අදට වඩා එළිය හඳක් (අතුරු කතාවක්)!


කණගාටුයි මේ ටික ලියන්න නමුත් ලිවිය යුතුයි.

අපේ සමාජයේ නම් (බ්ලොග් ලියන්නන්ද ඇතුළුව ) බොහෝ දෙනකු Albert B. Facey ජාතියේ අය නෙවෙයි. අපේ අය වඩා කැමැති තමන්ට සමාජයෙන් ලැබුණු ගැහැට කිය කියා ඉන්න මිසක ස්වෝත්සාහයෙන් දියුණු වෙන්න නෙවෙයි.

“අපේ තාත්තාව ජේ. ආර්. රස්සාවෙන් අස්කළා…”

“අපට නෑදෑයින් ඉහළට එන්න ඉඩ දුන්නේම නෑ…”

“මට ප්‍රේමදාස වධ කඳවුරකට දාල වධ දුන්නා…”

“චන්ද්‍රිකා මගේ ආයතනය පෞද්ගලිකකරණය කළායින් පස්සෙ මට රස්සාව අහිමි වුණා…”

“මම බුද්ධාගමේ නිසා රනිල් මට උඩට එන්නෙ දුන්නේ නෑ…”

මේ මා පහුගිය කාලෙ අසා ඇති අඳෝනා සමහරක්.

මේ ඔක්කෝම ඇත්ත වෙන්න ඇති. ඒ වගේම ඒ නිසා මේ පිරිස් දුක් විඳින්නත් ඇති. (කාගෙ වරදින්ද කියන එක පොඩ්ඩකට අමතක කරමුකෝ.) නමුත් ඇයි මේ පිරිසට බැරිවුණේ නැවත නැඟිටින්න? එක සැරයක් වට්ටලා මේ අයගේ ගමන නතර කරන්න පුළුවන් නම් ඒ උදවිය මාර දුර්වලයන් නෙ. ඇයි අපේ මිනිස්සුන්ට හිතන්න බැරි තමන්ගේ අනාගතය තියෙන්නේ තමන්ගේ අතේ කියලා?

නෑ, ඔය මා ලියපු දෙයක් නොවේ. මගේ සටහනකට කෙනෙකු දමපු ප්‍රතිචාරයක්. ඒක නැවත මෙතන දැමුවේ එක හේතුවක් නිසා. ඔහු/ඇය කියන කරුණු ටික, මා හිතන්නේ ටිකක් සලකා බලන්න අවශ්‍යයි කියා.

මා කලින් සටහනක මතක් කරපු අර කම්පුචියන් හාදය, මට නිතර කියන දෙයක් තමා පොසිටිව් නැත්නම් ධනාත්මකව සමුහයක් සිතනවා නම්, එයින් එක්තරා විදිහක බලයක් ගොඩ නැගෙනවා කියා. පොරට ඔය වගේ සිතිවිලි තියනවා. මා කලින් නම් හිනා වේවි අහගෙන ඉන්නවා. හැබැයි ඒ කතාව බොරුවක්ම නොවේ දැන් යයි සිතනවා.

මා නිතරම ලියන පරිදි, අප කවුරුත් කැමතිම දෙයක් තමා අතීතයට බැන වදිමින් ඉන්න එක. අපට පාසලේ ඉංගිරිසි ඉගැන්වුයේ නැහැ. ශිෂ්‍යත්වයක් දීල, කොළඹ පාසැලකට යවල මගේ ඉගෙනුම ආණ්ඩුව කඩා කප්පල් කළා, සුද්දන් ඇවිල්ල අපට කෙලෙව්වා, මොකට රට ඇවිත් සුද්දන්ට කඹුරනවාද, ඉස්සර විදිහට හිටියා නම් අපි ලක්ෂපතින්, ඔන්න අඔය වගේ කතා අපට නිතර ඇහෙනවා.

කොහොමත් පෙර කරපු පව් පිටින් දාල ඕනේ දෙයකින් අත පිහදා ගන්නනේ අපට බඩෙන් එළියට ආපු දවසේ ඉඳන් උගන්වන්නේ. මා පවා මෙවැනි නෙගටිව් සිතිවිලි වලින් සම්පුර්ණයෙන් විනිර්මුක්ත නැහැ. නමුත් එන්න එන්නම මා මේවායින් හිතා-මතාම අයින් වෙන්න උත්සහ කරනවා.

මගේ පාඨකයා “ඇයි අපේ මිනිස්සුන්ට හිතන්න බැරි තමන්ගේ අනාගතය තියෙන්නේ තමන්ගේ අතේ කියලා?” යයි කියන්නේ මෙන්න මේ මානසිකත්වය. ලෝකේ පුරා කරක් ගැහුවත් ඔන්න ඔය මානසිකත්වය නම් අපේ පසුපසින් එනවා.

අදට වඩා එලිය හඳක් හෙට පායනවා කියල කියන එකම බොරුවක්. හිරු දිනපතාම වයසට යන එකේ, සඳේ එලිය කොහොමත් වැඩිවෙන්න හැටියක් නැහැ. ඒත් ඕවා ගැන සිතන්නේ නැතුව අර විදිහට කියන කොට සිතට සතුටක් ඇති වෙනවා.

අපව ජිවත් කරවන්නේ බලාපොරොත්තුවයි. අදට වඩා හෙට හොඳයි කියන බලාපොරොත්තුව, දරුවන් ලොකු මහත් කරවන බලාපොරොත්තුව, යනාදී වශයෙන් අපට ලිස්ට් හදන්න පුළුවන්. විවේචනය, හුදෙක් විවේචනය සඳහා, එනම් විවේචනය විනෝදය සඳහා පමණක් කිරීම මහා කාලකන්නි කමක්.

Advertisements

4 Comments

Filed under Opinion

4 responses to “අදට වඩා එළිය හඳක් (අතුරු කතාවක්)!

  1. Pingback: අදට වඩා එළිය හඳක් (අතුරු කතාවක්)! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඒ වගේ හිතුවිලි වලට උල්පන්දන්දෙන නායකයින් සිටිනවිට අනුගාමිකයින් එහෙම ‘හැම දෙයක් ගැනම’ හිතන එක ලාංකික සමාජයේ සාමාන්‍ය සමීකරණයක්. නැතිනම් ඇත්තටම අපි ජපානයට කලින් දියුණු වෙන්න ඕනේ.. ( තාක්ෂණය අතින්)

    • එය අනෙක් පැත්තට වෙන්නත් පුළුවන්නේ උපේක්ෂා? ඒ කියන්නේ නායකයන් කරන්නේ සමාජයට අවශ්‍ය දේවල් කියන එක. නැත්නම් කොහොමද ඔවුන් දිනන්නේ?

      • හෙහ්… ඒකත් ඇත්ත. දැන් ඒගැන කියන්න කලින් කුකුලා ද බිත්තරේද කලින් ආවේ කියන එකට දෙන උත්තරේම තමයි!