අපේ “පැල්”ලාගේ පේපැල් කෝඳුරු තෙල්!


පසුගිය ඉරිදක පොඩ්ඩක් එළියේ වැඩක් කර ගෙට ඇවිත් රූපවාහිනිය කැරකුවහම ඒබීසී එකේ බලන්න හිතෙන වැඩසටහනක් ගියා. මේක අප වගේ සාමාන්‍ය මිනිසෙකු ගැන කතාවක්. ඇත්තම කියනවා නම් ගැහැණියක්  ගැන.

ඒ වැඩසටහන බැලුවට පස්සේ මා අන්තර්ජාලය කාල් ගාල ඇය  ගැන තව කියෙව්වා. හරිම අපූරු  චරිතයක්. හැබැයි එයා අද ජිවත්ව උන්න නම්, ඒ කතාව ගොඩක් වෙනස් වේවි කියා මට සිතෙනවා.

කවුද දන්නවද ඒ චරිතය? ඒ තමා විවියන් මයර් (1926-2009).   ඇය  ජීවිකාව පිණිස වැඩිපුර කර තියෙන්නේ ආයා  කම. හැබැයි විනෝදාංශයක් විදිහට පොටෝ ගැහිල්ල කර තියනවා.

ඇයගේ  ජිවිත කාලය තුල අරන් තියන චායරූප  ප්‍රමාණය එක්ලක්ෂ පනස් දාහකට අධිකයි කියා පැවසෙනවා. එයිට අමතරව, සම්මුඛ සාකච්ඡා, වීඩියෝ හා තවත් දේවල් තියනවා.

මෙතන තියන විශේෂත්වය මොකක්ද දන්නවද? ඇයගේ  ජීවිත  කාලය තුළ  මේ පොටෝ කිසිවක් පබ්ලිෂ් කරනවා තියා, මුද්‍රණය කර වත් නැහැ. මේක මාර ෆැසිනේටින් කතාවක්. ඇය පොටෝ ගැහුවා තමා. හැබැයි ඒ නෙගටිව් වත් ඩිවෙලොප් කරන්න හෝ වෙහෙසිලා නැහැ.

අද වෙනකොට විවියන් සැලකෙන්නේ මෙලොව සිටිය අග්‍රගන්‍ය වීදි  චායාරූප ශිල්පිනියක් හැටියට. එතනට ඇය ආපු කතාව එයිටත් වඩා විචිත්‍රයි. ඒ ගැන මා ලියන්නේ නැහැ.

විවියන් මියගොස් තියෙන්නේ දරිද්‍රතාවය මැද. අද ඇයගේ  චායරූප අන්තර්ජාලයේ විකිණෙනවා. ඇය ගේ නිර්මාණශීලිත්වයෙන් අද ප්‍රයෝජන ගන්නේ ඇත්තටම “අහක” හිටිය මිනිසුන්. මේ කතාව ඉතා සංකීර්ණයි. දැනට මේ ගැන නඩුවකුත් ඇමෙරිකාවේ යනචා. ඒ ගැන කියුවොත් මගේ සටහන ගොඩක් දිග එකක් වෙනවා.

විවියන් මියගියේ වසර 2009 වුවත් ඒ වන විට ඇය  කාර්යක්ෂම දිවියෙන් ගොඩක් දුරට අයින් වී ඉඳල තියෙන්නේ. ඒ වගේම දරිද්‍රතාවය නිසා ඒ වන විට ඇය  අඩපණයි.

විවියන් අද ජිවත් වුණා  නම් තත්වය වෙනස් කියන්නේ වෙන මොකවත් නිසා නොවේ. විවියන්ගේ අරමුණ ගැන අපට අනාවැකි කියන බැහැ. නමුත් පොටෝ ගැනිල්ලට  අරතරම්  වියදම් කර, නෙගටිව් ටික නිකම් තියෙන්න හැරිය කියන්නේ සිතන්නට ඕනි දෙයක්.

