යකඩ වලටත් ගුල්ලන් ගැහීම (2)


IMG_3401.jpg

මේ සටහන ලියන්න පෙර, මා කලින් ලියා ඇති කී බෝර්ඩ් දේශපාලනය සහ චීන සමාජ-මාධ්‍ය ජාල වාරණය!  නමින් ඇති සටහනට යන්න මා කැමතියි. පසුගිය දා වත්මන් චීන ජනපතිගේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා කරලියට ඒමත් සමග, මා එම සටහනේ සඳහන් කරපු සමාජ මාධ්‍ය වල කතා වෙන එව්වාට දමා තිබුණු, පෙනේර වලට අලුතින් වචන කිහිපයක් (පෙනේර වල රඳවා ගන්නට) එකතු කර ඇති බව මට කියුවේ චීන තරුණයා.

එයින් දෙකක් මට මතක් වෙනවා. එනම් එකඟ නැත හා අධිරාජයා කියන දෙකයි. උදාහරණයක් ලෙස මේ වචන යොදා බ්ලොග් පෝස්ට් එකක් හෝ වෙනත් පණිවුඩයක් ලියුවොත්, පෙරහන් තුලින් එළියට එන්නේ නැහැ. චීනයේ පවතින කතා කිරීමේ නිදහස ගැන අදහසක් එයින් ගන්න හැකිනේ.

කතා කිරීමේ නිදහස අනික් එව්වා (ආර්ථික නිදහස වගේ) වගේම සාපේක්ෂ දෙයක්. විවිධ රටවල මේ නිදහස ගැන කතා කළ  යුත්තේ තවත් රටකට සාපේක්ෂව මිසක්, නිරපේක්ෂව නොවේ. නිරපේක්ෂ නිදහසක් මිනිසාගේ (හෝ මිනිසා විසින් නිපදවන තනිව සිතීමේ යන්ත්‍ර සහිත) සමාජයක් යම් දිනක බිහි වේවිය කියා මා හිතනවා. එවැනි දිනක සාමාන්‍ය මිනිසා කියන කෙනා සිතන හැටි, අදට වඩා ගොඩක් වෙනස් වේවි කියාත් අනුමාන කරන්න පුළුවන්.

මා කියන  සාපේක්ෂ නිදහස සමාජයේ බිහිවී තියෙන්නේ, දැනට එම සමාජය ප්‍රගමනය වී තියන තැන අනුවයි. එය සරල රේඛා ගමනකුත් නොවේ, ආපස්සට යාම් හා නැවත ඉදිරියට යාම් එහි දක්නට තියනවා. හැබැයි ආර්ථික දියුණුව කියන දේ, මේ කතා කිරීමේ නිදහස හා අනුලෝමව සමානුපාතික නැහැ. මේ දෙක සමගාමිව දියුණු වෙච්ච රටවල් තියෙත්දී, අනෙක් රටවල් වලට එහෙම ගමනක් යන්න බැරිය කියලත්, මට සිතෙන්නේ, එම දියුණු වල පරතරය විශාල වීම නිසාත්, සන්නිවේදයේ ඇති දියුණුව නිසාත්.  එය ටිකක් පරස්පර කතාවක් තමා.

එහෙම පරස්පරයක් ඇතිවීමට හේතුව ලෙස මා දකින්නේ මෙයයි. සමහර සමාජ අත්පත් කර තියන සන්නිවේදන මෙවලම්, එම සමාජ වල ප්‍රගමන නිසා පහල වූ ඒවා නොවේ. මේවා පිටින් ගෙනත් අතහැරපුවා හෝ පිටින් ලබා ගත්තු එව්වා. හරියට ප්‍රජාතන්ත්‍රවාදය කියන එක වගේමයි. බටහිරට බනින ගමන්, එහි මිනිසුන් නිෂ්පාදනය කරපු, සන්නිවේදන මෙවලම් හරහා, තමන්ගේ නිෂ්පාදන බටහිර මිනිසුන්ටම විකුනන්න උත්සහ කරන, දේශීය චින්තයකන් නොදියුණු සමාජ වල බිහි වී තියෙන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස. එය ඛේදවාචකයක්.

යලි මගේ කතාවට ආවොත්, ඇත්තටම නිදහසේ  කතා කරන්න, අපේ අදහස් කියන්න කොපමණ නිදහසක් අපට ඕනිද? එය හරිම විවාදාත්මක කරුණක් නේ. සමහරුන් කියනවා, අපට හිතෙන ඕනිම දෙයක් ලියන්න, කියන්න නිදහසක් ඕනේ කියා. එවැනි නිදහසක් දෙන්නට හැකිද? එහෙම නොහැකි යයි සමහර විට බහුතර මිනිසුන් තීරණය කර ඇති නිසාත්, තවත් සමහර විට සමාජයේ බලවන්ත කණ්ඩායම් (ප්‍රජාතාන්තිරික හා එසේ නොවන සමාජ වල) තීරණය කර ඇති නිසාත්, එම ‘නිදහස’ විවිධ ලෙස පාලනය කර තියනවා.

