අපි ඈතට, ඈතට පා නගලා…….!


IMG_2631

ඔය කවුරුත් එන්නේ නැහැයි කියන තැන් තියෙනවා නේද? (ඔව්ව ඉතින් බ්ලොග් විතරද, ඉඩම්, වනාන්තර , මුහුදු පතුල වගේ තැන් තියෙන්නේ..) ඒවායේ තමයි රහසේ කෙරෙන වැඩිමනත් වැඩ කෙරෙන්නේ. ඒ වගේම ඒවායේ වෙන දේවල් බාහිර පරිසරයෙන් ස්වයායත්ත, වගේම ඒවායේ තියෙන භෞතික නිර්නායක වලින් මනින්න බැහැ. මම නම් ආස වැඩිය මිනිස්සු නොයන තැන්වල ඔහේ ඉන්න. ඒවායේ වැඩිපුර නිදහසේ තණකොළ වැඩෙනවා. අපිට තියෙන්නේ තණකොළ පාගන්නේ නැතුව ගිහින් ආතල් එකේ විඳින්න. අනේ මන්ද මගේ දෝසයක්ද කියල.

ඇත්තටම කලින් සටහනේ කොමෙන්ටුවක උපේක්ෂා ලියා තිබුණ ඉහත වදන් ටිකට මා කැමතියි. මිනිසා කියන්නේ ස්වභාවයෙන්ම ගවේෂණශීලි හා කුතුහලමනාත්මක (හදපු වචනයක්) සත්ත්වයෙක්. ප්ලූටෝ වල නවතම පොටෝ අප දුටුවේ මිනිසාට තියන මා කලින් කියුව සහජ කුතුහලයේම තවත් වියදම්කාරී ප්‍රතිඵලයක් ලෙස. එයට කැන්බරා වලටද යම් සම්බන්දයක් තියනවා.

මේ ලෝකයේ ස්වභාව සෞන්දර්යය කියන දේ (දැනට ඉතුරු වෙලා තියන ටික) අප රැක ගන්න ඕනේ වගේම, ඒවා රැක ගන්න අවශ්‍ය අපට ඒ සෞන්දර්යය විඳින්නටයි. මෙන්න මේ දේට බොහෝ දෙනා එකඟ නැහැ.

අප යම් තැනක් නරඹන්නට ගියාට, එතන විනාශ වෙන්නේ නැහැ. හැබැයි අපේ අයියල ගොඩක් එහෙම නැහැ. කැලේට ගියොත්, ඔය මල් ටිකක් හෝ කඩාගෙන එනවා. තව සමහරුන් ගල් උස්සගෙන එනවා. මා කලින් මේ ගැන ලියා තියන පරිදි, එයාලගේ මිදුල් නම් කොහොමත් කැලේ. මේ රට රටවල් වලට ඇවිත් ඉන්න අපේ අයියල පවා මේ ගොන් පුරුදු අත් හැර නැහැ.

මා නම් කැමතියි ස්වාභාව සෞන්දර්යයට. මිනිසුන් පිරි නාගරික පරිසර වල පොදි කනවට වඩා සුවභාවික පරිසරයක ටික දිනක් හෝ ගත කිරීම ශරීරයට පමණක් නොවේ, මනසට පවා විවේකයක්.

මේවගේ දේවල් රස විඳින්න හැකි බඩ පිරිලා නම් විතරයි කියන එකත් සත්‍යයක්. සමාජයේ පිරි පවතින දුගී දුප්පත්කම, ප්ලුටෝ තරණය කරන්න පෙර විසඳා ගන්න ඕනේ, කියා ඔබ යෝජනා කෙරුවොත්, එයට දෙන්න හැකි, ප්‍රති උත්තරයක් මා ළඟ නැහැ. සමාජය පුරා පැතිරී තියන මුල්‍යමය (හා මනෝමය) දුප්පත්කම ඇත්තටම ජිවන විලාසිතාවේ තේරීමක් ද, නැත්නම් වෙනත් බලවේග විසින් බලෙන් පටවන ලද්දක් ද, නැත්නම්, මේ දෙකේ සංකලනයක් ද? ඇත්තටම මේ ගැනත් යමක් ලියන්නට අවශ්‍යයි.

