ලක්මාල්ට ලියූ පිළිතුර සටහනක් ලෙසින්!


bread

මොකදැයි කියන්න දන්නේ නැහැ ලක්මාල්, ඔබගේ මේ කොමෙන්ටුව තිබුනේ ස්පෑම් ගොඩේ. තවමත් ඔබත් කියවන වග දැන ගැනීමට ලැබීම සතුටක්.

මෙහෙමයි ලක්මාල් කතන්දරේ. දැන් නිවුඩ්ඩ හැරපු සුදු හාල් හා රතු හාල් තියනවනේ. මෝලේදී අනුගමනය කරණ පාහින ක්‍රමය අනුව, නිවුඩ්ඩ සම්පුර්ණයෙන් ඉවත් කරන්න, බාගෙට ඉවත් කරන්න හෝ සම්පුර්ණයෙන් තියා ගන්නත් පුළුවන්. ඇත්තටම නිවුඩ්ඩ කියන්නේ වී පොත්ත හා ඇටය අතර තවත් පොඩි ආවරණයක්.

දැන් ලක්මාල් ඇටයක් කියන්නේ, කුකුළු බිත්තරයක් වගේ දෙයක්ම තමා. මේවා අප කන්න ගත්තත්, ඒවා නිපදවන ගහේ හෝ පැලෑටියේ බලාපොරොත්තුව, ඒවායින් තමන්ගේ අනාගත පරම්පරාව බිහි කිරීමයි.

කුඩා පැලයකට මුල් ඇදල පසෙන් පෝෂක උරා ගන්න තරම් ලොකු වෙන්නට පෙර, අවශ්‍ය පෝෂක මේ ඇට වල ගබඩා කර තියනවා. අපට කන්න පුළුවනුත් අන්න ඒ නිසා.

දැන් මේ ඇටයක පොත්ත කියන්නේ එයට ආරක්ෂාව දෙන්න තියන දෙයක්. බිත්තරයක කටුව වගේ. වී හා ධාන්‍ය වර්ග වල පිට පොත්තට අමතරව, ඇතුලේ නිවුඩ්ඩ කියන්නෙත් තවත් ආවරණයක්. එයිනුත් ඇටේට ආරක්ෂාව දෙනවා. සමහර කුරුල්ලන් වී ඇටය පිටින් ගිල්ලත්, එය ජීර්ණය වන්නේ නැහැ. අනික් පැත්තෙන් පිටවී වී පැලයක් හැදෙනවා. ඒ අර පිට ආවරණ වල තද බව නිසා.

මේ ඇතුල් ආවරණය නැත්නම් කුරුට්ට මගින් එයිට අමතරව කුඩා පැලයකට අවශ්‍ය පෝෂකත් ගබඩා කරනවා. විශේෂයෙන් ප්‍රෝටීන හා විටමින් බි. වී ඇටයේ තියෙන්නේ වැඩිපුර කාබෝහයිඩ්රේට්.

වී විතරක් නොවේ, තිරිඟු හා අනෙක් ධාන්‍ය වලත් මේ පොතු මේ ආකාරයෙන්ම තියනවා. ලංකාවේ ප්‍රීමා කම්හල මගින් කුරුට්ට සම්පුර්ණයෙන් ඉවත් කර පිටි නිෂ්පාදනය කරන්නේ. එම පිටි සුදෝ සුදු අන්න ඒ නිසා. කුරුට්ට මගින් පිටි වලට දුඹුරු පැහැයක් එක් කරනවා. ඒ වගේම සම්පුර්ණ ඇටයේ පිටි නැත්නම් නිවුඩ්ඩ එක්ක අඹරන පිටි වලින් හදන පාන් සුදු නැහැ. ඒවායේ තියන නිවුඩ්ඩ නිසා පෝෂක වැඩියෙන් එකතු කරනවට අමතරව, මේවා අපගේ උදරයේ වැඩිපුර කාලයක් දිරවන්න තියනවා. මොකද එම කොටස් දිරවීමට අමාරුයි. එම නිසා එවැනි පාන් පෙති දෙකකින් වැඩිපුර කාලයක් බඩගිනි නොදැනී ඉන්න පුළුවන්. ඒ වගේම පාන් වල රසයක් ටිකක් වෙනස්.

