Liberals, libertarians and කබටේරියන්ස්!


කියවන්නට හැකි සිංහල බ්ලොග් ප්‍රමාණය පහුගිය දිනවල තවත් පහල ගියා කියුවොත් එය නිවැරදියි. එයට හේතුව නම්, ලියන්නාගේ පොදු ආකල්පය මොකක්ද කියා දැන ගත්තට පසුව, ඔහු හෝ ඇය ලියන වෙනත් ආකර්ෂනාත්මක “මතවාදයන්” සහිත වෙනත් ලියමන් කියවීමෙන් පලක් නැති වග වැටහීමයි. මෙය හරියට අර පොතේ පිටකවරෙන්, අන්තර්ගතය තීරණය කරනවා වගේ වැඩක්.

ලංකාවේ ජනපතිවරණය නිසා සිදුවුණ එක දෙයක් තමා, තමන් ලිබරල්වාදීන් හා ලිබටේරියන්ලා කියල ස්වයංව හඳුන්වා ගන්න පිරිස් කොතරම් කබරවාදීන් ද කියා හෙළි වීම. එනම් දිව දෙකේ වාදීන් වීම. මෙතැනදී නම් මා මේ කියන්නේ සිංහල බ්ලොග් ගැන විතරක් නොවේ. ඉංගිරිසියෙන් ලියවුන ඒවාද එක්ක.

ලිබරල්වාදය යනු හුදෙක් ආර්ථික ප්‍රතිපත්තියක් හෝ ප්‍රතිපත්ති නොවේ. එය ජිවන විලාසිතාවක්. ලිබරල්වාදීන් යනු එම ජිවන විලාසිතාව අනුගමනය කරන්නන් හා එය ප්‍රවර්ධනය කරන්නන්. ලිබටේරියන්ලා යනුවෙන් හඳුන්වා ගන්න පිරිස්, ලිබරල් ජිවන විලාසිතාවේ සම්භාව්‍ය තත්වය අපේක්ෂා කරන්නන් කියුවහැකි.

මහා දර්ශනවාද වලට යන්නට අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ ලිබරල්වාදය ගැන සරල හැඳින්වීමක්; liberalism – Political and economic doctrine that emphasizes the rights and freedoms of the individual and the need to limit the powers of government. මෙහිදී පළමු තැනට එන්නේ ඒක පුද්ගල නිදහස කියන දෙයයි. රජය/ආණ්ඩුව කියන දේ කුඩා කරන්න යෝජනා කෙරෙන්නේ, මේ පුද්ගල නිදහස කියන දේ තවත් පුළුල් කරන්න.

එතකොට ලිබටේරියන් කියන්නේ කවුද? The libertarian or “classical liberal” perspective is that individual well-being, prosperity, and social harmony are fostered by “as much liberty as possible” and “as little government as necessary.” (https://www.theihs.org/what-libertarian).

ඔය ලිබරල් වාදීන්, ලිබටේරියන් කියමින් තමන්ව හඳුන්වා ගනිමින්, මහා කබටේරියන් කෙනෙක් වන ජනාධිපති මහින්ද වෙනුවෙන් සමහරුන් කඩේ ගියා. කඩේ යාම වරදක් නොවේ. වරද තමා නොගැලපෙන සළු පිළි වලින් සැරසී අප අතරට ඒම. ඒ විතරක් නොවේ, කලින් ලංකාවේ පැවති විවිධ මැතිවරණ, පළාත්සභාවරණ, නගරසභා වරණ වල ප්‍රතිපල “විද්‍යානුකූලව” විග්‍රහ කිරීම්ද අපට දක්නට ලැබුණා.

ඒ සියල්ලකින්ම මට නම් පෙනුනේ, අපගේ අධ්‍යාපනයේ තියන එක අඩුපාඩුවක්. එනම් යමක් තර්කානුකුලව විශ්ලේෂණයට ඇති නොහැකියාවයි. ලොකු සමාජ විශ්ලේෂකයන් කියන පිරිස් ද මෙයට අයිතියි. අඩුම ගානේ, විචල්‍ය ගණනාවක් තියන විටෙක, එය නොසලකා, දෙයක් හෝ තත්වයක් තවත් දෙයක් හෝ තත්වයක් සමග සංසන්දනය කොතරම් ප්‍රායෝගිකද කියන සරල කරුණ හෝ තේරුම් ගන්න අප උත්සහ කරන්න අවශ්‍යයි. සමහරුන්ට එවැනි දැනුමක් තිබුනත්, ඔවුන්ගේ විශ්ලේෂණ ප්‍රයෝගිකයි. එනම් කොලේ වහල කතා කරන්න ඉලක්කම් ටිකක් කරකවනවා.

