කළු පාන්, සාඩින් සහ රුසියානු කරවල!


පසුගිය නිවාඩුවට එක්තරා නගරයකට ගිහිං එන අතරමගදී කුඩා ටවුමක නැවතුනේ දවාලට කන්න. කන්න කඩයක් සොයමින් යනතුර මගේ නෙත ගැටුනේ රුසියානු නිෂ්පාදන විතරක් තියන කඩයක්. අහන්න දෙයක් නැහැනේ මා එයට ගොඩ වුණේ නිතැතින්. කඩේ බඩු ගන්න හිටියෙත් රුසියානුවන්. කතා කලෙත් රුසියානු භාෂාව. මා අතීතයට ගියේ නිරායාසයෙන්.

සෝවියට් රුසියාවේ ගිහිං පළමු වරට කන්න දෙයක් හදාගන්න ගිහිං වුණ සංගෙදිය මා කලින් ලියා ඇති. එය මකලද මට මතක නැහැ. වැඩේ තියෙන්නේ, එදා හදපු බැටළු මස් හොද්ද හැදුවේ මා නොවේ. එම මස් කන්න බැරි රබර් පට්ට වගේ වුණා. පසුව තමා මා හරියට උයන්න ගත්තේ. ඉන් පසු අද වන තුරු ආපු මගේ ඉවීම් වල පරිණාමය රිමාකබල් කියල කියන්න පුළුවන්. අද අපේ ගෙදර මගේ මස් (හොද්ද) නැතුවම බැරි දෙයක්.

දැන් අර රුසියානු කඩයට නැවත ගොඩ වැදුනොත්, මා ගොහින් හිටපු ගමනේ හැටියට කිසිම දෙයක් මිලදී ගන්න හැකියාවක් තිබුනේ නැහැ. නමුත් මේ වගේ අවස්ථා නිතර ලැබෙන්නේ නැති නිසා කැමතිම කෑම ජාති කිහිපයක් මිලදී ගත්තා.

ඉන් එකක් තමා තක්කාලි සෝස් වල දමපු කිල්කා කියන කුඩා මාළුන් ටින්. මේවා එදා අපේ ආහාරයේ එක සංඝටකයක්. විශේෂයෙන්ම ඔය හාඩප් වෙලා කාමරේට එන විට, මෙව්වා කරකවල ගන්න ලෙහෙසියි වගේම වැඩි වෙලා යන්නේ නැහැ.

භාෂාව ඉගෙන ගන්න පළමු වසර ඉවර වෙලා, සරසවියේ පළමු වසර පටන් ගන්න කොට අනික් අය කෙසේ වෙතත් මා නම් ඉවීමේ ප්‍රවීණයෙක්. සරසවි පළමු වසරේ ඔන්න එක දවසක් ටවුමේ කරක් ගහල කට්ටිය එක්ක කාමරේට ඇවිත්, කන්න දෙයක් සරි කර ගන්න වෙහෙසුනා. කබඩ් එකේ තිබුන කිල්කා සැමන් තමා ප්‍රධාන තේරීම වුණේ.

සැමන් එක කරකවල අරන්, සෝස් පෑන් එකත් අරන් කාමරේට එනකොට, මොකක් හෝ හේතුවකට මගේ අතින් සෝස් පෑන් එක බිම වැටුණා. තක්කාලි සෝස් සහිත කුඩා මාළුන් කාමරයේ බුමුතුරණයේ විසිරි ගොස් තිබුණා. රුසියානු කැමරාවක් අතේ තිබුණ අපේ මිතුරෙක් මේ අවස්ථාව පින්තූරයට නගා තිබුණා. එය නොවේ ප්‍රධාන් ප්‍රශ්ණය. කට්ටියගේ බඩගින්නයි.

කට්ටියට ටිකක් බලා ඉන්න වුණත්, ඊළඟට හැදුවේ බැටළු මස් හොද්දක්.

කලින් සටහනක ලියා ඇති පරිදි, සෝවියට් කරවල වල රස බලන්න මට හම්බ වුනේ එහි ගිය දෙවෙනි හෝ තුන්වන දවසේ. පසුව උයන විට මේ කරවල අපේ දිවේ රස අනුව බැදලා ගන්න අප පුරුදු වුණා. ඒවායේ බදින්න දෙයක් නැහැ. නිකම් කන්න තියෙන්නේ. නමුත් බත් එක්ක කන්න නම් ටිකක් කරකවන්න ඕනේ.

