ස්මිත් ආත්තම්මාට වඩා, රෝසා නෝනාට කැමති ද?


අද නම් උදේ ගෙදරින් එළියට  ගිහින් ආවට පසු, යළිත්  යන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද, අදත් ඊයේ වගේ නොවේ, එයිටත් අන්තයි. දවල්ට කඩෙන් කන්න ගෙනාව. හැබැයි පුතේ, මේ දිනවල කඩපු ගමන් උයන්න හෝ කන්න හැකි දේවල් කිහිපයක් තියනවා. ඊයේ මා එවෙලේ කඩපු  වම්බටු බැදලා, ලබු  හොද්දක් හදා, (මාස කිහිපයකට කලින් මරපු) බැටළු මස් උයා, සලාදය ලෙස කියුකම්බර් ටිකක් කැපුවා.

img_1401

කියුකම්බර මලකින් පරාග සොයන මී  මැස්සෙක්.

කඩෙන් ගන්න අලුත් එළවලු හා පළතුරු  වල රසය විතරක් නොවේ, ගුණයත් කොහොමත් වෙනස්. ගෙවත්තේ කුඩාවට වවන දෙයක රසය එයිටත් වෙනස්. මහා පරිමාණ ව වවා, ඇසුරුම් කර ඇවිත් කඩේ තියන එළවලු හා පළතුරු  එයිට වෙනස් වීම ගැන ලොකුවට පුදුම වෙන්න අවශ්‍ය නැහැ. මා මේවා ගැන කලින් ලියා තියන නිසා, වැඩිපුර විස්තරයකට යන්නේ නැහැ.

මා දැන් ටිකකට කලින් නරඹපු ඒබීසී  රූපවාහිනී ලෑන්ඩ්ලයින් වැඩසටහනේ ගියේ, ඕස්ට්‍රේලියානු කෘෂිකාර්මික නිෂ්පාදන වලට චීනයේ තියන ඉල්ලුම හා නව ඔන්ලයින් වෙළඳ ව්‍යාප්තිය ගැනයි. එතන ලයින් දෙකක කතාවක් ගියා. එකක් නම් ක්ලීන් ඇන්ඩ් ග්‍රීන් කතාව. අනික නම්, ඕස්ට්‍රේලියානු සමහර (කෘෂිනිෂ්පාදන ආශ්‍රිත) වෙළඳ නාම වලට තියන දීර්ඝ ඉතිහාසය හා විශ්වාසය ගැනයි.

මෙතැනදී මා කියන්න ඕනේ, අපේ සුපර්මාර්කට් රාක්ක වල චීනයේ නිෂ්පාදිත කෘෂි නිෂ්පාදන තියන වග. නමුත් චීනයේ, අතේ හැකියාව තියන අය, එන්න එන්නම ක්ලීන් හා ග්‍රීන් නිෂ්පාදන සොයන්  එනවා කියා, වාර්ෂිකව වැඩිවන ඉල්ලුම පෙන්නුම් කරනවා කියා නිෂ්පාදකයන් කියනවා.

img_1827

කිරිබත් හදන්න හෝ මීපැණි දමන්න භාජන හදා ගන්න ඉබේ වැවී, ඉබේ ගෙඩි හැදුන ලබු!

ඕස්ට්‍රේලියාවේ  කාර් නිෂ්පාදනය මේ ඔක්තෝබර් වලින් පසු නිම වෙනවා. ඒ කලින් නිමවුන ඇඟලුම්, මුද්‍රණ හා තවත් කර්මාන්ත වලටම අයත් වුන ඉරණමම තමා. රටේ නිෂ්පාදනය කරන දේ ඒ රටේ මිනිසුන් ගන්නේ නැත්නම්, එයට මුහුදින් එහා වෙළඳපොළක් සොයා ගන්නට හැකි වෙන්න ඕනේ. ඔය ඉහත කියුව ඒවාට, එහෙම සොයා ගන්න බැහැ. මොකද මෙහි ඒවා හදනවට වඩා අඩුවෙන් හදන රටවල් තියන නිසා.

