සතොසේ බඩු විකුණූ, අසතුටින් සිටි යුවතිය! Sometimes the thought comes into my heart!


උදෙන්ම නැගිට්ටත් වැඩක් වුණේ නැහැ. වෙන ඉරිදාවල් වගේම කරන්න ගිය කාරිය, මගක් දුරට ගිහි හැරී ආව. උදේ පාන්දරින් අරගත්තු පැනඩෝල් වල පවර් එක අඩුවෙමින් පවතිනා වග මට තේරීම එයට හේතුවයි. අඩුම ගානේ එළවලු ටික හෝ ගන්න හැකි වීම ප්‍රයෝජනවත් දෙයක් වුණා.

එළවලු කඩෙත් පාන්දරම හින්දා එක චෙකවුටයක් විතරයි ඇර තිබුණේ. ටිකක් පෝලිමක්. පෝලිමක් කියුවට හතර-පස් දෙනෙක්. පෝලිම් වලට හුරු නොවී තියන නිසා මේකත් දිගයි වගේ දැනුණා.

ඊයේ එළවලු ගන්න බැරි වුණේ, කඩේ ගියේ සවස හතට විතර නිසා. බඩු ටික කරත්තයක දාගෙන බිල ගෙවන්න එන කොට, එතන තමන්ම බිල ගෙවන ස්වයංක්‍රීය කවුළු විතරයි ඇර තිබුණේ. මෙයාලගේ කෝස්ට්-කටිං වැඩ නිසා, යන්තම හවස් වෙනකොට මිනිසුන්ට පඩි ගෙවන එක අත් හැර දමල, ඒකත්, එනම් බිල ගෙවන එකත් අපටම කියල කර ගන්න තමා හදන්නේ.

කවුරුවත් කෙනෙක් නැත්ද කියල එතන හිටගෙන අධීක්ෂණය කරන ගෑල්ළමයාගෙන් ඇහුවහම, නැහැ මේවා තමයි තියෙන්නේ කියුව විට, මටත් අර යන්ත්‍ර වගේ ස්වයංක්‍රීයව කුණුහරුපයක් කියවුණා. එයට බොරුවට හෝ සමාව ඉල්ලන්න පවා මට මට මතක නැති වුණා. මේක කුම්බලා මාළු, කුම්බලාවගේ ඇඟේම තියල කපනවා වගේ දෙයක්.

මට කෙනෙක්ව දෙන්න කියල ඒ ගමන මා ඉල්ලුවහම මා වෙනුවෙන් චෙකවුටයක් විවුර්ත කෙරුවා. එයට ආපු කාන්තාව දඩබඩ ගාල මගේ බිල හදල, එතනින් පැන්න.

මාත් සිටියේ එතරම් සනීප ගතියකින් නොවේ. ඒ නිසාම තමා කෙනෙක්ව ඉල්ලුවේ. ඒ නැතත් එයාල දැන ගන්න ඕනේ, අපට ඕනේ ආකාරයට බඩු විකුණන්න. කෙනෙක්ව නොදුන්නා නම්, මා බඩු ටිකත් එක්ක ට්‍රොලිය දමා එන්නයි සිතා හිටියේ. ගිය කාලය අපරාදේ තමා.

මේවා එක අතෙකින් පළමු ලෝකයේ ප්‍රශ්න. වෙන ලෝක වල කවුන්ටරයේ ඉන්න සෙනග වැඩි එකත් ප්‍රශ්නයක් වෙන්න හැකියි නේද?

සමහර විට කිරන්න එක්කෙනෙයි, බඩු ටික බෑග් වලට දාන්න එක්කෙනයි, තවත් කෙනෙක් කරගහගෙන යන්නත් ඒවි.

මේ යටගිය දිනෙක සතොසක මට වුන දෙයක්. අද වගේම ඉස්සරත් මා සිතුවේ සියරට දේ සිරි සැපදේ කියල තමා. ටික කලක් ලංකාවේ නොසිට ආපසු ගිහිං සතොසේ තිබුණ හයිලන්ඩ් කිරිපිටි පැකට් ටිකකුත් එක්ක කවුන්ටරේට ආවහම යුවතිය, ඒවා බිලට ඇතුලත් කළා. එතකොට එතන හිටගෙන හිටපු තවත් කෙනෙක්, මහත්තයෝ, ඕවා ලයිට් එව්වා, ෆුල් ක්‍රීම් නොවේ කියල මට කියුවේ යම් හේතුවක් නිසා වෙන්න ඇති.

