Diaries of wimpy kids! මිනිසුන් පිය සටහන් තැබුවත්, නොබිඳෙයි කිරණ සඳේ?


පසුගිය දිනෙක උදේ වැඩට යමින් ඉන්න විට, අල්ලපු අසුනේ හිටපු පුංචි පුතා, පොතකුත් පැන්සලයකුත් අරං “දෙය්යනේ, මේක නම් හරි නැහැ” යයි තමන්ටම කියා ගනිමින් යමක් පුරවමින් සිටියා. හරියට වෙන කෙනෙකු වරදක් කරලා වගේ. මා ඇහුවා ඇයි මොකද වෙලා තියෙන්නේ කියල.

දරුවන් ඉන්න කෙනෙක් නම් සමහරවිට දන්නවා ඇතිනේ Diary of a Wimpy Kid කතා මාලාව. පුතා මේ කතා වලට කැමති නිසා, අප ඒ පොත් සේරම මිලදී ගන්න දුන්න. එයාල කියවන දේවල් සියල්ල තෝරා දෙන්න මහන්සි වෙන්නේ නැහැ. අර පුරවමින් හිටියේ ඒ කතා මාලාවේ DIY කියන අත්වැඩ පොත. දැන් මේ වැරදියි කියා නැවත පුරවන්නේ, එයාම අවුරුදු තුනකට කලින් පුරවපු උත්තර. එකක් තමා, අවුරුදු 30 කින් මොනවගේ කෙනෙක් ද වෙන්නේ කියන එක.

මා කියුවේ ඔය කලින් ලියපුවා මකන්න එපා, අලුත් “උත්තර” දකුණෙන් ලියන්න. තව අවුරුදු දෙක තුනකින් ඔය පොත නැවත බලන්න ආසාවක් ඇතිවුණොත්, අද ඔය ලියන පිලිතුරුත් කොතරම් “ඇත්ත” ඒවා වනු ඇයිදැයි ඔබටම බලාගන්න හැකි වේවිය කියල.

තමන් ප්‍රිය කරන අයෙකු හා කතා කරන්න අප කැමති නේ. පුතා සමග කරන සමහර සංවාද හරිම චමත්කාරජනකයි. එයාලට පොඩි කාලේ රෑට කියුව කතා අතරේ වැඩිපුර තිබුණේ, මා පොඩි කාලේ කියවපු රුසියානු හා සෝවියට් ළමා කතා. ඒවා විතරයි මට යන්තමින් හෝ මතක. එයට අමතරව අන්දරේ ගේ කතා කියල කියන ලෝකය පුරා තියන සමහර කතාත් කියුවා.

අන්න එහෙම පට්ට ගහපු කතාවක් තමා අර යහළුවන් තුන් දෙනාගේ කතාව. කුරුල්ලෙක්, පූසෙක් හා රන් කුකුලෙක් ගේ කතාව. කුරුල්ලයි, පුසායි උදේට කැලේ යනවා දර කපන්න. කුකුළා ගෙදර තනිවම ඉන්නේ. කාටවත් දොර හරින්න එපා කියල ගියත්, හිවලාගේ චාටු කතා වලට, රැවටිලා රන් කුකුළා හැමදාම දොර හරිනවා. අර දෙන්න ගෙදර එනවිට කුකුළා නැහැ. ඔය විදිහට තමා ගලාගෙන යන්නේ. මෙහි සිංහල පරිවර්තනය මා කියවූවේ ඉතා කුඩා කාලයේ. ඇත්තටම මට කියවා දුන්නේ, අපේ ආතා. මට සමහරවිට මෙතරම් තදට මතකයේ තියෙන්නේ ඒ නිසාම වන්න ඇති.

මෙහි තැනක් තියනවා “ගම රාළලා ඇවිල්ලා, සෑම තැනම මුං ඉහලා, කිකිලියෝ ඒවා කාලා, රන් කුකුලට නැහැ කීවා” කියා නරියා ගයනවා. මේ උගේ අන්තිම සින්දුව. අනෙක්වා කලින් කියපු නිසා, ඒවාට කුකුළා රවටා ගන්න බැරි වුණා. මේකට නම් කුකුලා රැවටුනා. ආයිත් දොර ඇරියා.

