Monthly Archives: July 2015

පිණි බිඳකින් මුතු අමුනමි, දිනිසුරුගෙන් සීතල දෙමි………….?


කලිං සටහනේ, නිකං හා මා නිකමට කරපු සංවාදයේ ඇලවීමක්.

නිකං

//මේවා රස නොවිඳින පිරිස මෙයිට වඩා වැඩි ඇති
ම්හ්.රසවිඳින්න අච්චුව බලපානවා රයිගම් ඔබ එය පිළිනොගත්තත්.සුට්ටක් හිතුවොත් ඔබේ දෙමාපියන් යක්කු වාගේනං,ඉගැනීම යකාට ගියානං,ආදරයක් කරුණාවක් කාගෙන්වත් නොලැබුනානං, ජීවනබරට හුස්මක්වත් ගන්න බැරුව පොඩි වෙලානං ඔබ අතින් මෙවැනි බ්ලොගයක් ලියවෙයිද?
එතකොට මේවා රසවිඳිනවට වඩා මැරී ගෙන වැඩකරලා හවහට සොට් එකක් දාගෙන හිතේදුක යන්න ජොලියක් දාල බුදියගන්න එක සැපයි.

  • ඉතිං, නිකං මා කියන්නෙත් ඔය කාරණේමනේ. දැන් මේ පහල දෙන්න පිලි නොගන්නෙත්, අර ද්විභාෂා පරමේෂ්වර ප්‍රා මහතා (විහිළු ප්‍රා!) (මාත් ෂඩ් භාෂා දන්නවා, ලියන්න, කියවන්න, කතා කරන්න හා තේරුම් ගන්න විතරයි බැරි) තේරුම් ගන්න උත්සහ නොකරන්නේත් ඔන්න ඕක.

    අප මිනිසුන් වශයෙන් මේ ලෝකේ තියන සියලුම දේ ප්‍රගුණ කරන්න අවශ්‍යයි. සතුන් ස්වභාවික ඉවෙන් කරන ලිංගික ක්‍රියා පවා, අප එනම් මිනිසුන් ඉගෙන ගන්නේ ඒ නිසා. මොකද එකක් ස්වභාවික ඉව අපට දැන් නැහැ, අනික පොඩි කාලේ ඕවා කරලා ළමයි හදා ගත්තොත් මොකද වෙන්නේ කියා අප දන්නවනේ. හැබැයි පොඩි අය දන්නේ නැහැ. එතකොට නිසි වයසේදී මේවා අප වෙනමම ඉගෙන ගන්නවා. අනික් සියල්ලමත් අන්න ඒ වගේ. පිහිනන්න, ගස් යන්න, බයිසිකල් පදින්න, ජම්බු කඩන්න මේවා අප ප්‍රගුණ කරනවා. ඔබ කියනවා වගේ එම ප්‍රගුණ කිරීම් වලට ගෙදර පරිසරය, කවුද දෙමාපියන් කියන්නේ, ජිවත් වන රට, ප්‍රදේශය, ගම, අවට ඉන්න අසල්වැසියන් කියන විශාල පරාසයක දේවල් බලපානවා.

    රසවින්දනය/ආතල් ගැනීම විතරක් නොවේ කෙනෙකු දැනුමට විවුර්තවිමේදීත්/නොවිමේදීත් මෙන්න මේ ප්‍රගුණ කිරීම්, එනම් කොතරම් දුරට දැනට අප ප්‍රගුණ කර තියනවද කියන එක බලපානවා. ශිෂ්‍යත්වය පාස් එකාට, එක පාරටම ඕලෙවල් ලියන්න බැහැනේ. අප ඉගෙන ගන්නේ විතරක් නොවේ, අප උගන්වන්න පවා අවශ්‍ය දැනට තියන දනුම/අත්දැකීම් මත කියල මහා අධ්‍යාපනඥයන් කියන්නේ අන්න ඒ නිසාමයි.