කුඩා කාලයේ හුරු වුන අපේ දිවේ රසය මරණය තෙක් වෙනස් වන එකක් නැහැ. මට නම් වෙනස් කර ගන්න ඕනේ කමකුත් නැහැ. එවැනි දේවල් වලින් අපට හෝ වෙන අයට ඇති හානියකුත් නැහැ. ඕස්ට්‍රේලියාවේ උපන් අපේ පොඩි දරුවත් අපේ දිවේ රසය දන්නවා. මොකද ඔහුත් කන්නේ “අපේ දේවල්”.

මා හා මගේ සහකාරිය කන දේවල් ගැන සැලකිලිමත්. එයිනුත් මා නම් ටිකක් අඩුවෙන් තමා. මොකද මගේ පරිවුර්තිය ක්‍රියාවන් ටිකක් වේගවත්. නමුත් කන දේවල් ගැන හිතනවා. හැබැයි අපේ ලාංකිය බලපෑම මා හදන හැම කෑමකම තියනවා. එය මට ලැජ්ජාවට කාරණයක් කියා ඔබ සිතනවා නම්, මේ සටහන් කියවීම ඔබට කිසි ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැහැ.

පලි
බ්ලොගයට වෙන් කරපු මගේ ටයිම් ස්ලොටය වෙනත් ක්‍රියාකාරකම් වලින් සීග්‍රයෙන් විස්ථාපන වෙමින් පවතින කලක, මේ සටහන ලියන්නට සිත යොමු වූයේ මේ දැන් කියවූ තවත් බ්ලොග් සටහනක් නිසා.

Advertisements

32 Comments

Filed under Lifestyle, Opinion

32 responses to “කළු පාන්, සාඩින් සහ රුසියානු කරවල!

  1. රුසියන් කරවල අපේ වගේ ලුණු දාන (salted) කරවලද? තම්බල වේලන උම්බලකඩ වගේද?

    • ජාඩි වගේ ඇති?
      මං දැකලා තියෙනවා සමහරු අර හෙරීං කියන මාලු දාපු ටින් අරගෙන කනවා. මං නං හැමදාම වගේ සතියේ දිනවල කන්නේ ටූනා මාලු ටින් එකක් (සහ වෙනත් දේ).

        • මේවා ප්‍රා, දුම් ගසන ළද මාළු/කරවල. උයන්න අවශ්‍ය නැහැ. බිර බොන කොට කන්න කියාපු ජාතියක් සමහරුනට. ඒ වගේම කොමර්ෂල් නිෂ්පාදන නොවේ. කුඩාවට හදපුවා. ලූනු හා තක්කාලි (ඇඹුල් එකතුවට) බැදලා, මේ කරවල අතින් කෑලි වලට කඩලා දමල යන්තමින් බැද ගත්ත පසුව බත් සමග කන්න පුළුවන්.

          • මගෙ ප්‍රියතම කෑමක් උම්බලකඩ. ස්මෝක්ඩ් සැමන් වලට නම් මං ආස නෑ. රුසියන් එකනම් හොඳ ඇති.
            කාල නැති ට්‍රයි කරන්න ආස කෑමක් තමයි beef jerky .
            ඇමරිකාවෙ නම් ස්නැක් විදිහටත් තියනවනේ. ඔසී තියනවද?

            • ඔය ‘හරක් මස’ මෙහේ වූල්වර්ත් සුපර්මාර්කට් වල ගන්න තියනවා. මට ආස හිතිලා නැහැ.
              ශීත පරිසරයේ මාළුන්ගේ ඇඟේ තෙල් වැඩි නිසා, සමහරවිට අමුතු රසයක් එකතු කරනවා ඇති.

                  • http://geronimojerky.com.au/ ????
                    කවද්ද රයිගම් මෙහෙ එන්නෙ? 😀 😀

                    • ඕවා ස්නැක් ලෙස කන්න පැකට් කර කඩේ තියනවා. අපේ පුතාලගේ පන්ති වල ළමයින් පාසලේ කන්නත් ඕවා ගෙනෙනවා. පෙනුමට තමා මා ආස නැත්තේ. ප්‍රානුත් හොඳ හරක් මස්/කෑම පිලිබඳ විශේෂ ඇල්මක් තියන කෙනෙක් වගේ!
                      අරක්කු බෝතලයක් ප්‍රා සෙට් කරනවා නම්, මා beef jerky අරන් එන්නම්! 😀

                    • ඔව් මං හරි ආසයි. ඒත් ලංකාවෙ හරක් මස් කනකොට මට අප්සෙට් නිසා ඉතා කලාතුරකින් කන්නෙ ඔය බර්ගර් එකක් වගේ දෙයක්. මෙහෙ වේදනා අවම මැරීම් ක්‍රම (humane slaughter) නැති නිසා. එනිසා තමයි පිටරට හරක් මස් වලට කෙල ගිලින්නෙ
                      Anytime Raigam. Gal or Pol?

