අද මධ්‍යධරණී ආහාර වේලක් කමු! A Chicken-wing solution for the Greek tragedy!


greece-vs-australiap

සිඩ්නි නුවරට වියලි කාලයක් කියුවට, නිතර අහන්න ලැබෙන කාලගුණ වාර්තා වල පසුගිය මාසයේ සාමාන්‍යයට ඉහල වර්ෂාපතනයක් ලැබුණා කියා කියවුණා. සමහරවිට ජූලි මාසය ඩ්‍රයි වේවි. කැන්බරා වල නම් ඩ්‍රයි ජූලි කෙසේ වෙතත් කෝල්ඩ් ජුලයි එකක් වෙන වග දැනටම දැනෙන්නට තියනවා. ඊයේ රාත්‍රිය සෘණ 7 කට (සෙන්ට්‍රිගේඩ්) විතර ගියා. අද උදේ නාල, එලියට බහිද්දී සෘණ 4 යි.

අපව බලා ගන්නා පින්වතුන් වෙනත් නගර වල සිටීම වාසනාවක්. හැබැයි එම බලා ගැනීම ස්වේච්චාවෙන් නොකරන නිසා පින් දෙන්න යන්නේ නැහැ. නමුත් වල්බිහි වෙමින් පවතින රයිගමහන්දියට දෙතුන් දෙනෙක් හරවා එවීම ගැන නම් රසිකට පින් දෙන්න වටිනවා. ඒ වෙනුවට මෙල්බර්න් නුවර සෙන්ට් කිල්ඩාරාමයේ දී අජරාමර සැපක් වත් ලබන්නට හේතු වාසනා වේවායි පතමි.

රසික පසුගිය දා ලියා තිබුණ ඕස්ට්‍රේලියානු සමාජය ගොඩ නැගුන හැටි කියවෙන සටහන අගනා එකක්. මෙයට කලින් මා රවීගේ සටහනක මේ පිළිබඳව ලියූ විට, මට මතක හැටියට රවියි, හෙන්රියි දෙන්නම මේවා වැඩිපුර ලියන්න කියල තිබුණා. රටින් බැහැර ඉන්න සංක්‍රමණිකයන් ටිකත්, ලංකාවේ දේශපාලනයම ගැන ලිවිම එක අතෙකින් ඔක්සිමොරෝනයක්. මොකද මේ අයගෙන් කී දෙනෙක් චන්දය වත් දානවාද කියල මට නම් සැකයි.

මේ වගේ දේවල් පොත් ඇසුරෙන්ම නොවේ, අපේ අත්දැකීම් සමගයි ලිවිය යුත්තේ. එයට විවේකී මනසක් හා කාලවේලා අවශ්‍යයි. කොහොම වුනත් මේ සමාජයේ පවතින කැෂුවල් ගතිය, මා ටික කලක් ගත කරපු යුරෝපයේ තිබුන සමාජයට වඩා හාත්පසින්ම වෙනස්. නමුත් රටක ටික කලක් ගත කිරීම හා ගොඩ කලක් ගත කිරීම කියන්නේ දෙකක් නිසා, එම කෙටි කාලය එම සමාජය ගැන පුළුල්ව දැකීමට හොඳටම මදි.

වැඩ කරන තැන අද උදේ තේ බොන වෙලාවේ කට්ටිය ෆුල් සිරා කතාබහක් කෙරුවා. ඔන්න බලන්න සීතල වෙන එක පුදුමයක්ද, අයිස් ගහන හැටියට (නැහැ පුටු රත් කිරීම මගින් අයිස් ගැහිල්ල කැපිලා යනවා). වෙන මොකවත් ගැන නොවේ ග්‍රීසියේ මුල්‍ය අර්බුදය ගැන. දැන් මෙතැන ලේෆ්ට් වින්ග් සොලුයුෂන්, රයිට් වින්ග් එව්වා කතා වෙන අතරේ, මා ඉදිරිපත් කරපු චිකන් වින්ග් විසඳුමට හැමෝම සිනහා වුණා. ඇත්තටම සිරා කතාව එවිට වෙනතක ගියා.

