අපතතන්ත්‍රවාදය හා කෞශල්‍යතන්ත්‍රවාදය!


මා ගිය සති අන්තයේ ලංකාවේ කෙනෙකුට කතා කරපුවහම මෙන්න මේ දේ දැන ගන්නට ලැබුණා. මෙවැනි සිද්දි වලට මුහුණ දුන්න පිරිස් වලට බ්ලොග් ලියනවට වඩා විසඳගන්න ප්‍රශ්න තිබෙන නිසා, ඔවුන් මේවා ලියන්නේ නැහැ. ඒ හින්දා, වෙන ප්‍රශ්න අඩු මා ලියන්නම්.

දැන් මේ කෙනාගේ අඛණ්ඩ සේවය එකම ආයතනයකම දශක දෙකකට වැඩියි. ඒ වගේම කීර්තිමත් හා කාර්යක්ෂම සේවා අතීතයකට හා වර්තමානයකට උරුම කියනවා. ඔහුට නගින්න තියන, ඊළඟ පඩිය පුරප්පාඩු වුණේ මේ ලඟදි. කතාව කෙටි කළොත්, එතැනට පත්කිරීම කෙසේ වුවත්, පත්කිරීමට සලකා බැලීමට වඩාත්ම සුදුස්සා මේ කෙනා වුවත්, එයවත් නොකර, එයට බාහිරින් අපතයෙකු කැන්දා තිබුණා. මා මේ අලුත් කෙනා අපතයෙකු කියන්නේ, අර ටෙලිකොම් පත්කිරීම වගේම, වැඩපෙන්වීමක් ගැන කීර්තිමත් ඉතිහාසයක් නොවන කෙනෙකු නිසා.

ඉහත කතාව මට අද උදේ මතක් වුණේ, පාසැල් හා ගුරුවරුන් ගැන ලියවුණ මෙන්න මේ සටහනත් නිසාත් ඊයේ පුතාගේ පාසලට ගොඩවුණ කරුණ මතක් වීමෙනුත්.

පුතාලගේ පාසැලේ විදුහල්පති තුමිය, අලුතින් පටන් ගත්තු කිරි-කිරි පාසැලක ආරම්භක විදුහල්පතිණිය ලෙස පත්වීමක් ලබා යනවා. දැන් මේ වගේ පත්වීමක් දෙන්නේ එයා වැඩකාරියක් නිසා.

මා ලියා ඇති පරිදි, අපේ උසස්පෙළ ගුරුවරුන් අඩුම ගානේ විෂය නිර්දේශය හෝ ආවරණය කරන්න උත්සහයක් ගත්තේ නැහැ. එහෙම කළාය කියලත් ඔවුනගේ වෘත්තීය දිවියට කිසිම බාධකයකුත් නැහැ. කවුරුත් මේවා අධීක්ෂණය කරන්නෙත් නැහැ. දැන් මේ පඩි ගෙවන්නේ මොකටද?

මා උදේ පාසලට ගොඩ වැදුණේ, අර විදුහල්පතිනියට සුබ පතන්නට හා ආයුබෝවන් කියන්නට. ඇය ගැන මා පියෙකු වශයෙන් තෘප්තිමත්. මේ මොහොතේ ඇය අස් වී යාමෙන් අපේ දරුවාට ලොකු බලපෑමක් නැහැ. හැබැයි ඇය යාම ගැන කනගාටුයි, වගේම සංතෝෂයි.

වැඩකරුවන්ට, කරන වැඩ අනුව තැන දියයුතු තැනක් තමා පාසැල් කියන්නේ. මොකද රටක අනාගතයේ විශාල කොටසක් එතැන ක්‍රියාකාරිත්වය මත රඳා පවතින නිසා.

සමාජයක වැඩකරුවන් උකටලී වීම හා කිරීම තරම් නරක දෙයක් තවත් නැහැ.

(මාතෘකාවේ පොඩි සංශෝදනයක් කෙරුවා. ඇත්තටම අපතවාදය හා අපතතන්ත්‍රවාදය කියන්නේ දෙකක්. අපතවාදය ඒකීය පුද්ගලයන්ගේ ජිවන විලාසිතාවේ අංගයක්. අපතතන්ත්‍රවාදය එයින් එහාට යන සමාජයේ සංස්ථාගත දෙයක්. මේ දෙකම අපේ ප්‍රගමනයට වැඩදායක දේවල් නොවේ).
 

