සියල්ලන්ටම සුබ අනාගතයක්! How am I supposed to carry on…………


ජීවිතය අනපේක්ෂිත දේවල් වලින් අනූනයි. හදිසි අනතුරු කියන ඒවා අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. පසුගිය දිනෙක මා වැඩට යන විට, මගේ රථය, සිඩ්නි වලින් ආපු එක නෝනා මහත්මියක් විසින් හප්පනු ලැබුවා. අනතුරක මොන වාසනාවක් ද? නමුත් වාසනාවකට වගේ භෞතික හානි මිසක් මගේ හෝ ඇයගේ ශරීර වලට හානියක් වුනේ නැහැ. ඇය ටිකක් ආඩම්බරකාර කාන්තාවක් වුවත්, රථයෙන් බැස්සේ මට සමාවන්න කියමින් නිසා, මා වැඩි දෙයක් කියුවේ නැහැ. මෙවැනි අනතුරු වෙන්න තියන හැකියාව නැති කරන්න නොහැකි වුවත්, ඇයගේ සමාවට කරුණ වුණේ, ඇය සිඩ්නි වලින් ආපු අයෙක් නිසා, “කැන්බරා මාර්ග නීති” හරියට නොදන්නවා කියන එකයි.

දැන් මෙහෙම අනතුරකින් ශරීරයට හානියක් වුණොත් මොකද වෙන්නේ කියා ඔබ හිතුවද? එය ඔබ ඉන්න රට විතරක් නොවේ, සමහරවිට රටක් ඇතුලේ ප්‍රාන්ත අනුවත් වෙනස් වෙනවා. ඉන්නේ කැන්බරා වල නම් තත්වය ටිකක් හොඳයි. අප මෝටර් රථය පාරට දාන්න අවුරුදු පතා එහි අංකය අලුතින් ලියාපදිංචි කරන්න ඕනෙනේ. මෙන්න මේ ලියාපදිංචිය කරන දෙපාර්තමේන්තුව එවන කොලේ බැලුවොත් ඔබට පෙනේවි, එහි මහම මුදල යන්නේ CTP කියන රක්ෂණය වෙනුවෙන්.

මෙයට කලින් CTP රක්ෂණයට අපට විකල්ප තිබුනේ නැහැ. එකම එක සමාගමකින් තමා එය ගන්න තිබුණේ. දැනට අවුරුද්දකට පමණ උඩදී එයට තව සමාගම් එකතු කර, තෝරා ගැනීමේ අවස්ථාව රථවාහන හිමියන්ට ලබා දී තිබුණා. කොම්පල්සරි තර්ඩ් පාර්ටි නැත්නම් අනිවාර්ය තෙවන පාර්ශව රක්ෂණය නමැති මේකෙන් කෙරෙන්නේ, යම් රියදුරෙක් විසින් පාරේ ඉන්න මගියන්ට හෝ අනෙක් රථයක ගමන් ගන්න, එලවන හා තමන්ගේ රථයේම ඉන්න අයට පාරේදී සිදුකරපු අනතුරකදී වන තුවාල වලට ප්‍රතිකාර වලට අවශ්‍ය වන රක්ෂණ ආවරණය ලබා දීම.

දැන් අපත් රථයක් පාරට දාන්න කලින් ලියාපදිංචි කිරීමට අමතරව, (බොහෝ විට) තව රක්ෂණයකුත් ගන්නවනේ. මේකත් තෙවන පාර්ශව හෝ සම්පුර්ණ (තර්ඩ් පාර්ටි හෝ කම්ප්රිහෙන්සිව්) වන්න පුළුවන්. ඒ දෙකෙන් මොක වුනත්, ඒවායින් ආවරණය වන්නේ දේපොළ විතරයි. ශාරීරික හානි වලට ඒවා වන්දි ගෙවන්නේ නැහැ. අන්න ඒකයි CTP රක්ෂණය, ලියාපදිංචි කරන විට අනිවාර්ය වන්නේ.

