බල්ලන් සහ කොල්ලන් හැදීම! (1)


ලංකාවෙත් දරුවන්ට වඩා, දෙමාපියන්ගේ ඉහ-මොළ රත් වෙන දින ටිකක් තමා මේ. ජීවිතයත්-මරණයත් අතර සටනක් වන උසස් පෙළින් ගොඩ ගියාද? නැත්නම් පහත් පෙළට වැටුණද යන්න කල්පනා කරමින් සිටින දෙමාපියන් දහසක් ඇති.

ඕස්ට්‍රේලියාවේ උසස් පෙළ කරපු දරුවන්ටත් මේ දින වල එයාලගේ තේරීම් වලට වෙච්ච දේ ගැන දැන ගැනීමට ලැබෙමින් පවතිනවා. හැබැයි මා හිතන්නේ, මෙහෙ හැදෙන දරුවෙකුට නම් ඒ විභාගය ජීවිතයත් මරණයත් අතර සටනක් නොවේ කියා.

අප ඉරිදා දවල් කෑමට ගියේ සුදු ජාතික පවුලකගේ නිවසට. මේක නිකම් බාබකිව් ලන්ච් එකක්. බාබකිව් ලන්ච් කියන්නේ ටිකක් ලෙහෙසි දෙයක්. වඩාත් වැදගත් බොන දෙයනේ. සාමාන්‍යයෙන් බාබකිව් හදනකොට අතක පැතලි හැන්දයි, අනෙක් අතේ බියර බෝතලයකුයි තියනවා නම්, වැඩේ ගාණට එනවා.

මේ දෙපොළගේ දරුවන් ලොකුයි. එක අයෙක් විසිහතරයි. අනෙකා 18 යි. දෙදෙනාම පිරිමි දරුවන්. ඔවුන් මේ දිනවල ගෙදර නැහැ. අවුරුදු 24 කෙනත් තාම සම්පුර්ණයෙන් ගෙදරින් ගොස් නැහැ.

මා කලින් ලියා ඇති ගෙදර තියන පරිසරය දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන හැටි. ඒ වගේම අපට තියන ජානමය බලපෑම ගැනත් ලියා ඇති. මේවා සියල්ල බලපාන්නේ එක්තරා රාමුවක. එයින් පිට යන අවස්ථා තියනවා. ඒ අවස්ථා කියන්නේ එකිනෙකට වෙනස් දේවල්.

යලිත් දරුවන්ගේ කතාවට ආවොත්, එයාලගේ වැඩිමහල් දරුවා, උසස් පෙළ ගොඩක් හොඳින් සමත් වුණේ නැහැ. ඔහු ක්‍රීඩා වට වැඩි අවධානයක් යොමු කෙරුවා.උසස් පෙළින් පසුව……

(තව කොටසක් ලබන සතියේ)!

Advertisements

18 Comments

Filed under Lifestyle, Opinion

18 responses to “බල්ලන් සහ කොල්ලන් හැදීම! (1)

  1. මල්මි

    පෙන්වන ලෝකය හා ඇත්ත ලෝකය.

    අපි දන්න ඔට්ටේලියාවක් නැහැ. ලංකාවේ නම් ඒ ලෙවල් කරන්න ගණන් පාස්වෙන්න ඕන්නැති එකත්, ඒ ලෙවල් විෂය ධාරාවට අලුත් විෂයන් එකතු කල එක පාසල් අධ්‍යාපනයේ වෙන්න ඕන මුලිකම හොද දේවල් තුනෙන් දෙකක්. අනික ඔච්චර නාකි වෙනකම් ඉස්කෝලේ යන්න වෙන එක අසාධාරණයි(අනික් රටවලට සාපේක්ෂව)

    පළවෙනි එක නම් සදාකාලික විසදුමක් නෙමෙයි වුනත්, තාවකාලිකව ඒක හොදයි.ලමයි ගනන් ඉන්ග්‍රිසි පාස් නොවෙනවා කියන්නේ ගුරුවරු හා ගුරුවරු හදන අය හා ඊටත් ලොකු අයගේ වැරදි.