මේ කතාව මා කොතරම් වාරයක් පුතාලට කියුවද කියනවා නම්, පසු කලෙක එයාල පටන් ගන්න පෙරම “අනේ තාත්තේ, අදත් ඒකම නම් එපා කියල”. නමුත් පොඩි පුතා මේ කතාවට ඒ දිනවල හරි කැමතියි. බොරුවට එපා කියුවට අහන් ඉන්නවා. මාත් වර්ෂන් දෙකතුනක් හදල කියුවා. එයින් පොඩි විවිධත්වයක් ඇති වුණා.

දැන් නම් මේ කතා කියන වයස් ඔවුන් පසුකරමින් ඉන්නවා. අද මා ලියන මේ කතා කියවන්න ඔවුනට භාෂා දැනුමක් නැහැ. පසු කාලෙක ඔවුනට “තේරෙන භාෂාවෙන්” යමක් ලියන්න සිතා ඉන්නවා.

දැන් පටන් ගත්තු තැනට යලි ගියොත්, අපේ සිතුම් පැතුම් නැත්නම් ජිවන විලාසිතා තේරීම් වල වෙනස්කම් ඇතිවීම ජීවිතය පුරා කෙරෙන දෙයක් නේද? එනම් කලෙකදී “වහළු”, කලෙකදී රහ වෙනවාලු (සහ මේකේ අනෙක් පැත්ත) කියල කියනවනේ. ඔන්න ඕක ‘යහපාලනයට’ විතරක් නොවේ අපේ ජිවිතයටද අදාලයි. පුතා අවුරුදු තුනකට පෙර ජීවිතය දිහා බලපු හැටි, අද වෙනස් වෙලා.

නොගැලපෙන ජිවන විලාසිතා හා සිතුම් පැතුම්. පස්සෙන් එන එක නවත්තගන්න ක්‍රමයක් කියන්න බැරිද? මගේ ජිවිතයට ගන්න දෙයක් නැති මිනිසුන් වෙනුවෙන් මා තත්පරයක්වත් වෙන්කරන්න අකැමැතියි. හැමදේටම සිමා තියෙන්න ඕනා නේ. මෙන්න මේ වගේ අදහස් ඔබට දැනෙන්නේ නැත්ද?

මා නම් මේ කරමින් යන්නේ නොගැලපෙන සිතුම් පැතුම් හා විලාසිතා වලින් වලින් ඉවත් වීමක්. එය කරන්නේ කොහොමද කියා අල්ල ගැනීම පොත් පත් කියවා හෝ වෙන කෙනෙකුගෙන් ඉගෙන ගන්න හරි අමාරුයි. නොහැකි නැහැ. හැබැයි තමන්ටම තමයි මොනවාද හලා ගන්නේ, මොනවාද බදා ගන්නේ කියල තීරණය කරන්න හැකි.

ගොඩක් වෙලාවට වන්නේ, අප අකමැති ජිවන විලාසිතා වල බලෙන් ගැලිලා ඉන්න එක. මොකද සමාජයෙන්, යහළු මිත්‍ර, නෑදෑයන් ගෙන් එන තෙරපුම නිසා. මෙතැනදී අපේ සංස්කෘතික හා ආගමික බැඳීම් මුල් තැනක් ගන්නවා. මේවායින් ගැලවෙන්නේ කොහොමද? මා කියන්නේ අවශ්‍යතාවය තියන විටදී. ගොඩක් පිරිසක් මේවායේ ඇලී ඉන්නේ තමන්ගේ කැමැත්තෙන්ම නේ. එයාල ගැන නොවේ මා මේ කියන්නේ.

මේවායින් ගැලවෙන එක ලෙහෙසි කරුණක් නොවේ. මොකද අප ජිවත් විය යුතු වන්නේ මේ කියන සමාජයේම නිසා. අපට පුංචි දේවල් වලින් පටන් ගන්න හැකි නේද? එනම් වෙන කෙනෙකුට බල නොපාන තේරීම් වලින් අයින් වීමට පටන් ගැනීම. ගුඨ විශ්වාස වලින් ඉවත් වීම මෙයින් පළමුවට එන දෙයක්.

මේ සියල්ලටම පෙර අප කළ යුතු දෙයක් තියනවා. එනම් යම් ආර්ථික ස්වාධීනත්වයක් ගොඩ නගා ගැනීම. මෙය නොකර වෙන කිසිවක් ආරම්භ කරන්න බැහැ නේද? ඒ අතින් ඔබ යන ගමන හරි. හැබැයි ඉතිං, අපට හමුවන සියලුම මිනිසුන් කෙරෙහි අවිශ්වාස කර ඈත් කරන එකත් හොඳ දෙයක් නොවේ.