    පොත් බලන එක, සිනමාවක් බලන එක, නාට්ටියක් බලන එකේදී, විවිධ අය වෙනස් විදිහට රස විඳින්නේ හෝ නොවිඳින්නේ අන්න ඒ නිසා. එනම් එයාලගේ ප්‍රගුණ කිරීම් වල ඉන්න “පන්ති” වෙනස්.

    මා මේ ලඟදි නිවාඩුවට ගිය වෙලාවේ, අමු හරක් මස් කෑවා. ලොකු හෝටලයක කුස්සියෙන් හදපු එව්වා. මෙයට අවුරුදු 30කට පමණ පෙර (එනම් මට වයස අවුරුද්දක් විතර කොට) මේක මට සිතන්නවත් බැරි දෙයක්. ඉස්සර වෙල්ඩන් ඉල්ලන මං, දැන් මීඩියම් හෝ මීඩියම් රෙයාර් ඉල්ලන්නේ. දැන් ලංකාවේ කෙනෙක් ඊයියා කියාවි. මොකද රස “ප්‍රගුණ” කර නැති නිසා.

    අද දවල් විවේකයේදී මා ගියා එළවලු කඩේට. පතෝල කිලෝව ඩොලර් අටයි. බෝංචි කිලෝව ඩොලර් 2.50. ලංකාවේ කෙනෙක් මරු එළවලු කියල බෝංචි ගන්න විට, මා වැඩි ගාණක් දීල පතෝල කරලක් ගත්තා. ඒ අප එව්වට කැමති නිසා. දැන් මා පතෝල වලට ආසයි කියන විට සිනාසෙන මිනිහට, මටත් සිනා වෙන්න පුළුවන් ජරා බෝංචි කනවා කියල.

    යලිත් රසවින්දනයට ආවොත්, දැන් පීචන් හා ප්‍රබුද්ධ කියල කියනවනේ. මේක ඇත්ත දෙයක්. නමුත් මේ වචන යොදා ගන්නා ආකාරය අනුව උසස් හා පහත් කිරීමක් ගම්‍ය වන නිසා, එය ප්‍රගුණ කරපු රසිකත්වය හා අඩුවෙන් ප්‍රගුණ කරපු රසිකත්වය ලෙස අපට හඳුන්වන්න පුළුවන්. නවකතාවක් තේරුම් ගැනීම පවා, තමන් රසිකත්වය ප්‍රගුණ කරලා තියෙන්නේ කොතරම් දුරට ද කියන එක මත රඳා පවතිනවා.

    දෙයක් කියවල තේරුම් ගැනීමත් අන්න ඒ වගේ. කට පත්ත නොවේ, මා කියවල තේරුම් අරන්, ශාරාංශය මෙහි ලියන පර්යේෂණ ලිපියක්, සාමාන්‍ය පාඨකයෙකුට තේරුම් ගන්න හැකි වන එකක් නැහැ. මොකද එයා ශිෂ්‍යත්වය විතරයි පාස්. මා ඕලෙවල් කරලා තියනවා. මෙතැනදී අන්න අරූ මෝඩයෙක් කියල මට කියන්න බැහැ. ඔහුගේ පහත් කමකුත් නැහැ. මොකද ඒ ලෙවල් කරපු එකෙක් මට සිනා සේවි. මේක ලංකාවේ වන්නේ අපේ ඉගෙනීමේ ක්‍රමයේ තියන අඩුපාඩුවක් නිසා. සමහරවිට වෙනත් පරිසර වලදී පවා මේක අපගේ ඉස්මතු වෙනවා.

    දැන් අර හොඳට තේරුම් ගන්න පුළුවන් මිනිහට, වෙනස් විදිහකට, අර දෙවෙනි එක්කෙනාට කියල දෙන්න පුළුවන්. දැන් ඔය සාහිත්‍ය විචාරකයන් වැනි අය කරන්නේ අන්න ඒ වගේ දෙයක්.