සමහරවිට ඇය, මුල් කාලයේ මේ නෙගටිව් වලින් පොටෝ මුද්‍රණය කරන්න ගිහිං අකටයුත්තකට මුහුණ දුන්නද? ගොඩක් වෙලාවට එහෙම වන්න හැකියි. නැත්නම් වෙන හේතුවකට වෙන්න ඇති.

ඇය  අද ජිවත් වන කෙනෙක් නම් තත්වය ගොඩක් වෙනස්. අද නෙගටිව් නැහැ. ගොඩක් කතා පොසිටිව් වෙලා තියනවා. ඒ විතරක් නොවේ, අපේ අදහස්, චායාරූප හා එදිනෙදා ක්‍රියාකාරකම් අනුන් සමග බෙදා ගන්න වෙන කවරදාට වඩා පහසුයි. ඒ වෙන කිසිවක් නිසා නොවේ අන්තර්ජාලය කියන දේ හින්ද.

අන්තර්ජාලය අපට නොමිලයේ ලැබෙන්නේ නැහැ තමා. නමුත් එය තියනවා නම්, ඒ කියන්නේ එම සේවාවට ගෙවන්න හැකි නම් කරන්න හැකි දේවල් ගොඩක් තියනවා. මන් වගේ හවසට ගෙදර ඇවිත්, පතෝල හොදි හදල නින්දට පෙර බ්ලොග් ලියනවා වගේ තවත් දහසකුත් දේවල් තියනවා.

ඉන් එකක් තමා වෙළඳාම. මගේ බ්ලොග් එකත් වෙළඳාමක් කරගන්න පුළුවන්. විවියන් අද සිටියා නම් ඇයගේ  නිර්මාණශීලිත්වයෙන් නියම ප්‍රයෝජනය ගෙන, ගොඩක් පහසු ජීවිතයකුත් ගත කරන්න තිබුණා.

මේ ගමනේදී අපට අපූරු  මෙවලම් ටිකක් අඳුන්වා දී තියෙන්නේ නිර්මානශිලිත්වයෙන් ඉහල පිරිස්. මේ බ්ලොග් අට්ටාල කියන්නෙත් එයින් එකක්. තව ගොඩක් තියනවා. ෆේස් බුක්, ඔබේ බටය. ෆ්ලිකර්, ඉන්ස්ට්‍රග්‍රෑම් හා තවත් ගොඩක් දේවල්.

මේවා සියල්ලට අමතරව දෙදෙනෙකු අතර ගනුදෙනුවකදී මුදල් හුවමාරුවට, බැංකුවක් “කෙලින්ම” සම්බන්ද කර ගන්නේ නැතිව පහසුකම් සපයන මෙවලමක් ලෙස පේපැල් හඳුන්වන්න හැකියි. ටිකක් හිතා බැලුවොත් අපූරු  අදහසක්. ඇත්තටම අද්විතීය අදහසක්.

අද මේ හා සමාන වෙනත් සේවාවන් තියනවා. නමුත් පේපැල් තවමත් ඉදිරියෙන්ම ඉන්න සේවාවයි. මේවා ඔබ දන්නා නිසා ලියන්න අවශ්‍යත් නැහැ. ලංකාවේ ඉන්න කෙනෙකුට පූර්ණව  පේපැල් සේවාව ලබා ගන්න නොහැකි වගත් රහසක් නොවේනේ.  එහිදී  පුරස්නය නම්, පේපැල් ගිණුමකට ලැබෙන මුදල් ලෝකල් බැංකු ගිණුමකට දමා ගැනීමට තියන නොහැකියාවයි. (Availability, As of April 2013, PayPal offered full locally-based services in 26 countries. In another 18 countries you can have a PayPal account and transfer money to a local or US bank account. In India and Vietnam you can only transfer money to a local bank account. In a further 64 countries you can only withdraw money to a US bank account. In 83 other countries you can have a PayPal account but cannot withdraw money to a bank account). එම නොහැකියාවට බලපාන කරුණු රැසක් තියනවා. අදාළ රටේ බැංකු රෙගුලාසිද ඉන් එකක්.

