ජනමත හා තනි මත!


කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියානු දේශපාලකයන් විසින් තොරොම්බල් කරමින් හිටිය, සම ලිංගික දෙදෙනෙකුටත් විවාහයකට අවසර දිය යුතුද කියන ප්‍රශ්නයට, ජනතාවගේ මත සමීක්ෂණයේ ප්‍රතිඵල වලට මා සවන් දුන්නේ ගමනක් ගිහින් එන අතර තුර, රේඩියෝවෙන්. මෙය ජනමතවිචාරණයක් නොවේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් පවත්වන ළද සමීක්ෂණයක්. ඒ කියන්නේ උත්තර දීම හෝ නොදීම ස්වේච්ඡාවෙන් තීරණය කරන්න හැකියි (මැතිවරණ හා ජනමතවිචාරණ වළට සහභාගී වීම ඕස්ට්‍රේලියාවේ අනිවාර්ය නිසයි මා එහෙම ලියුවේ).

මුළු ඕස්ට්‍රේලියාවෙන්ම, සම ලිංගික දෙදෙනෙකුටත් විවාහය කියන, නිත්‍යානුකුල ගිවිසුමට අවසර දෙන්න කැමතිය කියා, තම මතය පළ කරපු වැඩිම ජනගහණ ප්‍රතිශතය ඉන්න ප්‍රාන්තය (පළාත), කැන්බරාවයි. සංක්‍රමණික පිරිස් වැඩියෙන් ඉන්න සමහර සිඩ්නි හා තවත් සමහර මෙල්බර්න් පළාත් වල, මෙයට අකමැති පිරිස් වල ප්‍රතිශතය වැඩියි කියා, සමීක්ෂණ ප්‍රතිඵල විශ්ලේෂණය කරපු අය කියුව.

මා ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. දිනක් ෂොපින් සෙන්ටරයකදී මට හමුවුන, ඉන්දියානු යහළුවෙක් කියුවේ, අරුන්ට කලින් අරකට උත්තරේ ලියල යවපන්, නැත්නම් ඕකුන් ඉස්සරහට ඒවිය කියා. ඔහු කියුවේ, ඔව් කියන කට්ටියට කලින්, අර සමීක්ෂණයට උත්තර යවපන් කියා. වැඩකරන තැන, මුරුසි දුපතෙන් සංක්‍රමණය වුණ කෙනෙකුත් මට එහෙමම උපදෙස් දුන්න. ඒ වන විට මා, ඔව් කියා උත්තර යවා අවසන් වගත්, ඒ ගැන මගේ මතය ඔවුනට වෙනස් වගත් මා ඒ දෙදෙනාටම කියුව.

මා ඉහතින් සඳහන් කරපු දෙදෙනාම, වෙනස් ආගම් දෙකක් අදහන, ආගමික භක්තිය ඇති දෙදෙනෙක්. ආගමික භක්තියක් හෝ එහෙම නැඹුරුවක් නොමැති මට,  සිවිල් ප්‍රශ්නයකදී, එවැනි බැඳීම් සිතට දැනෙන්නේ නැහැ. නමුත් මිලියන හතරකට වැඩි පිරිසක් නැහැ කියා උත්තර දීම මගින් කියන්නේ, සමාජයේ සැලකිය යුතු පිරිසක්, අර දෙදෙනා වගේම මේ දෙයට ඉඩ දෙනවට අකමැතිය කියන එකනේ.

එයට වඩා වැදගත් වන්නේ බහුතර පිරිසක් ඔව් කියා උත්තර දීමයි. ඇත්තටම කියුවොත්, විවිධ ජනමත සමීක්ෂණ ප්‍රතිඵල කලක් තිස්සේ මේ දෙයම කියනවා. නමුත්, සමාජයේ බහුතරයක් නොවන, නමුත් ලොබි කණ්ඩායම් වශයෙන් ලොකු හඬක් තියන, ආගමික හා සම්ප්‍රදායික අදහස් සහිත පිරිස් නිසා, පාර්ලිමේන්තුවේ දී මේ කරුණ නිරාකරණය කිරීම දිගින් දිගටම කල් ගියා. ප්‍රජාතාන්ත්‍රික සමාජයක වුවත් තියන ප්‍රශ්නයක් තමා මේක.  ඒ කියන්නේ බහුතරය කැමති දේවල් යට යාම හා සුළුතරය කැමති දේවල් උඩ ඒම.

