Monthly Archives: December 2014

මේ අපේ බොක්කේ අයියා කෙනෙක් නේ, but what does he stand for?


හැම හොඳ දෙයකටම අවසානයක් තියනවා. ඒ වගේම තමා නරක දේවලුත්. අද අපේ මේ වසරේ අවසන් වැඩ කරන දිනයයි. බර්ලි ග්රිෆන් වැවේ දවල්ට හුලං වදින්න, ඔරු පදින්න ආයිත් අවස්ථාව ලැබෙන්නේ නව වසරේ. අද වරු භාගයෙන් අපට ගෙදර යන්න පුළුවන් වුණා. ගෙදරම ඉන්න තිබුණා. ඒත් අමුතුවෙන් නිවාඩුවක් දැමීමේ ඕනේ කමක් මට තිබුනේ නැහැ.

හොඳ කාලයන් ඉක්මනින් අවසන් වනවා වගේ අපට දැනෙනවා. නරක කාලයන් ගෙවෙන්නේ හරි හිමින්. ගොඩක් වෙලාවට ඔහොමයි. ඒකට තව හේතුවක් තියනවා. එනම් හොඳ කාලයන් අප එන්ජෝයි කරන නිසා කාලය ගත වන වග තේරෙන්නේ නැහැ. නරක කාලයන් අපට ගෙවා දමන්නේ අකමැත්තෙන්. ඉතිං විනාඩියකුත් හරි දිගයි වගේ දැනෙනවා.

අප හැම දෙනාම මහත් ප්‍රතිරෝධයක් දක්වන දෙයක් තමා වෙනස් වීම් කියන දේවල්. ඉතා කුඩා වෙනස් වීම වලට පවා, අපට ගැලවෙන්න පුළුවන් නම්, මොකක් හෝ ජල්බරියක් දාල නිකං ඉන්නවා. ඇත්තටම වෙනස් වීම ලෙහෙසි නැහැ.

උපන් බිම දාල ඇවිත් ඉන්න මට, මුලදී මෙහෙට හුරු වන්නට වෙහෙසක් දරන්න සිදු වුණා. දැන් ආයිත්, ලංකාවට ගිහින් ජිවත් වෙන්න කියුවොත්, එයිටත් වඩා අමාරුයි, යලිත් ඉපදුන පරිසරයට හැඩ ගැසෙන්න.

මේ මගේ වසරවසාන බ්ලොග් සටහනයි. එය ධනාත්මකව අවසන් කරන්නට ඕනේ. අද වරුවෙන් ගෙදර ඇවිත්, වටේ පිටේ ටිකක් අස් කර දැම්මා. අපට ඉතින් මහා ඉඩම් නම් නැහැ. නමුත් මේ තියන ටිකත්, එකලස්ව තියා ගන්න වෙහෙසක් දරන්න ඕනේ. වැඩියෙන්ම පසුගිය දින කිහිපයේ එක දිගට හැලුන වැස්ස, හා උණුසුම් කාලගුණය නිසා, තණකොළ, ගස්-වැල් වේගයෙන් හැදෙනවා.

ඔය අතරේදී තමා අල්ලපු ගෙදර පොර ආවේ. පොර අපට නත්තලට වයින් බෝතලයක් හා චොකලට් පෙට්ටියක් අරන් ඇවිත්. අසල්වාසීන් හැටියට අප ඉන්න අන්තිම නත්තල මේකයි කියා මිනිහා කියුවා. ඔවුන් නෑදෑයන්ගේ කරච්චල් වලින් මිදෙන්න, වෙන තැනකට මාරු වන්නට තීරණය කරලා.

නමුත් පොර වයින් බෝතලය ගෙනා ඇත්තම හේතුව අපට සිතා ගන්න පුළුවන්. අපට කරදරයක් වුනත්, මඩුව ගැන පැමිණිලි නොකරපු එකට කෘතඥයතාවය දැක්වීමට තමා පොර වයින් බෝතලයක් අරගෙන ආවේ.

මොනවා වුණත් තමන්ගේ සහෝදරියක් කරපු වැඩේ හා සසඳන විට, අප කරපු (ඇත්තටම නොකරපු දේ) දේ මොනවගේ දෙයක් ද කියා, මිනිහාට හා බිරිඳට ඔය නිකම් ඉන්න වෙලාවට සිතෙන්න ඇති.