කවුද ලයිට් බොන්නේ. මා නැති ටිකට වෙළඳ පොලට ආපු දෙයක්. මා එතරම් බැලුවේ නැහැ. ඔන්න මන් දැන් අර යුවතියට, නැහැ මට ඔව්ව අවශ්‍ය නැහැ, ඒවා බිලෙන් අයින් කරන්න කියුවහම, ඇය මගේ ඇඟට කඩන පැන්නා.

ඇයගේ තර්කය වුණේ, දැන් මේවා බිලට ඇතුලත් කර ඉවරයි, ඒ නිසා මා ගෙවිය යුතුයි කියා. මාර කෙළියක්නේ. අවශ්‍ය නැතිය කියන එක අමතක කරමු. දැන් මගේ අතේ සල්ලි නැත්නම්?

මේකේ පැටලුම් ලෙහා ගන්න කඩේ හිටපු මැනේජර් කියන කෙනාව ගෙන්න ගන්න මට සිදු වුණා. මේවා කුඩා කතන්දර. හැබැයි ටිකක් සිතන්න හැකි හා සිතිය යුතු දේවලුත් තමා.

http://lyricstranslate.com/en/kabhi-kabhi-mere-dil-mein-khayal-aata-hai-sometimes-thought-comes-my-heart.html

Advertisements

20 Comments

Filed under Opinion

20 responses to “සතොසේ බඩු විකුණූ, අසතුටින් සිටි යුවතිය! Sometimes the thought comes into my heart!

  1. මාත් හිතාගෙන ඉන්නේ ඔටෝ චෙකවුට්වලට නොයන්නයි.

    • ඔටෝ අපට මොටෝ? ඔව් රසික හැකි හැම විටම ඔටෝ ප්‍රතික්ෂේප කරන්න. තරුණ දරුවනට තියන රැකියා අවස්ථා නැති කරන්නට දායක වන්න එපා!

    • කාර් පාරට ආපු මුල් කාලේ අස්ස කරත්ත කාරයෝ පිකටිං කරා වගේ වෙන්ඩෑ. අස්සයන්ගේ සහ කුදිර කාරයන්ගේ රක්ෂා ආරක්ෂා කර ගැනීමට දැන් වත් කාර් බාර් වර්ජනය කිරීමට කාලය පැමිණ ඇත! කාර් බස් ලොරි කොච්චි භංග වේවා. අස්ස කරත්ත දිනේවා. අස්ස කරත්ත කාරයින්ගේ රැකියා සුරක්ෂිත කරව් !!!!
      (ටොයියන්ගේ ඇඟ පුරාම මොලේ කියන්නේ නිකං යැ )

      • හි හි මහසෝන්!
        මේවා ගැන විවිධ විදිහට සිතන මිනිසුන් අප අතර ඉන්නවා. බඩු ගොඩක් ගත්ත වෙලාවට, මා ඔටෝ කිසිදා යන්නේ නැහැ. ඒ වගේම මා ලාභ වුනත් ඇල්ඩි යන්නෙත් නැහැ. මොකද මා බලාපොරොත්තු වන සේවාව එතන නැති නිසා. එයට මා ගෙවන මිලක් තියනවනේ. අන්න ඒ මිල එයාල අය කරන ගමනුත්, අපටම කියා වැඩෙත් කර ගැනීම මෙතන තියන පරස්පරයයි.

        කාර් ආවහම අපේ ජිවිත පහසු වුණා. මේක කරදරයක් විතරයි. හරිනම් සේවාව අයින් වුන එකට කලින් ගත්තු මිල අඩු වෙන්න ඕනේ. මොකද එය දැන් කර ගන්නේ අපම නිසා.

