What kind of system do we need; a democratic kakistocracy or a totalitarian meritocracy?


වර්තමාන ඕස්ට්‍රේලියානු ආංඩුවේ අධ්‍යාපන ඇමති ක්‍රිස්ටෝපර් පයින් ගෙන ආ සරසවි බැදීම් ලිහිල් කිරීමේ පනත, දෙවන වතාවටත් සෙනේට් සභාව ප්‍රතික්ෂේප කෙරුවේ පසුගියදා. මේ පනත මගින් දැනට සරසවි වලට තියන පාඨමාලා සඳහා මුදල් අය කිරීම් වලට ඇති සිමා ඉවත් කර, එය තීරණය කිරීමේ අයිතිය එම විශ්ව විද්‍යාල වලට ලබා දෙනවා. එයටම ඇමිණූ තවත් දේවල් තියනවා වුනත් ඒවාට යන එකේ වැදගත් කමක් නැහැ.

දැනට ඕස්ට්‍රේලියානු සරසවි වලට හිතු හැටියට පාඨමාලා ගාස්තු අය කරන්න බැහැ. රජයේ ප්‍රතිපාදන මත යැපෙන මේවා (අධ්‍යාපනය පිට රටට විකිණීම, විදේශ විනිමය ඉපයීමේ තෙවන මාර්ගය වීම වෙන කරුණක්) බැදීම් වලට ලක්කර තියනවා. ප්‍රතිපාදන අඩු කිරීම පසුගිය දශක දෙක තුන තුල දකින්නට ලැබුන දෙයක්. මේවට යොදවන නිරපේක්ෂ මුදල් ඉහල ගොස් තිබුනත්, ප්‍රතිශතයක් ලෙස යෙදවෙන මුදල් කපාහැරීමට ලක් වෙලා තියනවා. විශේෂයෙන් පර්යේෂණ සදහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති වග විශ්ව විද්‍යාල ප්‍රධානීන්ගේ එක චෝදනාවක්.

බැඳීම් ලිහිල් කිරීම මගින් විශ්ව විද්‍යාල වල අදායම් ඉහල දැමීමත්, අධ්‍යාපනේ තරඟකාරීත්වය හා ගුණාත්මක බව වැඩි කිරීමත් නව ප්‍රතිසංස්කරණ වල අරමුණ යයි පැවසෙනවා. ඉහල මන්ත්‍රී මණ්ඩයේ (සෙනෙට් සභාවේ) බහුතරය රජයට නොමැති නිසා තමා මේ යෝජනා සම්මත කර ගන්න නොහැකි වුනේ.

මේ ප්‍රතිසංස්කරණ වල විරුද්ධ අයගේ තර්කය නම්, උපාධි වල මිල සාමාන්‍ය පවුන් වල දරුවන්ට දරාගන්න බැරි තරමට ඉහල ගියොත්, සමාජයේ විශාල පිරිසක් (කුසලතා පුර්ණ) අධ්‍යාපනයෙන් වියුක්ත කෙරෙනු ඇති වග. ඇත්තටම එහෙම දෙයක් වුනොත්, එය සමස්ත සමාජයටම කරනු ඇත්තේ අනර්ථයක් කියා මාත් විශ්වාස කරන දෙයක්.

අධ්‍යාපනය කියන්නේ ඕනෙම රටක තිබිය යුතු ප්‍රධානම අංගයක්. අධ්‍යාපනය කියන්නේ වෙළඳ භාණ්ඩයක් නොවන බැවින් නොමිලේම දිය යුතුයි කියන කරුණ මා එතරම් තකන දෙයක් නොවේ. කුඩා දරුවන්ට නොමිලයේ අධ්‍යාපනය දිය යුතු වුවත්, වැඩිහිටියෙක් ලබන අධ්‍යාපනයේ යම් වගකීමක්, එම අධ්‍යාපනය ලබන්නාට පැවරීම මගින් ගුණාත්මක අධ්‍යාපනයක් තිරසාරව පවත්වා ගන්න පුළුවන් විතරක් නොවේ, එය ලබන්නාට එහි අගය පිලිබඳ වැටහීමකුත් ලබා දෙනවා. දැන් මට කියන්න එන්න එපා මේවා ලබන්නේ වැඩිහිටියන් නිසා, ඔවුන්ට ඒ අවබෝධය කොහොමත් තියනවා කියල.

