ඔබේ රෑන්ක් එක මොකක්ද?


ගිය සතියේ කෙනෙක් මගෙන් උදව්වක් ඉල්ලුව. එයත් තවත් කෙනෙකුට බලපාන දෙයක්. මෙතැනදී පක්ෂපාතී නොවී මගේ මතය කියන එක තරමක් අසීරු කරුණක්. ඒ ගැන මගේ සිතේ පහල වූ සිතිවිලි ගැන බ්ලොග් සටහනක් තමා මේ.

මා ලියන්නේ මගේ විනෝදයට. එයින් ඔබටත් විනෝදයක් ( හෝ ප්‍රයෝජනයක්) තියනවා නම් මට සැබෑවටම සතුටක්.මෙයින් මට මුල්‍යමය ප්‍රතිලාභයක් නැහැ. ඒ නිසා ලියවෙන්නේ මට ඕනි විදිහටයි. ඔබට කියවන්න බැරි නම්, මට කනගාටුවකුත් නැහැ. අනවශ්‍ය දේවල් වලට ඔබේ කාලය කිසිදා වෙන් කරන්නත් එපා.

පසුගියදා රුවන් ලියපු පොස්ට් එකකදී, රුවන් එක කලක ඉගෙන ගත්තු සරසවියේ රෑන්ක් එක මොකක්ද කියල, එය කියවපු පාඨකයෙක් අහපු ප්‍රශ්නයට පොඩි කතාවක් ගියා. ඇත්තටම අප ඉගෙන ගත්තු පාසල්, සරසවි හා අනික් අධ්‍යාපන ආයතන වල “රෑන්ක්” එක ගැන අප අද වොරි වෙන්න ඕනෙද?

මෙය ටිකක් හිතන්න අවශ්‍ය පරශ්නයක් වුණේ, මගෙන් ඉල්ලපු උදව්වට පිළිතුරක් ලියන්න පටන් ගන්න විට සිතට ආපු දහසක් සිතිවිලි නිසා.

බොරු ලියන්න අවශ්‍ය නැහැ, දරුවන් යවපු පාසල් (සරසවි ගැන මා ලියන්නේ නැහැ, එය අපගේ කටයුත්තක් නොවන නිසා) අප තේරුවේ ඒවාට තිබුන කීර්තියත් සලකා බලා. මේ කීර්තිය කියන දේ නිකම් පහළ වන දෙයක් නොවේනේ.

එවැනි කීර්තියකට ඒවායින් බිහි වන මිනිසුන්ද බලපානවා. මෙය අන්නෝන්‍ය සම්බන්දයක්. හැබැයි බටහිර ලෝකයේ සරසවි රෑන්කින් වලට වැඩිපුර බලපාන්නේ, “එවෙලේ” සරසවියේ වන දේවල්.

දැන් මේ “රෑන්ක් නොමැති” සරසවි වලින් බිහිවූ රෑන්ක් තියන මිනිසුන් නැතිද? මා නම් අද මා ඉගෙන ගත්තු ආයතන කොයි වගේද කියල ලතැ නොවනවා පමණක් නොවේ, ඒවායේ ඉරණම ගැනද ලතැ වෙන්නේ නැහැ. ඒවා ගැන ලතැ විය යුතු පිරිස් ලෝකයේ ඉන්නවා.අර කියපු උදව්වට මගේ පිළිතුර ලියන විට මගේ සිතට නැගුනේ අන්න ඒ කාරණය.

මා පසුගිය කාලයේ කියවපු සටහන් වලදී දුටුවේ, (ලංකාවේ) සරසවියාම පාච්චල් කරමින් ලියපු කතන්දර. මා මේ කියන්නේ නවක වද සිද්දියේදී මතු වුන කතන්දර ගැනයි. මට එතරම් අදාළ නොමැති නිසා මේ කතා වලට මා සම්බන්ද වුණේ නැහැ.

ඔය කියන නවක වදය කියන්නේ ලෝකයේ තියෙන්න හැකි ගොන්ම ගොන් පාර්ට් එකක් වගත්, එය නීතියෙන් තහනම් කිරීමට අවශ්‍ය පමණටත් වඩා සාක්ෂි තියන වගත්, එය අපරාධ ගණයට අයත් වගත් පෙනෙනවා. අපරාධයක මෙන්න මෙතනින් නැවතුනොත් හොඳයි කියන්න දෙයක් නැහැ. හරියට කලුයි-සුදුයි වගේ වෙන් කරන්න පුළුවන්. ඒ එක කරුණක්.