සිතන්නේ හා කතාකරන්නේ කොහොමද, මොනවාද කියල විතරක් නොවේ ජීවත් වන්නේ කොහොමද කියලත්, රජය විසින් පාළනය කරපු සමාජ තියනවනේ. උදාහරණයක් ලෙස, ලී  කුවාන් යූ  හිතුව හැටි බලන්න, “මට ගොඩක් වෙලාවට චෝදනා කරනවා මිනිසුන්ගේ පෞද්ගලික ජිවිතයට ඇඟිලි ගහනවා කියල. මා එහෙම නොකලා නම්, අද අප මේ ඉන්න තැනට, අපට එන්නට ලැබෙන්නේ නැහැ. ඔව්, මට අබ මල් රේණුවක කණගාටුවක් නැතිව කියන්න පුළුවන්, අප මෙතැන නැහැ. ඒ කියන්නේ මේ ආර්ථික ප්‍රගතිය ලබා ගන්න හැකි වෙන්නේ නැහැ, අප ජනතාවගේ අතිශය පෞද්ගලික කාරනා වන; කවුද එයාලගේ අසල්වැසියන් කියන්නේ, කොහොමද එයාල ජිවත් විය යුත්තේ, මොනවගේ දේවල්ද කතා කරන්නේ, කොහොමද කෙල ගහන්නේ, මොන භාෂාවකින්ද කතා කල යුත්තේ යනාදිය තීරණය නොකලා නම්. හරි දේ මොකක්ද කියා තීරණය කරන්නේ අපයි. මිනිසුන් සිතන්නේ මොනවාද කියන එක මහා වැදගත් කමක් නැහැ”.

මා ජීවත් වන රටේ වුවත්, ජිවත් වීම එහෙම පාලනය කර නැති වුවත්, එයට බලපාන, අපට අතපොවන්න බැරි වෙනත් කරුණු තියනවා. නමුත්, වෙනත් සමාජ හා සන්සන්දනය කරන විට, මේ සමාජය ඇවිත් තියන ගමනේ ‘ප්‍රගතිය’ පෙනෙනවා.

දැන් අපගේ චීන මිත්‍රයා ගේ කතාවට නැවත ගියොත්, ඔහු හා ඔහුගේ යොවුන් පවුල (බිරිඳ හා කුඩා දරුවා) දැනට  ඕස්ට්‍රේලියාවේ සිටින්නේ තාවකාලික වර්කින් විසා මත. ඔවුන් ස්ථිර පදිංචියට රටක් සොයනවා කියුවොත් නිවැරදියි. චීනයට යලි (ස්ථිර පදිංචියට) යන එක ඔවුනගේ ලයිස්තුවේ අන්තිමට තියන එකක්. එයට හේතු මොනවාද?

මා ඇහුවේ උඹලගේ සමාජය පසුගිය දශක දෙක තුන තුල ලබපු ආර්ථික දියුණුව රිමාකබල් නේ කියා. ඔහු දුන්නේ ඇල්මැරුණු පිළිතුරක්. පිළිතුරකට වඩා ප්‍රශ්නයක්. උඹ දන්නවද මගේ ගොඩක් නෑදයන්ගේ ජීවිතය මොන වගේද කියා? ඔහු කියුවේ, එයාලගෙන් ගොඩ දෙනෙක් සංක්‍රමණික ශ්‍රමිකයන් කියා. ඒ කියන්නේ, ජිවත් වන නගරයෙන් (ඔහු ප්‍රාදේශික නගරයක කෙනෙක්) එපිට ගිහින් වැඩ කරන අය  කියා.

අපත් සංක්‍රමණිකයන් නේ. හැබැයි ඒ ජීවිතය වෙනස්. ඔවුන් ගෙදර එන්නේ අවුරුද්දකට එක වතාවක් හෝ දෙවතාවක්. දරුවන් ලොකු මහත් වන හැටි, ගෙදර ඇවිත් විවේකයෙන් ඉන්න හැටි ගැන අදහසක් නැහැ. පවුල සමග සම්පුර්ණයෙන් සංක්‍රමණය වීමට දේශපාලනිකවත්, ආර්ථිකවත් නිදහසකුත් නැහැ. ඒ මා කියවපු අදහස් නොවේ. ඔහුගේ අත්දැකීම්.

