ගුරුවරුන් සහ නිවාඩු කාලේ නොහොත් ඉගෙනීමට ඉගෙනීම!


ඊයේ පුතාලගේ මේ අවුරුද්දේ පලමු වාරයේ අන්තිම දිනය. පොඩි පුතාගේ ගුරු-දෙගුරු කතිකාව යොදාගෙන තිබුනෙත් ඊයේ පාසල ඉවර වුනායින් පස්සේ. ලංකාවේ අප පහේ පන්තියෙන් වෙන පාසලකට යනවා වගේ, මෙහෙ හයේ පංතියෙන් පසු තමා ද්විතියික පාසලකට යන්නේ. කැන්බරා වල ද්විතියික පාසලින් පස්සේ උසස්පෙළට කොලේජ් කියල තව පාසල් වර්ගයක් තියනවා. මෙය ටිකක් ඇමෙරිකන් ක්‍රමයට යන දෙයක්. සමහර පාසල් වල හෝඩිය (කින්ඩිය), ප්‍රථමික, ද්විතියික හා කොලේජ් කියන සියලුම තට්ටු තියනවා. නැත්නම් එක තට්ටුවක් ඉවර කළ විට වෙනකක් සොයා ගන්න ඕනේ.

පුතාගේ මේ අවුරුද්දේ ගුරුතුමී අලුතින් ගුරුවුර්තිය පටන් ගත්තු කෙනෙක්. හොඳටම තරුණයි. නමුත් වැඩ පිළිවෙලයි. පුතාගේ හොඳක් මිසක් නරකක් අපට අහන්න ලැබුනේ නැහැ. අපත් ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ ස්වභාවිකව තියන දක්ෂතා තවත් දියුණු කර ගන්න මිසක්, අපට අවශ්‍ය කෙනෙකු ඔහුගෙන් බිහි කර ගන්න නොවේ.

මේ ගුරුතුමිය අපූරු දෙයක් කරනවා. එනම් එයාගේ පොත් ළමුන් සමග බෙදා ගැනීම. පුතාලට ඒ පොත් ගෙදර ගෙනත් කියවා ආපසු ගිහින් දෙන්න පුළුවන්. එය අපූරුය කියුවේ, එහි සැබෑම අර්ථයෙන්. එනම් පූර්වයේ අපට එවැනි දෙයක් කරනකෙනෙකු හමු වී නැහැ. මොන සෙල්ලම් කළත්, පුතා කියවන්නත් කැමතියි. හැබැයි එයා කැමති පොත්. එහි ලොකු ප්‍රශ්නයක් අපට නැති නිසා ඔහුගේ කැමැත්තට ඉඩ දෙනවා. සරත්මධුගේ ඉතිං ඊට පස්සේ හා ඩීමන් ආනන්දගේ අඩියෝස් සබාටා 1, 2 හා 3 කියවපු අපට, අද කියවන පොත් කරා එන්න පුළුවන්කම ලැබුනා නම්, මේ කියනවන පොත් වලින් කොහොමත් අවැඩක් වෙන්න විදිහක් නැහැ.

ගුරුවරුන් කියන්නේ අපූරු මිනිසුන් කොට්ටාශයක්. දරුවන්ට ලොකු බලපෑමක් (හොඳ හෝ නරක හෝ) කරන්න හැකි පිරිසක්. දෙමාපියන්ද ඒ වගේ තමා. නමුත් දෙමාපියන් කියන්නේ වෘත්තියක් නොවේනේ. ගුරුකම කියන්නේ වෘත්තියක්. එතන වෙනසක් තියනවා. නමුත් එය අප ගොඩක් දෙනා කරන වෘත්තීන්ට වඩා වෙනස්. එතනත් වෙනසක් තියනවා. විශේෂයෙන් තමන් කරන්නේ මොනවාද කියල ලොකුවට අවබෝධයක් නොමැති පාසල් වයසේ සිසුන් සමග කටයුතු කිරීම පහසු දෙයක් නොවේ. ඒ අතරිනුත් විශේෂිත ගුරුවරුන් ලෝකය පුරාම ඉන්නවා.

නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ, 10000ක පමණ ජනගහණයක් සහිත කුඩා ප්‍රාදේශීය නගරයක් වන ලීටන් වල ද්විතියික පාසල් පන්ති වල ඉංගිරිසි හා ඩ්‍රාමා විෂයයන් ඉගැන්වූ ජනප්‍රිය යයි කියන ගුරුවරියක් වූ, ස්ටේඵනි ස්කොට් ගේ පිළිස්සු සිරුර හමුවූ වග පොලෝසිය අද ප්‍රකාශ කෙරුවා. ජිවත්ව සිටියා නම් ඇගේ මංගල දිනයි. අද ඇයව සැමරීමට පවුලේ කට්ටිය අදාළ නගරයේ පොඩි පික්නික් එකක් සංවිධානය කර තියනවා. ඒ ඇගේ ජීවිතය සැමරීමට. කෙනෙකුගේ මරණයේ සැමරීමට දෙයක් නැහැ.

පසුගිය පාස්කු ඉරිදා ඇය පාසලට ගිහින් තියෙන්නේ, මේ සතියේ කසාද බැඳීමෙන් පසු මධුසමය ගත කිරීමට නිවාඩු ගන්නා නිසා, ඇයගේ වැඩ ආවරණය කිරීමට එන ගුරුවරයාට අවශ්‍ය කළමනා සම්පාදනයට. එයින් පසු ඇය ගැන හෝඩුවාවක් නැතිව ගියා. පසුගිය බදාදා ඇයගේ මරණය ගැන සැකපිට, ඒ පාසැලේ පිරිසිදු කිරීම් කරන තරුණයාව අත්අඩංගුවට අරං චෝදනා ගොනු කෙරුවා. ඒ ඇයගේ මල සිරුර සොයාගැනීමටත් ප්‍රථම.

පාස්කු ඉරිදා ගෙදර ඉන්නේ නැතිව, තමන්ගේ වැඩ තාවකාලිකව ඉටු කරන ගුරුවරයාට අවශ්‍ය පාඩම් වැඩ සංවිධානය කරන්නට පාසලට යාමම ඇය ගැන නොදන්නා, අප වගේ මිනිසුන්ටත් යම් දෙයක් කියනවා. ගොඩක් ගුරුවරුන් මෙහෙමයි. අපට පෙනෙන්නේ ඔවුන් උදේ ඇවිත් හවස ගෙදර යනවා කියල විතරයි. නිවාඩු කාල ඕනේ තරම් තියනවා කියලත් අප සිතනවා. නමුත් හොඳ ගුරුවරුන් ගොඩක් වෙලාවට දවසින් වැඩි කොටසක් වැඩ.

ඇත්තම කියනවා නම් ගුරුවරුන් නිසා මගේ ජීවිතයත් වෙනස් වී තියනවා. ඔවුන් වෙනස් වෘත්තියක් කොටසක් කියා මා කියුවේ ඒ නිසා. හැබැයි ඉතිං වෙනස් වීම කියන්නේ හැම විටම ධනාත්මක (හොඳ) දෙයක් නොවේ. අන්න ඒ අනුව ගුරුවරුන් ගැන ඔබගේ ආකල්පයත් වෙනස් වෙන්න ඉඩ තියන වග මා මෙතැනදී අමතක කරන්නේ නැහැ.

Advertisements

13 Comments

Filed under Education

13 responses to “ගුරුවරුන් සහ නිවාඩු කාලේ නොහොත් ඉගෙනීමට ඉගෙනීම!

  1. Pingback: ගුරුවරුන් සහ නිවාඩු කාලේ නොහොත් ඉගෙනීමට ඉගෙනීම! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඩීමන් ආනන්ද, සරත්මධු ප්‍රබුද්ධ නොවෙන්න පුලුවන්. නමුත් ඒ කෘති වලින් ඔය සම්භාව්‍ය කෘති වලින් නොකෙරෙන සේවයක් වුනා සම්භාව්‍ය කියන සාහිත්‍යයට පවා. ඒ තමයි කියවීමේ පුරුද්දක් නැති ස්ථරයක් තුල කියවීමට ආසාවක්, ඇබ්බැහියක් ඇති කිරීම.
    ඒකම මදිද?

    ගුරුවරු නේද උඹ කතා කලේ? හ්ම්ම්ම්. Ahem.

  3. //……පුතාගේ මේ අවුරුද්දේ ගුරුතුමී අලුතින් ගුරුවුර්තිය පටන් ගත්තු කෙනෙක්. හොඳටම තරුණයි. නමුත් වැඩ පිළිවෙලයි. පුතාගේ හොඳක් මිසක් නරකක් අපට අහන්න ලැබුනේ නැහැ. අපත් ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ ස්වභාවිකව තියන දක්ෂතා තවත් දියුණු කර ගන්න මිසක්, අපට අවශ්‍ය කෙනෙකු ඔහුගෙන් බිහි කර ගන්න නොවේ…….// ලංකාවේ ගුරුවරන් ගැන මෙහෙම සටහන් ලියන්න කීදෙනෙක් පෙළඹේවිද ? මෙහම අය මෙහෙත් තවම ඉන්නවා.! හැබැයි උන් බොහොමයක් ඉන්නෙ ඉන්නේ නින්දාවට පත්වෙවී!! .අපහාස විඳිමින්. තරජන ගර්ජනවලට ලක්වෙමින් !!!

