කටුව නොබිඳ ඔම්ලට් හැදීම!


මානවිකා ලියපු ඔම්ලට් සටහන නිසා මෙය ලියන්න ගත්තේ. මගේ සරසවි දිවියත් කාණ්ඩ දෙකකට වෙන් කරන්න හැකියි. පළමු කාණ්ඩය තමා අන්ඩර් ග්‍රැජුවෙට් අවධිය. ඕවර් ග්‍රැජුවෙට් අවධිය ගැන කියන්න දේවල් තිබුණත්  දැනට බැහැ.  මොකද ඒවා  පවුලේ කතා නිසා .

මා ඉවීම ඉගෙන ගත්තේ අර අන්ඩර් ග්‍රැජුවෙට් අවධියේදී. ඉවීම කෙසේ වෙතත් කෑම සාමූහික කටයුත්තක් නොවෙනවා නම්, ඉවීම නිකම් කම්මැලි කටයුත්තක් වෙනවා. මේක මා මුලින්ම අත් දුටුවේ සෝවියට් දේශයේදී. පිරිමි ළමයින් දෙන්නෙක් ඉයුව අපේ කාමරේට කන්න සෙට් වුන තවත් පිරිස් හිටියා.

ඉන් පසු තවත් කාලයකදී මා වෙනත් කාමර වලට ගිහිං උයලත් තියනවා. හැබැයි ඒ පිරිමි ළමයින්ගේ. සමහරුන් කරවල උම්බලකඩ වගේ දේවල් ලංකාවෙන් අරන් ඇවිත් තිබුනත්, උයන්න දන්නෙත් නැහැ, ඉගෙන ගන්න ඕනෙත් නැහැ. එවැනි අවස්ථාවල ඉවීම හා කට්ටිය සමග කෑම විතරක් නොවේ, එම කෑම  අනික් කට්ටිය එන්ජෝයි කරන එක දැකීම සිතට සතුටක් දැනවූවා.

පසු කලකදී  මා නිරීක්ෂණය කරපු තව දෙයක් තමා, මුලදී අප වගේ පිරිස් “Husband Material” කියල නොසිතූ, වෙනත් පිරිස්, ඇත්තටම ඔවුන් “වන්දනාමාන” කරපු අය කොයි වගේද කියා තේරුම් ගැනීම. මෙය මා ලියන්නේ කිසිම පක්ෂග්‍රාහී හැඟීමකින් නොවේ. අප කවුරුත් පොත ගැන පිට කවරයෙන් නිශ්චය කරනවා. මා වැඩිහිටි ජිවිතයේ අනුන්ට අවශ්‍ය පරිදි ( ඒ කියන්නේ ඔවුන් මොනවා සිතාවිද කියා ලතැවෙන්නේ නැතුව ජිවත් වීමට) ජීවත්  නොවීමට වග බලා ගන්න උත්සහ කර තියනවා.

මේ ගැන මා යලිත් කල්පනා කෙරුවේ පසුගිය නිවාඩුවේදී.  එකල අපත් සමග හිටිය  පිරිමි යහළුවන් සියල්ලම පාහේ දැනට විවාහ වී සිටියත්, තනිකඩ ජිවිත ගත කරන ගැහැණු යහළුවන් කීප දෙනෙකු ගැන දැන ගන්නට ලැබුණා.  මා කලින් ලියපු සටහනක ඇති පරිදි නූතන ලෝකයේ THE MAN DEFICIT කියා දෙයක් තියනවද?

ඒ ගැන මගේ අදහස මේ සටහනේ ලියන්නේ නැහැ. හැබැයි අප හැමෝටම දිවියේ විවිධ අවස්ථාවල අර වින්ඩො(ව්) ඔෆ් ඔපර්චුනිටි කියන දෙය ලැබෙනවා. එයින් ප්‍රයෝජනයක් ගන්න නොහැකි වුවහොත් යලි කිසිදා එම අවස්ථාවට යලි යන්න බැහැ. පෞද්ගලික ජිවිතයේ අපට ලැබෙන මේ වගේ අවස්ථා පමණක් නොවේ, දේශපාලන ව්‍යාපාර පවා එවැනි අවස්ථා මග හරිනවා.

කලින් සටහනේ හෙන්රිගේ ප්‍රතිචාරය ට අදාළ හා මගේ ඒ සටහනේ දිගුවක් ලෙස යමක් ලියන්න මට අවශ්‍යයි.  ඉස්සර වගේ සටහන් මා නිතර ලියන්න බලාපොරොත්තුවක් නොමැති වුවත්, එය හැකි වුණොත්  ඊළඟට ලියන්න උත්සහ කරන්නම්.

පලි

ඔබට වටහා ගන්න හැකි පරිදි මේ වගේ බ්ලොගයක්  ලිවීමේදී සීමා  පනවා ගන්න ඕනේ වීම ස්වභාවිකයි.  ඒ කියන්නේ ලියන දේවල් හැමටම කියවීමට සැලස්විමේදී පරිස්සම් වෙන්න ඕනේ වීම.  මෙය මගේ සතුට පමණක් නොවේ, ඔබේද සතුටයි.  අසතුටින් කියවන පිරිස් (එනම් මගේ සටහන් එයාල අකමැති පතෝල හොදි වගේ කියුව පිරිස්) මා කලින්ම “එලෙව්වේ” ඒ නිසා.  ඒ කෙසේ වුවත් ලිවීම  හා ලියන දේවල් කියවීමට හැකි වීම අතර පරතරය අඩු කර ගන්න අනාගතයේදී මට හැකි වේවි යයි සිතනවා.

අතීතය හා වර්තමානය ගැලපීම ලෙහෙසි දෙයක් නොවේ. විශේෂයෙන් තෝරා නොගත් පිරිසකට ලියන විට. රසික කියා ඇති පරිදි මෙහි නොලියා ඇති කොටස නිසා ඔම්ලට් එකක් ඇත්තටම නැහැ.

Advertisements

20 Comments

Filed under Anniversary, Opinion

20 responses to “කටුව නොබිඳ ඔම්ලට් හැදීම!

  1. Pingback: කටුව නොබිඳ ඔම්ලට් හැදීම! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මේ ඔම්ලට් එක මෙලෝ රහක් නැත. බිත්තරය තවම බඩේ වගෙයි.

    • අපට අයියා, කෝච්චි ගමන් නැහැනේ. ඉතිං කටුව නොකඩ තමා හදන්නේ. 😀

  3. Pra Jay

    Read.
    එලවයිද?

    • උදෘත පාඨ දුටුවාද? එළවන්නට නොහැකි වග දන්නවනේ ප්‍රා. මේවා නිදහස් අවකාශ.

  4. අහ්, now this topic looks interesting 😀
    මේ ගැන අවිවාහක, විවාහ වෙන්න අදහසකුත් නැති ගැහැණු ළමයෙක් ගේ අතින් ලියවුනු දිග කොමෙන්ටුවක් බලාපොරොත්තු වන්න.

    ඔබේ ලින්කුව කියවල, රිසර්ච් එකක් කරල, ටිකක් කල්පනා කරල ලියන්න ඕන සංවේදී මාතෘකාවක් නිසා හෙමින් ලියන්නම්. මගේ ඔම්ලට් කතාව ගැන දිගින් දිගට හිතා බැලුවාට තුති 🙂

    • //මේ ගැන අවිවාහක, විවාහ වෙන්න අදහසකුත් නැති ගැහැණු ළමයෙක් ගේ අතින් ලියවුනු දිග කොමෙන්ටුවක් බලාපොරොත්තු වන්න.// එවැනි කොමෙන්ටුවක් දමන පින්වතියක් සිටි නම් මා ඇයට ගොඩක් ස්තුති කරනවා. මොකද මට ලියන්න බැරි වුනාද දෙය එයා ලියන්න පුළුවන් නිසා.

      මානවි, විවාහය, අවිවාහක බව, එකට ජිවත් වීම, ගෙවල් දෙක තුනක එකවර ජිවත් වීම, එක ගෙදර සහකරුවන් හෝ කාරියන් එකේ අයෙකුට වැඩි ගණනක් සමග ජිවත් වීම (විවාහය ලියා පදිංචිය නොවේ) පූර්ණව පෞද්ගලික දෙයක් කියා මා විශ්වාස කරනවා.

      ලඟදි මා බ්‍රිතාන්‍යයේ polygamy ගැන අපූරු වාර්තාමය වැඩසටහනක් නැරඹුවා. අප ආදරය කියා එක කෝවකට දමල හිතන දේ වෙනත් මාන වලින් ද දකින්න හැකි වග ඒ මිනිසුන්ගේ කතා අහපුවම තේරුම් යනවා. මේවත් හැබැයි බලෙන් ආරෝපණය කර ගන්න බැහැ.