13 Comments

Filed under Careers/Employments, Education, Opinion

13 responses to “අපතතන්ත්‍රවාදය හා කෞශල්‍යතන්ත්‍රවාදය!

  1. Pingback: අපතවාදය හා කෞශල්‍යතන්ත්‍රවාදය! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. /වැඩකරුවන්ට, කරන වැඩ අනුව තැන දියයුතු තැනක් තමා පාසැල් කියන්නේ. මොකද රටක අනාගතයේ විශාල කොටසක් එතැන ක්‍රියාකාරිත්වය මත රඳා පවතින නිසා./

    රටක අනාගතයේ විශාල කොටසක ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම සදහා උගන්වන්න සුදුසුකම් සපුරා නැති මිනිස්සුන්ට රස්සාවල් දෙන තැනක්.

    ටීචින් කියන්නෙ ලෝකේ මං අකැමැතිම රස්සාවල් වලින් පළමු එක. මට පුලුවන්නම් මම රයිගම්ව ලංකාවේ ඉස්කෝලෙක පුරාවිද්‍යාව උගන්නන්නයි, ආණ්ඩුවේ කන්තෝරුවක වැඩකරන්නයි,දවස්පහේ 8-5 වැඩ කරන්නයි ගෙනත් දානවා.දෙන්න පුලුවන් උපරිම දඩුවම විදිය ඒක! 😀

  3. මෙහෙත් ගුරු වෘත්තීය සඳහා අවශ්‍ය සුදුසුකම් වැඩිකිරීම මගින් එම වෘත්තියේ ගුණාත්මක බව වැඩි කිරීම ගැන කතිකාවක් තියනවා. කැන්බරා වල ගුරුවරුන්ගේ පඩි වැඩිවීම් නව ගිවිසුම් මේ ලඟදි අනුමැත වූවා. මේවා සාධනීය කරුණු.

    //මට පුලුවන්නම් මම//
    ඔයාට ඒවා කරන්න බැරි හින්දා හොඳයි. මොකද මගේ පුරාවිද්‍යා දැනුම නරකයි කියලද හිතන්නේ?

    මට පුළුවන් වුණොත්, ඔබව දානවා පාසැලකට චිත්‍රකර්මය උගන්වන්න!

  4. නැහැ පුරාවිද්‍යාව කියන්නේ මට බෝරින් සබ්ජෙක්ට් එකක් ඒකයි.

    /මට පුළුවන් වුණොත්, ඔබව දානවා පාසැලකට චිත්‍රකර්මය උගන්වන්න!/
    හපෝයි .ළමයි එක දවසින් ගුටිකාලා මැරෙයි.
    ළමයින්ට නෙමෙයි ලොකු අයට ඔන්ලයින් ආට් ක්ලාස් කරන්නේ කොහොමද කියලා නම් ටිකක් හිතුවා. එයාලට පේන්න මට අදින්න පුලුවන්. අදින විඩියෝ ක්ලිප් එකක් දානවට වඩා එහා දෙයක් කරන්න බැහැ. ටිකක් හොයලා බැලුවම ඒක මගේ ලෙඩක් නෙමෙයි. අතිබහුතරයක් චිත්‍ර අදින උන්ට ඔය ඉගැන්නිල්ල බැරිලු. 😀
    ඉගැන්වීම, දේශන දීම කරන්න සිද්දවෙනවානම් මම කියන්නේ මෙච්චරයි.

    “රුචිරාණනි අහන්න ..එකපාර මා මරන්න“

    මේ සැරේ කොළපාට කට්ටියගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණා, ළමයි ඒ ලෙවල් වෙනකම් ඒ කියන්නේ වයස අවුරුදු 19 ක් යනකම් ඉස්කෝලේ යෑම අනිවාර්ය කරනවා කියලා. නියමයි. ආණ්ඩුවේ ඉස්කෝලවල ළමයි ප්‍රාථමික අධ්‍යාපනය ඉවරකන්නත් කලින්, ඔය නීති හදන කස්ටියගේ ළමයි ලන්ඩන් ඕලෙවල් කරලා,පිටරටින් ඩිග්‍රි ගහලා එනවා. යහපාලනේ සැලසුම් මාරයි නේද?

