වයින් බී, ඇපල් කමු!


ඔන්න යාලුවනේ, අද මං අද කියන්න හදන්නේ අලුත්ම රස රෙසිපියක්. ඕස්ට්‍රේලියාව කියුවහම ඔය සමහරුන්ගේ සිතට එකවරම එන්නේ ඇපල් හා ඇපල්වතු නේ. මා කලින් සටහනක ලියා ඇති, කට කතා වලට කියවුන කරුණක් තමා, ලංකාවේ සමහර දේශපාලක පිරිස්, මහජන මුදල් ආයෝජනය කෙරුවේ මෙහෙ තියන ඇපල්  වතු මිලට අරන් කියා. මෙසේ කිරීමෙන් එයාලට ලැබුන රිටර්න් එකේ ප්‍රතිශතය කොහොමද කියා කියන්න මා දන්නේ නැහැ.

ඇපල්වතු අයිතිකාර ගොවියන් විතරක් නොවේ, වෙනත් පළතුරු  වවන ගොවියනුත් ආර්ථික අර්බුදවල ගිලෙමින්, නැවත ගොඩ එමින් ජිවත් වන වග අපට නිතර වාර්තා වෙනවා. එයට එක හේතුවක් තමා, කෘෂිකර්මය ගොඩක් යාන්ත්‍රිකරණයකට ලක්වී තිබුණත්, එහි සමහර අංග වලට මිනිස් ශ්‍රමය අත්‍යවශ්‍ය වීම. අන්න ඒ නිසා, බටහිර ලෝකයේ කොහෙත් කෘෂිකර්මය, ලාබම ශ්‍රමය, ඒ කියන්නේ, අනවසර සංක්‍රමණිකයන් ගේ, සමාජයේ වල්නරබල් පිරිස් වල හා කෙටි නිවාඩු වලට හා රස්සාවට එන බැක්පැකර් ලාගේ  දායකත්වය මත රඳා පවතිනවා.

ලංකාවේ සුපර්මාර්කට් වල, අප ලංකාවෙන් ඉවත් වෙන දවස්වල ඉඳන් තිබුණ දෙයක් තමා බෙරි වෙළඳ නාමය යටතේ ඇති ඇපල් යුෂ බීම. මේවායේ ලේබල වල සඳහන් කරුණු හොඳින් බැලුවොත්, ඒවායේ තියන ඇපල්  යුෂ ප්‍රතිශතය පමණක් නොවේ, ඒ ඇපල් ජනනය වුනු තැන ගැනත් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පාන්තිකයෙකුට, බෙරි ඇපල්  යුෂ බොන්න වත්කමක් තියනවද පමණක් නොවේ, අපත් නොබොන එව්වා බොන්න ඕනිද කියන ප්‍රශ්න වලටත් පිළිතුරු මා දෙන්නේ නැහැ.

ඇපල්  කියන්නේ අපේ ගෙදර නම් නිතරම තියන (නැති දිනයක් නම්, ඒ අප ගෙදර ටික දිනක් නොසිටින විට) පළතුරක්. හරියට ලංකාවේ ගෙදරක කෙසෙල් තියනවා වගේ (හරිද මන්දා). ගෙදර නිතරම තිබුණත්, මා නම් කන්නේ වැඩට යන දිනවල සතියකට එකක් දෙකක් පමණයි. හැමදාම ඇපල්  ගෙඩියක් අරන් ගියත්, ගොඩක් වෙලාවට එය ආපසු ගෙදර ගෙනෙනවා.

ඇපල් නොවවන කැන්බරා වල, ඇපල්  මිළ , අවුරුද්දේ විවිධ කාල වල මහා ලොකුවට උච්චාවචනය වන්නේ නැහැ. නමුත් මිල අධික පළතුරක් නොවේ. මා ඇපල්  වලට ලොකු ආසාවක් නැහැ. හැබැයි තන්තු වලට පමණක් නොවේ, බඩ ගින්නට කන්න හොඳ ආහාරයක්.

ඇපල්  වතු වගේම තවත් වතු ජාතියක් තමා, වින්යාර්ඩ් (vineyard). මේ මිදිවතු කියන්නේ සාමාන්‍යයෙන් වයින් නමැති නමැති මධ්‍යසාර පානය හදන්න ගන්න මිදි  වවන ඒවා. පළතුරු  හා මිදී වතු වල ඇවිදින්නට යාමට අවස්ථාව සලසන තැන්  තියනවා. සනීප දායක කාලගුණයක් ඇති දිනක, මේවාට යාම චමත්කාරජනක දෙයක්.

ඕස්ට්‍රේලියානු වයින් කර්මාන්තය සුදු කොලනි සමයේ මුල් කාලයටම විහිදෙනවා. ඒ වගේ කරුණු ලියන එක මගේ සිරිත නොවන නිසා ගොඩක් ලියන්න යන්නේ නැහැ. හැබැයි, මෙහෙ වයින් කර්මාන්තය නැගී ආපු හැටි, එයට දායකත්වය දුන්නු පිරිස් ගැන විචිත්‍ර කතා මං කියවා තියනවා. මොක වුවත්, ඕස්ට්‍රේලියන් වයින් කියන්නේ, අඩු වශයෙන් මෑතක් වනතුරු, ලෝක වෙළඳපොලේ, ලොකුවට සැලකුණු නිෂ්පාදනයක් නොවේ. ඒත් මෑත කාලයේ එහි වෙනස් වීමක් පෙන්නුම් කරන්නේ, විවිධ විව්‍යවසායකයන්ගේ අප්‍රතිහත කැපවීම් නිසා.

