Monthly Archives: November 2014

Caged Minds! සිරවූ මනස්! (5)


අප කවුරුත් දන්නවනේ වයි ෆයි කියන තාක්ෂනය. නුතන සන්නිවේදනයේ දැවැන්ත පෙරලියක් සිදු කරපු සොයා ගැනීමක්. මෙයට මුලික වුන පර්යේෂණය කෙරුවේ ලෝකේ කොහෙද? කවුද? වයි-ෆයි නම් භාවිතා කරනවා, නමුත් ගොඩක් වෙලාවට අප දන්නෙත් නැහැ. වයි ෆයි තාක්ෂණයට අදාළ සොයා ගැනීම් කෙරුවේ මහජන මුදලින් නඩත්තු වෙන පර්යේෂණ ආයතනයක, ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක්.

විද්‍යා පර්යේෂණ වලින් ලැබෙන ප්‍රතිලාභ වලට දේශ සීමා නැතිය කියන එකට හොඳම උදාහරණයක් තමා මේ. මෙහි නරක පැත්ත තමා, ආයෝජකයාට (මෙතැනදී නම් ඕස්ට්‍රේලියානු ජනතාවට) සමහර විට නැවත ලැබීම් එන්නේ නැහැ. ඒ කියන්නේ දන්නා සිංහලෙන් කියනවා නම් the appropriability of basic research is very low (හැබැයි, වයි ෆයි තාක්ෂණයෙන් වැඩිපුර ප්‍රයෝජන ගත්තු ඇමෙරිකානු සමාගම් සමග කියුව නඩුවෙන්, 2012 වසරේ අර ඕස්ට්‍රේලියානු පර්යේෂණ ආයතනය දිනුවා).

මුලික විද්‍යා පර්යේෂණ වලින් ගොඩක් වෙලාවට අපට “දකින්න” පුළුවන් අන්දමේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එහෙම ප්‍රතිඵල වලට යන්න මේවා ව්‍යවහාරික පර්යේෂණ දක්වා ඇදගෙන යා යුතුයි. ඔය ඒකීය පුද්ගලයන්/සමාගම් බොහෝ විට මුදල් යොදවන්නේ එවැනි ඒවාට විතරයි. මොකද ආයෝජන වල ඉක්මන් නැවත ලැබීම් (ROI) ඕනේ. හැබැයි මුලික පර්යේෂණ නොමැතිව මොකුත් කරන්න බැහැ.

සමාජයේ ප්‍රමුඛතා මොනවාද කියා බහුතර කැමැත්තෙන් තීරණය කර, එවැනි ක්ෂේත්‍ර වල පර්යේෂකයන්ට විසඳුම් සොයා ගැනීම සඳහා මහජන මුදල් යෙදවීම නරක දෙයක් නොවේ. මේ කියන ඒකීය පුද්ගලයන්ගේ ලෝකය අඳුරේ ඉන්න කළු බළලුන්ගේ ලෝකයක්. මොකද කියනවා නම්, ඇත්තටම එහෙම සමාජයක ඔය කියන ඒකීය පුද්ගලයා වෙනුවෙන් තීරණ ගන්නේ කොහොමත් වෙනත් පිරිස්. මා කියන මේ අද තියන ලෝකයේත් තීරණ ගන්නේ වෙනත් පිරිස් තමා. නමුත්, මෙහිදී යන්තමින් හෝ පොදු යහපත සලකා බලනවා.

මිනිසා මුහුණ දෙන තවම විසඳුම් නොමැති සෞඛ්‍යය ප්‍රශ්න උදාහරණයට ගනිමු. මේවාට විසඳුම් සෙවීම අර ඒකීය පුද්ගලයාට ලාභ ගන්න පුළුවන් වන අවස්තාව වෙනකම් අප බලා ඉන්න ඕනෙද? ඇත්තටම මේ බටහිර ලෝකයේත් සියල්ල වන්නේ මේ කියන ඒකීය පුද්ගල වෙළඳ පොළ අනුවද? මෙන්න බලන්න;

Science Magazine

ඉහතින් තියෙන්නේ ඇමෙරිකාව පර්යේෂණ හා සංවර්ධන වැඩ (R&D) සඳහා දශක කිහිපයක් තිස්සේ වියදම් කළ මුදල දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස හා එලෙස වියදම් කළ මුළු මුදල, ඒවායේ ප්‍රභවයන් සමග; එනම් මහජන මුදල්ද, පෞද්ගලික හෝ වෙනත් ආයෝජනද කියන එක.

ඔබට පෙනෙනවා ඇතිනේ මේවට යොදා තියන මහජන මුදල් ප්‍රමාණය හා එහි සංසන්දනාත්මක අගය. වැඩේ තියෙන්නේ මෙයම නොවේ. මූලික විද්‍යා පර්යේෂණ සඳහා වැය කරපු මුදල් ප්‍රමාණයයි. සාමාන්‍ය ගණන් බැලීම් අනුව මූලික විද්‍යා පර්යේෂණ වලින් නැවත ලැබීම (ROI) වසරකට 20% සිට 60% දක්වා පරාසයක විහිදෙනවා.

පහතින් තියෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය දශක ගාණක් තිස්සේ එවැනි පර්යේෂණ වලට වියදම් කරපු මුදල. මෙහි මහජන මුදල් දායකත්වය පෙනෙනවානේ. එතැනදී අර කර්මාන්ත වල නැත්නම් පෞද්ගලික අංශයේ දායකත්වයේ කුඩා බව පැහැදිලිව කැපී පෙනෙනවා.