දැන් කැන්බරා වල ජිවත් වන අප, මේ CTP රක්ෂණය වෙනුවෙන් මහා ගාණක් ගෙවනවා. මෙම රක්ෂණ අනෙක් ප්‍රාන්ත වලත් තියනවා. නිව් සවුත් වේල්සයේ මේක CTP ග්‍රීන් ස්ලිප් කියලයි හඳුන්වන්නේ. ඔවුන් හැබැයි මෙතරම් ගාණක් ගෙවන්නේ නැහැ. මෙහි වෙනස තමා කැන්බරා රක්ෂණය කම්ප්රිහෙන්සිව්. අනෙක් ප්‍රාන්ත වල ගණන අඩු, ඒවාට තිය ආවරණයේ ඇති සිමීතකම් නිසා. ඇත්තටම මේක ගෙවන කොට අප බැණ බැණ ගෙවන්නේ. හැබැයි අනතුරක් වුණහම තමා දෙවියන් සිහි වන්නේ.

පාරේ ගොඩක් පිරිස් වාහන එලෙව්වත්, අනතුරු කර ගන්නා සංඛ්‍යාව සාපේක්ෂව කුඩා නිසා, මෙවැනි රක්ෂණ සේවා සපයන සමාගම් හොඳට ලාභ ගන්නවා. නමුත් අප රක්ෂණයට මුදල් ගෙවනවා කියා, එයින් වාසි අනතුරු කර ගන්නා අරමුණෙන් වාහන එළවන්නේ නැහැ. මෙවැනි රක්ෂණ අප මිලදී ගන්නේ, හදිසි අවස්ථා වෙනුවෙන්. එනම් බලාපොරොත්තු නොවන අනපේක්ෂිත අවස්ථා සඳහා.

ඕස්ට්‍රේලියාවේ තියන මෙඩිකෙයා කියන සර්ව සෞඛ්‍ය සේවාවත්, මෙවැනි රක්ෂණයක්. වැඩක් කර ආදායමක් ගන්න සියලුම දෙනා, තමන්ගේ ආදායමෙන්, මේඩිකෙයා බද්ද කියා එකක් ගෙවනවා. මේකෙන් තමා හෙම්බිරිස්සාවට දොස්තර කෙනෙක් හම්බ වෙන්න යන කොටත්, අනෙක් හැදෙන ලෙඩ රෝග වලට රෝහලට ගිහින් ප්‍රතිකාර ගන්නෙත්, හදිසි අනතුරු වලදී කෙලින්ම රෝහලට ගෙනගොස් ප්‍රතිකාර කරන්නෙත් (අර CTP නැතත් ඔබට ප්‍රතිකාර නොකර ඉන්නේ නැහැ. එහිදී ඔබ ගේ ආදායම, හමේ පාට, ගැහැණු පිරිමි වග යනාදී මොකුත් බලන්නේ නැහැ. මොකද මෙඩිකෙයා මගින් කොහොමත් ඔබ ආවරණය වී ඇති නිසා). මෙතැනදී කියන්න අවශ්‍යයි, ඔබට ප්‍රතිකාර/වියදම් ආරම්භ වන්නේ අර ඇම්බියුලන්ස් රථය, රථ ගාලෙන් පිටත් වූ වෙලාවේ සිට. මෙඩිකෙයා මේ සියල්ල ආවරණය කරන්නේ නැහැ.

දැන් අපේ පඩියෙන් ගාණක් ගෙවනවා කියා, එයින් “නියම ප්‍රයෝජන ගන්න” අප ලෙඩ වෙන්න බලාගෙන ජිවත් වන්නේ නැහැ. මා නම් පෞද්ගලිකව සෞඛ්‍ය සම්පන්න ජිවන විලාසිතාවක් ගත කරන්න වෙහෙසෙනවා. අර කාරය රක්ෂණය කර, පරිස්සමින් පදවනවා වගේ, සැමවිටම ලෙඩක් හදා ගන්නේ නැතුව ජිවත් වෙන්න උත්සහ කරනවා. නිදහස් සේවා ඇප්රිශියෙට් කරන අතරදීම, ඒවාට මුදල් එන්නේ කොහෙන් ද කියා ත් අප සිතන්න ඕනේ. සමාජවාදයේ (එවැනි දෙයක් තිබුනා නම්, හෝ ඇති කරන්න හැකි නම්) ප්‍රධාන ප්‍රශ්නයත් මෙය තේරුම් ගන්න පිරිස් අඩු වීමයි.