එවැනි දෙයකට වෙලාව ලැබෙන තෙක්, දකුණු අර්ධ ගෝලයේ වෙසෙන, අපට කලාතුරකින් දකින්නට ලැබෙන “නත්තල් පරිසරයක” මිහිර විඳීමේ අවස්ථාව අපට ලැබුනේ අහම්බයකින්, ගමනක් යන අතරතුර දී. වෙනදා දකින්නට ලැබෙන වියලි තණකොළ සහිත ගොවි බිම් වෙනුවට, සුදෝ සුදු හිමෙන් වැසුණ මේ පරිසරය ඇත්තටම චමත්කාර ජනකයි.

IMG_2346 Snow1Snow3Snow4

IMG_2367 Snow2

 

ඕස්ට්‍රේලියාවේ නත්තල් කාලයට දකින්නට ලැබෙන හිම සහිත දර්ශන කියන්නේ මහා ගොන් පාර්ට් එකක්. මොකද ඒ කාලය වන විට අපට හොඳ ගානට රස්නෙයි. දැන් දැන් මේ ගොන් පාර්ට් වෙළඳ දැන්වීම් වලින් පවා තුරන්ව යනවා.

ඇත්තටම මුලින්ම තියන දිය කඳුර සහිත පරිසරය, මා ජිවිතේට දුටු චමත්කාරජනක දර්ශන වලින් එකක්. මෙවැනි චායාරූප රාශියක් තිබුණත්, මේවා වර්ග කර බ්ලොගයේ දමන එක නම් කාලය ගත වන දුෂ්කර දෙයක්. අර පින්තූර වලට කියා පටන් ගත්ත බ්ලොගය කැලේට ගිහින් තියෙන්නේ අන්න ඒ නිසා.

Advertisements

10 Comments

Filed under Nature, Opinion

10 responses to “අපි ඈතට, ඈතට පා නගලා…….!

  1. Pingback: අපි ඈතට, ඈතට පා නගලා…….! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. නුවර කුමාරි

    අන්න නියම වැඩේ!

    හැබැයි මම එකක් කියන්න ඕනේ ( ඔය එකයි එකයි කිය කියා ආවට අන්තිමට දෙක තුනක් කියල තමයි පිටවෙන්නේ, නැද්ද?) ස්වභාවයෙන්ම ගවේෂණාත්මක කියන කොටසේ මොකද්දෝ අවුලක් තියෙනවා වගේ. සමහර විට අපි අර පනබේරගන්න නැට්ට හලලා දුවපු හූනා වගේ අපේ ජිවිතයේ ‘පැවැත්ම’ වෙනුමෙන් අපේ ස්වාභාවිකව ආපු ‘ගවේෂණාත්මක’ කොටස කොහේදී හරි හලලා යනවා කියලයි මට හිතෙන්නේ. ගොඩ දෙනෙක් ඔය කොටස හලලා දාන්නේ අපේ උසස්පෙළ කාලේදී. තවත් සමහරු කැම්පස් වලදී.. ඔව් පුදුම වෙන්න එපා, කැම්පස් කියන්නේ එහෙමටම ලොකුවට හිතන්න දෙන තැනක් නෙවෙයි සමහර වෙලාවට!

    නාගරික පරිසර වල පොදි කන එක හරි නැහැ කිව්වට, අපි පහසුකම් හොයාගෙන ගිහින් නතරවෙන්නේ නගරයේ. නැත්තම් ඉතින් මම වගේ එකෙක් උපන්න නගරේ දාල කීයටවත් එනවද? ඒක ඇත්තටම තෝරාගැනීමක් නෙවෙයි, ඉබේම තල්ලුවිල්ලක්. එහෙම එකෙක්ට ඉඳල හිටලා උනත් මිනිස් පුළුටක් නැති පරිසරයක් කියන්නේ රත්තරන් කිලෝවකට වඩා වටිනවා. තවත් කෙනෙක්ට ඒවා පාලු කාන්තාර. ඉතින් මේක සාපේක්ෂයි.

    මේ පින්තුර වල මම කැමතිම කොටස තමයි බලු බල්ලෙක් පේනතෙක්මානෙක නැතිවිල්ල.