  5. පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම හොඳ දෙයක් නේද මල්මි. එය වයස් වලට සීමා නොකර, පළමු පංතියේ සිට 12 වන වසර දක්වා කියල නම් කරන්න පුළුවන් නේද?

    අධ්‍යාපනය දීම විතරක් ප්‍රමාණවත් නැහැ. එයින් පසු මොකද කරන්නේ? අධ්‍යාපනය මගින් මිනිසුන් වෙනස් වෙනවා තමා, නමුත් ආදායමක් නැතුව ජිවිතයකට පැවැත්මක් නැහැ නේද? ඔබ මට ලංකාවේ රස්සා හදල දෙන්න සිතනවා. ඇත්තටම මල්මි, මට ලංකාවට ආවොත් කරන්න දෙයක් නැතිව යාවි.

    සමාජයේ යහපාලනයට අදාළ ප්‍රධාන ප්‍රශ්නය අන්න ඒකම තමා. එනම් රැකියා ජනනය. මෙන්න මේකට මොන විදිහේ ක්‍රියාමාර්ගද ගන්න ඕනේ? අන්න එතැනදී රජයේ (එනම් බහුතර කැමැත්තේ) ක්‍රියාමාර්ගය මොනවගේ වෙන්න ඕනෙද? මේවා ලංකාවට පමණක් නොවේ ඕස්ට්‍රේලියාවටත් අදාල ප්‍රශ්න.

    ඔබ මට උපහාස කරනවා වගේ, මා ඔබව පාසැලකට උගන්වන්න දානවා කියුවේ අපහාස කරන්න නොවේ. වට්ටක්කා ගෙඩියේ ප්‍රමාණය සිතා ගන්න ඇතුලත් කරන්න කියපු දේවල්, මට කිසිදා ඔළුවට එන්නේ නැහැ. මොකද, මාත් දේවල් ප්‍රගුණ කර ඇත්තේ යම් රාමුවක් ය‍ටතේ.

  6. එහෙම නෙමෙයි රයිගම්. මං අදහස් කරන්නේ අවුරුදු 18 + වෙනකොට ඕනම කෙනෙක්ට නැතිනම් අතිබහුතරයකටවත් තනියම ජීවත්වෙන්න,ආදායම් මාර්ගයක් /රස්සාවක් හරියට හදාගන්න පුලුවන් විදියේ අධ්‍යාපනයක් තියෙන්නයි ඕනා. කිසිම රජයකින් ඒක එහෙම නොකරන්නේ හිතාමතාමයි කියලයි මගේ අදහස. මේ ඉහල පාර්ශ්වයන්ට ඕනා ඒ අයට ඒ පහසුවෙන් හසුරුවා ගත හැකි හරක් රැලක් පමණයි.

    12 වසර තෙක්..?? කැමති කෙනෙක්ට විතරක් නම් හොදයි. උදාහරනෙකට කියනවනම් ඕලෙවල් වලින් පස්සේ ඉබ්බා දියේ දැම්මා වගේ ජර්මන් ටෙක් යන ළමයි, සමවයස් ළමයි තවදුරටත් අඹ ලෑලි බංකු රත්කරද්දි , කෝස් එක ඉවරකරලා තමන් කැමති රස්සාව කරනවා.

    ලංකාවේ මටත් කරන්න දෙයක් නැහැ වගේම, තිබුනත් කරන්නෙත් නැහැ.

    උපහාසයක් නෙමෙයි මං අදහස් කලේ, එවැනි උපසංස්ක්රුතියක ජිවත්වෙන්න තියෙන අපහසුව. මම නම් දකින්නවත් පතන්නැහැ.

