් වලත් විකල්ප හා සම්ප්‍රදායික කෘෂිකර්මයක් ගැන කතා වෙනවා. මා අර කලින් කියපු ප්‍රශ්න වලට විසඳුම් යමෙක් හොයනවා නම්, එය හොඳ දෙයක් නේ.

මට තියන විශාල ප්‍රශ්නය නම්, මේ ඉදිරිපත් කරන විසඳුම් වලින් එක සක්සෙස් ස්ටෝරි එකක් පෙන්වන්න එයාලට පුළුවන්ද? ඒ කියන්නේ ආහාර නිෂ්පාදනය ඉහල දැමීම, ගොවියා දුප්පත්කමින් මුදවා ගැනීම, බහුජාතික සමාගම් වලට විකල්පයක් ඉදිරිපත් කිරීම, ජනතාවට අඩු මිලට ආහාර සැපයීම වගේ දේවල්. ලංකාව වැනි කුඩා රටක නොවේ, ඉන්දියාව වැනි රටක වත්.

තිරසාර නැත්නම් සිංහලයෙන් කියන පරිදි සස්ටෙනබල් කෘෂිකර්මය යනු, පරිසරය රැකීම විතරක් නොවේ, ජනතාවට අවශ්‍ය ආහාර නිපදවීමත්, ගොවියාට වඩා හොඳ ජිවන තත්වයක් අත්කර දීමත්, රටේ ජනතාවට ගන්න පුළුවන් මුදලට ආහාර නිපදවීමත්, පස හා පරිසරය වගාවට හිතකර අයුරින් පවත්වා ගැනීමත් ඉන් කිහිපයක්.

අප කියනවනේ බටහිර බහුජාතික සමාගම්, දියුණු වෙමින් පවතින රටවල ගොවියා දුප්පත්කමට දාල කියල. ඒ අතරේම බටහිරින් එන මුදල් වලින් ප්‍රමෝට් කරන මේ විකල්ප කෘෂිකර්මය ගැනත් මට නම් මහා සැක සාංකාවන් තියනවා. මොකද කියනවා නම්, මෙයිනුත් ඇත්තටම කරන්නේ බටහිර කෘෂි වෙළඳපොල තවත් ව්‍යාප්ත කිරීම පමණයි.

මා පුවත් පතකින් ගන්නා ළද පහත ප්‍රකාශය ගන්න (ඇමුණුම සටහන අග); It is argued that natural farming, though good cannot feed the increased population in Sri Lanka and in the world. Is this true? Mankind has a history of around 250,000 years while the history of agriculture is around 10,000 years only. So, human beings could find their food sufficiently from nature. One may argue that Human population then was lower, even if this was true there were many more animals and plants then which were also fed by nature.

හරි ලස්සන කතාවක්. ඒ වගේම සරලයි. තේරුම් ගන්න අමාරුවක් නැහැ. මා වෙන විදිහකට පටන් ගන්නම්. හෝමෝ සාපියන්ස් කියන මනුෂ්‍ය විශේෂය ලෝකයේ වසර ලක්ෂයක් පමණ කාලයක සිට ජිවත් වෙනවා යයි සිතනවා. මොවුන් හැර සිටිය අනෙක් මානවයන් මෙයට වසර 25000-30000 කට අතර කාලයකදී මෙලොවින් සම්පුර්ණයෙන් තුරන් වුණා. ලෝකයේ මනුෂ්‍යය (හෝමෝ සාපියන්ස් සාපියන්ස්) ජනගහනය බිලියනයකට ලඟා වුණේ වසර 1800 දී පමණ. ඒ මිනිසාගේ කෘෂිකාර්මික හිමිදිරියෙන් වසර 12000කට පමණ පසුව.