ඕස්ට්‍රේලියානු කෘෂි නිෂ්පාදන  එයිට වෙනස්. චීනයේ කෙටි කාලීන වේගවත් කාර්මීකරණය මගින් එරට පරිසරයට විශාල අනර්ථයක් කර තියනවා. සමහර දේ කිසිදා ආපස්සට හරවන්න බැරි වේවි. බටහිර කාර්මීකරණය එතරම්ව වේගවත්ව සිදු නොවුණත්, එමගින් ද  විශාල පරිසර විනාශයක් මේ රටවල කෙරුණා. නමුත් චීනය මෙන් ඔවුන් මුළු ලෝකයටම මෙතරම් භාණ්ඩ ප්‍රමාණයක් නිපදෙව්වේ නැහැ. අනික, විනාශයන් හඳුනා ගත්ත පසු පිළියම් යොදන්න අවශ්‍ය ප්‍රාග්ධනයක් හා ඒ ගැන මහජන අවධානය යොමු වීමට අවශ්‍ය තරමට ප්‍රජාතන්ත්‍රවාදී  පරිසරය මේ රටවල පරිණාමය වුණා.

img_1848

පළතුරක් ද, එළවළුවක් ද? ප්‍රශ්න නැත්නම් හොඳ දේවල්

ඉහත දෙයින් අදහස් වන්නේ නැහැ, අද මේ රටවල කිසිම පාරිසරික හානියක් නොවනවා කියා. මිනිස් ජනගහන වර්ධනය සමග වන පරිසර හානිය අනවරතයි. එයට තිරිංග යොදන්න හැකි, තාක්ෂණය දියුණුව සමග මිසක්, යලිත් කැලේට යන්නට උත්සහ කිරීමෙන් නොවේ. මෙතැනදී තිරිංග දමන්නට ඉතා අසීරු තවත් මනුෂ්‍ය ලක්ෂණයක් තියනවා. එනම් කෑදර කමයි.

කෘෂි නිෂ්පාදන වලට ආවොත්, ඕස්ට්‍රේලියානු, නවසීලන්ත, ඩෙන්මාර්ක හා ඇමෙරිකානු වැනි නිෂ්පාදන වලට තියන ඉල්ලුම මා ඉහත කියුව කාර්මීකරණය සමග අත්පත්කර ගත්  යහපත් ප්‍රතිඵල අතර මුල් තැනකට එන දෙයක්. එයිනුත් ඕස්ට්‍රේලියාව වගේ රටක අඩු ජනගහණය  නිසා විශාල පරිසර දුෂණයක් සිදු නොවීම ද තියන වග අමතක කරන්න බැහැ.

වැඩි වන ජනගණයට  අවශ්‍ය ආහාර නිෂ්පාදනය විතරක් නොවේ, මේ ආහාර අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක මනුෂ්‍ය සංහතිය මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නයයි. සෞඛ්‍යමත් ආහාර මත රටක සංවර්ධනයත් රඳා පවතිනවා. රටක් සංවර්ධනය (භෞතික පමණක් නොවේ, සමාජමය) වෙලා නැතිනම්, එතැන සෞඛ්‍යමත් ආහාර ලබා ගැනීමටත් මූලික බාදාවක්. එය බැඳී තියෙන්නේ කොහොමද කියන එක, අප අවටින් බලා ගන්න පුළුවන්.

ගිය සතියේ මා ගෙවත්තේ හැදුන තක්කාලි කඩා වැඩකරන තැන කිහිප දෙනෙකුට දුන්න. මා කුඩා ගෙඩි සහිත වර්ග තුනක පැල  සිටෙව්වා. ඒවායේ ගෙඩි ඇඹුලට වඩා පැණි රසකින් යුතු ඒවා. අපේ ගෙදර තක්කාලි වලට ඇති ඉල්ලුම බින්දුවයි  කියන්න පුළුවන්. එහෙම නැතත්, මේවා ඉදුණු පසු දින කිහිපයකට වඩා තියා ගන්න බැහැ.

