ඇහැළේපොළ මහ නිලමේගේ ඉරණම කුමක් වීද? Forced migration! (1)


හොඳ දේවල් සිදු වන්නේ සෙමින්, නමුත් විශිෂ්ට දේවල් එක්වරම සිදුවෙනවා යයි කියමනක් තියනවනේ. ඔන්න දවසක් මං කොළඹ පොත් කඩයකට ගොඩ වුණේ, කාලයක ඉඳන් සිතේ තිබුණ ඉතිහාසයටත් සම්බන්ධ පොතක් මිලදී ගන්න. හපොයි දෙවියනේ, ඒ පොත් රාක්ක පීරී ගාල නම් මේ කපේදී පොතක් හොයා ගන්න බැහැ. විසි එක්වන සියවසේ කොම්පුටර ඉස්සරහ නිදිකිරන එක කාන්තාවක් ගාවට මා ගියේ, ඔවුනගේ කැටලොගය බලලා, පොත කඩේ තියනවද කියල හොයා ගන්න. අනේ එහෙමත් කස්ටමර් සර්විස්. බළල්ලු කයිද අඹ කිව්වලු. මා ආයිත් ඇවිත්, සිංහල පොත් තියන කොටසේ කරක් ගැහුවේ නිකමට වගේ.

අර පොතේ පිටකවරෙන් තේරෙනවනේ ඇතුලේ තියෙන්නේ මොනවාද කියල. අන්න ඒ වගේ පොතක් මගේ නෙත ගැටුනේ අහම්බෙන්. දුටුව ගමන් ගන්න හොඳ පොතක් කියල සිතුන නිසා අරන් ආව. අරගෙන කාලයක් වුවත් කියෙව්වේ, මේ ඊයේ පෙරේදා. වාසනාවකට හෝ අවාසනාවකට මට හම්බ වුණේ පරිවර්තනයක්. බොහෝ පරිවර්තන වගේ, මේ පොතත් පරිවර්තනය කර තිබුනේ, ශබ්දකෝෂයක් අතේ තියාගෙන වගේ කියල බැලු බැල්මට පෙනෙනවා. සමහර තැන් වල ඉතා සරල ව්‍යාකරණ නොසලකා තිබුනත්, අප නොදන්නා බර වචන යොදා අමුතු ගාම්භීරත්වයක් එක් කරන්නට උත්සහ කර තිබෙන වගත් පෙනෙනවා. මොනවා වුනත්, මා ලඟදි කියවපු පොත් අතුරින් මුල පටන්ම සිත බැඳ තබා ගන්නට පොතේ ඉදිරිපත් වුණ කරුනුත්, ඒවා ඉදිරිපත්කර ඇති, එනම් සොයා ගත් විදිහත් එක සේ හේතු වුණා. මොකක්ද දන්නවද මේ පොත?

…..”මම මුරිසි දිවයින දැක බලා ගන්නට ගියේ 1988 දිය. එක් උදෑසනක මා අලුතින් දැන හැඳුනුම්කම් ඇති කර ගෙන සිටි ශාම් මහතා මා නරඹන්න කැමති වනු ඇතැයි ඔහු කල්පනා කළ ඇතැම් ස්ථාන මට පෙන්වීමට මා දිවයින වටා සංචාරයක් සඳහා කැඳවා ගෙන යාමට ත්‍යාගශිලිව ඉදිරිපත් විය. එදින උදෑසන මා අත්දකින්ට නියමිතව සිටි දෑ මා තුල ගැඹුරු හා සදාකල් පවත්නා බලපෑමක් ඇති කරනු ඇති මම කිසි සේත් ම අවබෝධ කර ගෙන නොසිටියෙමි.

උක් වගා කරන ලද විශාල වතුයායක් තුළින් ඇතුළට හැරෙන්ට මත්තෙන් අපි ටික වෙලාවක් මුහුද අද්දරින් වැටී තිබූ පටු මාවතක් දිගේ ගමන් කළෙමු. අප ඝන වනාන්තරයක් තුළට ඇතුල් වන්නාක් මෙන් දැනිණි. එහෙත් වැඩි වේලා යාමට මත්තෙන් කැලෑව එළිපෙහෙළි කරන ලද ස්ථානයක සැලකිල්ලෙන් පවත්වා ගෙන යනු ලබන සේ පෙනෙන්නට තිබුණු සොහොනක් අද්දර ඔහු සියා මෝටර් රථය නතර කළේය. රථයෙන් බිමට බැස සුදු පිරියම් කර තිබුණු සොහොන්කොත පරික්ෂා කරන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය. එහි තිබී මට කියවන්නට ලැබුණු දේ ඇදහිය නොහැක්කක් විය…….(පිටුව xxiv).