අර බිලියනයට ලඟා වී, අවසන් වසර 200 තුලදී සිදුවුණ ජනගහනයේ දර්ශීය වර්ධනය (exponential growth) නිසා අද වන විට ලෝක ජනගහනය බිලියන 7 කට වැඩියි. ඔව්, බිලියන හත ඉක්මවා යනවා. මිනිසුන් බිලියන හතක් කියන්නේ සුළුපටු ගණනක් නොවේ. පසුගිය අර්ධ ශතකය තුල මිනිස් ජනගහනය දෙගුණ වුණා. ඒ වගේම ආහාර නිෂ්පාදනයත් මේ වසර පනහ තුලදී වැඩි වුණා. අහර හිඟකමින් සිටිය ජනතාව මේ වසර පනහ තුලදී අඩු වුණා. උදාහරණයකට 1960 දී ආහාර හිඟ කමින් පෙළුන 60% ක ජනතාව, 2010 වන විට 15% දක්වා අඩු වුණා.

හැබැයි අදත් බිලියනයක් ජනතාව ප්‍රමාණවත් තරම් ආහාර ලබන්නේ නැහැ. බිලියන දෙකක් ජනතාව ක්ෂුද්‍ර පෝෂක ඌණතා වලින් පෙළෙනවා. මෙය කියන්නේ අපේ ආහාර නිෂ්පාදනය තාමත් ප්‍රමාණවත් නැතිය කියල.

මිනිස් ජනගහණ වර්ධන වේගය උපරිමයට ලඟා වුණේ 1960 ගණන් වල. හැබැයි අදත් මිනිස් ජනගහනය වැඩි වෙමින් පවතිනවා. මේ ශතවර්ෂයේ මැද වන විට බිලියන 9කට ලඟා වන මිනිස් ජනගහනය එයින් පසු වර්ධනය සමතලා වනු ඇතැයි ගණන් බලා තියනවා. දැනටත් දියුණු යයි කියන රටවල් වල ජනගහන වර්ධන වේගය අඩුයි. ඥාන-අසාර අයියල විතරයි, දියුණු වෙමින් පවතින රටවල ඉන්න අධික ජන ඝනත්වය මදි, තව පැටවූ ගහපල්ලා කියා කියන්නේ. ඔව් නිකං ලැබෙන දේ කාල, කිසිම වැඩක් නොකර, මොලේ නොවෙහෙසවා ඉන්න කොට පැටවූ හදල පාරට දාන්න බැරියෑ හිඟා කන්න.

ජනගහන වර්ධන වේගය අඩු වීමත් සමග, මිනිසුන්ගේ අතේ හැකියාව වැඩි වනු ඇතැයි සිතනවා. ඒ කියන්නේ ආහාර සඳහා ඇති ඉල්ලුම තවත් ඉහල යාවි. එහෙම වුනොත් ඒකීය පුද්ගලයෙක් පරිභෝජනය කරන අහර ප්‍රමාණය සපුරන්න වසර 2005 සහ 2050 තුලදී කෘෂිකාර්මික නිෂ්පාදන දැනට වඩා දෙගුණයකින් වැඩි කරන්නට ඕනේ. තමන්ගේ රටවල් ඇතුලෙත්, තමනුත් සරල දිවියක් ගත කරන්න උත්සහ ගන්න එක වෙනම කරුණක්. ඒ මධ්‍යම පන්තියනේ. අර දැනටත් ආහාර අඩුවෙන් ලබන කට්ටියගේ පෝෂණ අවශ්‍යතා සපුරන්න අවශ්‍යයි. මොකද, ඔවුන් කොහොමත් ගත කරන්නේ අතින්-කටට දමා ගන්න ඉතා සරල දිවියක්.