    වට්ටක්කේ ප්‍රමාණය නෙමෙයි කථාව.
    අපි චිත්‍ර අදින්න ගන්න පොටෝ වල විශේෂ ලක්ෂණ තියෙනවා. සාමාන්‍යෙයන් නොදැනුවත්ව උනත් අපි අන්තර්ජාලයෙන් චිත්‍ර අදින්න ගන්න පොටෝ චිත්‍ර ශිල්පීන් ගත් ඒවයි.නැතිනම් සාමාන්‍ය මිනිසුන්. වුර්තිය ඡායාරූප ශිල්පින්ගේ ඡායාරූප මේ වැඩේ හරියන්නැහැ.ඡායාරූප ශිල්පය හා චිත්‍ර ශිල්පයේ හා මේවා මුද්‍රණයේ සමහරක් දේවල් සර්වසමයි. සමහරක් දේවල් ප්‍රතිවිරුද්ධයි. වුර්තිය ඡායාරූප ශිල්පින්ගේ ඡායාරූප මේ ප්‍රතිවිරුද්ධ අන්තයේ ඒනිසා වැඩේට ගැලපෙන්නැහැ.මම ඡායාරූපකරණය ඉගෙන ගෙන නැහැ.(ඉගෙන ගන්න ගිහින් ඉස්සරහපෙලට වෙලා හොදහැටි නිදාගෙන)ප්‍රින්ටින් වැඩවලට ගියාම ස්ටුඩියෝ එකේ අංකල් එක්ක මේ දේවල් කථා කරනවා.

    මම දන්න (මාව නොදන්න) සියලුම ඡායාරූප ශිල්පීන් හා ලේඛකයින්ට හොදින් පහසුවෙන් චිත්‍ර අදින්න පුලුවන්. මේ නිසා ලියන්න පුලුවන් හැම කෙනාටම හා පොටෝ ගන්න පුලුවන් හැම කෙනාටම චිත්‍ර අදින්න පුලුවන් කියා මා විශ්වාස කරනවා.බේස් එක එකක් විම වෙන්නැති නේද.නිරීක්ෂණ හැකියාව උකුසු ඇස්/Eagle eye???

    හෙහ් ලියන්න වෙලාව අඩුවෙමින් පවතිනවා. වෙනුවට චිත්‍ර පෝස්ට් ටිකක් දමන්නම්.

  7. දැන් මගේ බ්ලොගයය කියවන්නේ ඔබයි, මායි විතරයි වගේ! 😀

    ලංකාවේ දේශපාලනයට සම්බන්ධ කතා මා දැන් නොලියන්නේ, අප වැනි සංක්‍රමණිකයන් ඒවා ලිවිම අනවශ්‍ය නිසා.

    දැන් මට වුණත් ඔය නිදහස් අධ්‍යාපනයෙන් “ප්‍රයෝජන” අරන් රට පැන්නා කියල ඉතා සභ්‍ය භාෂාවෙන් මතක් කර දෙන මා මිත්‍ර පිරිස් ඔය ඉන්නේ. මේ අය මා ලංකාවේ රැකියාවක් නොකර වල් -මත් වෙමින් සිටියා නම් ගොඩක් කැමැති වේවි. මට මේවගේ අදහස් ගැන අද කලකිරිමක් මිසක්, තරහක් එන්නේ නැහැ. “නොතේරෙන භාෂාවකින්” මා ලියන දේවල් අපහසුවෙන් හෝ කියවන පිරිස් සිටින වග දැන ගැනීම නම් සතුටක්. 🙂

    ඔබ හරියටම හරි. ලංකාවේ, වාණිජ, කළා හා විද්‍යා දහරාවල් වලින්, විභාගයට පෙනී ඉන්න සිසුන්ගෙන් විශාල පිරිසක්, කරන්නේ කාලය නාස්තියක්. මෙයින් බොහෝ දෙනෙකුට, එම අධ්‍යාපනය සඳහා ඕනේ කමකුත්, ඒ සඳහා ප්‍රමාණවත් මෙන්ටල් කැපාසිටියකුත් නැහැ.

