The rise in uninformed opinions! තැපැල් මාර්ගික පිහිනුම් පාඨමාලාව, ලොව පිළිගත් සහතිකයක් සමග! (3)


ඒ අතරතුරේදී දැනටත් දුප්පත්කමේ ඉන්න විශාල පිරිසට විසඳුම් ගන්න අර කියන්න වගේ අතීතයට ගිහින් හැකිද? අප අතීතයට යනවා නම්, මුලින්ම දරුවනට දෙන ප්‍රතිශක්තිය නතර කරන්නට පුළුවන්. එයිට කලින් ඝර්භනි මවු වරුනට තියන සෞඛ්‍යමය පහසුකම් ඉවත් කරන්නටත් පුළුවන්. එමගින් ජනගහන වර්ධන වේගය විශාල ලෙස අඩු වේවි. හීනටි වැනි වගා වලට යොමු වීමෙන්, ආහාර හිඟයක් ඇති කර තව පිරිසක් අඩුකර ගන්නට හැකියාව ලැබේවි. මේ සිතිවිලි ඔස්සේ තවත් ඉදිරියට යන්න ඔබටම ඉතිරි කරන්නම්.

මා නම් බ්ලොග් ලියන්නේ, පොත් පත් කියවන්නේ, දරුවන් සමග චිත්‍රපටයක් බලන්නට යන්නේ, මල් ගහක් වවන්නේ, සින්දුවක් අහන්නේ යන්තමින් හෝ විවේක කාලයක් තියන නිසා. ඈත අතීතයේ මිනිසා දවසින් වැඩි කොටසක් සතුන් පස්සේ එලවමින් ගත කළා. ගුහාවට එනවිට හොඳටම මහන්සියි, කළුවරයි. අල්ල ගත්තු සතාගේ ගාතයක් කාල, ඔය යෝගා ටිකක් කරලා නිදා ගන්නවා. ආයිත් උදේ කලින් දවසේ කතන්දරේම තමා. නැත්නම් කොට උඩ.

අදත් අපට පිටි කොටමින්, කරත්ත වල යමින් පරිසරයට “හානියක්” නොකර සරල ජිවිතයක් ගත කරන්න පුළුවන්. ඇත්තටම එහෙම ජිවිතයක් මොන කෙන්ගෙඩියකට ද? එක මොහොතක මිනිසාගේ දියුණුවේ කොටස් භුක්ති විඳිමින්, තවත් විටෙක තෝරා ගත් සමහර දේවල් ප්‍රතික්ෂේප කිරීම මට තේරුම් ගන්නට බැහැ.

මගේ මතය අනුව විදුලි බලය කියන්නේ මිනිසාට තිබිය යුතු මූලික අවශ්‍යතාවයක්. එය මිනිස් අයිතිවාසිකමක් කියලත් නම් කරන්න පුළුවන්. සෞඛ්‍යමත් ජිවිතයක්, අධ්‍යාපනය හා තවත් නොයෙක් දේවල් ඒ සමග බැඳී තියනවා. ලෝකයේ සමහර ප්‍රදේශ වල තියන අසීමිත ලෙස ජනගහන වර්ධයනට විසඳුම, අර කවුද යෝජනා කෙරුවා වගේ, සෞඛ්‍යමය පහසුකම් හා ආහාර ඉවත් කර මිනිසුන් මැරෙන්නට සැලැස්වීම නොවේ. මිනිසාගේ ජිවන තත්වය උසස් වන විට ජනගහන වර්ධන වේගය නිකම්ම පහල බහින වග අප දැන් දන්නවා.

බලශක්ති ප්‍රශ්න වලට මෙන්ම ආහාර ප්‍රශ්නයටත් අලුත් විසඳුම් සොයා යන්නට අවශ්‍යයි. ඒ අතරින් හිරුගේ බලය කෙලින්ම ප්‍රයෝජනයට ගැනීම මෙන්ම, වගා කරන බිම් ප්‍රමාණය තවත් වැඩි නොකර නිපදවන ආහාර ප්‍රමාණය වැඩිකර ගන්නටත් අවශ්‍යයි. විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවල්, දැන් දියුණුය කියන රටවල් අතීතයේ කරපු වැරදි වලින් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යන්න අවස්ථාව හොඳටම තියනවා. එය ඉදිරි ගමනක් මිසක් යලිත් අතීතයට යාමක් නොවිය යුතුයි. පාලන ක්‍රමයන් පවා අතීතයේ තිබුන ප්‍රථමික ක්‍රමයට දක්කා ගෙන යන්න කැමති පිරිසක් මේ රටවල් ඉන්න මධ්‍යම පන්තිය අතරේ පවා ඉන්න එක එකතරා අරුම සංසිද්දියක්.

