Monthly Archives: August 2015

පූසන් සමග බෑ, බල්ලන් එක්ක කොහොමත් බෑ! It is never too late to apologize!


අපට ගෙවල් දොරවල් මාරු කරන්න හැකියි. අත්පිට මුදල් හෝ බැංකු ණය අවශ්‍යය කියන එක ද්විතියික කරුණක්. හැබැයි, මේ නිවස සමග අපට ලැබෙන එක දෙයක් නම්, අපට අවශ්‍ය ආකාරයට මාරු කර ගන්න නොහැකියි. අන්න ඒවා ගන්න නිවාසය සමග අපට කොහොමත් ලැබෙනවා. නිවාස වලට විතරක් නොවේ, රටවල් වලටද මේවා වෙනස් කර ගන්න නොහැකියි. දූපතක් වීමේ එක වාසියක් තමා, මේවයින්/මොවුන්ගෙන් ටිකක් හෝ ඈත් වී ඉන්නට හැකි වීම.

ඒ තමා අසල්වැසියන්. අප දැනට ඉන්න ගෙදර මුලින්ම බලන්න ආපු වෙලාවේ, වැට ගාවට ඇවිත් මුලින්ම කතා කෙරුවේ අල්ලපු වත්තේ ඉන්න සුද්දා. ඒ වන විට අප මේ ගෙදර ගන්නවා යයි තීරණය කර තිබුනේ නැහැ. හැබැයි එදා ඔහු මගෙන් අහගත්ත නම, ඉන්පසුව කිසි දිනෙක අසන්නේ නැතුව ඔහුගේ මතකයේ තියනවා. ඔහු පමණක් නොවේ, ඔහුගේ බිරිඳද එදා මා සමග කතා කෙරුවා.

ඒ පළමු හමුවීමෙන්, මා ඔහු ගැන ඇතිකර ගත් තක්සේරුව, වැරදිය කියන්න හේතුවක් අදත් මට නැහැ. කුඩා පවුලක් වන ඔවුන් ජෙනුයින් මිනිසුන්. ඒ වගේම අහිංසක කට්ටිය.

අප ගෙවල් වලට නොයනවා වුණත්, වැටගාවට ඇවිත් කතා කරනවා. ඔහු තමා මට එළවලු පැල හා එළවලුත් දෙන්නේ. එයාලගේ චූටි දුවට කියන සුරතල් නාමය, පම්ප්කින්. ඇය කුඩා ළදැරියක්. මේ දරුවට සෙල්ලම් කරන්න “සෙල්ලම් ගෙයක්” පසුගිය අවුරුද්දේ හදල දුන්නා. ඔවුනගේ කෙළිලොල් සිනහා අපට ඇහෙනවා.

ලෝකයේ හොඳම දෙමාපියන් ඉන්නේ අප අතරය විතරක් කියල සිතන කට්ටිය ගැන මට පුදුමයි. විශේෂයෙන් බටහිර පවුල් කියන්නේ දරුවන්ට ආදරය නොකරන පිරිස් වශයෙන් අර දෙයියෝ සාක්කි පත්තරේ කොමෙන්ටු වල එහෙම සඳහන් වෙනවා. මේ අය කිසිදා එවැනි පිරිස් දැක ඇත්දැයි මට නම් සැකයි.

කොහොමහරි අප ගෙදර ගත්තට පස්සේ, එයාල වැට තව ටිකක් ඉස්සුවා. හැබැයි ඒ ගැන මට කියුවා. අප ආපු හින්දා තමා ඉස්සුවේ. මොකද කියනවා නම්, තඩි බල්ලන් දෙන්නෙකු එයාලට හිටියා. ඇත්තටම තඩි බල්ලෙකුයි, පොඩි බල්ලෙකුයි. හිටියා කියුවේ තඩියා පසු කාලෙක මළා.

මුන් අපට නොපුරුදු නිසා පුතාලගේ කටහඬ වල් වලට බුරාගෙන වැට ගාවට එනවා. වැටෙන් මෙහා පැත්තට පනීවි කියල බයට තමා වැට ඉස්සුවේ. හැබැයි එක කොටසක වැට පරණ උසටම තිබුණා. ඒ එළවලු පාත්තිය තියන කොටස. එය කොටු කර ඇති නිසා බල්ලන්ට එන්න බැහැ.