    මගේ අදහස නම් ලංකාවේ ඒලෙවල් තිරණාත්මකයි කියන්නේ බයියන්. මේකට මං සම්පුර්ණයෙන්ම විරුද්ධයි. මේක කොළඹට කිරි අපට කැකිරිම තමයි.බයියන්ගේ ළමයි කන්නවත් නැතිව වැරහැලි ඇදන් කැම්පස් වල නාකි වෙනකම් වේලෙද්දි ටොයියන්ගේ ළමයි ඒ ලෙවල් වලින් පසුව පුද්ගලික අංශයේ රස්සාවලට ගන්නවා.මේවා ටොයි ඉස්කෝලවලින්ම සෙට් කර දෙනවා. මේ අයට ආයතනයම උගන්නවා. බයියන් ඉතින් පව් තමා.

    ඊළගට මට තියෙන ලොකුම ප්‍රශ්නය කොහොමද ඔය ඉක්කෝල විභාගවල එක වෙන අය සාමාන්‍යෙයන් ජනාදිපතිගේ /අගැමැතිගේ/අද්‍යාපන ඇමතිගේ ගමේම වෙන්නේ කියලා. සිස්සත්ත ප්‍රතිපල නම් හැමදාම එකම එක එහෙමම වගේ තමයි. ළමයිට ලොක්කා ඉන්න කොට මාර මෝටිවේෂන් එකක් ඇති නේද?

    • මල්මි, ඒ කියන්නේ බංකොලොත්ම බ්ලොග් එක මේක! 😀

      අපි දෙන්න එකතු වෙලා ගහමු පොතක්. දෙපැත්තෙන් පටන්ගෙන මැදදි ඉවරකරන්න. ඒ කියන්නේ එළියේ පිටු දෙකම මුල් පිටු.

      //අපි දන්න ඔට්ටේලියාවක් නැහැ. ලංකාවේ නම් ඒ ලෙවල් කරන්න ගණන් පාස්වෙන්න ඕන්නැති එකත්. // හි හි, මාත් දන්නා ඔට්ටේලියාවකුත් නැහැ. හැබැයි ඔය කතාව හරි මදි නේද?

      //ලමයි ගනන් ඉන්ග්‍රිසි පාස් නොවෙනවා කියන්නේ ගුරුවරු හා ගුරුවරු හදන අය හා ඊටත් ලොකු අයගේ වැරදි.// මේක නම් හරි කතාවක්. එතැන ඉන්න කට්ටිය අතරම ළමයිනුත් ඇතුලත් වෙන්න අවශ්‍යයි.

      අර කලින් කතාවට ගියොත්, එතැනදී කරලා තියෙන්නේ අනවශ්‍ය දරුවන් පිරිසක් රස්තියාදු කිරීම විතර නේද? (ඇත්තමට මෙහෙම කෙරුවය කියන එක මා දන්නේ නැහැ. අප දැන් දුරස්නේ). දැන් බලන්න උස පනින ඉසව්වට, ඔලිම්පික් ලොකු කණ්ඩායමක් අරන් යන්න කියා, පොල්ල පහත දමල ළමයි පන්නවල, විශාල පිරිසක් ගෙන යන්න හැකියි. හැබැයි වැඩක් නැහැනේ. මොකද අන්තිමට එයාලට ඇපත් නැහැ.

      ඔව් මා පිලිගන්නවා, වසර ගණනාවක අධ්‍යාපනයකින් පසුව විශාල පිරිසකට ගණන් වලට සාමාර්ථයක් ගන්න බැරිවීම (ඔබ කියන කලින් ක්‍රයිටිරියා යටතේ) විශාල ප්‍රශ්නයක්. අධ්‍යාපනයේ විශාල අර්බුදයක්. නමුත් “කෝර් සබ්ජෙක්ට්” එකක් වන ගණිතය පාස් කෙරෙන ලකුණු සංඛ්‍යාව පහත දැමීම, හෝ එය අවශ්‍ය නැති විශයයක් කියා නම් කිරීම, නියම ගොන් පාර්ට් එකක්. එහෙම පිරිසක් තව අවුරුදු දෙකක් පාසලේ රස්තියාදු කරවන එක තවත් ගොන් පාර්ට් එකක්.

      එම පිරිස උසස් පෙළ ඔය විෂයයන් ටික තව අවුරුදු දෙකක් කලාය කියල ලොකු සුගතියක් ඇති වෙන්නේ නැහැ. ඒ පිරිසට, අධ්‍යාපනයට ඒ වියදම් කරන මුදල, එම පිරිස සඳහා වෙනස්ව වියදම් කරන්න හැකියි.

