අප හමු වූවත්, නොවුණත්…..! We’ve come a long way!


IMG_2105

කඩේ දොරපලුවක් වත් ඇරලා තියනවා කියුවට, එය ලෙහෙසිම නැහැ. හේතු ගණනාවක් තියනවා. වින්දනය සඳහා අපගේ තේරීම් කාලයෙන් කාලයට වෙනස් වීම ගැන හිතන කොට මට මතක් වුනේ, වැඩිහිටි ජිවිතයේ එකම තැනක, අවුරුදු පහ හයකට වඩා කාලයක් ගතකර නැහැ කියලා. හැබැයි, ජීවිතය ගෙවෙන්න, ගෙවෙන්න එහෙම වෙනස්කම් වලට යාම අමාරු වෙනවා. සිතේ පමණක් නොවේ, ගතෙත් නම්යශිලිත්වය ක්‍රමයෙන් අඩුවෙලා යනවා.

ඇත්තටම ඔබ හොඳට හිතුවොත්, ජිවිතයේ අපට තෝරා ගන්න හැකි, “හොඳ” යයි කියන හැකි දේවල් අමාරුයි. “නරක” දේවල් ලෙහෙසියි. ඔන්න බලන්න, ජන්ක් ආහාර (ජරාව) කන්න අප හරි කැමතියි. සීනි  වැඩිපුර දමල, කිරි කලවම් කර හදන චොකලට් තරම්, කොකෝව වැඩිපුර තියන, සීනි  හා කිරි අඩුවෙන් ඇති චොකලට් වලට ආසාවක් එන්නේ නැහැනේ.

අර්තාපල් පෙති බැදපුව පැකට් එකක්, විනාඩි දෙක තුනෙන් ඉවර කරන්න හැකියි. ඔය ගුණදායක කියන බ්රෝකලි වගේ දෙයක් මොන ආකාරයෙන් පිළියෙළ කෙරුවත් අර තරම් ගතියක් නැහැනේ. අරක්කු ටිකක් කටට හලා ගන්න තරම්, පළතුරු ගෙඩියක් කන්න ආසාවක් එන්නේ නැහැනේ. උදේට නැගිට, ඇවිදින්න යාම, ව්‍යායාම් කිරීමට වඩා, නිදියන්න කැමතිනේ. මේ වගේ ලැයිස්තු ගොඩක්, එක එක්කෙනා ගේ ආසාවල් අනුව හැදුවොත්, මෙවැනිම ගලා යාමක් දකින්න හැකි වෙනු ඇති.

අන්තර්ජාලය හා ඒ හා බැඳුනු සමාජ ජාල වලින් සමහර සමාජ වල සිදුවන්නේ මා ඉහතින් සඳහන් කරපු දෙයට සමාන දෙයක්. මිනිසුන් හා ගැහැණුන් කොම්පියුටර ඉදිරියේ ඉඳන් බෙදා ගන්න දේවල්, ලියන දේවල්, ලයික් කරන දේවල් (ඉවීම් පිහිම්, ආදරය කිරීම්, පින් රැස්  කිරීම් වල ඉඳන් ඔය සමාජ පෙරලි දක්වා) ඇත්තටම කරන්න හැකි, මේ කොම්පියුටරයෙන් අයින් වීමෙන්.

එය දෙයාකාරයි කියා මන් හිතනවා. සත්ත්ව පාලනය ගැන විස්තර කෙරෙන, එනම් එහිදී ඇත්තටම සිදුවන කුරිරුකම් ගැන අනුන් එක්ක වීඩියෝ බෙදා ගනිමින්, අයියෝ මෙව්වා දැක්කහම මස් කන්න එපා වෙනවා කියන එක ගන්න.  එපා වෙනවා කියුවත් මේවා බෙදා ගනිමින් දිගටම මස් කනවා.  ගොඩක් වෙලාවට අයියෝ පව් කියමින් ඒවා බලන, අනුන් එක්ක ශෙයා කරන, ලයික් දමන මිනිසුනුත් දිගටම මස් කනවා.  මේවගේ වීඩියෝ බෙදා ගන්න කාලය ගත නොකර, තමන් මස් කෑමෙන්  ඉවත් වුවොත් ජිවිත කාලය තුල, සැලකිය යුතු බලපෑමක් සමාජයට (සත්ත්ව හිංසනය නවතන්න) කරන්න හැකියි.