දැන් බලමු, පට්ට ලිබරල් වාදියෙක් කියා සමහරුන් හඳුන්වන ලංකාවේ හිටපු ජනාධිපතිවරයා ඒකීය පුද්ගලයාගේ හා පොදු සමාජයේ නිදහස කියන දේ ක්‍රමයෙන් හකුලාගෙන ගිය කෙනෙක්. එහි නියම ඵල මොනවාද කියා, තව වසර හයක් එයාට බලය දුන්නා නම් ලෝක වාසි සියල්ලන්ටම දැක ගන්නට තිබුණා.

යුද්ධයෙන් ලංකාව නිදහස් කර සමාජය නිදහස් කෙරුවා යයි කියනවා වුණත්, ප්‍රභාකරන්ට නොදෙවෙනි ආකාරයට වෙනස් මතධාරීන් මර්ධනය උපරිමයෙන් කරපු, ප්‍රාග්-ඓතිහාසික මතවාදයන් අදහමින්, වශී බෝල මිරිකමින්, තමන්ගේ ඥාති සනුහරය සමග ලාභ ලබපු (එනම් ආණ්ඩුවට බදු ගෙවපු) සමාගම් මචන්ස්ලට පාලනයට පවරා දී, පාඩු කරවපු (එනම් ණයට ගත්තු මුදල් බහිරව කටට දමනවා මෙන් විනාශ කරපු), ගජමිතුරු මංකොල්ලකාරී ආර්ථිකයක් ක්‍රියාත්මක කරපු, ජාතිවාදය ප්‍රවර්ධනය කරපු, සුළුතර කොටස් වලට එරෙහි ප්‍රචණ්ඩ කල්ලි ප්‍රවර්ධනය කරපු මේ “ලිබරල් මහින්ද”, ලිබරල් කියන මතවාදයේ සහමුලින්ම ප්‍රතිවිරුද්ධත්වයයි.

මහින්ද ප්‍රවර්ධනය කෙරුවේ, පවුල් පාලනයක්. එහිදී “ඒක පුද්ගල නිදහස” කියන එකට තමා, මේ පවුල අඩුම තැනක් දුන්නේ. තමන් මෙලොවට පහල වී තියෙන්නේ, අනෙක් ජනයා උපයන දෙයින් ජෝගි නටන්නට කියා අදහපු පිරිසක් තමා රාජපක්ෂවරුන් කියන්නේ. ලිබරල් ඇමෙරිකාවේ පුරවැසි බැසිල් ප්‍රවර්ධනය කෙරුවේ යටිමඩි ආර්ථික ක්‍රමයක්. අනෙක් ඇමෙරිකානු මල්ලි ගෝඨාභය, ඒකීය මිනිස් නිදහස කියන දේ සතපහකට විශ්වාස කරපු කෙනෙක් නොව, හමුදාව විසින් ජනජීවිතයේ සෑම අංශයක්ම පාලනය කෙරිය යුතුයයි සිතුව කෙනෙක් කියා අපට උපකල්පනය කරන්නට පුළුවන්.

මා කලින් ලියා ඇති පරිදි සාමකාමීව තමන්ගේ මතවාදයන් (මානව විරෝධී හා නීති විරෝධී නොවන) ප්‍රවර්ධනය කෙනෙකුගේ අයිතියක්. මේ අයියල කියන උටෝපිය ලිබරල් සමාජයක වුණත් පොලෝසි හා උසාවි නැතුව නම් පැවැත්මක් නැහැ. ඒ කියන්නේ, රජය කියන එක කොතරම් කුඩා වුවත්, රජයක් නැතුව ශිෂ්ඨ මිනිස් සමාජයට පැවැත්මක් නැහැ. වෙන වචන වලින් කියනවා නම්, අපට ආයිත් ගල් යුගයට යන්න හැකියාවක් නොමැතියි.