      ඔබ ඊළඟට කියන අධ්‍යාපනයේ විවිධාංගිකරණය අන්න එතැනට එනවා. ඇත්තම කියනවා නම්, උසස්පෙළ කරන විශාල පිරිසක් ඔය කරන ඇකඩමික් වලට බර සබ්ජෙක්ට් කරන්න සුදුසු පිරිසක් නොවේ. ඒ කියන්නේ ඔවුන් මැට්ටන් කියන එකත් නොවේ. එම පිරිසේ සිතීමේ කුසලතාවයන් හා අතේ හැකියාවන් (හස්ත කෞශල්‍යය) යන් වෙනස් කියා උපකල්පනය කරන්න පුළුවන්. ඕනෙම සමාජයක එහෙමයි.

      //මගේ අදහස නම් ලංකාවේ ඒලෙවල් තිරණාත්මකයි කියන්නේ බයියන්.// උසස්පෙළ විතරක් නොවේ, ජිවිතයේ හමුවන අනෙක් ඕනෙම තරඟ විභාගයක්, ජීවිතයත් මරණයත් අතර සටන්/තීරණාත්මක කියන්නේ බයියන් තමා. මෙවැනි දේ කියන්නේ, තීරණාත්මක දේවල් වලට ජිවිතයේ මුහුණ නොදුන් ටින් ටින් පිරිස්. මේවා මා කලින් ලියා තියනවා. මෙවැනි අදහස් තමන්ගේ කරේ බැඳපු ගැල් මෙන්, යන යන අතනට අරන් යන පිරිස් ගැනත්, ඔවුන් දරුවන් හදන අයුරුත්, මා නිතර ලියා ඇති.

      ඔබට මේ පිළිතුර ලියු පසු මගේ කතාව ලිවීමේ තේරුමකුත් නැතිව යනවා. නමුත් ඉතිං පටන් ගත්තු එකේ ලියලම දමන්නම්.

      //බයියන්ගේ ළමයි කන්නවත් නැතිව වැරහැලි ඇදන් කැම්පස් වල නාකි වෙනකම් වේලෙද්දි ටොයියන්ගේ ළමයි ඒ ලෙවල් වලින් පසුව පුද්ගලික අංශයේ රස්සාවලට ගන්නවා.// මෙයත් මා කලින් ලියාපු දෙයක්. එහෙම වෙන්නේ මොකද? අපේ රැකියා වෙළඳපොල හරිම කුඩා එකක්. එතැනදී තියන කුඩා රැකියා අවස්ථා ගණනට තමා සේරම පොර කන්නේ. පසුගිය වසර 50 තුල බිහිසුණු කැරලි තුනකට මුහුණ සමාජයක් හැටියට මේ ප්‍රශ්නය තවත් සංකීර්ණයි. එක අතකින් ඒ කැරලි ඇති නොවුනා නම්, සමාජය මෙයට වඩා හොඳ තැනක තියෙන්න ඉඩ තිබුනා වගේම, අකාලයේ විශාල පිරිසක් සමාජයෙන් ඉවත් නොකළා නම්, රැකියා හා අධ්‍යාපන ප්‍රශ්නය අදටත් වඩා උග්‍ර වන්නටත් ඉඩ තිබුනා කියලත් උපකල්පනය කරන්න හැකියි.

      එතැනදී මේ කියන කැම්පස් වලින් එලියට එන පිරිස, ප්‍රමාණවත් අයුරින් දැනුමින් කෙසේ වෙතත් (ඔබත් දන්නවා ඇති වැඩ කරන්න ඉගෙන ගන්නේ වැඩකරන ගමන්. වැඩ කරන්න ඉගෙන ගන්න සුදුසු ආකල්ප වලින් යුතු පුද්ගලයෙකු බිහි කිරීම තමා උසස් අධ්‍යාපනයෙන් වෙන්න ඕනේ) ආකල්ප වලින් සන්නද්ධ නොවීමත් ප්‍රශ්නයක්. මේවා මා ලියන්නේ තනි මිනිසුනට සිතන්නට. මේක දිගින් දිගටම කියවීමට එන පිරිස එන්නේ යම් හේතුවක් නිසානේ.

      මා හිතන්නේ මල්මි, අප වගේ කුඩා රටකට දැනට ඉන්න ජනගහනයම දරන්නට අමාරුයි. දුෂණ/භීෂණ නොමැති තත්වයකදී වුවත්, ඔයින් සෑහෙන පිරිසකට හොඳ ජිවන තත්වයක් උදා කරන්න නම්, තවත් පිරිසක් ඔතැනින් ඉවත් වීමට අවශ්‍යයි.

