කාර් එකෙන් බාර් එකට ඇවිත් සූර් වන “connoisseurs” ලා!


මා කලින් ලියපු මිරිස් වල දිවට දැනෙන සැර හා අබ වල ඇති නාසය කඩා ගෙන යන සැරට හේතු වන කරුණු ගැන සඳහන් සටහන් දෙකට කියවපු අය දමපු ප්‍රතිචාර වලින් පෙනුණේ කන බොන දේවල් යටින් දිවෙන කරුණු ගැනත් දැන ගන්නට අපේ තියන ආසාවයි.

මිරිස් හා අබ කියන්නේ කුළු බඩු දෙවර්ගයක් නේ. අපේ කුළු බඩු පාවිච්චිය ඈත අතීතයට යන දෙයක්. හැබැයි අද මා ලියන්නේ එයිටත් ඈත අතීතයට යන තවත් දෙයක් ගැන. ආහාර (පාන වර්ගත් ආහාරයි) වර්ගයක් නොවන නමුත්, මනුෂ්‍යයාට ඇතුවත් බැරි, නැතුවත් බැරි තව දෙයක් තමා මධ්‍යසාර.

මෑතක් වන තුරු රුසියාවේ බීර වැටුනේ (නීතියෙන්ම) ආහාර කාණ්ඩය යටතට. මෙයට වසර දෙක තුනකට පෙර ඔවුන් එම නිතිය වෙනස් කළා. මොකද ආහාරයක් ගත්ත කියල රියදුරන්ට දඬුවම් කරන්න බැරි නිසා ද කොහෙද. ඒ ගැන මට හරියට මතක නැහැ.

සමහර පිරිස් දෙකක් නවාගෙන බ්ලොග් වල කොමෙන්ටු දාන්නේ මහත් ආවේගශීලිව. මේවායින් සමහර කොමෙන්ටු උදේට මකන අයුරු අප කවුරුත් දැක තිබෙනවා.

ඒ වගේම තමා මෙහෙම කතා බහ. “මචං ඊයේ පොල් බෝතලේ වැඩේ යද්දී ඉවර වුණා, කරන්න දෙයක් තිබුනේ නැහැ. කොට කෑල්ලකට තිබුනේ ගල්. දෙකම අරන් අද ඔළුවට හරිම අමාරුයි බං”.

දැන් මේ මත්පැන් (මෙහෙම කියන එක හොඳ නැහැ කියල ඔය සමහර කට්ටිය කියනවා. මේක ගිනි වතුර වැනි නමකින් හඳුන්වන්න ඕනේ කියල එයාල යෝජනා කරනවා) ගත්තු විට අර වගේ ආවේගශීලි වන්නේ ඇයි? ඒ වගේම සමහර මත්පැන් වර්ග වලින් අනෙක්වාට වඩා උදේට තදට hangovers හැදෙන්නේ ඇයි? කලවම් වුනහම වැඩේ තවත් අමාරු ඇයි? මෙවැනි “සරල ප්‍රශ්න” වලට පිළිතුරු සොයමු.

වසර 1975 දී කරපු අධ්‍යයනයක දී පිරිමි ශිෂ්‍යයන් 40 ගෙන් කොටසකට බර්බන් කියන විස්කි වර්ගයත්, තව කොටසකට වොද්කත් බොන්න දීල, විදුලි සැර වැද්දීමෙන් එයාලව කුපිත කෙරුවා. අර වොද්කා බීපු කට්ටිය තමා වඩාත් කලහකාරී ප්‍රතික්‍රියාවක් දැක්වුයේ.

විවිධ ක්‍රම ඔස්සේ “පෙරන” මධ්‍යසාර වලින් ගෙනෙන විවිධ “මත” වල් රඳා පවතින්නේ ඇත්තටම මධ්‍යසාර නැත්නම් එතනෝල් මතම නොවේ. ඒවායේ අඩංගු කොන්ජෙනර්ස් (congeners) නිසා. මේ කොන්ජෙනර්ස් එකතු වන්නේ පැසීමේ ක්‍රියාවලියට යොදා ගන්න ශාක කොටස් (රා, වී, තිරිඟු, බාර්ලි) වලින් හෝ පැසීමේ ක්‍රියාවලියේ අනෙකුත් ක්‍රියා මගින් එකතු වන අමතර ඵලයන් ලෙස. උදාහරණයකට හල්මිල්ල පීප්ප වල පැසීමේ ක්‍රියාවලියේදී එම ලීයෙන් එකතු වන අතුරුඵල. කසිප්පු පෙරිමේදී කටු කම්බි, ගෙම්බන් වැනි දේවල් වලින් එකතු වන අතුරු ඵල.

