පොල් නැති කේල් මැල්ලුම් හදමු!


මේ මෑත කාලයේ ඕස්ට්‍රේලියානු එළවලු මාර්කට් එකේ නැගල යන එළවළුවක් තමා කේල් කියන්නේ. ඔබ තාමත් මේවා කාල නැත්නම් අදම ගෙනත් බලන්න. කේලුත් අර චිආ, තම්පල, කින්වා ඇට වර්ග වගේ ම තමා. වර්තමාන වෙළඳ ලෝකය මේවා ප්‍රවර්ධනය කරන්නේ සුපිරි ආහාර කියල. අර කලින් කියපු ඇට වර්ග පෞරාණික ඇට වර්ග වශයෙනුත් හඳුන්වනවා. ඒවා ගැන මා පසුව ලියන්නම්, වෙලාවක් ලැබුණොත්.

ඇත්තටම ගෝවා නැත්නම් Brassica oleracea නමින් හැඳින්වෙන ශාක විශේෂයට, ප්‍රබේද ගණනාවක් අයත් වෙනවා. මේ අතරට අප හොඳින් දන්නා, ගෝවා, කෝලිෆ්ලවර්, බ්‍රසල්ස් ස්ප්‍රවුට්, බ්‍රොකොලි, කොලාර්ඩ් ග්‍රීන් හා ඉහතින් කියපු කේලුත් අයත් වෙනවා.

දැන් ගෝවා වල ඉඳන් බ්‍රොකොලි දක්වා කිසිම එළවළුවක් අපේ ස්වභාවයේ හැදුන “කාබනික ආහාර” නොවේ. මේවා නොදන්නවා නම් කියවන්නට ඕනේ තරම් ප්‍රභවයන් අද තියනවා. අප කන්නේ මොනවාද යන්න සොයා යාම මා කලින් ලියා ඇති පරිදි අපේ සෞඛ්‍යයට හොඳ දෙයක්.

අපේ අනෙක් සියලුම බෝග වගේම බ්‍රොකොලි කියන්නෙත් මිනිසාගේ නිර්මාණයක්. ඒ විතරක් නොවේ ගෝවා වැනි මේ විශේෂයේ අනෙක් ප්‍රබේදද මිනිසා විසින් අවුරුදු දහස් ගණන් තිස්සේ වැඩි දියුණු කරපු බෝගයන්.

දැන් මෑතකදී සුපර්මාර්කට් වල ප්‍රචලිත කෙරුණ කේල් කියන්නෙත්, අප විසින් අවුරුදු දහස් ගණනක් තිස්සේ ජාන තාක්ෂණයෙන් වැඩි දියුණු කරපු ශාකයක්. මේවායේ විටමින් සී සහ කේ, කැල්සියම් හා හිතකර රසායන වර්ග වලින් පොහොසත් යයි කියනවා. ඒ වගේම කේල් වල කොළ පාට මෙන්ම, දම්පාටිනුත් හැදෙන උප වර්ග තියනවා.

ගෝවා වලත් දම්පාට ගෝවා කියන්නේ මිනිසාගේ මෑත නිර්මාණයක් නොවේ. ඔබ ඕස්ට්‍රේලියානු සුපර්මාර්කට් එකේ දකින විවිධ වර්ණයන්ගෙන් හා හැඩයන්ගෙන් යුතු තක්කාලි කියන්නේ දෙමුහුන්කරණය කියන ක්‍රියාවලිය මගින් ලබා ගත් ඒවා යයි නම් කරන්න පුළුවන්. මේ කිසිම තක්කාලියක්, ඒවායේ ‘පෞරාණික කැලේ තක්කාලි’ වලට සම කරන්න නොහැකියි.