ලංකාවට මේ පහසුකම අරන් දෙනවා යයි අපේ අයියල පවසන්නේ කලෙක සිට වුවත්, මෙන්න මේ කතා අද තියෙන්නේ කොතනද යයි මා ඇත්තටම දන්නේ නැහැ. මේ සම්බන්දයෙන් වෙනසක් සඳහා “පෙත්සම්” වෙබ් අඩවියේ PayPalForSriLanka  නමින්  අරඹා තියන අරඹා ඇති පෙත්සමට තවම අවශ්‍ය කරන අත්සන් ප්‍රමාණය ලැබිලත් නැහැ.

මෙවැනි සේවාවක් අවශ්‍ය වන්නේ රටින් කළු සල්ලි පිට කරන මෝරුන්ට නොවේ, ඉතා කුඩා හාල්මසු ව්‍යවසායකයන්ට. දැනට අන්තර්ජාලයේ වෙළඳාම් කරන එවැනි පිරිස් ලංකාවේ මහා ලොකුවට නැතිව ඇති. හැබැයි ඉන්න ටික දෙනාට, අලුතින් පටන්ගන්න බලන් ඉන්න හා අනාගත කුඩා ව්‍යසයකයන්ට මේ ගොඩක් දිරිමත් කිරීමක් වනු නිසැකයි.

අප මැදපෙරදිගට කාන්තාවන් “යවනවටත්” කැමති නැහැ. ලංකාවෙන් පිරිස් රැකියා සොයා විදේශ වලට සංක්‍රමණය වෙන එකටත් එරෙහියි. ඒ වගේම ලංකාවේ ගෙදරක ඉඳන් පොඩි හරි ආදායමක් උපයා ගන්න හැකි මෙවැනි සේවාවන්ටත් එරෙහියි.

මා මේ කියන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන් හා දේශපාලකයන් ගැන නොවේ. සාමාන්‍ය ජනතාව ගැන. වැඩියම සිංහල බ්ලොග් කියවන්නේ කන්තෝරු වෙලාවේ කියනවනේ. අන්න ඒ කට්ටියට පවා හැකියි, සමස්තයක් ලෙස මුළු රටටම ප්‍රයෝජනවත් විය හැකි මෙවැනි දෙයකට දෙන්න හැකි සුළු සහයෝගිත්වයක්  දැක්වීම.

 ඔබේ අත්සන එකතු කරන්න

The Best PayPal Alternative for Sri Lankans?

 

 

15 Comments

Filed under Opinion

15 responses to “අපේ “පැල්”ලාගේ පේපැල් කෝඳුරු තෙල්!

  1. Pingback: මේ පැල් වත් පේපැල් දේවිද? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Aravinda G.

    පින්තූර ගන්න එක අපූරු විනෝදාංශයක්. දැන් නම් ගොඩක් අයගෙ විනෝදාංශය පින්තූර වලට පෙනී සිටින එක. ගන්නෙත් තමාමයි, ඉන්නෙත් තමාමයි. සෙල්ෆි මේනියාව..

  3. මම වෙබ් අඩවි වලින් බ්ලොග් අඩවි වලින් මුදල් උපය ගන්නවට පක්ෂයි. අනික තමන්ගේ නිර්මාණ වලින් මුදලක් උපාය ගැනීම වරදක් හැටියට මම දකින්නේ නැහැ.

  4. මම වරක් කියෙව්වා බ්‍රසීලයේ සාඕපෝලෝ වල හිටපු කැරලිනා මාරියා ඩි ජීසස් ලියපු දිනපොත. ඒවත් හරි හමන් දිනපොත් නෙවෙයි, අරහෙන් මෙහෙන් හමුවෙන කඩදාසි වල ඈ ලියූ දේ. මුඩුක්කු ජීවිතයේ පැතිකඩක් පෙන්නුම් කල ඒ ලිපි නම් ඇය ජීවත්ව සිටි කාලයේම ඇගයීමකට ලක් වී තිබුණ.