    ඒ ඔවුනගේ වරදක් නොවේ. විකල්ප අධ්‍යාපන-කුසලතා මාර්ග සඳහා අවස්ථාවන් නැති වීම. අපොස සාපෙන් පසු විශාල පිරිසක් කාර්මික/තාක්ෂණික විෂයයන්/කුසලතාවයන් ප්‍රගුණ කිරීමට යොමු කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම, ඔවුන් එලියට එන විට රැකියා අවස්ථා ජනනය පිණිස පරිසරය උදා කිරීමත්, බහුතරය පත් කරන රජයකට කරන්න එක දෙයක්. නීතියේ ආදිපත්වය පිහිටුවීම එහි එක ප්‍රධාන පියවරක්. මෙවැනි දේවල් ඉබේම සමාජයේ පහල වුණ රටවල් ලෝකයේ නැහැ.

    මා වට්ටක්කා කතාව ගත්තේ උදාහරණයකට විතරයි. මා පාසැලේ වයිකල්පිත විෂයයට උගත්තේ සංගීතය. මා කැමතියි නිස්කලංක තැන් වල චායාරූප ගන්න. වඩාත් කාලය ලැබුන විට එය කරන්න ඉන්නේ.

    ලෝකයේ සියලුම මිනිසුන් යාම්තාක් දුරට කලාවන් රසවිඳීමට මනස හුරු කර ගැනීම වැඩදායක බව මා පෞද්ගලිකව නිතර සිතන දෙයක්. ඒවා කරන්න නම්, ආදායම් මාර්ගයක් එනම්, කන්නේ කොහොම ද කියා ලත නොවී ඉන්නට හැකි පරිසරයක්/හැකියාවක් තියෙන්න ඕනේ. මේකත් කිකිළි-බිත්තර කතා මාලාවේ තවත් කතාංගයක් විතරයි.

  8. අනිතිම ඡේද දෙකට.
    වට්ටක්කා උදාහරනයක් බව නොදැන හිටියා නොවෙයි. ඒ උත්තරෙත් උදාහරණයක්. මට වුවමනා වුනේ සමානතා හා ප්‍රතිවිරුද්ධතා ගැන කියන්නයි. මේ සමානතා හා ප්‍රතිවිරුද්ධතා ලක්ෂණය නිසා පොටෝ අංකල්ට එයාගේ සහෝදර පොටෝකාරයින්ට වඩා මා එක්ක සහයෝගිව වැඩ කරන්න පුලුවන් වගේම. දෙන්නටම වාසියි.

    මා නම් සිතන්නේ ලෝකයට අනවශ්‍යම මිනිස්සු චිත්‍රකාරයින්.චිත්‍ර ශිල්පීන් ලංකාවට නම් කිසිසේත්ම අවශ්‍ය නැහැ. වගේම ලෝකෙටම අවශ්‍යත් බොහොම ටිකදෙනයි.

    ඔබ හැම තිස්සේම මගෙන් අහන ප්‍රශ්නය මට නොතේ්රෙනවා නොවෙයි. නමුත්, වට්ටක්කේ සයිස් එක වගේම,ඔබට හීනෙකින්වත් උපකල්පනය කරන්න නොහැකි හේතු හා පසුබිම් එයට තියෙනවා. ඔබ නොදන්නවා උනත් එය දන්න අය ඉන්නවා. ඒ අයත් ඔබ වගේම උනානම් අද මෙය ලියන්නට මා නැහැ.

  9. අම්මපා, ඔබේ උත්තර කියන්නේ තවත් ප්‍රශ්න මවන ඒවා විතරයි! 🙂
    //ඒ අයත් ඔබ වගේම උනානම් අද මෙය ලියන්නට මා නැහැ.//
    දැන් මේකෙන් අදහස් කරන්නේ මොකක්ද කියල පැහැදිලි කරන්න හැකිද?

    //ඔබට හීනෙකින්වත් උපකල්පනය කරන්න නොහැකි හේතු හා පසුබිම් එයට තියෙනවා// මේක අප හැමටම පොදුයි නේද? ඔබටත් හීනෙන්වත් සිතන්න බැරි දේවල් මේ ලියන කතා පසුපසිනුත් තියනවා. මේවා අපට ප්‍රසිද්දියේ, අමුවට කියන්න බැහැ වගේම ඒවා කියන/ලියන එකේ තේරුමකුත් නැහැ මල්මි. ඒවා තියා සරල අදහසක් වත් ප්‍රකාශ කරන්න හැකිද? කේන්තියෙන් පුපුර, පුපුර ඉන්න මිනිසුන් හැමතැනම.

