සුළු ධනේශ්වර අසල්වැසියා හා ලෝක කෘෂිකර්මය!


මා මෙය කලින් ලියා තිබෙනවා. අපගේ ජීවිතය සරල එකක්. එය රඳා පවතින්නේ අනුන් මොනවාද කරන්නේ කියන එක මත නොවේ, අපට මොනවාද කරන්න පුළුවන් හා අපට මොනවාද අවශ්‍ය කියන එක මත. මේ පාරිභෝගික ලෝකය අපව පාලනය කරනවා යයි කියන කෙඳිරි ගෑම් එතරම් ඇත්ත නොවේ. වෙළඳ පොළ මගින් පාළනය නොවන මිනිසෙකු අපට ධනපති ක්‍රමය තුල බිහි කරන්න පුළුවන්. එයට ඉගෙනීම් (සහතික නොවේ) නම් අවශ්‍යයි.

අල්ලපු වත්තේ සුද්ද එයාගේ එළවලු පාත්තිය අත ගාන ගමන් මටත් කතා කළා. මිනිහගේ තක්කාලි ඕනෙද කියල අහන්න. අප ගොඩක් දිනෙකින් කඩෙන් තක්කාලි ගෙනාවේ නැහැ. තක්කාලි විතරක් නොවේ අමු මිරිසුත් ගත්තේ නැහැ. හැබැයි අපේ තක්කාලි ලොකු ඒවා. අරයා වවා තියෙන්නේ චෙරි තක්කාලි කියන කුඩා රවුම් තක්කාලි. හොඳයි ටිකක් දීපන් කියුවහම, මිනිහා මට සිලි සිලි බෑග් එකක් පුරවල තක්කාලි දුන්නා. මා ගත්තේ එයින් ස්වල්පයක් පමණයි. තව කාට හරි ඉතුරු ටික දෙන්න කියා ආපසු මිනිහට දුන්නා.

ග්‍රීස්ම කාලය පටන් ගන්න කොට මා තවාන් දමා තිබුන කොච්චි හා තවත් සැර මිරිස් වලින් පැල කිහිපයක් එයාට දුන්නා. දැන් ඒවායේ කරල් ඇවිත් කියා මිනිහා කියුවා. ඒවා කන්නේ කොහොමද හොඳ කියලත් මගෙන් ඇහුවා. සලාද වලට දමල ගන්න පුළුවන් වගත්, අච්චාරු දාන්න පුළුවන් වගත් මා කියා දුන්නා. මොකද මේ කොච්චි කරල් හැදෙන හැටියට ඒවා ටික දිනකින් කාල ඉවර කරන්න බැහැ. අනික මෙහෙ ග්‍රීෂ්ම කාලය කියන්නේ කෙටි කාලයක් නිසා ගස් වැල් තම වර්ගයා බෝ කරන්න අවශ්‍ය පියවර එම කාලය තුල උපරිමයෙන් ගන්නවා. මටත් මුලින් මිරිස් පැල දුන්නේ සුද්දෙකු වුවත්, අල්ලපු ගෙදර පොර ඒවාට කියන්නේ ශ්‍රී ලන්කන් චිලි කියල.

මා කියුවේ උඹට මට මේ වෙලාවේ දෙන්න දෙයක් නැහැ. හැබැයි වට්ටක්ක හොඳට පැහුනහම දෙන්නම් කියා. මිනිහා මට මෙහෙම කියුවා. උඹ දන්නවද, උඹේ වට්ටක්කා වැලක් අපේ පැත්තට ඇවිත් ගෙඩි දෙක තුනක් හැදිලා තියෙන්නේ. උඹ අකමැති නැත්නම් මා ඒ ගෙඩි තියා ගන්නම් කියා. ඇත්තටම මගේ වට්ටක්කා වැල් කප්පාදු කළේ නැහැ. ඔහේ යන්න දුන්නා. ළඟ තියන පඳුරක් උඩින් ගිය එක වැලක ගෙඩි හැදිලා තියෙන්නේ ඒ පඳුරේ උඩ. එනම් උඩ පලගත්ත වට්ටක්කා. හරිනම් වට්ටක්ක වැලේ ප්‍රධාන වැල ඉතිරි කර, එන කුඩා අමතර වැල් අයින් කෙරුවොත් වැඩි ඵලදාවක් ගන්න පුළුවන්. අපට එච්චර ගෙඩි ගොඩක් අවශ්‍ය නැහැ. අල්ලපු වත්ත හා අපේ වත්ත අතර වැටක් තියනවා. මේකෙන් රිංගන්න පුළුවන් කුඩා හිල් අතරින් තමා වැල් එහෙට යන්න ඇත්තේ. ඒ වග මා දුටුවේ නැහැ. මා සුද්දට කියුවේ උඹේ පැත්තේ හැදුන ගෙඩි උඹ තියා ගනින්. පැහුනහම ඕනේ නම් මාත් තව දෙන්නම් කියා.