මා හැම විටම ලියන දෙයක් තමා. අපේ ජිවන විලාසිතා තෝරා ගත යුත්තේ සෞඛ්‍ය සම්පන්න දිවියක අදාළ වන විදිහට. දැන් අප මේඩිකෙයා වලට ගෙවන ගාණින්, “නොමිලේ” සපයන සෞඛ්‍ය සේවාවන් සියල්ල ආවරණය කර ගන්න නොහැකි වෙමින් පවතිනවා. එනම් ලෙඩ වෙන ගණන වැඩි වෙමින් පවතිනවා. වියපත් ජනගහණයත් වැඩිවීමත් එහි එක අංගයක්. වලක්වා ගන්න පුළුවන් ලෙඩ මිනිසුන් හදා ගැනීමත් එහිම එක අංගයක්. නමුත් මේ රටේ තියන මේඩිකෙයා සර්ව රක්ෂණය නුතන මානව සමාජ වල තියන හොඳම සේවාවලින් එකක්. එහි නොයෙක් දුර්වලතා තියනවා. නමුත් එක පුද්ගලයෙකුට සෞඛ්‍යය සඳහා, අපට වඩා වැඩියෙන් වියදම් කරන ඇමෙරිකාවට වඩා, මෙහෙ සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂමයි, වඩාත් මානුෂිකයි කියාත් නම් කරන්න පුළුවන්.

සමාජයක ජිවත් වන විට මේවා සිතන්න ඕනේ. වැඩක් කර යමක් උපයන්න, සැම විටම සෞඛ්‍යසම්පන්න ජීවන විලාසිතා තෝරා ගන්න, සමාජයේ ඉන්න අනෙක් අය ගැන යන්තමින් හෝ සිතන්න යනාදී දේවල්. එතකොට තමා අර කලින් කියපු සාර්වර්ත්‍ර සේවා තිරසාරව අපට පවත්වාගෙන යා හැක්කේ. අධ්‍යාපනය පවා එයටම අදාලයි. ලෙඩ නොවී ඉන්න හැම උත්සහයන්ම ගන්න විට, හදිසි අනතුරු හා නොවැලැක්විය හැකි හේතුන් නිසා ලෙඩ වන අයට ප්‍රතිකාර සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන්.

ගිය වසරේ මා හොඳින් දන්නා කෙනෙක් බරපතල රිය අනතුරකට මුහුණ දුන්නා. ඔහුගේ අනතුරින් විනාඩි දහයකට පසු, ඇම්බියුලන්ස් රථය එතනට ආව. එයින් පසු රෝහලට ගෙනගිහින් කරපු ප්‍රතිකාර නිසා, ඔහු ජීවිතය ගලවා ගත්තා විතරක් නොවේ, මාස 8කට පමණ පසු 95% ක පමණ සුවපත් වීමක් ලබා ගත්තා. එහිදී ඔහුට මෙහෙ තියන නිදහස් සෞඛ්‍ය සේවාවත්, රක්ෂණයනුත් උදවු වූවා. එයිටත් වඩා යළිත් පෙර පරිදි ජීවිතය ගත කරන්න, එනම් තමන්ගේ මහන්සියෙන් වැඩ කරන්න, අනුන්ට කරදරක් නොකරන්න ඔහුගේ තියන කැමැත්තත්, සහකාරියගේ ආදරබර උපස්ථානත් හේතු වුණා යයි මට සිතෙනවා.

මෙයා හරිම සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කරපු කෙනෙක්. එය සනාථ කරන දෙයක් මා කියන්නම්. මේ අනතුරට මුහුණ දුන් විට ඔහුගේ ලෙඩ නිවාඩු වලින් ඉතිරි වී ඇති දින ගණන දවස් හාරසියයකට කිට්ටුයි. ඒ කියන්නේ මුළු රක්ෂා දිවිය තුල එකතු වෙලා තිබුණ/අරගෙන නැති ලෙඩ නිවාඩු වල ගණන අවුරුද්දකට වැඩියි. රජයේ නිවාඩු දින හා සති අන්ත අත හැරියොත්, මෙයාට අවුරුදු දෙකක් පමණ නිකම් ගෙදර ඉන්න පුළුවන් කම තිබුණා. නමුත් යන්තමින් සුවය ලබන විට, ඔහුට යලිත් වැඩට එන්න අවශ්‍ය වුණා.