      මොනවා කියුවත් අප අවට අනෙක් රටවල් හා සැසඳීමේ දී, “සාමාන්‍ය අප” කියන කෙනා අපතම නැහැ. හරි තත්ත්ව යටතේ, ඉගෙන ගන්න හා අනෙක් කුසලතා වලට නිරාවරණය වීමේදී, ලෝකේ කොහේ ගියත් ජාමේ බේරාගෙන ජිවත් වෙන්න හැකි පිරිසක් අපට බිහිකරන්නට හැකියි.

      අන්න ඒකට, අද ඔය තියන අධ්‍යාපන රාමුව හරි යන්නේ නැහැ. මොන්ටිසෝරි පන්තියේම සිට ගෙවා උගන්වන විශාල පිරිසක් ඉන්න සමාජයකට, පාසලින් පසුවත් විධිමත් අධ්‍යාපනය ගෙවා ගැනීමේ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. මේවා මගේ මාතෘකාවෙන් පිටට යන කරුණු නේ. මට වඩා මේවා ඔබ දන්නවා ඇතිනේ. 🙂

      මෙන්න මේකත් මා නොදැන සිටි දෙයක් //ඊළගට මට තියෙන ලොකුම ප්‍රශ්නය කොහොමද ඔය ඉක්කෝල විභාගවල එක වෙන අය සාමාන්‍යෙයන් ජනාදිපතිගේ /අගැමැතිගේ/අද්‍යාපන ඇමතිගේ ගමේම වෙන්නේ කියලා. සිස්සත්ත ප්‍රතිපල නම් හැමදාම එකම එක එහෙමම වගේ තමයි. ළමයිට ලොක්කා ඉන්න කොට මාර මෝටිවේෂන් එකක් ඇති නේද?// වෙන්න ඇති. ඔහොම තමා කුඩා දරුවන්ටත් යම්කිසි මෝටිවේෂන් එකක් ඕනේ. හැම ගමකටම අධ්‍යාපන ඇමති කෙනෙක් පත් කෙරුවොත් වැඩේ හරිනේද? 😀

  2. pra jay

    Read. Waiting for the next installment.

  3. ඇණයා

    රයිගම්
    ඔන්න මේ අවුරුද්දේ ඔට්ටේලියාවේ සෙට්ල්වුන විස්තෘත පවුලක් (එක වහලෙයට සහොදර සහෝදරියන්ගේ පවුල් 3යි) එයාලගේ දරුවෝ 2ක් ලංකාවට එවලා සීයලා ආච්චිලා ගාවට දෙමාපියෝ ගිය ස්කෝලෙටම යන්න, එයාලට ඕනලු එයාලා ලැබූ යහපත් අධ්‍යාපනය ම දරුවන්ටත් දෙන්න. එහෙම කරන බවට හා හෝ ව පහුගිය අවුරුද්දෙම තිබ්බත් මම විශ්වාස කරේ නෑ ඒක සිද්ධවෙයි කියල, ඒ වැඩේ මට නම් මඤ්ඤං , මෙහෙම දේවල් නිතර සිද්ධවෙනව ද අහඹුවක්ද?

    • හිහි ඇනයෝ, අනදර් කියුරියස් කේස් ඔෆ් ……ද? ඔබේ ප්‍රශ්නයට කොහොම පිළිතුරු දෙන්නද? එයින් පසුව මගේ කතාව ලිවිම වැඩක් ඇතිද? මා දැනටම මල්මිට ලියුවා මදිද? ඔන්න ඔය ප්‍රශ්න මා මගෙන්ම අහ ගන්න ගමන් ඔබ‍ට උත්තරයක් දෙන්නම්.

      ඔය කතාව අපටත් ඕපා දුපයක් වශයෙන් අසන්නට ලැබුනේ තුන්වැනි පාර්ශවයක් මගින්. මා කලින් ලියා ඇති, මෙහෙට ඇවිත්, මෙහෙට බනිමින් ඉන්න අය මට මුණගැසී තියනවා, මෙහෙ පාසල් වලට බනින, දරුවන් ලබන අධ්‍යාපනය ගැන සෑහීමකට පත් නොවන පිරිස් ගැන මා කලින් ලියා ඇති.