                    • ප්‍රමිතියක් ඇති සත්ත්ව පාළන ක්‍රම ව්‍යාප්ත කිරීමට එරෙහිව ඇති ආගමික හා සංස්කෘතික වැටකඩොලු, ඇත්තටම කනගාටුදායක දෙයක්. මෙහි තියන අනෙක් කරුණ තමා මෙවැනි දේ මගින් බඩට වදින්නේ ඉහල මධ්‍යම හෝ ධනපති කට්ටියට නොවේ.

                      අප හරකා කන්නේ අඩුවෙන්. නමුත් මෙහෙ හොඳ හරක් ඉන්නවා. මේවා අර රසික කියන්න වගේ සුළු ධනේශ්වර මාතෘකා. නමුත් දේශපාලනය කතා කරන අයගේ ආකල්ප දැක්කහම, එයාලටම ඒවා කතා කරන්න දීල, ඔබත් මාත් කැමති මේ වගේ දේවල් ඉදිරියට ගෙන යමු.
                      Great! I like coconuts!!

  2. Pingback: කළු පාන්, සාඩින් සහ රුසියානු කරවල! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. කළු පාන් ගැන කියෙව්වේ රුසියානු පරිවර්තතනවලයි. වොඩ්කා බීලා පාන් කෑල්ලක් කනවා ලු නේද?

    • රසික කෙලවල්ලන් නිතර කනවා නම් හොඳට මොලේ ඇතිනේ නේද? 😀
      එම කළු පාන් වෙන ලොවෙත් නැත. රුස්සන් ඕවයේ පුසුඹ බලල, වෝද්ක වඩිය කට කපල ගහනවා. වෙන ෂැන්ඩි නැහැ. හැබැයි බොන අතරතුර හොඳට කනවා. කොහොමත් ශරීර බර හා තෙල් තට්ටුව අනුව මධ්‍යසාර වෙරි වීමට අවශ්‍ය ප්‍රමාණය වැඩිනේ!

  4. ඔන්න තවරිෂ් මන් ඇවිත් ගියා. කිල්කා කාපු කාලයක් මතක නැහැ.

    • Привет මචං! මාත් ගත්තේ කල්ප ගානකට පසුව. මෙහෙ එතරම් විශාල රුසියානු ජනගහනයක් නැහැ.

      • Привет කොහෙද මචන් ඔයා ඉන්නේ ?

        • බලපං මේක දල්වාගෙන ඉන්න නිසා හොඳයි. මා කැන්බරා වල ඉන්නේ. උඹ අහපු ප්‍රශ්න වලට ඊ මේලයකින් පිළිතුරු දෙන්නම්.

  5. කළු පාං කියන්නේ මොනවද , ඒවා කළු කරන්නේ කොහොමද

    • මොකදැයි කියන්න දන්නේ නැහැ ලක්මාල්, ඔබගේ මේ කොමෙන්ටුව තිබුනේ ස්පෑම් ගොඩේ. තවමත් ඔබත් කියවන වග දැන ගැනීමට ලැබීම සතුටක්.

      මෙහෙමයි ලක්මාල් කතන්දරේ. දැන් නිවුඩ්ඩ හැරපු සුදු හාල් හා රතු හාල් තියනවනේ. මෝලේදී අනුගමනය කරණ පාහින ක්‍රමය අනුව, නිවුඩ්ඩ සම්පුර්ණයෙන් ඉවත් කරන්න, බාගෙට ඉවත් කරන්න හෝ සම්පුර්ණයෙන් තියා ගන්නත් පුළුවන්. ඇත්තටම නිවුඩ්ඩ කියන්නේ වී පොත්ත හා ඇටය අතර තවත් පොඩි ආවරණයක්.

      දැන් ලක්මාල් ඇටයක් කියන්නේ, කුකුළු බිත්තරයක් වගේ දෙයක්ම තමා. මේවා අප කන්න ගත්තත්, ඒවා නිපදවන ගහේ හෝ පැලෑටියේ බලාපොරොත්තුව, ඒවායින් තමන්ගේ අනාගත පරම්පරාව බිහි කිරීමයි.