ප්‍රීමා කම්හල ඉවත් කරන කුරුට්ට අහක දාන්නේ නැහැ. මේවා වෙනත් නිෂ්පාදන වලට යොදා ගන්නවා.

රුසියානු කළු පාන් වලට ආවොත් ලක්මාල්, ඒවා හදන්නේ සම්පුර්ණයෙන් තිරිඟු පිටි වලින් විතරක් නොවේ. තිරිඟු හා රයි කියන අනෙක් ධාන්‍ය දෙවර්ගයේ පිටි කලවමක්. රයි කියන්නේ තිරිඟු වගේ තවත් ධාන්‍ය වර්ගයක්. මේවා පෙර කලෙක ජනප්‍රියව තිබිලා, තිරිඟු ජනප්‍රිය වුනහම සැඟවී ගියා. මේ පාන් වලට ගන්න තිරිඟු පිටිත් සුදු කුරුට්ට ඇරපු ඒවා නොවේ, මුළු ඇටයම අඹරපු ඒවා. එතකොට මෝලේදී වෙනම එකතු කරපු නිවුඩ්ඩ ද මේවට (පාන් පිටි මිශ්‍රණයට) අඩු වැඩි වශයෙන් එකතු කරනවා. මේ සංඝටක කලවම් කරන ප්‍රමාණ අනුව පාන් වල කළු බවේ අඩු වැඩි ගතියත් රසයත් වෙනස් වෙනවා.

ග්‍රීෂ්ම කාලය සෞම්‍ය රුසියාවේ හැදෙන තිරිඟු වල රසය පවා වෙනස්. ඒ අනුව පාන් වල පවා රස වෙනස්. මෙහෙ ඕස්ට්‍රේලියාවේ පවා රයි කියන ධාන්‍ය පිටි වලින් හදපු කළු පාන් තියනවා. ඒවා අර තරම් රස නැහැ.

දැන් ලක්මාල් නිවුඩ්ඩ ඇති හාල් වලින් බත් උයල කාපුවහම වැඩිපුර කලක් අල්ල ඉන්න පුළුවන්. ඒ නිසා නිතර කන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සම්පුර්ණ කුරුට්ට එක්ක පිටි හදල , පුළුස්සන පානුත් මේ වගේ. සුදු හාල් වලත් කුරුට්ට තියා ගන්න පුළුවන්. එකම දේ රතු හාල් වගේ එම කුරුට්ට අපට එකවර පෙනෙන්නේ නැහැ. ඔන්න ඕකයි කතන්දරේ.

ඉහත පිළිතුර ලියුවේ කලබලයෙන්. රසික තමා යෝජනා කර තිබුනේ මෙය සටහනක් ලෙස වෙනම දමන්න කියා. තොරතුරු ගොඩක් ලියා මෙය තව සංකීර්ණ කිරීමේ අදහසක් නොමැති වුවත්, මෙන්න එහිදී මග හැරුණු කරුණු ටිකක්.