        • ඔබ සිතන විදිය වැරදියි. ඕස්ට්‍රේලියාණු ආර්ථිකය ඉන්නේ අවපාතයක් අබිමුඛව. සියලුම ව්‍යාපාර වලටත් ඒ ක බලපෑ තිබෙනවා. කීපයක් හැරුණු කොට සාමාන්‍ය ව්‍යාපාර බොහොමයක් තමන්ගේ ඉදිරි 2016 ව්‍යාපාර ලාභ ලැබීම් ප්‍රතිශත අඩුකර දක්වා තිබෙනවා. එමන්ම ඩොලරයේ මිල අඩු වීම නිසා භාණ්ඩ මිල ඉහල යැමත් සිදු වෙනවා. වුල්ස්වර්ත් වගේ ව්‍යාපාරයකට එයට මුහුණ දෙන්න ක්‍රම දෙකක් තිබෙනවා.
          1. ව්‍යාපාරයේ වැය පක්ෂය (සේවක පඩි etc ) එසේම තබාගෙන භාණ්ඩ මිල වැඩි කිරීම
          2. වැය පක්ෂය අඩු කර ( install self checkout , remove redundant staff etc ) භාණ්ඩ මිල එසේම තබා ගැනීම.

          එම නිසා ඔබ වැරදියි. //හරිනම් සේවාව අයින් වුන එකට කලින් ගත්තු මිල අඩු වෙන්න ඕනේ.//
          මෙසේ වෙන්න අවශ්‍ය නැහැ. ආර්ථික අවපාතය හමුවේ මිල වැඩි නොවී තිබීමට උත්සාහ ගැනීමම ප්‍රමාණවත්. එයයි පාරිභෝගිකයාට ලැබෙන සේවය සහ සහනය . තේරුනාද මේ කියපු දේ ??
          ( පිටිං ඔහේ බලල තීන්දු තීරණ ගන්න ටොයියන්ගේ ඇඟ පුරාම මොලේ කියන්නේ නිකං යැ .. 🙂 )

          • දන්නවද එයාලත් මා ඒකීය පාරිභෝගිකයෙක් වීතරයි කියා මාව පන්නා ගන්නේ නැහැ. ට්‍රොලිය තියා පලයන් කියා මට කියන්නේ නැත්තේ ඔවුනට ඒ සේවාව මට දෙන්න හැකි නිසාත්, මාව එළවා දැමීම පාඩු නිසාත්.

            අනික ප්‍රධාන සිල්ලර කඩ දෙකම, අපගේ හවුස් හෝල්ඩ් එක එයාලගේ පාරිභෝගිකයෙක් රඳවා ගැනීමට වෙහෙසක් ගන්නවා කියලත් මා දන්නවා. ඔවුන් දෙගොල්ලන්ම, අප ගන්නේ මොනවාද, කන්නේ කොහොමද, පෙට්රෝල් ගහන්නේ කොහොමද කියන එක මොනිටර් කරන වගත් රහසක් නොවේ.

            ඔවුනගේ රිවොර්ඩ් කාඩ් එක දෙන්නට පෙරම මට රාක්ක මිලෙන් 13% ක වට්ටමක් ලැබුණා. කාඩ් එකට පසු මුළු වටිනා කමින් 33% ක වට්ටමක් ලැබුනා. ඔවුනට එය මට දෙන්න හැකි නිසා නේ දෙන්නේ. කවුන්ටරේ කාන්තාව කියුවේ ගොඩක් හොඳයි නේ, මාත් ඉන්නේ ඔය සිස්ටම් එකේම වුනත්, මට ඕක ලැබුනේ නැහැ කියල.

            කොහොමත් ඔවුන් කරන්නේ වෙළඳා මක් කියාත්, මා කරන්නේ මිලදීගැනීම කියාත් අප දෙගොල්ලන්ම දන්නවනේ.

            ලෝකේ ප්‍රී මීල් නැහැ තමා. මට ඩිමාන්ඩ් {9. Economics. a.the desire to purchase, coupled with the power to do so. b.the quantity of goods that buyers will take at a particular price. (http://dictionary.reference.com/browse/demand)} කරන්න පුළුවන් දේ, මට පුළුවන් වෙලාවේ ගන්නවා. එයින් වෙන කිසිවෙක්ට පාඩුවක් වෙනවා යයි මා සිතන්නේ නැහැ. කවුරුවත් එහෙම දෙන්නෙත් නැහැ.