    අපේ කාගේත් පරිසර සුන්දරතාවය විඳිල්ලේ ඇති අඩුව නම් ඔබ කියල තියෙනවාට වඩා කියන්න අලුතෙන් දෙයක් ඇත්තේ නැහැ. මට තියෙන අවුල තමයි හැමෝම විවේචනය කරනවා, මෙව්වා කරන්නේ එහෙනම් කවුද? කියවන්නේ නැති උන්ද එහෙනම් ? ඒකත් හරියට පෝයට සිල් ගන්න එන එකාට පන්සිල් රකින එක ගැන පැයගනන් දේශනා කරනවා වගේ.

    මාතෘකාව ගැන කියන්න දෙයක් තියෙනවා
    (පහතින් පලවෙන්නේ මුදල් ගෙවන්නට වත්කමක් නැති නිසා දාන ඇඩ් එකකි)

    මෙන්න මම ඔය මාතෘකාවට හරියන පෝස්ටුවක් ලියපු එකක්…

    • අන්තිමට මේ බ්ලොගය, අප දෙදෙනාගේ කතාබහක් පමණක් වේවිද? එහෙම වුනත් ගණන් ගන්න එපා, ගස් හා කොළ විතරයි අහගෙන ඉන්නේ. ගහට කොළට විතරක් නොවේ ඇළ දොලට පවා කතා කරන්න නොහැකියි. 🙂

      මා නම් නගරයේ තමා ජිවත් වෙන්න කැමති. එයින් පිටත යන්න කැමති විවේකයකට. විවේක ගන්නත් නගර වල පොදි කෑම ගැනයි ඒ ලියා තිබුණේ.
      ඔබ මා කලින් ලියපු නගරාලන්කරණය (https://raigamahandiya.wordpress.com/2013/03/31/%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-city-beautification/) කියෙව්වද?

      මා දැනට ජිවත් වන්නේ නගරයකට වඩා ගමක් කියල කියන්න හැකි පරිසරයක. මේක දෙමුහුන් ග්‍රාමීය-නගරයක්. ඒ කියන්නේ සියපු පහසුකම් තියන (අප ජිවිතයේ බලාපොරොත්තු වන;පාසල්, රෝහල්, රැකියා අවස්ථා වගේ), ඒ වගේම ස්වභාවික පරිසරයත් හැකි පමණින් සුරැකුණ තැනක්.

      නාගරීකරණය නවතන්නට හැකි දෙයක් නොවේ. අද සීග්‍ර නාගරිකරණයක් සිදු වන්නේ ආසියාවේ රටවල් වල. අද මා ගුණදොස් බලා අවසන් කරපු එක ලිපියක සොයා ගොස් තිබුණේ, චීනයේ නාගරීකරණය මගින් මතු වූ එක ප්‍රශ්නයක් ගැන. මේ චීන ක්ෂණික හා වේගවත් නාගරීකරණය මගින් ඇතිකර තිබෙන ප්‍රශ්න හා සලකන විට කොළඹ වැනි නගර තාම ගම් කියලත් කියන්න හැකියි. කොළඹ වගේ තියෙන්නේ, නාගරීකරණ ප්‍රශ්න වලට වඩා නොහික්මුණ මිනිසුන් හා මිනිසුන් විසින් බැහැර කරන අපද්‍රව්‍ය, නිසි පරිදි බැහැර කර ගැනීමට නොහැකියාව පිලිබඳ ප්‍රශ්නයි. මෙවැනි දේවල් අද තිබෙන තාක්ෂණ යටතේ විසඳා ගන්න හැකියි. මිනිසුන්ගේ නොහික්මුණ කමටත් කෙටිකාලින නොවුණත්, විසඳුම් සොයා ගන්න පුළුවන්. ක්වාන් යු වගේ කෙනෙක්ට බාර දුන්නොත්, අවුරුදු පහකින් වගේ ගොඩක් ප්‍රශ්න විසඳාවි. අර මගේ සටහන අගට තියෙන්නේ, ගෝටාභය තව ටික කාලෙකින් කොළඹ, කැන්බරා වලට වඩා ලස්සන නගරයක් කරනු ඇති වගට මිනිසුන් තුල තිබූ සුන්දර බලාපොරොත්තු. එයට මා දුන්න පිළිතුරත් ඔබට පෙනෙනු ඇති.