හැබැයි බටහිර වුණත් මේ බොහෝ ලිබරල්වාදීන් හා ලිබටෙරියන්සලා {ලංකාවේ සංගීත (බයිලා) කණ්ඩායමකට හොඳ නමක් නේද?} ප්‍රවර්ධනය කරන්නේ කුඩා රජයක් නොවේ, පෞද්ගලිකරණය කරපු රජයක්. මේ කියන්නේ හරි වෙනස් දෙකක්. එය ඔවුන් ප්‍රචාරය කරන ඒක පුද්ගල නිදහස ප්‍රවර්ධනය කිරීමක් නොවේ, සමාජයේ කුඩා කණ්ඩායමක් විසින් අනුන්ගේ ජීවිත පාලනයයි. අනෙක ලංකාවේ වගේම, මෙයාලගෙන් බොහොමයක්, නිදහස් මතධාරීන් කෙසේ වෙතත්, හණමිටි කරගහගෙන යන සමාජයේ ඉන්න පට්ට ජාතිවාදීන් කියල කියන්නත් පුළුවන්.

ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ වලදී, ජනතා සහභාගිත්වය ඉහල යාම හා රජයේ ක්‍රියාකාරකම් වලදී ජනතාව සංවේදී වී, අනෙක් “ලොබි” කණ්ඩායම් වල බලපෑම අවම කිරීම හොඳ දෙයක් වන්නේ ඒ නිසාමයි.

මහින්ද මහත්තයට පමණක් නොවේ, මුගාබේ හා ලුශේන්කෝ වැනි මහත්වරුනට කැමති විශාල ජන කොටසක් එම මහත්වරුන් රජ කරන රටවල් වල ඉන්නවා. ඉතාම සාමකාමී මැතිවරණයක් තිබුණත්, ඔවුන් ලබා ගන්නා ජනප්‍රිය චන්ද ප්‍රතිශතය ඉහල එකක් වේවි. මා කලින් සටහනක විශ්ලේෂණය කරපු පරිදි, ඊජිප්තුවේ වසර 40කට පමණ පසුව පැවති, නිදහස් ජනපතිවරණයේදී ඒකාධිපති මුබාරක්ට චන්දය ඉල්ලන්න ඉඩ ලැබුණා නම්, ඔහුගේ චන්ද ගොඩේ තරම ලෝකයට බලා ගන්න තිබුණා.

මෙම ජනතාවගෙන් කොටසක් යටිමඩි වලින් කෙලින්ම ප්‍රයෝජනය ලබන කට්ටිය. ඔවුනට ශිෂ්ට ලෝකයක් අවශ්‍ය නැහැ. තවත් පිරිසක් යටිමඩි ආර්ථිකයකින් වක්‍රව පල ප්‍රයෝජන ගන්න පිරිස්. එවැනි ආර්ථික වාසි නොලබන තව පිරිසක්, ඔවුනගේ උපතේම පටන් එන ජරාත්වය නිසා සහයෝගය දෙන්නන්. එනම් ඔවුන් උපන්ගෙයිම ජාතිවාදීන්, අනුන්ව තලා පෙලා දැමීමට තියනවා නම්, තමන්ගේ ජීවිතය පවා අගාධයට ගියත් තකන්නේ නැති පිරිස. අනෙක් පිරිස තමා, විවිධ හේතු නිසා දැනුමට අනාවරණය නොවුණ පිරිස.

මෙයින් කලින් සඳහන් කරපු පිරිස් වෙනස් වන්නේ කලාතුරකින්. මා කලින් ලියු ඔය නොයෙක් නම් වලින් (ලිබරල් වාදීන්, ලිබටේරියන්ලා හා විවිධ ගාමින් නමින්) අප ඉදිරියට ආවත්, ඔවුන් ගේ ඇත්ත බලාපොරොත්තුව අශිෂ්ටත්වය ප්‍රචාරයයි. එක්කෝ එය ඔවුනට ආර්ථික අතින් වාසියි. නැත්නම් ඔවුන් කොහොමත් අශිෂ්ටයන්.