එය නිකම් උදාහරණයක් පමණයි.

ස්ටේටස් කුවෝ ඉඳිමින් විවේචනය කිරීම ඉතා පහසු දෙයක්. මෙවැනි දේවල් අප සියලු දෙනාම අඩුවැඩි වශයෙන් කරනවා. සමහරවිට නොදැනුවත්ව. සමහරවිට දැනුවත්ව. මා දැනුවත්ව කියන්නේ, එවැනි දේවල් මගින් ජීවිකාව සොයා ගන්න එකට හා එවැනි දේවල් විතරක් ජිවිතයේ එකම විනෝදාශ්වාදය ලෙස යොදා ගන්න එකට.  අවස්ථාවල තමන්ට තියන ප්‍රයෝජනය හැරුණු කොට, ඇත්තටම වෙනසක් බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ කියන්නේ, ඔවුන් විවේචනය කරන ඒවා, නැවතුනොත්, ඔවුනගේ පැවැත්ම හා සතුට අහෝසි වෙනවා. ඒ වගේම තමන්ට හා දරුවන්ට එක විසඳුමකුත්, අනෙක් සමාජයට වෙනත් විසඳුමකුත් ඉදිරිපත් කරන කාණ්ඩ ද ඉන්නවා. ඉස්සර, මේ වැනි අයට තමන්ගේ ක්‍රියාකාරිත්වය සඟවා ගන්නට පුළුවන් වූවා. අද එහෙම නැහැ.

කරුණු එසේ වුවත්, අප මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ, තමන්ගේ තේරීම් වලට සමාජයට දොස් පැවරීමයි. එයට පොඩි උදාහරණයක් ලෙස මා මෙන්න මේ කොමෙන්ටුව ගන්නවා. බලන්න තමන්ට කොතරම් පහසුවෙන් කරන්න හැකි දෙයක් ද, අනුන්ගෙන් බලාපොරොත්තු වන්නේ? මෙය ඔය වගේ සරල කරුණු වල ඉඳන්, මනුෂ්‍යයා මුහුණ දෙන, පෘථිවිය මත අපගේ ඉරණම තීරණය කෙරෙන ප්‍රධාන දේවල් කරා විහිදෙනවා.

මා  කලින් කියපු සමාජ ජාල වලට නැවත ගියොත්,  මේ ශෙයා කරන, ලයික් කරන දයාව, කරුණාව, සතුට ඇත්තම සමාජයේ එතරම් දකින්න නැත්තේ මොකද කියන ප්‍රශ්නය සිතට නැගෙනවා.  මෙවැනි වර්චුවල් හැඟීම් ඇත්තම සමාජයේ තියනවා නම්, එක්කෝ එය මෙයිට වඩා භයානක තැනක් වෙනවා, නැත්නම් ඉතා හොඳ තැනක් වෙනවා. හොඳ තැනක් වනවා කියුවේ ඉහත ගුණාංග අපට ඇත්තම සමාජයේ දකින්න හැකි නම්. භයානක වෙනවා කියුවේ, වර්චුවල් ලෝකයේ, මා නම් මරාගෙන මැරෙනවා, සේරම පෙති ගහනවා කියමින් වීර චරිත රඟපාන බොහෝ දෙනෙකු, ඇත්තම ජිවිතයේ එසේ නොවන, තමන්ට කන්නට සතෙකුවත් මරා ගන්නට හැකියාවක් නැති චරිත නිසා.

බ්ලොග් වැනි අට්ටාල තිබුණත්, සමාජේ ඉන්න සේරම මේවා ලියනවා තියා, කියවන්න හෝ වෙහෙසෙන්නේ නැහැනේ. මේ වැනි ලිවීමකට පවා කාලය ලැබෙන්නේ, මා ජිවිතයේ මේ වන තෙක් කර තියන තේරීම් නිසා පමණක් නොවේ. එම තේරීම් ගැන තෘප්තිමත් නිසා. එය ඉතා සරල ලෙස පෙනුනත්, මුළු සමාජය ගැන සලකන විට, එතරම්ම සරල දෙයක් නොවේ. අප කවුරුත් සරල රේඛාවක් දිගේ ගමන් කර නැහැනේ. ඒ කියන්නේ අතීතයේ අප කරපු සියලු දේවල් ගැන තෘප්තිමත් වන්නට නොහැකියි. ඒ තේරීම් වල සමස්තයට අප කැමති නම් හා අතීතයෙන් පාඩම් ඉගෙන ගත්තා නම්, අද දිවිය තෘප්තිමත් කියා කියන්න පුළුවන්.