ඊයේ මා වැලෙන් රෙදි ගන්නා විට, ඒ කොටසේ පොඩි දැලක් ගහමින් ජෝඩුව හිටියා. මා දැකපු විට, මට කියුවේ, මේක කරන්නේ උඹලට එරෙහිව නම් නොවේ කියා.

අපේ වත්තේ තඩි පූසෙක් ඉන්නවා. අල්ලපු ගෙදරට අල්ලපු ගෙදර එකෙක්. මුගෙන් අපට කරදරයක් නැති නිසා අප එළවන්නේ නැහැ. දැන් මේකා අල්ලපු ගෙදර පාත්තිය පැන සියල්ල පහුරු ගාන නිසා තමා වැටට තවත් පොඩි දැල් කෑල්ලක් ගහන්නේ.

මා කියුවනේ අනිත් අල්ලපු ගෙදර මිනිහා අපට කරපු වැඩේ. එයාගේ කබල් මඩුව ගහන විට හෝ අපෙන් ඇහුවේ නැහැ. එය හදල තියන හැටි කොහොමත් නීති විරෝධියි. දැන් මේ තරුණ, මවක සමග පැන ගිහින් තියෙන්නේ අන්න එයාම තමා.

මුලින් මා බිරිඳට කියුවහම අර යකා, නම් ජරා පොරක් කියල, ඇය මා සමග කිසිදා එකඟ වූයේ නැහැ. මොකද මූණිච්චියට හොඳට කතා කරනවා. විශේෂයෙන් ඇයත් සමග කතා කරන විට. මා නම් එතරම් කැමැත්තක් නැහැ ඔහු සමග කතාවට යන්න. හැබැයි අහු වුණොත් කතුරට අහුවුණා වගේ තමා.

මිණිසුන් හා ගැහැණුන් එකතු වීමට වගේම වෙන්වීමට ඉඩ තිබීම, අවශ්‍ය දෙයක්. විශේෂයෙන් කලකට පසු තේරෙනවා නම්, එකට ඉන්න බැරිය කියල. නමුත් ශිෂ්ට සම්පන්න මිණිසුන්/ගැහැණුන් වශයෙන් ඒවගේ අවස්ථාවක අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තියනවා.

දරුවන් ගැන වග බලාගැනීම එකක්, දේපොළ විතරක් නොවේ අනෙක් පාර්ශවය (විශේෂයෙන් ගැහැණු) ගැන වග බලා ගැනීමත් එම ක්‍රියාමාර්ගයට ඇතුලත් විය යුතුයි.

මිනිහා පැනගොස් තියෙන්නේ එයාලගේ හවුල් ගිණුමත් හිඳලා. මා ගාණ ලියන්නේ නැති වුවත්, එය ලොකු ගාණක්. මේ දිනවල හෝටල් වල මධු-සමය ගත කරන ඒවාට ගෙදරට බිල් එන වග මාත් දැන් දන්නවා. මට මිනිහා දුටු පළමු දිනයේ ඇතිවුණ තක්සේරුවේ ද වෙනසක් නැහැ.

ජිවත් වන විට අප දැනුවත්ව හා නොදැනුවත්ව කරන වැරදි වලට (ඒවා වැරදි කියා තේරුණ පසු) සමාව ගැනීමට කිසිදා ප්‍රමාද නැහැ. හැබැයි ඒ අනෙක් පාර්ශවය ජිවත්ව ඉන්නතුරු පමණයි. ඉන්පසු නම් සමාව ගන්න ප්‍රමාද වැඩියි. රට-රටවල් වල ආණ්ඩු හා අනෙක් සංස්ථා මගින් කෙරෙන වැරදි වලටද මෙයම අදාලයි නේද?

පලි
මේක දැන් කටුසටහන් ගොඩට දැම්මොත්, කිසිදා පළ නොවේවි. මොකද මා හැම දිනම පළ කරන්නේ එවෙලේ
සිතට එන හා එවෙලේ ලියන දේවල් නිසා. ප්‍රවීනා සිනහා වුවත්, මේ ගීතය නොදැම්මොත් අඩුවක්. 🙂

20 Comments

Filed under Opinion