බුලින් නැත්නම් අඩත්තේට්ටම් මේ බටහිර සමාජයේද තියනවා. ඒ නීතියෙන් තහනම් වෙලත්. මාත් ජිවිතයේ විවිධ අවස්ථා වල බුලින් වලට ලක් වෙලා තියනවා. හැබැයි අද මා කිසිම   අඩත්තේට්ටමක් ඉවසන්නේ නැහැ. එය මා කඩපොලේද, වැඩ කරන  තැනදිද, වාහනය එළවනවිට පාරේදී දීද, ගෙදරදීද කියා වෙනසක් නැහැ. අනුන් අඩත්තේට්ටම් කරන එකින් මා වැළකෙන්නට උත්සහ කරනවා වගේම, අනුන් මාව අඩත්තේට්ටම් කරන එකින්  වැළකෙන්නට පුළුවන් හැම උත්සාහයක්ම මා දරනවා.

මල්ලිලා ඉදිරී පත් කරන අනික් කරුණ තමා, මේකට වඩා ප්‍රශ්න ලංකාවේ සරසවි සිසුනට තියනවා කියන කරුණ. මෙන්න මේක නම් ලෝකේ කොහෙත් ජිවත් වන අපට අදාළ කාරණයක්.

අපට පහසුවෙන් අයින් කරගන්න හැකි, අපම කරන වැරදි තියෙත්දී, ලෝකයේ තියන අනික් ප්‍රශ්ණ  ගැන වද  වෙන එක නියමම ගොන් පාර්ට් එකක්. මෙය පෞද්ගලික සෞඛ්‍යයේ ඉඳල යහ පාලනය දක්වා දිවෙන දෙයක්.

අධ්‍යාපනයට වෙන් කරන, සෞඛ්‍ය සේවයට වෙන් කරන මහජන මුදල් මදි කියන අප, දෙන අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවද? සෞඛ්‍ය සම්පන්න දිවියක් ගෙවනවද? හොඳට හිතුවොත් තේරේවි. සමාජයේ වෙනස් කම් ගැන අපට නිකම් තලු මරන්න හැකියි. මොකද ඒවාට සාමූහික  ප්‍රයත්නයක් ඕනි හින්ද. ඒ කියන්නේ කිසිදා කෙරෙන්නේ නැහැ. හැබැයි එයිට පහසු අපටම කර ගන්න හැකි වෙනස්කම් ගැන කිසිදා වෙහෙසෙන්නේ නැහැ.

උසස් අධ්‍යාපනය විතරක් නොවේ පහත්  අධ්‍යාපනයවත් ගරහන්නට අවශ්‍ය දෙයක් නොවේ. ලංකාවේ නොවේ ලොව කුමන රටක වුවත් සරසවියක අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලැබීම (සුදුසු කම් ලැබීම හා ඇත්තටම එය කරගන්න හැකි වීම අතර තව ගොඩක් දේවල් තියනවා) කියන්නේ සුවිශේෂී කරුණක්. එය අමතක කරන්න එපා. විද්‍යා, වාණිජ හෝ කළා (ඔබලාට තේරුම් ගැනීමට  පහසු වන්න ලියුවා මිසක් මෙහෙම බෙදීමම  වැරදියි. එහෙම බෙදීමක් නැහැ. නූතන  සරසවි වල එක විට උපාධි දෙකක් හෝ වැඩි ගාණක්  කරන්න හැකියි).

එතැනදී අපට කරන්න හැකි දේවල් හා නොහැකි දේවල් තියනවා. සරසවි වල තියන දේශපාලනය (ගුරුවරුන් පත් කිරීම වැනි) එයින් එකක්. මේවට සාමූහික  උත්සහයක්  ඕනි. ඒ කියන්නේ පවතින ක්‍රමයේ  වෙනසක්. ඔය අත්තනායක එම්. හේරත් වැනි මිනිසුන්ගෙන් ඉගෙන ගන්නට දෙයක් නැහැ.  හැබැයි මෙයාගේ පංතියේ  ඉන්නවා නම් එස් එකක් හෝ ගන්න ඕනි නේද?