ඉහතින් තියෙන්නේ ඔලිම්පික් ගිනිසිළුවක්. ඒ බොරු, ඉහතින් තියෙන්නේ ග්‍රීසියේ වසර 2030 දී වන්නට හැකි ජනගහණයේ සංයුතියන්. මේ අඩවියට ගියොත් http://www.worldlifeexpectancy.com/   ග්‍රීසියේ වසර 1950 දී මේ සංයුතිය කොහොමද කියා දැකබලා ගන්න පුළුවන්. නත්තල් ගහක් නැත්තම් කොතක් නැත්නම් සමහරුන්ගේ බත් පිඟාන වගේ, ඔය පහලින් තියෙන්නේ අන්න ඒ සංයුතිය. ඒ කියන්නේ පහල ස්ථර වල ඝනකම වැඩියි. වෙන වචන වලින් කියනවා නම්, තරුණ හා වැඩකරන වයසේ ඉන්න කට්ටියගේ ගණන, ප්‍රතිශතයක් ලෙස වැඩියි.

greece-vs-Australia2

මේක ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන තත්වයක්. රසිකලා අපව හැමදාම බලා ගන්නේ නැති හින්දා, මේ ගැන අපටත් සිතන්න වෙලා තියනවා. හැබැයි පුතේ අපේ කාලයේදී මෙහෙ, එනම් ඕස්ට්‍රේලියාවේ පැන්සොන් යන වයස අවුරුදු 70 ක් හෝ එයිටත් වැඩි වෙන්න ඉඩ තියනවා. වැඩිපුර ජිවත් වීම හොඳ දෙයක්. හැබැයි ප්‍රශ්නය නම්, වැඩිපුර කාලයක් නිරෝගිව, අනුන්ට අතනොපා ජිවත් වීම. ඇඳකට වී අවුරුදු සියයක් පමණ ජීවත් වීම එතරම් ඵලකට ඇති දෙයක් නොවේ. මේ ගැන තමා සිතන්න ඕනේ.

ග්‍රීසියේ මුල්‍ය ප්‍රශ්නය විග්‍රහ කරන්නට ඔය වාණිජ හා ගිණුම් කාරයන්ට සහ ධනවාදය කඩා වැටෙනකම් බලා ඉන්න අයියලටම බාර දෙමු. හැබැයි අපට නිතර අහන්නට ලැබෙන පරිදි, එම අර්බුදයේ මූලික අංගයක් තමා ආදායමට වඩා වියදම් වැඩි වීම. ජනගහණයේ ආදායම් ලබන පිරිස් බදු හොරුන් වීමත්, සුබසාදන වියදම් වැඩි වීමත් මේ ප්‍රශ්ණයේ එක පැතිකඩක් ලෙස කියවෙනවා.

ණය දෙන පාර්ශව වල එක ඉල්ලීමක් තමා විශ්‍රාම වැටුප් කැපීම. ග්‍රීසියේ දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 17.5 ක් වන විශ්‍රාම වැටුප් වියදම යුරෝපයේ වියදම්කාරිම එක යයි කියවෙනවා. මිලියන 2.65 ක් වන පෙන්ෂන්දාරීන් අතුරින් තුන්ලක්ෂ පනස්දාහක් පමණ ගල් ආඳන් එනම් නොයෙක් ප්‍රොයෝග මගින් මේ වැටුප් ලබා ගන්නන් යයි සොයාගෙන තිබුනේ සංගණනයකින්. ලක්ෂයකට කිට්ටු පිරිසක් මිය ගිය අය වෙනුවෙනුත් විශ්‍රාම වැටුප් ගන්නවා යයි සොයාගෙන තිබුනේ එම සමික්ෂනයෙන්ම තමා.