Science Magazine

අර වයි ෆයි වගේම මෙම මුලික පර්යේෂණ වලට යොදවපු මුදල් නිසා, මනුෂ්‍යන්ට අවශ්‍ය බෙහෙත්, ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, ආයුධ, භෝග හා වෙනත් මෙකී නොකී තවත් නිෂ්පාදන වලට පාර කපන්නත් ඇති. සමහර එවැනි මූලික පර්යේෂණ වලින්, එවැනි අපට ස්පර්ශ කරන්න පුළුවන් ප්‍රතිඵලයක් නොලබන්නත් ඇති. නමුත් අප මනුෂ්‍යයන් වශයෙන් 1970 වඩා ඉදිරියෙන් ඉන්නේ මෙවැනි පර්යේෂණ නිසාමයි.

බලන්න, එදා හා අපේ ළදරු මරණ අනුපාතිකය අඩු වෙලා තියන හැටි. බලන්න, අප කොතරම් රෝග වලට ප්‍රතිකාර සොයා ගෙන තියනවද, එදා හා සංසන්දනය කරන විට. සන්නිවේදන කටයුතු කොතරම් දියුණුද? එක්දහස් නවසිය හැත්තෑවේ මට බ්ලොග් ලියන්න පුළුවන් කම තිබුනද? (නැහැ, මොකද මා කුඩා දරුවෙක් නිසා). මේ ලැයිස්තුව අපට දික් කර ගන්න පුළුවන් (මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ සියලු යහපත් ප්‍රතිඵල එකසේ බෙදී නොයාම ගැන මා ලියන්නේ නැහැ).

ඇමෙරිකාව ඇබෝලා වලට ප්‍රතිකර්මයක් සොයා දෙන්නේ නැත්තේ එය අප්‍රිකාවේ හැදුන නිසා කියල බෑඟීරී ගැන පිරිස් විස්තර නොකරන කරුණු දෙකක් මා කියන්නනම්. මේ අප්‍රිකානු රටවල් වල තියන සම්පත් වලින් සොයා ගන්න මහා ධනස්කන්ධයන්, එම රටවල තියන ප්‍රශ්න විසඳීමට ශතයක් හෝ නොදැමීම ගැන ඔබ හිතුවාද? (ලංකාවේ ණයට ගන්නා ධනස්කන්දයෙන් වැඩි කොටස යන්නේ කොහෙද කියා, ඔය ලස්සන මංමාවත් වල ඇවිදින විට සිතන්න).

අනෙක තමා මෙවැනි ප්‍රශ්නයකට විසදුම් සෙවීම එක රැයකින් කරන්නට හැකි දෙයක් නොවේ. අද විද්‍යාගාරයක් හදලා, හෙට එන්නත් සොයන්න බැහැ. විද්‍යා පර්යේෂණ යනු අනවරත ක්‍රියාවලියක්. වැඩක් ඇතුව හෝ නැතුව මූලික විද්‍යා පරයේෂණ ක්‍රියාවලිය අඛණ්ඩ ආයෝජන මගින් පවත්වාගෙන යන්නට ඕනේ. ඇබෝලා වලට එන්නතක් සොයා ගන්නවා නම්, එය මෙතෙක් ගෙන ආ වසර ගණනාවක පර්යේෂණ ක්‍රියාවලියක එක කොටසක් පමණයි.

නව්‍ය නිෂ්පාදන සඳහා හොඳම පරිසරය නිදහස් වෙළඳ පොළයි. හැබැයි ඒකීය පුතේ, මෙහිදී ප්‍රතිශක්තිකරණ බෙහෙත් වැනි නිෂ්පාදන විශේෂ තත්වයකට මුහුණ දෙනවා.

“Whatever you think of free markets, it’s hard to deny that they create powerful forces for innovation. Profit encourages investment in new technologies and products, while competition ensures that they keep coming#”.

“But not always. Consider antibiotics. A successful antibiotic drives its own obsolescence:the more of you sell, the more bacteria resist it. You can’t improve sales through marketing, for fear of encouraging overuse, which also promotes resistance”.#

මේකට විසඳුම කුමක්ද?

මතු සම්බන්දයි!

තනි මංසල මට ඔබ මුණ හැහෙනු නොහේ-වපරැස් බැල්මට පිවිතුරු ලෝකය නොපෙනේ!
සුනිල් ආරියරත්න ලියා අබේවර්ධන-ඉන්ද්‍රානි ගයන මේ ගීතයේ සංගීතය වික්ටර් රත්නායකගෙන්. මා කලින් ලියා ඇති පරිදි අබේවර්ධන කියන්නේ මා කැමතිම ගායකයෙක්. මේ මා කැමති ගීතයක්.

මුලාශ්‍ර:
What’s So Special About Science (And How Much Should We Spend on it?), William H. Press, Science Vol 342 15 November, 2013.
#Anti-resistance movement, New Scientist, 24 May 2014
සහ මතකයන්.

පලි
මල්මිට එපා වුණත් මෙයත් ලියන්න අවශ්‍යයි. කියවන පිරිසක් නැති මේ සටහන් කොතරම් දුරට විස්තර ඇතුලත් කරන්න අවශ්‍යද කියා මට සමහර විට ගැටලුවක්. උපුටා ගන්න දේවල් ඉංගිරිසි වලින් දමන එකට වඩා පරිවර්තනය හොඳද? මුල් භාෂාවෙන් දමන්නේ මගේ පහසුවටයි. කියවන අයෙක් ඉන්නවා නම් මට ලියන්න. කෝ මේ නිකං හෝ ඇනයා හෝ? දැන් පැත්ත පලාතක එන්නේ නැත්ද? 🙂

කලින් ලියපු සටහන්

අස්වැද්දූ මනස්?

7 Comments

Filed under Education, Opinion, Research & Development