Monthly Archives: March 2016

(A) perfect විරාමය(ක්)!


මේ දිනවල කියවන්න ගත්තු එරින් මැනින් ලියපු චායාරූපකරණය ගැන ලියවුන පොතක් පටන් ගන්නේ මෙන්න මේ ඡේදයෙන් (ඇත්තම කියුවොත් එය චායාරූප වලට වඩා වඩා කතන්දරයක් කියනවා).

There is something in all of us that was there from the very beginning – a desire, an interest, a passion that makes us happy. Whether a vocation or avocation, to do what you love everyday seems a luxury, yet  it is possible. Through evaluating your current situation, interests, skills and experience. you may begin to see a pattern emerge that helps guide you in your journey. Making money is fundamental for survival, but so is recognising and clarifying your inspiration- this is what fuels our energy and success in any endeavor.

සල්ලි කියන්නේ ජීවිතය නොවේ කියන සුරාන්ගනා කතා මා බැහැර කර ගොඩක් කල්. මා මෙයිට කලින් කියා ඇති පරිදි සතුට සල්ලි වලට ගන්න බැහැ තමා. නමුත් කිසිවක් සල්ලි නැතුව ගන්න බැහැ. දැන් කියාවි ආදරය, කරුණාව වැනි දේවල් සල්ලි වලට ගන්න බැහැනේ කියා. මේවා අර්ධ සත්‍ය විතරනේ. ඇත්තම කතාව සල්ලි නොමැතිව ජීවිතය ගෙන යන්න නොහැකියි.

එතකොට අර කියන්න වගේ ජීවිතය ගෙන යන්න හැකි තරමට මුදල් සොයන අතරම අප කැමති දෙයකුත් ඒ දේ සඳහා කරන්න හැකිද? මෙය නම් ටිකක් සංකීර්ණ දෙයක්. එරින් කියන්න වගේ රස්සාව හෝ විනෝදාංශය හෝ තමන් කැමති දේ කරන්න හැකිය කියන එක සමහර විට ලඟා කර ගන්න බැරි සුඛෝපභෝගී දෙයක් කියල හිතෙනවා විතරක් නොවේ, ඇත්තටම ඒ වගේ.

ජීවිතය ගලා යන විට, මදකට නැවතී සිතන්න අප ගොඩක් දෙනෙකුට වෙලාවක් එන්නේ නැහැ. මොකද එහෙම නැවතීමක් නැහැ. එහෙම වෙලාවක් ආවොත් එය වෙන වැඩක් කරන්න බැරි ගාණට ආවට පස්සේ. ඒ නිසා තමා එරීන් යෝජනා කරන්නේ තමන්ගේ වර්තමානය ගැන පොඩි තක්සේරුවක් කරන්නය කියා. ප්‍රයෝගික තත්ව යටතේ මෙයත් ඔය කියන තරම් ලෙහෙසි දෙයක් නොවන වග මා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.

රස්සාව හා විනෝදාංශ විතරක් නොවේ තමන් ඉගෙන ගැනීමට තෝරා ගන්න දේවල්ද ඇත්තටම තමන් ආසා කරන, කැමැත්තෙන් කරන්න හැකි හා තමන්ට යම් හැකියාවක් උරුම වූ දේවලින් තෝරා ගන්න හැකි නම්, එය ජිවිතයට වඩාත් සතුටක් එකතු කරනු ඇති.

දැනට සති කිහිපයකට කලින් අපට වුල්වර්ත් සුපර්මාකටයේ රාක්ක පුරවමින් හිටපු කෙනෙක්, අපේ කට හඬ ඇසී ආයුබෝවන් කියුව. නැවතී කතා කරපුවහම, ලංකාවෙන් ආපු අපේම කෙනක්. අපේ විස්තර කිසිවක් ඔහු ඇහුවේ නැත්තේ මොකද කියා මා අනුමානයෙන් සිතුවත් ඔබට කියන්නේ නැහැ. හැබැයි වක්කඩ කැඩුව වගේ ඔහුගේ විස්තර කියාගෙන ගියා.

ඔහු කඩේ මැනේජර්ම නොවුනත් ඒ වගේ කියුව. අලුත් ගෙදරක් ගත්තේ (ටිකක් පොෂ් ඒරිය එකකින්) මේ ළඟදී කියලත් කියුව. ඔය ඒ කෙටි කාලය තුල කියපු කරුණු දෙකක් විතරයි. හැබැයි කතාව අවසාන කෙරුවේ, අපෝ මේ ගෙවන ජීවිතය කිසි වැඩක් නැහැ. අපිට හොඳට සල්ලි එන බිස්නස් ලංකාවේ තියනවා. හරියටම තව අවුරුදු 15 කින් පසු ලංකාවට යනවා කියල.

මෙවැනි ජිවිත ගැන තමා එරින් කියන්නේ නැවතී පොඩ්ඩක් හිතන්න කියා. දැන් අර කෙනාව මේ තැනට කවුරුන් හෝ බලෙන් ඇද දැමුවද? තමන් කැමති හොඳ දේවල් කරන්න හැකි කොට, අකමැති දේවල් (රස්සා හා පරස්සා) කරමින් දුක් විඳින්නේ ඇයි?

ඇත්තටම අප ගොඩ දෙනාට සමහර විට වන්නේ මෙහි අනෙක් පැත්තනේ. ඇත්තටම වෙන විකල්ප නැති නිසා අකමැති වුවත් සමහර දේවල් වල ඇලිල ඉන්නවා. මොකද ඇත්තටම වෙන කරන්නට දෙයක් නැහැ. හැබැයි ඉතින් යම් දීර්ග කාලීන උත්සහයක් දැමුවොත් මේකත් වෙනස් කර ගන්න හැකි තත්වයක්.

අද මා ඇත්තටම ටිකක් කලින් නිදා ගන්න දිනයක්. කලින් කියුවේ දොළහ වෙන්න පෙර හෝ නිදා ගන්න උත්සහ කරනවා. මොකද හෙට උදේ 5.30ට නැගිටිනවා. ඒ 6.15 ට තියන පන්තියකට යන්න. දැන් උදේ පහමාර කියන්නේ හොඳටම කළුවරයි. මෙයිට මාස 2 කට පමණ පෙර මේ වෙලාවට හොඳට එලිය වැටී අවසන්. කළුවර විතරක් නොවේ, සීතලත් තියනවනේ. මොනවා වුනත් ආසාවෙන් කරන දෙයක් නිසා අනෙක් දේවල් නිසා (කළුවර හා සීතල වැනි) නොනැගිට ඉන්නේ නැහැ.

ජිවිතයේ ගොඩක් දේවල් මෙහෙමයි. අපට ඇත්තටම ඕනේ දෙයක් තියනවා නම්, අනෙක් දේවල් නිසා එය නොකරනවා කියන්නේ, ඇත්තටම ඒ දෙය අපට එතරම් ඕනේ නැතිය කියන එක.

මේ මාසය හෙටින් අවසන්. එක දිගට ලියුව මේ සටහන් වලටත් යම් විරාමයක් තියන්න සුදුසුම කාලය මෙය යයි මා සිතනවා.

22 Comments

Filed under Lifestyle, Opinion