සුපර්මාර්කට් එකේ තියන එළවලු හා පලතුරු එයිට වෙනස් වන්නේ කොහොමද? මේවට ගහල තියන ජරා බේත් මොනවාද? මේ ප්‍රශ්න දෙක මා ඇහුවේ මෑතක දුටුවා ලංකාවේ තියන ආනයනික ඇපල් ගැන කෙනෙකු බෙදා ගෙන තිබුන එක තොරතුරක් නිසා. එහි කියා තිබුනේ මේ ඇපල්  වලට “විෂ බේත්”පොත්තේ එක්තරා තැනකින් විද, එය වහන්න තමා අර කුඩා වෙළඳ ස්ටිකරය අලවා තියෙන්නේ කියා. මේවා ගැන මා විශාල ලෙස කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඇපල්  වලට බෙහෙත් විදින්න හා හරියටම එතැනට  ස්ටිකර අලවන්න, මිනිසුන් බඳවා ගැනීම මගින් රැකියා ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්න හැකියි.

ආහාර සොයා ගැනීම පමණක් නොවේ, ආහාර සොයා ගත්විට අතිරික්තයක් ඇත්නම් ඒවා කල්තබා ගැනීම, මනුෂ්‍ය ශිෂ්ටාචාරය පටන් ගත්දා ඉඳල තියන ප්‍රශ්නයක් වග, කැනීම් හා ඉතිහාස කතා මුලාශ්‍ර වලින් තොරවම නිගමනය කරන්න පුළුවන්. මොකද සතුන් පවා මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. සමහර සතුන් තමන් සොයා ගත්තු හෝ මරා ගත්තු කෑම, එවෙලේ ආහාරයට වැඩි නම් (එනම් ඉතුරුවක් ඇත්නම්) එය මතු ප්‍රයෝජනයට හංගන අවස්ථා තියනවා. මීමැස්සන්, කුහුඹුවන් එයිට වඩා සූර ලෙස ආහාර  ගබඩා කර ගන්නවා.

මේ ජනවාරි මස සිට ඕස්ට්‍රේලියානු දෙවෙනියට විශාල සිල්ලර වෙලදාම් කඩ ජාලය  වන කෝල්ස්, තුනී ඉටි දවටනය එයාල මිලදී ගන්න ඇපල්  වලට ඕනේ නැතැයි  කියුවා. එයට අනුරූපව විශාලතම සිල්ලර වෙලදාම් ජාලයත් වැක්ස් ෆ්‍රී ඇපල්  මේ මස සිට විකිණීම ආරම්භ කරනවා. ඉටි දැවටීම  මගින් කරන්නේ ඇපල්  වලට දීප්තිමත් මතුපිටක් ලබා දීම. නැත්නම් ලස්සන කිරීම. මේ “ලස්සන ” ඇපල්  වෙනුවට, ස්වභාවික ඇපල් පෙනුමට පාරිභෝගික ඉල්ලුම වැඩි වීම නිසා මේ පියවර ගත්තු වග ඒ කොම්පැනි කියනවා (මෙයටම සමාන දෙයක් තමා, diphenylamine (DPA) නම් පළිබෝධනාශකය යෙදීමෙනුත් කරන්නේ, එයින් දුඹුරු හා කළු පැල්ලම්  හැදීම වළකනවා).

ලස්සන එකක්, රාක්ක ගබඩා කාලය පිලිබඳ ප්‍රශ්නය තව එකක්. වෙළඳපොලේ තියන සමහර ඇපල්, එයිට කලින් අවුරුද්දේ කඩපුවා  කියා සමහර වෙලාවට කියනවා. එහි ඇත්තක්  නැත්තේම නැහැ. උෂ්ණත්වය අඩු කිරීමෙන් හා වායු තත්වය පාලනය කිරීමෙන්, කඩා ගත්  ඇපල්  මාස 12කට වැඩි කාලයක් තියා ගන්නට හැකියි. එයිට අමතරව මේවට “බෙහෙත්” ගහනවද?

