උදේ මා මෙහෙ තියන බනින්ස් කියන හාර්ඩ්වෙයා ස්ටෝර්ස් එකට ගියේ මල් පැල ටිකක් මිලදී ගන්න. සූ ගාල සෙනග. රථ ගාල පවා පිරි ගිහින්. ඕස්ට්‍රේලියාවේ වසර සියයකට වඩා ඉතිහාසයක් තියන මේ බනින්ස් කියන කඩ පෙළ, මෙවැනි වර්ගයේ කඩ ජාලයන්හි ප්‍රමුඛත්වය ගන්නවා. ගිය වසරේ මෙවැනි කඩවලට ඕස්ට්‍රේලියානුවන් විසින් ඩොලර් බිලියන පනහකට කිට්ටු වෙන්නට වියදම් කර තියනවා. ඒ කියන්නේ සෑම කෙනෙකුම ඩොලර් 2000 කට ආසන්න ගණනක්.
මේ සංඛ්‍යා ලේඛන කියන්නේ මොකක්ද? හෝම් ඉම්ප්රුව්මන්ට් ඉන්ඩස්ට්‍රී කියන මේ ක්ෂේත්රයට නිවස හා ගෙවත්ත වැඩි දියුණු කිරීම් අයත් වෙනවා. නිවාස කියන්නේ මූලික මිනිස් අවශ්‍යතාවයක්. හිසට වහලක් හා මේසයේ කෑම තියනවා නම්, අනෙක්වා එතරම් වැදගත් නැතිය කියල කියමනක් තියනවා. හැබැයි, ඉහත සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ එයිට වෙනස් කතාවක්.
හිසට වහලක් නැතිව දිවි ගෙවන මිලියන ගණන් ජනතාවක් මේ පෘථිවිය මත ඉන්නවා. එයාලට හිසට වහලක් ලැබීම සිතන්ට නිවනක් දනවන දෙයක් වන්නට පුළුවන්. ඕස්ට්‍රේලියාවේ පවා නිවස්නැත්තන් හෙවත් හෝම්ලස් මිනිසුන්ගේ ප්රශ්නය ගැන නිතර කරලියට එනවා. මෙයාලට උදව් කරන මහජන මුදල් යොදවා කරන විවිධ ව්‍යපෘති තිබුණත්, ඒවා ප්‍රමාණවත් නොවන වග තමා නිතර අහන්නට ලැබෙන්නේ. මේ මිනිසුන් අතරින් කිසියම් ප්‍රතිශතයක්, එසේ ජිවත් වීම ජිවන විලාසිතා තේරීමක් වශයෙන් කරන වග මා විශ්වාස කරනවා.
අනෙක් අතට නිවාස වල මිල අධික වීම නිසා තරුණ ජනගහණයෙන් කිසියම් කොටසක්, නිවසක් නැතිව ජිවත් වීම තමන්ගේ ජිවන විලාසිතා තේරීමක් ලෙස කරන වග වාර්තා වෙනවා. ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව, ජනගහණන ගණත්වය ඉතා පහල ඕස්ට්‍රේලියාව වැනි රටක, නිවාස මිල ඉතා ඉහල වීම ගැන නිතර කතා බහ ඇතිවුණත්, කිසිවෙකු එයට ප්‍රයෝගික විසඳුම් ඉදිරිපත් කරන වගක් පෙනෙන්න නැහැ.
ගිය සතියේ පෙඩරල් භාණ්ඩාරගාර ඇමති මේ ගැන කතා කෙරුව. නමුත් ඉඩම්, නිවාස සඳහා නිදහස් කිරීම තියෙන්නේ ප්‍රාන්ත ආණ්ඩු අතේ. එය ඔවුනගේ ආදායම් වල ප්‍රධාන කොටසක් වන නිසා, මෙසේ සැපයුමට අඩුවෙන් නිදහස් කර වඩා අධික අදායමක් ඔවුන් උපයන වග අසන්න ලැබෙනවා. එයට බැඳුන තවත් කාරණා නම් තියනවා තමා.
සෝවියට් සංගමය වැනි පැරණි සමාජවාදී රටවල් නිවාස ප්රශ්නය 100% ක් විසඳුවා යයි පුරසාරම් කියුවා. “නිවාස කියන ප්රශ්නය” එසේ විසඳන්න හැකිද? ඔව්, හිසට වහලක් නැති කෙනෙකුට ඕනෙම අන්දමේ නිවසක් ලැබීම විශාල සහනයක් වෙන්න පුළුවන්. ඒ මූලික අවශ්‍යතාවය පිරිමැහුවහම ඇතිද ? මිනිසුන් කියන්නේ එහෙමම තෘප්තිමත් වන කොට්ටාශයක් නොවන වග සෝවියට් ක්රමයම තහවුරු කෙරුව. බනින්ස් කඩේ පොදි කන මිනිසුන් කියන්නෙත් ඒ කතාවම තමා.
මා මල් පැල දෙක තුනක් අරන් ගෙදර ආව. යහළුවෙක් දවල්ට එනවා කියල තිබුන නිසා එයාටත් එක්ක උයල, මල්පැල ටික හිටෙව්වා. එය ඉවරවෙනවා එක්කම යාළුවා ආව. ඉන්පස්සේ කාල බීලා ඉවර වෙන විට වහින්න ගත්ත.