කී බෝර්ඩ් දේශපාලනය සහ චීන සමාජ-මාධ්‍ය ජාල වාරණය!


මේ මා කාලයකට කලින් කියවපු පර්යේෂණ සටහනක්. මුලාශ්‍රය අගට ඇති. අන්තර්ජාල භාවිතාව නැගී එමින් පවතින චීනයේ වාරණය කොයි වගේ එකක්ද කියා එය විශ්ලේෂණයක යෙදෙනවා. කල්‍යාණ ලියා තිබුණා වගේ ලංකාව වැනි රටවල සමාජ ජාල තවම, සමාජයේ විශාල කොටසකට අතපොවන්න බැහැ තමා. මිනිසුන් විශාල ප්‍රමාණයකට අන්තර්ජාල වලට වඩා ජිවන ප්‍රශ්න තියනවා. නමුත් මෙයත් කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණයි. ඒ වගේම සමාජයේ විශාල පිරිසක් ජංගම දුරකථන භාවිතා කරන තත්වයක් තුල, සමාජ ජාල හා තොරතුරු වල ප්‍රභව තවත් විස්තීර්ණ නැත්නම් තනුක වෙනවා. දැනට මුදලාලිලා කිහිප දෙනෙකු අතර සාන්ද්‍රණය වී ඇති ප්‍රවුර්ති ප්‍රකාශ කිරීම, ජනතාව විසින් තමන් අතට ගන්නවා ඇති. ඒ වගේම දැනට මේ මුදලාලිලා යටතේ සේවය කරන, ඈත අතීත වල ජිවත් වන පුවත්පත් කලාවේදීන්ට, එවිට වෙනත් රැකියා සඳහා අයදුම් කිරීමට සිදු වෙනු ඇති.

චීන කතාවට ගියොත්, වාරණ කියන දේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ චින් (Qin) අධිරාජයාගේ අවධිය දක්වා විහිදෙනවා. එදවස කොන්ෆියුශියානු මතවාද ලියවුන “පොත්” ගින්නට දමන්න ඔහු නියෝග කර තිබෙනවා. නමුත් විසිඑක්වන සියවසේ කොමියුනිස්ට් පක්ෂයට තියන අභියෝගය එතරම්ම පහසු නැහැ. ඇත්තටම ගත්තොත් අද බිලියන 1.3 කට වැඩි චීන ජනතාවට, තමන්ගේ ඒකීය පුද්ගල අදහස් අනෙක් ජනයාට සන්නිවේදනය කිරීමේ වරම තියනවා. ඒ කියන්නේ තොරතුරු වල ප්‍රභවයන් තනුක වී, ඒවා වාරණය කිරීම් වඩාත් අමාරු වී තියනවා.

මෙයට පිළියමක් ලෙස චීන ආණ්ඩුව මහා පරිමාණ සමාජ මාධ්‍ය ජාල වාරණ යාන්ත්‍රණයක් ගොඩ නගා තියනවා. මෙම යාන්ත්‍රණය මිනිස් ඉතිහාසයේ, එක රටක මිනිස් සිතිවිලි වාරණයට මෙතෙක් ගොඩ නගා තියන දැවැන්තම එකයි. හැබැයි මේ කුමන වාරණ යටතේ වුවත්, මොනවගේ දේවල්ද වාරණය කරන්නේ, මොනවාද ආණ්ඩුවේ අරමුණු කියන ඒවා සොයා යාම එතරම් අපහසු නැහැ.

මේ වාරණය තල දෙකක් යටතේ සිදු වනවා. එකක් තමා ආණ්ඩුව විවිධ දෙපාර්තමේන්තු හා සමාජ ජාල සේවා සපයන සමාගම්වල සේවය සඳහා යොදවා ඇති දහස් ගණන් “කපන” පිරිස්. මොවුන් සමාජ ජාල වල පළ වන අදහස් එකිනෙක කියවීමෙන් මොනවාද කපන්නේ, මොනවාද ඉතිරි කරන්නේ කියා තීරණය කරනවා. අනික තමා අන්තර්ජාලයේ ක්‍රියාත්මක ස්වයංව ක්‍රියාත්මක වන සමාජ ජාල පෙරණයන් නැත්නම් පෙනේර. මේ පෙනේර වලට ඇතුල් කර තිබෙන “කී වර්ඩ් පෙරන” මගින් “අනවශ්‍ය” ප්‍රකාශන රඳවා තබා ගන්නවා. මේවත් පසුව අර ඉහත කියුව කපන මණ්ඩයේ සාමාජිකයින් කියවා බලා කුණු ගොඩට දාන්න ඕනේ ඒවා තීරණය කරනවා.