හැබැයි මොනම ප්‍රශ්නයකටවත්, අපට හාන්සි පුටු විසඳුම් වලින් නම් කිසි වැඩක් නැහැ. අපේ පෞද්ගලික ජිවිතයට පවා එවැනි විසඳුම් වලින් ඇති කෙං ගෙඩියක් නැහැ. විශේෂයෙන් බ්ලොග් වල ලියවෙන දෙයක් තමන්ටම කරන්නට බැරි නම් එයින් ඇති ඵලය කීම. මෙන්න මෙයම තමා අමාරුම දේ. ගොඩක් වෙලාවට අප හොඳම විසදුම් ලෙස යෝජනා කරන දේවල් තමන්ට වත් කරන්නට බැහැ. ලෝකයේ හොඳ විසඳුම් දේශනා කරන දේශකයන් රාශියක් සිටියත්, සමාජයට බලපෑමක් කිරීමට ඔවුන්ට නොහැකි, ඔවුන් දෙන විසඳුම් අඩුම ගානේ තමන් වත් පිලි නොපදින හා පිළිපදින්න බැරි දේවල් නිසා.

අමාරුවෙන් ජීවත්වෙන කෙට්ටු හරමානිස්, මාසයක් තිස්සේ එකතු කරලා, දානයක් දුන්නහම, “පින්වත මේ කුණු ශරීරයට සැප දීමෙන් කිසි ඵලක් නැහැ”, කියා හොඳ පුෂ්ටිමත් හාමුදුරුවන් කියනවා. සමාජයේ තියන දරිද්‍රතාවයට විසඳුම යලිත් අතීතයට යාමයි කියා යෝජනා කරන විවිධ කණ්ඩායම් ද අන්න ඒ වගේ. දැන් පරිසරය රැක ගන්න කියමින් ගුවන් මගින් කාබනික එළවලු ගෙනත් කන මිනිසුන්, එම බලශක්ති නාස්තිය ගැන සිතනවාද? ඒ වගේම තමා “කාබනික තිරසාර” ගොවිතැන් ගැන ලෝකයේ නොයෙක් තැන් වල තියන කොන්ෆරන්ස් වලට හා විවිධ සම්මාන සහතික දෙන උත්සව වලට බඩගාන (ගුවන් මගින්) පිරිස්.

දුප්පත් සමාජ ඉන්න මුදවා ගන්නට, ඒ සමාජ වල මිනිසුන්ගේ සිතිවිලි පමණක් නොවේ, එයින් පිටත සමාජය සිතන හැටිත් වැදගත්. සරල දිවියක් යෝජනා කරන මධ්‍යම පංති පිරිස් ඇත්තටම අවංක නම්, මහා වධ වීම් වලින් තොරව, තමන්ගේ මධ්‍යම පන්තික දිවියත් එලෙසම තියාගෙන, විසඳුම් තමන්ගෙන්ම පටන් ගන්න පුළුවන්.

ගෙවල් වලින් ඉවත් වී කැලෑවට යන්න කියා මා යෝජනා කරන්නේ නැහැ. ඇඳුම් පැළඳුම් ද විසි කරන්නට එපා. ගෙදරින් විදුලිය විසන්ධි කර ගන්න කියලත් මා කියන්නේ නැහැ. රේඩියෝ, රූපවාහිනී, ගෑස් ලිප් හෝ විදුලි ලිප් අයින් කරන්නට මා යෝජනා කරන්නේ නැහැ. පොත් පත්, ටෙලිෆෝන පවා තියා ගන්න. බටහිර වෛද්‍යවරයා ගාවට, ලෙඩක් හැදුනම නොගිහින් ඉන්න අවශ්‍යත් නැහැ. කොටින්ම ඒ අය යෝජනා කරන පරිදි, ඈත අතීතයට යන්න ඕනේ නැහැ. වර්තමානයේ ජිවත් වන්න.

හැබැයි පුතේ, මෙන්න මේ සරල පියවර කිහිපය ගන්න. බිහෙවියරල් චේන්ජ් කරන්න පුළුවන් එක පාරට නොවේනේ. පියවරෙන් පියවරට. අනික ලෝකයේ ඔබ බලාපොරොත්තු වන වෙනස්කම් පටාන් ගත යුත්තේ තමන් ගෙන් ම තමා.

මස් මාළු වලින් ඈත්වීම අදම පටාන් ගන්නට පුළුවන්. ශාක ආහාර, මස් මාළු, කිරි, බිත්තර, බටර් වැනි සත්ත්ව ආහාර වලට පරිවර්තනය කිරීමට විශාල බලශක්තියක් වැය වනවා. ඒ වගේම සත්ත්ව පාලනය හරිතාගාර වායු විමෝචනය කරන ප්‍රධාන කර්මාන්තයක්. සත්ත්ව ආහාර වලින් සමු ගැනීමත් සමග ශීතකරණයක් තිබේ නම්, එයිනුත් ගැලවෙන්න හැකියි. වාහන තියන කෙනෙක් නම් ඒවායිනුත් අයින් වී (කරත්ත පාවිච්චිය නොවේ) මහජන ප්‍රවාහන සේවා වලට යොමු වන්නට හැකියි. නිකමට හෝ ගුවන් මගින් කොහෙවත් යන්න එපා. එයත් ප්‍රධාන ලෙස පරිසරය කන ඉන්ධන නාස්ති කරන මාර්ගයක්. අන්තර්ජාල හා කොම්පියුටර් වැනි ජිවිතයට අත්‍යවශ්‍ය නොවන, ලෝකයේ විශාල පිරිසකට කොහොමත් නැති, බලශක්තිය හා ස්වභාවික සම්පත් කා දමන උපාංග වලින් ඉවත් වෙන්න පුලුවන්.