පසුගිය අවුරුදු හය තුල ලියා ඇති දේවල් යලි කියවන විට, මට පෙනෙන දෙයක් තමා, මා සමාජයේ ඒකීය පුද්ගලයෙක් වශයන් වෙනස් වී තියන හැටි. එය මෙහි සටහන් කරපු සිතිවිලි වලට පමණක් සීමා  වී නැහැ. මෙයිට කලින් මෙවැනි වෙනස්වීම් වුනේ නැතිද? නැහැ,  අපගේ ජිවිතයේ දිගටම මෙවැනි වෙනස් වීම්  වනවා. එකම දේ, ඒවා ගැන අපට සිතීමට අවස්ථාවක් නොමැති වීමයි. එනම්, එවැනි වෙනස් වීම් මොනවාද කියා සිතන්නට අපට අවස්ථාවක් නොමැති වීමයි.

කියවන පිරිස විටින් විට තමන් සතුටක් ලබන වග සටහන් කිරීම මගින් මටද සතුටක් ඇති වුවත්, මා බ්ලොගයක් මේන්ටේන් කිරීමෙන් ලබපු ලොකුම සංතෘෂ්ටිය මා ඉහත කියපු දේ යයි විශ්වාස කරනවා. බොහෝ අය  කියනවනේ, කුඩා ළමා කතන්දර වල ඉඳල, බ්ලොග් දක්වා යමක් ලියන විට සමාජයට පණිවුඩයක්, ඥාන පථය පුළුල් කරන දෙයක්, ආදර්ශයක් දෙන්න ඕනෙය කියා. මෙතැනදි, හුදු විනෝදය කියන දේ සලකන්නේ අකුසලයක් ලෙස. විශේෂයෙන් තනි මිනිසුන්ගේ සතුට කියන දේ සමහරවිට අමතක කරලම දමන දෙයක්.  ඉහතින් මා ගත්තු උදාහරණයත් පෙන්වන්නේ එයින් එක පැත්තක්.  සමහරුන් හැදී වැඩි තියන ආකාරය අනුව, මේවා පැහැදිලි කිරීම පවා දුෂ්කර දෙයක්.

තමන්ගේ ජීවිතය වණ කර ගන්න (එමගින් සමාජයම වණ කරන) තේරීම් කරන මිනිසුනට, සමාජයක් වශයෙන් අප උදව් කරන්නේ කෙසේද යන්න මා හිතන හැටියට මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන ප්‍රධාන උභතෝකෝටිකයක්. මා එහෙම කියන්නේ, තනි පුද්ගල සතුට, අමතක කර පොදු යහපත යයි හඳුන්වන දෙය විතරක් සලකා, ක්‍රියාත්මක කරපු සමාජ ක්‍රම, අවසානයේ අංජබජල් වී ගියේ, මුල් එක නැතුව දෙවෙනි එක සිතන්න පවා බැරි නිසා. පොදු යහපත, යන්තමින් හෝ සලකා බලන්නට පිළිවන් වන්නේ, සමාජයෙන් විශාල පිරිසක් සතුටින් නම් විතරයි.

මා ගොඩක් වෙලාවට දකින දෙයක් තමා, සංක්‍රමණිකයන් වන අප, උපන් බිමේ වෙන දේවල් කර්කශ ලෙස විවේචනය කිරීම. මේවා කොතරම් සාධාරණද, ඒවායින් ඇත්තටම සෙතක් කරනවද, ඇයි  ඇත්තටම ඒවා ගැන වද වෙන්නේ, කියන කරුණු ගැන අද මට තියෙන්නේ වෙනස් මතයක්.