          • //ඔවුන් දෙගොල්ලන්ම, අප ගන්නේ මොනවාද, කන්නේ කොහොමද, පෙට්රෝල් ගහන්නේ කොහොමද කියන එක මොනිටර් කරන වගත් රහසක් නොවේ//
            ඒකට අනුමැතිය ඔබ දීල තියෙනවනේ. ඔවුන් කරන්නේ ඩොලර් කීපයක් ඔබට දීල ඒ දත්ත ඔබගෙන් ගැනීමට කැමති කර ගැනීම. අපේ ආත නං කියන්නේ … දීල ඒ ගැන කුල කියන්නේ රොඩියෝ කියල … ඔබ මොනිටර් කරනවට කැමති නැත්නම් rewards කාඩ් එක පාවිච්චි කරන්න එපා.. ඉවරනේ

            //ලෝකේ ප්‍රී මීල් නැහැ තමා. මට ඩිමාන්ඩ් කරන්න පුළුවන් දේ, මට පුළුවන් වෙලාවේ ගන්නවා. එයින් වෙන කිසිවෙක්ට පාඩුවක් වෙනවා යයි මා සිතන්නේ නැහැ.//

            ෆ්‍රී මීල් නැහැ කියල ඊට පස්සේ කියනවා ඩිමාන්ඩ් කරලා ගන්නවා කියල. කොචර පරස්පරද කියල බලන්න. උදාහරණයක් විදියට : ඩිමාන්ඩ් කරලා ඔබ එය ගැනීම නිසා වුල්ස්වර්ත් එකට අමතර ස්ටාෆ් කෙනෙක් සේවයේ යොදවන්න වෙනවා ඔබ වගේ ෆසි කස්ටමර්ලට සේවය සපයන්න. ආයතනය පාඩුව දරා ගන්නේ නැහැ. එය නැවත වක්‍රව මිල වැඩි කිරීම් මගින් පාරිභෝගිකයන් මත පටවනවා. ඒ මිල වැඩිවීම ඔබට පමණක් නොවෙයි මටත් අදාලයි. එවිට බැලුවම ඔබගේ ෆසි නස් එකට , කොන්විනියන්ස් එකට පාඩු විඳින්නේ self checkout යන මම. තේරුනාද මට පාඩු වෙන විදිය. එම නිසා ඩිමාන්ඩ් කරන්න ඔබට අයිතියක් තියෙනවා වගේම ඔබට විරුද්ද වෙන්න මටත් අයිතියක් තිබෙනවා.

            කරන්න ඕන හොඳම දේ , ඔබ වගේ ස්ටාෆ් සේර්විස් ගන්න කැමති කස්ටමර් ලා ගෙන් අමතර $1 අයකර ගැනීම. 😉

            • ඉතිං මහසෝන් මට තේරෙන්නේ නැත්තේ ඇයි ඔබට තද වෙන්නේ? මෙතැන හරිම ලෙජිට් (legitimate, http://dictionary.reference.com/browse/legitimate%20?s=t) දෙයක් මාත් කරන්නේ. මා කෙසෙල් හොරකම් කරන්නේ නැහැ. ඔවුන් දන්නවා, නැවත නැවත ඒ කඩයට එන මා, ඇල්ඩි එකට යන කෙනාට වඩා ඔවුනට වැදගත් කියා.

              ඔටෝ බඩු ගන්න අයගෙන් අඩුවෙන් අය කිරීම හෝ කස්ටමර් සර්ව්ස් ඩිමාන්ඩ් කරන මගෙන් වැඩියෙන් අය කිරීම හෝ මගේ තීරණයක් නොවේනේ. 😉

              ඔබගේම පිළිතුරු නැවත කියවා බලන්න, අධිපතිවාදී ස්වරූප යක් තියෙන්නේ කොහෙද කියා.

  2. / මේක කුම්බලා මාළු, කුම්බලාවගේ ඇඟේම තියල කපනවා වගේ දෙයක්. /

    හෙහ්..කවදද බොලේ ඔබතුමා උපමා ප්‍රතිශෝධන සංගමයට බැඳුනෙ? ප්‍රතිශෝධනමත් නෙවෙයි රී-මික්ස් කිව්වනම් වඩාත්ම හරි….

    අපි නම් ඉගෙන ගත්තෙ මෙහෙම උපමා දෙකක් විතරයි…. 🙂

    කුම්බලා මාළු කෑවනං දුක විඳපං බළලෝ.
    ඌරගෙ මාළු ඌරගෙම පිටේ තියල කපනව වගෙ.