අප සමාජයේ සමහරුන් ඉන්නවා, හොර ලෙඩ අරන් ඉන්න. විශේෂයෙන් සුබසාධන වැඩසටහන් තියන රටවල් වල. මේ සුබසාධන වැඩසටහන් වලින් ඇත්තම ප්‍රයෝජනය අවශ්‍ය මිනිසුන්ටත් එය නොලැබී යන්නේ මෙන්න මේ අපත සීතල හොරුන් ඉන්නා නිසා. අප දකිනවා ලෝකයේ අත-පය නැතුව උපන් මිනිසුන් අනුන්ට බරක් නොවී ජිවත් වන්න උත්සහ කරන හැටි . ඇත්තටම මෙවැනි මිනිසුන් දකින විට වත් අර සීතල හොරුන් ලජ්ජා විය යුතුයි.

මා නිතර ලියන අනික කරුණ තමා, සමාජයේ වල්නරබල් පිරිස් බලා ගැනීමේ යුතුකම මහා සමාජයට තියන වග. මා පවා අද යන්තමින් හෝ නිදහස් ජිවිතයක් ගත කරන්නේ එවැනි අත දීම් අප සමාජයේ තිබුන්න නිසා වගත් මා අමතක කරන්නේ නැහැ.

මේ සියල්ලම ලියුවේ වෙන කිසිවක් නිසා නොවේ. මගේ මිතුරෙකු මගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා. එය ඔහුට නොවේ. ඔහුත් නොදන්නා තවත් මනුෂ්‍යන් තිදෙනෙකු වෙනුවෙන්. ඔහු මගෙන් ඉල්ලුවේ ටිකක් දීර්ඝ කාලීන මැදිහත් වීමක්. මට බොරු කියන්න අවශ්‍ය නැහැ. එවැනි දීර්ඝ කාලින දෙයක් මට කරන්න හැකියාවක් නැහැ. මොකද කියනවා නම් අනාගතයේ කිසිවෙකුට අත නොපා ජිවත් වීමට ගත යුතු ක්‍රියා මාර්ග මා තවම සම්පුර්ණ කර නැහැ. එයත් දීර්ග කාලින පොර බැදීමක්.

මා පින් හෝ පව් විශ්වාස කරන්නේ නැහැ. නමුත් චැරිටි නැත්නම් ස්වෙච්චා සේවා සඳහා මා හා බිරිඳ අපට හැකි අයුරින් උදව් කරණවා. ලොකු ගණන් නොවේ, පොඩියට. එයින් බලාපොරොත්තු වන්නේ මේවයින් සපයන සේවා සඳහා යම් දායකත්වයක් දීම. ගිය සතියේ ගෙදරට ආපු මෙවැනි ඉල්ලීමක් වුණේ අපේ ප්‍රදේශයේ හදිසි අනතුරු වලට යැවෙන හෙලිකොප්ටර් සේවාව සඳහා යම් දායකත්වයක්. මේවා ලොකු මෙහෙවරක් කරනවා. යම් දිනෙක ඒ සේවාව ලබා ගන්නා මා වේවි.

හැබැයි අන්තරජාලයේ හෝ පුවත්පතක දකින උදව් ඉල්ලීමක් අපගේ අවධානයට එතරම් ලක් වන්නේ නැහැ. මෙවැනි දෙයකට අවධයන යොමු වන්නට නම්, එහි කොණක අපට සමීප කෙනෙකු සිටිය යුතුයි. මා කියන පුවතත් අන්න ඒ වගේ.

