ඊයේ දවල් කෑම කන වෙලාවේ කලබලයෙන් අන්තර්ජාලය කරක් ගහන වෙලාවේ, මා රසිකගේ ප්‍රතිචාරයක් දැකල පුදුමයට පත් වුණේ, එවැනි දෙයක් බලාපොරොත්තු නොවන හින්දා. නමුත් පසුව බලන කොට එය මා කලබලයෙන් කියවීම නිසා කරපු වැරැද්දක් කියා දුටුවා. එහෙම නොවුනා නම්, බ්ලොග් ලිවිම එපා වෙනවා. මොකද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
තමන් විශ්වාස කරන දෙයට ප්‍රසිද්දියේ පෙනී ඉන්න එකයි, යමක් විශ්වාස කරන එකයි කියන්නේ දෙකක්. ගොඩක් බ්ලොග් සටහන් වල අපට නමක් නොමැතිව දමන කොමෙන්ටු දකින්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් අද මම එකද? නැත්නම් අයියෝ මේ මොනවාද ලියන්නේ? වගේ අවිහිංසක කොමෙන්ටු නොවේ, “සමාජ විප්ලවයක් කරන්නට” දමන සමහර කොමෙන්ටු වලට අයිතිකරුවන් නැතිවීම මගින් පෙන්වන්නේ මේ සමාජයේ පවතින තත්ත්වය වෙනස් වීමට තියන සීමිත ඉඩ කඩයි.
මැදපෙරදිග හා පකිස්ථානයේ සිදු කරනු ලබන, ඇමෙරිකානු ඩ්රෝන් ප්‍රහාර හා ඔත්තු බැලීම්, දැනට වසර දෙකකට පමණ පෙර දී ටයිම් සඟරාව සමාන කර තිබුනේ, අන්තර්ජාලයේ ඇනොනිමස් කොමෙන්ටු වලටයි. මොකද මේ ඩ්රෝන් ප්‍රහාර සඳහා හා ඔත්තු රැස් කිරීම් වලට යවන නියමුවෙක් නොමැති කුඩා යානා මගින් සතුරාගේ සියලු තොරතුරු රැස් කරනවා. ඉතා කුඩා විස්තර පවා. තමන් උඩින් ඉදන් විස්තර සොයන මේ කුඩා යානා පිළිබඳව ප්‍රහාරයට ලක්වන කෙනා දන්නේ නැහැ. අන්තිමට රෑ බත් පිඟාන කමින් ඉන්න විට උඩින් ඇවිත් වැඩේ දෙනවා. මේවාට එරෙහිව ආපු ප්‍රතිරෝධය නිසාද කොහෙද, දැන් මෙවැනි ප්‍රහාර අඩුයි.
තමන්ගේ පාඩුවේ බ්ලොග් කට්ටක් අටවාගෙන සුළු ධනේශ්වර ජිවන කට්ටක් පවත්වාගෙන යන්න පුළුවන්, ඒ සඳහා උචිත පරිසරයක පමණයි. නැත්නම්, අදහස් එළිපිට කීම හා එසේ කියමින් සමාජයේ ජිවත් වීම මාරාන්තික වෙන සමාජ කොහෙත් තියනවා.
අප ඉගෙන ගන්න කාලයේ නැගී එන දේශපාලන තරුවක් වූ බොරිස් නෙම්සොෆ් මොස්කව් ක්‍රෙම්ලින් මන්දිරය අසලදී වෙඩිතබා මරා දැමුණු පුවතට අමතරව තවත් මරණයක් බංග්ලාදේශයෙන් වාර්තා වුණා. එය නම් ඇමෙරිකානු-බංග්ලාදේශ කීර්තිමත් නිදහස් බ්ලොග් රචකයෙකු වූ වග කියන, අවිජිට් රෝයි, බ්‍රහස්පතින්දා රෑ ඩකා නුවර ජනාකීර්ණ මාවතක් දිගේ එද්දී, අවිගත් පිරිසක් විසින් කපා කොටා මරා දැමු පුවත. මෙහිදී රෝයි සමග සිටි ඔහුගේ බිරිඳ ද බරපතල ලෙස තුවාල ලබා තියනවා. ඔවුන් ඩකා සරසවියේ පොත් සල්පිලකට ගොස් ආපසු එන අතර තමා මේ ඛේදනීය ඉරණමට මුහුණ පා තියෙන්නේ.