මේවායින් සමහරක් ඇත්තටම විශ වර්ග. මතට පමණක් නොවේ, පසුදා උදේ ඔලුවේ අමාරුවටත් ප්‍රධාන වැරදි කාරයා එතනෝල්. හැබැයි අනෙක් අතුරු ඵල අපේ ශරීර සෛල වල ක්‍රියාකාරිත්වයට භාදා පමුනවනවා.

දැන් බර්බන් වැනි විස්කි වර්ගයක තියන කොන්ජෙනර්ස් ප්‍රමාණය වැඩියි. වොද්කා (“හරි වොද්කා” මිසල් වල් ඒවා නොවේ) වල කිසිවක් නැහැ. වොද්කා බිවුවට උදේට “අමාරු නැත්තේ” අන්න ඒ නිසා.

මේ කොන්ජෙනර්ස් මත්පැන් වලින් “වෙරිවිම” ටත් බලපානවා. වසර 2009 දී පෘතුගාලයේ මියන් සමග කරපු පර්යේෂණයකින් රතු වයින් වල ඇති කොන්ජෙනර් වර්ගයක් වන පොලිෆිනොල් මගින්, එතනෝල් මගින් මොලයට ඇතිකරන බලපෑම (අංජබජල්) යම්තාක් දුරට අඩු කරනවා කියල පෙන්නුම් කරනවා. ඒ කියන්නේ නිකම් මධ්‍යසාර පොවපු මියන්ට වඩා, එම මධ්‍යසාර ප්‍රමාණයම තියන රතු වයින් පොවපු මියන්ට තමන්ගේ දිශානතිය තීරණය කිරීමට වැඩි හැකියාවක් පෙන්නුවා. හැබැයි මධ්‍යසාර වල තියන සිනි ප්‍රමාණය ඉහල නම්, මේ වාසිය නිශේධනය වෙනවා.

ජපානයේ මියන් සමග කරපු තවත් පර්යේෂණයකදී, ඕක් ගුදම් වලින් විස්කි වලට එකතු වන එක කොන්ජෙනරයක් මගින් “ඇල්කොහොල් ඩිහයිද්රොජෙනීස්” එන්සයිමය ක්‍රියා විරහිත කරනවා. මේ එන්සයිමය මගින් ලේ වල ඇති මධ්‍යසාර අනු බිඳ දමනවා. එහෙම නොවනවා කියන්නේ මද්‍යසාර ලේ වල වැඩි කලක් තිබීම. එනම් වෙරිමත වැඩි කාලයක් අල්ලා හිටීම. දැන් අවුරුදු 15-20 ක් පදම් කරපු විස්කි වර්ගයක් බිවුවොත්, අවුරුදු 5ක් පදම් කරපු එකකට වඩා වැඩි කලක් ඇඟේ තියනවා.

තව දෙයක් කැෆේන් එක්ක මධ්‍යසාර බිවුවහමත් “ඉක්මන් ප්‍රතිඵල” ගන්න පුළුවන්. තව දෙයක් තමා කැෆේන් අපව අවදියෙන් තබනවා. ඒ කියන්නේ වැඩිපුර බොන්න පුළුවන්. වැඩිපුර බොනවා කියන්නේ, වැඩිපුර වෙරි වීමයි.

ඔය කසිප්පු පෙරන විට නම් මියන් වැටෙන්නේ, ඔවුන් අර රා ගඳට ඉව අල්ලා ඇවිත්. මියන් පසු පස්සේ එළවන් එන ගැරඬින් ද කසිප්පු බූලි වලට වැටෙනවා. මොවුන් එකතු වීමෙන් ඇති හානියක් නැහැ.

හැබැයි, ජනප්‍රවාද වලට අනුව, තවත් අමතර දේවල් මේ පැසීමේ ක්‍රියාවලියට එකතු කරන්නේ, ඒවා පෙරන මිනිසුන්. කටු කම්බි, ගැමක්සෝන් වැනි දේවල් වලින් ස්නායු පද්ධතියට ඇති බලපෑම මොන වගේ දැයි පර්යේෂණ තියනවා ද මා දන්නේ නැහැ.