එයට උත්තරය ඔව් කියන එක තමා. උදාහරණයකට 1-methylcyclopropene මගින් පළතුරු  ඉදිමේ ක්‍රියාවලිය සඳහා  ඉවහල් වන එතිලින් එන්සයිමයේ ක්‍රියාකාරිත්වයට බාදා  පමුණුවා, ඉදීම වළක්වනවා. කරන දේවල් තව තියනවා. මේවා ගැන කෙරී තියන පර්යේෂණ කියන්නේ, ගොඩක් එවැනි ප්‍රතිකාර මගින් අපේ සෞඛ්‍යට බලපෑමක් නැතිය කියා. මෙම ප්‍රතිකාර නැතිව අපට ගන්න බැරි තරම් ඉහල මිලට එන නිෂ්පාදන වෙළඳපොලේ තියනවා. ඒවා කන්නට හැකි අය  එව්වා මිලදී ගන්නවා.

img_1350

වෙළඳපොලේ තියන ආහාර වර්ග (ආනයනය කරපු විතරක්  නොවේ, අල්ලපු වත්තේ වවන එව්වගේත්) වල මූලාශ්‍රය  මොකක්ද? ඒවාට වවන්නේ කොහොමද, පසු අස්වනු ට්‍රිට්මන්ට් මොනවාද? ප්‍රවාහනය කරන්නේ කොහොමද?  කඩේ තියා ගන්නේ කොහොමද? මේවා ගැන දැනුවත් වීම සාමාන්‍ය පාරිභෝගිකයෙකුට වැදගත්.

පසු වදන

Granny smith හා Pink Lady  කියන්නේ ඕස්ට්‍රේලියාවේ සංවර්ධනය කරපු ඇපල්  වර්ග දෙකක්. පුතාල කන්නේ ආස ලේඩි විතරක් නිසා අප ගන්නේ පින්ක්  ලේඩි විතරයි. සමහරදාට මා උයන්න හිතුණොත්, ග්රනි ස්මිත් ගෙනෙනවා. අනෙක් ඇපල් වර්ග තිබුනත් කලාතුරකින් දින තමා ගන්නේ. මා නම් මේවා කනකොට සෝදන්නේ වත් නැහැ.

ලංකාවේ ආනයන ඇපල්  වලට කර තියන බෙහෙත් දැමීම්  ගැන මා දන්නේ නැහැ. ලංකාවේ ඉන්න විට, දේශීය නිෂ්පාදන වලට කරන ට්‍රිට්මන්ට් ගැන නම් නිතර අහන්න ලැබුනා. අද මට ඒ සමහර නිෂ්පාදන වල තියන “බෙහෙත් රසය දිවට පවා හඳුනා ගන්න පුලුවන්.

පොඩිකාලේ අපේ ගෙවතු වල තිබුණ  පළතුරු  වර්ග ගැන මා කලින් ලියා ඇති. එළවලු හා පළතුරු  අපේ ආහාර වේලේ තියෙන්න ඕනි අවශ්‍යම සංගටක. වෙළඳපොලේ අපට ගන්න හැකි දේවල් වලින් (මුදලට වටිනාකම ඇති) නිෂ්පාදන තෝරා ගැනීමට යම් දැනුවත් වීමක් අවශ්‍යයි.

 

 

Advertisements

10 Comments

Filed under Agriculture, Opinion, Photography

10 responses to “ස්මිත් ආත්තම්මාට වඩා, රෝසා නෝනාට කැමති ද?

  1. මේ පෝස්ට් එකට දාලා තියෙන හෙඩිම මරු. මම කැමති රෝස නෝනාට. උයන්න නම් බ්‍රැම්ලි තමයි. ඩෝප් බහින්න නම් ස්මිත් අත්තම්මා.

    මම හිතුවේ ඇපල්වල වැක්ස් තවරන්නේ, ඇපල් පොත්ත රැලි වැටෙන එක නවත්තන්න කියලා. මම දැක්කා වින්ටර් එකේ අපි සුපර්මාකට්වලින් ගන්න ඇපල්, සමහර විට අවුරුද්දක් විතර පරන ඇති කියලා. නිට්‍රජන් ස්ටෝරින්ග් සහ කොන්ට්‍රෝල් ඇට්මොස්ෆිඅර් ස්ටෝරේජ් (CAS)වගේ සිස්ටම් වලින් එහෙම තියාගන්න පුලුවන්ලු. මම කියවපු දෙයක් පමනයි.