    කව්රුහරි කෙනෙක් සාධාරණ විදියට යමක් උපයා ගන්නවා නම් ඊට එරෙහි වෙන එක වැරදියි තමයි. ඔබට එකඟයි.

  5. මා දන්නේ පැලපී සහ පැලෝපී පමණයි. ආ, ඊට අමතරව නිකම්ම පී ගැනත් දන්නවා!

  6. රයිගම්……විවියන් මයර් හරි අපූරු චරිතයක්නේ. ඇයගේ නිර්මාණයන් හරහා අහක ඉන්න අය මුදල් සෙවීම ගැන නම් වික්ෂෝපයට පත්වෙන්නේ නැහැ. අද ඒ තරමටම මුදල අංක එක වෙලා තියෙන නිසා. මේ වගේ විවියන්ලා තව ඉන්නවා. තමන් පමනක් දුටු කවි,කතා,චිත්‍ර නිර්මාණ කෙරූ ,එයින් තමන් පමනක් ආශ්වාදය ලබා පසුකාලයක කුණු බක්කියටත්, කාවන්ටත් පූජා කර මියගිය සහ තවමත් ජීවත් වෙන අයත් ඉන්නවා. ඒ ඔවුන් කැමති විදිහ වෙන්න ඇති. ඒක එක්තරා ආත්මාර්ථයක් විය හැකි මුත්, පරාර්ථය මිය යන ලෝකෙක ආත්මාර්ථය ගැන කතා කලයුතුද කියා සිතෙනවා.

    අජිත් උඩින් කියන මුදල් සෙවීම කියන කාරනයේදි, වෙබ් සයිට්ස් වලින් මුදල් සෙවීම නම් කොහොමත් වෙනවා. වෙබ් සයිට්ස් අනුන්ගේ නිර්මාණ තුලින් මුදල් ඉපැයීමක් කරගන්නා අයුරු බොහෝ අය නොදන්නවා ඇති. නමුත් බ්ලොග් කරුවන් තම බ්ලොග්ස් හරහා මුදල් උපයන්නට ගියොත්, එහි ගුණාත්මකභාවය පිරිහී මූල්‍යමය අව්ශ්‍යතාවය වෙනුවෙන් ඕන දහජරාවක් කිරීමට පෙළඹේ. ඒ මිනිස් ස්වභාවයයි. බ්ලොග්ස් තුලින් මුදල් ඉපයීම ප්‍රමුඛත්වය කිරීම හෝ ප්‍රවර්දනය කිරීම බ්ලොග්ස් නගා සිටුවීමක් නොව බ්ලොග්ස් මරා දැමීමක් බව මගේ පෞද්ගලික අදහසයි. එය වටහා ගැනීම බ්ලොග්කරුවාගේ වගකීමයි. තෝරා බේරා ගැනීම තමන් සතුයි.

    පේපැල් පෙත්සමට ගොඩවෙන්නම්.

  7. Pra Jay

    Good post, pal !

  8. පොටෝ ගැහිල්ල ඉතා ඈත අතීතයට යන විනෝදාංශයක් අරවින්ද. ඔය ගල් ගුහා වලත් තියෙන්නේ තමන් දැකපු දේවල් වල “පොටෝ”. තමාම රසවිඳීම හා ඒවා වෙනත් අයත් එක්ක බෙදාගෙන ඒ අයටත් රසවිඳීම ට සැලැස්වීම කියන්නේ දෙකක්.

    මෙතැනදී විවියන් කරපු විශේෂත්වය තමා, ඒ පොටෝ එයාවත් බලපු නැති එක. ඒ කියන්නේ නෙගටිව් ඩිවෙලොප් කරන්න හෝ උත්සහයක් අරන් නැහැ. හැබැයි ඒ නෙගටිව් සුරක්ෂිත කර තබා ගන්න ඇය සෑහෙන පරිශ්‍රමයක් දරා තියනවා. ඒ කියන්නේ කිසිවෙකු විසින් මෙව්වා ලෝකයට එලි දක්වාවි කියන සිතිවිල්ල ඇයට තිබුණද? නැත්නම් අර මගේ දෙයක් එය කිසිවෙකුට හෝ අයිති වෙන්න ඕනේ නැහැ කියන සිතිවිල්ල නිසාද එහෙම කරන්න ඇත්තේ කියන ප්‍රශ්නයට පිළිතුරු මා කියවපු දේවලින් ලැබුනේ නැහැ.