      කුඩා පැලයකට මුල් ඇදල පසෙන් පෝෂක උරා ගන්න තරම් ලොකු වෙන්නට පෙර, අවශ්‍ය පෝෂක මේ ඇට වල ගබඩා කර තියනවා. අපට කන්න පුළුවනුත් අන්න ඒ නිසා.

      දැන් මේ ඇටයක පොත්ත කියන්නේ එයට ආරක්ෂාව දෙන්න තියන දෙයක්. බිත්තරයක කටුව වගේ. වී හා ධාන්‍ය වර්ග වල පිට පොත්තට අමතරව, ඇතුලේ නිවුඩ්ඩ කියන්නෙත් තවත් ආවරණයක්. එයිනුත් ඇටේට ආරක්ෂාව දෙනවා. සමහර කුරුල්ලන් වී ඇටය පිටින් ගිල්ලත්, එය ජීර්ණය වන්නේ නැහැ. අනික් පැත්තෙන් පිටවී වී පැලයක් හැදෙනවා. ඒ අර පිට ආවරණ වල තද බව නිසා.

      මේ ඇතුල් ආවරණය නැත්නම් කුරුට්ට මගින් එයිට අමතරව කුඩා පැලයකට අවශ්‍ය පෝෂකත් ගබඩා කරනවා. විශේෂයෙන් ප්‍රෝටීන හා විටමින් බි. වී ඇටයේ තියෙන්නේ වැඩිපුර කාබෝහයිඩ්රේට්.

      වී විතරක් නොවේ, තිරිඟු හා අනෙක් ධාන්‍ය වලත් මේ පොතු මේ ආකාරයෙන්ම තියනවා. ලංකාවේ ප්‍රීමා කම්හල මගින් කුරුට්ට සම්පුර්ණයෙන් ඉවත් කර පිටි නිෂ්පාදනය කරන්නේ. එම පිටි සුදෝ සුදු අන්න ඒ නිසා. කුරුට්ට මගින් පිටි වලට දුඹුරු පැහැයක් එක් කරනවා. ඒ වගේම සම්පුර්ණ ඇටයේ පිටි නැත්නම් නිවුඩ්ඩ එක්ක අඹරන පිටි වලින් හදන පාන් සුදු නැහැ. ඒවායේ තියන නිවුඩ්ඩ නිසා පෝෂක වැඩියෙන් එකතු කරනවට අමතරව, මේවා අපගේ උදරයේ වැඩිපුර කාලයක් දිරවන්න තියනවා. මොකද එම කොටස් දිරවීමට අමාරුයි. එම නිසා එවැනි පාන් පෙති දෙකකින් වැඩිපුර කාලයක් බඩගිනි නොදැනී ඉන්න පුළුවන්. ඒ වගේම පාන් වල රසයක් ටිකක් වෙනස්.

      ප්‍රීමා කම්හල ඉවත් කරන කුරුට්ට අහක දාන්නේ නැහැ. මේවා වෙනත් නිෂ්පාදන වලට යොදා ගන්නවා.

      රුසියානු කළු පාන් වලට ආවොත් ලක්මාල්, ඒවා හදන්නේ සම්පුර්ණයෙන් තිරිඟු පිටි වලින් විතරක් නොවේ. තිරිඟු හා රයි කියන අනෙක් ධාන්‍ය දෙවර්ගයේ පිටි කලවමක්. රයි කියන්නේ තිරිඟු වගේ තවත් ධාන්‍ය වර්ගයක්. මේවා පෙර කලෙක ජනප්‍රියව තිබිලා, තිරිඟු ජනප්‍රිය වුනහම සැඟවී ගියා. මේ පාන් වලට ගන්න තිරිඟු පිටිත් සුදු කුරුට්ට ඇරපු ඒවා නොවේ, මුළු ඇටයම අඹරපු ඒවා. එතකොට මෝලේදී වෙනම එකතු කරපු නිවුඩ්ඩ ද මේවට (පාන් පිටි මිශ්‍රණයට) අඩු වැඩි වශයෙන් එකතු කරනවා. මේ සංඝටක කලවම් කරන ප්‍රමාණ අනුව පාන් වල කළු බවේ අඩු වැඩි ගතියත් රසයත් වෙනස් වෙනවා.