ඇත්තටම අපේ ගෙවත්ත කුඩා එකක්. එයිනුත් කුඩා වපසරියක තමා මා එළවලු හිටෙව්වේ. කොන්ක්‍රීට් දමා, නිසරුව තුබුන කොණක තමා මා එළවලු පාත්තිය දැමුවේ. මෙවැනි දෙයකින් ආර්ථික වශයෙන් ගණන් බැලුවොත් පාඩුවක් මිසක් ලාභයක් නැහැ. මා පාත්ති හදන්න ලී හා ඇණ කඩයෙන් ගත්තා. ඉන්පසු පස් කඩයෙන් ගත්තා. එයිට අමතරව පොහොර (හා පළිබෝධක නාශක) වලටත් පොඩි ගාණක් යනවා. මා කාබනික කෘෂිකර්මයක් විශ්වාස කරන්නේ නැහැ. ඒ වැය කරපු ගාණෙන් මාස හයක් විතර එළවලු හා පලතුරු කඩෙන් කන්න පුළුවන්.

බඩ ඉරිඟු ගහක්, මිරිස් පැලයක් හැදෙන හැටි දැකීමම සිතට දනවන්නේ සතුටක්. එයිටත් අමතරව කඩෙන් ගෙනෙන එකම රසයෙන් යුතු තක්කාලි, මිරීස් වලට වඩා ගෙවත්තේ හැදෙන, එදාම කඩා ගත් මේවායින් හදන සලාදයක හෝ හොද්දක ඇත්තේ වෙනම රසයක්. අපට කැමති ආකාරයේ වට්ටක්කා හෝ වෙනත් ඕනෙම වර්ගයක එළවළුවක් වවා ගන්නට හැකි වීම තවත් හොඳක්. මේවට මුල්‍යමය වටිනාකමක් දෙන්න අමාරුයි.

නමුත් තව දින දෙකකින් අපේ ග්‍රීෂ්ම සෘතුව ඉවර වෙනවා. හේමන්ත සෘතුව තමා එන්නේ. එතකොට එළවලු පාත්තියත් ඉවරයි. මතකනේ අර රුසියන් ළමා කතා වල හේමන්තයේ අග, ඇපල් ගහක ඉතිරි වෙලා තිබුනේ එකම ගෙඩියයි. දැන් මේක කී දෙනෙක් සමග බෙදා ගන්නද? හැබැයි එය ගොඩක් දෙනෙක් කෑව. මේ කතා කියවපු පොඩි කාලේ යන්නන් වාලේ සෘතු ඉගෙන ගත්තට, මේ කියන්නේ මොනවාදැයි මට නම් කිසිම හැඟීමක් තිබුනේ නැහැ. අදත් මේ සෘතු වල සිංහල නම් මට විකාර සහගත හැඟීමක් ඇති කරනවා. මේ පසුව එකතු කරපු කෑල්ලක්. රසිකගේ හේමන්ත කතාව හින්දා.

ආහාර නිෂ්පාදනය රටක තිබිය යුතු එක අංගයක්. රටක් ආහාර වලින් ස්වයං පෝෂිත කිරීම යනු නිෂ්ඵල කාර්යයක්. නමුත් යම් පමණක ආහාර නිෂ්පාදනයක් තිබීම රටක ආහාර සුරක්ෂිතතාව විතරක් නොවේ ජාතික ආරක්ෂාවටත් බලපාන දෙයක්. මේ ගෙවතු වගා වලින් එය කරන්නට බැහැ.