      මේක ආයිත් දිග වෙනවා. කොට කරමු. දැන් ඔබ කියන කරුණ සමග මා එකඟයි. එනම් හැමෝම මේවා විවේචනය කරනවා. එතකොට කවුද මෙව්වා ඇත්තටම කරන්නේ. මෙන්න මෙතන තමා අපේ මුලික ප්‍රශ්නය උපේක්ෂා. එනම් මේ විවේචනය කරන අයම තමා, මේවා කරන්නේ.

      මගේ අත්දැකීම් වලින් කියුවොත්, අප සමග එකට සංචාර ගිය පිරිස්, ගංගා වලින් ගල් ගෙදර ගෙනාවා, තවකෙනෙක් කැලේ නරඹා අවසන් වී, ගස් ගලවන් ගෙදර ගෙනිච්චා, තව අය නවතින තැන මිදුල්වල මල් ගස් ටික සුරන් ගියා. මේවා හොඳ නැති වැඩ කියා කියුවහම අපේ ඇඟට එනවා විතරක් නොවේ, තරහා වෙනවා. සමහරුන් කියන්නේ අනේ එක පැලයක් ගලවන් ගියාට මොකෝ හෙන ගහනවද කියා.මිදුලේ මල් ගලවන ගමන් කියනවා අපි ගෙවල තියෙන්නේ කියා. යකෝ ගෙවල තියෙන්නේ මල් ගස් වලට නොවේ, නිවසේ නවතිනවාට විතරයි. දැන් 1000ක් දිනකට එනතැනක, මෙවුන් වගේ ගොන් අයියල-අක්කල 1% ක් හිටියොත්, මාසයකදී වෙන දේ ඔබට සිතා ගන්න හැකිනේ.හැබැයි රෑට දෙකක් දාගෙන සමාජවාදය, යහපාලනය, ලෝක සාගත නිවන ආකාරය ගැන පැය ගණන් කතා කරාවි. මේ දේ මහා ව්‍යසනයක්.

      ඔබට වුනත් පෙනෙනවා ඇති, මා ලියන කරුණු රසවත් නොමැති වගට නැගෙන මැසිවිලි. මට දැන් මේවාට දෙන්න උත්තර නැහැ. ඒ වෙනුවට, කියවන ඔබ වැනි කෙනෙක් වෙනුවෙන් මෙවැනි දීර්ග පිළිතුරක් දීම සතුටක්. බොහෝ ජනප්‍රිය යයි කියන බ්ලොග් ජනප්‍රිය වී ඇත්තේ, ඒවාට වයිර කරන මිනිසුන් නිතර කියවන්නට පැමිණීමෙන් කියා මට නිකමට සිතෙන්නේ, අන්න ඒවායේ තියන සමහර කොමෙන්ටු නිසා. ඇත්තටම මේකෙන් කෙරෙන සයිඩ් බිස්නස් එකක්වත් තිබුණා නම්, මාත් ඒ පාරේම යාවි.

      • අපිත් කම්මැලි කමට සහ බිසී කමට පේන්නේ නැති වුණාට හැම පෝස්ට් එකම එකෙන්ම කියෝනවා. ෆෝන් එකෙන් කමෙන්ට් කරන්න බැරි වෙන්නේ එර්ර්ර් මගුලක් එන හින්දා අප්පා,,,

        • අයියෝ, අප්පා, මහප්පා! කියවනවා නම් එච්චරයි නංගි. අනික කියවිය යුත්තේ (මේක විතරක් නොවේ, වෙන ඒවත්) මාව හෝ වෙනෙකෙකු සනසන්න නොවේ. තමන්ට අවශ්‍ය නම් විතරයි. කොමෙන්ට් හෝ හිට්ස් ගැන බලාගෙන ලියනවා නම් ඔමා, මේ බ්ලොග් එක වළදාපු තැන අද රූස්ස, ගම් ගස් (යුකැලිප්ටස්) හැදිලා.

          තරුණ කාලේ, මහන්සි වී වැඩ කරන්න ( ඔබ කරන වග මා දන්නවා), පුළුවන් තරම් දේ ඉගෙන ගන්න, ජිවිතයට කුසලතා එක් කර ගන්න, වෙනත් භාෂාවල් ඉගෙන ගන්න, විවිධ ජාතින් ආශ්‍රය කරන්න, විවිධ ආහාර කන්න.

