Monthly Archives: March 2015

යහපාලනයට කෙල වුනොත් as a second option…… ! (1)


If mankind making profits from past mistakes what a wonderful future is coming up-MW Larmour, 1965

අද පොඩි පුතාගේ සංගීත පංතියට ගිහිං කල් මරණ වෙලාවේ කියවන්න ගෙනුහුං තිබුණ සංකීර්ණ පොත පැත්තකට දමපු මා, අසල රාක්කයේ තිබුන රිඩර්ස් ඩෛජෙස්ට් සඟරාවක් (ඕස්ට්‍රේලියානු සංස්කරණය) කියවූවා. එම විශේෂ කලාපය නම් කර තිබුනේ ක්ලැසික් රීඩ් 2013 ලෙසින් (වෝල් 183, නො 1102). ඉහතින් තියෙන්නේ එහි තිබුන එදා මෙදා කලාප වල තිබුන උපුටා දක්වන්නට තරම් හොඳ කියමන් අතුරෙන් එකක්.

එහිම තිබුන තව දෙයක් තමා, ඔවුන් පළ කරපු හොඳම විහිළු කතා අතුරින් තෝරා ගත් කිහිපයක් ඇතුලත් විශේෂාංගය. මෙන්න එයින් එකක්.

The doctor finished the examination and was ready to give his advice. “Quit smoking and drinking, go to bed early every night and get up at the crack of dawn” he said. “Thats the best thing for you”

“Frankly Doc” the patient answered ” I don’t deserve the best, What’s second best?” (Reporter Dispatch Feb 1954).

ගිය සතියේ ලෝකයේ මෑත කාලයේ පහල වූ අසම සම කියන ඒකාධිපතියෙකු වසර 91 ක් ආයු වලඳා ජිවිතයෙන් සමු ගත්තා. ඔහු තමා සිංගප්පුරුවේ පියා යයි කියවෙන ලී කුආන් යූ. ලිබරල් ඇමෙරිකාවේ ජනාධිපති ඔබාමාත්, තනි පක්ෂ චීනයේ ජනාධිපති ශී ජින්පින්නුත්, නැගී එන ප්‍රජාතන්ත්‍රවාදී ඉන්දියාවේ අගමැති මෝදිත් ඔහුගේ මරණය ගැන නිකුත් කරපු ශෝක පණිවුඩ වල සඳහන් කර තිබුනේ ලී කියන්නේ මෑත කාලයේ ලෝකයේ සිටපු රිමාර්කබල් මිනිසෙකු හා ජනනායකයෙකු ලෙසයි.

මේ සතියේ අපේ වැඩ කරන තැන, වර්ණ චායාරුපයක් මුද්‍රණය කර කෑම මේසය උඩ තිබුනා. කාගේ වැඩක්ද කියා මා දන්නේ නැහැ (අයියෝ සල්ලි!). එහි තිබුනේ ලී, ඕස්ට්‍රේලියානු ජාතික සරසවියෙන් ගෞරව ආචාර්ය උපාධිය ගන්න විට ගත්තු චායාරූපයක්. මෙය දැකපු එක ජේස්ට සුද්දෙකු කියුවේ, ලී කියන්නේ නිර්දය ඒකාධිපතියෙකු කියා දැන ගත්තේ මෑතකදී කියා.

සිංගප්පූරු ක්‍රමය කියන්නේ ලෝකයේ ඕනෙම රටක ක්‍රියාත්මක කළ හැකි දෙයක්ද? එම ක්‍රමය ඇත්තටම තිරසාරද? මෙවන් ඒකාධිපතියෙකුට ලෝකයේ සියලුම පාලන ක්‍රම වලට අයත් නායකයන් හොඳ විතරක් කියන්නේ ඇයි? කියුබානු ඒකාධිපති කැස්ත්‍රෝ යම් දිනක අවසන් ගමන් ගිය විටෙක ලෝක නායකයන් මෙසේ වර්ණනා කරාවිද? මේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට නොවේ මා සැරසෙන්නේ. නමුත් මේ ප්‍රශ්න සියල්ලම දියුණු වෙමින් පවතින හා ප්‍රජාතන්ත්‍රවාදය සොයා යමින් සිටින රටවල් වලට වැදගත් ඒවා.

අද මා ලියන්නේ ලී ජිවිතයේ විවිධ අවස්ථාවල දක්වපු අදහස් ටිකක්.