බංග්ලාදේශයේ ජනප්‍රිය ස්වදේශීය බ්ලොගයක් වන Mukto-mona නැත්නම් නිදහස් මනස් මගින් රෝයි විද්‍යාත්මක තර්කනයත්, ආගමික මතවාද ගැන ඔහුගේ අදහසුත් එලි දක්වා තියනවා. එහිදී මුස්ලිම් ආගම්වාදී අන්තවාදීන් හා අන්තවාදයන් ගැන ඔහු විවේචන ඉදිරිපත් කිරීම නිසා, එයින් උරණවූ කණ්ඩායමක් ඔහු මරා දමන්නට ඇතැයි කියවෙනවා.
වසර 2013 දී ද මෙවැනිම ආගමික අන්තවාදයට එරෙහි වූ තවත් බංග්ලාදේශ බ්ලොග් කරුවෙක් වන අහ්මෙඩ් රජිබ් හයිඩෙර්ව ද “නානුඳන පිරිසක්” විසින් ඔහුගේ නිවසේ දීම මරා දමා තියනවා. වසර 2014 දී බංග්ලාදේශයේ ජනප්‍රිය කතුවරයෙක් හා ගුරුවරයෙක් වන හුමායුන් අසාඩ් ද කලින් කියපු ඩකා පොත් සල්පිලට ගොස් එන අතර තුරදී පහර කෑමෙන් බරපතල ලෙස තුවාල ලැබුවා.
වෛරය පැතිරවීම හා ඝාතන වලට උසිගැන්වීම කියන්නේ අවිහිංසක දෙයක් කියා සමහරුන් සිතන වග පෙනෙන්ට තිබෙනවා. මොකද කියනවා නම්, මේ බොහෝ දෙනා එවැනි දේ ක්‍රියාවට නගන්න පුළුවන් දරුණු ගණයේ මිනිසුන් නොවේ. එය ඔවුන්ගේ කතෘත්වය පිලි නොගන්නා කොමෙන්ටු වලින් ද හෙළි වෙනවා. නමුත් කල්පනාවට ගත යුතු කරුණ නම්, ඔවුන් පසුබිම සකස් කරපු පසු ඒ මතවාද ඇත්තටම ක්‍රියාවට නගන්න පුළුවන් සැබෑ දරුණු මිනිසුන් කොහෙත් ඉන්නවා.
ඕනෙම වෙනස් මතයක් වුවත් සභ්‍යත්වයේ අප ලඟා වී ඇති සීමාවන් තුල එලි දැක්වීමට හැකියාව තියනවා. නිදහස් මනස් තියනවා යයි කියන ලෝකයේ සමහර විශ්ව විද්‍යාල පිවිතුරු සමාජයක් සඳහා මනස් එකතු කරන්නේ ප්‍රචණ්ඩත්වය යෙදවීමෙන්. ඒ වගේම ලංකා විශ්ව විද්‍යාල තුල අනවරතව ගලායන රැගින් කියන ම්ලේච්ච චාරිත්‍ර අද පවා තිබීම මගින් පෙන්නුම් කරන්නේ සමස්ත සමාජයේ ප්‍රචණ්ඩත්වයයි. ඒවා පමණක් නොව ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හා සමාජයේ පොදුවේ පවතින අඩම්තේට්ටම් සංස්කෘතියට සුළුවෙන් හෝ සහයෝගය නොදැක්විය යුතුයි.
(විස්තර http://www.news.com.au අඩවියෙනි).
Please Note:
Your prehistoric ideas may not be welcomed here.