මිනිසුන් විපතක වැටුන විට, දාර්ශනික මතවාද වලින් වැඩක් නැහැ. ඔවුන්ට ගෙවන එක දවසත් තීරණාත්මකයි. පහතින් කියවෙන පුවතට අදාල තරුණයා, ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගනිමින් සිටියදී සිදුවූ (මා ඇසූ පරිදි), අනතුරක් නිසා ජිවිතයම උඩු යටිකුරු වූ අයෙක්. ඔහු විතරක් නොවේ, ඔහුගේ දෙමාපියන්ගේත්. අනතුර සිදු වී ටික කලක් වුණත්, තාමත් මේ තිදෙනා අනතුරින් සිදුවූ ආබාධයන් සමග පොර බදනවා යයි මට කියුවේ මෙය මට එවූ හිතවතා.

ඔබට එය අවශ්‍ය නම් අදාළ අංක වලට කතා කර සනාථ කර ගන්න හැකියි. මොවුන් කිසිවෙකු මා දන්නේ නැහැ. ඔවුන් මිනිසුන් වීම පමණයි, මට තියන ඥාතිත්වය. දීර්ග කාලීනව දායකත්වයක් මට දෙන්න නොහැකි වුවත්, මා මට හැකි විදිහට උපකාර කරන්නට කටයුතු කරන වගට මෙය එවූ මිතුරාට කියුවා. එයට ක්‍රියා මාර්ගයක් මා දැනටම අරගත්තා. මෙතනදීත් මගෙන් උදව්ව ඉල්ලු කෙනා, එනම් හිතවතා නිසාම තමා මා යම් පියවරක් ගත්තෙත්, මෙය ලියන්නෙත්. ඔවුන් වැනි මිනිසුන් අපටත් ආදර්ශයක්. ඔවුන්ව අනුගමනය කරන්න නොහැකි වුවත්, එයිට අඩු දායකත්වයක්, එනම් පසුපසින්වත් අප ගමන් කරන්නේ, ඔවුන් ලෝකයේ ඉන්නා නිසා.

සමූහයක් වශයෙන් අප මුහුණ දෙන ප්‍රශ්න වලට විසඳුම් සෙවීම අපගේ මනුෂ්‍යත්වයයි. එහිදී සමහර විට අප දායකයන් වුවත්, කෙලින්ම ප්‍රතිලාභ ලබන්නන් නොවන්නට ඉඩ තියනවා. හැබැයි, පොදුවේ සියලුම මිනිසුන්ට, මිනිසුන් වශයෙන් ජිවත් වීමට ඉඩ සැලසීම අප සියල්ලන්ම ලබන ප්‍රතිලාභයක් නොවේද?

අනුන්ට කරදරයක් නොවී, රැකියාවක් කරමින්, දරුවාට උගන්වමින්, අන්තිමට ඒ දරුවාගේ දක්ෂතා (ඇත්තටම කියුවොත් ලංකාවේ මධ්‍යම පාංතික සිහිනය සැබෑ කර ගැනීමේ අද්දර සිටිය) දෑසින් දකිමින් සිටිය මේ යුවල, ඔබ හෝ මා වෙන්න පුළුවන් නේද? උන්නතිකාමී, මධ්‍යම පාංතික දිවියක් ගත කරපු කෙනෙක්, උදව්වක් ඉල්ලන්නේ බැරිම තැන කියා මා දන්නවා. අනික ඔවුන්ගේ උත්සාහය දරුවා නැවත ස්වාධින ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය වටපිටාව සලසා දීම. දරුවන්ට ස්වාධින ජිවිතයක් ගත කරන්න වටපිටාව සලසා දීම නේද අප සැමගේ බලාපොරොත්තුව.

පුළුවන් නම් උදව්වක් කරන්න.

තරුණ ජිවිතයකට නැගිටින්නට වාරුවක්….

http://www.piliyandalasami.com/advertisements/donation/
(මේ ලින්කු දෙකම වැඩ කරන්නේ නැත්නම් මට ලියන්න)!