    දැන් මෙතැනදී විචාරකයා හෝ අර කියල දෙන මිනිහාට, ඔය විදිහට නොවේ ඕක ලියන්න තියෙන්නේ, මෙන්න මේ විදිහට කියල උදාහරණ එක්ක තවත් කෙනෙක් (විචාරකයෙක්/රසිකයෙක්) කියන එක වෙනම කරුණක්. හැබැයි අපොයි ඔය මොනවාද ලියන්නේ/කියන්නේ, “මට ආස වෙන විදිහට” ලියන්න කීම තේරුමක් නැති දෙයක්. ඒ “ආස විදිහ” විස්තර කරන්න පුළුවන් දෙයකුත් නොවෙනවට අමතරව, අර කලින් කෙනාට අනුව, ඔහුට හොඳම විදිහට තමා දැනටම ලියල තියෙන්නේ. දැන් ඒක තවත් “දියුණු” කරන්න පුළුවන් කියුවට, ඒක එයාට අනුව දියුණුවක් නොව පහතට යාමක් ලෙසත් සිතෙන්න පුළුවන්. මෙතැනදී ඒ අයිතිය, එනම් පහතට යනවද, නැත්ද කියන දේ, තනිකර එයාගේ අයිතියක්. විචාරකයන්ගේ විතරක් නොවේ, නිරමාණ කරුවන්ගේත් එය අයිතියක්. වෙනස් විදිහට තේරුම් ගැනීමත් රසිකයාගේ/විචාරකයාගේ අයිතියක්. වැඩේ තියෙන්නේ යමක් ප්‍රගුණ කරපු කෙනාට, සාමාන්‍ය ඇසකට නොපෙනෙන දේ දකින්න වැඩි අවස්ථාවක් තියනවා. සමහරවිට, නිර්මාණ කරුට පවා නොපෙනෙන දෙයක් එයා විස්තර කර දෙනවා.

    ලෝකයේ නිර්මාණ කරුවන්, රසිකයා සොයා යනවාට වඩා වෙන්නේ, රසිකයන් නිර්මාණ කරුවාගේ, නිරමාණ සොයා යාමයි. වෙළඳ ලෝකයේ මෙහි අනෙක් පැත්ත වෙනවා තමා. නමුත් එතැනදී නිර්මාණ කරුවා පොඩි කම්ප්‍රමයිස් එකක් කරනවා.

    මේ කතාව බ්ලොග් ලෝකයෙන් එහාට යන දෙයක්. මේ විස්තර කෙරුවේ ඒ අර්ථයෙන්.

    මගේ බ්ලොගයට ආවොත් මා විවිධ විදිහට ලියා තියනවා, කෙනෙක් කියනවා නම් සමහර ඒවා එයාට රසයි, අනෙක් ඒවා නීරසයි, සේරම ඒ විදිහට ලියන්න කියල, මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔබට අර නීරස (පතෝල) ටික තමා මට රසවත්ම, ඔබ රසයි කියල කියාන (බෝංචි) මට එතරම් රසවත් නැති කොටස. මා ඇත්තටම ලියන්නේ අර පතෝල කොටස නිසා, ඉඳහිට බෝංචිත් හදන්නේ ඔබ වෙනුවෙන්, මිසක්, මට ආස හින්ද නොවේ. ඔබ නිග්‍රහ කරන්න වගේ අයියෝ පතෝල වගේ දේවල් ලියන්න එපා කියුවට, මගේ රසිකත්වය අනුව, ඔබයි “ප්‍රගුණ කරන්න” අවශ්‍ය කෙනා. අන්න ඒකයි මට සමහර බ්ලොග් සටහන් කියවන්න හෝ නොසිතෙන්නේ.

    නමුත් මා කිසිදා ඒවාට ගිහින් කියල නැහැ, මොනවාද ඔය ලියන කතා කියල. මොකද එහෙම කිරීම ම වැරදියි. අප ඇපල් සමග අඹ සසඳා ගන්න අවශ්‍ය නැහැ. අජිත්ගේ බ්ලොගයේ තියන කතාවත් මේ දෙයටම සම්බන්දයි. මා ලියන දේවල් වල වැරදි (දෙපිටකාට්ටුකම්), භාෂාවේ වැරදි, වාක්‍ය වින්‍යාසයේ වැරදි යනාදිය කෙනෙක් පෙන්වා දුන්නොත්, ඒවා එසැනින් නිවැරදි කිරීමට මා සුදානම්. නමුත් අඳුරේ ඉන්න නොපෙනෙන කළු බල්ලෙක් වන, මා ලියන රටාව, “ඔබට ආස විදිහට” වෙනස් කරන්න කියල කියන්න එන එකේ තේරුමකුත් නැහැ.