      මෑත දශක කිහිපය තුල මිනිස් පරිණාමයේ සිදුවුණ (ඇත්තටම සිදු නොවුන) අතාර්කික කරුණු දෙකක් තියනවා. ගොඩක් තියනවා. මා දෙකක් තෝරා ගන්නම්. මා මිනිස් පරිණාමය කියා හඳුන් වන්නේ අපේ පොදු සමාජ-ආර්ථික-සංස්කෘතික වෙනස් වීම්.

      එකක් තමා වෛද්‍ය විද්‍යාවේ හා අනෙකුත් දියුණු වීම් නිසා මිනිස් ආයුකාලය (lifespan) කියන දෙය එක දිගට වැඩිවී තිබුණත්, එයට සමානුපාතිකව සෞඛ්‍යමත් ආයුකාලය (healthspan) වැඩි නොවී තිබීම. මෙය බොහෝ විට වර්තමාන දිවියට අනුකුලව අපගේ ජිවන විලාසිතා වල වෙනස්කම් ඇති කර ගැනීමට අසමත් වීම නිසා මුලිකව පැන නැගුන පුරස්නයක්. අද lifestyle as medicine කියන සංකල්පය ඉදිරියට එමින් තියෙන්නේ ඒ නිසා. මේ ප්‍රශ්නය බටහිර වඩාත්, දැන් දැන් අනික් රටවලත් තියන එකක්.

      අනික නම් වර්තමානයේ පිරිමි පක්ෂයේ ආකල්ප බොහෝ විට මෙයට අවුරුදු 100-200කට හෝ එයිටත් එපිට පැවතී එව්වම වීම. ගැහැණු-පිරිමි යනු අපට උපතෙන් හිමි කර දුන් තත්වයක් මිස, එයින් කෙනෙකු අනෙකට වඩා වෙනස් වන්නේ නැති වග තේරුම් ගැනීමට බොහෝ දෙනා අසමත්. මෙතැනදී විශේෂයෙන් පසුගිය දශක කිහිපය තුලදී දියුණු වෙමින් පවතින රටවල අධ්‍යාපනය ලැබීමේ හැකියාව පුළුල් වීම නිසා, කාන්තාවන් ඉදිරියට (ආකල්ප, අධ්‍යාපන හා රැකියා ක්ෂේත්‍ර වල) පැමිණීම හා සමගාමිව පිරිමින්ගේ ආකල්ප වල වෙනසක් නොවීම…. ඉතිරිය පසුව.

      පසුව…
      ඕක ලියන්න ගත්තට අද මව් වරුන්ගේ දිනය නිසා පුතා, අම්මව සිනමා පටයක් බලන්න එක්ක යන්න ඕනෙය කියුව. අප සාමාන්‍යයෙන් සිනමා පට බලන්න යන්නේ පුතාලා කැමති ඒවාට. අද වෙනසක් කර බිරිඳ කැමති එකකට එක්ක යමු කියුව. ගැරී මාර්ෂල් ගේ මදර්ස් ඩේ කියන සැහැල්ලු විනෝදාත්මක මෙන්ම අපේ බැඳීම් ගැන කියවෙන සිනමා පටය බලන්න ගියා. ඔබත් හැකි නම් බලන්න.

      කලින් කතාවට යලි ගියොත්, (සමහරවිට ගෘහ ආර්ථිකයට 50% ක් හෝ එයිට වැඩිය දායකත්වයක් සපයන අතරේ) ගැහැණිය කියන්නේ බත්තම්බා දීම ඇතුළු ගෙදර දොර වැඩකරන හා තමන්ට අවශ්‍ය වෙලාවට ලිංගික අවශ්‍යතා සපයන මෙවලමක් වග සිතන පිරිමින් මේ 2016 දීත් විරල නැහැනේ.

      මා ගැහැනියක් වූවා නම් මොනවා කරාවිද දන්නේ නැහැ. නමුත් සහකරුවෙකු/කාරියක සමග ජීවිතය ගත කිරීම හෝ තනිව ජීවිතය ගත කිරීම අපගේ පෞද්ගලික තේරීමක්. බැඳීමකට යනවා නම්, මනුෂ්‍යකම විතරයි ප්‍රධාන බැඳීම් සාධකය විය යුත්තේ.

      මම අර දිග පිළිතුර බලා සිටින වගත් මතක් කර මෙය අවසන් කරමි. 🙂

      • හරි. අද ගෙදර ආවේ, නිදියන්න කලින් මෙය ඉවර කරන්නට. නමුත් නිවස බෙදා ගන්නා මිතුරිය සමග සල්ලාපය අවසන් වෙලා, වැඩේ පටන් ගන්න පරක්කු උනා.

        ප්රිලිමිනරි සර්වේ එක ඉවරයි. ඒ කියන්නේ ලිපිය නැවත කිහිප වරක් කියෙව්වා. ලිංකුවත් කියවල, ඔබේ කලින් ලිපියත් යලි කියෙව්වා. නමුත් කටුව නොබිඳ ඔම්ලට් හැදීම කියන මාතෘකාව තේරුම් ගියා මදි. Anyway, this is how I feel..

        මම විවාහය පිළිබඳව ශ්‍රී ලාංකිකයින් සමග කතා කිරීමට අකමැතියි. බොහොම කැමැත්තෙන් මේ අදහසක් ඉදිරිපත් කරන්නේ ඔබ සමග, පළමු වතාවට. මේ බ්ලොග් එක මගේ බ්ලොග් එක නොවන නිසා, මම බොහොම සුවපහසුවෙන් මෙය ලියනව.

        මුලින්ම, මම කිසිදා විවාහ නොවෙන බවට දැඩි තීරණයක ඉන්නා අයෙකු නොවෙයි. නමුත්, කුමන හේතුවක් නිසා හෝ අවිවාහකව ඉන්නට සිදු උනොත්, මගේ වැඩ කටයුතු කරගෙන, සතුටින් ජීවත් වීමට මට හැකියි. විවාහය ගැන ලොකු අවශ්‍යතාවයක් තවම නැති නිසාද මන්ද, ජීවිතය එක්ව ගත කරන්නට කෙනෙකු තෝරාගැනීම කියන විෂයේදී, කුමන හෝ හේතුවක් නිසා මම ටිකක් picky. ඒ මම තනියම ඉන්න කැමති නිසාද, හදිස්සියේ විවාහ වී නිවී සැනසිල්ලේ පසුතැවෙන්නට අකමැති නිසාද කියන්න මම දන්නේ නැහැ. එහෙම හිතෙන්නේ, මම depressed නිසාද කියලත් මම කල්පනා කරනව. හිතාගන්නට බැහැ.

        ගැහැණු ළමුන්, තමන් තරමටම උගත් පිරිමි ළමුන්ට කැමතියි තමයි. නමුත්, ඔබේ ලිපියේ ඔබ සඳහන් කළා නේ good husband materials ගැන? ඇත්තටම ඉහල අද්‍යාපනය ලබන පිරිමි ළමුන් අතරින් good husband materials හොයාගන්න අමාරුයි. ඔවුන් බුද්ධිමත්, සහ උගත්. නමුත් average තරුණියකගේ ඇසින් බලද්දී, හොඳ සැමියෙකු හෝ පියෙකු වීමට නම් ඔහු උගත් හා බුද්ධිමත් වෙලා මදි. අවට මිනිසුන්, නෑදෑයින් සමග මිත්‍රශීලී වීම, සමාජය ගැන දැනුම, පොඩි පොඩි වැඩ (ඩ්‍රයිවින්, ගෙදර පොඩි අලුත්වැඩියාවන්, වාහනයේ පොඩි නඩත්තු) කිරීම, ස්වාධීන වීම, ගැහැණු ළමයින් බලාපොරොත්තු වෙනව. නමුත් උගත් හා බුද්ධිමත් වූ පමණින්, හැමෝම good husband materials වෙන්නේ නැහැ. එතනදී අර Man deficit ගැන ලිංකුවේ සඳහන් පරිදි, වඩා හොඳ කෙනා වටා ගොඩක් අය එකතුවීම නිසා ඔහු සෙල්ලක්කාර වීම හා ගැහැණු ළමයින් සිත් තැවුලට පත්වීම සිදුවිය හැකියි.

        ඊළඟට ඔබේ window of opportunity ගැන. මෙතනදී, වෙනත් අයෙකුගේ ජීවිතයේ window of opportunity එකක් ලෙස අප දකින දේ, ඇත්තටම ඒ කෙනාට එහෙම නොවේ වෙන්න පුළුවන්. පොඩි කතා දෙකක් කියන්නම්.