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ කතාබහක් තියනවා ආනයනය කරන කෘෂි නිෂ්පාදන ගැන. මේක මතු වුණේ චීනයෙන් ආනයනය කරපු අධිශීත කරන ලද බෙරි වර්ග වලින් කිහිප දෙනෙකුට හෙපටයිටිස් ඒ වැළදුන වග විශ්වාස කිරීමයි. මේ බෙරි වර්ග වලට පොහොර ලෙස මිනිස් මල යොදා ගන්නා වග කියවුණා. නියමිත පරිදි සකස් නොකරන ලද මිනිස් මල විතරක් නොවේ ශාක හා සත්ව කොටස් වලින් නිපදවූ කොම්පෝස්ට් පවා වගා බිමට යෙදීම ප්‍රශ්න වලට පාර කපන්නක්.

සුපර්මාර්කට් කාරයන් දේශීය නිෂ්පාදන මිලට නොගෙන, ලාභයට චීනයෙන් හා දකුණු අමෙරිකාවෙන් එළවලු හා පලතුරු වර්ග ගෙන්වන වග වාර්තා වුනා. මෙහෙ තියන තත්ත්ව පාලන ක්‍රම හා වැටුප් අනුව, ගොවියන්ට චීනය සමග තරඟ කරන්නට අමාරුයි. ඔවුන් වගා කරන හැටි මේ බෙරි වලින්ම තේරෙනවානේ. ඔවුනගේ මධ්‍යම පංතිය සොයන්නේ ඕස්ට්‍රේලියානු/නවසීලන්ත මස් හා කිරි. මොකද දේශීය නිෂ්පාදන හදන්නේ කොහොමද කියා ඔවුන් දන්නවා.

මෙහෙ මිනිසුන් එකම මිලට තිබුනත් දේශීය නිෂ්පාදන කියන එකට ප්‍රමුඛත්වයක් දෙන්නේ නැති වග, ඩික් ස්මිත් නමැති ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික මානවවාදියා අත්හදා බලපු “පර්යේෂණ” ව්‍යාපෘතිය බංකොලොත් වීම මගින් හෙළි වුනා. දැන් ප්‍රශ්නයක් කරලියට ඇවිත් තියන වෙලාවේ කෑ ගැහුවාට, ටික දිනෙකින් යලිත් මේ වග මිනිසුනට අමතක වේවි.

ඕස්ට්‍රේලියානු කෘෂිකර්මාන්තය පෙඩරල් රජයේ සුබසාදන මත රඳා පවතින කර්මාන්තයක් නොවේ. ඇමෙරිකානු පෙඩරල් රජය වසර 1995-2005 දක්වා කාලය තුල ඩොලර් බිලියන 250 ක් ගොවිපොළ සහනාධාර වශයෙන් ලබා දී තිබෙනවා.වසර 2008 දී ඇමෙරිකානු කොංග්‍රසය මගින් අනුමත කරපු “ආහාර පනත” මගින් ඉදිරි පස් වසර සඳහා ඩොලර් බිලියන 299 ක් ගොවිපොළ සහනාධාර හා ඒ හා බැඳුනු ග්‍රාමීය ව්‍යාපෘති සඳහා වෙන් කෙරුනා.

ඉදිරියට මේ ගැන වැඩිදුර ලියන්න බලමු නේද?

Advertisements

16 Comments

Filed under Agriculture, Lifestyle, Opinion, Social

16 responses to “සුළු ධනේශ්වර අසල්වැසියා හා ලෝක කෘෂිකර්මය!

  1. Pingback: සුළු ධනේශ්වර අසල්වැසියා හා ලෝක කෘෂිකර්මය! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඕස්ට්‍රේලියාව කියන තැනට වෙන ඕනෙම නමක් දාල ගත්තොත් ඕනෙම රටකට ගලපෙනව මේ ටික.. විශේෂයෙන්ම ලංකාව වගේ රටකට හිතන්න ගොඩක් දේවල් තියෙනවා.. ස්තූතියි බෙදා ගත්තට..

    • වැරදි ගොඩක් සහිත කතාවක්. වැඩිය හිතන්නේ නැතුවයි කියන්න ඇත්තේ!
      1. ලංකාවේ ගෙවතු නිෂ්පාදන වියදම කඩෙන් ගන්නවාට වඩා වැඩිද?
      2. ශීත කාලයක් ඇවිත් වගව මැරෙනවාද?
      3. චීනයෙන් පලතුරු සහ එලවළු ගෙන්වනවාද?
      4. චීනයට කිරි මස් සහ වෙනත් නිෂ්පාදන යවනවාද?