ඇපල්  වගේ නොවේ (ඇපල්  වලත් විවිධත්වයක් තියනවා), වයින් ගන්න කඩේට ගියොත් එහි තියන විවිධත්වය විශාලයි. මා කියන්නේ රසයේම පමණක් නොවේ, වැඩියෙන්ම මිලේ. බෝතලයක ගාණ ගත්තොත් ඩොලර් පහ හයේ සිට දහස් ගණන් වලට යන්න හැකියි. එයිට අමතරව බෝතලයක තියන මිලිලීටර ප්‍රමාණය එයිටත් අඩුවෙන් ගන්න පුළුවන්, කඩදාසි පෙට්ටි වල එන වයින් ද තියනවා.

මේවායේ වෙනසක් තියනවද? මා මෙහෙම කියන්නම්. මා නම් වයින් වල රසවතෙකු නොවේ. නමුත්, ඔබ හැමදාම අඩු මිල වයින් ජාති, ජිවිතයම බිවුවොත්, ඒවායේ වෙනසක් දකින/රසවිඳින එකක් නැහැ. හැබැයි, ඒවායේ මිල අනුව, රසය පමණක් නොවේ, පසුදා උදේ තියන පහසු හෝ අපහසුතා වල ප්‍රමාණය තීරණය වනවා (අනෙක් “බීම” වර්ග වගේ).

සුදු වයින් නිෂ්පාදනයට ලොකු කාල පරාසයක් අවශ්‍ය වන්නේ නැහැ. රතු වයින් කියන්නේ එයිට වෙනස්. ඒවා පදම් කරන කාලය අනුව රසය, මිල හා තවත් දේවල් තීරණය වෙනවා. මේ කාරණා පසුපස තියන රසායනය ලියන්න හැකි නම් හොඳා. හැබැයි ගොඩක් පිරිසක් ඉලක්ක නොකරන, මගේ බ්ලොගයේ ඒවා ලිවීමට වඩා, නෙස්ටොමෝල්ට් විදුරුවක රස බැලීම එයිට වඩා හොඳා.

පසු වදන

අපේ සංක්‍රමණික ජීවිත ගෙවෙන අන්දම හා ඒවා රටින් නොගිය පිරිස් ග්‍රහණය කර අන්දම අතර විශාල පරතරයක් තියනවා. එයට එක හේතුවක් නම්, අප ගොඩක් දේවල් ග්‍රහණය කර ගන්නේ අපට ලඟා විය හැකි මාධ්‍ය වල පළ  වන, පෙන්වන, විකාශනය වන දේවල් අනුව නිසා. ඕනෙම දෙයක් අප ග්‍රහණය කර ගන්නේ, අපට අත  පොවන්න හැකි දේවල් හා අපේ අත්දැකීම් අනුවනේ.

උදාහරණයකට ලංකාවේ බොහෝ මධ්‍යම පන්තික පිරිස් සෝවියට් දේශය ගැන දන්නේ/ග්‍රහණය කර ගන්නේ  අප කුඩා කාලයේ සිංහලයෙන් කියවූ, සෝවියට් දේශය සඟරාවේ පළ වුණු  දේවල් ඇසුරින්. සෝවියට් සමාජ ක්‍රමයේ තිබුණු සමහර අංග, අපගේ ශිෂ්ටාචාරයේ අඛන්ඩ පැවැත්ම සඳහා අදත් අවශ්‍ය දේවල් කියා මා පෞද්ගලිකව පමණක් නොවේ, අද ජීවත්  වන සමාජය ඇසුරිනුත්  සිතන දෙයක්. නමුත්, අර සඟරා ආශ්‍රයෙන් මැවුන චිත්‍ර සමග ඒ සමාජය ගැන හිතන එක මුලාවක්.

අන්න ඒ වගේ, විවිධ බටහිර සමාජ වල ජීවත් වන ලාංකික සංක්‍රමණික ජීවිත ගැන ලංකාවේ ඉන්න පිරිසට සමහර විට තියෙන්නේ සම්පුරණ වෙනස් චිත්‍රයක්. එයට එක හේතුවක් තමා, ලියන්නට හැකි හා අත්දැකීම් බෙදා ගන්න හැකි අපේ පිරිස් පවා මූලිකවම අවධානය යොමු කරන්නේ ලංකාවේ දේශපාලනය පිළිබඳව වීම. ඒවා ගොඩක් අවධානයට යොමු වන, ජනප්‍රිය දේවල් නම් තමා.

හැබැයි ඔය විවේචන ඉදිරිපත් කරන පිරිස්ම, මෙහෙ පළවන පත්තරයක තියන දේවල් ගැන එතරම් අවධානයක් යොමු කරනවද මා දන්නේ නැහැ. මෙහෙ ඉන්න රාජ්‍ය නායකයන්ගේ  හඳහන් පවා පත්තර වල පිටු ගණන් ලියමින් හා එව්වා කියවමින්, ලංකාවේ දේශපාලනය ගැන හා වශී බෝල නායකයින් ගැන බඩ පිරුණු විට කතා කිරීම, මට අද සිනහ ගෙන දෙන කාරණයක් නොවේ.

Advertisements

Leave a comment

Filed under Australia, Opinion

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s