    ලබ්බ දැක්කම ඊරිසියයි. මචං ලබ්බයි, පුහුලයි රස දෙකම එක වගේ නේද. අපේ අම්මා පුහුල් හදනවා පුදුම රසයි. ලබ්බට සහ පුහුලට කියන කොමන් ඉංග්‍රීසි වචන දෙක මොකක්ද…

    මම ආස ලිපියක්!!!! පෙම්බර මධු උඹේ නෙමේ මගේ….

    • ඔව් උෂ්ණත්වය අඩු කර, පරිසර වායු තත්ත්ව පාලනය තමා, කල් තබා ගැනීමේ ප්‍රධාන ක්‍රමය.
      පුහුල් කියන්නෙත් ලබු වර්ගයක් නේ ( https://en.wikipedia.org/wiki/List_of_gourds_and_squashes).

      //පෙම්බර මධු උඹේ නෙමේ මගේ….// හරි, උඹේ නම් උඹම තියා ගනින්! 😀

  2. මාස කිහිපයකට කලින් මරපු) බැටළු මස් – බොට ෆාර්ම් එකකුත් තියනවද? මගේ කාලෙක තිබුන හීනයක්. ෆාර්ම් එකක් ගන්න. මේ දවස්වල මෙහෙ ගස්ලබු හා අඹ හරියට විකුනනවා. ලාබයි රසයි. ලතින් ඇමෙරිකාව පැත්තෙන් එන්නේ. වැඩිපුරම කැවෙන්නේ ඒවා පලතුරු ලෙස. ඉන්දියන්/දෙමළ කඩවලින් මාළු ගණන් එක අපි නතර කරා . මෙහෙ වැඩ සටහනක් ගියා උන් ෆෝමලීන් ඇතුළු රසායන ද්‍රව්‍ය ගොඩක් ගහල එවන්නේ කියල (මාළු කල් තියාගන්න )

    • මොන ෆාර්ම් ද මචං. කඩෙන් ගත්තු මස්.
      නගරයෙන් ඉවතට ගිහිං, කුඩා ගොවිපොළක් ගන්න එක කරන්න බැරි වැඩක්ම නොවේ මචං. එය වෙනම ලයිෆ්ස්ටයිල් එකක්. සංක්‍රමණික අපට එය තරමක් අමාරුයි. එයටත් වඩා දරුවන්ගේ කටයුතු වලට බාදාවක්. දිනපතා එන්න තියන දුර එතරම්ම විශාල නොවුනත්, නගරයෙන් ඈතට ගිහිං ඉන්න එක ලෙහෙසි නැහැ.

      අපේ එහෙම ඉන්න කට්ටිය, බැටළුවන් ඇති කරනවා. එයාල කරන්නේ Butcher/Slaughterer කෙනෙක් ලවා මරවලා, අධිශීත කර කාලයක් මස් කන එක. මා කිසිදා සතුන් ඇති කරන එකක් නම් නැහැ.

      අපට සමර් නිසා, පළතුරු ජාති ටිකක් දැන් තියනවා. ප්ලම්, ඇප්රිකොට්, අඹ ඒ අත‍ර ප්‍රධානයි. කුවීන්ස්ලන්ත අඹත් රසයි.

      මා ලංකාවේ කඩෙන් ගන්නේ උම්බලකඩ හා පැණි පමණයි. ඔය මාළු ශතවර්ෂ ගානක් තියා ගන්න පුළුවන් ඇති. එයිට අමතරව, බෝතල් කර එන එව්වත් එයිටම සමානයි.
      දරුවන් කන බූන්දි වලට දමන්නේ, රෙදි සායම් කියල මට කියුවේ, කර්මාන්ත අංශයට සම්බන්ද කෙනෙක්. ඒ අතරේ ඇපල් (කුඩා පිරිසක් සොයන) වල ස්ටිකිරය ගැන මහා ලොකුවට වොරි වනවා. 🙂

      • මට නිකන් හිතුන උඹ වගා කරන විධිහට ෆාර්ම් එකක් වත් ඇතිය කියල. බලාගෙන ගියාම අලට්මන්ට් එකක් වගේ. මෙහෙ මම කෑලි මිරිස් දාපු කෑම කාල මම ලෙඩ වුණා . අසත්මිකත්වය. බලනකොට මේ යක්කු ඒක රතු පට හා තද මෙරුන් පාට වෙන්න සායම් දානවලු. දැන් ඒක කන්නත් බැහැ.