      • මෙය වැරදි අබෝධයකින් ලියූ පිළිතුරක් නිසා කපා හැරියා!

        • රයිගම්.. මං හිතන්නේ රසික කියා ඇත්තේ මගේ කොමෙන්ටුව ගැනයි. රසික ඔබ හරි.. වැඩිය හිතන්නැතුව තමයි ලියුවේ. මට ඕනෙ වුනේ ” චීනයෙන් ආනයනය කරන එළවලු පළතුරු වල මිල වගේම රස ගුණ අඩු බව, දේශීය ආහාර වලට මිනිසුන් ප්‍රමුඛත්වයක් දීමට මැළි බව, සුළුවෙන් හෝ වගාවක් කර ගැනීම මානසිකව ශාරීරිකව වගේම කටට දිවටත් සහනයක් බව” වගේ පොදු කාරණා කීපයක් ගැන සිහි කිරීමටයි. ලියපු විදියෙන් එය කියවී නැහැ. ඔබේ නිවැරදි කිරීමට ස්තූතියි.

          • ඔබ හරි කල්‍යාණ .මෙය පොදුවේ සටහනට දමපු කොමෙන්ටුවක් නොවේ. එය පැටලුම් සහගත වුනේ පහත කෙහෙල් කොමෙන්ටුව නිසා.
            මා එය දුටුව ගමන් පිළිතුරක් දැමුවේ මගේ සටහන් කියවන පිරිස් දෙවරක් එන්නේ නැති නිසා. සෘතු ගැන සිංහලයෙන් ලිවිම නම් මගේ හොඳ මදි. එය නිවැරදි කරන්න ඕනේ පසුව.
            ඔබ විස්තර කර නොතිබුනත් රසික අදහස් කරපු දේ නොවේ ඔබ කියන්නේ කියා යම් වැටහීමක් එනවා. ලංකාවට චීන එළවලු හා පලතුරු ගෙන්වනවා කියා මා විශ්වාස කරනවා. 100% ක් දන්නේ නැහැ. නමුත් චීන කිරිපිටි ලංකාවේ තියනවා නේද?
            ම මෙය ලියුවේම අපේ සුළු ධනේශ්වර ජීවිතය ගැන කියන්නම තමා. ලංකාවේ ගෙවත්තක් තියනවා නම්, එළවලු ටිකක් සිටවීම මහා ප්‍රශ්නයක් නොවේ. අපේ ඉඩම් ගොඩකර හදා තියෙන්නේ. කිරි මැට්ට විතරයි. පස් කඩෙන් අරන් ගෙවතු වගාව කියන්නේ සුළු ධනේශ්වර ජීවිතය හැර වෙන කුමක්ද?

          • රසිකගෙ ප්‍රශ්නෙකට උත්තරයක්.
            1.ගෙවත්තට වියදම මෙහෙත් වැඩියි. මම අත්හදා බලපු දෙයක්.

  3. /* නමුත් තව දින දෙකකින් අපේ ග්‍රීෂ්ම සෘතුව ඉවර වෙනවා. සිසිර සෘතුව තමා එන්නේ. */

    ඔය පැත්තේ එහෙමද?
    අපිට නම් එන්නේ හේමන්තයයි. පැල මැරෙන්නේ ම නෑ! අපේ කෙසෙල් කැනත් තාම වැටුණා විතරයි. කෙහෙල් මුව දෙවිදියකට හදලා කෑවේ ගිය සතියේ!

    • The seasons in the temperate zone are described in terms of European seasons applied to the southern hemisphere in the following sequence:

      •Summer: December to February.
      •Autumn: March to May. (
      (http://maduraonline.com/?find=autumn)
      •Winter: June to August.
      •Spring: September to Novemb

      සිඩ්නි වල කෙහෙල් වැවුනට මෙහෙ කෙහෙල් හදන්න බැහැ. ඇයි කියල ලියන්න ඕනෙද? 🙂

      ඔන්න හේමන්ත කතාව හැදුවා. සිංහල මතක නැතිවීමක් නොවේ. ඇත්තටම මේ සෘතු හතරට සිංහලෙන් කියන ඒවායින් මා දන්නේ, ග්‍රීෂ්ම සහ ශීත සෘතු පමණයි.