    අපත් අද ලෝකය පුරා විසිරී ගිහිං. මා දැන් කැනඩාවේ ඉන්න යහළුවෙකුට කතා කළා. ඔහු කියුවා ඒ පැත්තේ වරෙන් කියා. එය එතරම් සරල කරුණක් නොවේ. අතීතයේ ගත කරපු සරල දිවිය, එක අතෙකින් තවත් සරල වී තියනවා කියන්නත් හැකි වුවත්, තවත් දේවල් එදාට වඩා සංකීර්ණ වී තියනවා. මේ වගේ දේවල් ඔබටත් අමුතු ඒවා නොවන්න පුළුවන්..

  10. ඒ අය ඔබ වගේම උනානම් /
    ඒ අය ඔබ නොදන්නා දේවල්/පසුබිම දන්නවා. ඒ මිස ඔබේ නරකක් නෙමෙයි.

    /හිතාගන්නවත් බැරි දේවල් පසුපසින් තියෙන බව/මේකට වෙන තැනක උත්තරයක් දෙන්නම්.
    මේ උදාහරනය වැදගත් වෙයිකියලා හිතනවා.
    ඔබ දන්නවද ලංකාවේ වඩාත්ම ප්‍රචලිත කෑම වර්ගය “සොසේජ් බන්“
    දන්නවද හේතුව “අපෝ ඔය මාලුපාන් ,පේස්ට්‍රි ඇතුලේ මොනවා තියෙනවද දන්නැහැ. “ඔබ දන්නවනේ මාලුපාන් එක කඩලා ඇතුලේ තියෙන දේ බලලා එපානම් තියලා එන්න බැහැනේ. ඉතින් නොදන්න තැන්වලින් නම් ඇතුලේ දේවල් නොපේන දේවල් කන්නැහැ. හැබැයි පේන සොසේජ් එක හදලා තියෙන්නේ මොනවැයින්ද? කොහොමද? හෝටලේ කුස්සියට වඩා සොසේජ් ෆැක්ටරිය විශ්වාසවන්තද ? කියලා හිතන්නේ නැහැ.

    අපත් අද ලෝකය පුරා විසිරී ගිහින්.යුදෙව්වන් වගේ නේද??

    මා ඔබටත් මගේ අසනීපය බෝකරලා වගෙයි.
    අහිගුන්ටික නැතිනම් එඩේර ජිවිතය!!
    මා දකින්නේ දෙකම සංක්‍රමණිකයන්ගෙන් හැදුනු රටවල් වුනත්, USA හා ඕස්ට්‍රේලියා පරස්පරවයි. ඔබේ දුපතේ හා ඒ මහද්විපයේ ගෝත්‍රිකයන් එකම කස්ටියක් කියලයි මා නම් විස්වාස කරන්නේ.
    හොදයි එහෙනම් කැනඩාව හුස්ම ගන්න හැටිත් දැකබලාගන්න !!

  11. මා වැඩිහිටි ජිවිතයේ එක තැනක වසර 6 කට වඩා කාලයක් ගත කර නැහැ. කැන්බරා අවසාන නවාතැන වේවි යයි දැනට සිතනවා. එඬේර ජීවිතය වෙහෙසකරයි.

    එක්සත් ජනපදය හා මෙහෙ කියන්නේ (මිනිසුන් ගැන සිතුවහම) අහසයි-පොලවයි වගේ මල්මි.

  12. /* මේ කෙනාගේ අඛණ්ඩ සේවය එකම ආයතනයකම දශක දෙකකට වැඩියි */

    මං හිතන්නේ අන්න එතැනයි වරද! එකම තැන පොල් ගෑම වැරදියි. අනික ඕනෑම ආයතනයකට අළුත් ඇස් ඕනැ, විශේෂයෙන් ම පරිපාලන/කලමණාකරන තනතුරුවලට

  13. ඔව්, ඔව්, රසික මචන්ලගේ “අලුත්” ඇස් වලින් එයාර් ලංකා ගෙනාපු තැන ලෝකයම දන්නවනේ! 😀

Leave a reply to raigam

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.