අප කුඩා කල ඉගෙන ගත්තු ඇන්තොසයනින් කියන වර්ණකය/antioxidant සහිත තක්කාලි ප්‍රබේධයක් දෙමුහුන්කරණය මගින් එංගලන්තයේ මෑතකදී නිපදවූවා. ඇන්තොසයනින් තමා සමහර පළතුරු ඉදෙන විට ඒවාට දම් පාටක් ගෙන දෙන්නේ.

ජාන තාක්ෂණ තක්කාලිත් නිපදවා තිබෙනවා. කෘමීන්ට ඔරොත්තු දෙන, ගෝනුසු විෂ එකතු කරපු ජාන තාක්ෂණ ගෝවා අත්හදා බැලීමේ අවධියේ තිබුණත්, දැනට කිසිම වෙළඳ පොලක “නූතන ජාන තාක්ෂණ” ගෝවා වර්ගයක් නැහැ.

ජාන තාක්ෂණ බෝග නිපදවීමේ ඉදිරියෙන් ඉන්න ඇමෙරිකාවේ පවා වෙළඳපොලේ තියන එළවලු වලින් ඉතා කුඩා කොටසක් තමා GM කොටසට අයත් වන්නේ. ලෝකයේ නොයෙක් රටවල වවන GM බෝග වලින් බොහොමයක් සැකසුම් කරන ලද ආහාර නිපදවීමට තමා යන්නේ.

ඕස්ට්‍රේලියාව ගත්තොත් වෙළඳ බෝග ලෙස දැනට වවන්නේ ජාන තාක්ෂණ කැනොලා හා කපු පමණයි. සමහර GM බෝග අනුමත කරණ පෙඩරල් ආයතනය සීමිත අවසරයන් ලබා දී තිබුණත්, වෙළඳ බෝග ලෙස ඒවායින් මොනවාවත් දැනට වවන්නේ නැහැ. දැන් මේ පෙඩරල් ආයතනය අවසර දුන්නත්, ඉන්පසුව ප්‍රාන්ත රජයන්ගේ කෘෂිකර්ම අමාත්‍යාංශයන මගින්, ඒවා තමන්ගේ ප්‍රාන්තය තුල වවන්න දෙනවා ද නැත්ද යන්න යලිත් තීරණය කරනවා. උදාහරණයකට GM කැනොලා වවන්නට දැනට අවසරය දී තිබෙන්නේ වික්ටෝරියාව, නිව් සවුත් වේල්සය හා බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත පමණයි .

දැනට දශකයක පමණ කාලයක සිට ඕස්ට්‍රේලියාවේ බෝග කිහිපයක් ජාන තාක්ෂනය ක්‍රමය යටතේ වැඩි දියුණු කිරීම සඳහා පර්යේෂණ කර ගෙන ආවත්, මේවායේ ප්‍රගතිය ඉතා මන්දගාමී කියල කියන්නත් පුළුවන්. එයට එක හේතුවක් වන්නේ අවශ්‍ය කරන වෙනස් කම් ශාකයකට එකතු කිරීම ලෙහෙසි නැති නිසාත්, එසේ එකතු කිරීමෙන් පසුව පවා වෙනස් නොවන ශාකයක් බවට, එය පත් කිරීම තවත් පියවර ගණනාවක කටයුත්තක් නිසාත්.

අනෙක තමා, ජාන තාක්ෂණ ශාකයක් නිපදවීම කියන්නේ එකක්, එයින් පසු මේවා වෙළඳ බෝගයක් ලෙස අනුමත කරවා ගැනීම කියන්නේ තව දෙයක්, එවැනි භෝග වලින් නිපදවෙන ආහාර සඳහා අනුමැතිය කියන්නේ තවත් දෙයක්. ලෝකයේ විවිධ රටවල (ඒ රටවල් ඇතුලේ) මේ පියවරයන් අනුමත කරන්නේ වෙනස් ආයතනයි. දැනට තිබෙන අන්දමට මේ එකම පියවරක් වත් ලෙහෙසියෙන් (ඥානය, මුදල්, කාලය හා පනින්නට තියන කඩුලු කරුණු අතින්) කරන්න පුළුවන් කියා මා විශ්වාස කරන්නේ නැහැ. ඉන්පසු පවා ඒවා වැවීමට ගොවියන් කැමති කර ගන්න එකත් එහි තව පියවරක්. මේවට පාරිභෝගිකයන් කැමති කරවා ගැනීම කියන්නේ ඒ සියල්ලටම වෙනස් දෙයක්.