    එවැනි දෙයක් දිගින් දිගටම නිග්‍රහ කරන්න වගේ කියන කොටත් ඇති වෙනවා. විශේෂයෙන් එම කරුණ ගැන කලින් ඕනෙවට වඩා ලියා ඇති විට. බොරු කියන්නේ මොකටද, මා දිගින් දිගටම ලියන සමහර කරුණු තේරුම් නොගන්න අය, මේක කියවීම වැඩදායක දෙයකුත් නොවේ.

    මා දීර්ග පිළිතුරු දෙන්නේ මා සමග එකඟ නොවන අයට කියන එක ඇත්ත (ඔබ සමග මෙතැනදී එකඟ වුවත්, ඔබට කියා පිළිතුරු දෙන්නේ ඇත්තටම වෙනත් අයට). ඒ තරහ අරන් නොවේ. මගේ විරුද්ද මතය තව දුරට පැහැදිලි කිරීම තමා මා එන්ජෝයි කරන්නේ. එකඟ වන අයට මා එතරම් කාලයක් යොදා නැහැ (ඔබට හැර).

    මේ බ්ලොගය කියවන්නේ ටික දෙනෙක් වග ඔබත්, මාත්, කියවන අන් සියල්ලක්ම දන්නවා. මට කියන්න අවශ්‍ය වුණේ, බහුතර පිරිසක් මේ වගේ “නීරස” බ්ලොග් වලට අකමැති වුවත්, කැමති සුළු පිරිසකුත් ඉන්නවා කියන්න. අර බහුතර පිරිස ගෙන්නා ගන්න, මට අකමැති විලාසිතාවක් අනුගමනය කර, දැන් මේ කියවන ටික දෙනා හලා ගන්න මට අවශ්‍ය නැහැ. මොකද මා කියන ජිවන විලාසිතා තේරීම් වලින් බොහොමයක්, සමාජයේ බහුතර පිරිසක් තෝරණ දේවල් නොවේ. බලන්න බටහිර සමාජයේ 65% ස්ථුලයි. වැඩිපුර දෙනා ආගම් නම් අදහනවා. නමුත් මේ බොහෝ දෙනා හොඳ ඇදහිලිකරුවන් නම් නොවේ. මේ ලිස්ට් එක දිගයි. මා කැමතියි, කෙනෙකුට නීරස වෙන්න හැකි අන්න ඒ දේවල් ගැන කතා කරන්න.

    (වුව මැන සමා නිකං) 🙂

    ඔබ කියනවා වගේ මට දැන් නිදහස් වෙලාවක් තියන නිසාත්, මනස නිරවුල් නිසාත්, දැන් නම් රෑට උයල ඉවර නිසාත් මේ වගේ දේවල් ලියන්න පුළුවන්. ලෝකයේ බොහෝ දෙනාට, ලියන්න තියා, හෙට දවස ගෙවෙන්නේ කොහොමද කියා හිතන්න හෝ නොහැකියි. එහෙම ප්‍රශ්න නැති අයට පවා, මෙවැනි දෙයක යෙදෙනවාට වඩා කරන්නට දේවල් තියනවා. සමහරුනට ඕනේ වුවත්, ලියන්නට හැකියාවක් නැහැ (මටත් නැහැ නම් තමා, ඒත් ලියනවා). අනික මේ දෙකක් දාගෙන ලියන බ්ලොග් කලාව මට නම් අරහං. මා ඔය විහිළුවල ලියුවට, මා බ්ලොගය ලියන්නේ, මනසත්, ශරීරයත් නිස්කලංක වෙලාවට. මගේ ජීවිතය ගැන මා තෘප්තිමත්. ඒ විතරක් නොවේ, එවැනි ජිවිතයකට අතදුන්න සියලු දෙනාටමත් මා හැමවිටම ඒ ගැන ස්තුතිය පුද කරනවා. ඔබට හැකි නම් මේ බ්ලොගය ලබන සෙනසුරාද කියවන්න.