හැබැයි දැනුමට නිරාවරණය නොවුන නිසා අශිෂ්ටත්වය සමග දීග කන්නන්, වෙනස් වෙන පිරිස්. මොවුන් වෙනස් කළ හැක්කේ කොහොමද, ඔවුන් වෙනස් කරන්න අප දායක විය යුත්තේ ඇයි කියන එක නම් අපට සිතන්න අවශ්‍ය ප්‍රශ්න දෙකක්. හැබැයි, අප කැමති වුවත් (මා නම් කැමතියි), අකමැති වුවත් ලෝකයේ බොහෝ රටවල මේ පිරිස අද වෙනස් වෙමින් පවතිනවා. එනම් දැනුම කියන දේ අද වඩා පහසුවෙන් ලබා ගන්න හැකිවී තියනවා.

පලි
ගජමිතුරු පාලන හිතවාදී මහින්ද රාජපක්ෂ ගැන මා දරන මතය මෙහි ලියැවුන බොහෝ සටහන් වලින් හෙළි දක්වා ඇති. පසුගිය ලංකා ජනාධිපතිවරණය දා, ලෝක දේශපාලන තතු ගැන අවධියෙන් ඉන්න සුද්දෙකු මා ගෙන් ඇසුවේ, උඹට චන්ද අයිතිය තියනවා ද කියා. ඔහු හා මා කතා කරපු දේවල් මෙහි ලියන්නේ නැහැ. මා රටවල් දෙකක පුරවැසියෙක් නොවේ. එක රටක ජිවත්ව ඉඳිමින්, තවත් රටක රාජ්‍ය නායකයා හෝ ආණ්ඩු පත් කිරීමට දායක වීමේ අදහසක් මට නැහැ. එමෙන්ම, තටු කැඩුණු පසු, ජිවත් වන රටින් ඇවිත්, වෙන රටක මිය යාමේ අදහසක්ද මට නැහැ.

එම කතා පැත්තකට දැමුවාට පසුව, මේ දෙයත් ලියන්නට කැමතියි. එනම්, ලෝකයේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී හා වඩාත් සෞභාග්‍යමත් රටක් ලෙස නැගී එන්නට මා වැඩියෙන් කැමති රට කුමක්ද කියා යම් කෙනෙකු ඇසුවහොත් (මා ජිවත් වන රට හැර), මගේ පිළිතුර ශ්‍රී ලංකාවයි. එය මගේ මවු බිම නිසා පමණක් නොවේ, මා ලෝකයේ හොඳින් දන්නා රට නිසාම පමණක් නොවේ, මට වඩා සමීප මිනිසුන් ඉන්නා රටද නිසා. අනෙක මොන නීති රීති වලින් වෙනස් විදිහට අර්ථකථනය කරන්න පුළුවන් වුවත්, මාත් ලාංකිකයෙක්.

එයත් නොවේ මගේ කතාව. පසුගිය ලංකාවේ පැවති ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල ජයගැනීම ගැන මට තියෙන්නේ ධනාත්මක අදහසක්. අර ජේවීපී කට්ටිය කරපු ගොන් නාඩගම වගේ නොවේ, කියන්නට තිබුනේ මහින්ද පරාජය කිරීම සඳහා සියලු දෙනාම එකට එකතු විය යුතුව තිබුණා (ලිංගික අතවර වලට ලක්වී, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්ගේ අනුහසින් මරණයේ දොරකඩින් බේරී ආවා යයි කියන අය හැරුණු කොට). ඇත්තටම, මහින්දට හරි හමන් මැතිවරණ කැම්පේන් එකක් ගෙන යන්න පුළුවන් “මොලේ ඇති කෙනෙකු” හිටියා නම්, මේ ප්‍රතිපලය (මේ තියන තත්ත්ව යටතේම) වෙනස් කර ගන්නට හැකියාව තිබුන වග මා පෞද්ගලිකව විස්වාස කරනවා. වියන්ගොඩ කියන්නා වගේ, අදේශපාලනික ගෝටලා හා මෝඩ නාමල්ලා නිසා නොවේ නම්, වශිබෝල කරකවන, දුෂිත, ගජමිතුරු පාලන හිතවාදී, මහින්දට තව ජනවරමක් (එනම් ජිවිතයටම බලයේ ඉන්න) ලබා ගන්න අවස්ථාව තිබුණා. එය ඇත්තටම ඇත්ත තත්වය වගේම, භයංකාර දෙයක්. නමුත් සමාජයේ නියම ස්වභාවයත් හෙළි කරන කරුණක්.