    හැබැයි අරා, විවියන් මේ සටහනේ එළදෙනයි. මැක්කා දුටුවා නම් ඔබ අර අත්සන එකතු කරන්න ඇති.

  9. ඔව් මුදල් ඉපයීම විතරක් නොවේ, ගමෙන් එලියට ඇවිත් තව ගමකට යාම, ගමෙන් නගරයට යාම, රටින් පිටව යාම, එම රටවල් වලින් තවත් ඒවාට යාම වරදක් ලෙස මා දකින්නේ නැහැ.

    ඒ විතරක් නොවේ මෙසේ මුදල් ඉපයීම හා සංසරණය සඳහා අවශ්‍ය වන කුසලතා ලබා ගැනීමට ඇති අවකාෂත් හැකි තරම් පුළුල් කිරීම හොඳ දෙයක්. විශේෂයෙන් ඒ සඳහා ඉල්ලුමක් ඇති විට.

    මෙතන තියන ප්‍රශ්නය කුඩා පිරිසකට තියන දෙයක් නිසා එයට බහුතර පිරිසකගේ අවධානයක් නොලැබීමයි. එනම් තමන්ට ප්‍රශ්නයක් නැති නිසා, එතැන ප්‍රශ්නයක් නැති වග බහුතරය තීරණය කිරීමයි.

    වෙන රටවල නම්, මහජන නියෝජිතයින්, ප්‍රතිපත්ති සම්පාදකයන් මේ වගේ අවශ්තාවල මැදිහත් වෙලා වෙනස උඩ සිට පහලට ගෙනෙනවා.

    මෙතන තියන අනෙක් වැදගත්ම කරුණ, මේ කුඩා පියවර නිසා ප්‍රති ලාභ ලැබෙන්නේ අර කිහිප දෙනාට පමණක් නොවේ. එය එයිට වැඩි කාණ්ඩයක් සමග බෙදී යනවා. අනික තියන වටාපිටාව අනුව, මෙහි නියැලෙන අයගේ දර්ශීය වර්ධයක් අපේක්ෂා කරන්න පුලුවන්. මේ සියල්ලටම තියන වින්ඩෝ ඔෆ් ඔපචුනිටි හරිම කුඩායි. මේ අවස්ථා වෙනත් රටවල් විසින් පිරවීමෙන් පසු, එම අවස්ථාවට යලි යන්න කිසිදා නොහැකියි.

    කෝ උඹ අත්සන ගැහුවද?

  10. විවියන්ද නිකම්ම ගැහැනියක් නොවේ. දේශපාලනයක් තිබුන කෙනෙක්. ඒ වග ඇය ගනිපු පොටෝ වලින්, ඇයගේ ලෝක සංචාර තුලින් හා අරන් තියන විදී සාකච්ඡා තුලින් හෙළි වනවා.

    හැබැයි ඇයගේ චායරූප ගැනීම එක්කෝ හුදෙක්ම තමන්ගේ තෘප්තිය පිණිස කරපු එකක්. එතකොට බෙදා ගැනීම පිලිබඳ ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැනේ. නැත්නම් ඇය ඊළඟ පියවර තියන්න යම් හේතුවක් නිසා භය වුන කෙනෙක්. ප්‍රසිද්ධිය, සමාජ අවධානයට අකමැති පිරිස් ඉන්නවනේ.

    අද අන්න එවැනි පිරිස් පවා මේ අන්තර්ජාල මාධ්‍ය වල නමක් නොමැතුව අදහස් පළ කරන්නා වගේ, විවියන් අද හිටියා නම් ගන්න චායා රූප, එයාගේ මුහුණ නොමැතිව පළ කරන්න තිබුණ නේද?