මේ පොතේ කතුවරයා වන රාජා සී දසා බණ්ඩාරනායක පොතට මූල බීජය වැටුණ ප්‍රථම අත්දැකීම තමා ඉහතින් තියෙන්නේ. වෛද්‍ය විද්‍යා මහාචාර්ය වරයෙකු වන සිඩ්නි නුවර වෙසෙන බණ්ඩාරනායක, එදා දැක තිබෙන්නේ, කන්ද උඩ රට රාජ්‍යය ගිවිසුමක් මගින් ඉංගිරිසි පාලනයට පවරා දෙන්නට මූලික වුණා යයි පැවසෙන, එදා ප්‍රභූ පංතියේ මහා බලකණුවක් වූ ඇහැළේපොළ මහ නිලමේගේ සොහොනයි. ඉංගිරිසින් විසින් වසර 1815 දී මුළු ලංකාවේම බලය ඇල්ලූ පසුව, උඩරට ප්‍රභූන් නායකත්වය දුන් 1817 කැරැල්ල ඉංගිරිසින් මර්ධනය කළේ ම්ලේච්ච අයුරින්.

එහිදී අල්ලා ගත් හා භාර වුණ බොහෝ දෙනෙකු මරණ දඬුවම පැනවීමෙන් මෙලොවින් තුරන් කර තියනවා. තවත් සමහරුන් නඩු ඇසීමෙන් පසු ජීවිතාන්තය දක්වා සිරගෙට යවා තියනවා. මුරුසි දිවයින කරා පිටුවහල් කර තියෙන්නේ, එයිනුත් ලංකා ජනතාවට මහත්ම බලපෑමක් කළ හැකි පිරිස යයි ඉංගිරිසින් විසින් සැළකූ ප්‍රභූ පැලැන්තියේ සිර කරුවනුයි. එතකොට ඇහැළේපොළ? ඔහු මේ කැරැල්ලට සම්බන්ද නැහැනේ. කොහොමද ඔහුගේ සොහොන් කොත මුරුසියේ? ඇත්තම කියනවා නම්, මේ සිද්දිය මෙතරම් විස්තරාත්මකව මා දැන සිටියේ නැහැ.

……. සන්නද්ධ නැගිටීම අනෙක් පළාත් වලද ව්‍යාප්ත වූ අතර කනිටු පිළිමතලව්වේ ඇතුලු රදල ප්‍රධානීහු ඊට සම්බන්ධ වූහ. මහනුවරදී ඔහු සිරකරුවෙකු ලෙස අත් අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය හමුදා පැමිණියද ඔවුන්ගෙන් බේරී පළා යාමට ඔහු සමත් විය. බ්‍රවුන්රිග්ගේ උපදෙස් මත ඩොයිලි විසින් ප්‍රයෝගකාරී ලෙස ඇහැළේපොළ මහනුවර පිහිටි ඔහුගේ නිවසින් කැඳවන ලදුව කිසිදු චෝදනාවකින් තොරව අනපේක්ෂිත අයුරින් අත්අඩංගුවට ගැනිණි. ඉක්බිති, ඔහු කොළඹ නිවාස අඩස්සියේ තබන ලදී. මෙලෙස රජු අල්ලා ගැනීමටත් ඔහු සමග මහනුවර රාජධානිය අත්පත් කර ගැනීමටත් බ්‍රිතාන්‍යයන්ට උදව් කර තිබුණ එකම, එමෙන්ම ඉතාම වැදගත් පුද්ගලයා හුදෙක් සැක පිට අත් අඩංගුවට ගනු ලැබ අවුරුදු හතක වැනි දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ සිර භාරයේ රඳවා තිබිණි. මහනුවර සතු ව තිබු ඉතා අගනා දේපොළ තමන් අතට පත් කර ගත් කල්හි බ්‍රිතාන්‍යයන් විසින් ප්‍රදර්ශනය කරන ලද අකෘතඥතාව එබඳු විය…. (පිටුව 15).

(මතු සම්බන්දයි)!

Advertisements

2 Comments

Filed under Books

2 responses to “ඇහැළේපොළ මහ නිලමේගේ ඉරණම කුමක් වීද? Forced migration! (1)

  1. Pingback: ඇහැළේපොළ මහ නිලමේගේ ඉරණම කුමක් වීද? Forced migration! (1) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s