පපලි
ඉහත සටහන (පලි යද ඇතුළුව) ලියුවේ ජනවාරි මස 18 වනදා. මේ පළ කරන්නේ වචනයක් වත් වෙනසක් කරන්නේ නැතිව. බ්ලොගය පවත්වාගෙන යාමේ තදබල ආසාවක් නොමැති වුණත්, නවතා දැමීමටද අදහසක් නැහැ*. මේ සටහන් වල සමහරක් පෞද්ගලික කරුණු වලින් පිරුණු ඒවා. එවැනි දේවල් සිංහල බ්ලොග් පාඨකයාට තවම දිරවන්නේ නැති වග මා දන්නවා. නමුත් මෙය කැමැත්තෙන් කියවන හා එසේ කියවන වග මට ලියා දන්වන කුඩා පිරිසක් සිටිනවා. ගෙවී ගිය වසර තුනේ සංවත්සර සටහන් වල ලියු පරිදි ඔවුනගෙන්ද මා යමක් උකහා ගත්තා. එයට තුති කියලත් ලියුවේ ඒ නිසා. ඒ පිරිස් ජිවත් වන රටවල්, අධ්‍යාපන තත්ත්ව, අදහන ආගම, ආගමක් නොඇදහිම වගේ දේවල් මා දන්නෙත් නැහැ. සොයා ගන්නට වෙහෙසක් දැරුවේද නැහැ. නමුත් ඒ සමහර අදහස් මගේ මතවාද වලට ගොඩක් දුරට සමීපයි.

ඉහත සටහන ලියා ගොඩක් දිනෙකට පසුව, රසිකලොජිස්ට් ද්විත්ත්ව පුරවැසිබව ගැන සටහන් දෙකක් හෝ තුනක් ලියා තිබුණා.දෛවයේ සරදමකට වගේ පළ කරන්නට මට ඕනේ කමක් නැතිවුණ මේ සටහන අදට වඩාත් යෝග්‍යයි.

ද්විත්ත්ව පුරවැසි බව ගන්න කැමති අයට (ලංකාවේ අපේ අයට එසේ ගන්න අවස්ථාව ලබා දීම හොඳ දෙයක් කියලයි මා සිතන්නේ. නමුත් යමෙක් ජනතා නියෝජිතයෙකු ලෙස පත් වීමට චන්දය ඉල්ලනවා නම්, පුරවැසි භාවය හිමි අනෙක් රටින්, තමන්ගේ පුරවැසි භාවය ඉවත් කර ගත යුතුයි කියා පොඩි සංශෝදනයක් ව්‍යවස්ථාවට ගේන්න ඕනේ. මොකද රටවල් දෙකට කකුල් තියාගෙන නියම මහජන නියෝජිතයෙකු හෝ ඇමති කෙනෙකු හෝ රාජ්‍ය නායකයෙකු වන්න බැහැ. මෙතැනදී සරල රීතියක් වන කම්ප්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එනවා. සාමාන්‍ය පුරවැසියෙකු වශයෙනුත් මට පෞද්ගලිකව එවැනි දෙයක් එනම් ද්විත්ත්ව හෝ බහු පුරවැසිකම අවශ්‍ය දෙයක් නොවේ කියලත් මා විශ්වාස කරනවා).

රසිකගේ ඒ සටහන් වල, මා මගේ අදහස් කියුවේ තුන්වැනි පාර්ශවයක් මේ ප්‍රශ්නය දිහා බලන විදිහට මිසක් මගේ පෞද්ගලික අවශ්‍යතාවයක් ඉටු කර ගන්න නොවේ. ලංකාවෙන් ඉවත්ව ඇවිත් ජිවත් වන්නේත්, ඔබට හා මට එදිනෙදා හමුවන ලාංකිකයන්ම තමා. මොවුන් වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණිලා නැහැ. ඔබටත්, මටත් තියන අඩුපාඩුකම්, හොඳ නොහොඳ, ශිල්පීය ඥාණයන් එකසේ සංක්‍රමණිකයන්ටත් පොදුයි. අප අදහස් බෙදා ගන්නේ, අනුන්ගේ අත්දැකීම් වලින් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් ගන්න, අඩුපාඩු තියනවා නම් හදා ගන්න, වෙනස් විදිහට හිතන පිරිස් වල අදහස් නිකමට හෝ දැන ගන්න යනාදී දේවල් වලට.