        1.
        වරක් මගේ මිතුරෙක්, මගේ මිතුරියකට විවාහ යෝජනාවක් කළා. ඒක ප්‍රතික්ෂේප කරපු මිතුරිය වෙනත් සම්බන්ධතාවක් ඇතිකර ගත්තත්, එය හරි ගියේ නැහැ. ඇය රැවටීමට ලක් වුනා. පසුව මගේ මිතුරියට හිතුනා ඇය කලින් යෝජනාව පිළිගත්තා නම් සිත් තැවුල් විඳින්නට වෙන්නේ නැහැ නේද කියා. ඇය මගෙන් උදව් පතා, පළමු යෝජනාව කරපු මිතුරා සමග යළි කතාබහ කරන්නට පටන් ගත්ත. ඔවුන් පෙම්වතුන් උනා.නමුත් ඇත්තටම ඔවුන් ගැලපුනේ නැහැ. සැක කිරීම්, දෙදෙනාට දෙදෙනා නින්දා කරගැනීම්, සමග ඔවුන් වෙන් වුනා. දැන් ඔවුන් ඔවුන්ට පමණක් නොවේ, ඔවුන් මිතුරන් ලෙස එක් කල මටවත් කැමති නැහැ. අපි ඇත්තටම අතීතයේ සිදු වූ දෙයක් හෝ ගත් තීරණයක් (window of opportunity) ගැන හැම තිස්සෙම හිතන්නේ යහපත් ප්‍රතිපලයක් ලබාදීමට තිබුණු දෙයක් අපි විසින් අහිමි කරගත් විදියට. නමුත්, අපි ප්‍රතික්ෂේප කලේ, අයහපත් දෙයක් විය හැකියි නේද? බෝම්බයක් සහිත දුම්රියක් නූලෙන් මගහැරුණු අය, ටයිටැනික් නැවට නගින්නට ප්‍රමාද වූ අය වගේ..

        2.
        මේ දිනවල, එක් තරුණයෙක් මම ගැන උනන්දුයි. ඔහු ඉතා හොඳ ගතිගුණ සහිත අයෙක් නිසා, මෙහි ගොඩක් අය මාව ඒ වෙතට උනන්දු කරවන්නේ “එයා හරි හොඳයි, එයා වගේ කෙනෙක් ආයේ හොයන්න බැහැ” කියල. එතකොට, අනිත් අයගේ ඇසින් බැලුවම මම අහිමි කරගන්නේ window of opportunity එකක්. නමුත් මම ඔහු ගැන හිතා බැලුව. මම යෝජනාවක් ආවම මුලින්ම කරන්නේ, ඔහු සමග ජීවත් වීම හා තනිකඩව ජීවත් වීම යන දෙකෙන්, මම වඩා ප්‍රිය කරන්නේ කුමක්දැයි සිතා බැලීම. ඉතින් මෙහිදී මම වඩා ප්‍රිය කරන්නේ තනිකඩව ජීවත් වීම නිසා මම යෝජනාව ප්‍රතික්ෂේප කළා.

        ඔතනදි, මීට වඩා හොඳ කෙනෙක් ඉස්සරහට හම්බ වෙයි කියා සිතා දැන් ලැබුණු යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත්, තනිකඩව ඉන්න එක වඩා හොඳයි කියා ප්‍රතික්ෂේප කිරීමත් දෙකක්. තව අවුරුදු පහකින් මගේ දිහා බලද්දී මම තනිකඩ ජීවිතයක් ගත කරනවා දුටුවොත්, වෙනත් කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙන්නේ “අපරාදේ වඩා හොඳ කෙනෙක් ඕන කියා අර අපූරු කොල්ලව ප්‍රතික්ෂේප කළා, ඒත් තාම තනියම” කියල. එතකොට ඔවුන්ට අනුව මම අහිමි කරගත්තේ window of opportunity එකක්. නමුත් මගේ පැත්තෙන් මම තෝරාගත්තේ මට සුවපහසු ජීවිතය, සහ මම ගත කරන්නේ මම කැමති තනිකඩ ජීවිතය. ඉතින් ඔවුන්ට මම පරාජිතයෙක් වගේ පෙනුනට, ඇත්තටම මම ජයග්‍රාහකයෙක්.

        කතා දෙක ඉවරයි.

        ඊළඟට, ඔබේ තනිකඩ යෙහෙලියන් ගැන. ටිකක් නිදිමතයි. ඉක්මනින් ලියන්නම්.

        කාන්තාවන්ට, රැකියාවට හා අද්‍යාපනයට අදාලව අරමුණු තියනව. විවාහය වෙනුවෙන් ඒ ඔක්කොම කැප කරන්නට ඔවුන් ටිකක් අකමැතියි. ඒ වගේම, උසස් අද්‍යාපනය ලැබීම නිසා විවාහය (මීට වසර විස්සකට පෙර පමණ විවාහ වූ වයස සමග සසඳන විට) ප්‍රමාද වන නිසා, ඔවුන් පුරුදු වී සිටින්නේ ස්වාධීන ජීවිතයකට. පිරිමියෙකුගේ ආරක්ෂාව රැකවරණය නැතිව උනත් ඔවුන්ට survive වෙන්නට පුළුවන්. රැකියාවක් තිබෙන නිසා ආදායම සම්බන්ධව ගැටළුවකුත් නැහැ. ඒ නිසා ජීවිතයට එතරම් අත්‍යවශ්‍ය යයි නොසිතෙන යමක් වෙනුවෙන්, ගොඩක් ආදරය කරන රැකියාව
        හා ස්වාධීනත්වය කැප කරන්නට ඔවුන් අකමැති විය හැකියි. මෙතන මම රැකියාව කැප කරනවා කියන්නේ රැකියාවෙන් ඉවත් වෙලා ගෙදර නවතින්න කියන එකම නෙවෙයි. ගෙදර ලඟට ට්‍රාන්සර් වෙන්නකෝ, ඔය ප්‍රමෝෂන් එක ගත්තොත් දුර යන්න වෙනවනේ ඒ නිසා එපා, අපට රට යන්න බැහැ ඉතින් PhD එකක් කරන්න එපා, ඔයා මහන්සි වෙන්න ඕන නැහැනේ මමනේ ගෙදර ඔක්කොම වගකීම් දරන්නේ, වගේ කතා.

        අමතර කතාවක්..
        අවිවාහකව ඉන්නා කාන්තාවන්, ඔවුන්ගේ ආශාවන් ඉටු කරගැනීමට නොහැකි වීම නිසා depressed වෙන බව ගොඩක් අය කියනව. ඇත්තටම රහත් වෙලා නැති හැමෝම ලිංගික සතුට ලබන්නට කැමතියි නේ. නමුත් ඇත්තටම ඒ ගැන කතා කරන්න ගියොත් ඒක හරිම සංකීර්ණයි වගේම, මට exposure එක මදි. හැබැයි තනියම ඉන්නකොට දැනෙන හිතේ නිදහස නිසා, ආශාවන් විඳින්නට නොලැබීම compensate වෙනවා ඇති. It’s just the unsatisfied sexual desires becoming the opportunity cost for the extra freedom gained.

        හරි. ඉවරයි. හිතුවටත් වඩා ගොඩක් වෙලා ගියා මෙය ලියන්න. දැන් මගේ වෙලාව 0250.

        අර අන්තිම සින්දුව, මම බොහොම කැමති එකක්!

        • හම්මෝ, ඔය තරම් නිදි මරන්න එපා. මා මේ වසරේ සිතා ගත්තු දෙයක් තමා අවශ්‍ය පමණට නිදා ගන්නවා කියන එක. දෙවෙනි එක අනවශ්‍ය පමණට යමක් ගන්නේ නැතිය කියන එක.

          ඉතා ස්තුතියි දිග කොමෙන්ටුවට. ඒ විතරක් නොවේ ඔබට මෙහි සැහැල්ලුවෙන් ලියන්න හැකි වග දන ගැනීම එයිට වඩා සතුටක්.

          මා වින්ඩොව් ඔෆ් ඔපර්චුනිටි කියුවේ වෙනත් අර්ථයකින්. කෙනෙකු කැමති වීමේ අවස්ථාව මග හරින එක නොවේ. එය වෙං වෙලාවක පැහැදිලි කරන්නම්. මාතෘකාවත් එයටම අදාලයි.

          මානවි, විවුර්ත මනසකින් ඉන්න. මට තේරෙනවා ඔබ කියන කතා. නමුත් එක්ෂේප්ෂන් මේ ලෝකයේ තියනවා. මා කියන්නේ බොහෝ අවස්ථාවල. පොදු දෙය එකක්. ඉතිරිය පසුව ලියමි.

          • නෑ ඇත්තටම අද උදේ වරුවේ මුකුත් විශේෂ වැඩක් තිබුනේ නැහැ, ඉතින් දවල් වෙනකම් නිදා ගත්තා. අනවශ්‍ය පමණට යමක් ගන්නේ නැති කතාව, මට අදාළ නැහැ 😀

            ඔබේ කොමෙන්ටුවට තුති. ඒ වගේම අවවාදයටත් තුති. මම මිත්‍රශීලී කෙනෙක්, ඒ නිසා ඕනෑම කෙනෙක් එක්ක ටිකක් කතා කරල බලන්න පුළුවන්, ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතුව. විවුර්ත මනසකින් ඉන්නට පුහුණු වෙනවා ඇත්තටම.

