Monthly Archives: June 2017

නිද්‍රාවකට කාලයයි! We never learn, we been here before!


හේමන්තය ගෙවී අවසන්. මෙයිට කලින් සටහන ලියුවට පසුව, ගෙදර භෞතික පරිසරය යලි යථා තත්වයට පත්වුණේ අද. භෞතික පරිසරය, මනසට කොතරම් බලපෑමක් කරනවද කියා තේරෙන්නේ, අපට සුපුරුදු ‘පහසුකම්’ වලින් ඉවත් වන්නට සිදුවුන විටදී.

ඒ වගේම පරිසරයේ තෙරපුමට එරෙහිව, සුපුරුදු ක්‍රියාකාරිකම් දිගට ගෙන යන්නත් කොතරම් අමාරුද කියා මට හිතුනේ ගිය සතියේ දිනක උදේ පාන්දර එලියට බහින විට. නිල ශීත  සෘතුව පටන් ගෙන නැතිව තියෙත්දී, එවෙලේ උෂ්ණත්වය වුනේ සෘණ අගයක්. තුනී ජැකට්ටුව  එක්ක එලියට බහිත්දී ඇටමිදුළු පසාරු කරමින් සීතල  ඇඟට දැනුන.

මා ආස කරන පොප්ලර් ගස් වල, තැඹිලි-කහ පැහැ ගැන්වී තිබුන කොළ, දැන් බොහොමයක් හැලී  අවසන්. වසන්තයේ මුල රිදී පැහැයෙන්  දළු දමන පොප්ලර් ගස් වගේම, හේමන්තයේ අගත්,  අනෙක් ගස් වලින් කැපී පෙනෙන ලෙස දිලෙනවා.  ඒ නිසාම ඒවාට මා කැමතියි. ලොකු ඉඩමක් තිබුණා  නම්, මා පොප්ලර් ගස් පේලියක් අනිවාර්යයෙන්ම වවනවා.

පොප්ලර් තිබුනේ නැති, රයිගමහන්දියේ ලාවුළු ගහක් නම් තිබුණා. දිනක් ඒ ගහේ  හිටපු උනහපුලුවෙක් ගැන මට තාම මතකයි.  අප කුඩා කාලයේ රයිගම හන්දියේ කඩ කිහිපයක්ම තිබුණා. ඒ දිනවල අප පත්තර ගත්තේ එහි තිබුණ  එක කඩේකින්. තාත්තා ගන්න කැමති පත්තර වෙනම ලියා, එහි වෙන් කර තිබුනා. දිනපතා ගත්ත පත්තරේ තමා දිනමිණ. මේවායේ යන චිත්‍ර කතා අප එකතු කළා. ලොකු අයියා එකතු කරපු කතාවක් තමා දයා රාජපක්ෂ ගේ ආචාර්ය සයිකෝ. එහි දෙබස්, අද පවා මට මතකයි. අපේ ඥාති මල්ලි කෙනෙක් මේ කතාව එකතු කරපු පොත ගෙනහින් ගෙනත් දුන්නේ නැහැ.

මා එකතු කරපු කතා දෙකක් තමා, තලංගම ජයසිංහගේ ලියතඹරා හා රතු පීත්ත පටිය. රතු පීත්ත  පටිය ජනප්‍රිය ඉංගිරිසි රහස් පරීක්ෂක කතාවක අනුවර්තනයක් කියා මා දැන  ගත්තේ ගොඩක් කාලයකට පසුව. මේවා කොටු හතරක විතර, අන්තිම පිටුවේ ගියේ. ඒ කියන්නේ, මුළු කතාව එකතු කර ගන්න කොතරම් උත්සහයක් හා ඉවසීමක් තියෙන්න ඕනෙද කියන එක. මේ වගේ විනෝදාංශ ජිවිතයේ කාලයෙන් කාලයට වෙනස් වනවා.

දැන් මගේ බ්ලොග් ලිවීමට එනවා නම්, කෞශල්‍ය අහපු  පරිදි කඩේ වහන්න බලාපොරොත්තුවක් නැහැ. ඇත්තටම කෞශල්‍ය හා අපේ අජිත් කියපු කරුණක් ගැන තමා මා ලියන්න හිටියේ. එය තමා, මිනිසුන් වශයන් අප කොතරම් දුරට, ජිවිතයේ “සුඛ විහරණය” නොහොත් අධි පරිභෝජනය කොතරම් දුරට විඳින්න ඕනිද? නැත්නම් තපස් රකින්න යලි වනයට යන්න ඕනිද කියන එක ගැනයි.