ලෝකයේ තොරතුරු කියන එවුවා අද බොහෝ දුරට නිදහස්ව ලබා ගන්නට පුළුවන් වුවත්, අප සියලුම දෙනා මේවට අනාවරණය නැතිය කියල මට අද කියවපු දෙයකින් වැටහුණු නිසා මෙය කලබලයෙන් ලියුවේ. එකක් තමා අපට මෙව්වට කාලයක් නැහැ. අනෙක ප්‍රධාන මාධ්‍ය වල මේවා සමහර විට කතා කෙරුවත්, අපේ ඇස ඒවාට යන්නෙත් නැහැ.

ඕවා අමතක කරමු. මා කේල් වලින් මැල්ලුම් හදන්නේ මෙහෙමයි. කේල් හොඳින් සෝදා ගන්න. දැන් වතුර හැකි තරම් පෙරා, කේල් පත්‍රයේ මැද නාරටිය සම්පුර්ණයෙන්ම කපා අයින් කරන්න. සාමාන්‍ය මැල්ලුම් වලට වගේ කේල් සිහින්ව ලියා ගන්න. කැනොලා හෝ වෙන වර්ගයක තෙල් ටික සාස් පානක රත්කර, ලියා ගත් කේල් ටික දමා විනාඩි දෙක-තුනක් යන්තමින් බැද ගන්න. බා ගැනීම කිට්ටු වන විට කෑලි මිරිස් ස්වල්පයක් හා අවශ්‍ය පරිදි ලුණු එකතු කර ගන්න. එච්චරයි.

පලි (12.06.15)
ඇත්තටම මේ සටහන මෙයට වඩා හොඳින් ලියන්නට පුලුවන් කියා අද උදේ තේ බොන අතරේ කියවන විට මට සිතුනා. මෙය ලියුවේ ඉතා හදිසියෙන්, කොමෙන්ටුවක් දමනවා වගේ. මෙතන මැල්ලුමකට වඩා කතාවක් තියන වග ඔබට වැටහෙනවා ඇති. දෙමුහුන්කරණය විතරක් නොවේ, ජාන තාක්ෂනය ද අපේ ආහාර ප්‍රශ්න වලට විසඳුම් සොයා යාමේදී අතිශයින් වැදගත් යයි මා පෞද්ගලිකව විශ්වාස කරන වගත් මෙහිම සඳහන් කරන්න කැමතියි.

Advertisements

25 Comments

Filed under Agriculture

25 responses to “පොල් නැති කේල් මැල්ලුම් හදමු!

  1. අද උදේ මා කියවූ ඉකොනොමැට්ටා ගේ ලිපියක කියා තිබුණා GM තක්කාලි තියෙන බව, එය වැරදියි කියායි මාත් දැන ගෙන හිටියේ.

    GM සහ Hybrid අතර ලොකු වෙනසක් තියෙනවා නේද?

    කෙසේ වෙතත් කේල් නං කීපවරක් ගෙදර දී හා කෑවා. ගෙදර වැවූ කේල් පැලවල කොළ වෙනස් ආකාරයකටයි වැඩුනේ. ඒත් කඩේ කේල් රසට වෙනස් වුනේ නෑ. කොහොමටත් නී-රසයි නේ! අන්තිමේදී කෘමිසත්තු බෝවුණා!