wheat3

ඉහතින් තියෙන්නේ තිරිඟු ඇටයක මූලික කොටස් කිහිපය.තිරිඟු විතරක් නොවේ, වී, බාර්ලි ධාන්‍ය වල ඇටයත් මේ වගේම තමා. පිට පොත්ත (දහයියා), ඇතුල් ආවරණය (කුරුට්ට/නිවුඩ්ඩ), බිජ කළලය හා ඇටය කියා අප සාමාන්‍යයෙන් හඳුන්වන පිටි සහිත කොටස. මෙයින් පිටි හදන විට සාමාන්‍යයෙන් ඇටය හැර අනෙක් කොටස් වෙන් කර අයින් කරනවා. wholemeal නැත්නම් සම්පුර්ණ ඇටයේ පිටි කියන්නේ, එක්කෝ මුළු ඇටයම (දහයියා නැතුව හොඳේ) අඹරපු පිටි නැත්නම්, අර ඇටය එනම් කාබෝහයිඩ්රේට් පිරි කොටස වෙනම අඹරලා, bran නැත්නම් කුරුට්ට වෙනම එකතු කරපු පිටි. මේ කොටස් දෙක විවිධ සංයුති වලින් එකතු කරන්න පුළුවන්. ඇටයේ සාමාන්‍යයෙන් ඇති සංයුතිය මොකක්ක්ද කියා මට දැන් මතකයට එන්නේ නැහැ. නමුත් සේරිවාණිජලා කුරුට්ට යන්තම් එකතු කර, පාට ගන්න වර්නකත් එකතු කරනවා. මේවා ව්‍යාජ-wholemeal නිෂ්පාදන කියන්න පුළුවන්.

කළු/දුඹුරු පාන් නැත්නම් ඔය මුළු ඇටයම අඹරල හදපු පිටි වලින් හදන පාන් වැඩි කලක් බඩේ තියෙන්න එක හේතුවක් තමා , ඒවායේ ආහාර තන්තු වැඩිපුර තිබීම. තන්තු වලින් සමහරක් (ජාල ද්‍රාව්‍ය) අපේ බඩේ දී දිරවනවා. තවත් සමහරක් දිරවන්නට නොහැකි ඒවා. මේ දෙවර්ගයම අපට වැදගත්. දිරවන වර්ගය දිරවන්නට කල් ගත වන නිසා කෑමෙන් පසු ආමාශයේ ආහාර වැඩි කලක් තියනවා. අපට ඒ නිසා ගොඩක් වෙලා යනකම් බඩගිනි දන්නේ නැහැ. බඩගිනි වීම හා අපට අවශ්‍ය ශක්තිය කියන්නේ තරමක් වෙනස් දෙකක්. මේක දිගට විස්තර කරන්න මා වෙහෙසෙන්නේ නැහැ. අනෙක් තන්තු මල වලට සවිවර ගතියක් එකතු කරනවා. එයත් ආහාර මාර්ග පද්ධතියේ “යහපාලනයට” බලපාන දෙයක්.

දැන් මේ මධ්‍යම පන්තියට මිලදී ගන්න වෙළඳ පොලට ඇවිත් තියන කින්වා, චිආ, අමරන්ත් (තම්පලා), ස්පෙල්ට්, බජිරි හා කුරක්කන් වැනි ඇට වර්ග බටහිර මධ්‍යම පන්තිය අතර ජනප්‍රිය ඇයි (අඩුම ගානේ මේවා ඉහල මිල ගණන් වලට කඩේ ගන්න තියෙන්නේ ඇයි)? (මේවා සමහරක් ධාන්‍ය නොවේ. මෙන්න ඉංගිරිසි නම්; quinoa, chia, amaranth, spelt, millet,sorghum. ඔබට ගුගල් කරන්න පුළුවන්. මාත් වෙලාව ඇති විටෙක ලියන්නම් (මේවායෙහි “ලාංකික ඇට” වර්ග වන්නේ හීනටි, සුවඳල් වැනි වී වර්ගයි) මේවා අප හැමෝම කන්න අවශ්‍යද? මේවා වැඩි ගණන් වලට මිලදී ගන්න බටහිර සුළු ධනේශ්වර පන්තිය, දියුණු වන රටවල් වල ගොවියා බඩගින්නට දමනවාද? යන ප්‍රශ්න වලට පිළිතුරුත් (කලින් ද වෙනම මානයකින් ලියා තිබුනත්) මා වෙනම ලියන්නම් (කොට කෑලි වලට මොකද වෙන්නේ කියා ඔබ දන්නවනේ).

රූප ගත්තේ
(https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSV9_zG8OKO6pqc4plcVnKa7LHRy-OigJC_0tiVrFtxsjYD2go3nA)
(http://www.robinsonlibrary.com/agriculture/plant/field/graphics/wheat3.gif)

Advertisements

9 Comments

Filed under Agriculture, Food

9 responses to “ලක්මාල්ට ලියූ පිළිතුර සටහනක් ලෙසින්!