මේ අතරේදී භෝග වල ජාන කිටුව අඩු වෙමින් යනවා. ඒ වගේම වගා කල හැකි ඉඩම් සංවර්ධන වැඩ වෙනුවෙන් අහිමි වෙමින් යනවා. තවත් භුමි ප්‍රමාණයක් ආම්ලිකතාවය, ලවණතාවය, පෝෂක හීනකම නිසා අහිමි වෙනවා. හරිතාගාර වායු නිෂ්පාදනය වැඩි කෙරෙන නිසා නව බිම් වගාවන් වලට යොදා ගැනීම, එන්න එන්න ප්‍රශ්නකාරියි. ඒ වගේම ජලය හිඟකම ප්‍රධාන ප්‍රශ්නයක්. පාංශු ඛාදනය, පෝෂක පහලට ගලා යාම වගේ දේවල් වලට විසඳුම් අවශ්‍යයි. කොරේ පිටට මරේ කියුවා වගේ, දේශගුණ වෙනස්වීම හා උෂ්ණත්වය ඉහල යාම නිසා කෘෂි නිෂ්පාදන වල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න හැකියි.

ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසා ජිවත් වුනේ පරිසරය සමග තමා. සතෙක් එලාගෙන, නැත්නම් ගඩාගෙඩියක් කඩාගෙන කනවා, මලපහ කරන්නෙත් ඒ පරිසරයේ. මැරුන විට නිකම්ම පසට එකතු වෙනවා. මිනිසුන් හිටියේ ටිකයි. ඒ අයත් ජීවත් වුනේ කෙටි කාලයයි. සතුනුත් හිටියා තමයි. මිනිසුන් වගේම, නමුත් ඔවුනුත් ඉතා සීග්‍රයෙන් ප්‍රතිචක්‍රීකරණය වුණා. අද වගේ නගර, කර්මාන්තශාලා තිබුනේ නැහැ. සරම් ඇන්දේ නැහැ. සෙරෙප්පු, සපත්තු දැම්මේ නැහැ. ගෙවල් දොරවල් හැදුවේ නැහැ. කොන්ඩම් පාවිච්චි කලේ නැහැ. ගෙවල් වල විදුලි බලය තිබුනේ නැහැ. බ්ලොග් ලියුවේ නැහැ. ඇත්තටම මේ සේරම වෙනස් වුණේ, අප එක තැනකට වෙලා ගොවිතැන් කරන්නට ගත්ත පසු. එදා ඉඳන් අප ගස්-වැල්, පස හා පරිසරය වෙනස් කෙරුවා අපට අවශ්‍ය ආහාර නිපදවා ගැනීමට. ජනගහනය දර්ශීයව වර්ධනය ආරම්භ වුනේ එයින් පසුව. ඒ වගේම කල්පනා කරන්න විවේක කාලය ලැබුනේ දවස තිස්සේ දඩයමින් ගත කරපු ජිවිතයට තිත තිබ්බට පසුව.

අද අප බිලියන හතක් ඉන්නවා. අප ගොවි බිමෙන් ඉවත් කරන කොන්ඩම්, තේ, හාල්, සපත්තු සෙරෙප්පු, ඇඳුම්, ආහාර, ගෘහ භාණ්ඩ, පොත් පත් යනාදී දේවල් යලි ගොවි බිම වෙත යන්නේ නැහැ. එතකොට පසෙන් ඉවත් වන පෝෂක යලි පසට ලබා දෙන්නේ කොහොමද? ඒ අතරම දැනටත් අඩුවෙන් ආහාර ලබන බිලියනයක් වගේ ජනතාවට අවශ්‍ය ආහාර මිලට ගන්න පුළුවන් විදිහට නිෂ්පාදනය කරන්නේ කොහොමද?

එදා කොන්ඩම් පාවිච්චියත් නැතුව ජනගහන වර්ධනය පාලනය වුණා. මොකද ළදරු මරණ වැඩියි. මිනිසාගේ ආයු කාලය අඩුයි. ප්‍රතිශක්තිය නැහැ. කොටිය කනවා. හරියට කන්න තරම් ආහාර නැහැ. වසංගත-සාගත වැඩියි. මේ සියල්ල අප අතික්‍රමණය කෙරුවා. අද “විෂ සහිත ආහාර” හා අපේ අනෙක් සොයා ගැනීම් නිසා මිනිසාගේ ආයු කාලය වෙන කවරදාට වත් වඩා වැඩි වෙලා තියනවා. විශේෂයෙන් බටහිර රටවල, මහලු ජනගහනය වැඩිවීම ඇත්තටම ප්‍රශ්නයක්. වසර 250 000 කට කලින් මිනිසුන් හා සතුන් පරිසරයේ තියන දේවල් විතරක් කාල ජිවත් වුණා නම්, අදත් අපට බැරි මොකද කියල ප්‍රශ්න කිරීම මහා බොළඳ දෙයක්.