    • නිකං

      //එනම් මට වයස අවුරුද්දක් විතර කොට
      හැබෑට! අනේ ගොයියෝ තව ගොරක ටිකක් ගේන්ට

      //ප්‍රගුණ කරපු රසිකත්වය හා අඩුවෙන් ප්‍රගුණ කරපු රසිකත්වය ලෙස අපට හඳුන්වන්න පුළුවන්
      මේක මිස්ලිඩ්න් රයිගම්.
      මං ඇහැව්වොත් පීචං විතරක් අහන කෙනෙක් අහන්නෙම ඒවා විතරයි.ඒවාට සියල්ලටම බොක්කෙන්ම කැමතියි.එතකොට ඔහුගේ “ලොවේ” රසිකත්වය ප්‍රගුණ වෙලා නැද්ද?
      කෙනෙක් අහන්නෙම නන්දා මාලනීගේ ගීත පමණයි.අනිත් ප්‍රබුද්ධ එවාවත් අහන්නෑ.දැන් ඔහුගේ රසිකත්වයේ තත්වය කොතනද?

      //දැන් මේ කියවන ටික දෙනා හලා ගන්න මට අවශ්‍ය නැහැ
      හලා ගැනීමත් වඩා රයිගම්,ඔබේ විවේකයේදී ඔබ අකමැති දෙයක් කරනවා කියන්නේ බුරූම වැඩක්.ගාණක් එනවනං ඒක වෙනම කතාවක් 🙂

      //කැමති සුළු පිරිසකුත් ඉන්නවා
      මේ පිරිසේ අච්චුව එක වගේද යැයි බලන්න ක්‍රමයක් ඇත්නම්

      • ඒක මිස්ලිඩින් නැහැ. රසිකත්වයේ මට්ටම් තියනවා. තමන්ට අවශ්‍ය කුමන මට්ටමද කියා සැනසී, නැවතීම වෙනම කරුණක්. නමුත් ප්‍රගුණ කිරීම මගීන් රසිකත්වයේ නිම් වළලු පුළුල් කර ගන්න හැකියි. සමාජයේ හැම දෙනාටම එයත් කරන්න බැහැ. එයට හේතුව අප හැමටම සීමාවක් තියනවා. මේවා ගැන ලතවිම තේරුමකට නැති දෙයක්. හැබැයි අප ඉගෙන ගන්නවා වගේම තමා, ප්‍රගුණ කිරීම මගින්, කලින් නොදකින චමත්කාරයන් අපට සොයා යන්නට හැකියි. අදට නම් මේ හොඳටම ඇති නේද?

        අච්චු වෙනස් වුවත්, පිරිසක් අන්තිමට එක තැනකට එකතු වෙනවා. මගේ අදහස් සමග එකඟ වන පිරිස් ලංකාවට වඩා, මෙහෙන් සොයා ගන්නට හැකි වේවි.

        රයිගමහන්දිය හැඳින්වීමේදී හොරණ, අඟුරුවාතොට හා පානදුර කියන්නේ මා ජිවත් වූ සමාජ තුනයි. හන්දිය කියන්නේ එහි (මගේ ජිවිතයේ) පටන් ගැන්මයි. ආගමට මා බර නැති වුවත්, පන්සලටද ඉඳහිට ගොඩ වෙනවා.

        • නිකං

          //අච්චු වෙනස් වුවත් පිරිසක් අන්තිමට එක තැනකට එකතු වෙනවා
          හ්ම් ඉන්ටෙරෙස්ටින්. කල්පනා කරන්න වටින පොයින්ට් එකක්. අච්චුව වෙනස් වුනත්
          කොහොමද එහෙම වෙන්නේ කියලා.