  4. කුරුටු ගෑ ගී පවුර

    ගුරුවරුන් කිව්වාම මතකයට ඒන සැබෑ ගුරුවරු මං දැක්කා විශ්වවිද්‍යාලයෙනුත් ඒළියට අාවාට පස්සේ…. ඒ බිරිදගේ පාසලේ හිටපු ගුරුවරු…. ඔවුන් ගුරුදෙවිවරු…..

  5. / සරත්මධුගේ ඉතිං ඊට පස්සේ හා ඩීමන් ආනන්ද කියවපු අපට, අද කියවන පොත් කරා එන්න පුළුවන්කම ලැබුනා නම්, මේ කියනවන පොත් වලින් කොහොමත් අවැඩක් වෙන්න විදිහක් නැහැ./

    සහතික ඇත්ත…රයිගම්..සහතික ඇත්ත…Simply In a nut shell.

    අපිත් ඩීමන් ආනන්ද, සරත් මධු, ජිනප්‍රේම බෝදාහන්දි ( සිත්තර පත්තරේට සිංහ පැටව් කියල චිත්‍ර කතාවක් ඇඳපු ), ෆීලික්ස් පෙරේරා ( සිත්තර – සල්ෆා ) ඉන්ද්‍රජිත් දන්තනාරායන ( සිත්තර – සුවඳි ) …මේ කට්ටිය එක්ක කියවීම පටන් ගත්තු උදවිය තමයි…හෙහ්,හෙහ්,

  6. මේ වගේම බලපෑමක් ජේ කේ රෝලින් මෑත කාලයේ බටහිර දරුවන්ට කෙරුවා. ඇය දරුවන්ගේ කියවීමේ රුචිය විතරක් නොවේ කල්පනා ලෝකයත් පුළුල් කලා (කලාය). එයත් හරිම වැදගත් දෙයත්. අද මේ දරුවන් ජිවත් වන්නේ රූප සහිත ලෝකයක (රූපවාහිනී හා චිත්‍රපට) නිසා, කල්පනා ලෝකය කියා දෙයක් මනසේ ඇඳෙන්නේ නැහැ.

    හැක්, උඹ අඳුරනවද එහෙම කෙනෙක්? ahem!

  7. ගුණසිංහගේ ප්‍රතිචාරයේ තියන කලකිරීම මට පෙනෙනවා. එය ඇත්තටම කලකිරිය යුතු කරුණක් තමා. ගුරුවෘත්තියේ පමණක් නොවේ, අනෙක් වෘත්ති වලත් කෞශල්‍යතන්ත්‍ර වාදය ඉවත් වී කකිස්ටෝක්‍රසිය ආදේශ වීම ලංකාවේ තියන විශාලතම ඛේදවාචකයයි. මා මේවා දැන් ලියන්නේ නැහැ. එක හේතුවක් නිසා. ඔබට පෙනෙනවා ඇති මේ සටහන් ගොඩක් වෙලාවට ලංකාවේ තොරතුරු සමග සම්බන්ද වුවත්, කතාව එයින් ඈතට යන වග.

  8. ඇයි කුරුටු විවියේ සැබෑ ගුරුවරුන් සිටියේ නැත්ද?

  9. හඃ! හඃ! හා!!! (ඉස්සර චිත්‍රකතා වල සිනහා වුණේ ඔන්න ඔහොමයි)!
    ඔය තියෙන්නේ නියමම මතකයන්. ජිනප්‍රේම බෝදාහන්දි නේද?
    චිත්‍රමිත්‍ර පුවත්පතේ මුල් කාලයත් හරිම විචිත්‍රයි. ඒ වන විට බහින කලාව වුනත්, උපාලි ගොඩාක් මුදල් යට කර තිබුණා මේ වැඩේට. විශේෂයෙන් වර්ණ සංයෝජන වෙන කිසිම පුවත්පතක ඒ විදිහට තිබුනේ නැහැ.
    වැඩේ තියෙන්නේ රවී, අද මේ කතා අපට කියවන්න නොහැකියි. මා නිතර ලියන කරුණ එයට අයිතියි. එනම් අප එකම තැන නම් ඉන්නේ එයින් ඵලක් නැහැ. ඔබත් මාත් මෙව්වා කියවීමෙන් (ඇත්තටම අප වැනි සිංහල කතා කරන පසුබිමකින් එන අයට වෙන කියවන්න දේවල් තිබුනේ නැහැ) කියවන්නට පුරුදු වුනා විතරක් නොවේ, පාසු කාලයේ ඉන් ඔබ්බට ගියා. අද නිකම් පත්තර වලත් සිංහලෙන් ලියවෙන දේවල් ගොඩක් මට අර චිත්‍රකතා වගේම තමා. දැන් කියවන්නට සිතෙන්නේ නැහැ.