  1. Pingback: ලක්මාල්ට ලියූ පිළිතුර සටහනක් ලෙසින්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. උප්ස්… හුගක් කියල තියෙන දේ මීට කලිං අහල දැකල තියෙන දේ කියල කියන්ට පුලුවං… හාල් පාට කරන එක… නිවුඩ්ඩ අයින් කරල දාන එක… ඒත් ඒවයින් මොනවද හදන්නෙ… දුඹුරු පාන් කියල ඔය නිතරම රුසියන් පොත් වල එහෙම තියෙන්නෙ ඒව ඔය කුරුට්ට අයිං නොකර හදපුවාද රයිගං අය්යෙ…
    අනිත් එක තමා අපේ අය බහුතරයක් පාං පිටි සුදු පාටට නොතිබ්බොත් නොගෙන ඉදී… හාල් වුණත් එහෙමයි… නිවුඩ්ඩ එක්ක තිබ්බොත් හප්පෝ මලකඩ රහයි කියල නොගෙන ඉිදියි ඒත් කොහෙ හරි පිට රටක එහෙම වැඩි ගාණකට හොද බ්‍රැන්ඩ් එක්ක නමකින් තිබ්බොත් අන්න ලොස් නැතිව ගනී කෑම හදයි කයි…
    ආකල්ප වෙනස් නොවෙන එක තමා (මට මතක විදියට ඔයා මීට කලිනුත් ඕ ගැන කියල තියේ)

  3. හීනටි, සුවඳල් දෙකම මම කිහිප විටක් ගෙනත් තියනව නාවික හමුදා සේවා වනිතා වෙළද සැලේ , තව තියනව පච්චපෙරුමාල් කියල තද දුඹුරුපාට ගල් වගේ හාලක් , එකනං හොද කැද හදන්න තමයි , බත් කනකොට ගල් කනවා වාගේ,

    මම මේ බ්ලොග් එක නොකියවනවා නෙමෙයි , ඔබ ලියන ඒවාට අදහස් දැක්වීමක් කරන්න තරම් දැනුමක් නැති නිසා සහ වර්ඩ්ෆෙස් අඩවි වලට අදහස් පලකිරිමට ඇති අපහසුව නිසා මග හැරෙනවා විතරයි , තව ගොඩක් වර්ඩ්ෆෙස් අඩවි ඔය හේතු දෙක නිසා මම අදහස් දක්වන්න බැරි වෙනව.

    මා වෙනුවෙන් පෝස්ට් එකක්ම ලිවීම ගැන ස්තුතියි

    • මා බොහෝ විට ලියන්නේ ඔබටත් මටත් එකසේ ප්‍රයෝජනවත් යයි, මා සිතන දේවල්. ඒවායින් සමහරක් ලක්මාල්, ඔබට අදාළ නොවෙන්න පුළුවන්. අර ඔබ ලියන මැෂින් ගැන සටහන් මට එතරම් අදාළ නැතුවා වගේ. එහෙම නැතුව මෙතැන “ලොකු දේවල්” නැහැ.

      ඔය කොමෙන්ටු දැමීමේ අපහසුතාවය මේ දෙපැත්තටම තියනවා ලක්මාල්. උදාහරණයකට, මට ඔබේ බ්ලොගර් අඩවියේ, කොමෙන්ටු දාන්න මේ වර්ඩ්ප්‍රෙස් ප්‍රොෆයිල් එකෙන් අමාරුයි. කොමෙන්ටු වැටීම බොහෝ විට හොඳ දෙයක් වන්නේ, කියවන්නා යම් දෙයක් ආසාවෙන් කියවූවා නම් විතරයි. දැන් මේ ප්‍රශ්නය පවා ඔබට අහන්න සිතුනේ, තව දුරටත් ඒ ගැන දැන ගන්න ඕනේ වුන නිසානේ. ඔබට විතරක් නොවේ, පිළිතුරට රසිකත් කැමති වුන නිසා තමා, එය මෙලෙස වෙනම පළ කරන්න කියා මට කියුවේ.