“මට ගොඩක් වෙලාවට චෝදනා කරනවා මිනිසුන්ගේ පෞද්ගලික ජිවිතයට ඇඟිලි ගහනවා කියල. මා එහෙම නොකලා නම්, අද අප මේ ඉන්න තැනට, අපට එන්නට ලැබෙන්නේ නැහැ. ඔව්, මට අබ මල් රේණුවක කණගාටුවක් නැතිව කියන්න පුළුවන්, අප මෙතැන නැහැ. ඒ කියන්නේ මේ ආර්ථික ප්‍රගතිය ලබා ගන්න හැකි වෙන්නේ නැහැ, අප ජනතාවගේ අතිශය පෞද්ගලික කාරනා වන; කවුද එයාලගේ අසල්වැසියන් කියන්නේ, කොහොමද එයාල ජිවත් විය යුත්තේ, මොනවගේ දේවල්ද කතා කරන්නේ, කොහොමද කෙල ගහන්නේ, මොන භාෂාවකින්ද කතා කල යුත්තේ යනාදිය තීරණය නොකලා නම්. හරි දේ මොකක්ද කියා තීරණය කරන්නේ අපයි. මිනිසුන් සිතන්නේ මොනවාද කියන එක මහා වැදගත් කමක් නැහැ”.

“ප්‍රශ්න වලට මගේ ප්‍රවේශය බොහෝ සාමාන්‍ය එකක්. ජනගහනයෙන් කොටසක් උගත් අය ලෙස ඔබට තෝරා ගන්න පුළුවන් නම්, ඔවුන්ව පාලනයට කෙවිටක් භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔවුන් දැනටම ශික්ෂණය වී ඇති නිසා. මේක හරියට බල්ලන් එක්ක වැඩ කරනවා වගේ. දැන් බලන්න, බල්ලන් පොඩි කාලේ ඉඳන් අප පුහුණු කරනවා. මුං දන්නවා ඉවතට යන්න ඕනේ කොයි වෙලාවටද, මුත්‍රා කරන්න, මලපහ කරන්න එලියට යන්න ඕනේ වගේ දේවල්. නැහැ, අපගේ සමාජය එහෙම නැහැ. අපට වෙලා තියෙන්නේ ගොඩනැගිලි වල සෝපාන වල ඕනෙකමෙන් මුත්‍රා කරන වැඩිහිටි බල්ලන් පුහුණු කරන්නයි”

“කලින් මාත් විශ්වාස කළේ සියලු මිනිසුන් සමානයි කියල තමා. හැබැයි මේක තමයි ලෝකේ වෙන්නම බැරි දෙය. මොකද කියනවා නම්, මිනිසා පරිණාමය වුන මිලියන ගණන් කාලය තුල ඔවුන්, ලෝකය පුරා වෙන්ව විසිරි, තනිව සංවර්ධනය වුනා, මේ මිනිසුන් ජනවර්ග, දේශගුණ හා පස් සමග පවා කලවම් වුනේ වෙනස්වයි. මා මේ දැනුම් පද්ධතිය ලබා ගත්තේ නිකම්ම නොවේ; නිරීක්ෂණයෙන්, කියවීමෙන්, වාද-විවාද වලින්, අනෙක් අයගෙන් අසා දැන ගැනීමෙන් හා අවසානයේදී අඩම්තේට්ටම් තුලින් බලයේ ඉහලටම නැගීමෙන් පසු මා එම නිගමනයට ලඟා වුනා”

“සමාජයේ සිටින අන්තවාදීන් සියල්ලක්ම නඩු ඇසීමෙන් තොරව මහා උළු ගෙදර යවන්න ඕනේ. ඔවුන්ගෙන් සමහරක් කොමියුනිස්ට් කාරයන් වෙන්න පුළුවන්, තව අය භාෂාමය අන්තවාදීන්, සමහරුන් ආගමික අන්තවාදීන්. මෙහෙම කෙරුවේ නැත්නම් රට හබක්”.

“බොහෝ දෙනා මගෙන් අහනවා, ඇයි ඔබල සමාජය විවුර්ත/නිදහස් කරන්නේ නැත්තේ කියල. මොකද එතකොට ඔබලට ප්‍රධාන පක්ෂ දෙකක් බිහි වෙනවා. එකක් හැමවිටම බලය ගන්න සුදානම් නේ”. “මේක මා එක මොහොතකට විශ්වාස කරන දෙයක් නොවේ. අපට එහෙම හොඳ පක්ෂ දෙකකට ප්‍රමාණවත් තරම් මිනිසුන් (නායකයන්) කණ්ඩායමක් නැහැ. මේක මා උත්සහ කළා. කොහෙත්ම පුළුවන් දෙයක් නොවේ”.

මෙයත් කියවන්න:
http://www.economist.com/news/leaders/21647282-authoritarians-draw-wrong-lessons-lee-kuan-yews-success-singapore-wise-man

පලි
දැනට සිංගප්පුරු අගමැති ලී ෂෙන් ලුන්ග්, ලී කුආන් යූගේ වැඩිමහල් පුත්‍රයාය. ඔහුගේ බිරිය රජයේ දැවැන්ත මුල්‍යාතනයක් වන තෙමසෙක් හෝල්ඩින්ස් හි ප්‍රධාන විධයකවරියයි. ලීගේ තවත් පුතෙකු ෂෙන් යන්ග් සිවිල් ගුවන් අධිකාරියේ සභාපති වරයායි.

10 Comments

Filed under News, Politics