          • ඇයි නිකං ගොයියෝ (තම්බන්න) ලුණු-ගොරක මදිද? ඝනකම් නොවී බැහැ. අපේ අම්මා පොඩි කාලේ කියල දුන්නේ, පුතේ ලාභ බඩු වල හිලක් කියල. දැන් ඔය ඇත්තටම හිලවල් තියෙන්න ඕනේ, බඩු හොඳ වුනත් ගන්න හිතෙන්නේ නැහැ ලාභ නම්. ඔය පෙනේර වගේ දේවල්.

            කෝ, එළදෙන ගැන කියුවා මිසක් එදා මැක්කට එන්න බැරි වුණා. මෙන්න මේ ප්‍රගුණ කිරීම අඩු වීමම තමා ලංකාව වැනි රටවල ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාචන්චවදයක් බවට විකරණය වී තියෙන්නේ. මා කියල ඇති අර “කෑම ලෑස්තියි” කියන මෙලෝ රහක් නැති නාට්‍යය බලන්න ගිය එක ගැන. හොලිවුඩ් වල පිචන් චිත්‍රපටයක් රසවිඳින කෙනෙකුට පවා, එම නාට්‍යය රස විඳින්න බැරි, එහි මට්ටම තවත් පහල නිසා. අන්න ඒක මගින් යම් අවබෝධයක් ගන්න පුළුවන්, රටවල් අතර තියන “පිචන් රසිකත්වයේත්” වෙනස. මේ වෙනස නිසාම තමා, එකම ප්‍රජාතන්ත්‍රවාදය, දෙවිදිහකට මේ රටවල් වල ක්‍රියාත්මක වන්නේ. ඒත් එක්කම, මිනිසුන්ගේ “රසිකත්වය” ඉහල නම් ලංකාවේ නොවේ, ඕස්ට්‍රේලියාවේ පවා මේ පවතින ක්‍රමයම, මෙයිට වඩා පොදු යහපත වැඩියෙන් සලකා බැලෙන අයුරින් ක්‍රියාත්මක කර ගන්න හැකියි. මා මේකෙන් කියන්න අදහස් කරන්නේ, අපේ සමාජය කියන්නේ, ඇත්තටම, අපගේ නිර්මාණයක්.

            බලන්න, ඉල්ලන දේ දෙන එක තමා ප්‍රධාන ජනමාධ්‍ය සියල්ලක්ම පාහේ කරන්නේ. ඕස්ට්‍රේලියාව වැනි රටවල, ජනතාවට ඇත්තටම දැන ගන්න ඕනේ දේවල් දෙන්න මහජන මුදල් යොදවා ගුවන්විදුලිය සේවා හා රූපවාහිනී සේවා (ඒබීසී) පවත්වාගෙන යන්නේ මේ නිසා. මේ ආයතන පිහිටුවා තියෙන්නේ රජය කරන දේවල් ප්‍රචාරය කර ගන්න නොවේ. මෙන්න මේක හරිම වැදගත් කරුණක්. මේවා පිහිටුවා තියෙන්නේ “මහජනයාට දැන ගන්න ඕනේ” දේවල් ප්‍රචාරය කරන්න.

            මේවා පිහිටුවා තියන පනත් මගින් ඒවායේ ස්වාධිනත්වය තහවුරු කර තියනවා. හැබැයි ඒ ස්වාධිනත්වය කියන දේත් නිරපේක්ෂ දෙයක් නොවේ. එය පුද්ගලානුබද්ධ දෙයක්. ඒවායේ වැඩකරන මිනිසුන් මත එම “ස්වාධිනත්වය” රඳා පවතිනවා. මෙහෙ ගොටු අල්ලන පිරිස් වලට පවා, පෞරුෂත්වයක් තියන නිසා, මේ ආයතන වල කොලිටිය ටිකක් ඉහලයි. එතැනදී පවා ලංකාව වැනි රටක රජයේ ජනමාධ්‍ය හා ඕස්ට්‍රේලියාවේ රජයේ ජනමාධ්‍ය වල වෙනස අපට දකින්න පුළුවන්. ඇත්තටම එය පොදු සමාජයේ “ඉහල හෝ පහල රසිකත්වය” මතයි රඳා පවතින්නේ.