සහතික කියන්නේ අපගේ ජීවිතය තීරණය කරන පරම දෙයක් නොවේ. හැබැයි මෙව්වා නැතුවත් අපට බැහැ. විශේෂයෙන් රැකියාවලදී. සහතිකත් ගන්නා අතරේ ජිවත් වෙන්න ඉගෙනීමත්, ඉගෙනීමට ඉගෙනීමත් තියෙන්නේ අපගේ අතේ  මිස ආණ්ඩුවක, “අද්යාපන” ඇමති කෙනෙකු අත හෝ  උපකුලපති අතේ  හෝ උගන්වන ආචාර්ය  වරයා අතේ වත් නොවේ.

පසු වදන

හෙට අපට නිවාඩු. මොකද රැජිනගේ උපන්දිනය හින්ද. මේ රිපබ්ලික් යක්කු ඊළඟ ජනමත විචාරණයෙන් දිනුවොත් අපට නිවාඩුවක් නැතුව යනවා.

ශීතල වුවත් දීප්තිමත් දිනයක් වුන අද මා නිවසේ වැඩ ටිකක් කෙරුව.  ඒ එළියේ.  අනුන්ට සෞඛ්‍යමත් ජිවිතයක් ගත කරන්න කියා මා උපදෙස් දෙන්නේ නැහැ. එය ඔබගේ පෞද්ගලික කාරණයක්. දුම් බීමේදී පවා මා එකඟ වන සාමූහික  මැදිහත් වීම් කියන්නේ, අද අප සොයාගෙන තියන තොරතුරු මහජනයාට ලබාදීම. මෙව්ව නිපදවන සමාගම් එය කරන්නේ නැහැනේ. තේරීම ඇත්තටම තියෙන්නේ අපේ අතේ.  අනික් දේවල් ද මේ වගේ. එනම් “අනාගතේ අපේ අතේම” තමා!

 

 

Advertisements

16 Comments

Filed under Education, Opinion

16 responses to “ඔබේ රෑන්ක් එක මොකක්ද?

  1. මගේ රෑන්ක් එක හයි රෑන්ක් එකයි.
    නමුත් මා අනෙත් අයට මගේ හයි-රං පෙන්නන්නේ නැත!

  2. /* දරුවන් යවපු පාසල් (සරසවි ගැන මා ලියන්නේ නැහැ, එය අපගේ කටයුත්තක් නොවන නිසා) අප තේරුවේ ඒවාට තිබුන කීර්තියත් සලකා බලා. 8/

    අපේ දරුවන් ගියේ යන්නේ ගමේ පාසලටයි. විශ්ව විද්‍යාලයට යද්දීවත් ඔබේ දරුවන්ට කැන්බරාවෙන් ගැලවෙන්නට ලැබේවායි පතනවා!
    😉

    • බය වෙන්න එපා රසික, දරුවන් යැවුවේ කුමන පාසල් වලට වුවත්, ඔවුන් ඊළඟට ඉගෙන ගන්නේ (හෝ නොගන්නේ) කැන්බරා වලද, ලන්ඩන් වලද, කොලම්බු වලද කියා මා තැවෙන්නේ නැහැ.!

      රයිගම හන්දියේ උපන් මා කැන්බරාවේ ජිවත් වෙනවා නම්, මගේ දරුවන් කොහෙන් නවතිවිද කියල මට අද ඔබට කියන්න බැහැ .\

  3. මමත් ඒ කතා බහ යන දිහා ශෝකයෙන් බලා හිටියා. මිනිස්සු වැ‍රැද්දක් පිළිගන්න කැමති නෑ. ඒ වෙනුවට නිදහසට කරුණු හොයනවා. අනිකත් වැරදි බව ඔප්පු කරන්න උත්සාහ කරනවා. වගකීම තව එකෙකුට පටවන්න උත්සාහ කරනවා.

    • මචං, මාත් බලා හිටියේ ශෝකයෙන් තමා. පවතින නීති යටතේම වරදක් වන දෙයක්, මේ වැඩිහිටි පිරිස් ම අනුමත කරන විට ශෝක නොවී මොනවා කරන්නද. මන් කියුවනේ මට බල නොපාන නිසා, ඒවා බලපාන පිරිස් වලටම විසඳා ගන්න දීල නිකම් හිටියා.

      අනික මචෝ, දුටුවද එයට එරෙහිව ඉදිරිපත් වූ (එසේ ඉදිරිපත් කරපු සුළුතරය අතරින් බහුතරය) අදහස් වල තිබුණ ප්‍රචණ්ඩත්වය. එය සැබෑ ප්‍රශ්නය හඳුනා ගැනීමට උපකාරී වෙනවා.