    මෙන්න සොපාසාත්මක චිත්‍රකතාවක කෑල්ලක්:
    තැන: රජමාලිගය
    අවස්ථාව: ඇමතිමන්ඩලය රැස් වේ
    මහ ඇමති: සැරද මහරජ තුමනි!
    රජතුමා: සැරද ? උඹල වගේ කම්මැලි, මෝඩ ඇමතිලා මගේ ඇමැති මණ්ඩලේ ඉන්න කොට, සැර නොවෙයි වෙන්න ඕනේ!

  10. ලියන්න කාලය එළඹිලා රයිගම් නැතිනම් දැන් පණ අදින කෞශල්‍යතන්ත්‍රවාදය නැත්තටම නැතිවෙලා යාවි. යන්තම් පණ ගැහෙන තැන් හොයාගන්න පුළුවන් වේවි උන්ව ඔසවා තබන්නට වෑයමක් බ්ලොග් වලින් හරි ගෙන යාහැකිනම්……….

  11. අනේ ඒ ටීච පව් 😦 වෙන කමෙන්ට් ටයිප් කරන්න ආවත් අමතකයි

  12. මා නම් මේ බ්ලොග් කියවන බොහෝ දෙනා තරම්ම “සංවේදී” නැහැ. නමුත් මේ වගේ කතාවක් ඇහුවහම හෙල්ලිලා යනවා. මේ ලෝකයේ තියන කුරිරු කම් දැන දැනත් එයින් මිදෙන්න බැහැ. ඒ ගුරුවරී පමණක් නොවේ, ඇයගේ අත ගන්න හිටපු මනුස්සයාගේ ඉදිරි ජීවිතය ගැනත් මා සිතනවා.

    අනික තමා ඔමා, දැන් මේ වගේ දෙයකදී පොලොසියට ක්‍රියාත්මක වන්නට ටෝනි ඇබට් හෝ ප්‍රාන්ත ප්‍රධාන ඇමතිගේ නියෝගය අවශ්‍ය වුනේ නැහැ. ඔබත් දන්නා සමහර රටවල මෙවැනි මිනීමරුවන් ප්‍රසිදියේම නීතියට කෝචෝක් කරන්න ඉන්න හැටිත් අප දකිනවා.

  13. මා වැනි විදේශිකයෙකුට එය කරන්න නොහැකියි ගුණසිංහ. දැන් බලන්න මේ බ්ලොග් වලත් ලියවෙන දේවල්. දෙකක් දාගෙන කුණුහරුප ලිවීමෙන් ඔබට හෝ මට වැඩක් තියනවද? මා ඇත්තටම ගොඩක් සිංහලෙන් ලියවෙන දේවල් අද කියවන්නේ නැහැ. මගේ බ්ලොගය දිනපොතක් මෙන් ලියවෙන එදිනෙදා සිතිවිලි. ඒවා රැඳී තියෙන්නේ මා එදිනෙදා මුහුණ දෙන, කියවන දේවල් මත පමණක් නොවේ, මගේ ජිවිත කාලයේ ලබපු සියලුම අත්දැකීම් මත. මේ සටහනුත් කියවීමට කැමති අයට වඩාත් සුදුසුයි. මා කියවන පිරිස වැඩි කර ගන්නට ප්‍රයෝග අනුගමනය කරන්න හෝ වෙන තැන් වලින් ප්‍රචාර බලාපොරොත්තු වන්නේ නැහැ. මොකද කියනවා නම් ගුණසිංහ, මා දන්නවා මොන ක්‍රමය අනුගමනය කලත් මේවා කියවන්න ගොඩක් දෙනා සුදානම් නැති වග.

    මෙවැනි ප්‍රතිචාරයක් නිසා, මෙහි ඔබේ අදහස් ලියන එක නතර කරන්න එපා. ඔබගේ අදහස් වලින් මටත් යම් ප්‍රයෝජනයක් තියේවි. 🙂 (I’ve just made it short and easy)!