      ග්‍රීෂ්ම කාලය සෞම්‍ය රුසියාවේ හැදෙන තිරිඟු වල රසය පවා වෙනස්. ඒ අනුව පාන් වල පවා රස වෙනස්. මෙහෙ ඕස්ට්‍රේලියාවේ පවා රයි කියන ධාන්‍ය පිටි වලින් හදපු කළු පාන් තියනවා. ඒවා අර තරම් රස නැහැ.

      දැන් ලක්මාල් නිවුඩ්ඩ ඇති හාල් වලින් බත් උයල කාපුවහම වැඩිපුර කලක් අල්ල ඉන්න පුළුවන්. ඒ නිසා නිතර කන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සම්පුර්ණ කුරුට්ට එක්ක පිටි හදල , පුළුස්සන පානුත් මේ වගේ. සුදු හාල් වලත් කුරුට්ට තියා ගන්න පුළුවන්. එකම දේ රතු හාල් වගේ එම කුරුට්ට අපට එකවර පෙනෙන්නේ නැහැ. ඔන්න ඕකයි කතන්දරේ.

      https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcSQhInLMHZZ4d1Ok8QycxVMzz2E-lNhr0rxgqReEFxMcypwUk49xFV–tA

      • මේ පිළිතුර වෙනම ලිපියක් විදියට පළ කරන්න!

        • ස්තුතියි රසික. හරි දාන්නම්.. ඒ විතරක් නොවේ ඔබේ පාන් කතාව ඇසුරින් මතු වූ කිරි කතාව ගැනත්, මට එතැනදී ප්‍රමාණවත් ලෙස කරුණු ලියන්නට බැරි වුණා. එයත් ලියන්න බලන්නම් (පල්ලෙහා තියන කොමෙන්ටුව දැන් අවශ්‍ය නැහැනේ. ඔන්න මං ඒක මැකුවා). 🙂

  6. ඔය කියන ටින් මාලු කාලා තියෙනවා. කෑම ගැන ලියනකොට මාර රහක් දැනෙනේ…:D

    • කෑම ගැන කුලල් කා ගන්නේ නැතුව ලියන්න පුළුවන් නේ ප්‍රවීනා. අන්න ඒකයි රහ (ස).

  7. //ඔබත් මාත් කැමති මේ වගේ දේවල් //

    මං නම් ඉතින් Homer ඉඳන් Stan Lee වෙනකම් කියවනව. වැඩියෙන් Stan Lee තමයි. 😀 . එතකොට මොන ධනේශ්වරද?
    Individualism හැර වෙන දර්ශනයකට අයිති වෙලා ඉඳල නෑ කවදාවත්

    • හේ හේ!! සුළු, මධ්‍යම පරිමාණ හා මහා, ඔය තුන තමා තියෙන්නේ. 😀
      පාඨක පිටුව කියා පිටුවක් අරින්නද ඔබට ලියන්න? මා කැමතියි ඔබේ දර්ශනයට.

  8. අර රුසියානු කැමරාව Zenith එකක් වෙන්නැති නේද?

    උඹ ඔය කියන රුසියානු කඩේ ඔසීවල තියෙන එකක්ද එතකොට?

    උඹ FB පැත්තේ නො එන නිසා ආරංචි නොවෙන්න ඇති. අපිත් පහුගිය මාසේ රුසියාවේ පොඩ්ඩක් ඇවිද්දා. මොස්කව්, කුර්ස්ක්, බෙල්ගොරෝද් හෙම…

    • සෙනිත් කැමරාවක් මා ළඟ තවම තියනවා. නමුත් වැඩට ගන්නේ නම් නැහැ.

      මෙල්බර්න් වල නම් රුසියානු කඩවල් වැඩි ප්‍රදේශයක් තියන වග මා දන්නවා. සිඩ්නි වලත් අනිවාර්යයෙන්ම ඇති. මෙහෙත් නත්තල් කාලෙට රුසියානු කෑම සල්පිල් තියනවා, ඔය පල්ලි ආශ්‍රිතව. මා සඳහන් කරාපු මේ කඩේ කුඩා නගරයක තිබුන එකක්. එය අහම්බෙන් දැක්කේ.

      දුවව බලන්න ගියාද? මා FB වල නැහැ. ඕවාට වෙලාවක් නැහැ බං. උඹ මොකද මේ වගේ සටහනකටවත් කොමෙන්ටු නොදමන්නේ කියල මා ඊයේ සිතුවා. කෙන්ජි පවා දැන් මේක කියවන්නේ නැහැ වගේ.

      • මම බ්ලොග් ලෝකෙන් දුරස් වෙලා හිටියා මචං මාස කීපයක්. ඔව් උඹ හරි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s