උමං හා මං!


අපටත් නිවාඩුයි දින හතරක්. ඒ මහා සිකුරාදා හා ඊස්ටර සඳුදා ඇතුළු සති අන්තය නිසා. ඊයේ හා පෙරේදා  මුළු දවල් දවසම ගෙදර වැඩක් නිමා කෙරුව. අල්ලපු ගෙදර එකා සමග මේ වැඩේ කෙරුවේ. මිනිහා මට වඩා, හැන්ඩිමෑන්. අනික ආයුද සේරම තියනවා. වැඩේ නිමා වුණාට පසු, බාහිර පෙණුම, නිමාව හා ශක්තිමත් බව වගේ සේරම අතින්, ඒ වැඩ රස්සාවට කරන අයට  වඩා හොඳින් තිබුණා.

IMG_1467.jpg

එයට එක හේතුවක් තමන්ගේ වැඩක් වීම. අනික අල්ලපු ගෙදර පොරගේ ඇටෙන්ෂන් ටු ඩීටෙල් ගතිය. මටත් නීට් එක අවශ්‍ය දෙයක් තමා, අරයා එක්ස්ට්‍රීම්. කොහොමත් වෙන දෙයක් නිවාඩුවට යොදන් තිබුණේ නැති නිසා මෙයට කාලය වෙන් කිරීම ලොකු ප්‍රශ්නයක් වුණේ  නැහැ.

අප අයින් කරපු දේ අද පළාතේ “කුණු ” බාර ගන්න තැනට ගෙනිච්චා. ඒවා සාමාන්‍ය කුණු වශයෙන් සැලකෙන්නේ. වෙන කිසිවක් තිබුනේ නැහැ, ලී  හැර. සාමාන්‍ය කුණු කියන දේවල්  මහා පරාසයක විහිදෙනවා. මේ වගේ පරණ ලී, ටයර්, කොට්ට මෙට්ට, වත්තෙන් ඉවත් කරන ගස් වල අතු, විදුලි උපකරණ, වෙනත් ලීබඩු වල කොටස් හා තවත් ගොඩක් දේවල් ඒ සාමාන්‍ය කුණු අතර තියනවා.

වත්තෙන් ඉවත් කරන කොළ අතු නම් නොමිලේම එතන කොටසකට ගිහින් දමන්න පුළුවන්. ඒ හැර අනික්වා ගිහින් දමන්නට ගානක් ගෙවන්න ඕනේ. එම ගණන කුණු ප්‍රමාණයේ පරිමාව හා/හෝ කුණු වල ස්වභාවය අනුව තීරණය කෙරෙනවා.

සාමාන්‍ය ට්‍රේලර් එකක් පුරවා ගෙන ගියොත් උපරිම වශයෙන් අය  කරන ඩොලර් හතලිහක වගේ ගානක් ගෙවන්න වෙනවා. එයිට අමතරව, පරිමාව කුඩා වුවත් ටයර් වගේ දේවල් නම් අය  කරන ගාණ  වැඩි වන්නට ඉඩ තියනවා.

මේක කුණු එකතු කරන තැනක් වුනාට, හඳුන්වන්නේ රිසොර්ස් මැනේජ්මන්ට් සෙන්ටර් කියන බරපතල නාමයෙන්. පළාතේ ගෙවල් වලින් එකතු කරන කුණු ද ගෙනෙන්නේ මෙතැනට. අනික කුණු සෙන්ටර් එක වුණාට  මහා ගඳක් හෝ අපුලක් නැහැ.

IMG_1508.jpg

අප ගිහින් දමන ජරාව නොවන මේ කුණු, මුදල් ගෙවූ පසු එක තැනකට හලා එන පුළුවන්. එය මඩුවක සිමෙන්ති බිමක්. එතැන  එකතු වන දේවල්, නැවත තෝරා ගන්නවා. එයින් නැවත විකුණන්න  හැකි දේ, වෙන්කර එයටම යාබද තවත් විශාල ගබඩාවක ට යැවෙනවා.

ගෙදරදොර වැඩට අවශ්‍ය සියලුම දේ එතනින් ඉතා අඩුවට මිලට ගන්න හැකියි. එතන නැති දෙයක් නැහැ. එකම දේ මේවා පාවිච්චි කර අයින් කරපුවා වීමයි.