  11. හයියෝ ඔය තුන දන්නවා නම් හොඳටම ඇති!

  12. මචෝ, මුදල් සෙවීම ගැන උඹ ඔය තරම් අකමැත්තෙන් කතා කරන්නේ ඇයි කියන එක මට නම් ප්‍රශ්නයක්. විවියන්ගේ චායරූප එලියට දමන එකම විශාල වියදම් සහිත ව්‍යාපෘතියක්. එයින් යම් ලාභයක් අත්කර ගැනීම වරදක් විදිහට මට පෙනෙන්නේ නැහැ. අනික මේ නෙගටිව් මෙයිට වඩා වෙනස් පිරිස් අතට පත් වුණා නම් , මේ කතන්දරේ අප දන්නෙත් නැති වෙයි.

    බ්ලොග් හා වෙනත් අත්තර් ජාල සමාජ ජාල වලින් මුදල් ඉපයීම කියන්නේ අලුත් දෙයක් නොවේනේ. බ්ලොග් වලින්ම ජිවත් වන (එනම් ප්‍රධාන අදායම් මාර්ගය එය වන) පිරිස් ලෝකයේ ඉන්නවනේ. ඉන්ස්ට්‍රග්‍රෑම් වැනි මාධ්‍ය නිසා ඩොලර් ලක්ෂ ගණනින් උපයන පිරි ලෝකයේ ඉන්නවනේ.

    උඹ ඔය කියන්නේ සිංහල බ්ලොග් ගැන නම්, මේවා මුදලට නොලියන නිසා මහා ගුණාත්මක භාවයක් තියනවා කියල උඹ හිතනවද? උඹට හිතෙන්න හැකියි. මොකද ගුණාත්මක භාවය කියන දේ (මේ වගේ ප්‍රමිති හදන්න බැරි තැන් වල) සබ්ජෙක්ටිව් දෙයක් නේ.

    මට මේ වැඩෙන මුදල් ලැබුනොත් මගේ කැමැත්ත දෙවෙනියට දමල, කියවන්නන්ට අවශ්‍ය දේ මෙයිට වඩා ලස්සනට (පින්තුරයක් හෙම දමල), ක්‍රමවත්ව ලියල, මෙය පළ නොකරාවි යයි උඹ හිතනවද? නැහැ. එහෙම නම්, මා මගේ ආදායම් වැඩි කර ගන්න, මෙය වෙනස්ව පවත්වාගෙන යනවා. එතකොට උඹ කියන්න හැකියි, දැන් කිසි ගුණාත්මක භාවයක් නැහැ. මොකෝ ඕකා ලියන්නේ සල්ලි වලටනේ කියල. අන්න ඒකයි මා කියුවේ ඔය කියන ගුණාත්මක භාවය හරි සබ්ජෙක්ටිව් කියල.

    //මුදල් උපයන්නට ගියොත්, එහි ගුණාත්මකභාවය පිරිහී මූල්‍යමය අව්ශ්‍යතාවය වෙනුවෙන් ඕන දහජරාවක් කිරීමට පෙළඹේ// මේකත් ඇත්ත කතාවක් නොවේනේ මචෝ. ලෝකයේ මෙතෙක් මුදලට ලියපු සේරම ඔහොම අය නම්, මේ ලෝකය මෙයිට වෙනස් තැනක් නේ.

    ලිවිම හෝ වෙනත් දෙයක් මුදලටද නැත්නම් නිකම්ද කරන්නේ කියන දේ මත ගුණාත්මක බව අඩු හෝ වැඩි වනවා යයි යෝජනා කිරීම වැරදියි මචං.

    එයිට වඩා වැදගත් වන්නේ අපේ තේරීමයි. තෝරා ගන්නට වැඩිපුර දේවල් තියන විට, අපගේ තෝරා ගැනීම පහසු කරනවා. මේක මට දිගට ලියන්න හැකියි. ඔන්න ඔහේ මෙතනින් නවතිමු! 🙂

  13. Nice reply, pal!

  14. Anonymous

    is this still valid?

  15. not any more, expired.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.