  4. මොළය මේරූ අය යයි අප සිතුවද, පුහු දේශපාලන මතවාද වලින් අන්ධභාවයට පත්කළ, මේ රැග් සංස්කෘතිය අගයන විශ්ව විද්‍යාල ප්‍රජාව’ රටේ සම්මත නීතියට අනුගත කිරීම සඳහා ගන්නාවූ ඕනෑම ක්‍රියාමාර්ගයක් ශිෂ්ට සම්පන්න ලෝකය විසින් අනුමත කරනු ඇත.

    හුහ්, රැජිනගේ උපන් දිනේට විතරයි නිවාඩු. වහාම, අපේ ජනාධිපති, අගමැති, කැබිනට් ඇමතිවරු සහ පාර්ලිමේන්තුවේ සුළු සේවකයාගේ උපන්දිනය දක්වා, අදාළ උපන්දින සියල්ල, ජාතික නිවාඩු ලෙස පොරකාසයට පත්කොරනු.

    • පුහු මතවාද වලින් ජීවිතයම අන්ධභාවයට පත්වන එක තමා විචා, මට තියන පුරස්නය. කොහොමද එහෙම වන්නේ? මහා නීතියෙන් රිංගා යන නිසා, නීති කොහොමත් ක්‍රියාත්මක නොවිය යුතුයි කියන මතවාදයත් හරිම ගොන් එකක්. දැන් මේ මහත්වරුගේ “වතුවල” කෙහෙල් කැන් කපන යන්න දෙනවා ඇති.

      රැජින ඉන්න කම් රැජින අපිට-අපි රැජිනට!

      අපේ චන්දයට දින ලඟයි, ඔබ වගේ කෙනෙක් ඉල්ලනවා නම් මගේ චන්දය ඔබට! 😀

  5. Pra Jay

    රිපබ්ලිකන් අයට කියන්න ‘ජනාධිපති’ ධුරයක් තිබීම නිකං අප්සෙට්වගේ කියල. මොකක් හින්දද මංද නිකම් කරප්ශන් වැඩී වගේ විධායක ජනාධිපති කෙනෙක් ඉන්නකොට. තාම එන්ගලන්තෙ privy කවුන්සිල් එකට අභියාචනා තියනවද ඔස්ට්‍රේලියාවෙන්? ඒකත් හොඳ දෙයක්

  6. හොඳ මිනිස්සු රෑන්ක් නැති පාසැල් විශ්ව විද්‍යාල වලින් බිහිවේ. එසේම අපතයෝ ඉහළ රෑන්ක් ඇති තැන වලින්ද මතුවේ . සියල්ල සාපේක්ෂය.. ජයවේවා !!!

    • එතකොට කවිඳු, විවි විතරක් නොවේ පාසල් පවා නොගිය හොඳ මිනිසුන් මේ ලෝකයේ හිටියේ නැතිද? 😀

      මෙතන තියෙන්නේ එකිනෙකාට වෛර කිරීමයි. මේකට නවක වදය කියනවට මා විරුද්දයි. මොකද කුඩා දරුවාගේ පටන් ලොකු වෙනතුරු ගොඩාක් වෙලාවට වද තමා දෙන්නේ. දෙමව්පියන් පවා. විවි වලට එන්නේ පරණ වද වලට භාජනය වෙච්ච පිරිසක් නිසා, මේ වද තවදුරටත් නවක නැහැ.

  7. මාත් ඔය සංවාද දැක්කත් ඒ ගැන මුකුත් කියන්න නොගිය හේතුවක් තිබුණා. මම කොළඹ විශ්වවිද්‍යාලයේ හැදෑරුවේ බාහිර උපාධිය නිසා. මොකද බොහෝ දෙනා හිතන විදියට මට තේරුමක් තියෙන්න විදිහක් නෑ විශ්වවිද්‍යාලයේ පූර්ණකාලීන ජීවිතය ගැන. ඒ කෙසේ වෙතත් මා දන්නෙ මෙපමණයි. වැටීම් නැඟිටීම් මැද මා ආ මාවත ගැන මට තියෙන්නෙ අභිමානයක්. ඔය කියන සමහර අය තවම රැකියාවක්වත් නැතිව ඉඳිද්දි මම විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ටත් මගේ දැනුම බෙදා දෙනවා.