ආගමික මතාන්තර ඉදිරියට දමන පිරිස් වල තියන අඩුපාඩුවක් තමා, ඔවුන් කියන්නේ තමන්ගේ ආගමේ දෙය පමණක් වීම. විවාහය ගැනත් මේ ආගම් දරන්නේ එකම අදහසක් නොවේනේ. මෙයාල කියන සේරම දේවල්, සිවිල් නීති වලට එකතු කෙරුවොත් ඔය කියන, විවාහය කියන එකේ නීතිමය අර්ථකථනය විතරක් නොවේ, තවත් ගොඩක් දේවල් අච්චාරු වෙනවා. මිනිසුන් තම කැමැත්තෙන්, ආගම් වලින් ඉවත් වෙන විට සමාජය වඩාත් යහපත් තැනක් වෙනවා යයි මට හිතෙනවා.

හැබැයි මේ වගේ සමාජ ප්‍රතිසංස්කරණ බලෙන් ඉක්මන් කරන්න ගියහම වන්නේ හොඳකට වඩා නරකක්. බලෙන් ආගම් තහනම් කරපු සමාජ එයට උදාහරණයක්. අනික් දේවල් ද ඒ වගේ. සමාජයක් වෙනස් වෙන්න තරම්, කැමති නැති වෙලාවක ගෙනෙන (කුඩා කණ්ඩායම්ම හෝ තනි කෙනෙක්), විශාල ප්‍රතිසංස්කරණ වලින්, ඒවායෙන්  බලාපොරොත්තු වන දෙයට, ප්‍රති-විරුද්ධ දෙය වීමට තියන ඉඩකඩ වැඩියි.

සමීක්ෂණ ප්‍රතිඵල 

Advertisements

9 Comments

Filed under Australia, Opinion

9 responses to “ජනමත හා තනි මත!

  1. pra jay

    “Think for yourself and let others enjoy the privilege of doing so too.”
    ― Voltaire
    “In order to have faith in his own path, he does not need to prove that someone else’s path is wrong.”
    ― Paulo Coelho
    “If man is to survive, he will have learned to take a delight in the essential differences between men and between cultures. He will learn that differences in ideas and attitudes are a delight, part of life’s exciting variety, not something to fear.”
    ― Gene Roddenberry
    “If we cannot end now our differences, at least we can help make the world safe for diversity.
    ― John F. Kennedy

  2. අපේ සිංහල සංක්‍රමණිකයින් ගේ විවාහ සම අයිතිය පිළිබඳව දරණ මතය ගැන කුඩා නියැඳි සමීක්‍ෂණයක් කළ මට වැටහුනේ, අදත් මහින්ද රාජපක්‍ෂවාදීන් මෙහිදී විවාහ සම අයිතියට විරුද්ධවීමටත්, මහින්ද රාජපක්‍ෂ විරෝධීන් විවාහ සම අයිතියට පක්‍ෂවීමත් ඉතා විශාල සම්භාවිතාවක් ඇති බවයි.

    එසේ ම, ඒ මරාවාදීන් ගේ දරුවන් නම් විවාහ සම අයිතියට කැමති අයයි.

    විවාහ සම අයිතියට විරුද්ධඅය ඒ ගැන කරන සාධාරණිකරණය කිරීම් නම් විසුළු සහගතයි!

    • රසික, ඊයේ රේඩියෝවේ ගියා එංගලන්තයෙන් මෙහෙට සංක්‍රමණය වුන කාන්තාවක් කියපු දෙයක්. ඇය කියුවේ, දැනට දශක දෙක තුනකට කලින් ඉන්ටර් රේෂල් විවාහ දෙස ඒ රටේ පොදු ජනතාව බලපු විදිහ. අද අප කොපමණ දුරක් ඇවිල්ලද කියා ඇය කියුව.

      මේ වගේ අවස්ථාවකදී තේරෙන දෙයක් තමා, සුද්දන්ගේ ජාතිවාදය ගැන කන් කෙඳිරි ගාන සමහර සංක්‍රමණිකයන් ගෙන් ම මේ සමාජය පිරි ගියොත්, වන දේ.

  3. ඔය වැනි ප්‍රශ්න වලදී නෛතිකව අවසර ලැබුනත් සාදාචාරය,සංස්කෘතිය,ආගම් වගේ කරුණු එක්ක මිනිස්සු හිර වෙන්න තියෙන ඉඩ වැඩියි.හොඳම දේ තමයි ඕනෑම දෙයක් කිසිවකු පිට බලෙන් පටවන්න නොයා සිටිම.

    //මෙය ජනමතවිචාරණයක් නොවේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් පවත්වන ළද සමීක්ෂණයක්.//

    ලංකාවේ මාධ්‍යවල නම් කිව්වේ ජනමත විචාරණයක් කියලයි.