හිස් බඩට මධ්‍යසාර බිවුවහමත් වැඩි කලක් ශරීරයේ තිබෙනවා. හැබැයි කාන්තාවන්ට මෙතැනදී පොඩි වාසියක් තියනවා. එයාලගේ ශරීරයේ ප්‍රමාණයේ හැටියට අක්මාව විශාල නිසා, පිරිමින්ට වඩා ඉක්මනින් මධ්‍යසාර ඉවත් වීම සිදු වෙනවා.

බිම විතරක් නොවේ, බිම ගැන අපේ සංස්කෘතික ආකල්පත් වෙරිවිම හෝ නොවීමට බලපාන වග පර්යේෂණ කියනවා. ඒ කියන්නේ අපේ මනසේ ඇඳි තියන “චිත්‍රය” වෙරි වීමට බලපානවා. ශැම්පේන් සමග බැඳී තියෙන්නේ උත්සව අවස්ථා නිසා, එමගින් ප්‍රීතිජනක මානසික තත්වයක් ඇති කරනවා. ඒ වගේම අපේ වටා පිටාවේ ඉන්න අනෙක් අයත් අපේ වෙරි වීමට බලපානවා. අඩුවෙන් බිවුවත්, වෙරිවුන කට්ටියක් අතරදී වැඩියෙන් වෙරිවෙනවා යයි පර්යේෂණ කියනවා.

සංස්කෘතික කරුණු ගත්තහම, ආසියානු සංස්කෘතියේ මත්පැන් කියන්නේ මහා “දුශ්ෂිල” දෙයක්. ගොඩක් දෙනා, දෙකක් නවා ගත්තත් එය කරන්නේ හොරෙන්. හොරෙන් කරන නිසාම, ඉක්මනින් නවා ගන්නවා. මෙය එක අතෙකින් මධ්‍යසාර පානයේ නරකම අවස්තාවක් වන Binge drinking වලට මග පාදනවා. ඒ කියන්නේ ශරීරයට දරා ගන්න බැරි මධ්‍යසාර ප්‍රමාණයක් කෙටි කාලයක් තුල ගැනීම.

දැන් බලාගෙන ගියහම බිම කියන්නෙත්, බොන්න ඕනේ ප්‍රශ්නයක් කියා දෙකක් නවා ගන්න එපා. මධ්‍යසාර වල අහිතකර කරුණක් තමා ඇබ්බැහිය. ඇබ්බැහි වීම ඇත්තටම නරක දෙයක් නොවේ. නමුත් ලෝකේ තියන හැමදෙයක්ම ඇබ්බැහි වීමට හොඳ දේවල් යයි කියන්න බැහැ.

මේ තියෙන්නේ මා කලින් සටහනක දාපු කියමනක්. The desire to write grows with writing – Desiderius Erasmus. අන්න ඒකයි, මා කියන්නේ ඇබ්බැහි වීම නරකම දෙයක් නොවේ කියා. දැන් ලිවිම පමණක් නොවේ, ව්‍යායාම් කිරීම, උදෙන් නැගිටින එක, අයිස් ගහන්නේ නැතුව වැඩ කරන එක යනාදී මේ සේරටම යම් ඇබ්බැහිවිමක් අවශ්‍යයි. මේ දේවල් වල විලෝමය කියන්නෙත් ඇබ්බැහිවීම්.

මත්පැන්, මත්ද්‍රව්‍ය හා සිගරට් යනාදී දේවල් වලට අපගේ පොදු කැමැත්තෙන් සීමා පනවා තියෙන්නේ, මේවා සමස්තයක් ලෙස සමාජයට අහිතකර බලපෑමක් කරන නිසා. විශේෂයෙන් පාසල් දරුවන්ට. නමුත් වැඩිහිටියන් ලෙස මේවා තෝරා ගැනීමේ අවස්තාව ඇත්තේ අපටයි.

මා මෑතකදී කියෙව්වා, ඔය සමහර කළාකරුවන් වයස්ගතව “අසරණව” ඉන්න විට රජයේ (එනම් ජනතා) මුදල් යොදා ගෙවල් අරන් දීල, ජීවිකාව සලසන්න ඕනේ කියා යෝජනා කරනවා. පොදු යහපත වෙනුවෙන් මහජන මුදල් වැය කිරීම මා අපේක්ෂා කරන දෙයක්. නමුත් ජිවන විලාසිතා තේරීම් නිසා ජීවිතය වණ කර ගත්තු, කිසිම අයෙකුට මෙහෙම මහජන මුදල් වැය කරන්න අවශ්‍යය කියා මා විශ්වාස කරන්නේ නැහැ.