නරක නරකින්ම යටපත් කිරීම අප ගොඩක් වෙලාවට කරන දෙයක්. මොකද අනෙක් විකල්පය හරි අමාරුයි. නරක නරකින්ම යටපත් වෙන්නේ නැහැ, එකක් අනෙකින් විස්ථාපනය වනවා විතරයි. නරක හොඳින්, නිශේද කිරීම හැමවිටම කරන්නත් අමාරු වගේම, සමහර පරිසරයන්හිදී ප්‍රායෝගිකත් නැහැ. නමුත් ඒ සඳහා උත්සාහයන් හෝ ගැනීම අපට කරන්න පුළුවන්.

නෑදෑයන්ගෙන් දිගින් දිගටම කරදර නම්, වෙන පළාතකට ගොස් ජිවත් වීම තමා ගන්න පුළුවන් හොඳම පියවර. මෙතැනදී නරක, හොඳින් නිශේදනය කෙරෙයි කියා බලාගෙන හිටියත්, ජිවිතයේ අවසාන භාගය දක්වා අන්තිමට කර තිබෙන්නේ, නිකම් සිත් තැවිල්ලෙන් කාලය ගත කිරීම විතරයි.

මේ වගේ රටක, ගෙවල් මාරු කිරීම වියදම්කාරී කටයුත්තක් වුණත්, ලංකාව වැනි රටක වාගේ අමාරු නැහැ. මොකද කොහේ ගියත්, තමන්ට ගැලපෙන වර්ගයේ ගෙදරක් (අතේ මුදල් තියනවා නම් හෝ බැංකු ණයක් පාස් කර ගන්න පුළුවන් නම්) සොයා ගන්න පුළුවන්. ඒ වගේම මිලදී ගැනීම හා විකිණීම (ජල්තර කට්ටිය ඉන්නවා තමා) බොහෝ විට ස්ට්‍රේට් ෆොර්වර්ඩ්.

රටක රජයක් මාරු කිරීම මා කලින් ලියා ඇති පරිදි, මහා අමාරු කටයුත්තක් නොවිය යුතුයි. කෙනෙක් බලයට පත් වුණොත්, කිසි ලෙසකින් හොලවන්න බැරි ධුරයක් වන ජනාධිපති ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදය පරිණාමය වී, ස්ථාපිත වී නොමැති ලංකාව වැනි රටකට ගැලපෙන්නේ නැහැ. ප්‍රජාතාන්ත්‍රික මනස දියුණු වී නොමැති විශාල පිරිසක් ජනගහනයේ ඉන්න විට මෙය තවත් අනර්තකාරියි. ඒ මොකද, ඇත්තටම සමාජයේ සංවේදී පිරිසත් නොසලකා පාලකයාට ක්‍රියා කරන්න පුළුවන්.

ලෝකයේ හැමතනම, පිරිස් බලය ගන්නට පෙර කියන දේවල් නොවේ, බලයට ඇවිත් කරන්නේ. එවිට යටි ඇජෙන්ඩා, වෙනත් ලොබි ගෘප් වල බලපෑම් විතරක් නොවේ, ඇත්තටම පවතින තත්වය අනුවත් සමහර දේවල් අතහරින්න, වෙනස් කරන්න හා අලුත් දෙවල් එකතු කරන්න වෙන බව තේරුම් ගන්නට අමාරු නැහැ. නමුත් කියපු සේරම වෙනස් කරලා, සම්පුර්ණයෙන් වෙනත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියන්නේ වෙනම දෙයක්.

ඉහත සියලුම අවස්ථාවන් වල දී, ප්‍රජාතාන්ත්‍රීය රටක නම්, ජනතාව ඇත්තටම හිතන්නේ මොනවාද කියන එකත් රජයකට නොසලකා ඉන්න නොහැකියි. එහෙම වන්නේ, ආණ්ඩු පත් කිරීම හා වෙනස් කිරීම පවතින ක්‍රමය යටතේ පහසු කටයුත්තක් නිසා.