    • හෙලෝ ලකී! මාර කාලෙකට පස්සෙනේ.වාසනාවකට හෝ (අවාසනාවකට) මා ලංකාවේ විවියකින් අධ්‍යාපනය ලබා නැහැ. නමුත් දත්ත වලින් පෙනෙන පරිදි මේ ක්‍රියාමාර්ග නිසා ජිවිත කිහිපයක් අහිමි වෙලත්, තවත් කිහිප දෙනෙකුගේ ජිවිත ගොඩ ගන්න බැරි පරිදි විනාශ වෙලත් තියනවා. එලියට නොආපු කතන්දර මෙයිට වඩා ඇති. ඒ මොක වුණත් බියෙන් සැකෙන් තොරව ජිවත් වෙන්න හැකි පරිසරයක් තිබීම මනුෂ්‍ය අයිතිවාසිකමක්. මෙය ප්‍රායෝගික තත්ත්ව යටතේ කොතරම් සංකීර්ණද කියා ඔබ දන්නවා ඇති.

      පසුගිය කාලයේ ඇදී ආපු ප්‍රශ්නය නම්, කලිසම් අඳින්න එපා කියා සිසුවියකට කීම, එතරම් ගණන් ගන්න ඕනි දෙයක් නොවේ, අනේ ගැ ලෙව්වෙත් නැහැනේ කියලනේ. මෙතන තියන පන්මෙඩන්ටල් ප්‍රශ්නය තේරුම් ගන්න බැරි උපාධිධරයන් බිහිවීම ලාංකික විවි වල තියන ප්‍රශ්නයත් අපට පෙන්වා දෙනවා. මෙයාලම තමා තුවක්කු වලින් දෙවරක් සමාජය යහපත් කරන්න ට්‍රයි කෙරුවේ. එය අවස්ථාවක් ලද විටෙක යලි කරනු ඇති.

      මොවුන් විවි තුල මෙවැනි වධයන් අනික් අයට දෙමින් ලබන අධ්‍යාපනය අපට පෙනෙනවා. මේ විවියකින් බිහිවුන, දොස්තර කෙනෙක් ලඟදි සමලිංගික ආශාවන් ඇති මිනිසුන් කෙරෙහි දක්වපු ආකල්පය එයට කදිම උදාහරණයක්. වෛද්‍ය විද්යාව පැත්තකට දැමුවත්, සාමාන්‍ය පර්යේෂණ වලදී, විශේෂයෙන් ජාන පර්යේෂණ වලින් අප කොතරම් ඉදිරියට ගිහින්ද, ලබා ඇති දැනුම මොන වගේද කියල මේ අයියල දන්නේ නැති වීම මට පුදුමයක් නොවේ. මොකද මෙයාල විවි තුලත් කරන්න ඇත්තේ ඉගෙනීම හෝ ඉගෙන ගන්න ඉගෙනීම නොවේ. ඔය කියන බොළඳ දේශපාලනයමයි.

      එයාලගේ නායකයාගේ, ලෝකය ගැන තියන අවබෝධය කතා කරන්න ලැබුණු විට මා දුටුවා. ඉතින් එයිට පහල අය ගැන කවර කතාද? මෙයාලගේ සුරංගනා ලෝක වල එයාල ඉන්න අතර, සාමාන්‍ය ජනයා තව තවත් ඔවුන්ගෙන් ඈත් වෙන තරමට අනාගතය හොඳ වේවි. මන් හිතන්නේ අන්තර්ජාලය ඒ වෙනුවෙන් විශේෂ කාර්යයක් කරන මෙවලමක් වේවි ලකී.

  8. නවක වදය අනවශ්‍ය දෙයක්. මම නම් හිතන්නේ එච්චරයි. සෝවියට් උපාධි වලට ගැරහීමක් ලංකාවේ තිබෙනවා කියලත් මට හිතෙනවා.

  9. නවක වදය පවතින නීති යටතේ නීති විරෝධී දෙයක් මචං. ඒවාට එරෙහිව උසාවි යන පිරිස් වැඩි තරමට හොඳයි.

    සෝවියට් උපාධි වලට තිබුන, මා දැකපු ගැරහීම ගැන මගේ අත්දැකීම් ඇසුරෙන්, මගේ ආකල්පය, මේ බ්ලොගය ලියන්න ගත්තු මුල් දිනවලම මා ලියුවා.

    ඒ වගේම සිංහලයෙන් ඉගෙනීම නිසා මා අනාත වුන හැටිත් මෙහිම ලියා ඇති.