එහෙම විකුනන්න බැරි, හැබැයි වෙනත් ප්‍රතිචක්‍රීකරණ ආයතන වලට විකුණන්න  හැකි දේ වෙන්කර, ඒවාත් විකුනනවා. ලි වගේ දේවල් වුවත්, නැවත විකුණන්නට හැකි නම්, අර ගබඩාවටත්, එවැනි තත්වයේ නැති ඒවා, උද්‍යාන වලට අවශ්‍ය ලී  පතුරු (චිප්ස්) හැදිමටත්  ගන්නවා. හැබැයි, සමහර ලී  කල්පැවැත්ම සඳහා රසායනික වලින් ට්‍රිට් කර තියන නිසා, ඒවා මෙයට තෝරා ගන්නේ නැහැ.

IMG_1521.jpg

ගෙවල් වලින් එකතු කරන කුණුත් බක්කි දෙකකට දමන්න කියනවනේ. එකක් තමා ප්‍රතිචක්‍රීකරණ බක්කිය. එයට එකතු කරන ප්ලාස්ටික්, කඩදාසි, වීදුරු  වැනි දේවල් කලින් කියුව වගේ ප්‍රතිචක්‍රීකරණ ආයතන වලට, තෝරා විකුනනවා.

අනික් බක්කියේ එකතු කරන ජරා කුණු කුණු කන්දට යවනවා. මේවායිනුත් අවසානයේ කොම්පෝස්ට් හදා අර මධ්‍යස්ථානයේදී විකුණන්නට තියනවා. ඒ කොම්පෝස්ට් වලට අමතරව, ගල්, වැලි, කලින් කියුව ලී  චිප්ස් වැනි දේවල් අර කියුව කුණු මධ්‍යස්ථානයේ ගන්නට තියනවා.

මෙය විශාල ක්‍රියාවලියක්. මෙහි ඇත්තම ලාභය මා දන්නේ නැහැ. හැබැයි අප ගෙවන වරිපනම් වලින් කොටසක් මේ ක්‍රියාවලියට යෙදවෙනවා.

IMG_1518.jpg

අපගේ කුඩා වපසරියේ අප ඉවත් කෙරෙන සියලුම දේවල් ප්‍රතිචක්‍රීකරණය කරන්නට නොහැකියි. අපට යලිත් ඉස්සර දිවියට යන්නටත් නොහැකියි. මට නම් ඕනේ නැහැ. ඒ කියන්නේ අපට කුණු විසි කරන්නම වෙනවා.

හැබැයි අප වසර කිහිපයක සිට නිවසින් ඉවත් කෙරෙන, කුණු ජරා කොටසින්, අපට ප්‍රතිචක්‍රීකරණය කරන්න හැකි කොටස වත්තේම ප්‍රතිචක්‍රීකරණය කරනවා. ඒ කියන්නේ කුස්සියෙන් ඉවත් කෙරෙන, එළවලු හා පළතුරු  කොටසින් කොම්පෝස්ට් හදනවා. ඒ නිසා, ඉවත් ව යන ජරා කුණු ටික ඉතා කුඩායි.

එයිට අමතරව මට නම් තියන අනෙක් ප්‍රශ්නය නම්, අතු කැබලි, කුඩා කඳන් ඉවත් කිරීමයි. මේවා වත්තේම තියාගෙන දිරන්නට හරින්න බැහැ. ඉස්සර වගේ පුච්චා, වායුගෝලය දුෂණය කරන්නට අවසර නැතුව පමණක් නොවේ, එය භයානක ප්‍රතිඵල ගෙන දෙයක් වෙන්න ඉඩ වැඩියි. වත්තේ එකතු කිරීමත් එවැනිම භයානක දෙයක්. විශේෂයෙන් ග්‍රීෂ්ම සමයේ.

IMG_1520.jpg

එවැනි කොළ (ග්‍රීන් වෙයිස්ට්) කුණු වලටත් බක්කියක් දෙන ක්‍රමයක නියමු ව්‍යාපෘතියක්,  එක පළාතක නිවෙස් 5000 ක් සමග මේ මාසයේ පටන් ගන්නවා. ඒ බක්කිය ගන්න කැමති නම්, ඩොලර් 50ක් මුදලක් එක වරක් පමණක් ගෙවිය යුතුයි.

අපගේ පළාතටත් එවැනි බක්කියක් දෙන එක ගැන අපගේ කැමැත්ත විමසා තිබුනේ ගිය වසරේ දෙසැම්බර වල. මා ගස් වැල්  වලට ඉතා කැමති වුවත්, ඉහත ප්‍රශ්නය නිසා, තියන දේවල් වලින් බොහොමයක් ටික ටික අයින් කර, කුඩා මල් වලට යනවා.