ඉස්සර ජිවත් වුන කුඩා ජනගහනය පරිසරයෙන් සප්පායම් වුණා කියන එකත්, අද ලෝකයේ ඉන්න බිලියන හතක පිරිසට කන්න ආහාර නිෂ්පාදනය කරනවා කියන්නෙත් දෙකක්. මේ කාලය තුල සිදුවුණ වෙනස් වීම් ගණනාවක් තියනවා. ඉස්සර ජිවත් වෙච්ච හැටියට යනවා කියන්නේ මේ ගෙවල් දොරවල් පවා කැලේට අරින්න වෙනවා. නැත්නම් ජනගහනයෙන් විශාල පිරිසක් හාමතේ මැරෙන්න ඉඩ දෙන්න වෙනවා. මේ අග හා මුල ගැලපෙන්නේ නැති කතා.

දියුණු වෙමින් පවතින රටවලට විකල්ප කෘෂිකර්මයක් සඳහා, දැනට දියුණු යයි කියන රටවල් වලින් එන ප්‍රතිපාදන හා නොයෙකුත් සම්මාන ගැන ඔබට මොකද හිතෙන්නේ? බටහිර පහසු ජිවිත ගත කරන මධ්‍යම පාන්තිකයන්, (ඔය ග්‍රීන් පීස්ලා ඇතුළුව) තමන්ගේ රටවල් වල නැති සම්ප්‍රදායික දිවියක් මේ දියුණු වෙමින් පවතින රටවල ස්ථාපනය කරන්නට දත කන්නේ ඇයි කියා ඔබ මොහොතකට සිතුවද? ඒ විතරක් නොවේ, මේ රටවල් වල පවතින ඇත්තම දරිද්‍රතාවය ගැන මේ අයියලට එතරම් වැටහීමක් නැහැ. ඔවුනගේ ජිවිත මහා අමාරු ඒවා නොවේ.

ලෙනින් පවා තරුණයන්ට දුන්න අවවාදය මොකක්ද දන්නවද? ඉගෙන ගන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න කියල.

(සංඛ්‍යා සහ වෙනත් දත්ත Science සඟරාවෙන් හා මගේ මතකයෙන්).

http://www.dailymirror.lk/opinion/172-opinion/52143-poisoned-agriculture-will-slowly-kill-the-world.html

ලංකාව වැනි අධික ජනඝනත්වයක් සහිත රටක ජිවත් වෙමින්, හීනටි වී වගා හා සම්ප්‍රදායික කෘෂිකර්මයක් ගැන සිහින මතවාද පතුරවමින් ජිවත් වන්නන්ට, කියවන්නට හොඳ විශ්ලේෂණයක්.

50,000 tonnes rice export to Sri Lanka

Advertisements

2 Comments

Filed under Agriculture, Careers/Employments, Education, Energy, Food, Lifestyle, Media, Opinion, Politics, Research & Development, Social

2 responses to “Poisoned minds? අයාලේ යන සිතිවිලි!