    ඊටත් වඩා මං කේල් කාලා තියෙන්නේ ඔෆීසිය අසල “ජස්ට් ජූස්” කඩෙන් ගත් සලාදවලයි. කේල් සහ කීන්වා එකට මුසු කළ සලාදය (යොදා ඇති රසකාරක නිසා දෝ) හරිම රහයි. චීයා නම් කාලා නෑ. චියා මිශ්‍ර කුරහන් රොටි හදන බව ඔෆීසියේ කාන්තාවක් මා සමග කීවා. ඇය ඒ රෙසිපිය ඉගෙන ගෙන ඇත්තේ ඇමරිකා එ.ජ. වෙසෙන යෙහෙළියකගෙනුයි.

    දැන් ඔය මැල්ලුමට පොල් කුඩු ටිකක් දැම්මොත් මොකද වෙන්නේ?

    • GM තක්කාලි තියනවා රසික. වැඩිපුර ඒවා යන්නේ සකස්කරන ළද ආහාර වලට. හැබැයි ඕස්ට්‍රේලියාවේ නැහැ. රසික (බය නැතුව කන්න), gm ගෝවා වර්ගයක් දැනට මේ ලෝකයේ වෙළඳ පොළේ නැහැ. ගෝවා, දම්පාට ගෝවා, මල් ගෝවා, බ්‍රොකොලි යනාදී මේ සේරම අපේ සම්ප්‍රදායික වැඩි දියුණු කිරීම් මගින් හදා ගත්තුවා.

      GM හා Hybrid කියන්නේ දෙකක් තමා රසික. නමුත් වසර දහස් ගණනක් තිස්සේ අප කර ගෙන ආ දෙමුහුන්කරණය කියන්නෙත් එක්තරා විදිහක ජාන තාක්ෂණයක් තමා. අප කන කිසිම බෝගයක් ඒවායේ මුල් වල් ශාක වලට සමාන වන්නේ නැහැ. මෙන්න මේක ටිකක් කියවන්න (http://www.ponderweasel.com/broccoli-man-made-food/). අපේ බෝග වල පොදු කතාව මේකයි. මා කලින් ලියා තියනවා මේ ගැන.

      කේල් වලට පරිසර උෂ්ණත්වය බලපානවා. ඒකයි “හරියට” වැවෙන්න නැත්තේ. ගෝවා, බ්‍රොකොලි, කොලිෆ්ලවර් වැනි ඒවටත් ප්‍රශස්ථ වැඩීමට පරිසර උෂ්ණත්වය ප්‍රධාන සාධකයක්.

      කේල් සුප් වලට දාගන්න පුළුවන්, උයල බා ගන්න විට. මැල්ලුමට පොල් එකතු කෙරුවොත් සමහර විට වඩා හොඳ වේවි. වැඩිපුර මැලෙව්වහම, මේවායේ යන්තමින් තියන වතුර ගතිය, ඉවත් වී කර වන නිසා, එතරම් වෙලාවක් ලිපේ තියන්න හොඳ නැහැ. අලුත් පොල් තියනවා නම්, ඒ ප්‍රශ්නය මගහරවා ගන්න පුළුවන්.

  2. Pingback: පොල් නැති කේල් මැල්ලුම් හදමු! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. මැල්ලුම් නම් පොල් ඕන නේද?
    ඉකොනොමැට්ටගෙ පැත්තෙ ගිහිල්ල මේ පැත්තෙ ආවෙ. දෙන්නම කෑම ගැන තමයි කියල තියෙන්නෙ.

    • අපට පොල් නොමැති නිසාත්, පොල් මැල්ලුම් වලට අපේ විශාල කැමැත්තක් නැති නිසාත් රාජ්, නව මං සොයා යනවා.