මොකද, මේ සංක්‍රමණිකයන් බොහොමයක් පවා, වෙනස් තත්ත්ව වලදී වුවත්, යලි මහත් පරිශ්‍රමයෙන් ගොඩ නගා ගන්න උත්සහ කරන්නේ, මා ජිවිතයට අනවශ්‍ය වැඩක් නොමැති දේවල් කියා, ඉවත්ව ආපු දේවල්ම තමා. ඒ දේවල් බදා ගෙන සිටමින්, ඔවුන් විවේචනය කරන, මව් බිමේ සිදුවන බොහෝ දේවල් ද , එම තේරීම් වලටම අයිති, ඒවා නිසා වියුත්පන්න වූ ඒවා වග, පරිස්සමින් බැලුවොත් පෙනෙනවා ඇති. ගුප්ත විශ්වාස වල එල්බගෙන සිටීමේ ඉඳල, තමන්ට, දරුවනට, පරිසරයට හා සමාජයට බරක් වන ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනික, ආර්ථික හා සංස්කෘතික ජීවන විලාසිතා මේවට අයිතියි.

සමුහයක් වශයෙන් කරන්න බැරි දේවල් විවේචනය කිරීම මගින්, සමාජයේ තවත් කාණ්ඩයක් ඒවා වෙතට යොමු කර ගැනීමට බලාපොරොත්තු වීම තේරුම් ගැනීමට හැකි දෙයක්. නමුත්, එවැනි කැමැත්තක් අවශ්‍ය නැති තමන්ට ගැලවෙන්නට හැකි දේවල් ද විවේචනය කරමින්, අනුන් ඒවා නවතන කම්, තමන් ද නතර කරන්නට බලන් හිඳිම අංජබජල් කරුණක්. සමාජයේ විවේචන තියන තරමට, වෙනස් වෙන්න ඕනෙය කියා අප හිතන දේවල් වෙනස් නොවීමට, ප්‍රධාන හේතුව එය කියා මා හිතනවා.

අනික් අතට, ඒ පරිසරයෙන් හා ඒ හා බැඳුනු ප්‍රශ්න වලින් ඉවත් වී, වර්චුවල් ලෝකයේ විසඳුම් ඉදිරිපත් කිරීම හරිම පහසු කටයුත්තක්. ශ්‍රී ලංකාවේ ජනගහනයේ  බහුතර කැමැත්ත අවශ්‍ය ලොකු ප්‍රශ්න වලට, සංක්‍රමණිකයන් එක පැයෙන් අන්තර්ජාල විසඳුම් ඉදිරිපත් කරත්දී, රටේ ඉන්න කෙනෙක් වෙහෙසෙන්නේ, ලියුමක් තැපැල් කර ගැනීම වැනි, අපට ප්‍රශ්නයක් කියා සිතට නොනැගෙන කරුණක් ගැන වන්නට තියන ඉඩ වැඩියි. මේ මධ්‍යම පාංතික  ප්‍රශ්න නේ. බ්ලොග් කියවනවා තියා, ගෙදර විදුලිය වත් නැති මිනිසුන්ගේ ප්‍රශ්න ගැන මතක් කිරීමත් අවශ්‍ය වන්නේ නැහැ.

අන්න ඒ නිසා, මෙහෙට එන ලාංකික දේශපාලකයන් සමග පොටෝ ඔපචුනිටි වලට වලිකන පිරිස් එක්ක සලකන විට, ඒ දේශපාලකයන්ගේ සියලුම හොර මැර හා මිනීමැරීම් චෝදනා ආදිය නොසලකමින්, ටකරන් කෑල්ලකට, අනාගත රජයේ රස්සාවකට වගේ දෙයකට තමන්ගේ චන්දය ඔවුනට දෙන මිනිසුන්ගේ බලාපොරොත්තුව ලෙජිටිමේට් කියා මා හිතනවා.

තෝරා ගැනීම් වලට ඉඩ නොමැති පිරිස් නම් කරන්න දෙයක් නැති නිසා, එයම කරමින් ඉන්නවා කියා අපට යෝජනා කරන්න පුළුවන්. මා නිතරම ලියන කරුණක් තමා, තෝරා ගැනීමේ අවස්ථා වැඩි කර ගන්න අප පෞද්ගලිකවත්, පොදු සමාජයක් විදිහටත් නිතරම වෙහෙසෙන්න අවශ්‍යයි. දුප්පත් කමින් මිදීම ඉන් ප්‍රධානම දෙයයි. සමාජයක දරිද්‍රතාවය උග්‍ර නම්, අනෙක් සියලු දේ (තනි මිනිසුන්ගේ ජිවන විලාසිතා පවා) තීරණය කරන ප්‍රධාන සාධකය එය වනවා.