    අද සම්පාදකගේ තේරීම
    තාත්තලාගේ ගීත පුතාලා ගයන විට කැමැත්තක් දනවන්නේ නැහැ. විශේෂයෙන් මිල්ටන් මල්ලවාරච්චිගේ පුතාගේ ගීත. ඒවා මෙලෝ රහක් නැහැ. නමුත් අනික් මිල්ටන්ගේ පුතා, ප්‍රියංකර ගේ මේ වර්ෂන් එක නරක නැහැ. මුල් ගීතය දෙවනුව තියනවා. හින්දි තනු වලට පිරෙව්වත්, ස්වතන්ත්‍ර ගීත ලියුවත් කරුණාරත්න අබේසේකර මගේ ප්‍රියතම සිංහල ගීත රචකයෙක්.

    https://youtu.be/VkuOLQb7M3s

Advertisements

7 Comments

Filed under Lifestyle, Opinion

7 responses to “Diaries of wimpy kids! මිනිසුන් පිය සටහන් තැබුවත්, නොබිඳෙයි කිරණ සඳේ?

  1. මල්ලවආරච්චි පුතාගේ ගීතගායනයනං මේලෝකේ රහක් නැ තමා

    • ඔව් ලක්මාල්, මේ පුතාල එකෙක්වත් මෙලෝ රහක් නැහැ. රනිල් ඒ අතරින් අපතම ගායකයා. අඩුම ගානේ තාත්තගේ සිංදු ටික නොකා, අලුතෙන් හදල ඒවා කාපන්කෝ. මේ කිසිම පුතෙකුට, එයාලගේ තාත්තලාගේ දක්ෂ කමින් කාලක්වත් නැහැ.
      ප්‍රියංකර වුණත්, දැන් ටිකක් හොඳ වුණාට , ඉස්සර මෙලෝ රහක් නැහැ. 🙂

  2. Pingback: Diaries of wimpy kids! මිනිසුන් පිය සටහන් තැබුවත්, නොබිඳෙයි කිරණ සඳේ? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. ‘අපේ සිතුම් පැතුම් නැත්නම් ජිවන විලාසිතා තේරීම් වල වෙනස්කම් ඇතිවීම ජීවිතය පුරා කෙරෙන දෙයක්.’ මේක ගැන මම සම්පූර්ණයෙන්ම එකඟයි. අපිව භෞතිකව හැදිලා තියෙන සෛල වගේ කුඩා ඒකක වුණත් ‘අපේ’ ජීවිත කාලය තුල සෑහෙන වාර ගණනක් මැරිලා ඒ වෙනුවට අළුත් ඒවා හැදෙනවනේ. අඩුගානේ භෞතිකවවත් නැති නිශ්චිත පුද්ගලයෙක්ට නිශ්චිත සිතුම් පැතුම්, ජිවන විලාසිතා වගේම ප්‍රතිපත්තිත් තියෙන්න විදිහක් නෑ වගේම අවශ්‍යත් නැහැ. ‘මගේ ජිවිතයට ගන්න දෙයක් නැති මිනිසුන්’ දැන් මට මේ විදිහට හිතුනට මගේ ඒ සිතුවිල්ල හරිද කියලා මම කොහොමද හරියටම දන්නේ? ඒකෙම අනිත් පැත්ත? විශ්වාසය ගැනත් මට තියෙන්නේ ඔය වගේ අදහසක්. මගෙන් ආපසු දෙන්න මුදලක් ගත්තොත් කියපු වෙලාවට අනිවාර්යයෙන්ම ආපසු දෙන්න ඉඩ තියෙන කෙනෙක් මම ගුටි කන්න යන වෙලාවක හිමිහිට මාරු වෙන කෙනෙක් විය හැකියි. ඉරි ගහන එක හරිම අමාරු වැඩක්.

    • ඉකෝ, මේ සටහනේ “මගේම නොවන, මගේ අදහස්” ටිකක් තියනවා. කියවන්නෙකුට ඒවායේ වෙනසක් දකින්නට නොලැබෙන්නේ, එම අදහස් හිමි කෙනා හා මගේ අදහස් වල සමීපත්වය නිසා.