  4. අහවලා

    ඩෙසිකේටඩ් පොල් දැම්මහම කේල් එකත් රහට තියෙනවා… වූල්වර්ත්, කෝල්ස් දෙකේ ඕන තරම් තියෙන්නෙ පොල්… 🙂

    • කෝ අනික් කෙනා නැත් ද?
      මා කියුවේ අලුත් පොල්. ඔය වේලපු පොල් කවුද කන්නේ? 😀

      • අහවලා

        අලුත් පොල් උනත් තියෙන්නෙ $2.50 ගානේ… මං හිරමනේකුත් ගෙනාවා ලංකාවෙන්… ගෙනාපු නම්බුවට දෙපාරක් විතර පොල් ගෑවා… දැන් ඒක ලාච්චුවක දාල තියලා ඩෙසිකේටඩ් පොල් ගෙනල්ල කනවා… පාවිච්චි නොකලට මොකද, හදිස්සියක් උනොත් ගන්න දැන් ගෙදර හිරමනයක් තියෙනව නේ… 😉

        • අන්න එහෙම එන්න. මා අලුත් පොල් ගන්නේ, අර සිරිමාගේ කාලේ වගේ දෙකට පළල තියනවා නම් බෑයක් පමණයි. දැන් හිරමණයේ අඬුව කැඩිල නිසා එයත් කරන්නේ නැහැ.

          • මෙයත් කියන්න ඕනේ, එදවස, අප පොල් නොගාන බව දුටුව පින්වතියක්, (දැනට දශකයට පමණ පෙර) අපට ලංකාවේ හිරමණයක් තෑගී ලෙස ඒවා තිබුණා. එය මෑතක් වන තුරු නිතරම නොවුණත්, ප්‍රයෝජනවත් වුණා.

            බැරිද අර හිරමනේ තැපෑලේ එවන්න? 😀

          • Anonymous

            There is fresh scrapped cocoanut (freezed) available on Asian shops. We eat kale like polsumble.

        • rangi

          මගෙත් කතාව ඕකයි. කවුද මන්දා මට හිරමණයක් තෑගි දුන්නා. ඒක ගෙදර මුල්ලක තියාගෙන මාත් ඉඳල හිටල ඩෙසිකේටඩ් පොල් දාලා මැල්ලුම් හදනවා.

          කවුරු හරි පොල් ගාලා දෙන්න ආවොත් හෙම අර තියෙන්නේ හිරමණයක් කියලා මම ඒක පෙන්වලා පොල් ගාව ගන්න බලාගෙන ඉන්නේ 😉

          • //කවුරු හරි පොල් ගාලා දෙන්න ආවොත් හෙම අර තියෙන්නේ හිරමණයක් කියලා මම ඒක පෙන්වලා පොල් ගාව ගන්න බලාගෙන ඉන්නේ//

            මේකට කොහොම උත්තර දෙන්නද මන්දා රංගි. පොලිටිකලි කරෙක්ට් එකක් ද නැත්නම් අර “ගොඩක් තරුණ” කාලයේ වගේ දෙපිට කැපෙන එකක් ද කියා මට සිතා ගන්න බැහැ. 😀

            • පොලිටිකලි කරෙක්ට් විතරයි. 😉
              මට පොල් ගාන්න බෑ. ඔය කවූහරි ආවම ගාලා දෙනවා සමහරවෙලාවට. එයාලම මැල්ලුමුත් හදා පොල්සම්බෝලත් හදලා දෙනවා. හිරමණේ ලැබුනෙත් එහෙමයි.
              ලේසියි පහසුයි. හරිම සිම්පල් ප්ලෑන් එකක් 😉

  5. කේල් අමුවෙන්ම පට්ට හීනියට ලියලා ළූණු මිරිස් ලියලා ගාපු පොල් (ඩෙසිකෙටඩ් ජරාව නෙවෙයි) /උම්බලකඩ/තක්කාලි/ලෙමන් ජූස් එක්ක ඇනුවම මාර කොලිටි.
    හීනියට ලියන්න ඕන හැබැයි. එකට කම්මැලි නම් පොඩ්ඩක් බ්ලාන්ච් කරලා වගේ ගන්නත් පුළුවන්. අච්චරම රස නැහැ විටමින් C ටිකකුත් අඩු ඇති.