දැන් මේ පර්යේෂකයන් මේ අධ්‍යයනය කර තියෙන්නේ මෙහෙමයි. අර කලින් කියුව පරිදි කපා දමන්නට පෙර අන්තර්ජාලයේ/සමාජ ජාල වල පළවන සටහන් බාගත කර, පසුව ඒවායින් කොපමණ ප්‍රමාණයක් ඉතිරි වී ඇත්දැයි පසුව නිරීක්ෂණය කිරීම. අනික තමා චීනය පුරා සමාජ ජාල වලින් විවිධ ජාල ගිණුම් විවුර්ත කර, ඒවායින් අදහස් ප්‍රකාශ කර, පසුව කොපමණ ප්‍රමාණයක් ඉතිරි වී ඇත්දැයි නිරීක්ෂණය.

මෙන්න ඔවුන් සොයා ගත් ප්‍රතිපල සැකෙවින්. රජය හා එහි ඉහල බලධාරීන් හා ඔවුනගේ ප්‍රතිපත්ති විවේචනය කෙරෙන සටහන් සාමාන්‍යයෙන් සිරිතක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙනවා. හැබැයි සාමුහික ක්‍රියාකාරකම් වෙනුවෙන් ආරාධනා කෙරෙන සටහන්, ඒවා රජයට විරුද්ධ හෝ පක්ෂ කියා බේදයක් නොමැතිවම කපා දැමෙනවා. ඔබ පරුෂ ලෙස විවේචනය කරන චීන බ්ලොග් කරුවෙක් නම්, චීන ජනාධිපති වුවත් කර්කශ ලෙස විවේචනය කරන බ්ලොග් සටහනක් වාරණය ගැන බයක් නොමැතිව ලියන්න පුළුවන්. හැබැයි රජයේ ප්‍රතිපත්තියකට පක්ෂ හෝ විපක්ෂ රැළියක් ගැන හෝ රජයේ ජනප්‍රිය පිළිවෙතක් හෝ බලධාරියෙක් ගැන සහයෝගය දක්වන රැලියකට ආරාධනා කරන සටහනක් ඔබ ලියුවොත්, බඩුම තමා.

ඒ වගේම තමා මේ සමාජ ජාල වල පළවන කරුණුම, තවත් කපන මණ්ඩලයේ පිරිසක් නිරීක්ෂණය කර, වැඩේ හරියට නොකරන නිලධාරීන් හඳුනා ගැනීමටත් යොදා ගන්නවා. කපන අයට කපන්න තව පිරිසක් ඉන්නවා.

දැන් ඔබ ඇහුවොත් මෙහි අරමුණ මොකක්ද කියා, මෙයයි පර්යේෂකයන් කියන්නේ. ඇක්ෂන් නැති ටෝක් විතරක් ඉතිරි කිරීම මගින් ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට හා ප්‍රතිපත්ති විශ්ලේෂකයන්ට, ජනතාවට අවශ්‍ය මොනවාද, ඔවුන් සිතන්නේ කුමක්ද, වෙනස් කරන්න අවශ්‍ය මොනවාද යන්න දැන ගැනීමට මෙමගින් අවස්ථාව සපයනවා.

(මුලාශ්‍රය; Science 22 August 2014, Vol 345, Issue 6199, p 891, Reverse-engineering censorship in China: Randomised experimentation and participant observation, Gary King, Jennifer Pan, Margaret E. Roberts).

Advertisements

6 Comments

Filed under Politics, Research & Development

6 responses to “කී බෝර්ඩ් දේශපාලනය සහ චීන සමාජ-මාධ්‍ය ජාල වාරණය!

  1. මම දන්නේ නෑ කොයි තරම් මම කියන දේ මේ ලිපියට අදාල වෙයිද කියලා. රයිගම්, Person of Interest කියන අමෙරිකානු ටෙලි කතා මාලාවෙත් තියෙනවා සමාජය ගැන ඔත්තු බලන යන්ත්‍රයක්. හැම කැමරාවක්ම ඔබ කරන දේ බලාගෙන ඉන්නවා. හැම මයික්‍රෝෆෝනයක්ම ඔබ කියන දේ අහගෙන ඉන්නවා.

    ඔව් ඕර්සන් වෙලස්ගේ 1984 කතාවෙත් මේ වස්තු බීජය තිබුණා තමයි. නමුත් නැවත වතාවක් කියවන්න නොහිතෙන කතාවක්

    • මා නම් මචං ඇමෙරිකන් ටෙලි ඩ්‍රාම එතරම් බලන්නේ නැහැ. ඕකත් බලල නැහැ. මෙතනට අදාලයි. මේ සමාජයේත් මෙහෙම දේවල් දැනුත් තියනවා. නගරයේ බොහෝ තැන් වල කැමරා තියනවා. ඒවා ප්‍රොයෝජනවත් වෙන වෙලාවල් ඕනේ තරම් තියනවා. අප මේ ඉන්ටර්නෙට් එකෙත් කරන දේවල් රහස්ම නොවේ. නමුත් මා වාගේ නීති විරෝධී වැඩ වල නිරත නොවන ඇවරේජ් මිනිහෙකුට මේවා එතරම් බලපාන්නේ නැහැ. මා රජය විවේචනය කළා කියල, කවුරුන් හෝ කුදලාගෙන යන්නේ නැහැ. නමුත් ඉහත වගේ රටක ජිවත් වීම කොතරම් අමාරුද කියල, එහි කෙනෙකු සමග කතා කළ විට තේරෙනවා.