  1. පරමාදර්ශ හැටියට sustainable energy, sustainable agriculture කියන අදහස් දෙකටම මම සෑහෙන sympathetic. ඒත් ඔය දෙකම කතා කරල උදවිය ගොදක් දෙනෙක් ඉන්නෙ යතාර්ථයෙන් බැහැර වුනු හීන ලෝක වල. පීක් ටයිම් එකකවත් අනවශ්‍ය ලයිට් එකක් නිවන්න තරම් කැප කිරීමක් කරන්න බැරි එකාත් (විශේෂයෙන් ම බිල ගෙවන්නෙ වෙන කවුරුවත් නම්) කතා කරන්නෙ “මොකටද මේ ඩීසල් ගල් අඟුරු, මෙච්චර හුලං ඉර එලිය තියෙද්දි” කියලා. තියන තාක්ෂනයෙන්, තියන ආර්ථිකයෙන් ඒක කරන්න බැරි බව තේරුම් ගන්නෙ නෑ.

    අනික් ආතල් එක තියෙන්නෙ, මේක කරන්න පුලුවන් කියන අය්යලාත් හැමදාම ටෝක් දෙනවා මිසක් ඒක එතනින් එහාට අරන් යන බවක් පේන්න නෑ. මේ කියන කතා ඇත්ත නම්, මේව සල්ලි ආකර. ඉතින් හැමදාම ඔය විදුසර ක්‍රවුඩ් එකේ ගැලරි අත්පුඩි වලට කියනවට වඩා හොඳයි එක බිස්නස් කාරයෙක් කන්වින්ස් කරන්න බලන එක. එහෙම නොකරන්නෙ ඇයි කියන දේ හිතන කොට හිතෙනවා මේ කතා කියන අයත් හිත යටින් වත් දන්නවා ද කියල කියන තරම් වැඩේ ලේසි නැති බව. මාද්‍ය වල දෙන කතා හෝ ක්ලේම් වලින් පිට ඇත්ත ඉලක්කම් පෙන්වන්න බැරි වීමත්, සීරියස් ඇක්ෂන් එකක් ගන්න ලේස්ති නැති කමත් pseudoscience හඳුනා ගන්න හොඳ ක්ලූ දෙකක්.

    මම සෑහෙන්න කැමති බ්ලොග් එකක් ජානක ගෙ බ්ලොග් එක, ඒකෙත් මේ මාතෘකාව යටතෙම ලිපියක් ගියා, කරුමෙට ඒකෙත් තිබුනෙ anecdotal evidence ටිකක් එක්ක සීරියස් කතා නොකරපු උත්තර නැති ප්‍රශ්න ටිකක් විතරයි. උදාහරනයක් හැටියට ගේබ් බ්‍රවුන් අඩු වියදමකින් වැඩි පලදාවක් ගන්නව නම් අවුරුදු දෙක තුනකින් මුලු ඇමරිකාවම ඕක නොකරන්නෙ ඇයි කියන එක. වාදෙකට යන්න මට වෙලාවක් තිබුනෙ නෑ.

    • ඔබගේ ප්‍රතිචාරයේ තියන ලින්ක් නිසා අනුමැතිය බලාපොරොත්තු ගොඩට මෙය ගොස් තිබුණා. ව්‍යාජ විද්‍යාව නැත්නම් නාථගේ විද්‍යාව ප්‍රචාරය කරන අයියල-මල්ලිලා සේරම එක්කෝ මානසික අසමතුලිතතා ඇති අය, නැත්නම් කම්බ හොරුන්, නැත්නම් මේ දෙකම.

      මෙය ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්. පහසු ජිවිත ගෙවන පිරිස් ඉදිරිපත් කරන “හාන්සි පුටු විසඳුම්” මගින් එයාලගේ ජීවිකාව නම් සරි කර ගන්නවා. නමුත් රටක ප්‍රශ්න මේවා මගින් යට යනවා. මිනිසුන් සම්බලයි බතුයි කකා මේවට හුරේ දානවා.