වර්තමාන ශිෂ්ට මානවයා බිහිවුනේ මේ කියන අධ්‍යාපනය නිසා. නූතන මිනිසාගෙන් කෙනෙක් කුඩා කල සිට මේ සියලු දැනීම් වලින් ඉවත්කර වෙන්ව ඇති දැඩි කළොත්, කුමන අන්දමේ වැඩිහිටියෙක් බිහි වේවිද කියා ඔබ නිකමට කල්පනා කලාද? සමාජයෙන් හුදකලාව හැදුන එවැනි මිනිසුන් ගැන සමහර වෙලාවට අපට අසන්නට ලැබෙනවා. සමහර රටවල් වල මුළු ප්‍රජාවම මේ වාගෙයි. එය ඛේදනීය කාරණයක්.

මේ දිනවල මා ලියපු සිංගප්පුරුව පිලිබඳ සමහර කරුණු පොදු සමාජයට එතරම්ම සමීප නොවනා වග දැන ගැනීමෙන් ඒ ගැන තව දුරටත් ලියන්නට සිතුනා. සිංගප්පූරුව කියන්නේ අර මුල් දිනවල මගේ පාඨකයෙකු මට ඉගෙන ගන්න කියා ලියා තිබුන පරිදි, ඇමෙරිකාවේ නිෂ්පාදනයක් නොවේ. එය එයිට එහා යන කතාවක්. ඇමෙරිකාවේ ආශීර්වාදය එයට දිගටම ලැබීම වෙනම දේශපාලන කරුණක්.

ඕස්ට්‍රේලියානු පාසල් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ ගැන කතාවෙන විට කියවෙන දෙයක් තමා, ආසියානු රටවල් වන දකුණු කොරියාව, ජපානය හා සිංගප්පූරුව වැනි රටවල් වල පාසල් ශිෂ්‍යයන්ගේ දැණුම, විශේෂයෙන් ගණිත හා විද්‍යා දැණුමට ලඟා විය හැක්කේ කොහොමද කියන එක. මෙයිනුත් සිංගප්පූරු පාසල් අධ්‍යාපනය විශේෂ තැනක් ගන්නවා.

ලී කුආන් යූ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරපු කෙනෙක් නොවේ. අපේ සමාජය පිලිබඳ ටිකක් සිතා බැලීමේදී මෙය සාධාරණිය කරණය කිරීමට ඕනේ තරම් හේතුත් අපට සොයා ගන්න පුළුවන්. මෙතෙක් බිහිවූ ඒකාධිපති පාලන ක්‍රම වලට හේතු වුනෙත් මෙවැනිම විශ්වාසයන් තමා.

මා ලංකාවේ උදාහරණ ගන්නේ ඒවා අපට (සිංහල පාඨකයාට) වඩාත් සමීප නිසා. එයාර් ලංකා සමාගමේ අක්‍රමිකතා පිලිබඳ වාර්තාවක් පසුගියදා නිකුත් කර තිබුනා. මේ වාර්තා නොමැති වුවත්, පෞද්ගලික සමාගමක් යටතේ ලාභ උපයමින් තිබුන, එයාර් ලංකා, රටේ පාලකයාගේ මචං කෙනෙකුට කන්නට දුන්නට පසුව විනාඩියකට කොතරම් පාඩු ලබන තත්වයට පත් කෙරුවද කියල, සාමාන්‍ය ජනයාට පවා දැන ගන්නට ලැබුනා.

මේ අව් අස්සේ, ලඟදි, වර්තමාන ජනාධිපති මෛත්‍රීගේ සහෝදරයෙක් ලංකාවේ විශාලම විදුලි සංදේශ සමාගම වන ටෙලිකොම් හි සභාපති ලෙස පත් කර තිබුනා. ඒ විතරක් නොවේ, පත් කර කලක් යන්නට පෙර කිසි වැඩ පෙන්වීමක් නොමැතිවම, මොහුගේ පඩිය ඉතා විශාල ලෙස ඉහල නංවා තිබුනා. මේ කෙනාට සමාගම් පාලනයේ කීර්තිමත් ඉතිහාසයක්, වැඩ පෙන්වීමක් තියනවා කියල වාර්තා වී නැහැ.

මේ පත්වීම් දෙකම මිනිසුන්ගේ කෞශල්‍යය මත ලැබුන ඒවා නොවේ. ඒවා ඥාතිත්වය මත පදනම් ව කෙරුණු ඉතා අනර්ථකාරී පත්වීම්. මොකද කියනවා නම් මේ මිනිසුන්ගේ නොහැකියාව නිසා අනතුරට වැටෙන්නේ, රටක මුළුමහත් ජනතාවම නිසා.

සමහර රටවල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් යටතේ කකිස්ටෝක්‍රසියක් (kakistocracy-Government by the least qualified or most unprincipled citizens) දක්වා වර්ධනය වූයේ කොහොමද යන්න වෙනම සොයා බලන්නට අවශ්‍යයි. ඇත්තටම ලී කුආන් යූ කියන මනුෂ්‍යයා ලෝකයට ඉදිරිපත් කෙරුවේ මෙයිට විකල්පයක්.

