Monthly Archives: June 2016

අපේ ගොනා අපට හොඳා? A man pleads guilty to making Facebook threats


දැනට දින කිහිපයකට කලින් මා ලියුව සටහනකට පාදක වුණේ  අඩත්තේට්ටම් හෙවත් බුලින් කියල සිංහලයෙන් කියන දේ ගැනයි. එයට අදාලව ලංකාවේ සරසවි වල පවත්වාගෙන එන නොයෙක් නම් වලින් හඳුන්වා ගන්න නවක සිසුනට වද  දීමත් මෙවැනි බුලින් ගණයට වැටෙන දෙයක්. ඒ ගැන මා යන්තමින් පමණක් ලියුවේ, මට අදාලත්වයක් නොමැති නිසා. නමුත් මා වගේම තවත් අය අදාලත්වයක් තිබුනා හෝ නැතා හෝ ඒ කතාබහ දිහා කනගාටුවෙන් බලා සිටිය වග තේරෙනවා.

ඊයේ පෙරේද මා කල්මරන්න කියවපු ලිපියකට අදාල වුණේ (ඕස්ට්‍රේලියාවේ) පාසල් වල තියන බුලින් හා ඒ හා බැඳුන කරුණු ගැනයි. එනම්, දරුවන්ගේ උපතින්ම එන බුලින් මානසිකත්ව හා නිවසේ (එනම් වටපිටාවෙන්) එයට එකතු කරන දේවල්.

ඊයේ කියවුන පුවතක් තමා කනිෂ්ට රග්බි ලීග් තරඟයකදී, තරඟයේ විනිසුරු කම් කරපු අවුරුදු 16 ක තරුණයට, එම තරඟයේ සෙල්ලම් කරපු දරුවෙකුගේ, පියෙක් පහර දීමේ කතාව. දැන් එවැනි ගෙදරකින් එන දරුවෙක් පාසැලේදී නරකට හැසිරෙන කෙනෙක් වීමේ හැකියාව වැඩියි.

මේකටම පටලව ගන්න හැකි පුවතක් අද ගෙදර එද්දී මා රේඩියෝවෙන් ඇහුව. එය ඕස්ට්‍රේලියානු නීතිය පවා අත්හදා බලපු අවස්ථාවක් ලෙසත් හැඳින්වුනා. එම පුවත මොකක්ද දන්නවද?

අන්තර්ජාල ෆේස් බුක් වල තර්ජනාත්මක කොමෙන්ටු පොස්ට් කරපු කෙනෙක් වරද පිලි ගැනීම තමා එය. මේ නඩුව, අන්තර්ජාලයේ කෙරෙන මෙවැනි තර්ජන වලට පවතින නීතිය  යටතේම පැනවිය  හැකි (හෝ නොහැකි) දඬුවම් ගැන පුර්වාදර්ශයක් සපයනු ඇතැයි  කියවෙනවා (The case is expected to set a precedent for whether threats made on social media are punishable under existing federal law).

ශාරීරික අඩත්තේට්ටම් මෙන්ම මෙවැනි (දුරක ඉඳන්, නොපෙනී) කරන මානසික අඩත්තේට්ටම් ද හරි දරුණුයි. මෙවැනි දේවල් මගින් මිනිස් ජිවිත නැතිවීම නිතර වාර්තා වෙනවා. දරුවන් අන්තර්ජාලයේ ඉන්නවා නම්, ඔවුන් කරන්නේ මොනවාද, කියවන්නේ මොනවාද, ආශ්‍රය කරන්නේ කවුද කියා සෙවීම හරිම වැදගත්. හැබැයි වැඩිහිටියන් කියා නැහැ අප පවා මෙව්වට වල්නරබල්. දුරසිට කරන මෙවැනි අඩත්තේට්ටම් කිරීම් (කරන්නාට) හරිම පහසුයි.

ලංකාවේ අඩත්තේට්ටම් වලට අහුවුණු සරසවි සිසුවිය පොලෝසි ගිය එක ගැනත්, එයාගේ දෙමාපියන්ගේ හයිකාරත්වය  නිසා, එම පැමිණිල්ල ට කඩිනමින්  පියවර ගත්ත එක තමා බොහෝ දෙනාට පරශ්නයක් වුණේ. වින්දිතයටම එළවා පහර දීම බුලින් වලද අංගයක්. හරි නම් එය අනෙක් අයටත්  පුර්වදර්ශයට ගන්න හැකි දෙයක් ලෙසයි උපුටා දක්වන්න තිබුණේ.

 

 

14 Comments

Filed under Opinion