කෝච්චි ගමන් නැති වුවත්, මා අද අවදි වූයේ උදේ පහයි දහයට. මෙතරම් පාන්දර අවදි වන සතියේ එකම දින බදාදා විතරයි. නිවස තුල උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් අංශක 13 ක් සේ සටහන් වුවත්, එලිය සෘණ අංශක 4 ක් වුණා. උදේ හතහමාර අට වන විට ඉර අවුව වැටුනත්, නමය මාර වෙනකම්ම තණ පත් වල මිදී තිබුණ පින්න දියවී ගොස් තිබුනේ නැහැ.
ඊයේ ඉහතින් ලියන්න ගත්තු සටහන ඉවර කරන්න නොහැකි වුණේ වෙලාවක් නොමැති නිසා නොවේ. ලිවීමට කම්මැලි නිසා. දැන් ඒ සටහන ලියන එක නිෂ්ඵලයි. අදත් වෙලාව තියන නිසා ඒ ඡේදය ඉවත් නොකරම මෙය ලියනවා.
පසුගිය මාසෙක ලංකාවට ගිය විට මා හා සහෝදරයෙකු අතර වුන කතාවක් තමා, රටක ටික කලක් ඉන්න එක හා දීර්ග කාලයක් ජිවත් වීම කියන්නේ දෙකක් කියන දෙය. අනික තමා රටක ශිෂ්‍යයෙකු වශයෙන් දිවි ගෙවන එකත්, පුර්ණ කාලීන වැසියෙකු වශයෙන් ජිවත් වන එකත් දෙකක්. මේ කතාව ඇදිල ආවේ යම් කිසි කරුණක් අප කතා කරන විට.
කෙටි කාලීන (දින සති හෝ අවුරුදු දෙක තුනක්) ජිවත් වීමකින් ලබන අත්දැකීම් හා දිග කාලයක් ජිවත් වීමෙන් ලබන අත්දැකීම් වෙනස්. අර මුල් එකෙන් ලබන අත්දැකීම් මත රටක් හෝ සමාජයක් ගැන කෙනෙක් පැමිණෙන නිගමන එතරම් නිවැරදි නැහැ. මා දැකල තියන දෙයක් තමා, එහෙම අය එක්කෝ හරිම පොසිටිව් ලෙස හෝ හරිම නෙගටිව් ලෙස ඒ සමාජ හා රටවල් වර්ග කරනවා. මොකද, ඒ කෙටි කාලය තුල ලබන අහඹු වුවත් (මේවා අහඹුම නැහැ) ප්‍රමාණයෙන් කුඩා අත්දැකීම් නිසා.
ඒ ගැන හරියටම මා පසුව ලියන්නම්. ඕස්ට්‍රේලියානු ආදායම් බදු දෙපාර්තමේන්තුව එලි දක්වපු වසර 2013/14 වලට අදාළ දත්ත වලට අනුව ඉහලම ආදායම් ලබන වෘත්තිකයන් වන්නේ විශේෂඥය ශල්‍ය වෛද්‍යවරුන්. ඊළඟටත් ඉන්නේ විශේෂඥය වෛද්‍යවරුන්. මෙයින් පසුව මූල්‍ය උපදේශකයන්, නීති ක්ෂේත්‍රයේ අය හා පතල් ඉංජිනේරුවන් එනවා.
මා ඔය දත්ත ලියුවේ නිකම්. හැමෝම ඔය ක්ෂේත්‍ර වල ඉගෙන ගන්න ඕනේ කියන එක හෝ හැමටම එයට හැකියාවක් තියන එක හෝ ඕකෙන් ගන්න පුළුවන් ගෙදර අරන් යන පණිවුඩය ලෙස ගන්න එපා. හැබැයි වැඩිදුර ඉගෙනීම කියන එක, මා මේ සටහන් පෙලේ ඉදිරියට උපුටා දක්වන ලිපියේ මෙහෙම හඳුන්වා තියනවා.
උසස් අධ්‍යාපනය කියන්නේ ජනගහණයක දැණුම, කුසලතා, රැකියා හා රැකියා නියුක්තිය, අදායම්, ආර්ථික වර්ධනය, සංක්‍රමණය, පවුල් සම්බදතා නිර්මාණය යනාදිය නිර්ණය කරන ප්‍රධාන සාධකයක් විතරක් නොවේ, අනාගත පරම්පරා වල අධ්‍යාපන යොමුවීම් හා අනාගත ආර්ථික සමුර්ධියත් නිර්ණය කරනවා.
මෙතැනදී මා හිතන්නේ පාසලෙන් ඉවත් වුන පසු ලබන සියලුම අධ්‍යාපනයන් ඇතුලත් වෙනවා. දැන් ජනගහණයක හැමටම සමාන අවස්ථා ලබා දුන්නත් දොස්තර කෙනෙකු, නිතිඥයයෙක් හෝ පතල් ඉංජිනේරුවෙකු වන්නට නොහැකියි. කෙනෙක් උපතින්ම ගෙනෙන බුද්ධිමය කුසලතා මතත්, පරිසරයෙන් ලබන ඉගෙනීම් මතත් එය රඳා පවතිනවා. අනික සේරම බාබර්ලා වුණොත්, එකිනෙකාගේ කොණ්ඩා කපා ගන්නවට වඩා දෙයක් කරන්න නොහැකියි.
අනික් කරුණ තමා දැන් මෙහෙම ඉගෙන ගත්තත් එවැනි උන්නතිකාමී කෙනෙක්, අතින් කටට යමක් දමා ගන්න දිවියකින් තෘප්තිමත් වී නවතින්නේ නැහැ. ඉගෙනීම් සඳහා පරමාදර්ශී ලෙස සමාන අවස්ථා ලබා දීල තියන පරිසරයක මිනිහෙක්, තමන්ගේ වෘත්තීය දිවියේ ඉහලටම ඇවිත්, ඒ වෙනුවට පේව්මන්ට් එකේ ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීම ජීවිකාව ලෙස තෝරා ගැනීම අපට කරුණු දෙකක් අඩුම ගානේ කියනවා.
එකක් තමා එවැනි කෙනෙක් බලාපොරොත්තු වන ජිවන තත්වයක් තියනවා. අනික තමා මා අර මුලින් උපුටා දක්වපු පරිදි උසස් අධ්‍යාපනය නිසා රටක හා අනාගත පරම්පරාවේ ආර්ථික සමුර්ධිය රඳා පවතිනවා කියුවට, එය උසස් අධ්‍යාපනය නිසා පමණක් සිදුවන්නේ නැහැ.
මතු සම්බන්දයි! 😉