මෙවැනි දේවල් කරමින්, ඔබ සරල ජිවිතයකට යාමට යෝජනා කරන කෙනක් නම්, අඩුම ගානේ මේ පියවර ටික වත් ගන්න පුලුවන්ද කියා සිතා බලන්න. මේවා දැනටමත් කරනවා නම් ඔබ සරල දිවියක් යන්තමින් හෝ ගත කරනවා යයි කියන්නට පුළුවන්. දැන් ඔබට එහි ඊළඟ පියවර වෙත යොමු වන්නට හැකියි. හැබැයි ඉතිං එහෙම කෙනෙක් නම් ඕවා ලියමින් අන්තර්ජාලයේ ඉන්නෙත් නැහැ, මගේ මේ සටහන කියවන්නෙත් නැහැ.

(අවසානයි)!

Advertisements

5 Comments

Filed under Opinion

5 responses to “The rise in uninformed opinions! තැපැල් මාර්ගික පිහිනුම් පාඨමාලාව, ලොව පිළිගත් සහතිකයක් සමග! (3)

  1. Pingback: The rise in uninformed opinions! තැපැල් මාර්ගික පිහිනුම් පාඨමාලාව, ලොව පිළිගත් සහතිකයක් සමග! (3) | සතුටු වැස්ස බ්ලොග් ක

  2. ඔයා වෙලාව තියෙන වෙලාවට කරන වැඩ මාත් බොහෝ විට කරනවා,,

    අයියේ ඉස්සර හවසට දඩයමේ ගිහින් ඇවිත් කාලාබිලා, එහෙම ගිනිමැලයක් ගහන් ඒ වටේ ඉඳන් ඒ දිහා බලන් ඉන්න අපේ මුතුන් මිත්තන් ගේ ආභාෂය එක්ක වෙන්න ඕනේ අපේ තාත්තලා හවසට වැඩට ගිහින් ඇවිත් නිකන් ඔහේ tv එක දිහා බලන් ඉන්නත් කැමති අත්තේ,,, ( මෙගා බලන්න නෙමේ)

    ස්තුති ගොඩක් ආසාවෙන් කියෙවුවා පළවෙනි කොටස කියවුවේ දෙක කියෝලා,, මේක දැන්,,

    • මොකද මේ කටුස්ස වගේ එක එක ප්‍රෆයිල් වලින්? 😀
      ඇත්තෙන්ම සමහර දාට වැඩ ඉවර කරලා ගෙදර ආපුවහම කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් දවසම කැලේ හක්කොලන් කරලා ආපුවහම කොහොම ඇත්ද?

      තාත්තල ගෙදර ඇවිත් ටීවී බලනවා, අම්මල දරුවන්ගේ වැඩ ටිකත් කරලා, තේ හදල, උයල සමහර විට බෙදල අතටත් දෙන්න ඕනේ නේද? 🙂

  3. මම නම් මේ ඉන්න විදියට ඉන්න කැමතියි බං. ගම්බද නොඉඳුල් සුන්දරත්වය හොඳ change එකකට. නමුත් ඒක හැමදා විඳින්න නම් මගේ කිසිම අදහසක් නෑ.
    ආ තව පොඩ්ඩෙං අමතක වෙනවා. අර දඩයමේ ගිය පොරවල් යෝගාත් කලාලු එහෙනං, ඈ!

    • උඹගේ ප්‍රතිචාරය මගින් මගේ කතාව නියම අවසානයකට ආව. මාත් මේ ජිවිතයට කැමතියි. අතීත ජිවිතයේ සරල සුන්දරත්වය, ගම්බද සිරියාව, අතීතයේ තිබුන තාක්ෂණ දියුණු වලට මට නම් යන්න ඕනෙත් නැහැ. කවුරුහරි බලෙන් ගිහින් දැම්මත් ඉන්න හිතෙන එකකුත් නැහැ. උඹට මතකද දවසක උඹ දාල තිබුනා යලිත් ඉපදෙන්න පුලුවන්නම් කැමතියි කියල. මට මචං හිතා ගන්න අමාරු, සමහරුන් උපදෙන්න අවස්ථාව තියනවනම්, මොකද “සංසාරෙන් එතෙර” වන්න වලි කන්නේ කියන එක.

      අප ජිවත් වීම ගැනත්, නුතනයේ ජීවත්වීම ගැනත් මිනිසුන්ට ගිල්ටි ෆීලින් එන්නේ මොකදැයි කියන්න මා දන්නේ නැහැ මචං.
      ( ඔය යෝග චිත්‍ර ගල්ගුහා වල තිබිල හොයාගෙන තියනවා).