කලින් ලියපු දේවල්ම නැවත නැවතත් ලියන්න වීම වෙහෙසකරයි වගේම බොරින්. නමුත් කලින් සටහන් කිහිපයක ලියු කරුණු කිහිපයක් මතක් කරන්නම්. එනම් ලංකාවේ ජිවත් වන සමහර දෙනා සංක්‍රමණිකයන් කියන පිරිස් දෙස මහා වෛරයකින් බලන වග පෙනෙනවා. මෙයත් අර බටහිර කෘමන්ත්‍රණ නිසා කෙල වෙනවා වගේම කරුණක්. ඔය සියලුම වාදීන් ඉන්නේ ඒ ගොඩේ. එනම් වෛරක්කාර ගොඩේ. එය ඔවුන්ගේ කැමැත්තය කියමු.

මා රසිකගේ සටහන් වලදී කියුව මුලික කරුණ, සංක්‍රමණිකයන් කියන්නෙත් ගෙදරදොර, පවුල් හා රැකියා ප්‍රශ්න තියන ඔබ-මා වගේම තවත් මනුෂ්‍ය කොට්ටාශයක්. කැමැත්තෙන් රටින් ඉවත් වූ පිරිසට අමතරව, රටින් බලෙන් යාමට වැඩ සිද්ද වුණ පිරිසකුත් ඉන්නා නිසාම තමා, ලංකාවේ ද්විත්ත්ව පුරවැසි බව ගන්නට ඉඩදීම වඩාත් සාධාරණ යයි මා පෞද්ගලිකව සිතන්නේ. එතැනදී රට-රටවල් වල ජිවත් වන බොහෝ දෙනා දක්වපු අදහස් වල තිබුණේ, ඔවුනට යම් සහනයක් දෙන ලෙසයි. එවැනි ඉල්ලීමකට කේන්ති යන්නේ අර වෛරක්කාර පිරිසට පමණයි. එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට හෝ නොදැක්වීමට අදාළ බලධාරීන්ට පුළුවන්.

එවැනි ඉල්ලීමක් ලංකාවේ ජිවත් කෙනෙකුට ලොකු වැදගත්කමක් නැති එකත් මා දන්නවා. මෙන්න ඒ ගැන 2012 වසරේ කෙන්ජි ගේ ප්‍රතිචාරයකට මගේ පිළිතුරේ කොටසක්. //ඔබ කියන්න වගේ මේ වගේ අනාත වීසා ඉල්ලගෙන එන ගමන්, රටේ ඉන්න මිනිසුන්ගෙන් රජය වෙනස් කරන්න කියා ඉල්ලීම, ඔවුනටම අවාසිදායකයි. එතන කරුණු කීපයක් තියනවා. මා එකක් කියන්නම්. උදාහරණයට මෙහෙම ගම්මු (කාටවත් හිත නොරිදෙන විදිහට). මා ඕස්ට්‍රේලියානු පුරවැසිකම ගන්න කොට, ලංකාවේ පුරවැසිකමත් තියා ගන්න ඕනේ උනා කියමු. දැන් මේක කලකට නතර කරලා තිබුනා. ලංකාවේ ගුවන් විදුලියක මට අවස්තාව දෙනවා අදහස් දක්වන්න. මා ලංකාවේ මිනිසුන්ගෙන් ඉල්ලනවා, පවතින රජය වෙනස් කරන්න, මොකද මෙයාල නිසා, මට ද්විත්ව පුරවැසි කම තියා ගන්න බැහැ. එතකොට ඔබ ලංකාවේ චන්ද දායකයෙක් නම්, ඔබට හිතෙන දෙයට ආසන්න දෙයක් තමා, පකිස්තානකාරයාගේ කතාවට ඕස්ට්‍රේලියානු චන්ද දායකයෙකුට හිතෙන්නේ// https://raigamahandiya.wordpress.com/2012/11/23/%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B6%86%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA-barking-up-the-wrong-tree