      මා මේ සටහන දිග වෙන නිසා නොලියපු, ඒ වුනත් ලියන්නට හිතපු දෙයක් ඔබ කියා තිබෙනවා. එනම් වඩාත් සෞඛ්‍යසම්පන්න ආහාර කියන දේවල් පවා, බෙහෙත් වගේ වුනොත් එතැනදී අවශ්‍ය ප්‍රතිඵලය (එනම් අප කන්නේ නැහැ) ලැබෙන්නේ නැහැ. අනික එහෙම ආහාර (කන්නට අමාරු) අපට අවශ්‍යත් නැහැ. මොකද ආහාර කියන්නේ අප ප්‍රමුදිත කරන දෙයක්. බඩ විතරක් නොවේ, අපේ දිවත් පිනවීමක් අප බලාපොරොත්තු වෙනවා. මේ දෙක අතර සමබර තාවයක් පවත්වා ගන්නේ කොහොමද යන්න අප විතරක් නොවේ, ආහාර නිෂ්පාදකයනුත් සොයා බලන්න අවශ්‍යයි.

      ඔබ කියපු සහල් විතරක් නොවේ, ඔය දකුණු පළාතේ තියන නිවුඩ්ඩ ගණකම සහල් වලින් බත් ඉවුවට කන්න හරි අමාරුයි. විශේෂයෙන් තම්බපු හාල් වලින් බත් ඉවුවහම (ඒවා වඩාත් ගුණදායක වග වෙනම කතාවක්). අනික ලක්මාල් ඕවයේ අස්වැන්න හරි අඩුයි. ඕවම විතරක් වැවුවොත් ඔබ හා මා වගේ අය බත් කාලත් හමාරයි. මේ වගේ දේවල් වලට විසඳුම් තියනවා. ඒ ගැන මා පසුව ලියන්නම්.

  4. ලයිට් රයි නං මං කන්න ආසයි. කලුම කළු පාන් නම් තාම කාලා නෑ.

    අර රුසියානු පොත්වල කියවලා තියෙනවා වගේ දවසක ඔය කලු පාන් ගෙඩියක් හොයාගෙන වොඩ්කා එකක් තොල ගාලා බලන්න ඕනෑ!

    • තොල ගාල හරියන්නේ නැහැ. කට කපල එකක් නවාගෙනම බලන්න! (රුසියානු පොත් වල තිබුන දේවල් ගොඩක් දෙනෙකුට හොඳට මතකයි නේද?)

  5. කරුමෙට ගුණ කෑම රස නෑ. රතු බත් කාගන්නෙ අමාරුවෙන්. සුදු බත් අගුණ වුනාට හොඳට කොටාබාන්ට පුලුවන්. ආහාරජීරණ පද්ධතියෙම යහපාලනයට හේතුවන ග්‍රීන්ටී කසාය වගේ. බීම දඬුවමක් වගේ.

    • එයම තමා ඔය මහේෂ් මල්ලි හා ලක්මාල් ලියා තියෙන්නේ මචං. නමුත් දිවේ පුරුදු වීමත් මෙතැනදී බලපානවා. සීනි නොදමා තේ බොන්න පුරුදු වුනහම, සීනි තියන තේක අප්පිරියයි. හොවුල්මීල් පාන් පුරුද්ද නැත්නම් කන්න අමාරුයි. ඒ පාන් පෙති දෙකකට වඩා කන්නත් බැහැ. ඔන්න ඔය වගේ දේවල්.

      මචෝ, වැඩිහිටියෙකුට එතරම් බත් කොටා බාන්න අවශ්‍ය නැහැ. පානුත් ඒ වගේ. කුඹුරු කොටනවා නම්, දර පලනවා නම්, පිටි කොටනවා නම් ප්‍රශ්නයක් නැහැ. පාසල් ගුරුවරුන්, කන්තෝරු කාරයන් වගේ අයට එතරම් කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s