    • ඉතිං රවී, සේරම දේවල් රි-මික්ස් කරන කාලේ, අපට හොඳ නැත්ද උපමා රි-මික්ස් කරන්න? 😀

  3. //Sometimes, in my heart a feeling emerges
    That it’s like you have been created just for me.
    Before, you dwelled among the stars somewhere
    And now, you have been called down to the earth just for me//

    ලෙඩේ හොඳටම වැඩිවෙලා. පැනඩෝල් දෙක ගානේ, පැය හතරකට සැරයක් ගන්ට. 😛

    • අන්න එයා මේකට නිතර කොමෙන්ටු දාන කොට ලෙඩේ වැඩිවන්නේ නැත්ද? 😀
      පැනඩෝල් නොවේ, නියුරෆන් වලින් තමා නවතින්න වෙන්නේ! 🙂

  4. Anonymous

    මෙ ස්ව්‍යං සේවා චෙකවුට් ව්ලින් ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවා.මතකද ක්වීන්ස්ලන්ඩ් සුලි සුලඟට පස්සේ කෙසෙල් ඩොලර් දහයටත් වඩා ගනන් ගියා.ඔන්න අපිත් එක්ක වැඩ කරපු ඔසී කොල්ලෙක් කෙසෙල් ගෙඩියක් කනවා ඒ දවස්වල.එතකොට තව එකෙක් කියනවා යකෝ මේකට සල්ලි වැඩිවෙලා වගෙයි මේ කෙසෙල් ගන්නේ මේ දවස්වල කියල.නෑ නෑ මම මේ කෙසෙල් ගත්තෙ ඩොලර් දෙක ගානෙ කියල අනික කියපි.දැන් හැමෝම අහනවා කොහෙන්ද ගත්තෙ කියල.මම ගත්තෙ Safeway එකෙන් කියල උත්තර ලැබුනා.හැමෝම දන්නව ඒ දවස්වල Safeway එකේ කෙසෙල් ඩොලර් 12 ක් විතර.බොරු කියන්න එපා කියල අපි හැමෝම කිව්ව.නෑ මම බොරු කිව්වෙ නෑ මේකයි ක්‍රමයකියල කිව්ව කෙසෙල් ගන්නවා යනව සෙල්ෆ් සර්ව් චෙකවුට් එකට.කෙසෙල් කිරල ගත්තෙ කොමඩු කියල එන්ටර් කලහම ඩොලර් දෙක ගානෙ ගන්න පුලුවක් කියල අපිට පැහැදිලි කරල දුන්න.

    • ඔය වගේ දේවල් කරන්න බැහැනේ! 🙂

      හවසට පාන් ගෙඩියක් ගන්න, වගේ දෙයකදී ඔය වගේ දෙයක් හොඳයි කියන්න හැකියි.

      බඩු ට්‍රොලියක් සමග මේ දෙය ගැන ඔට්ටු වුන කෙනෙක් දන්නව මෙතැන තියන අපහසු තාවය. තාක්ෂනය කියන්නේ ජිවිත පහසු කරන දෙයක් කියලයි මා විශ්වාස කරන්නේ.

      මා වඩාත්ම බලන්නේ, මේ සේවා අයින් කිරීමේ දී, ඒවායේ ඉතිරියෙන් සොච්චමක් හෝ අපටත් පාස් කරනවද කියන එකයි. එහෙම නම් වධ විඳීම සාධාරණියකරණය කරන්න හැකියි.

      දැන් මේ නිදහස් වෙළඳ ලෝකයේ ඕස්ට්‍රේලියාව කෙහෙල් ආනයයට ඉඩ දෙන්නේ නැත්තේ ඇයි?

  5. සතොසෙනම් පහළොස්වන සියවසේ ඉඳලම වැඩ කරලා තියෙන්නේ මහා එපා කරපු මිනිස්සු. ඒකනේ වෑත්තෑවේ හාමුදුරුවොත් ලියල තියෙන්නේ ‘සරා සළෙලු දන සතොසේ- සුරා පාන කරන ලෙසේ’ කියලා. ඒ කාලෙත් ඕවර් ස්ටාෆ් වෙන්න ඇති, ඕවාට වෙලාව තියෙන්නේ. නැත්නම් පාරිභෝගිකයෙක් ලේසියකට එන්නේ නැතුව ඇති!