අද වන විට රටේ පවුල් වලින් 49% කට කිට්ටු ගණනකගේ එකම හෝ ප්‍රධාන ආදායම මේ විශ්‍රාම වැටුපයි. රටේ පවුල් වලින් 36% ක පමණයි, ඇත්තටම වැඩ කරලා ගන්න වැටුපකින් යැපෙන්නේ. ඇත්තටම බොහෝ පවුල් වල තරුණ පිරිස යැපෙන්නේ වැඩිහිටියන්ගේ මේ විශ්‍රාම වැටුපින් යයි කියවෙනවා. රටේ විරැකියා ප්‍රතිශතය 26% ක් (තරුණ පිරිස් අතර එය 50%) වෙත්දී එය පුදුමයකුත් නොවේ.

දැන් මේ බේල් අවුට් වලට සල්ලි දෙන්න, යුරෝපයේ මහා බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දාන එක කොන්දේසියක් තමා, විශ්‍රාම වැටුප් සඳහා යන වියදම දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 1% දක්වා කපා දැමීම.

මා කලින් කියුවනේ අපේ විශ්‍රාම වයස කලින් කලට වැඩි කර දැන් (දැන්ම නොවේ අනාගතයේ) එය වයස අවුරුදු 70 ක් දක්වා (වසර 2035 දී. මේවා යලිත් අනාගතයේ වෙනස් වේවි) ඉහල ගිහින් තියනවා කියා. ග්‍රීසියේ මෙය මෑතක් වනතුරු අවුරුදු 58 ටේ තිබුණේ. මා හිතන්නේ මේ අර්බුද එන විට, වසර 2007 දී මෙය වයස අවුරුදු 67 දක්වා වැඩිකර තිබෙනවා. එහි කාල වකවානු මා දන්නේ නැහැ.

එයට අමතරව ග්‍රීසියේ ගොඩක් රස්සා අවදානම් ගණයට දමල, කලින් විශ්‍රාම ගැනීමේ අවස්ථාවත් සලසා තියනවා කියා ආරංචියි. මේවත් කපන්න ඕනේ කියා කට්ටිය කියනවා. දැන් මේ විශ්‍රාම වැටුප් කපාගෙන ආපු හැටියට අද වන විට මෙයි භාගයක් පමණම දුප්පත් කමේ ඉන්නේ කියාත් අසන්නට ලැබුණා.

මේක ඇත්තටම මාත් සිතන කරුණක්. විශේෂයෙන් ජිවිතයේ භාගයක් වෙන රටක ගත කරලා සංක්‍රමණය වෙච්ච අපගේත් “ඇත්ත” රැකියා දිවිය, රටේ ඉපදී රැකියාවක් කරන්න ගත්තු කෙනාට වඩා කොටයි. දැන් ඕස්ට්‍රේලියාවෙත් ඒජ් පෙන්ෂන් කියා හම්බ වෙන මුදල ජිවත් වීමට ප්‍රමාණවත් නොමැති වග අසන්නට ලැබෙනවා. ඇත්තටම මේ ඒජ් පෙන්ෂන් කියන්නේ, තමන් වැඩ කරපු නිසා එකතු කරපු මුදලෙන් දෙන එකක් නොවේ. එයට දායකත්වය දරන්නේ අද වැඩ කරන පිරිසයි.

ග්‍රීසියේ අද කෙනෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 81 කට කිට්ටුයි. දැන් වයස අවුරුදු 30 දී කෙනෙක් වැඩ කරන්න පටන් අරං, වයස 58 දී හෝ එයිට කලින් පැන්සොන් ගියොත්, වැඩ කරපු කාලයට වඩා, වැඩ නොකර ජිවත් වූ/වන කාලය වැඩියි. රටේ ආදායම් හොයන පිරිසත් බදු නොගෙවනවා නම් වැඩේ තවත් අමාරුයි.