            මේක මගේ දුර්වලතාවයක් ද දන්නේ නැහැ ඇත්තටම මනුෂ්‍යත්වයට අමතරව, මගේ පියා සතුව තිබූ සමහර ගතිගුණ, මගේ සැමියා තුලින් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අර ඔබ කියපු කතාව, “ගැහැණිය කියන්නේ බත්තම්බා දීම ඇතුළු ගෙදර දොර වැඩකරන හා තමන්ට අවශ්‍ය වෙලාවට ලිංගික අවශ්‍යතා සපයන මෙවලමක් වග සිතන පිරිමින් මේ 2016 දීත් විරල නැහැ” කියන එක. ඇත්තටම ඒ ගැන මම කලින් කතා නොකළේ, කතාව යහපත් තලයේ තබා ගන්නට. ඔවුන් ගැන කියන්න ගියොත් මම නුසුදුසු වචන යොදාගෙන කොමෙන්ටුව දරුණු වේ යයි මට සිතුන. සරලවම කිවුවොත්, සමාජයට, මිතුරන්ට සාන්තුවරයින් වගේ ඉන්න බොහෝ චරිත, කාන්තාවන්ට ගරු කල යුතු යයි කියා සිටින බොහෝ චරිත, තමන්ගේ ගෙදර තුල තමන් බිරිඳගෙන් බලාපොරොත්තු වන්නේ මොනවද කියන තැනට ආවම, ඔය වගේ තමයි.

            • සාමාන්‍යයෙන් මගේ කොමෙන්ටු සටහන් වලට වඩා දිගයි. එම නිසාම මෙහි කලින් කොමෙන්ටු දමපු කිසි කෙනෙක් මෙහි යමක් ලියන්නේ නැහැ. 🙂

              ජිවිතයේ එක්තරා කාලයකට පසුව නව කුසලතා අත්කර ගැනීමට වඩා දෙයක් අපට කරන්න තියනවා. එය හරිම අමාරු කටයුත්තක්. ඒ මොකක්ද කියා දන්නවද? අපේ කතා හා ක්‍රියා අතර පරතරය අඩු කර ගැනීම. මෙය සිතුවොත් මිසක් දැනෙන්නේ නැහැ.

              ඔබ ලෝකය හා මිනිසුන් ගැන සිතන්නේ අද වෙනතුරු අත්කර ගත් දැනුම් හා අත්දැකීම් අනුව. ඒ නිසා තව වසර දහයකින් ඔය විදිහටම සිතාවි කියන තද නිගමනයට එන්න අවශ්‍ය නැහැ. සමහරවිට ඔහොමම සිතාවි. සමහරවිට වෙනස් විදිහකට සිතාවි. ජීවිතය කියන්නේ අප බලාපොරොත්තු නොවන දේවල් වලින් අනූන දෙයක්.

              ලෝකය අද තියන තත්වයට හා පිරිමින් කාන්තාවන්ට සලකන විදිහටත් පිරිමින්ටම බනිමින් ඉඳ වැඩක් නැහැ. ඔබල අපේ සමාජයේ 50% ක් හෝ සමහර සමාජ වැඩ වැඩිහිටි ජනගහණයෙන් 50% කට වැඩියෙන් කාන්තාවන්. ඔබල අධ්‍යාපනය හා රැකියා වල ගිහින් තියන ඉදිරි ගමන, සමාජ ප්‍රගමනයට අප බලාපොරොත්තු වූ තරම් දායකත්වයක් නොදී තියෙන්නේ මොකෝ?

              බලන්න අද පැවැත්වෙන පිලිපීන ජනපති/මහමැති වරණයේ දිනනවා යයි කියන මේ පිරිමියා කර තියන එක ප්‍රකාශයක් . දැන් මෙයා දිනනවා නම් දිනනු ඇත්තේ පිරිමි චන්ද වලින් පමණක්ද? නැහැ. ලංකාවේ තත්වය මෙයිට වෙනස්ද? ඒත් නැහැ.

              //සරලවම කිවුවොත්, සමාජයට, මිතුරන්ට සාන්තුවරයින් වගේ ඉන්න බොහෝ චරිත, කාන්තාවන්ට ගරු කල යුතු යයි කියා සිටින බොහෝ චරිත, තමන්ගේ ගෙදර තුල තමන් බිරිඳගෙන් බලාපොරොත්තු වන්නේ මොනවද කියන තැනට ආවම, ඔය වගේ තමයි.// එම තත්වයටත් කාන්තාවන් යම් පමණකට වග කියන්න ඕනේ. එකක් තමා තමන්ට එසේ සලකන අයගෙන් ඈත්වීම. මෙය කියන්න ලෙහෙසියි කරන්න අමාරු තමා.

              හැබැයි මෙන්න මේ වගේ තත්වයක් කුමන විදිහටවත් පිරිමියා මත වරද පටවා අතපිහදා ගන්න බැහැ. උදාහරණයකට රැකියාවක් කර මුදල් උපයන බිරිඳ, තමන් උපයන මුදල් දමන්නේ “දෙවියාගේ” බැංකු ගිණුමට. දෙවියා එයාට හිතෙන විට අතට දෙන දෙයකින් සන්තෝෂ වී බිරිඳ ඉන්නවා. මේ ඉන්දියාවේ, ලංකාවේ හෝ පිලිපීනයේ නොවේ. මේ කියන්නේ ඕස්ට්‍රේලියාවේ වෙන දේවල්. මා දන්නවා එක කාන්තාවක් ගෙදර මූලික බත සපයන්නා. හැබැයි එයාට එයා උපයන සල්ලි හසුරුවන්න අයිතිය නැහැ.

              ඇයි මානවි, අර කාන්තාවට බැරි, පොදු ගිණුමක් බැරි නම් (අරූ කැමති නැති වේවි උගේ සල්ලි තමන්ගේ ගෑණි පාවිච්චි කරනවට) තමන්ට වෙනම ගිණුමක් හදා ගන්න. එහෙම ජිවත් වී මොකටද? අප ලෝක විප්ලව ගැන හිතනවා. ගෘහස්ත වල තත්වය ඔන්න ඕකයි. එවැනි සම්බන්දතාවයක ඇලි ගැලී ඉන්නේ මොකෝ? මට තේරුම් ගන්න බැහැ.

              මා එක්තරා කාලයක එක (රට මෙතැනදී කියන්නේ නැහැ) ප්‍රදේශයක ජිවත් වුන විට, ටිකක් ළඟ හිටියා ප්‍රසිද්ධ චරිතයක්. එයා ලියන්නේ කතා කරන්නේ මානව දයාව, සමාජවාදය හා තවත් නොයෙකුත් යහපත් දේ ගැනයි. ගර්භනී බිරිඳට සැලකුව හැටි මා දන්නවා. ඒ දැනගත්තට පසු ඒ ලියන කියන දේවල් තවදුරටත් බලන්න මා වෙහෙසෙන්නේ නැහැ. පොදු සමාජයේ වැජඹෙන චරිත ඔන්න ඔය වගේ,

              මා හැමදාම කියනවනේ, අපේ වැරදි තේරීම් හදා ගන්න අපට හැමදා අවස්ථාව තියනවා.විශේෂයෙන් ජිවන විලාසිතා වල තේරීම්. අපගේ තේරීම් සමාජයට බලපෑම් කරනවා. අපගේ දරුවන් හැදෙන හැටි තීරණය කරනවා. වැඩකරන තැනට, සමාජයට ඒවා මගින් බලපෑම් කරනවා. හැබැයි ඒ කියන හා කරන දේවල් අතර සමපාත වීමත් තියනවා නම් පමණයි. කොතරම් හොඳ දේ ගැන කියුවත්, ඒවා තමන්ගේ ජිවිතයේ හෝ නැත්නම් සමාජයට ඇතිවන බලපෑමක් නැහැ. මොකෝ සියල්ලන්ම දන්නවා ඒ කියන දේවල් එයාවත් කරන්නේ නැහැ කියා.

              උදේ ඔබේ උත්තරයට ලියන්න හැදුවේ වෙන කතා ටිකක්. ඔබ කතා 2 ක් දමා තිබුනනේ. මා හැදුවේ කතා තුනක් (රටවල් තුනක මිනිසුන්ගේ) දමන්න. දැන් ලියුවා වැඩි නිසා එම කතා ලියන්නේ නැහැ. 🙂

              • මම මෙහි කොමෙන්ටු දැමීම එන්ජෝයි කරනවා, රයිගම් 😀 විශේෂයෙන්ම ඔබ සියලු කොමෙන්ටු වලට උනන්දුවෙන් පිළිතුරු දීම, මාව ඉතා දිරිමත් කළා.