පලි
මගේ බ්ලොගය සති අන්ත බ්ලොගක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. මේ සටහන පමණට වඩා දික් වුණා. මේ පලියත් වෙනස් කරන්නට සිතුනේ නැවත කියවා බැලීමෙන්. යමකට දායකත්වය දෙන්න කියන විට, ගොඩක් වෙලාවට අපට කියන දෙයක් තමා, කෝපි එකක් බොන සල්ලිනේ අනේ, ඒක දෙන්න, නැත්නම් ඔයාල බොන්න ඔච්චර වියදම් කරන එකේ, මේකට ඒ මුදල දාන්න. මෙය මා අකමැතිම දෙයක්. එහෙනම් එයාල කියන්න කලින් අප මේ ජිවිතයේ කරන සේරම නවත්වල, ණය ටික ගෙවල දානවනේ. විකාර නේද? එහෙම නොවේ, හැකි නම් යම් උපකාරයක් කරන්න, නැත්නම් ඒත් කමක් නැහැ, කියුවොත් මා නම් දෙපාරක් හිතනවා.

පන්සල් පල්ලි හදන්න මුදල් පරිත්‍යාග කිරීම මා කරන්නේ නැහැ. පල්ලි කෙසේ වෙතත්, පන්සල් වල නම් අවුරුද්දේ තුන්සිය හැටපස් දවසම කරන්නේ නව දෙයක් ඒ කියන්නේ ගොඩනැගිල්ලක්, නැත්නම් ගොඩනැගිලි ඇතුලේ කෙරෙන විසිතුරු, එසේත් නැත්නම් තියන දේවල් කඩල හරි අලුතින් දෙයක් හදන එක. මේක කිසිදා ඉවර වෙන කෙලියකුත් නොවේ. මොනවා හරි හදන්න කියා මුදල් එකතු කිරීමත් නතර වෙන කෙලියකුත් නොවේ.

මෙතැනදී අමතක කරන දෙයක් තමා මනස් ගොඩ නැගීම. එය අභිබවා භෞතික ගොඩනැගිලි ඉදිරියට එනවා. මේ පැය ගණන් දිවෙන බණ දේශනා කියන්නේ කිසිම වැඩකට නැති දේවල්. ඔය කියන දේවල් වලට මිනිසුන්ගේ සිත යොමු වෙනවා යයි කියා මා නම් සිතන්නේ නැහැ. මොන දේශනාව වුනත් විනාඩි 20 කින් පමණ නිම කළ යුතුයි. ඉන්පසු කියන දේවල් කිසිවෙකුගේ මනසට යන්නෙත් නැහැ, ඇති වැඩකුත් නැහැ.

ඇත්තටම පන්සල් වලට අවශ්‍ය වන්නේ විසිතුරු ගොඩනැගිලි හා ඒවා සරසන චිත්‍රකර්ම, පිළිම හා වෙනත් භාණ්ඩ නොවේ. මිනිසුන්ට නිදහසේ ඉන්න පුළුවන් ගස් වැල් පිරි පරිසරයක්. ඒ ඉතින් මා සිතන හැටිනේ. පන්සල් නොයන මා සිතන හැටියෙන් වැඩක් නැහැ.

මේ ටික එකතු කෙරුවේ මා මේ සතියේ නරඹපු අපූරු වාර්තා වැඩසටහනක් මතක් වීමෙන්. එයට පදනම් වුනේ අපේ මනස. එහි හරය වූයේ, අපේ මනස වෙනස් කර ගන්නත්, කිසිදා අප පමා නැහැ කියන එක. සතිය නැත්නම් මයින්ඩ්ෆුල්නස් කියන දෙය හරය වන ඉගැන්වීමක් “අදහනවා” කියන පිරිස්, භෞතික සම්පත් වන්දනා කිරීම ඇත්තටම දයිවයේ සරදමකටත් වඩා එහාට යන දෙයක්. එයත් ලියන්නට තරම් වටින කරුණක්.

Advertisements

5 Comments

Filed under Opinion

5 responses to “සියල්ලන්ටම සුබ අනාගතයක්! How am I supposed to carry on…………

  1. Pingback: සියල්ලන්ටම සුබ අනාගතයක්! How am I supposed to carry on………… | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Niyama blog ekak. DIgatama liyanna. good luck

  3. මම පන්සල් පල්ලි වලට සල්ලි දෙනවට වඩා නැති බැරි අයට උදව් කරන්න කැමතියි. හැබැයි එහෙම කරලා අහු වෙලත් තිබෙනවා.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17172-how-am-i-supposed-to-carry-on

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s