Monthly Archives: September 2015

වසත් කල එළැඹිලා!


IMG_20150918_134713952 (4)

මා කියුවනේ බ්ලොග් ලිවීමේදී සම්ප්‍රදායයන්, රීති, “නීති” හා ස්වයං වාරණ යනාදිය කිසිවක් වැදගත් වන්නේ නැහැ. රූල්ස් නැතිවීම තමා තියන එකම රූල් එක (නෝනා බලන්නේ නැත්නම් තමා). ඒ නිසා කලින් ලියුව පරිදි මේ මාසයට තව සටහන් නොලියවීමෙන් නොනැවතී තව සටහනක් දෙකක් ලියන්නට බලන්නම්. ඇත්තටම මා හැදුවේ මගේ චායාරූප බ්ලොගය යාවත්කාලින කරන්නට. නමුත් තාක්ෂණික ප්‍රශ්න නිසා එයට අවසරයක් නැහැ. මේ ලියන්නේ එහි ලිවිය යුතු සටහනක්.

ඉහතින් තියෙන්නේ මා පෙරේද ගත්තු චායාරූපයක්. මේක ගත්තේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ එක්තරා ගමක දී. එයින් පෙන්නුම් කරන්නේ තිරිඟු යායක්. මනරම් පරිසරයක් වගේම, මනරම් දිනයක්.

කොලනි සමයේ මුල් අවධියේ පැන නැගුන මේ කුඩා නගර වලින් සමහරක් අද නිකම් ගරාවැටුන ප්‍රදේශ ලෙස දිස් වෙනවා. මේ කුඩා නගරයේ ප්‍රධානතම කඩේ පබ් එකයි. එයිට අමතරව තවත් ග්‍රොසරි කඩයක්ද, මස් කඩේද තියනවා. අර ග්‍රොසරි කඩෙන් දිනෙක බඩුවක් ගන්න ගිය විටදී, මෙහි කොතරම් ජනගහනයක් ඉන්නවද කියල, නිදිමතේ සිටිය, නමුත් ප්‍රියමනාපශීලි සුද්දාගෙන් මා ඇහුව විට කීවේ 2000 ක් වගේ ගණනක් කියා.

එතරම් පිරිසක් වත් ඉන්නවා කියා පෙනෙන්නට නැහැ. උදේම පබ් එක ඉදිරියේ බියර් මග් අතේ තියාගෙන බොන දෙතුන් දෙනෙකු නම් සිටියා. වසන්තයේ මුල නිසා පරිසරය හරිම හරිතයි. මල් වලින් ගැවසුන ගස් හැමතැනම. වඩාත් ප්‍රියක් දනවන්නේ හරිත වර්ණයෙන් ගැවසුණ තණබිම් හා වැඩෙමින් පවතින තිරිඟු යායවල්. අම්මලාගෙන් යන්තම් කිරි අවැරුණ, බැටළු පැටවුන්ගේ කෙලි සෙල්ලම් ද ඒ අතර වූවා.

තිරිඟු කියන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන අපනයනක්. මගේ මතකයේ හැටියට ලෝකයේ ප්‍රධාන නිෂ්පාදකයන් අතරේ හතර වැනියට වගේ ඉන්නේ ඕස්ට්‍රේලියාව. නිපදවන ප්‍රමාණය අතින් පමණක් නොවේ, තත්ත්වය අතරිනුත් ඕස්ට්‍රේලියානු තිරිඟු කීර්තියක් හිමි කර ගන්නවා. මේ තත්ත්ව පාලන ක්‍රම හා වගාව පිලිබඳ මා පසු දවසක ලියන්නම්.

තිරිඟු ගැනෙන්නේ ශීත කාලින බෝගයක් ලෙස. ඕස්ට්‍රේලියාවේ තිරිඟු වපුරන දිනයන් ප්‍රාන්තය, අවුරුද්ද, වර්ෂාපතනය යනාදී දේවල් සමග වෙනස් වෙනවා. මෙයින් වඩාත් වැදගත් සාධකය නම් වර්ෂාපතනයයි.

ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියාවේ තිරිඟු වැපිරීම ඇරඹෙන්නේ අප්‍රේල් මැද වගේ ඉඳලා. ඒ කියන්නේ සරත් සමයේ. අස්වැන්න කපන්නේ ග්‍රීෂ්ම සමයේ මුල හෝ මැද හෝ අවසානයේ.