      අපිත් එක්ක රුසියාවේ ඉගෙන ගත්තු සෑහෙන දෙනෙක් කැනඩාවට ගියා. මා තවමත් කතා බහ කරන අපේ යාලුවෙක් කැන්බරා වින්ටර් එකේදී කතා කළොත්, උෂ්ණත්වය අහල හිනා වෙනවා. අපිත් රුපවාහිනියේ සිඩ්නි වල වින්ටර් එකේදී සෙන්ට්‍රිගෙඩ් 15වේ චිලි නයිට් ගැන කියන කොට හිනා වෙන්නේ ඒ වගේමයි.

  4. මේකට ඒ තරං අදාල නං නෑ….
    මේක ඔමා ලියපු එකක් රයිගං අය්ය මේ ගැන මක්කද දොඩන්නෙ
    http://omageheena.blogspot.com/2015/02/living-together-in-destroyers-paradise_26.html

    මේක මාතෘකාවට අදාල නැතිය කියල අමනාප වෙන්ට නං එපා ඈ

    • බැලූ බැල්මට එය මේ සටහනට අදාළ වග පෙනෙනවා. කියවා යමක් ලියන්නම්. හැබැයි එතැන නොවේ!

      • මල්ලි, එහි තියෙන්නේ සමූහ ගොවිපල් ක්‍රමය. මෙය බලෙන් පැටවීමට ගිය සෑම තැනකම අසාර්ථක වූවා. දැන් මල්ලි අහන්නේ මං හිතන්නේ මොකක්ද කියලනේ. මෙහෙමයි මහේෂ්, රුසියාවේ සමුහ ගොවිපල ක්‍රමය කියන්නේ ලෝකයේ තිබුන අකාර්යක්ෂම එකක්. මේ ක්‍රම කඩා වැටුනට පස්සේ නැගෙනහිර යුරෝපයේ ආහාර නිෂ්පාදනය සැහෙන්න වැඩිවී තිබෙනවා. උදාහරණයකට රුසියාව ඇතුළු පැරණි සෝවියට් රටවල් ඕස්ට්‍රේලියානු තිරිඟු වෙළඳපොලේ කොටස් පසුගිය කාලයේ අල්ලා තිබුනා.

        දැන් මහේෂ් යුරෝපයේ කෘෂිකර්මයත් ටෙක්නිකලි සමුහ තමා. ප්‍රතිශතයක් ලෙස ඊශ්‍රායලය, ඇමෙරිකාවට වඩා මහජන මුදල් කෘෂිකර්මයට යොදවනවා. එතකොට ඔය ගම්මාන වලටත් කියක් හෝ යනවා ඇති. මතුපිටින් යමෙකු බැලුවට එය දකින්නේ නැහැ.

        ඒ කියන්නේ මේ ලෝකයේ බොහෝ (විශේෂයෙන්ම බටහිර) රටවල තියෙන්නේ “සමුහ ගොවිපල” ක්‍රමයක්. එහෙම මහජන මුදල් කෘෂිකර්මයට අඩුවෙන්ම යොදවන රටවල් දෙකක් තමා ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය.

        මේක සංකීර්ණ කතාවක්. ඇයි මේ අය එහෙම කරන්නේ? මෙය ලෝක ආධිපත්වය හා මිල නියම කිරීමේ කෙවිට අතේ තියා ගැනීමේ අවශ්‍යතාවය හා බැඳී තිබෙන යාන්ත්‍රණයක්. දියුණු වෙමින් පවතින රටවලට, මේ රටවල් වල කෘෂි නිෂ්පාදන සමග තරඟ කරන්නට අමාරු අන්න ඒ නිසා.

        ලෝකයේ වැඩිම තෙල් නිෂ්පාදනය කරන ඇමෙරිකාවේ සමාගම් වලට, අමෙරිකාවෙන් තෙල් අපනයනය කිරීමේ තහනම දැන් අවුරුදු 40 ක් තිස්සේ ක්‍රියාත්මක වග ඔබ දන්නවාද මහේෂ්? ඇයි “ඒකීය ලෝකයේ” එහෙම වන්නේ?