බටහිර වුනත්, බොහෝ කලාකරුවන් මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්පානයට ඇබ්බැහිවූවන් ලෙස අපට අහන්නට ලැබෙනවා. සමහරුන් ජීවිතය අකාලයේ නැති කර ගන්නවා. ඒ ඔවුන්ගේම මුදල් වලින්. මේවායින් ගැලවෙන්නටත් ඔවුනට අති සුඛෝපභෝගී සායන තිබෙනවා. සාමාන්‍ය ජනයාට පවා සමහර රටවල් වල මෙවැනි පුනරුත්ථාපන සේවා රජයෙන් සපයනවා.

නමුත් අන්තිමට තමන්ගේ ජීවිතය තීරණය කිරීමේ අයිතිය හා හැකියාව ඇත්තේ තමන් අතේම තමා. තරුණ කාලයේ හම්බ කරපු මුදල් වලින් කනමදයන් වගේ බිල නාස්ති කරලා, තටු කැඩුන කාලයේ රජයේ නිවාස, ආධාර මුදල් ඉල්ලීම එතරම් ගණන් ගන්න හැකි දෙයක් නොවේ. එවැනි ජිවිත ඛේදවාචකයයි කියන්න පුළුවන් වුවත්, මහජන මුදල් (ප්‍රශස්ත තත්ත්ව යටතේ වුවත්) වැය කළ යුතු වෙනත් ප්‍රමුඛතා, ඕනෙම සමාජයක තියනවා.

(දත්ත සඳහා නිව් සයන්ස්ටිස්ට්, 21/28 දෙසැම්බර, 2013 කලාපය සහ අන්තර්ජාලය ඇසුරුකරන ලදී).

Advertisements

6 Comments

Filed under Lifestyle, Opinion, Research & Development

6 responses to “කාර් එකෙන් බාර් එකට ඇවිත් සූර් වන “connoisseurs” ලා!

  1. “connoisseurs” ලා යන්නට සිංහල වචනයක් තියෙනවා නේද?

    • රස හඳුණන්නා…..නරකද,,

      • ඔව් රසික, ‘රසිකයාත්’ ඉන් එකක් තමා! 😀

        • අරූ, මධුර බලන්න, රසිකයා, (ඔය උඩින් ඉන්නේ), විචක්ෂකයා, විචාරකයා, සහෘදයා යන නාම පදයි එයට දී ඇත්තේ. මා අර ඉංගිරිසි වදන යොදා ගත්තේ සිතාමතා මයි.
          http://maduraonline.com/?find=connoisseur

          එතන නැති, රසවතා/රසවතුන් යන්න වඩාත් මගේ සිත්ගන්නවා. එහෙත් මේ සිංහල වදන් වලින් නොකියවෙන තේරුමකුත් උඹත් දන්නා පරිදි අර ඉංගිරිසි (ප්‍රංශ වලින් ආ) වදනේ තියනවා නේද?
          http://dictionary.reference.com/browse/connoisseur

  2. මධ්‍යසාර ගැන යම්තාක් දුරට විද්‍යාත්මක පැත්තෙන් ලියවුනු හොඳ ලිපියක්. ඔව්වාගේ තියෙන ප්‍රායෝගික පැත්ත නම් හොඳට දන්නවානේ 😀

    වොඩ්කා ගැහුවාම හැන්ග් ඕවර් එක අඩුවෙන්න හේතුවත් දැනගත්තා. අනිත් එක මේ තරුන කොටස්, විශේෂයෙන්ම යුනිවසිටි ස්ටුඩන්ට්ස්ලා (මම කියන්නේ මා ඉන්නා රටට අදාලව )කැෆේන් අධික රෙඩ්බුල් වැනි බීම වර්ග එක්ක වොඩ්කා බොන්න හේතුවත් තේරුම් ගත්තා. මෙහේ යුනිවර්සිටි නගරවල තියෙන පබ්ස්,ක්ලබ්ස්වල වොඩ්කා/රෙඩ්බුල් හරියට විකිනෙනවා. එක එක පැකේජ් දෙනවා එක එක පබ්ස්වල. වොඩ්කා/රෙඩ්බුල් තමයි සිසුප්‍රිය 😀 රෙඩ්බුල් වෙනුවට ලාභ ආදේශකත් වැහි වැහැලා

    එකම ඇල්කොහොල් ප්‍රමානයක් දෙදෙනෙකුට අඩු සහ වැඩි වශයෙන් වදින්නේ ඇයි. හැසිරීම් රටාවන් ගැන නෙමේ මම අහන්නේ. උඹට තේරෙනවා ඇති මගේ ප්‍රශ්නය.