හැකි හැම විටකම තනි මිනිසුන් හැටියට, තමන්ගේ තෝරා ගැනීමේ අවස්ථා පුළුල් කර ගැනීමේ පියවරයන් සෙවීම, තමන් ඉන්න සමාජයට පමණක් නොවේ, මුළුමහත් පෘථිවියට කරන්න හැකි උදව්වකුත් වෙනවා. මොකද එහෙම නැතුව, අප නිතර විවේචනය කරන, අයින් කරන්න හැකි දේ අයින් කරන්නට හෝ යහපත් කියන දේ ලඟා කර ගන්නට හෝ කිසිම හැකියාවක් නැහැ.

එවැනි දේවල් යටතට, වැඩි දුර ඉගෙනීම්, රැකියා මාරු කිරීම්, ව්‍යාපාර පටන් ගැනීම්, ගමෙන් තව ගමකට යාම, නගරයට යාම, රටින්ම යාම, රටවල් අතර මාරු වීම් හා වෙන ග්‍රහ ලෝක සෙවීම යනාදිය ගැන සිතීම ගන්න හැකියි. මේවා ගැන සිතුවාට ගොඩක් වෙලාවට ඒවා අපට කරන්න බැරි, එනම් ලඟා කර ගන්න බැරි දේවල් වෙන්න පුළුවන්. නමුත්  “නිකම් ඔහේ ඉන්න” වා යයි ජීවිතය යනු, කලින් තීරණය වුනු දෙයක් කියා, ඉරණමකට බාර  දීම තමා, තමන්ට හා සමාජයට කරන්න හැකි නරකම දේ.

හය වසරක් යනු ජිවිතයේ සෑහෙන කාලයක්. මා කලින් සටහනක ලියුව, සුද්දෙක් මට කියපු කතාවකින් මේ සංවත්සර සටහන නිමා කරමි. එනම්, ජීවිතය කියන්නේ, ටොයිලට් රෝල් එකක් වගේ, මොකද ඉවර වෙන්න, ඉවර වෙන්න, එය ඉක්මනින් ගෙවී යනවා කියා දැනෙන නිසා.

(චායාරූපය මගෙනි).

පසු වදන

කරුණු හැදෑරීමකින් තොරව, අහුලා ගත්  දැනුම ඇසුරින්, බිහි වී තියන විශේෂඥයයනට අන්තර් ජාලය පෙර නොවූ විරූ වේදිකාවක් තනා දී තිබීම ගැන, අප ලොකුවට වොරි  වෙන්න අවශ්‍යද? එහෙම අදහසක් සිතට ඒම, අද ලෝකය පුරාම සිදුවන දේවල් අනුව අරුමයක් නොවේ. අර උඩ  තියන වීඩියෝ ක්ලිප් එකේ කියන පරිදි, අප ගොඩක් දුර ඇවිල්ල තියනවා තමා. හැබැයි, අප අද ඉන්න තැන, ෆෝ ග්රාන්ටඩ් ගන්න, ඉහත පිරිස නිසා යම් දිනෙක, මේ ගොඩක් දුර ඇවිල්ල කියන එකේ තේරුම, ඒ ගැන වැඩිදුර නොසිතන පිරිසටත් සිතා බලන්න අවස්ථාවක් උදා කරාවිය කියා, මා පෞද්ගලිකව විශ්වාස කරනවා.

 

Advertisements

10 Comments

Filed under Anniversary, Opinion

10 responses to “අප හමු වූවත්, නොවුණත්…..! We’ve come a long way!

  1. NK

    Interesting stuff

  2. ඒ රෝල ඉවර නම් වෙන රෝලක් ගන්න මෙයා!
    සුබ පැතුම් මගේ ගානේත් ලියා ගන්න අඩු නැතුව.

  3. හයවන වර්ෂ පූර්ණයට සුබ පැතුම්!

  4. සුබ පැතුම්…!

    අවුරුදු හයක් බ්ලොග් එක ලිව්වා කියන්නේ බ්ලොග් එක සම්බන්ධයෙන් කර ඇති තේරීම හොඳ එකක් විය හැකි බවයි.

    • ස්තුතියි මනෝ!
      ඔව්, අකමැති දෙයක් නම් මෙතරම් කල් තියා, වසරක්වත් කරන්න බැරි වෙනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s