ජේ ආර්ගේ ව්‍යවස්ථාවේ තියන නරකම දෙය, ඒ යටතේ ආණ්ඩු මාරුවක් කියන්නේ අන්තිම අමාරු කටයුත්තක් නිසා. ප්‍රජාතන්ත්‍රවාදය දියුණු අඩියකට පත්වී නොමැති රටක එය තවත් අනර්තකාරියි.

හැත්තෑ හතෙන් පසුව ගෙවුන වසර 50 කට කිට්ටු කාලයකදී, ලංකාවේ ආණ්ඩු විතරක් නොවේ, විපක්ෂ නායකත්වය පවා වෙනස් වී තිබෙන්නේ කොතරම් අඩුවෙන්ද කියා ඔබට පෙනේවි.

අද ලංකාවෙත් අරාබි වසන්තයක් ගැන ජනාධිපති වරයා කියා තිබුනා. අරාබි වසන්තයන් ඇතිවුණේ අවුරුදු 40ක පමණ දීර්ඝ ඒකාධිපති පාලකයන් සිටිය රටවලයි. මේ රටවලින් එම ඒකාධිපතියන් පලවා හැරියත්, ජනතා අපේක්ෂා තවමත් මල්පල ගැන්වී නැහැ.

එයට ප්‍රධානම හේතුව, මේ රටවල ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ප්‍රතිෂ්ටාපනය වී නොතිබීම. එය දීර්ඝ කාලයක් අවශ්‍ය ක්‍රියාවලියක්. කැරලි තුනකින් බැට කෑවත්, ලංකාවේ සුද්දා ඇතිකරපු සංස්ථා සහමුලින්ම විනාශව ගියේ නැහැ. මේවායේ කාර්යයන් අද විකුර්තියට ලක් කර තියනවා තමා. ප්‍රතිසංස්කරණය අමාරු කටයුත්තක්, නමුත් මුල ඉඳල පටන් ගන්නවට වඩා පහසුයි. මොකද අඩුම ගානේ පදනම හෝ තියන නිසා.

බ්ලොග් සටහනක් හෝ ලියන්න බැරි රටවල් ලෝකයේ ඕනේ තරම් තියනවා. ඔබ ලියන සියල්ල පෙරේන ගණනාවකින් පෙරිලා, අදාල පාර්ශවයන්ට කැමති කොටාස පමණයි පළ වන්නේ. පුවත්පත්, රූපවාහිනි, ගුවන් විදිලි යන ඒවාත් ඒ වගේමයි. මෙවැනි සමාජයක ජිවත් වීම කොතරම් අපහසුද කියා තේරුම් ගැනීමට එවැනි එකක ජිවත් වන්නම ඕනේ. මෙවැනි සට්ල් නිදහස කියන දේ කන්නද කියා අප ඇසුවත්, ඇත්තටම මිනිසාට කෑම වගේම, බඩ පිරුනහම සිතන්නට ද අවශ්‍යතාවය එන්නේ ඉබේම.

පවතින දේවල් සම්පුර්ණයෙන් නැති කර ගත් දිනෙක, එවැනි තත්වයකට දායකත්වය දුන්නු අයටම තේරේවි, කලින් බුක්ති විඳි දේවල් වල අගය.

කියවා ප්‍රතිචාර දැමු සියල්ලන්ටම, නිහඬව කියවූ සියල්ලන්ටම හා ඔබලගේ පවුල් වල සියලුම දෙනාට, මේ වසරේ එකතු කර ගත් අත්දැකීම් වලින් එළඹෙන වසර වඩාත් සාර්ථක කර ගත හැකිවේවායි පතමි! ඔබ සියලුම දෙනාට සුබ නව වසරක්!

පසු වදන
මේ වගේ ගිණි ගොඩවල් ළඟ ඉඳන් රිපෝර්ට් කරන්න තියනවා කියා දන්නවා නම්, අපිත් ජර්නලිස්ම් කරනවනේ. අර ලංකාවේ ජනාධිපතිවරයාත් රැස් විමක ඇහුවය කියන්නේ මේ වෙලාවට ඇඟ රත්කරගන්න තියෙනවානම් හොඳයි නේද?” කියල!

(කලින් සටහනකත් තියන මේ ගීතය, මගේ ප්‍රියතම එකක්)

6 Comments

Filed under Opinion