      //‘මගේ ජිවිතයට ගන්න දෙයක් නැති මිනිසුන්’ දැන් මට මේ විදිහට හිතුනට මගේ ඒ සිතුවිල්ල හරිද කියලා මම කොහොමද හරියටම දන්නේ? ඒකෙම අනිත් පැත්ත?//
      මෙය මා වෙන අයුරකින් පැහැදිලි කරන්නම්. සම්බන්දතා ඇතිකර ගැනීම හා සම්බන්දතා stuff up කර ගැනීම නේද අප ජීවිතය පුරාම කරන්නේ. ඔව්, මා ජිවිතයට ගන්න දෙයක් නැති මිනිහෙක් කියල වෙන කෙනෙකු ගැන සිතන විට, ඔහුත් මා ගැනත් ඒ අයුරින්ම සිතන්නට පුළුවන්. ඒ වගේම ගන්න දෙයක් තියනවා යයි සිතන කෙනෙක් වුවත්, මා ගැන ඔහු සිතනු ඇත්තේ මගෙන් ගන්න දෙයක් නැතිය කියල වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම enduring relationship එකක් (ඕනෙම තලයක) ඇති වන්නේ දෙදෙනාගේම කැමැත්ත අනුවනේ. එනම් එක අයකුට පමණක් වුවමනාව තිබුනටම වැඩක් නැහැ.

      ඒ වගේම ප්‍රශ්න ඇති නොවන සම්බන්දතාවයක් කියන්නේ හරි ලිහිල් එකක්. එනම් අර කියන්නේ ඕනේ ….ක් කියල. ඒ කියන්නේ මොක වුවත් දෙපාර්ශවයටම මහා ගානක් නැහැ. ප්‍රශ්න ඇති වන්නේ සම්බන්දතාවය තද නම් හෝ සම්බන්දතාවයකට තද ඕනෙකමක් තියනවා නම් පමණයි.

      ඉස්සර නම් යමක් stuff up කරගත්තහම තියන, ආඩම්බර කම නිසා සමාව ගන්න හෝ reach out වලට යන්නේ නැහැ. දැන් මා එහෙම නැහැ. අර නරියා කළා වගේ, එක පාරක් ඇරුනේ නැතත්, යලිත් ගිහිං දොරට තට්ටු කරනවා. නරියා නම් කපටි කමට නේ. මෙහෙම කපටි නරින්ගෙන් ලෝකය පිරි තියන නිසාම, ඇත්තටම යහපත් චේතනාවෙන් දොරට තට්ටු කළත්, අවිශ්වාසය නිසා අප දොර අරින්නට වෙහෙසක් ගන්නේ නැහැ. හැබැයි ඒ නිසාම අප එකවර අපේ උත්සාහය අත්හරින්න හොඳත් නැහැ. මොකද මගේ ජිවිත අත්දැකීම් කියන්නේ, මට ජිවිතයේ හමුවුණ සමහර අයද එසේ කෙරුවා නම්, මගේ ජීවිතයත් මෙයිට වඩා අමාරු වෙනවා.

      බලන්න කොතරම් කියුවත් එපා කියල, කුකුළා හැමදාම දොර හැරියා. ඒ හින්ද මෝඩයා කියල, කුරුල්ලයි, පූසයි වැඩේ අත්හැර දැම්මද? නැහැ. හැමදාම ගෙදර ඇවිත්, කුකුළා නැති වග දැනගත් විට බේරා ගන්න ගියා.මොකද no matter what, we stick by the people we love. මේ රුසියානු ජනකතා අදත් අපගේ මතකයේ තියෙන්නේ අන්න ඒ නිසාමයි. මේවා කුඩා කළ විතරක් නොවේ අදත්, අපේ කල්පනා ලෝකය පුළුල් කරනවා.

      අප හැමදා කරන වැරදි වලින් ඉගෙන ගන්නවා.

  4. මේක දකියිද දන්නෙ නෑ… ඒත් අළුතෙන් අප්ඩේට් වෙන පෝස්ට් වලට න්න බැ පාස්වර්ඩ් ඉල්ලනව
    මක්කෙයි ඒ

    • නැහැ මල්ලි, ඔයා කියෙවුවත් තේරුමක් නැති සටහනක්. මල්ලිගේ ඊමේල් ලිපිනය මා ගාව තියනවද?