            ලංකාවේ ජනප්‍රිය පත්තරය වන ලංකාදීප කියන්නේ අපේ/ලංකාවේ “පොදු රසිකයා” කොතනද ඉන්නේ කියන එකට හොඳ උදාහරණයක්. ඔවුන් ඉල්ලන දේ තමා විජය කාරයා දෙන්නේ. දැන් මේ බ්ලොග් පවා කියවන්නේ “දෙයියෝ සාක්කි” පාඨක පිරිසම තමා (බහුතරය). මෙයට ප්‍රතිරෝධය දක්වන්න නම්, නිෂ්පාදන වලින් ලැබෙන මුදල මත රඳා නොපවතින මාධ්‍ය ආයතනයක් වෙන්න ඕනේ. ප්‍රායෝගික ලෝකයේ එහෙම ආයතන පවතින්න නොහැකියි (කුඩු කාරයන් පවත්වාගෙන යන මාධ්‍ය, ආයතන වල අරමුණ පොදු ජන රසිකත්වය ඉහල නැංවීම නොවේ නේ).

            මෙය විෂම චක්‍රයක්. මා පවා ජනප්‍රියත්වය සොයා යනවා නම් මොවුන් මේ කියන “පතෝල රස නැති” දේවල් ලියන්නට අවශ්‍යයි. ඔබට තේරෙන පරිදි, කිසිම මුල්‍ය ප්‍රතිලාභයක් නොලැබෙන දෙයක් නිසා, මෙය මට “අවශ්‍ය අයුරින්” පවත්වාගෙන හැකිවීමේ රහස එතනයි. ඉන්න පාඨකයන් හලා ගන්න ඕනේ නැහැ කියන එකේ, ඇත්ත තේරුම මෙයයි. ඇත්තටම “දෙයියෝ සාක්කි” පාඨක පිරිස පවා එයින් මුදවා ගන්න තමා අවශ්‍ය. නැතුව ඔවුන් ඉල්ලන දේ දිගින් දිගටම සැපයීම නොවේ. මහජන මාධ්‍යකරණය පුළුල් වීම හා මේවා සමාජයේ විශාල පිරිසකට අතපොවන්න හැකි වීම, ලංකාව වැනි සමාජයක “ගේම් චෙන්ජර් එකක්” වෙන්න හැකි වග මා විශ්වාස කරන්නේ අන්න ඒ නිසා. මේක යලිත් කිකිළිය-බිත්තරය කතාවට යනවා.

            ඔබ අර කියුව, අපත පරිසරයක, ඉපදී, අපත පරිසරයක හැදෙන දරුවෙකුට, ඒ අපත කමින් ගැලවීමට නොහැකිවීම, අන්න ඒ වගේ දෙයක්ම තමා. අන්තර්-පරම්පරා දුප්පත්කම/නූගත්කම කියන්නේ මෙන්න මෙයයි. සමාජ මේකෙන් ගලවා ගන්න පුළුවන්ද? ඒ කොහොමද? වුවමනාව තියෙන්නේ කාටද? මෙන්න මේවා මනුෂ්‍යත්වය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයි.

            මා සර්ව ලෝක සෞඛ්‍ය සේවයක් හා සැමට නිදහස් පාසල් අධ්‍යාපනයක් වෙනුවෙන් පෙනී සිටින්නේ අන්න ඒ නිසා. මේවා නිකං අප ඉදිරියට කතා කරමු!


(මෙය පොත් පත් බලා ලියූවක් නොවන වගත්, රස වින්දනය හා රසිකත්වය නමැති දර්ශනවාදය ස්පර්ශ කර නොමැති වගත් මා සඳහන් කරන්නට කැමතියි).

(Edited).

Advertisements

12 Comments

Filed under Comments