                ඔය ක්‍රියා හා කතා අතර පරතරය අඩු කරගැනීම ඔබ කියන තරම් ම අමාරුයි. උදාහරණයකට කලින් කොමෙන්ටුවේ මම කියනවා මම විවුර්ත ව හිතන්න උත්සාහ කරනවා කියල. ඒ උනාට කොමෙන්ටුවේ අන්තිමට බහුතරයක් ස්වාමි පුරුෂයින් ගැන කියපු කොටස, පක්ෂග්රාහී කතාවක් නේ 🙂

                ජීවිතයේ වෙනස්වීම් වලට අපට මුහුණ දෙන්න වෙනවා තමා. මේ මොහොතේ හිතට දැනෙන දේ අනුව කටයුතු කළාට, ඉදිරියට මොනවා වෙයිද දන්නේ නැහැ. ජීවිතය උඩු යටිකුරු වෙන්නට එක මොහොතක් ප්‍රමාණවත්!

                ඔබ කාන්තාවන් ගැන කියපු කතාව ඇත්ත. කාන්තාවන් සමාජ ප්‍රගමනයට දායකත්වය දෙනවා අඩුයි තමයි. ඒකට හේතු ගොඩක් තියනවා.. මට තේරෙන කිහිපයක් කෙටියෙන් කියන්නම්. නමුත් කියනවාට වඩා ගොඩක් සංකීර්ණයි මේ කතා.

                සාර්ථක ගැහැනියක් වෙන්නට විවාහ වෙන්නත් දරුවන් බිහි කරන්නත් අවශ්‍යයි කියල හිතන සමාජ පසුබිමක හැදෙන වැඩෙන ගොඩක් කාන්තාවෝ, වයස 25ක් පමණ වූ පසු අවධානය යොමු කරන්නේ ඒ ගැන. සමහර වෙලාවට තමන්ට එහෙම සැබෑ උවමනාවක් නැතත්, අනිත් අයගෙන් එන පීඩනය නිසා ඒ තීරණය ගන්න අය ඉන්නව. ඊට විරුද්ධව යන්න ගටක් තියෙන්නේ එහෙමත් කෙනෙකුට තමයි. මෙහේ ඉන්න කෙනෙක් මගෙන් නිතරම විවාහය ගැන අහල, අන්තිමට ඇහුව “මෙහෙ ඔයා කැමති කවුරුහරි පිරිමි ළමයෙක් ඉන්නවද?” කියල. ඉතින් මම කිවුව “මම ඔයාගේ මහත්තයට කැමතියි” කියල. ඒ නිසා දැන් ඒ ගැන වැඩිය කතා නැහැ.
                ආරක්ෂාව ගැන කියනවා නම්, ශ්‍රී ලංකාවේ තනි ගැහැණු කෙනෙකුට ජීවත් වෙන්නට අමාරුයි, අවංකවම. මෙහෙ ජපානේ අවිවාහකව ඉඳිමින් බල්ලො හදන ගෑනු පිරිමි ගොඩක් ඉන්න එක හේතුවක් තමයි ගොඩක් අය අනුන්ගේ දේවල් හොයන්නේ නැති කම. අනික් ප්‍රධානම හේතුව තමයි ආරක්ෂාව. මම ජොග් කරන්න යනවා රෑ 11 ට සමහර දවසට. ග්රොසරීස් ගන්න යන්නේ 8ට 9ට විතර (ඒ වෙලාවට ගියාම මාළු එළවලු ඩිස්කවුන්ට් 😀 ) රෑ 11 ට ජොග් කරනකොට තව වයසක ගැහැණු පිරිමි පාරේ හමුවෙනවා. හරියට දවල් වගේ, බොහොම නිදහසේ, සැහැල්ලුවේ. ඉතින් සමහර වෙලාවට ලංකාවේ කෙනෙක් විවාහ වෙන්නේ විවාහ වෙන්න තියන ආසාවට වඩා, ආරක්ෂාවට.

                ඉතින් ඔබ හරි. තමන්ගේ වැඩක් බලන් ඔහේ ඉන්න එක ඇරෙන්න, ගොඩක් වෙලාවට ගැහැණු අය සමාජ ප්‍රගමනයට කටයුතු කරනවා අඩුයි. හැබැයි එහෙම කරන්න ගටක් තියන කෙනාට “ඕන නැති වැඩ කරන්න යනවා” කියල බනින්නේ අනිත් ගැහැණු මයි. ගොඩක් පිරිමි අය එහෙම ගටක් තියන ගැහැණු කෙනාව අගය කරන්නේ “ඕකි බඩුව” කියල.

                ඔය පිලිපීන ජනපතිගේ කතාව 🙂 ඕක ලංකාවේ උනා නම් අපේ අය කියන්නේ මොකක්ද දන්නවද? “යකෝ පිරිමියෙක් උනාම ගැහැණු අයට ආස වෙන්නේ නැතුව පිරිමියෙකුට ආස වෙන්නද? ඒ මනුස්සය නිරෝගී පිරිමි කෙනෙක්, ඒකයි. එහෙම නිරෝගී පිරිමි කෙනෙක් අපේ නායකයා කරගන්න තරම් අපි වාසනාවන්තයි 😀 )

                ඔය සැමියාගේ ගිණුමේ මුදල් තැන්පත් කරනවා වගේ කතා. අපිට කෙලින්ම එයාට වරද පටවන්නත් බැහැ. අපි නිකම් හිතමු එයා ගොඩක් වියදමට බර ෆැෂන් වලට ලෝස් නැති කෙනෙක් කියල. සෙල්ෆ් කොන්ට්‍රෝල් නැති කම නිසා ඇති කරගත්ත ගිවිසුමක්ද දන්නේ නැහැ නේ. මොකද මම දන්න එයාර්ක්රාෆ්ට් එන්ජිනියර් කෙනෙක් ඔහුගේ ලක්ෂ ගණනක වැටුප දෙන්නේ බිරිඳ අතට, බිරිඳ සකසුරුවම් නිසා. ඒවා සොඳුරු ගිවිසුම් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ නමුත් ඔබ කී කතාවේ ඔහු ඒක බලෙන් පැටවූ නීතියක් නම්, වැරදියි තමයි. ෆැෂන් වලට වියදම් කරන්නේ උනත් ඉතින් තමන් හරි හම්බ කරපු සල්ලි නම් අනිත් අයට මොකෝ නේ? ඔතනදී ඒ වගේ කෙනෙක් දමල ගියොත් විවාහය රැක ගත්තේ නැහැ කියල බැනුම් අහන්න වෙන පීඩනය නිසා එහෙම කරන අයත් කොහෙත් ඉන්නවා. හරියටම හේතුව නොදැන මුකුත් කියන්න බැහැ.

                අර කතා ටික, කොමෙන්ටුවක නැත්නම් කතාවක හෝ ලියාවි යයි බලාපොරොත්තු වෙනව.

                • //“මම ඔයාගේ මහත්තයට කැමතියි” // මේ කතාව ටිකක් වෙනස් විදිහකට ලඟදි මාත් ඇසුව. එව්වා ලියුවොත් මේක දික් වෙනවා.

                  තමන්ගේ බ්ලොගය ලියනවට වඩා උනන්දුවෙන්, මෙහි උත්තර ලිවීමෙන් පෙනෙනවා ඔබ කොතරම් දිරිමත් වෙළද කියන එක. විහිළු නොවේ ආපසු ගොස් බලන්න, මා සටහන් ලියා ඇත්තේ නිකම් මට ම වගේ. හැබැයි පිළිතුරු ලියා ඇත්තේ ආසාවෙන් කියවන්න ආ අයට. ඒවා සටහන් වලට වඩා දිගයි.

                  අර කතාව නිකම් සරලව ගන්න එපා. මට ලියන්න නොහැකි දේවල් තියනවා. අරපිරිස්මස්මට වෙන කෙනෙකුට සල්ලි දෙනවා කියන්නෙත් ගොන් පාර්ට් එකක් නේ?

                  මා ඔය කතා හැකි වුනොත් වෙන තැනක ඔබන්නම්.

                  ශාග්, ජොගින් වැඩේ දිගටම කරන්න. මා හිතන්නේ ඔබ ලංකාවට නැවත යන එකක් නැහැ වගේ. 🙂

                  • ඊයේ මට වෙලා තිබුනේ නැහැ. මෙහෙමයි මානවී, ඔබ දැන් මට ලියන්න තිවුණු දේවල් ගොඩක් ලියල. මා ලියුවානම් ඒවා අහගත්තු කතා වෙනවා. ඔබම ලියපු එක හරි හොඳයි.