    • ප්‍රායෝගික පැත්ත හැමෝම වගේ (නොබොන හා බොන) දන්නා නිසා ලියන්න අවශ්‍ය නැහැ. ඒ නිසාම තමා ඇතුල් පැත්ත ගැන අප සොයන්න ඕනේ. 🙂

      මචං හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මධ්‍යසාර ගැන මිනිසුන් සමග කර තිබෙන පර්යේෂණ අඩුයි වගේම, එම පර්යේෂණ මුහුණ දෙන එක භාදකයක් තමා උඹ කියන, පුද්ගල වෙනස්කම් අප අතර තිබීම. මෙහිදී නිර්ණායකය මොකක්ද කියන ප්‍රශ්නය එනවා.
      එකම මධ්‍යසාර ප්‍රමාණයක් දෙදෙනෙකුට හෝ වැඩි දෙනෙකුට විවිධ අයුරින් බලපාන “හේතු” විශාල ගණනක් තියනවා.

      ඉන් ප්‍රධාන එකක් තමා “ඒකීය පුද්ගල මානසිකත්වය”
      “Studies of alcohol effects on motor and cognitive functioning have shown the individual differences in responses to alcohol are related to the specific types of effects that drinkers expect. In general, those who expect the least impairment are least impaired and those who expect the most impairment are most impaired under the drug. Moreover, this same relationship is observed in response to placebo”.

      එයිට අමතරව, පුද්ගල බර, මේද ප්‍රමාණය (body fat), ස්ත්‍රී-පුරුෂ බව, ශරීර සෞඛ්‍යය, බොන්නට පෙර ගත්තු ආහාර වර්ග හා ප්‍රමාණයන් (ඒ කියන්නේ හිස් බඩට බොනවද කියන එකත් ඇතුලත්), බොන්නට පෙර ගත්තු වෙනත් බෙහෙත්, බොන්නට පෙර මූඩ් එක හා බිම ගැන තිබෙන ඉතිහාසික ආකල්ප (ඉහත දක්වපු අයුරින්) ආදිය කෙනෙකුගේ වෙරිවිමට බලපානවා. දැන් බලපන්, මිනිසුන් (ගෑහැණු/පිරිමි) 10හ දෙනෙක් සමග මධ්‍යසාර පිලිබඳ කරන පර්යේෂණයකදී, පටන් ගන්න කලින් ඉහත සියලු දේවල්, ඒ සියලුම දෙනාගේ සමාන කරනට හැකිද? එය ඉතාම අසීරු කරුණක්. මා මුලින් කියුවේ අන්න ඒ ගැන.

      උඹගේ උනන්දුව නිසා මෙය තවත් ටිකක් දික් කරන්නම්. එක දිගටම බීමෙන්, ශරීරය මධ්‍යසාර වලට දක්වන ප්‍රති-ක්‍රියාවත් වෙනස් වෙනවා. එවිටත් අර එක දිගට බොන කෙනෙක් හා එසේ නොවන කෙනෙක් අතර වෙරි වීම වෙනස් වන්න පුළුවන්.

      අලුත්ම පර්යේෂණ කියන්නේ, මධුපාන ලොල් බවට ජානමය බලපාමකුත් තියනවා කියා. මා කලින් සටහනක ලියා ඇති. ඒ වගේම මධ්‍යසාර හා ප්‍රචණ්ඩත්වය අතර තියන සම්බන්ධයටත් ජානමය බලපෑම් තියනවා කියා පර්යේෂණ කියනවා. සමහරුන් මධ්‍යසාර ගත්ත විටදී ප්‍රචණ්ඩව හැසිරෙන්නේ, ඔවුනගේ සහජයෙන්ම තියන “ප්‍රචණ්ඩ” නැඹුරුව නිසා. මෙය දිගට ලියන්න පුළුවන්. එක සටහනකට සියල්ල ඔබන එක තේරුමක් නැතුවා පමණක් නොවේ, බෝරින් වෙනවා. එනිසා වෙනත් දිනෙක ලියන්නම්.

      වැඩිදුර කියවනවා නම්:
      http://io9.com/do-different-kinds-of-alcohol-get-you-different-kinds-o-482710477
      https://mymindmatters.ie/2011/09/alcohol-affects-people-differently/
      http://www.abc.net.au/health/thepulse/stories/2014/01/30/3934877.htm

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s