      • උඹ අහලා තියෙනවද මම ජීවත්වෙන වැඩ කරන රට ගැන මම කිසිම දෙයක් කියනවා. සමහරු විස්තර ඇහුවත් මම මුනිවත් රකිනවා. ඒ ඇයි කියලද උඹ හිතන්නේ? හරි උඹ දෙන උත්තරේට ප්‍රතිඋත්තර දෙන්න යන්නේ නෑ මම.

        • උඹ මේ කතාව අහලත් ඇති, ඔන්න රුස්සෙකුයි, ඇමෙරිකන් පොරකුයි, බුෂ් සීනියර් ජනාධිපති කාලේ මොස්කව් රතු චතුරශයේ මහා වාදයක්. කොයි රටද වඩා හොඳ කියල. ඇමෙරිකන් කාරය හඳට ගිය කතා කියන කොට රුස්සා කියනවා, අනේ බන් අපිනේ උඹලටත් අභ්‍යවකාශයට යන්න පුළුවන් කියල ඉගැන්නුවේ කියල.

          අන්තිමට බැරිම තැන ඇමෙරිකන් කාරය කියනවා, කෝ මොනවා තිබුනත් උඹලට කතා කරන්න ලියන්න, නිදහස නැහෙනේ, අපේ නම් නිව් යෝර්ක් ටයිම්ස් එකේ වුනත් බුෂ් කියන්නේ අමුම අමු මෝඩයෙක් කියල වුනත් ලියන්න පුළුවන්, උඹලට ඒකට නිදහස නැහෙනේ, හෙක් හෙක් හේ !

          රුස්සා ගත් කටටම කියුවලු, අනේ බන් ඕකටද උඹල නිදහස කියල ඔච්චර උඩ පනින්නේ, අපෙත් ප්‍රාව්ද එකේ බුෂ් ගොන් හරකෙක් කියල ලියන්න ඕනෙතරම් නිදහස තියනවා කියල!

  2. බොහෝම සංවිදානාත්මක කැපිල්ලක්.. කපන අයට කපන්න තව කැපුම් කරුවන් කොටසක්.. ක්‍රියාව බොහෝම පැහැදිලි උනත් අරමුණනම් පැහැදිලි මදි.. මට හිතෙනවා ඔතන කපන ගමන් පොඩි ට්‍රෙන්ඩ් ඇනලයිසින්ග් එකකුත් වෙනවා ඇති.. (එහෙම නොවුන එකෙන් ලංකාවත් පාඩමක් ඊයෙ පෙරදා ඉගෙන ගත්තනේ.) තව ඉන්ටෙලිජෙන්ට් එකට වැදගත් තොරතුරු.. නිකම්ම කපනවට වඩා ලොකු ‘යටි’ අර්ථයක් අතැයි හිතෙනවා..

    කොහොම උනත් හොඳට හෝ නරකට මාද්‍ය වාරණය අනුමත කරන්න බෑ..

    • කල්‍යාණ අහලත් ඇති සෝවියට් පත්තර ගැන මේ කතාව There should be more Pravda in Izvestia, and more Izvestia in Pravda! සමාජයේ වාරණය කරපු ඒ ක්‍රමයෙන් වුණේ අන්තිමට මුළු අධිරාජ්‍යයක් එක රැයකින් කඩා වැටීම. චීන්නුත් නිකම් ඉන්නේ නැහැනේ. ඔවුන් දන්නවා, මේ යන විදිහට ගොඩ කලක් අල්ලලා ඉන්න නම් යම් වෙනස්කම් අවශ්‍යයි කියා. ජනතා රැලි, විරෝධතා වලට අත වන්නේ නැති විවේචන වලට ඉඩක් දෙන්නේ, ඔය පක්ෂයේම ඉන්න අයියලට (ප්‍රතිපත්ති සම්පාදකයන්, විශ්ලේෂකයන් හා පර්යේෂකයන් කියන්නේ ඔවුනුයි) හා යම් වෙනස්කම් කරන්න ජනතා මතය යම් පමණකින් දැනගන්න ඉඩ හරින්න.

      වාරණ නැති ලොවක් ලොවි ගහෙත් නෑ කල්‍යාණ. අමෙරිකාවත් නිකම් ඉන්නේ නැහැ. ඒවා පැත්තක දැමුවත්, මේ නීති කියන්නෙත් එක්තරා ආකාරයක වාරනනේ. පාරේ යනවිටත් අපට වාරණ තියනවා. මෙතැනදී අර චර්චිල්ගේ යයි කියන කියමන මට මතක් වෙනවා; “democracy is the worst form of government, except for all those other forms that have been tried from time to time”

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s