ලී ගේ මතවාද ගැඹුරින් විග්‍රහ කරන්නට මා යන්නේ නැහැ. ඔහුගේ පාලන ක්‍රමය මූලිකව පදනම් වුනේ කෞශල්‍යතන්ත්‍රවාදය හා ප්‍රභුවාදය අතර සම්මිශ්‍රණයක්. ලී විශ්වාස කෙරුවේ සමාජයේ උගත් සුළුතරය විසින්, බහුතරයකට යහපත් වන සමාජයක් නිර්මාණය කළ යුතුයි කියා (He subscribed to Arnold Joseph Toynbee’s argument that “social progress depends on a ‘creative minority’ which embodies progressivism” while the “societal majority is largely bereft of creativity and vision thus reduced to simply following the elite).

මේ ඒකාධිපතිවාදී පාලන ක්‍රමය සාධාරණියකරණය කරන්නට හැකි වන්නේ ලංකාව වැනි රටවල් උදාහරණයට ගැනීමෙන්. ඒ කියන්නේ බහුතරය කියන්නේ තීරණ ගැනීමේ අයිතිය දිය යුතු කොට්ටාශයක් නොවන බවයි. දැන් එයාර් ලංකා, ටෙලිකොම් වැනි පත්වීම් දකින විට, මේ සමාජ වල යම් පිරිසකට ලී කියන්නේ සැබෑවක් වග පිළිගන්නට සිත් දෙනවා ඇති.

මේ කියන කෞශල්‍යතන්ත්‍රවාදය මූලිකව ප්‍රතිපත්ති/මූලධර්ම දෙකක් මත ගොඩ නැගෙනවා. එකක් තමා ‘වෙනස්කම’ කියන දේ. ඒ කියන්නේ මිනිසුන් අතර කුසලතාවයේ වෙනස්කම් ඇති වග පිළිගැනීම. සියලුම මිනිසුන් සමානයි කියන එක මෙතැනදී සැලකෙන්නේ නැහැ. ඔවුන් අතර විවිධ හැකියා, කුසලතා තිබීම පිළිගැනීම මගින්, වඩාත් දක්ෂයා වඩාත් අභියෝගාත්මක කර්තව්‍යයන්ට පත් කිරීමේ හැකියාව පිළිගැනෙනවා. දෙවෙනි මූලධර්මය වන්නේ ‘සංචරණයට’ ඇති හැකියාවයි. එනම් තරඟකාරී තේරුම් ක්‍රමයක් තුලින්, මිනිසුන්ගේ නිපුණත්වයන් හෝ නොහැකියාවන් මත හෝ ඉහලට නැගීමේ හෝ පහල වැටීමේ ඇති හැකියාවයි. මේ මුලධර්ම දෙක සපිරුණු තැන කෞශල්‍යතන්ත්‍රවාදය ක්‍රියාත්මක වනවා යයි කෙටියෙන් කියන්න පුළුවන්.

ලි බහු පක්ෂ ක්‍රමයක් ප්‍රතික්ෂේප කෙරුවේ, පක්ෂ කිහිපයකට අවශ්‍ය තරම් නායකත්වයක් සමාජයේ නොමැති වග විශ්වාස කළ නිසා. මට මතක හැටියට වසර 2008 දී වගේ පුවත්පත් සාකච්ඡා වකදී ඔහු මේ අදහස් දැක්වුයේ “බොහෝ දෙනා මගෙන් අහනවා, ඇයි ඔබල සමාජය විවුර්ත/නිදහස් කරන්නේ නැත්තේ කියල. මොකද එතකොට ඔබලට ප්‍රධාන පක්ෂ දෙකක් බිහි වෙනවා. එකක් හැමවිටම බලය ගන්න සුදානම් නේ”. “මේක මා එක මොහොතකට විශ්වාස කරන දෙයක් නොවේ. අපට එහෙම හොඳ පක්ෂ දෙකකට ප්‍රමාණවත් තරම් මිනිසුන් (නායකයන්) කණ්ඩායමක් නැහැ. මේක මා උත්සහ කළා. කොහෙත්ම පුළුවන් දෙයක් නොවේ”.