      මෙවැනි පිරිස් ජිවිතයෙන් බලාපොරොත්තු වැන්නේ කුමක්ද? ඔවුන් සිතන්නේ මොනවාද කියන එක මට ප්‍රශ්නයක් වුවත්, පෙරන්ටින් හෝ ජිවන විලාසිතා පිලිබඳ උපදෙස් දීම මගේ කාරියක් නොවේනේ.

      අන්න ඒ නිසා //එයාලා ලැබූ යහපත් අධ්‍යාපනය // කියන දේ නිර්වචනය කර ගැනීම අනුව, අපේ මුළු ජිවිතයම ගෙවන හැටි රඳා පවතිනවා. මා කලින් ලියා ඇති පරිදි ලංකාවේ මා ලැබූ පාසල් අධ්‍යාපනය නරක එකක් නොවේ. නමුත් මගේ දරුවනට දෙන්න හැකි වූ අධ්‍යාපනය එයිට වඩා ගොඩක් හොඳ එකක්. එය ගැන මා කලින් සම්පුර්ණ සටහනක් ලියා ඇති. සංක්‍රමණික ජිවිතයේ අප අත්කර ගත් හොඳ දේවල් අතර හොඳම එකක් ලෙස මා එය නම් කර ඇති ඒ සටහනේ.

      මේ නිර්වචනය කර ගැනීම් අනුව තමන්ගේ ජීවිතය රඳා පවතිනවා කියන්නේ නිකම් නොවේ. මෙහෙ ඇවිත් මෙහෙට බනිමින් ජිවත් වෙන් පිරිස්, යම් දිනෙක ලංකාවට ඇවිත් ජිවත් වෙන්න ගත්තොත් (මේ යක්කු කිසිදා යන්නේ නැහැ) ආයිත් ලංකාවට බනින්න, පාසල් වලට බනින්න පටන් ගනීවි. ඔය පිරිස මේ ජිවිතයේ කිසිම දාක සතුටින් ඉන්න හැකි පිරිසක් නොවේ. කර්මය ගැන පොඩි විශ්වාසයක් ඈති වන්නේ ඔන්න ඔය වගේ පිරිස් දකින විට. 😉

      //මෙහෙම දේවල් නිතර සිද්ධවෙනව ද අහඹුවක්ද?// මේකට උත්තරය මෙහෙම දෙන්නම්. අහම්බුවක්ම නොවේ. හැබැයි නිතර අහන්නට ලැබෙන්නේ නැහැ. කොතරම් බැන්නත් ආපසු යන පිරිස් අඩුයි. ගිය පිරිස් ගැන මා දන්නවා. ගිහිං ආපසු ආපු අයත් දන්නවා. යන්න යනවා කියමින් ජිවත් වන අයත් ඉන්නවා.

      හැබැයි තමන්ගේ දැරුවන්, තමන්ගෙන් ඈත් කර මේ වගේ යවන පිරිස් හරි දුර්ලභයි. එක අතෙකින් අර දරු දෙදෙනා වාසනාවන්තයි. මේ මගේ ආකල්ප හොඳේ. මේ වගේ අපත දෙමාපියන් ගාව හැදෙනවට වඩා, හොඳ පරිසරයක් අර ආච්චි-සීයා ගාව ලැබේවි (සමහරවිට).

      • ඇණයා

        / එක අතෙකින් අර දරු දෙදෙනා වාසනාවන්තයි. / 🙂

  4. niroucsc

    ලංකාවේ උසස් පෙළ කිරීමෙන් මට ලැබුන එක වාසියක් :
    මොකක් හරි විභාගයක්, සම්මුඛ පරීක්ෂණයක් ගැන ස්ට්‍රෙස් වෙන කොට මට මෙහෙම හිතෙනවා “A\L ලිව්ව නම් මේක මොකද්ද?”
    😀

      • ඕකනේ නිරෝෂි කියන්නේ, අප හිතන අයුරු සමාන වෙන අවස්ථා වැඩිය කියා. මටත් මේ බංකොලොත් බ්ලොග් එක ලිවීමෙන් ඔය වගේ වාසියක් තමා, “අරක ලියනවා නම් මේක මොකද්ද?” කියල හිතීම. 😀

  5. දිගටම ලියන්න අපි මග බලා සිටින්නෙමු

    • හරි ලියන්නම් ගුණේ. වැඩේ තියෙන්නේ ඉහත පුරස්න වලට උත්තර දීල දැන් ලියන්න දෙයක් ඉතිරිව නැති එකයි! 🙂