        • හි හි!!, ගෙවතු වගා කියන්නේ අතින් කයිට්, තට්ටු ගෙවල් වලද කරන්නට හැකි විනෝදාංශයක් පමණයි මචෝ!

  3. ස්මිත් ආත්තම්මා වුනත් රෝසා නෝනා වුනත් අපිට නම් වෙනසක් නැහැ එව්වා “ඇපල්ම” තමයි.:)

  4. අප්පේ එව්වා කොහොද හොයන්න තියෙන්නේ මෙහේ.”දං” නම් කලා තියෙන වග මතකයි.අනිත් එව්වා ගැන මතකයක් නැහැනේ.

    • ඉස්සර පොඩි කාලේ ගිය පාසල ඉස්සර, දං කාලෙට, දං විකුණන කාන්තාවක් හිටිය. ඒවාට ලුණු ටිකක් දමලයි විකුනන්නේ.

      දං වගේ දේවල් කොමර්ශලයිස් කරන්න තිබුන, තව වැඩි දියුණු කෙරුව නම්. අපට තියන බ්ලූ බෙරි වගේ පළතුරු හරි ගණන්. කිලෝ එකක සිල්ලර මිල ඩොලර් 30ක් වගේ වෙනවා. ඒ නිසා, ග්‍රෑම් 100 පොඩි ප්ලාස්ටික් පෙට්ටි වල එන්නේ. මේවට තියන ප්‍රධාන ප්‍රශ්නය, යාන්ත්‍රිකරණය (නෙලීම) කරන්න නොහැකියාව. ඉතින් ශ්‍රමය ගොඩක් අවශ්‍යයි.
      ඕස්ට්‍රේලියානු වගා ප්‍රවර්ධකයෙක් යාන්ත්‍රිකව නෙලන බ්ලූ බෙරි වර්ගයක් අත්හදා බලමින් ඉන්නවා. එහි ප්‍රගතිය මා දන්නේ නැහැ.

      මනෝ ඇපල් ගැන කියුව නිසා මෙයත් ලියන්නම්. අපට ඇපල් කියන්නේ වර්ෂය පුරා මිලේ විශාල උච්චාවචනයක් නැතිව ගන්න හැකි පළතුරක්. ඔබලාට වගේ නොවේ, ඇපල් වර්ගය අනුව මිල ස්වල්ප වශයෙන් වෙනස් වනවා. අර කියනවනේ, “An apple a day keeps the doctor away.” කියල. මේකෙන් ඇත්තටම කියන්නේ පළතුරු ආහාරයට ගන්න කියන එකයි. ඇපල් තැලෙන්නේ නැතිව ගෙනියන්න හැකි, ඕනිම තැනක කන්න හැකි පළතුරක්. අනික ඇපලයක් කාපුවහම, බඩගිනි නැතිව ටික වෙලාවක් ඉන්නත් පුළුවන්. කැලරි ගොඩක් ඇඟට ගන්නේ නැතිව, එහෙම ඉන්න හැකි වීමත් හොඳ දෙයක්.

      ඒ අපට නේ. මනෝල ඇපල් මහා ගානක් දීල කන එක එතරම් වැඩකට ඇති දෙයක් නොවේ. මොකද නිවර්තනිය රටවල පළතුරු විවිධත්වය ගොඩක් වැඩි නිසා. අර වෙනසකට හොඳා.

      වැඩේ තියෙන්නේ මනෝ, වෙළඳපොලේ තියන ගස්ලබු වල ඉඳල කෙහෙල් දක්වා ඉදවන හැටි ගැන විවිධ කතන්දර තියනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s