                    මාත් වින්ඩොව් ඔෆ් ඔපචුනිටි කියුවේ ඔබ ගත්තු අර්ථයෙන්ම තමා. එනම් ප්‍රතික්ෂේප කිරීමත් එවැනි දෙයක්. කැමති වීමත් එකක්. තව අත්හදා බලන්නත් පුළුවනි නේ. මේවා ජිවත් වන පරිසරය මතත් රඳා පවතිනවා තමා. ඒවා අතික්‍රමණය කිරීම මේ ලියන තරම් ලෙහෙසි නොවන වග, මට වඩා ඔබ දන්නවා ඇතිනේ.

                    //ඇත්තටම රහත් වෙලා නැති හැමෝම ලිංගික සතුට ලබන්නට කැමතියි නේ.// ඇත්තටම එයට කසාදයකට හෝ වෙන බැඳීමකට යන්න අවශ්‍යත් නැහැනේ. හැබැයි බැඳීමකට යාම කියන්නේ ජිවිතයම මොනවා හරි කොම්ප්‍රමයිස් කරන්න වෙනවා කියන එක.

                    //තනියම ඉන්නකොට දැනෙන හිතේ නිදහස නිසා, ආශාවන් විඳින්නට නොලැබීම compensate වෙනවා ඇති.// මෙහි අනික් පැත්තත් ඒ වගේ. උදාහරණයකට දරුවන් ලැබුන පසු ජිවිතයේ බොහෝ දේවල් අතහරින්න වෙනවා. අඩුම ගානේ ගෙදරින් එලියට හිතුනු විටක යන්නත් බැහැනේ. හැබැයි එයාල නිසා සිතේ ඇතිවන සතුටින් ඒ වගේ දේවල් කොම්පන්සෙට් වෙනවා. අන්න ඒකයි මා කියුවේ දෙපැත්තම බලන්න කියා.

                    අර කතා තුන මෙතනම කෙටියෙන් ලියන්නම්.
                    1. මේක අපේ වැඩකරන තැන වුනු දෙයක්. ප්‍රංශ යුවලක් (එක ගෙදර ජිවත් වන) ඕස්ට්‍රේලියා ඇවිත් පර්මනට් විසාත් ගත්තට පස්සේ බඳින්න සෙට් වුනා. වැඩ කරණා තැන එයාලගේ කණ්ඩායමටත් ආරාධනය කර තිබුනේ. දෙදෙනාගේම දෙමාපියන්ද මගුලට කියා මෙහි ආව. මගුලට දින තුනක් පමණ තියෙත්දී අර ආරාධනා කරපු කට්ටියට, එන්න එපා වැඩේ කැන්සල් කියුවා. මෙය දැන් වසර 2 කට පමණ පෙර සිදු වුනේ. දැන් ඒ පිරිමියා වෙනත් කාත්තාවක් ඇසුරු කරනවා. අර කාන්තාවත් සමහරවිට තව කෙනෙක් සොයාගෙන ඇති.

                    මෙතැනදී අර ගොල්ලන් (ආරාධනය ලබපු කට්ටිය) දැන ගෙන තියෙන්නේ මුදුවේ ප්‍රශ්නයක් නිසා වැඩේ කැන්සල් වුනා කියල. නමුත් එය එයිට වඩා එහාට යන දෙයක් වෙන්න ඇති. ගැලපෙන්නේ නැත්නම් වෙන්වීමට හොඳම වෙලාව මේක නේද? ඒ කියන්නේ හොඳම ඔපර්චුනිටි එක. සමාජයේ තෙරපුම, අනුන් සිතන හැටි ගැන ලතවුනා නම්, ඔවුනට එතරම් සරලව වෙන් වන්න බැහැ. මොකද ආරාධනා කරපු අය සිනා වෙයි, නැත්නම් ආයිත් බඳින්න නම් බැරි වෙයි යනාදී වශයෙන් සිතුවොත්, කැමති නැති වුණත් බඳිනවනේ.

                    1. මා ලියා ඇති අපේ වැඩකරන තැන ඉගෙන ගන්න ළමයෙක් ඉන්දියා ගියා කියා බඳින්න. මෙයත් PhD එකේ අන්තිම වසරේ ඉන්නේ. ඔන්න මේ සඳුදා මට ඒ ගිහින් ආවට පසු ප්‍රථම වරට එයාව හමුවුණා. මා කොහොමද ගමන කියා ඇහුවහම ඇය කියුවේ ඔන්න මන් ඒක කෙරුවා. දැන් බැඳපන්, බැඳපන් කියා නිතර ඇහෙන කරච්චලය ඉවරයි. එයාලට ඕනේ දේ මන් කෙරුවා කියා. මේ කියන්නේ දෙමාපියන්ගේ බලපෑම ගැන. බැඳපු එක ගැන කිසි සතුටක් හෝ බැඳපු කෙනා ගැන උනන්දුවක් ඇය පෙන්නුවේ නැහැ. තාත්තලට මගේ PhD එකට වඩා මා බඳින එක බිග් ඩිල් එකක් කියල කියන විට මුහුණේ සතුටක් නම් තිබුණේ නැහැ.

                    මේ කතාව ගැන මා යමක් කියන්නේ නැහැ.

                    1. වසර කිහිපයකට කලින් මිතුරෙක් නොවන නමුත් මා කලින් කාලයක් දැනසිටි කෙනෙකු තැනකදී හමු වුණා. ආගිය කතා වලින් පසු එයා ඒ දිනවල බැඳලා හිටි කාන්තාවට කොහොමද කියා ඇසුවේ ඔහු දරුවන් ගැනත් කියපු නිසා. මිනිහගේ පිළිතුර මා බලාපොරොත්තු නොවුන එකක්. අනේ ඒ ….. එක්ක මන් දැන් නැහැ මචං. මන් දැන් බැඳලා ඉන්නේ වෙන කෙනෙක්. …ගේ අම්ම අපේ පවුල කෑවා. අපොයි ලොකු දෙයක් මචන්, දැන් හරිම සැනසීමෙන් ඉන්නවා කියුව.

                    දැන් දශකයකට වැඩි හෝ එයට ආසන්න කාලයක් ශරීරය පවා බෙදා ගත්තු දෙදෙනෙක්, තව කෙනෙකු ගැන මේ වගේ වචන යොදා කතා කරන විට, නැන්දම්මා නිසා අවුල් වුණා කීම සතයක් නොවන වග මට නම් තේරුම් යනවා (ඔවුන් ඒ කාලයේ සිටි හැටි මට මතකයි). ගැලපෙන්නේ නැතිය කියමු. මා වගේ එතරම් සමීප නොවන කෙනෙකුට, ඒ කතාව කීමේදී එතරම් නිග්‍රහ කරන්න අවශ්‍යද? ඕක ඔයිට සරලව කියන්න තිබුනා නේද? අප ගැලපුනේ නැහැ බං, අයින් වුණා. දැන් මං සතුටින් ඉන්නවා. එපමණයි නේ.

                    ඔය කතා තුන බැඳීම් වල අදියර තුනක් ගැන කියන ඒවා. මේවාට අමතරව තවත් කතා ඕනේ තරම් ඔබ දන්නවා ඇති. හැබැයි මේ තුනින් අපට මා කියපු වින්ඩොව් ඔෆ් ඔපර්චුනිටි කියන එක පැහැදිලි වෙනවා.

                    ඔන්න මානවිකා මේ මාසයට මගේ සටහන් ටික කොමෙන්ටු වලින්ම ඉවර කර දැමුවා. 😀

                    • මගේ බ්ලොග් එක ලියන්නේ නම් ටිකක් කම්මැලිකමේ තමයි. දැන් දැන් සමීප කට්ටිය දන්නවා ඒක ලියන්නේ මම කියල, ඉතින් සංවේදී දේවල් සහ පුද්ගලික අත්දැකීම් කොහෙත්ම ලියන්නට බැහැ. පතෝල කතා පමණයි එහි ලියන්නට පුළුවන්.

                      වින්ටර් එකේ ජොගින් නතර වෙලා තිබුනේ.. ආපහු පටන් ගත්තා පමණයි. ලංකාවට යන එක…, ජීවිතේ ඉතුරු ටික කොහේ කොහොම කවුරු එක්ක ගෙවෙයිද කියන එක මම තාම හිතල නැහැ, නමුත් ඔබ මම ගැන එහෙම හිතුවේ ඇයි කියන එක මට ප්‍රශ්නයක් 😀

                      අර දෙපැත්තටම කොම්පන්සේට් වෙන කතාව, ඇත්ත 🙂 ඒ වගේම දැන් මම මෙහෙම ලොකු පාට් එකෙන් කොමෙන්ට් දැම්මට, හෙට පාරේ යනකොට ලස්සන කොල්ලෙක් දැකල, ඔය කියපු ඔක්කොම අමතක කරලා එයා වෙනුවෙන්ම ජීවත් වෙන්න හිතන්නත් පුළුවන් නේ. කලින් කිවුව වගේ, ජීවිතේ වෙනස් වෙන්න එක මොහොතක් ඇති 😀

                      කතා තුන නම් නියමයි. අර දෙවෙනි කතාව කියෙව්වම තව කතාවක් මතක් උනා. ඒකත් ඔය වගේ PhD එක කරන ගැහැණු ළමයෙක් මට කියූ කතාවක්. ගෙදරින් මනමාලයෝ හොයන එක කරදරයක් නිසා එයා එක යෝජනාවකට ඔහේ කැමති වෙලා බැඳල තිබුණ. ඒත් දැන් එයා වෙන් වෙලා තනියම ඉන්නෙ.