ඒ ගැන කියන්න අදට වඩා හොඳ දිනයක් යලි එන එකක් නැහැ. සති ගණනාවකට පසු, මා අද සුපුරුදු වටා පිටාවේ ඉඳගෙන තමා මෙය ලියන්නේ. සුපුරුදු කියුවට, ඒ වටා පිටාව  අද වෙනස්. නමුත් “වැඩි දියුණු” කරපු ඒ පරිසරය, අපට සුව පහසු විදිහට, ප්‍රකුර්ති කර ගත්තේ අද. මට බ්ලොග් ලියන්න හැකිත්  අන්න ඒ නිසා.

මිනිසා ගේ ස්වභාවයක් වන කෑදර  කමත්,  ඒ වගේම අන්‍ය මිනිසුන් ගැන හිතීමත්  කියන පරස්පර සිතිවිලි වලට උදාහරණයක් වන අපගේ ජීවිතය ගැනම මා ලියන්න උත්සහ ගන්නම්.

එය කවදා හෝ ලියැවෙන ඊළඟ සටහනින්.

පසු වදන

ලෝකය තේරුම් ගැනීමට අසීරු, එමෙන්ම, අපට ගෝචර නොවන බලවේග වලින් පාලනය වන්නක්. ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පාක්ෂික බර්නි සෑන්ඩර්ස් ට එරෙහිව, එයාගේ පක්ෂයම ක්‍රියාත්මක වුනේ කොහොමද? බ්‍රිතාන්‍ය මැතිවරණයට ඉදිරිපත්ව ඉන්නා ප්‍රධාන පක්ෂ දෙකේ පරදින පරතරය අඩුවෙන් තිබෙන විට, ලන්ඩනයේ ත්‍රස්ත වාදී ක්‍රියා ඇති වන්නේ මන්ද? මේ වගේ ප්‍රශ්න ගැන සිතුවාට, අපට කිසිදා ඒවාට ඇත්ත පිළිතුරක් සොයා ගන්න නොහැකියි. අනුමාන කිරීම් නම් කරන්න පුළුවන්.

පසුම  වදන

පසුගිය වසර අවසානයේ, මා දීර්ග කාලයක් පවත්වාගෙන ආපු පුරුද්දකට, බරපතල තිතක් තැබුවා. එයට එක හේතුවක්, අද මා ජීවිතයේ  එන්ජෝයි කරන අනෙක් දේවල් වලට එය බාධකයක් වීම.

අද, සති ගානකට පසුව සුපුරුදු පරිසරය ලැබුණ  නිසා, රාත්‍රී ආහාරය පිළියෙළ කරපු පසු, කේක්  එකක් හැදුවා. ජිවිතයේ පළමු වරට, මුල සිට (ෆ්‍රොම් ස්ක්‍රැච්)  කේක්  එකක් හදපු මුල් වර මෙය ( මා මුලින් සඳහන් කරපු පරිදි, ඉවීමට යම් හුරුවක් තිබුණත්, වටලප්පන් හැර අනික් පැණි රස කෑම  හදන්නට ලොකු හුරුවක් නැහැ). එයටත් වඩා, කිසිම රෙසිපියක් බලන්නේ නැතිව, මට ඕනේ දේවල් දමා, කිසිම මැනීමකින් තොරව අතුරු පසක් හැදුව මුල් වර අද.

එයට මා යොදා ගත්ත ද්‍රව්‍ය මොනවාද, කොතරම් රසට ආවද කියා වෙන දිනක ලියන්නම්.

ගීතය

අන්තිමට විවිධ ඩිරෙක්ෂන් වලට විසිරී  ගිය, වන් ඩිරෙක්ෂන් සාමාජිකයෙක්ව හිටිය, හැරී  ස්ටයිල් ගේ මේ ගීතයට මා කැමතියි. වරක් එල්ටන් ජෝන් කියුව කතාවක් මගේ මතකයට නැගෙනවා. ඔහු කියුවේ, ඔහුගේ කාමරේ මිත්‍රයා ලියල දීපු එක ගීතයක් ලියා දෙනකොට, එයාගේ වයස අවුරුදු 18යි කියා. තනුවක් දමන්න එය අතට ගන්න විට, එවැනි වයසක කෙනෙක් එම ගීතය ලියුවේ කොහොමද කියා ඔහුට සිතුනා කියා (මගේ මතකය හරි ඇතැයි  සිතමි).

මේ ගීතය පෙම්වතෙක් හෝ පෙම්වතියක් කියන එකක් කියා ගන්න පුළුවන්. මා කියවපු හැටියට, හැරී රෝලින් ස්ටෝන් සඟරාවකට කියුව හැටියට, එය දරුවෙක් බිහිකරපු මවක්, තමන්ට ජීවත්  වීමට තියෙන්නේ තව පැය කිහිපයක් කියා දැනගෙන, දරුවාට  කියූ එකක් නම්, එය වෙනමම මානයකට අපව ගෙන යනවා. එයත් සිතේ තියාගෙන එහෙනම් ගීතය අහමු.

18 Comments

Filed under Lifestyle