අපේ කුණු කියන්නේ කාගෙවත් ප්‍රශ්නයක් නොවේ. අපේම ප්‍රශ්නයක්. ගොඩක් දෙනා නුතන දිවියේ සියලු පහසුකම් විඳින අතරේ, ඒවාට බැන  බැන  ජීවත්  වීමත්, ගෙදරින් උපදින කුණු (තමන්ගේ වපසරියෙන් කෙසේ හෝ ඉවත් කළ  පසු) එය තව දුරටත් තමන්ගේ ප්‍රශ්නයක් කියා නොසිතීමත් එකිකෙනට සම්බන්ද කරුණුයි.  කාබනික කෘෂිකර්ම ගැන සිහින ලෝක වල සැරි  සැරීමත් ඉහත කරුනටම සම්බන්දයි.

සමාජයේ තියන ප්‍රශ්න කියන්නේ තමන්ගේ නොව අනුන්ගේ කියා සිතීමට මිනිසුන් පෙළඹීමට, අර මන් ඉහත කියුව කාණ්ඩ ද ලොකු “මෙහෙවරක්” කරනවා. විශාල, විකල්ප දැනුම් පද්ධතියක් තියනවා කියමින්, ඉංගිරිසියට, බටහිරට, බටහිර වෛද්‍ය විද්‍යාවට බනිමින් ආතල් ගන්න මොවුන්ගේ ජිවිත දිහා සමීපව බලන්න කියා, මා ඔබට යෝජනා කරනවා.

ඔවුන් කියන දැනුම් පද්ධතිය කොහෙද තියෙන්නේ? ඒවා ඔවුන්ගේ ජිවිත වලින් හෝ පෙනෙනවද? ඔවුන් බ්ලොග් ලියන්නේ මොකෝ? මේවට භාවිතා කරන විදුලිය, කොම්පියුටර හා වෙනත් දේවල් වලින් අයින් වී, ඔවුන් කියන නුතන දිවියේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා, අපට පෙන්වන්න ඔවුන් ඉදිරිපත් නොවන්නේ මොකෝ? ඛේදවාචකයක් වූ පසු, මැරුණු සතෙකු වටා රැස්  වන කපුටන් මෙන් රොක් වී, මොවුන් එයටත් බටහිරට දොස් පවරමින් ආතල් ගැනීම නියමම කාලකන්නි ස්වභාවයක්.

ඇත්තටම ප්‍රශ්න නොවන, මෙවැනි ප්‍රශ්න වලින් ගැලවෙන්නට හැකි, සිතීමේ ක්‍රමයේ වෙනසක් වුවොත් පමණයි.

පසු වදන

මේ පින්තූර  ටික මා පින්තූර  බ්ලොගයේ උදේ විවේකයකදී දැමුවා. එය නොබලන පිරිස වෙනුවෙන් දෙක තුනක් මෙහි ඔබනවා.

කේරිස්  ගුහාව තියෙන්නේ කැන්බරා වලින් කිලෝමීටර 50ක් පමණ එපිටින්, නිව් සවුත් වෙල්ස ප්‍රාන්තයේ ගමක. මෙය හුණු ගල් ගුහාවක්. වසර මිලියන 400කට පමණ පෙර, මුහුදු පතුලක්ව තිබුණ  ප්‍රදේශයක් තමා, අද මේ කඳුකර පෙදෙසක්ව ඇත්තේ.

හුණුගල් ගුහා ලෝකයේ තියන ස්වභාවික ගුහා අතරින් විචිත්‍රම ඒවා අතර ඉදිරියෙන් තියෙන්නේ, හේතු කිහිපයක් නිසා. මා ලියන්නේ, කියවා බලා නොවේ. ඉස්සර ඉගෙන ගත් දැනුම හා ගුහා බලන්න ගිය විට එකතු කරගත් දැනුමේ මතකයන් තුළිනුයි.

කෙරිස් ගුහාව, කොලනි සමයේ මුල් වරට සොයන තියෙන්නේ, ඒ පළාතේ ගොවිතැන් කරපු කෙනෙක්. ඔහු දවසක් වත්තේ ඉන්න විට, මහා වර්ෂාවක් කඩා වැටුණු විට, නොතෙමි ඉන්න තැනක් සොයන විට, පොලව යටට වන්නට තිබුන මේ ගුහා කට දැක එහි නොතෙමි ඉඳල තියනවා.