                      පළමු හා තුන්වෙනි කතාව, ඔබේ අදහසට මමත් එකඟයි.

                      කොමෙන්ට් දැම්මට කමක් නෑ.. මේ මාසේ ඉතුරු පෝස්ට් ටිකත් ලියන්න. මම කලිනුත් කිවුවනේ. මේ ලිපි වලින් හිත නිවෙනවා කියා.

                    • //පතෝල කතා පමණයි එහි ලියන්නට පුළුවන්.// සතුටින් කියවනවා කියල නක්කලේ දමන එක තමා තමා හොඳ නැත්තේ. 😀

                      එය අපූරු දෙයක් මානවි. එනම් තමන් දන්නා සමීප අය කියවනවා කියල දන්නවා නම්, ලියන දේවල් සීමා දමා ගන්න වීම. මෙය ටිකක් සිතන්නට ඕනි දෙයක්.

                      දන්නවද, මා ඔබේ ඔම්ලට් සටහනට කැමති ඇයි කියා. එය සංවේදී නිසා නොවේ. මන් ඔය අතීත ජිවිතයේ දුක් විඳපු හැටි, මිනිසුන්ගේ දුප්පත්කම තොරොම්බල් කරන එව්වා, සත දහයෙන් මාසයක් ගත කරන හැටි වගේ කතා එන්ජෝයි කරන්නේ නැහැ. දුප්පත්කම තොරොම්බල් කරන්න ඕනි දෙයක් නොවේ. දුප්පත්කමින් ගැලවෙන හැටි නම් තොරම්බල් කරන්න ඕනි දෙයක්.

                      ඔබ ඒ සටහනින් ඔබගේ වර්තමාන ජීවිතය හා අතීතය අතර ගැලපීමක් කරන්න උත්සහ අරන් තිබුණා. මා කැමති වුනේ එයට. බලන්න සංක්‍රමණිකයන් ලියන බ්ලොග්. මේවායේ තියෙන්නේ ළමා කාලය, නැත්නම් පාසල් කාලය, නැත්නම් ලංකාවේ ගතකරපු වැඩිහිටි ජීවිතය ගැන. මා නම් කියවන්න වෙහෙසෙන්නේ නැහැ. ඔය කතා සියල්ල අප දන්නවා.

                      කෝ එයාල අද ගත කරන ජීවිතය? කෝ ජිවත් වෙන හැටි? කෝ කියවන පොත්? මොනවාද කන්නේ? මා බලාපොරොත්තු වන්නේ මෙව්වා {සමහරුන් කියනවනේ අප කියවන, කන එව්වා ලිවිම වැඩකට නැහැ කියල (එහෙම කියන ගමන් එයාලත් අන්තිමට කරන්නේ එයම තමා. මා නම් කැමතියි. නමුත් එකම සටහනේ මුලින් කියන දේ අග වෙනකොට ලියන කෙනාම නිෂ්ප්‍රභා කරගෙන)}.

                      එව්වා ලියන්නේ නැත්තේ මොකද දන්නවද මානවි? එය ලෙහෙසි දෙයක් නොවේ. එනම්, තමන්ට සමීප අය කියවනවා නම්, තමන් අද ඉන්නේ කොහොමද, සිතන්නේ කොහොමද කියල ලිවීම ලොකු අභියෝගයක්. මේ නිසා තමා ඔය ගොඩක් සංක්‍රමණිකයන් පවා තමන්ගේ අතීත දිවිය පමණක් තොරොම්බල් කරන්නේ.

                      මා ලියපු හැමවිටම අතීතය හා වර්තමානය අතර පාලමක් හදන්න උත්සහ කර තියනවා. ඔයා පතෝල කතා කියල මෙව්වට කියුවත්, එතැනදී ලෝකයේ ඉන්න සේරටම මේ කතා නිකම් ආත්ම වර්ණනා කියල නොදැනෙන්න ලියන්න මා උත්සහ අරන් තියනවා.

                      දෙකක් නවාගෙන හතර අතර නෙලනවා වගේ මෙය ලෙහෙසි නැහැ. ඔබ දන්නවද මානවිකා, ලෝකය හා අප අවට සමාජය විවේචනය කිරීම හරි ලෙහෙසි දෙයක්. එතැනදී අපට අමතක වෙන දෙයක් තමා, ඒ විවේචනය කරන සමාජයේ අපත් කොටස් කාරයන් කියන එක. සමහරවිට අප විවේචනය කරන දේවල් අපම කරනවා.

                      බලන්න, මේ සංක්‍රමණිකයන් ලංකාවේ දේශපාලනය හා දේශපාලකයන් විවේචනය කරනවා. නමුත් ඔබ දන්නවද, ඕකුන් මේ රටවලට ආපු වෙලාවක පොටෝ ඔපොචුනිටි එකක් අහු වුනොත්, ඒ විවේචනය කරන එවුන් යනවා. මේකද මානවි අපෙන් වෙන්න ඕනේ? මොවුන්ව සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන එක නොවේද කළ යුත්තේ? (edited).

                      මා මේවා සටහන් වල ලියන්නේ නැහැ. නමුත් ජනකායක් ලෙස ශ්‍රී ලාංකිකයන් ප්‍රජාතන්ත්‍රවාදය හඳුනන්නේ නැති වග පසුගිය වසරේ මහමැතිවරණය ඔප්පු කෙරුවා. බලකිරීම් වලින් තොරව චන්දය දෙන්න හැකි විට මෙයාල තෝරා ගත්තු කට්ටිය ඔබ දන්නවා ඇතිනේ. මෙය ලංකාවට පමණක් නොවේ ප්‍රජාතන්ත්‍රවාදී රන්දෙවොලටද අදාළ ප්‍රශ්නයක්. මෙයට හේතුව සමාජයේ විශාල පිරිසක් IQ ධාරිතාවයෙන් පහල සිටීමයි. අපට එයට කෙහෙසි විසඳුම් නැහැ.

                      ඔබ මෙයට පිළිතුරු ලියුවොත්, මා විග්‍රහ නොකළ ඉන්දියානු යුවතියගේ තීරණය ගැන මගේ අදහස මා ලියන්නම්. එය ඉතිරි කෙරුවේ, ඔබගේ වැනි මනසකට සිතන්න. ඔබ ලියා තියන කතාවෙන් මා හිතන දෙයට යම් ප්‍රවේශයක් ලැබෙනවා. හැබැයි හැබැයි අප සරල හෝ මෝඩ යයි සිතන සමහර තීරණ (අනුන්ගේ) පසුබිමින් තියන සංකීර්ණ මානුෂික සම්බන්දතා ගැන එවිට මා පැහැදිලි කරන්නම්.

                    • හපොයි ඔබේ බ්ලොග් එකට නක්කලේ දැම්මේ නැහැ. මෙහි තිබෙන්නේ පතෝල කතා නොවේ. 🙂 මම කිවුවේ මගේ බ්ලොග් එක ගැන.

                      අපේ රටේ දුප්පත්කම මාකට් වෙන්නේ ඇයි කියලද ඔබතුමා හිතන්නේ? මට හිතෙන්නේ නම්, අපේ හැමෝම මනසින් දුප්පත්. දුක් විඳපු කතා අහනකොට “අන්න අපේ මිනිහෙක්” වෙනකොට, වෙනත් විදියක කතා කියන එක “නයි ඇරිල්ලක්” වෙනව. ඒකයි. දුප්පත්ද පොහොසත්ද කියල බලන්නේ නැතුව හොඳ දේට හොඳයි කියන්නත්, නරක දේට නරකයි කියන්නත් පෙළඹෙන ගතිය අප තුළ තව වැඩි දියුණු විය යුතුයි.

                      //ඔයා පතෝල කතා කියල මෙව්වට කියුවත්// මෙන්න මේ කතාව, බොහොම වැරදියි.

                      //බලන්න, මේ සංක්‍රමණිකයන් ලංකාවේ දේශපාලනය හා දේශපාලකයන් විවේචනය කරනවා. නමුත් ඔබ දන්නවද, ඕකුන් මේ රටවලට ආපු වෙලාවක පොටෝ ඔපොචුනිටි එකක් අහු වුනොත්, ඒ විවේචනය කරන එවුන් යනවා…..// එකඟයි.