මා පෞද්ගලිකව නම්, සටහනේ මුල තියනවා වගේ අකමැති හෝ මට වැඩකට නැතිය කියල සිතෙන දේවල් කියවන්නේ, නරඹන්නේ හා අහන්නට කාලය යොදන්නේ නැහැ. මොකද ඇත්තම කියනවා නම්, එහෙම කාලයක් මට නැහැ. ඉතිං තියන කාලය ප්‍රයෝජනවත් අයුරින් ගත කරන්නට වෙහෙසෙනවා. ලංකාවේ අතීත අත්දැකීම් මා මෙහි ලියන්නේ, ඒවා මගේ ජිවිතයේ කොටසක් නිසා. අද සිදුවන දේවල් පවා ලියන්නේ ඒවත් මගේ ජිවිතයේ කොටසක් නිසා. ලංකාවේ රජයක් වෙනස් වුණා හෝ නොවුණා කියා මට පෞද්ගලිකව මහා බලපෑමක් නැහැ. නමුත් සටහනේ ‘පලි කොටසේ’ ලියා තියන පරිදි ලංකාවේ ජිවත් වන මගේ ඥාතීන්ට හා පොදුවේ සියලුම ජනයාට සෙතක් වනවා නම් මා කැමතියි. ලෝකයේ අනෙක් රටවල් ගැනත්, ඒවායේ ජිවත් වන ජනතාව ගැනත් එයිට අඩු බැඳීමක් ඇතත්, මා අයහපතක් බලාපොරොත්තු වන්නේ නැහැ.

මිනිසුන්ගේ පෞද්ගලික තේරීම් වලට ගැරහීම වැරදියි කියා මා මෙහි නිතරම ලියන දෙයක්. මා ජිවන විලාසිතා වලින් සමහර දේවල් විවේචනය කරන්නේ, ගරහමින් නොවේ. ගරහලා හෝ බලෙන් එවැනි විලාසිතා වෙනස් කළ නොහැකියි. නමුත් වෙනස් විදිහකට සිතන්නට අනුබල දෙන්නට අපට පුළුවන්.

ලෝකේ කොහේ ජිවත් වුනත් අපේ සමාජ වල යම් යම් වැට කඩොලු තියනවා. අප අපේ දරුවන් ඉදිරියේ හෝ ප්‍රසිද්ධ තැනක ලිංගික ක්‍රියා නොකරන්නේ නීතියෙන් අප වරද කරුවන් කරන නිසාම නොවේ. එය අපේ සභ්‍යත්වයට එකඟ නැහැ. ප්‍රසිද්ධ ස්ථානතැන වල දුම් බීම වැනි දේවල් වලට සිමා පනවා තියෙන්නේ එයින් අනෙකුත් අයටත් හානි වන නිසා. මෙවැනි කුඩා දේවල් වල සිට මහා දේවල් වලටත් සීමා වැට කඩොලු තියනවා. ඒවායේ අරමුණ “පොදු යහපතයි”.

අර කලින් කියුවා වගේ රජයක ප්‍රමාණය කොතරම් විය යුතුද කියන එක ගැන පවා සංවාද-වාද-විවාද හැම රටකම තියනවා. මේ තියන තත්වය පවා යම් දිනෙක වෙනස් වේවි. තමන්ට වෙනස් මත දරන්නට ගරහන්නේ හෝ ගහන්නේ නැතිව “බහුතර මතය” කියන දේ තමන්ගේ පැත්තට නම්වා ගන්න පුළුවන් නම්, සමාජය වෙනස් කරන්නට පුළුවන්. වෙනස් මත දැරීම මාරාන්තික කරුණක් වන සමාජ අදත් තිබීම මනුෂ්‍යත්වයේ මහා ඛේදවාචකයක්!

  • කුඩා පිරිස කියවුවත්, ඒ අය අතුරෙන් කිහිප දෙනෙක් මේ අදහස් වලින් කොටසක් හෝ අන් අය සමග බෙදා ගන්නා වග දැක ගන්නට ලැබීම එයට ප්‍රධාන හේතුවයි!

(සටහන දිග වීම කණගාටුවට කරුණක් නම් තමා).
මගෙ දුවයි පුතයි වුනත් මා හදන පොල්සම්බලය සිට ලංකාවෙ කෑමත්……. ස්පැගටි …පස්ත වගේ අපට ආවේනික කෑම වුනත් කන්නෙ අහවල් තැන ට වඩා හරි රසයි කියමින්…..! ලින්කුවේ මාතෘකාවට දමා තියෙන්නේ කෙන්ජිගේ ප්‍රතිචාරයක කොටසක්. එය මා ලියපු එම සටහනේ අදහස කැටි කර දක්වන්නක්. මෙවැනි සටහන් යලි යලිත් ලියන්න වීමත් කනගාටුවට කරුණක් තමා. 😦

Advertisements

2 Comments

Filed under Opinion

2 responses to “Liberals, libertarians and කබටේරියන්ස්!