    සුපර් මාර්කට් සම්බන්ධ පළමුවන ලෝකයේ ප්‍රශ්න ගැන ලියන්න ගියොත් ලිස්ට් එකක් තියෙනවා. ඒවා අමතක කරලා ලංකාවේ සුපර් මාර්කට් වලට ආවොත් මට කිහිප වරක්ම සිදුවුණු දෙයක් තමයි, බඩුවක සඳහන් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වඩා වැඩිපුර අය කිරීම. (ඇත්තටම මේවා අහුවෙන්නේ මගේ අනිත් භාගයට. මමනම් ගොඩක් වෙලාවට ඔහේ කියන ගාණ ගෙවලා එනවා.) දැන් අපි ආදේශක කිහිපයක මිල බලලා අපට සාපේක්ෂව මිලට වැඩිම අගයක් ලබාදෙන භාණ්ඩය කූඩයට දමා ගන්නවා. ගෙවන්න ගියහම පරිගණකයේ තියෙන්නේ වැඩි මිලක්. මේ වැඩේ ‘කභී කභී’ වෙන දෙයක් නෙමෙයි. හිතාමතාම කරනවාද කියලත් හිතෙනවා. මෙවැනි වැරදි පළමුවන ලෝකයේත් අඩු නැතත් වැරැද්ද පෙන්නුවහම ඔවුන් එය පරික්ෂා කරලා නියමිත මිලට බඩුව දෙනවා. ඒත් ලංකාවෙනම් වැරැද්ද කොම්පියුටරේ. ඒ නිසා පාඩුව විඳින්න ඕනෑ පාරිභෝගිකයා. ස්කෑන් කරලා ඉවර නිසා බඩුව නොගෙන ඉන්නත් බැහැ. මැනේජර් ගෙන්නලා අවුල ලිහාගන්න සැහෙන වෙලාවක් ඉන්න වෙනවා.

    • //’සරා සළෙලු දන සතොසේ- සුරා පාන කරන ලෙසේ’//
      මේ කියන්නේ හොඳ මිනිසුනුත් එතන ඉඳල තියනවනේ ඉකෝ? 😀
      අර කාලේ පැය 24 ම ඇරලා තියෙන්න ඇති. ඔය කියන්නේ ගිරාඳුරුකෝට්ටේ වගේ එකක වැඩ කරපු කට්ටිය ගැන වෙන්න ඕනේ.

      ඕව් පළමු ලෝකයේ සුපර්මාර්කට් වල තියන ප්‍රශ්න අමතක කරන්න හැකි, වෙනත් ලෝක වල තියන ප්‍රශ්න සමග සංසන්දනයෙන්. අඩුම ගානේ වැරදීමක් වුනත් මෙහෙ ඇඩ්වර්ටයිස්ඩ් මිලට බඩුව ගන්න හැකියි. කුණු වූ, පලුදු වූ දේවල් නැවත ගිහින් දෙන්න හැකියි.

      කලින් කොමෙන්ටුවක තියනවා වගේ, සමහර දේවල් තාක්ෂණයට එරෙහි වීමක් නොවේ. අප දැනට විඳින අයිතිවාසිකම් වල මෙතනට ඇවිත් තියෙන්නේ, පාරිභෝගිකයන්ගේ අනවරත අරගලයන්ගෙන්. වෙළෙන්දන් මේවා බන්දේසි වල තබා පිළිගන්වා නැහැ.

      මා භාණ්ඩ හා සේවා ලබා ගන්න විට, කැල්කියුලේටර අරන්, එයාලගේ (සමාගම් වල) ලාභ හෝ පාඩු රේට්ටු ගණන් හදන්නේ නැහැ. එයට ඔවුන් මිලියන ගණන් පඩි ගෙවා මිනිසුන්ගේ සේවය ගන්නවනේ. වෙළඳපොලේ තියන තේරීම් හා මගේ අතේ තියන ගාණ අනුව වඩාත් ප්‍රසස්ථ තේරීම් වලට මා යොමු වෙනවා. ඒවා මා වෙනුවෙන්ම විශේෂයෙන් හදපු තේරීම් නොවේ. අනික් අයගෙත් කැමැත්තේ හැටියට මේකමනේ කරන්නේ.