                      මහ මැතිවරණය ගැන කියද්දී, ඇත්තටම ඔබ කිවුව වගේ, සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියල කියන අයත් චන්දය දෙන්නේ අඳුරන කෙනෙකුට. ඒ තමන්ට ට්‍රාන්සර් එකක් වගේ ගන්න උනොත් ලේසි වෙන්න. ඔබ කී දේ හරි.

                      //ඔබ මෙයට පිළිතුරු ලියුවොත්, මා විග්‍රහ නොකළ ඉන්දියානු යුවතියගේ තීරණය ගැන මගේ අදහස මා ලියන්නම්.// ඒක ලියන්න. ඒ වගේ ගැහැණු ළමුන් ගොඩක් මුණගැසී තිබෙන මට, වැඩිහිටි පිරිමි කෙනෙක් ඒ දිහා බලන හැටි අහන්නට ආසයි. මම PhD නොවේ, MSc හැබැයි 🙂

                    • මා ලියන ඒවායේ වචනාර්ථ වලින් ගන්න එපා. මේවා ගොඩක් දෙනෙකුට පතෝල සටහන් වුවත්, මා කැමැත්තෙන් කන දෙයක් නිසා එහෙම කියුවත් මට එයින් බලපෑමක් වෙන්නේ නැහැ මානවි.

                      අනික මා ඔබට වඩා වැඩිමහල් තමා. නමුත් ඔබතුමා වගේ පහත් වචන වලින් මා අමතන්න නැතුව ඉන්නවා නම් මගේ ආදර කෘතඥතාවය පිළිගන්වමි. 🙂

                      ලංකාවේ ගොන් පාර්ට් (රට ඇතුලේ ඉන්න විට එව්වා අවශ්‍ය තමා) පිටට අරන් යන්න එපා. අයිය, අක්ක වගේ දේවල්ද අනවශ්‍ය ඇමතීම්.

                      ඔබගේ ජෝගින් ගැනත් මට ලියන්න ඕනේ වුණා. හැමවිටම එවැනි ව්‍යායාම අංගයක් ජිවිතයේ පුරුද්දක් කර ගන්න. විශේෂයෙන් මොලයට ව්‍යායාම දෙන බොහෝ පිරිස්, ශරීරය අමතක කරනවා.

                      මේක පර්යේෂණ මගින් තහවුරු කරපු දෙයක් නම් නොවේ. මගේ නිකම් සිතිවිල්ලක්. ඔය ගොඩක් උගතුන් බොහෝ වෙලාවට ඉන්නේ පරල වෙලා වගේනේ. විශාල බුද්ධිමතුන් කියන සමහර මහා-මන්ත්‍රාචාර්ය තුමන්ලා නිතරම ඉන්නේ කේන්තියෙන් දත්මිටි කමින් කියා ඔබත් දැක ඇති. ගොඩක් වෙලාවට බුද්ධ ධර්මය, දේශීය සභ්‍යත්වය ගැන කියන විටදීත් මොවුන් මහා කේන්තියෙන් කතා කරනවා.

                      මුහුණේ සිනා වෙන පේශීන් කොතරම් අක්‍රිය වෙලාද කියන එක අමාරුවෙන් සිනා වෙන්න උත්සහ කරන විට පෙනෙනවා. සිනහව වෙනුවට මතු වන්නේ හුරු පුරුදු එරවීම පමණයි.

                      ගොඩක් ස්වාමින් වහන්සේලා පවා ධර්මදේශනා ලෙස වෛරීය කතා කියනවා. මොවුන්ට තියන ලොකුම ප්‍රශ්නය, ඔවුන් සතුටින් නොසිටීම. එයට එක හේතුවක් මේ බොහෝ දෙනා ව්‍යායාම නොකරන, අලස පිරිස් වීම. මේ බොහෝ දෙනා පොත පත හැදෑරූ උගතුන් තමා. නමුත් අපේ සමබර මානසික ක්‍රියාකාරිත්වයට, ශාරීරික ව්‍යායාම් අවශ්‍යම දෙයක්. විශේෂයෙන් ප්‍රීතියට හේතු වන හෝමෝන වල උත්පාදනය, ව්‍යායාම් මත රඳා පවතිනවා කියල සොයාගෙන තියනවා. නිකම් ඉන්නවා නම් මේක කියවන්න.. ලොකු දේවල් අමුණන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.

                      ඉතිං ඔබේ යහපත් පුරුද්ද අතහැර ගන්න එපා. අප නම් ඉන්නේ ශීත සමයේ එළිපත්තේ. මගේ චර්යා ශිත සමය කියා වෙනස් කරන්නේ නැහැ.

                      අර ගැහැණු ළමය ගැන මට කියන්න ඕනේ වුනේ මා සිතන දෙය නොවේ. ඇත්ත පරිසරයේ ඇය මුහුණ දෙන ප්‍රශ්න. ඇයට අයිය කෙනෙක් හා නංගි කෙනෙක් ඉන්නවා. ඇය තාත්තට කියල තියනවා, ඒ දෙන්නව බන්දා දෙන්න, මට ඕවට වෙලාවක් හෝ ඕනේ කමක් නැහැ කියල. හැබැයි එහෙ එහෙම කරන්න බැහැ. මෙයා බඳින කම අර දෙන්නත් බලා ඉන්නව. මෙයාව බන්දා දෙන්නේ නැතිව නංගිට බඳින්නත් බැහැ.

                      වැඩේ කෙරෙන්නේ මෙහෙමයි, මෙයාව බන්දල දුන්නට පසුව, අයිය බඳිනවා. දුවගේ මගුලෙන් වෙන “හානිය” තාත්තල රිකවර් කර ගන්නේ, පුතාගේ මනාලියගේ මගුලෙන්. ඉන්පසු තමා අනික් දුව බන්දා දෙන්නේ.

                      දැන් බලන්න ඇය අගේ කැමැත්තට නොබැඳ ඉන්න එක බලපාන්නේ ඇයට පමණක් නොවේ. එතැනදී PhD එකක් කරන කෙනෙක් ගන්න ඕනේ මොන තීරණයද? ඔබම හිතන්න.

                      මගේ අදහස කියුවොත්, කැමති නැතිව මේ වගේ වැඩකට කැමති වෙන එක ගොන් පාර්ට් එකක් නම් තමා. හැබැයි එය නරක තීරණයකුත් නොවේ. වෙන්න හැකි දේ මේකනේ. මිනිහ ඇත්තටම හොඳ වෙන්නත් පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් නැහැනේ.

                      ඔබ හිතනවද, මෙයා අකමැති කෙනෙක් සමග මුළු ජිවිතයම ගත කරාවි කියා. කැමති නැතිනම් කාලයකට පසු අර ඔබ කියපු කෙනා වගේ වෙන්වෙයි. ඒත් අවුල්ද? නැහැ. ඔය කොතරම් හිතේ දේවල් තිබුනත්, මිනිහෙකු හෝ ගැහැණියක සමග සම්බන්දතා පවත්වන්නේ නැතිව එන නිගමන එතරම් නිවැරදි නැහැ. ඔම්ලට් දමන්න බිත්තරේ බිඳින්න ඕනේ. දරුවෙකු සමග “අතරමං” වුණා කියා හිතමු. තනිව දරුවෙකු හදා ගැනීම ගැහැනියක්ද? පිරිමියෙක්ද කියා නැහැ, අමාරුයි. ජිවිතයම කියන්නේ අභියෝගයක් නේද?

                      හරි, හරි PhD එන්නේ ඉන් පස්සේ තමා. ඒ වගේම හිතට අල්ලන, ලස්සන කොල්ලෙක් දුවනවා දැක්කොත්, හැමදාම ඒ වෙලාවට එලියට බහින්නත්, අමතක කරන්න එපා. 😉

  5. කොමෙන්ට් ටික කියවලම පන ගියා. මානවිකාවගේ කොමෙන්ටු දිග වුනත් සාරවත්. මචන් උඹේ බ්ලොගයට අධික වැඩ නිසා එන්න බැරි වුන. අර මාර්තු 13 ලියල තියෙන ඒවා ක්ලික් කරන කොට පලවෙනි එක විතරයි එන්නේ. ඒවා ට්‍රී වීව් එකක් හැටියට හදනන් අබ්රිද. කියවනං ලේසියි එතකොට.

    • මචෝ, ඒ මාර්තු මාසේ අවසාන එක ලියුවට පසු සටහන් දෙකයි තියෙන්නේ. මාර්තු කලින් එව්වා බලන්න ආපසු යන එක ක්ලික් කරන්න ඕනි. උඹ එව්වා සමහරවිට කියවා ඇති.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s