Monthly Archives: October 2017

දෑසේ මල් විලේ!


cropped-img_2287.jpgපසුගිය සිකුරාදා මා දවල් දවස ගත කෙරුවේ, නිව්සවුත් වේල්ස කුඩා නගරයක. වැඩ නිම කර දවල් කන්න යන විට හවස හතරත් පහු වෙලා. එහි තියන බේකරිය වහන්නත් ඔන්න මෙන්න වගේ. බේකරිය කියන්නේ මේ වගේ නගර වල තියන අත්‍යවශ්‍ය කඩයක් වගේම, ඒ ඒ නගර වලට ආවේණික ආහාර හා පැවතුම් ද අයිති කඩයක්. වහන්න ඔන්න මෙන්න නිසා වැඩිපුර යමක් තිබුනේ නැහැ.

ඉතිරිවී තිබුණ පයි (pie) වලින් අපට කැමති දේවල් ඇනවුම් කර, කිරි හෝ කෝපි  බිලා එළියට  බැස්ස. අල්ලපු කඩයක් වුණේ  රියල් ස්ටේට් නැත්නම් දේපොළ වෙලදාම් එකක්. වීදුරුවේ තිබුණ  විකුණන්න  දමා තිබුන නිවාස  හා ඉඩකඩම් ගැන මා කියුව්වේ හේතුවක් නිසා නොවේ.

විශාල ඉඩමක් එක්ක නිවසක් ගන්නට වැය කරන්න වන්නේ, අග නගරයක කුඩා ඉඩමක් හා ගෙයක් ගන්නට අවශ්‍ය වන මුදලෙන් සුළු කොටසක් පමණයි. අපත් එක්ක හිටපු සුදු ජාතියකයා මට කියුවේ, මෙහෙන් ගෙයක් අරන්, නගරයේ ගෙදර විකුණා ඉතිරි වෙන සල්ලි වලින් එක්කෝ ජීවත් වෙමින් හෝ නැත්නම් කුඩා ආපන ශාලාවක් විවුර්ත කර (එම ආදායමින් ජීවත් වෙමින්), නිස්කලංකයේ මෙමුවාර් එක (ජීවිත කතාව) ලියමින් ඉන්න හැකිනේ කියා.

ඔහු කියුවේ විහිළුවට වුවත්, නරක අදහසක් ම නොවේ. මා කියුවහම කවුද බං නීරස මෙමුවාර් කියවන්නේ කියා, ඔහු කියුවේ උඹට ඕක ටිකක් ලුණු ඇඹුල් (saucy) දාල ලියන්න පුළුවන්නේ කියා. ඇත්තටම සළුපට අහසට වගේ නමක් දාලා, පොඩ්ඩක් අතිනුත් දමල කතාවක් ලියන්න පුළුවන් තමා.

මා කියන්න හදන්නේ එය නොවේ. මා වගේ කෙනෙකුට, ඒ වගේ කුඩා නගරයක (ගමක) ජීවත්  වන්නට හැකිද කියන එක හා තවත් කරුණක්. ඇත්තටම, මා වගේ කෙනෙකුට, ඒවගේ කුඩා නගරයක ගොහිං  ජිවත් වෙන්න හැකිද? මා මේ කියන්නේ, ජිවත් වෙන්න හැකි පමණ මුදලක් එක්කෝ බැංකුවේ තැන්පත් කර හෝ නැත්නම් අර කියුව වගේ ආයෝජනයක් කර.

එය ඉතා අසීරු දිවියක්. එකක් ඔය ආයෝජනය එනම් කඩයක් කරන්න මට ලොකු කුසලතාවයක් නැතිකම. නැතිය කියන්න බැහැ, එය මට කර ගන්න පුළුවන් කියමුකෝ. ගෙවන්න බලාපොරොත්තු වන ජීවන  විලාසිතාව, එහිදී සොයා ගන්න පුලුවනිද? සිනමා හල්, ජිම්, පුස්තකාල හා විවිධ ජනවර්ග නොමැති ඒ කුඩා නගරයේ මගේ ජීවිතය මොන වගේ එකක් වනු ඇතිද? ගොඩක් දෙනා කතා කරන, සරල දිවිය කියන එක, ඔය තරම් ම සරලද?

ඒ ගැන හා මගේ සංක්‍රමණික ජීවිතය ගැන ලියන්න උත්සහ කරන්නම්. මේවා අසීරු මාතෘකා.

 

පසු වදන

අද මා කලක් සිට කරමින් හිටපු,  ගෙවත්තේ වැඩ ටිකක් නිමා කෙරුව. මේක ශාරීරික හා ආර්ථික වශයෙන් ඇඟට දැනෙන දෙයක්. ඒ මොකෝ කියන මා  කියන්න ඉහත මාතෘකාව ඇසුරින් උත්සහ කරන්නම්.

15 Comments

Filed under Opinion