      මට තේරුම් නොයන දේ තමා, එවැනි තේරීමක් ගැන කියන විට, මිනිසුන්ට තද වෙන එක. මෙයාලමයි ලිබරල් මිනිසුන් ලෙස පෙනී සිටීමට උත්සහ කරන්නෙත්. මෙතැනදී පාරිභෝගිකයෙකු හැටියට මට ලොකු බලපෑමක් කරන්න නොහැකි වගත් අප දන්නවනේ.

      ඒ අතින් ලංකාවේ පාරිභෝගිකයන් තවමත් ගොඩක් පසු පසින්. අසාධාරණ දේවල් වුවත්, බහුතරය නිහඬ නම් එය නොර්මල් වෙනවා. මිනිසුන්ගේ ප්‍රතිරෝධය වැඩි නම්, ඒවා වෙනස් කිරීමට බල කෙරෙනවා.

      ලංකාවේ සට සට ගාල හිතින් ගණන් එකතු කරන අයගේ (එළවලු කඩවල) “ටෝටල් එක” පාරිභෝගිකයා අනුව වෙනස් වන හැටි මා නිරීක්ෂණය කර තිබෙනවා.

      ටයි කෝට් දාගෙන ඉන්න මිනිසුන් සිටින සුපර්මාර්කට් වලට මාරු වී තිබුනත්, සේවා නම් ලොකුවට මාරු වී ඇති වගක් මා දුටුවේ නැහැ ඉකෝ!

  6. ඕට්ටේලියාවෙත් පැනඩෝල් බ්‍රෑන්ඩ් එකද තියෙන්නේ පැරසිටමෝල් වලට?

    බිල දැම්මම ගන්න බැරි මොකෝ ඕක බලුපූට්‍ටුවක්යැ?න් ඇත්තෙන්ම සල්ලි මදි නම් මොකද කරන්නේ? ඔක්කොම දාලා එන්න පුලුවන්ද නැතිනම් උඹලව එතන හෑන්ඩ්කෆ් කරනවද?

    • ජෙනරික් පැරසිටමෝල් ද, වෙනත් නම් වලින් එන ඒවාද තියනවා. නමුත් වඩා ජනප්‍රිය වෙළඳ නම පැනඩෝල්.

      එතැනදී මචං ඒ යුවතිය ගේ සිතීමේ අඩුපාඩුකමක් හෝ මගේතෙක්ක ආපු කේන්තියක් පිරිමාහගත්තා හෝ මට අර මට ඕවා ලයිට් එව්වා මහත්තයෝ කියපු කෙනා සමග තිබු තරහක් පිරිමාහගත්ත හෝ මේ සියල්ලේ සංකලනයක් විය හැකියි.

      මේවට (රස්සා වලට) පුරවල තිබුනේ කවුද කියා උඹ දන්නවනේ!

  7. මේව රයිගමලගෙ පළමු ලෝකෙ ප්‍රශ්න. අපිට තියෙන්නෙ කවුන්ටරය ලඟ ඉන්නකොට පෝලිම පනින එවුන් මට්ටු කිරීම ගත්ත බඩු වලට සල්ලි මදිවීම වගේ ප්‍රශ්න.

    //ඔටෝ අපට මොටෝ? ඔව් රසික හැකි හැම විටම ඔටෝ ප්‍රතික්ෂේප කරන්න. තරුණ දරුවනට තියන රැකියා අවස්ථා නැති කරන්නට දායක වන්න එපා!//
    මේකට නං එකඟ නෑ.

    • //මේකට නං එකඟ නෑ//
      Raj, pl. read again: ලෝකේ ප්‍රී මීල් නැහැ තමා. මට ඩිමාන්ඩ් {9. Economics. a.the desire to purchase, coupled with the power to do so. b.the quantity of goods that buyers will take at a particular price. (http://dictionary.reference.com/browse/demand)} කරන්න පුළුවන් දේ, මට පුළුවන් වෙලාවේ ගන්නවා. එයින් වෙන කිසිවෙක්ට පාඩුවක් වෙනවා යයි මා සිතන්නේ නැහැ. කවුරුවත් එහෙම දෙන්නෙත් නැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s