මේකට තමන්ගේ ආරක්ෂාව තමන්ට සලසා ගන්න කියා ක්‍රමවේදයන් රට රටවල් වල හදා තිබෙනවා (මා දන්නා තරමට ග්‍රීසියේත් තියනවා). මෙහෙත් තියෙන්නේ එවැනි ක්‍රමයක්. එනම් සේවක අර්ථසාධක අරමුදල වගේ දෙයක්. මේවා මහා සංකීර්ණ ක්‍රමවේද මගින් සාමාන්‍ය මිනිහෙකුට තේරුම් ගන්න බැරි ආකාරයට සකස් කර තිබෙන නිසා තවත් අවුල්. පසුගියදා ඕස්ට්‍රේලියානු රජය මේ අරමුදල් පාලනය කෙරෙන මණ්ඩල වල සංයුතියට සංශෝදන ගෙන ආවා. මේවා පොදු පාඨකයන්ට ප්‍රයෝජනවත් නොවන කරුණු බැවින් විස්තර ලියන එකේ තේරුමක් නැහැ.

එයිට අමතරව ඇත්තටම තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න විශ්‍රාමිකයන්ට පවා තියන බදු සහන ඉවත් කළ යුතුයි කියා මේ දින වල කතා වෙනවා. ඇත්තටම මෙය දෙපැත්තක් තියන ප්‍රශ්නයක්. විශ්‍රාම අරමුදල වැඩි කර ගන්න හැටි ගැන කියන දේශනයක් වැඩ කරන තැනින් ගිය සතියේ සංවිධානය කර තිබූ නිසා මාත් ගියා. මේවත් අන්තිමට කොම්පැනි වලට ගානක් කපා ගන්න පාර කපන ක්‍රම වේද විතරයි.

ඔය මොනවා වුවත් නිරෝගී දිවියක් ගත කරන්නට හැකි තරම් වෙහෙසෙන්නට අවශ්‍ය, එමගින් අපගේ රැකියා දිවිය දික් කර ගන්න විතරක් නොවේ, සෞඛ්‍ය වියදම (රටෙත්, තමන්ගේත්) අඩු කර ගන්නත් හැකි නිසා. අපට අත්හරින්න හැකි නරක ජිවන විලාසිතා වලින් මිදී, යහපත් යයි කියන්න හැකි ජිවන විලාසිතා තේරීම් ලංකර ගන්න එකත් මේකේ කොටසක්.

ඔය කවුරු මොනවා කියුවත්, රටක රජයක වැඩ අනුව, එනම් ප්‍රතිපත්ති සම්පාදනය අනුව, රටේ ආර්ථිකය, රැකියා ජනනය, අධ්‍යාපනය වගේ දේවල් රඳා පවතිනවා. ලෝකයම පාලනය කරන රටවල් වල ඉන්න සමහරුන්, මේ අඳුරේ ඉන්න කළු බල්ලෙක් වන “නිදහස් වෙළඳ” පොළ නමැති දෙය පාලනය කරන්න නොහැකි වග කියන කොට හරිම විහිළුවක්. මේවා සියල්ල මිනිසුන්ම හදපු දේවල් නේ. ස්වභාව ධර්මය හදා දුන්න දේවල්, අපට අවශ්‍ය පරිදි වෙනස් කර ගත්තු මිනිහට, තමන්ම හදා ගත් වෙළඳපොල නමැති දේ පාලනය කරන්න බැරි වග කියනවා. එහෙම කියමින් ඒ අයියල ලෝකයම පාලනයත් කරනවා. ඔන්න බුෂ් මල්ලිත් “පොඩි රජයක්” හා විශාල හමුදාවක් වෙනුවෙන් පෙනී ඉන්නවලු.