වසර 1917 පසු බිහි වුන සමාජවාදී රාජ්‍ය වලත් එක සංකල්පයක් වුනේ මෙයිට සමාන දෙයක්. එනම් පක්ෂය සමාජයේ මග පෙන්වන්නා කියන එක. මෙහිදීත් විශාල සමාජය කියන්නේ තීරණ ගත නොහැකි මැටි මොල්ලුන් වශයෙනුත්, සමාජ ප්‍රගතිය පක්ෂයේ තීරණ මත සකස් විය යුතු බවත් පිලි ගැනුනා. හැබැයි සිංගප්පූරු ක්‍රමයේ එක වෙනස් කමක් තිබුන වග මගේ පිළිගැනීමයි. එනම්, දේශපාලනිකව වෙනත් මත දරන්නන්, බංකොලොත් කරන අතරේ (දේශපාලනික විරුද්ධ වාදීන් මර්ධනය කිරීමේ සිංගප්පූරු ක්‍රමය ගැන දැන ගන්න ජේ බී ජෙයරෙත්නම් ගේ ජිවිත කතාව කියවන්න) රටේ ආර්ථිකය හැසිරවීමට හැකි කුසලතාවයෙන් අනූන පිරිසකුත් බිහි කර ගැනීමයි. අර සමාජවාදී සමාජ වල ප්‍රවර්ධනය කෙරුනේ අපතකම විතරයි.

කුසලතාපුර්ණ පිරිසක් බිහිකර ගැනීම සඳහා අධ්‍යාපන ක්‍රමයට තමා වැඩි බරක් යෙදවුනේ. ඔවුනගේ අධ්‍යාපනයේ මුලිකාංගයක් වුනේ දූෂණය පිටු දැකීමත්, කෞශල්‍යතන්ත්‍රවාදය ප්‍රවර්ධනයත්. එයට ගත්ත ක්‍රියා මාර්ග මොනවාද, මේ පාරේ අද ඇවිත් තියෙන්නේ කොහාටද, ඒ ක්‍රමයෙන් අනෙක් රටවල් වලට ඉගෙන ගන්න පුළුවන්ද යන ප්‍රශ්න වලට සරලව පිළිතුරු හොයා යන්නට උත්සහ කරමු!

මා උපයෝගී කරගත් සමහර මුලාශ්‍ර:

http://theconversation.com/why-is-singapores-school-system-so-successful-and-is-it-a-model-for-the-west-22917
http://www.straitstimes.com/news/singapore/education/story/local-universities-increase-fees-citing-rising-operating-costs-201504
https://www.facebook.com/notes/soh-yi-da/examining-meritocracy-elitism-in-singapore/10151258616188876

Advertisements

5 Comments

Filed under Opinion, Politics

5 responses to “What kind of system do we need; a democratic kakistocracy or a totalitarian meritocracy?

  1. Pingback: What kind of system do we need; a democratic kakistocracy or a totalitarian meritocracy? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. අර කැනෝලා ගොවිමහත්තයාගේ නඩු තීන්දුව ලැබුණාද රයිගම්..? නැතිනම් මට ඒ පොස්ට් එක මගහැරුනාද..?

    • නැහැ, බිට්ල් අභියාචනයේ තීන්දුව තවම දුන්නේ නැහැ. ඒ නිසා දෙවෙනි කොටස තවම ලියුවේ නැහැ.

  3. //නූතන මිනිසාගෙන් කෙනෙක් කුඩා කල සිට මේ සියලු දැනීම් වලින් ඉවත්කර වෙන්ව ඇති දැඩි කළොත්, කුමන අන්දමේ වැඩිහිටියෙක් බිහි වේවිද කියා ඔබ නිකමට කල්පනා කලාද/// කල්පනා කරන්න දෙයක් නෑ මං පොඩි කාලේ හිටියේ ඔය වගේ තමයි තාත්තයි මායි,මිනිස්සු මට කිවුවේ වැදි පැටියා … 🙂

    ඇමරිකාව ගැන දැනගන්න ආසයි විස්තර. එයාලා උදව් කරන රටවල් වල ස්වභාවයන් අනෙකුත් රටවල් එක්ක බලද්දී වෙනස්..

    ඒ වගේම මට හිතෙන දෙයක් ලී , චේ ඇතුළු ඉස්සර ජිවත් වෙච්ච ශ්‍රේෂ්ඨ මිනිස්සු ඒ කාලේ නොඉපදී දැන් ඉපදුනානම් කියලා ඒත් එහෙම උනානම් අපේ අය ඒ මිනිස්සු හිරේ දායි මරාදායි හරි ඉක්මනට කියලත් හිතෙනවා

    • ඔබගේ ළමා කාලය හරිම අපූර්ව එකක් වගේ.
      ඇමෙරිකාව ගැනත් මා ලියා තියනවා. හැබැයි සමාජය ගැන නොවේ.
      ලී, චේ වගේ මිනිසුන් ශ්‍රේෂ්ට කියල සලකන්නේ ඒ ඒ අයගේ මතාන්තර අනුව නේ. ඔවුන් සාමාන්‍ය මිනිසුන් නම් නොවේ. ලෝකය වෙනස් කරපු අය. නමුත් ශ්‍රේෂ්ට කැටගොරියට දමන්න මා උත්සුක වෙන්නේ නැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s