පසුව කරපු සොයා ගැනීම් වලට අනුව, මේ ගුහාවේ අබෝරිජිනල් වරුන්ද, තාවකාලික නවාතැන් ගෙන තියනවා.

හුණුගල් සැදී තියන කැල්සියම් කාර්බනේට් ජල සීරාව සමග ඇවිත්, අවුරුදු දහස් ගණන් තිස්සේ පහලට කාන්දු වීම මගින් තමා අර සමහර රටා මැවෙන්නේ. එයිට අමතරව ගුහා වහලයෙන් වැටෙන ජල බින්දු සමග වැටෙන කැල්සියම් කාර්බනේට් අවුරුදු දහස් ගණන් තිස්සේ එකම තැනකට වැටීම මගින්, ගුහා පතුලේ සිට උඩට හැදෙන “කණු” බිහි වෙනවා.

තවත් සමහර විටෙක, ජල ගැලීම් එක්ක එන මඩ, අතර කැල්සියම් කාර්බනේට් එකතු වනවා.  මේ මඩ  පසු කාලයේ සෝදා ගියත්, විවිධ රටා වලට තැන්පත් වූ, කැල්සියම් කාර්බනේට් එලිසින්ම ඉතිරි වෙනවා.

මේ ගුහා වල රටාවන් මැවෙන තව ක්‍රම තිබුණත්  සේරම ලියන්න තරම් හොඳ මතකයක් හෝ කාලයක් නැහැ.

කොහොම වුවත්, ගොඩක් උමං  වල, පිටවෙන්නට හැකි, ඇතුළු වුන මගෙන්ම තමා. ඒ කියන්නේ වෙන මං (මා හැර) නැහැ.

මේ පින්තුර ටික මට හමු හමු වුණේ,  කලින් සටහනට පින්තූර  සොයන්න ගිහින්.

Advertisements

4 Comments

Filed under Opinion, Reflections

4 responses to “උමං හා මං!

  1. අපි එනකොට මේ සිස්ටම්ස් හදලා තිබුණු නිසා හොඳයි. නැතිනම් ලංකාවේ experience ඒ විදියට ම පාවිච්චි කරන්න තිබුණා

    • එය ටිකක් දිගට කතා කළ යුතු දෙයක් නේද රසික. සිස්ටම් තිබුණා කියලම, ඒවා සමග නොයන කට්ටියකුත් ඉන්නවනේ. මගේ අත්දැකීම් අනුව, සංක්‍රමණිකයන් (අප වගේ සිස්ටම් දියුණු වී නොමැති රටවලින් පැමිණි) ඉතා බහුලව සාන්ද්‍රගත ප්‍රදේශ වල, කුණු පරිසරයට නිකම් වීසි කිරීම් වැඩියි.

      මේක ඒකීය පුද්ගල කටයුත්තක් නොවේ. සාමූහික දෙයක්. ඒ නිසා බහුතරයකගෙන් ලැබෙන තල්ලුවක් නැති නම්, පිළිතුරක් නිර්මාණය වෙන්නේ නැහැ.

      ඔබේ මෑතම සටහන කියන්නෙත්, සමහර මිනිසුන් වෙනත් පරිසර වලට ආවත්, “නොවෙනස්” වන වගට හොඳ උදාහරණයක්. තමන්ගේ පමණක් නොවේ, අනුන්ගේ කේන්දර පවා පත්තර වල ලියමින්, ඒ කරන නාඩගමත්, ලංකික සංක්‍රමණික ප්‍රජාවේ ඉල්ලුම සපුරාලිමක්නේ. ඒවා සපුරන එකාට බැන එතරම් ප්‍රතිඵලයක් නැහැ. මේවායේ ඉල්ලුම් කරුවන් ගැනයි අප හිතන්න ඕනි.

      තමන්ගේ කැමැත්තය කියා නිකම් නම් ඉන්න හැකියි (අර කවුද කියන්න වගේ), නමුත් සයිඩ් බයි සයිඩ්, ඒවා පසුපස යාම හා නොයාම අතර වෙනස පෙනෙන්නට තියෙත්දී ඒවාම බදාගෙන සිටීම විමතියට කරුණක් නොවේද?

  2. Pra Jay

    Stalagtites and stalagmites.
    Formula for memory-
    Tights come down when mites go up.

    • Pra, in addition to those two, there are other types of formations, if my rusted memory is correct. Will add them if I get time to read.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s