      • අපේ අධ්‍යාපනයෙ තියන ගැටළු දිහා බලපුවාම ඉහත තියෙන්නෙ සොච්චම් ගැටළු විතරයි. බලන්නකො niroucsc ල වගේ කීප දෙනකුට “A\L ලිව්ව නම් මේක මොකද්ද?” හිතෙන කොට, අච්චර මහන්සිවෙලා A\L ලියා ගන්න බැරි උන කොට මේව කරන්නෙ කොහොමද කියල කී දහසක් ජීවිත ගමන අසාර්ථක කරගන්නව ඇති ද ! ලෝකෙම තියන නරකම විබාගෙ අපේ A/L කියල කවුදෝ කියනව අහල තියනව. මේ නරක නැති කරගන්න හොඳම විදිහ මොකද්ද කියල ඒ අය(කවුදෝ කියන අය) හිතනවා ඇති. ඒ හින්ද ඔබ ලියන දේ වැදගත් වේවි.

        • නිරෝෂිගේ කතාව වැරදියට තේරුම් ගැන එපා ගුණේ. නිරෝෂි ලා උපේ කරපු ක්‍රීම් එක. එයාලටත් එය ජිවිතයටම මතක හිටින විදිහට ස්ට්‍රෙස් වුණා නම්, අපොස උපේ ඔය සබ්ජෙක්ට් වලින් නොකළ යුතු යුතු නමුත් (වෙන මාර්ග නැති නිසා ) //මේව කරන්නෙ කොහොමද කියල// ජීවිතය “අසාර්ථක කර” ගන්න දහසකට සිදුවී තියෙන්නේ ඇයිද කියන එක තමා මෙතන තියන ප්‍රශ්නය. 🙂

          • මගේ කොමෙන්ටුව නිරෝෂිව අනුමත නොකර එයාව වැරදියට තේරුම් ගැනීමක් වගේ පෙනෙනවා නම් ඔබත් නිරෝෂිත් මට සමාව දේවියයි සිතෙනවා. A/L ,O/L වගේම 5 ශිෂ්‍යත්වය යනාදී අපේ විභාග සියල්ලම බරපතල් විවේචන වලට බඳුන්ව පවතිනවා. එයින් දරුවන්ගේ මානසික මිනුම් මට්ටම් නිවැරදිව අනාවරණය නොවන බවට තදබල විවේචන එල්ල වෙනවා. ඇතැම් අධ්‍යාපනඥයන් ලෝකයේ හොඳටම පවත්වන නරකම විභාග තියෙන්නෙ අපේ රටේයයි පවසන අවස්ථාවන් මට හමුව තියනවා. දැනට අපේ විභාග ක්‍රමය පාසල කේන්ද්‍ර කරගත් ඇගයීම් ක්‍රම අත්හදා බලමින් පර්යේෂණ මට්ටමක පවතින්නක් හිතවත

            • //මගේ කොමෙන්ටුව නිරෝෂිව අනුමත නොකර එයාව වැරදියට තේරුම් ගැනීමක් වගේ පෙනෙනවා නම් ඔබත් නිරෝෂිත් මට සමාව දේවියයි සිතෙනවා.// හයියෝ ගුණේ මේක හරිම ෆ්‍රෙන්ඩ්ලි බ්ලොග් එකක්. ඔය වගේ සමාව ගැනීම් අමතක කරන්න. නිරෝෂි කොහොමද මේ ගැන සිතන්නේ කියා මා දන්නේ නැහැ. මා ලියුවේ මගේ අදහස. ඔබ ලියන්නේ ඔබේ අදහස්නේ. එච්චරයි! 🙂

            • niroucsc

              අනේ නෑ වැරදියට තේරුම් ගැනීමක් නෑ 🙂
              // අච්චර මහන්සිවෙලා A\L ලියා ගන්න බැරි උන කොට මේව කරන්නෙ කොහොමද කියල කී දහසක් ජීවිත ගමන අසාර්ථක කරගන්නව ඇති ද //
              ඔයා කියපු දේ තේරුණා. ඒ කියපු දේ ඇත්ත. එකම කාසියේ දෙපැත්ත!

  6. මේ පෝස්ට් එක කියෙවුවට කමෙන්ට් සහ උත්තර කියෙවුවෙ අද..ඔබගේ අලුත් පෝස්ට් එක කියෙවුවට පස්සෙ. අනේ අනිච්චන් මෙහෙමත් කෝලම්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s