      ඇත්තටම ඇනෝ, තිරසාර කෘෂිකර්මයක් හා බලශක්ති ජනනයක් කරා යන්නේ මේ බටහිර සමාජම තමා. අර ප්ලාස්ටික් වලින් දුවන වාහන, තැඹිලි වතුරෙන් දුවන වාහන, වතුරෙන් දුවන වාහන, ඕවා ලංකාවේ මෝඩ ආතල්. මෙයට වසර ගණනාවකට පෙර ඔය කළුතර පැත්තේ බුවෙක්, ඉවතලන ප්ලාස්ටික් වලින් තමන්ගේ මොටර් සයිකලය දුවන්න පුළුවන් කියා ලොකු කයියක් ගැහුවා. ඔව්, දුවන්න පුළුවන්. ප්ලාස්ටික් කියන්නෙත් හයිඩ්රෝකාබන නේ. වැඩේ තියෙන්නේ මේ වගේ මහා පරිමාණ කර්මාන්ත ශාලාවකින්, මේවයින් ඉන්දන හදල ලීටරයක් කොතරම් මිලකට විකුණන්න පුලුවන්ද, තිරසාරව පවත්වාගෙන යන්න ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය කොහෙන්ද හොයා ගන්නේ කියන එක.

      මේ ජපුරේ පොරක්. නරක නැහැ. අලුත්ම නොවුනත් සොයා ගැනීම් කරන්න දන්නවා. නමුත් තාර්කික ඥාණය නැහැ.

      ලංකාවේ කෙරෙන කෘෂිකර්මය කියන්නේ බටහිර කෘෂිකර්මයක් නොවේ. මෙය අපම හදා ගත්තු එකක්. රසායනික අපහරණය කරමින්, වස විස කමින් අප බටහිර සමාගම් වලට බනිමින් කල් යවනවා. දැන් මේ රසායනිකවම භාවිතා කරන මෙහෙ නිෂ්පාදනය කරන දේවල් කන මිනිසුන්ටත් එහෙම නම් ලෙඩ හැදිලා අඩු වයසින් මැරෙන්න වෙන්න ඕනෙනේ. නැහැ, එන්න එන්නම මහලු ජනගහණය වැඩි වෙනවා.

      ගෙදර ලබු වැලක් වවන එකත්, දිගින් දිගටම පෝෂක භූමියෙන් ඉවත් වන, ගොවිපොලක ලබු වවන එකත් දෙකක්. මේ ගොන් කතා කියන්නේ කෘෂිකර්මයක් හෝ වෙනකර්මයක් හරියට උගත් පිරිසක් නොවේ ඇනෝ. මෙවැනි මිනිසුන් වැඩිපුර සිටීම රටක කරුමයක්.

      ඔබ හරි. අඩු වියදමකින් වැඩි පලදාවක් ගන්න තමා හැමෝම ට්‍රයි කරන්නේ. විශේෂයෙන් මෙහෙ ගොවීන්. ගොන්නු වගේ පුළුවන් තරම් පොහොර-බෙහෙත් ගහන්න යන්නේ නැහැ. මා මෙය මෙයට කලින් කතා කෙරුවා. අපේ අයියල වැඩි පලදා කියල පුළුවන් තරම් තෙල්-බෙහෙත් ගහල වස විස බෙදනවා. අන්තිමට “වැඩි පලදා” එන්නේ කාපු අයගේ ඇඟවල් වල. ව්‍යාජ විද්‍යාකාරයින් (නාථ-අනාථයන්), කොම්පියුටර් ඉස්සර ඉඳන් සිහින මවනවා. ඒ අතරේ බටහිර ගොවියා අදට වඩා අඩුවෙන් පොහොර, බෙහෙත් හා වතුර යොදා ගොවිතැන් කරන්න ක්‍රම හොයමින්, තමන්ගේ වැඩි අස්වැන්න අර රටවල් වලට විකුණනවා.

      ඔබ අර කියන කතාව ඇත්ත. අප කවුරුන්ද සස්ටේනබල් ජිවිත ගත කරන්නේ? අතින් යනවා නම් විතරයි සේරම සකසුරුවම්.

      (වෙන වැඩක් අතරතුරේ ලියුවේ. ගලායාමේ අඩුවක් ඇතොත් කමන්න.)

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s