Winter-growing-season-by-state1 (1)

මේ කාල වකවානු තීරණය කිරීමේදී, ගොවින් ප්‍රධාන වශයෙන් සලකන්නේ වර්ශාපතනයයි. එනම් වැපිරීමෙන් පසුව හොඳ එස්ටබ්ලිෂ්මන්ට් එකක් නැත්නම් හොඳ ආරම්භයක් ගැනීමට නම්, පසේ තියන තෙතමනය හරි වැදගත්.

ඒ කියන්නේ ආරම්භය වැදගත් කියල. ඒ විතරක් නොවේ අවසානයත් වැදගත්. එනම් තිරිඟු බන්ඩි අවධියේදී ලබා ගන්න හැකි පසේ තියන තෙතමනය මත අවසාන අස්වැන්න රඳා පවතිනවා.

මේ සාධක දෙක නිසා ඕස්ට්‍රේලියානු තිරිඟු අස්වැන්න, කලාපයෙන් කලාපයට, වර්ෂයෙන් වර්ෂයට වෙනස් වෙනවා. ඕස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ තියන වියලීම මහද්විපයයි. මෙහි කෘෂිකර්මයට තියන ප්‍රධාන බාධකයත් හා තියන සීමාකාරී සාධකයත් ජලයයි.

අන්න ඒ නිසාම, ලැබෙන අස්වැන්න වසරින් වසර කන්නයෙන් කන්නයට වෙනස් වෙනචා. මෙතැනදී තව දෙයක් වැදගත්, එනම් පසයි.

තිරිඟු වගාවට පරමාදර්ශී ලෙස සැලකෙන ස්ටෙප්ස් වගා බිම් වල පස කළු පැහැති චෙර්නොසියෝම් ලෙස හැඳින්වෙනවා. මොන භාෂාවකින් හෝ රුසියානු සාහිත්‍යය කියවා ඇති නම්, මේ බිම් ගැනත් නොදැන ඉන්නට බැහැ.

ඇත්තටම ලෝකයේ පස් හැඳින්වෙන පාරිභාෂික නම් බොහොමයක් ඇවිත් තියෙන්නේ රුසියානු භාෂාවෙන්. මොකද කියනවා නම් පාංශු විද්‍යාවේ පියා ලෙස සැලකෙන වැසිලි වැසිලයෙවිච් දොකුචායෙෆ් කියන්නේ රුසියානුවෙක්. ඔහු ඉදිරිපත් කල රුසියානු නම් තමා, ලෝකයේ අදත් භාවිතා වන පාරිභාෂික නාමයන්.

එතකොට චෙර්නොසියෝම් කියන්නේ කළු පස් කියන එක. ස්ටෙප්ස් වල විතරක් නොවේ රුසියාවේ හා යුක්රේනයේ බොහෝ ප්‍රදේශ වල පස් මීටර් එකක් සමහරවිට එකහමාරක් පමණම කළු පස්. දිර්ගකාලීන ක්‍රියාවලියකින් පස්සේ, එනම් ශාක වර්ධනය, ශාක මැරීම, ඒවා වියෝජනය වීම හා භාගෙට වියෝජනය වුණු කොටස් තැන්පත්වීම කියන ක්‍රියාවලිය ඔස්සේ ගොඩ ගැනුන පසක්.

මෙවැනි පසක් සමකය අවට රටවල් වල බිහිවෙන්නේ නැහැ. ඒ ගැනත්, පස් ගැනත්, ඕස්ට්‍රේලියානු තිරිඟු වගාව හා ලෝක තිරිඟු වගාව ගැනත් වඩා විස්තර පසු සටහන් වලින් ලියන්නම්.

වැඩිදුර කියවීම්

පලි
මොනයම් හේතුවක් නිසා හෝ යමක් ලියන්න කියා මගෙන් ඉල්ලූ හිතවතාගේ ඉල්ලීම පිට මෙය ලියුවෙමි. මගේ සටහන් කියවීමට ඔබගේ තියන කැමැත්ත ගැන මගේ  ස්තුතිය.

Advertisements

13 Comments

Filed under Agriculture