ඒවා පැත්තක තියමු. පසුගියදා මා නරඹපු BBC වැඩසටහනක් වන Men who made us fat (අන්තර් ජාලයේත් තියනවා. දිග වැඩි ඇති) කියන එකේ ආහාර සමාගම් බ්‍රිතාන්‍ය ආහාර ප්‍රමිතිකරණ වලට හොට දමා තියන හැටිත්, මේවා මගින් මිනිසුන් තරබාරු කරපු හැටිත් අපූරුවට කියවුණා. දැන් ඔන්න කියාවි, එය මිනිසුන්ගේ තේරීමක් නේ, සමාගම් වල වරදක් නැහැනේ කියා. ඔව් මේවා ජිවන විලාසිතා තේරීම් හා ඒවාට අතපොවන්න අවශ්‍ය නැහැ තමා.

මාත් කියන්නේ අතපොවන්න ඕනේ නැහැ කියල. හැබැයි අපට වැරදි තොරතුරු දෙන එකට අතපොවන්න අවශ්‍යයි. සිගරට් බිම නිසා, පෙනහළු පිළිකා හැදෙන එකට අමතරව, මිනිහෙක්ගේ කාර්යක්ෂමතාවය අඩු වන එක ගැනත් කොලේ වහන්න දෙන්න අවශ්‍ය නැහැ. ලුණු හා සීනි ගජරාමෙට දාල, ඒ ගැන සඳහන් නොකර කෑම විකිණීමට ඉඩ දෙන්න අවශ්‍ය නැහැ. කෙනෙකු GM ආහාර වලට අකමැති නම්, ඒවා යොදා කෑම හැදුවද නැත්ද කියා, නොකියා ඉන්න දෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙතැනදී තමා ප්‍රතිපත්ති සම්පාදනය අවශ්‍ය වන්නේ.

එයිට අමතරව මේ වගේ දේවල් වලදී අප සොයන්න ඕනේ, ඒ ගැන ඉගෙන ගත්, පර්යේෂණ කරපු මිනිසුන්ගේ අදහස්. ඒ කියන්නේ මිනිසුන්ගේ දැනුවත්කම ඉහල දැමීම (ඇත්තටම දමා ගැනීම). මේකත් රජයට කරන්න නොහැකියි තමා. මොකද එයත් ගොඩක් වෙලාවට පෞද්ගලික තේරීමක් නේ. මෙවැනි දැනුවත් මිනිසෙක් “සෞඛ්‍යමත් සමාජයක්” සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක්.

මේක අනවශ්‍ය පරිදි දිග වුණා. ඇත්තටම අර තේ බොන වෙලාවේ මගේ විසඳුම විහිළුවක්. මා කියුවේ ඔය ඔක්කොම ප්‍රශ්න ග්‍රීසියේ මිනිසුන් මාධ්‍ය-ධරණී කෑම වේල් කන එකේ වරද කියලයි. දැන් මේ කෑම වට්ටෝරු ලෝකයේ යහපත්ම ඒවා යයි කියනවා. ඒ නිසා මිනිසුන් වැඩිකල් ආයු ලබනවා. මගේ විසඳුම නම්, බේල් අවුට් එකට ණය දෙන්නේ නැතිව, මිනිසුනට මැක්ඩොනල්ඩ් හා කේඑෆ්සී කෑම කූපන් දෙන්න පුළුවන්. විශේෂයෙන් විරාමික වැටුප් වෙනුවට මේ කුපොන්. එතකොට තව අවුරුදු 20 කින් පමණ විශ්‍රාම වැටුප් වල වියදම කොහොමත් අඩු කර ගන්න පුළුවන්. මේක අහපු සුද්දෙක් යෝජනා කෙරුවේ, මෙල්බර්න් නුවර පිෂ්-ඇන්ඩ්-චිප්ස් කඩ ගොඩක් කරන්නේ ග්‍රීක් සංක්‍රමණිකයන්. එයාලත් විසඳුමේ කොටසක් කර ගන්න හැකියි කියා.