  1. 1. මැතිවරණ ප්‍රතිපලය ගැන නම් ඉතා කෙටියෙන් කියන්න තියෙන්නෙ “රජෙක්” නැතිවී ජනාධිපති කෙනෙක් ඒම ම ඇති කියල.

    2. මා කුමන වර්ගයේද කියල මගෙන් ඇහුවොත් මං කියන්නෙ මා මා වගේ (individualistic)මිසක් ඔය කිසිම වර්ගයකට අයත් නොවේ කියල. ඒත් මට මොකක් හරි දර්ශනයක් තෝරා ගන්න කියල බල කලොත් මං තෝරාගන්නෙ liberalism.
    මං කැමති තවත් වර්ගයක් ඉන්නව. ඒගොල්ල සමාජයට එතරම් හොඳ නැතුව ඇති ඒත් ආස හිතෙනව- Libertines !! 😀

    • මා මේ වෙලාවේ,අපේ අගමැතිට වුන දේ කියන හවස ප්‍රවුර්ති අහනවා.
      ඔබ හරි, වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා. රජා පන්නපු එකෙන් ජනතාව යුතුකම ඉටු කෙරුවා. දැන් ඔය ජිල්-මාර්ට් වලින් විපක්ෂනායක කමේ හිටපු කෙනාගෙයි, අනික් අයගෙයි කෙරුවාව ඔබට දැක ගන්නට ලැබේවි. බලය නොමැති විට නොපෙන්වූ ප්‍රජාතාන්ත්‍රික බවක් හෝ යහපාලනයක්, බලය ඇති විටදී පෙන්වයි කියල සිතන්නට අමාරුයි. මං හිතුවා අවුරුදු 20 තුල වෙනස් වී ඇති කියලා. කැබිනට් එකෙන්ම එහෙම වගක් පළ වුනේ නැහැ නේද ප්‍රා? නමුත් අද ජනතාව, විශේෂයෙන් අලුත් තරුණයන් වෙනස් වෙමින් යන වගක් පෙනෙනවද? නැත්නම් එයත් මිරිඟුවක් ද?
      මා නම් ප්‍රා අයිඩියෝලොජි වලට එතරම් කැමති නැහැ. ඔය සොෂලිස්ම්, ලිබරලිස්ම් යනාදී මුලධර්මවාද, මේ සමාජයේ ක්‍රියාත්මක වන්නේ නැහැ. සමහර අය “නිදහස් වෙළඳපොල” කියලා මේ ධනවත් රටවල් මතුරන මන්ත්‍රයට ගිනිකන වැටිලා ඉන්නවා. එයත් බොහෝ දුරට මිත්‍යාවක් විතරයි. ලෝකයම හැසිරිය යුතු අන්දම තීරණය කරන, ඇමෙරිකාව වැනි රටවල් වල ඉන්න ලිබරල් වාදීන්, ලංකාව වැනි කුඩා රටකට සියල්ල නිදහස් කරන්න කියන විට මාගේ මුවඟට සිනහවක් නැගෙනවා. ඒ වගේම ලිබරල් ටෝනි කියන්නේ රජපවුලේ මහා දායකයෙක්. මේ ගමන කෙල වෙන්න ඔන්න මෙන්න ගියෙත් රජපවුලට ගොටු අල්ලන්න ගිහින්. ලිබරල් වාදියෙක් කොහොමද ප්‍රා, මිනිසෙකුගේ උපත නිසා රජෙක් වීම අනුමත කරන්නේ? ඔන්න ඕවයේ හැටි.

      Libertines කෙසේ වෙතත් මං One Directionට නම් කැමතියි! 😀
      //We’re only getting older baby
      And I’ve been thinking about you lately
      Does it ever drive you crazy
      Just how fast the night changes
      Everything that you’ve ever dreamed of
      Disappearing when you wake up
      But there’s nothing to be afraid of
      Even when the night changes
      It will never change me and you//

      Source: http://www.directlyrics.com/one-direction-night-changes-lyrics.html

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s