        ඕස්ට්‍රේලියාවට කෙසෙල් ආනයනය කරන්නට බැරි වග ඔබ දන්නවද? ඇයි මේ ලිබරල් ලෝකයේ එහෙම? මෙහෙ තියන ගොවි බිම්, පිටරටින් ඇවිත් මිලදී ගැනීමේදී සීමා තියනවා. අප්පොච්චියේ මොකද? මෑතක් වන තුරු ඕස්ට්‍රේලියාවට, නව සිලන්තයෙන් පවා අලුත් ඇපල් ගෙන්විම තහනම් ව තිබුනා. ඕස්ට්‍රේලියානු තිරිඟු අපනයනය මෑතක් වනතුරු තිබුනේ ඒකාධිකාරයක. මෙන්න ලිබරල් ලෝකයේ කෘෂිකාර්මික බැඳීම්. වෙලාවක ලියන්නම්.

  5. අපූරු සටහනක්. ඕස්ට්‍රේලියාවෙ වවද්දි කෘමිනාශක කොච්චර ඕනද? මෙහේ නං සෑහෙන්න තෙල්බේත් ගහන්න ඕනනෙ. මට මතකයි හැලපෙ දවසක් කියල තිබුන එයාගෙ අසල් වැසිය අර්තාපල් වගයක් ගලවපු කතාවක්. කෘමිනාශක ගහන්නෙම නැතුව.

    • ගෙවතු වගාවට කෘමිනාශක අවශ්‍ය නැහැ රාජ්. නමුත් ගෙවතු වල බහුලව ඉන්න ගොළුබෙල්ලන් නිතරම බෙහෙත් දමා හෝ වෙන ක්‍රමයකින් ඉවත් කරන්න අවශ්‍යයි. ගිය සතියේ මා වට්ටක්ක හා කැකිරි/කියුකම්බර් (අනික් වචනය ලියන්න අමාරුයි) කොළ වලට හැදී තිබුන පව්ඩරි මිල්ඩු(ව්) කියන දිලීර රෝගයට දිලිරනාශකයක් ගැහුවා. යන්තමින්. දැන් මේවායේ ගෙඩි හැදිලා ඉවරයි. තාමත් මල් එනවා. දැන් හැදෙන ගෙඩි මෝරන්න තරම් කාලයක් ඉතිරි වී නැහැ. නමුත් අර ලෙඩේ මගින් කොළ සේරම විනාශ වී යනවා. එවිට ගෙඩි මේරීම සඳහා අවශ්‍ය තරම් ආහාර නිපදවීමක් සිදු වන්නේ නැහැ. කෘමිනාශක නොමැතිව කරන්න පුළුවන් අත් බෙහෙත් ද තියනවා. ඉහත කි රෝගයට කිරි තනුක කර ඉසින්න පුළුවන්. ඒ වගේ සමහර පැලෑටි තියනවා නරක කෘමින් පලවා හරින. ඒවා දේශීය නිසා ලංකාවට එතරම් වැඩක් නැහැ.

  6. මීට පෙර අවස්ථාවක කියවල තිබුණත් ඔබේ බ්ලොගය නිතර කියවන්න ලැබුණේ නැහැ,, මා ආසකරන වර්ගයේ ලිපියක්.. කෘෂිකර්මය සහ සොබාදහම කියන්නේ මගේ ආසම විෂයන් ස්තුතී ලිපියට

    • ඔමා, මහේෂ් මල්ලි මට දමා තිබුන ලින්කුවේ ඇති ඔබේ සටහනට මා පිළිතුරක් එතැන නොලීවේ වෙන කිසිවක් නිසා නොවේ. මගේ දේශපාලන අදහස් වලින් එවැනි සුන්දර ලිපියකට අනර්ථයක් කළ නොහැකි නිසා.

      රට රටවල් වල ගිහිං ලංකාවේ දේශපාලනය ගැන ලියනවාට වඩා, තමන් දකින දේ, ඔය වගේ වැඩි වැඩියෙන් ලිවිම ගොඩක් ප්‍රයෝජනවත්. මහා ප්‍රාඥයන් සේ දේශපාලනය ගැන ලියන පිරිස් වල පටු අදහස් දැකලම මට, ඔවුන් ලියන දේවල් කියවීම එපා වෙලා. 😦

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s