    • බලෙන් නොපටවනවා වගේම මනෝ, සමාජයේ බහුතරයක් කැමති දෙයක් නම්, එය කොතරම් රැඩිකල් ලෙස පෙනුණත්, නොකර සිටීමේ හැකියාවත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අඩු වගත් කියන උදාහරණයක් මේ.

      //ලංකාවේ මාධ්‍යවල නම් කිව්වේ ජනමත විචාරණයක් කියලයි// එහි වරදක් නැහැ. නමුත් මෙය මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් පවත්වන referendum හෝ plebiscite වලට වඩා වෙනස්.

      වෙච්ච දේ තමා, වර්තමාන ආණ්ඩු පක්ෂය මැතිවරණයට ගියේ, එයාල දිනුවොත් plebiscite එකකට යනවා කියා. දිනලා, එය කරන්න ගියහම, එයට පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය හා තවත් සුළු පක්ෂ අකමැති වුණා. මොකද එහෙම කෑම්පේන් එකකදී, සුළුතර කණ්ඩායම් වලට එරෙහිව කෙරෙන ප්‍රචාර මගින් වන අයහපත ගැන හිතල. පාර්ලිමේන්තු බහුතර ඇපෘවල් එකක් නැතුව, එහෙම ජනමත විචාරණයකට මුදල් පාස් කර ගන්න බැහැ.

      හැබැයි වර්තමාන ආණ්ඩුවේ ඉන්න සම්ප්‍රදායික මත දරන කණ්ඩායම් වල බලපෑම නිසා, මේ කරුණ පාර්ලිමේන්තුවේදීම විසඳ ගන්නත්, වර්තමාන අගමැතිට හැකියාවක් නැහැ (පාර්ලිමේන්තු බහුතර කැමැත්ත මගින් විවස්ථාව වෙනස් කරන්න හැකිනේ). හැබැයි එම පක්ෂයේම ඉන්න ඇත්තටම ලිබරල් අදහස් දරන (අගමැතිද ඇතුළුව) කට්ටිය දන්නවා, මේ කරුණ නොවිසඳීම එයාලගේ, ඊළඟ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී අවාසියක් කියා. මොකද, වෙනත් ජනමත සමීක්ෂණ දිගටම කියුවේ, සමාජයේ බහුතරය මෙයට පක්ෂපාතියි කියන එක නිසා.

      ඔතනදි එයාලට තිබුන ඔප්ෂන් එකක් තමා, පාර්ලිමේන්තු බහුතර කැමැත්ත අවශ්‍ය නොවන, හදිසි කටයුත්තකට කියා වෙන් කර තිබුන මුදලකින්, මේ වගේ මත සමීක්ෂණයක් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ලවා කරවීම. මේකෙන් බහුතරය ඔව් කියුවොත්, අර සම්ප්‍රදායික අදහස් දරන ආණ්ඩුපක්ෂ මන්ත්‍රිලගේ කට වැහීම තමා අරමුණ.

      හැබැයි මනෝ, මෙය කලින් කියූ ආකාරයේ නියම ජනමතවිචාරණයක් නොවන නිසා, එයට නීතිමය බැඳීමක් නැහැ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට එහි ප්‍රතිඵල පිළිගන්න ඕනිය කියා එකක් නැහැ.

      දැන් වෙන්නේ (ඊයෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සභාගත කර තිබුණ) යෝජනාවක් ලෙස මෙය පාර්ලිමේන්තුවේ විවාදයට ලක්කර සම්මත කර ගැනීමයි. විරුද්ධ පක්ෂය මුල සිටම එවැනි දෙයකට කැමතියි. කලින් කියුව වගේ පරහකට ඉන්නේ ආණ්ඩු පක්ෂයේම ඉන්න සමහරුන්. දැන් මේ යෝජනාවට විරුද්ධ වීමට, ඔවුනටත් හැකියාවක් නැත්තේ, සමාජයේ බහුතරයක් ස්වේච්චාවෙන්ම එයට කැමති යයි කියල තියන නිසා.

      ඔන්න ඕකයි දීර්ග කතාවක සාරාංශය.

      • බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීමට.එහෙම බැලුවාම ඒ අගමැති හොඳ මොළයක්.

  4. Anonymous

    දිවිය ලෝකෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ

    • එහෙමම කියන්න එපා. සමාජ ප්‍රතිසංස්කරණ කොහෙවත් ලෙහෙසි නැතිය කියන එක තමා මේ සටහන කියන්නේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.