මේක වින්-වින් විසඳුමක්. මොකද ඇමෙරිකාවේ වෙළඳාම අඩුවන කොට වහන්න වෙන මැක්ඩොනල්ඩ්ස් කඩ ටික ග්‍රීසියට අරන් යන්න පුළුවන්. ඒකටත් පොඩි සහනාධාරයක් දෙන්න පුළුවන්නේ, ඇමෙරිකන් ආණ්ඩුවට.

MK-CR285_MCDONA_9U_20141208130906

Advertisements

7 Comments

Filed under Opinion

7 responses to “අද මධ්‍යධරණී ආහාර වේලක් කමු! A Chicken-wing solution for the Greek tragedy!

  1. Pingback: අද මධ්‍යධරණී ආහාර වේලක් කමු! A Chicken-wing solution for the Greek tragedy! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. කැන්බරා නුවර වැඩ කරන අයට ලංකාවේ තමන් ලැබූ වෘත්තීය අත්දැකීම් ඉතාමත් ප්‍රයෝජන වෙන බවයි මා නම් අසා තියෙන්නේ.

    ඒ කියන්නේ ලංකාවේ දී (හිතන්න CISIR එකේ දී කියා) අයිස් ගැසූ විදියටම කැන්බරාවලදී (අපි කියමු CSIRO එකේ දී කියා) අයිස් ගහන්න පුළුවනි.

    එහෙම නේද?

    • අයියෝ, මා නම් ඕවා දන්නේ නැහැ. මොකද පෞද්ගලික ආයතනයක තමා වැඩ කරන්නේ.

  3. මගේ ආයතනයේ නම් (මේක පලාබබාලා ගේ රජයේ එකක්) විශ්‍රාම යාමේ වයසක් නෑ. පේරාදෙනියේ විශ්ව විද්‍යාලයෙන් 1967 දී පිටවුණු ඉංජිනේරුවෙකුත් තාම මෙහි වැඩ කරනවා. ඔහු ගේ වයස අවුරුදු හැත්තෑ දෙකකට වඩා වැඩි විය යුතුයි.

    කැන්බරාවල IP Australia එකේත් එවැනි ජ්‍යෙෂ්ඨයෙක් සේවය කරනව බව අසන්නට ලැබුණා. නමුත් එක දිගටම රජයේ සේවයේ සිටි දැනට 60 පැනපු අයට සේවය කිරීමට වඩා ලාබයි පැන්ෂන් යන එක.

    • ඔව් එහෙම තැන් තියනවා. සමහරුන් විශ්‍රාම අරං, ගෙදර ඉන්න බැරුවට ඇවිත් වැඩ කරනවා. හැබැයි, ඒ කාලේ ක්‍රමය අනුව එයාලගේ අද විශ්‍රාම වැටුප, ඒ මට්ටමේ පඩි ගන්න කෙනෙකුට වඩා ලොකු වෙනසක් නැහැ. ආණ්ඩුවේ රස්සා කපන විට, 60 ට කිට්ටු අය, ඉබ්බා දියේ දාන්න වගේ, ගතමනාවකුත් අරන් යනවා.

  4. අදම හොයලා බලන්න ඕනෙ ලංකාවේ විශ්‍රාම වැ‍ටුප් දෙපාර්තමේන්තුවයි, මහා භාණ්ඩාගාරෙයි KFCලට McDonaldලට හෙම සහනාධාර හැටියට ප්‍රීමා පිටිදෙන මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවද කියලා.

    මදැයි මාත් ආවා රයිගමයගෙන් රෙසිපියක් කොපි කරගන්න.

    • ලංකාව කියන්නේ විදේශීය ක්රුමන්ත්‍රණ ගහණ රටක්නේ. වෙන්නත් බැරි නැහැ. හැබැයි සංඛ්‍යා ලේඛන අනුව, අපේ මධ්‍යම පංතිය, විදේශීය ක්රුමන්ත්‍රණ නොමැතිවත් ඕක කර ගන්නවා.
      කොලා නේද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s