    මා නිතරම කියන කරුණක් තමා, මා ගත්තු දේවල් මොනවාද කියල පෙනෙන්න ඕන අද මා හිතන දේවල් වලට හා මා අද ඇවිත් තියන තැනට අනුව. ඒ කියන්නේ අප ලබපු අධ්‍යාපනය පෙන්වන නියම කැටපත අපමයි.

    සෝවියට් සංගමය කඩා වැටිලා දශක තුනකට පසුව, ඉගෙන ගත්ත විවි වල රෑන්ක් ඇසීම ගැන මට නම් සිනා ගියා. කෙනෙක් අවුරුදු 50කට ආසන්න වන විට ඉගෙන ගත්තේ කොයි පාසල් වලද, විවි වලද කියා ලත වෙන්න හෝ ඒවා ගැන ආඩම්බර වන්න අවශ්‍ය නැහැ. ලත වන්න හෝ ආඩම්බර වන්න ඕනේ අද ඇවිත් තියන තැන ගැන. ඒ ආයතන ගැන ලත වෙන්න හෝ ආඩම්බර වෙන්න ඕනි අද එව්වයේ ඉගෙන ගන්න පිරිස.

    මා අයිති වෙන්නේ සෝවියට් සංගමේ ලාංචන යෙන් උපාධි ලැබූ අවසාන කාණ්ඩයට. අප ඉගෙන ගත්ත රට අද ලොවෙත් නැත, ලොවි ගහෙත් නැත. එතකොට තිබුන විවි ගැන මොන කතාද?

    එය නොවේ වැදගත්. සෝවියට් හා අනෙක් නැගෙනහිර යුරෝපීය රටවලින් ලද අධ්‍යාපනය කොයි වගේද කියා, මේවායින් බිහිවුන උපාධිධරයන් පෙන්වා දැන් ගොඩක් කල්නේ. මේවා දැන් අතීත කතා ඇත්තටම.

    ලංකාවේ ඉන්න හැකි අය එහෙ හිටියා. ඉන්න බැරි අය ගොඩක් දෙනා රටින් ගියා. ප්‍රතිශතයක් ලෙස ගත්තහම, මේ පිරිස ලංකාවේ විවි වලින් බිහි වී රටින් ගිය පිරිසට වඩා වැඩිය කියා මා අනුමාන කරනවා. එය වෙනම කතාවක් කියනවා.

    හැබැයි, මා නම් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ එයයි. සමාජ වෙනස් කිරීම කියන්නේ මිනිසුන් වෙනස් වීමයි. ඉගෙනීම මගින් බලාපොරොත්තු වන්නේත් එයමයි.

    අනුන්ටම දොස් කියමින් ඉන්නේ නැතුව, සමාජයට කරදරයක් නොවී ජිවත් වීමත් එහිම එක අංගයක්.

    තමන්ගේ ඉගෙනීමට මුළු මහත් සමාජයම බර දරා තියන විට, ඉගෙනීමෙන් පසුවත් සමාජයටම තමන් නඩත්තු කරන්න ඉල්ලීම මොන වගේ විහිළුවක්ද? ඉගෙන ගන්න තියන කාලයේ අනුන්ගේ ඇඳුම් ගලවමින් ඉඳ, එලියට බැස්සට පසු කරන්න රැකියා නැති වීම (තමන් ඉන්න රටේ හෝ ලෝකයේ) පුදුමයක්ද?

    එහෙම කෙනෙකුගෙන් මොනම සමාජයකට වත් වැඩක් නැහැ. ඉන්න සමාජයේ අනුන්ට බරක් නොවී ජිවත් වෙන්න නොහැකි නම්, ලොව පුරා යමින් එවැනි ජිවිතයක් සොයන කෙනෙක් උසස් අධ්‍යාපනයෙන් විතරක් නොවේ පහත් අධ්‍යාපනයෙනුත් බිහි විය යුතුයි. නැති නම්, ඒ ඉගෙනීමෙන් වැඩක් නැහැ.

    මචෝ, උත්තරය සටහනක් වගේ වුණා. 🙂

    • හිතේ තියෙන දේනේ ලීවේ. සටහනක් වුනාට ප්‍රශ්නයක් නැහැ. කැමැත්තෙන් කියෙව්වා. මටත් ඔය කොලේජ් ප්‍රශං විවි ප්‍රශ්න නැහැ. මිනිසෙක් නිර්මාණය කිරීමට අධ්‍යාපනයෙන් දෙන සහය ගැන තමා කතා කරන්න ඕනේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s