          මේ දේවල් කළොත් , පසු කාලෙක ඉවත දමන්න ඕනේ මොනවාද, ලංකර ගන්න ඕනේ මොනවාද කියල ඔබට හරියටම තීරණය කරන්නට පුළුවන් වේවි.

          • ගොඩක් ස්තුතී. කෙනෙක් ළඟ ඉදන් කිවුවා වගේ. මගේ ජොබ් එක පැය 24 වෙන කෙනෙක් ගැන අවදානයෙන් වගකීමෙන් ඉන්න එක, ඒක සැහැල්ලු සරළ දෙයක් නෙමේ ඇත්තටම, මං හැමදාම උදේ නැගිටින්නේ අලුතෙන් දෙයක් දකින්න ඉගෙන ගන්න බලන්, දැන් මට ඒකටම හරියන සියෙකුත් ඉන්නවා උගන්නන්න බලාගෙන,, ගොඩක් දිගට ලිවුවොත් පෝස්ට් එකක්ම වෙයි මගේ කමෙන්ට් එක,, ගොඩක් ස්තුතී
            මං මේ රටේ යාළුවො කවුරුත්ම නැතුව තනියම ඉන්න කෙනෙක් බ්ලොග් කියෝන එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා සහ ඔයාලා වගේ වැඩිහිටියෝ එක්ක ඉන්න ලැබෙනවා ඒකට මන් ගොඩක් ආසයි,,, තෑන්ක්ස්

  3. හැමෝම කැමති ජනශූන්‍ය තැන්වල විවේකය ගත කරන්නනේ. මම හිතන්නේ මේක වෙන්නේ තමාගෙම වර්ගයා එක්ක අන්තර් ක්‍රියා කරලා කරලා ඇතිවෙන විඩාව නිවාගන්න වෙන්න ඕනේ. ඒකනේ සමහරවෙලාවට අපි අපේ පවුලෙනුත් පොඩ්ඩක් ඈත් වෙලා my own quality time ගත කරන්න බාත් රූම් එකටවෙලා දොර වහගන්නේ.

    • හැමෝම එහෙම නැහැ නේද බං?

      ඔන්න ඕක තමා වැදගත්ම දේ. සමහරුන් සිතන්නෙත් නැති දෙයක්. මේ බටහිර රටවල් නම් සුද්දන් විසින් කරන දෙයක්. අවුරුද්දේ 365 දවසම එක වගේ නම්, ගැටෙන්නේ එකම පිරිස් සමග නම්, ජිවත් වන්නේ එකම තැනක නම්, ඔය කියන විඩාව නැත්නම් ආතතිය බිල්ඩ් අප් වෙනවා. ඒවා දෙගොඩ තලා යන්නේ වෙන විධි වලින්. එය අපට තේරුම් යන්නෙත් නැහැ.

      දවසකට හෝ තමන්ගේ ගෙදරින් පවා ඉවත්ව ජීවත්වීම වැදගත් අන්න ඒ නිසා. දිනපතා කරන දෙවල්ගෙන් ද ඈත් වීමත් අන්න ඒ වගේ. ඒ කියන්නේ වලං-පිඟන් සෝදන එක, උයන එක පවා.

      ඉස්සර මිනිසුන් එකට දඩයමේ ගිහිං, ආපසු ගල්ලෙනට ඇවිත්, දවසම එකිනෙකා හා ගැටීමෙන් ඇතිවන ආතතිය බිල්ඩ් අප් වීම, වලක්වා ගත්තේ අහම්බෙන් සොයා ගත් ඔව්ෂධිය පානයක් මගින් කියලත් කියනවා. ඔය නොයෙක් වර්ගයේ ලේබල් වලින් අද වෙළඳපොලේ තියෙන්නේ අන්න ඒ පානයයි.

      • ඔව් මචං උඹ කියන එකේ ඇත්තක් තියෙනවා.හැමෝම එහෙම නැති වෙන්න පුලුවන්.

        මම මෙතන ලින්ක් දාන්න කැමති නෑ නමුත් මම වතාවක් ලිව්වා අපි කවුරු වෙන්නද ආසා කියලා පෝස්ට් එකක්. මූලික අදහස රස්සාවට වලවල් කපන එකා විවේකෙට ගිටාර් ගහද්දී, රස්සාවට ගිටාර් ගහන එකා විවේකෙට වලවල් කපන්න පුලුවන්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s