    • මගේ බ්ලොගය කියවන පිරිස් මේ වගේ සටහනකින් වත් එලියට පැමිණීම සිතට සතුටක්. ඔය තියෙන්නේ නියම වට්ටෝරු. ඊළඟ පාර හදල කියන්නම්.

  6. කේල් කීවම ටස්කන් කේල්ත් (tuscan kale) ඔහේ තියෙනවද?
    මගේ ප්‍රියතම කෑමක් ඒක.
    මම නම් කරන්නේ ටිකක් හීනියට කපලා හොඳට සුදු ළූණු තෙලෙන් කර කරලා මිරිස් කරල් දෙකක් විතර කෑලි කඩලා ඒකටම දාලා ටිකක් ෆ්‍රයි වගේ මැල්ලුම් හදන එක. ලුනු කුඩු පොඩ්ඩකුත් දානවා. ආයේ නැ ඉතින් හිටි ගමන් කිලෝ එකක් විතර තනියම කනවා ඒ වගෙ වෙලාවට

    • ඇයි රංගි හිතන්නේ අප ඉන්නේ කාන්තාරයක කියලද? ටස්කන් කේල් විතරක් නොවේ කෙහෙලුත් මෙහෙ වැවෙනවා. 🙂

  7. ඔයා මැල්ලුම් වලට තෙල් දානවද?
    මං හදද්දී නම් තෙල් නොදා හීනියට කපපු කේල්, රතු ලුණු, අවු මිරිස්, ගම්මිරිස්, අඹරපු අබ චුට්ටක්, කහ, පොල්, ලුණු ඔක්කොම එකට දාල විනාඩි 2 විතර ලිපේ තියල බානවා.
    ගා ගත් පොල් ගන්ඩ පොල් ගෙඩි ඕනය ඉතින්? ගාලා freeze කරපු frozen coconut අරං එවෙලෙට යන්තං microwave කරලා de-freeze කරා නම් හරි නේ…super market වල නම් නෑ හැබැයි, ආසියානු කඩ වල තමයි තියෙන්නේ.
    හැබැයි ගාපු පොල් ඇත්තෙම නැත්නම් ඩෙසිකෙටඩ් පොල් එකත් වතුර/දිය පොල් කිරි ටිකක් දාල microwave කරාම ලොකු අවුලක් නෑ.

    කේල් කැඳ ත් හොඳයි!

    • //ඔයා මැල්ලුම් වලට තෙල් දානවද?//
      අම්මප, නිරෝෂිනී ඔයාලගේ මේ වගේ ප්‍රශ්න වලට කොහොම උත්තර දෙන්නද කියල හිතා ගන්න බැහැ. 😀
      මාත් ඔය අධිශීත පොල්, කෙහෙල් ගැන විතරක් නොවේ වෙන දේවල් ගැනත් මේකේ කලින් ලියා තියනවා. ඔබ නම් නොදකින්න ඇති.
      මෙහෙමනේ නිරෝෂිනී, අප දැන් කෑම වල තියන සුවභාවික රසය මරන්නේ නැහැ. අන්න ඒකයි මහප්‍රාණ ජාති එකතු නොකරන්නේ.

      රෝයල් එකේ කට්ට කයිරාටික පින්සිබෝල් ගොයියව අල්ල ගත්ත නම්, කැඳ විකුණලා දරුවන්ගේ පොකට්ටුවට කටින්න තිබුනා.

  8. රයිගමේ මේ බ්ලොග් ඇඩ්රස් එක හරිද ? https://raigamahandiya.wordpress.com/
    මේක දාන්න බැහැනේ http://www.blogpower.infop ekata. can’t find your feed kiyala error message ekakenava.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s