යලි චීනයට යාම, අවසන් තුරුම්පුව ලෙස තියා ගන්න එකේ මූලික කරුණ එයම නොවේ. චීනයේ රිමාකබල් ආර්ථික නැගීමේ විශාල වන්දියක් ඒ සමාජය ගෙවා තියනවා. එයනම්, පරිසර දුෂණයයි. එම රටේ යමක් කමක් කර ගන්න පුළුවන් කට්ටිය, තමන්ගේ රටේ නිෂ්පාදන (ආහාර) වලට විශ්වාසය තබන්නේ නැතිය කියා මට චීන ජාතිකයන් කියා තියනවා. එයට හේතුව පරිසර දූෂණයම පමණක් නොවේ.

උදාහරණයක් ගන්නද? පසුගිය කාලේ, සමහර නගර වල තියන, ඕස්ට්‍රේලියානු සුපර්මාර්කට් වල, ළදරු කිරිපිටි හිඟයක් වාර්තා  වුණා. එයට හේතුව වූයේ, මෙහි ජිවත් වන චීන ජාතිකයන් එව්වා තොග පිටින් මිලදී අරන්, චීනයේ තමන්ගේ නෑදෑ හිතවතුන් වෙත යැවීමයි.

මට ඇතිවුන ප්‍රශ්නය වූයේ, මොකක්ද මේ ඕස්ට්‍රේලියානු කිරි නිෂ්පාදකයන් කරන්නේ කියා? නිතරම මාර්කට් එකක් නැතිය කියා කෙඳිරි ගාන, ඔවුනට මේවා කෙලින්ම එක්ස්පෝර්ට් කරන්න හැකිනේ. ඇත්ත කතාව මට කියුවේ චීන ජාතිකයෙක්.

ඔවුනගේ සුපර්මාර්කට් වල චීන අකුරු වලින්ම මේ නිෂ්පාදන මිල දී ගන්නට තියනවා. හැබැයි ඒවා, තොග වශයන් චීනයට ගෙනත් පැකට් කරපු ඒවා. ඒවාට මොන මලදානයක් එහිදී කලවම් කර ඇතිද යන්න ගැන ඔවුනගේ විශ්වාසයක් නැති නිසයි, මෙහෙ ඉන්න අය හරහා  ඒවා කෙලින්ම ගෙන්න ගන්න උත්සහ කරන්නේ.

මේ අවිස්වාසය පරිසර දුෂණය සමග විතරක් සම්බන්ද දෙයක් නොවේ කියා මා කියුවේ හේතුවක් ඇතිව. මොකද  එය දේශපාලනිකයි. මෙලමයින් සිද්දියේදී, චීන රජය මැදිහත් වුණේ  ළදරු මරණ වලින් පසුව විතරක් නොවේ, බටහිර සමාජයේ ඇතිවුන කතා වලිනුත් පසුව. අර පෙරහන් නිසා මෙහෙම දෙයක් ගැන කතිකාවක් එම සමාජයේ එන්නට තියන ඉඩ අඩුයි.

ඔහු යලි උපන් බිමට යාමට නොසිතන්නේ (හෝ එය අන්තිම තුරුම්පුව ලෙස තියා ගන්නේ) ඔය  කරුණු නිසා පමණක්ද? මේක මා ලියන් ආපු සාපේක්ෂ නිදහස් ආර්ථිකය, නැත්නම් වෙළඳ නිදහස කියන එක සමග බද්ධ වන්නේ කොහොමද කියා ලියන්න බලන්නම්.

Advertisements

9 Comments

Filed under Opinion, Politics, Social

9 responses to “යකඩ වලටත් ගුල්ලන් ගැහීම (2)

  1. හොඳ ලිපියක්

  2. pra jay

    ++++++++++

  3. යම් දෙයක් නීති මගින් වාරණය කෙරුවත් ඒ යම් දෙය ගැන සිතිවිලි වාරණය කරන්න පුළුවන්ද ?හැමදේම නීති මගින් පාලනය කරන එක පහසු දෙයක් නෙමේ.එකක් අල්ලා ගන්න තව එකක් අත්හරින්න වෙනවා.

    • මෙහෙමනේ මනෝ, සිතිවිළි කියන එව්වා සහසක් සිතක් උපන්නත්, සමරු පොතේ ලියුවේ නැතිනම්, ඒවා සිතිවිළි නොවේ.
      කෙනෙක් ජාතිවාදියෙක් හෝ වෙනත් වාදියෙක් කියල හිතමු. ගෙදර ඇවිත් සහකාරයට හෝ කාරිය එක්ක, හපෝ අර කල්ලන් එක්ක එක්ක නම් කරන්න අමාරුයි කීමත්, වැඩට ගිහින් ප්‍රසිද්දියේ එහෙම කීමත් දෙකක්. ඒ කියන්නේ සිතිවිල්ලක් ඇති වූ පමණින් හෝ එම සිතිවිලි එක්කම ජිවත් වීමෙන් පමණක් සමාජයට බලපෑමක් නැහැ.
      එම සිතිවිළි බෙදා ගැනීම, එමගින් ජනයා ගොනු කර ගැනීම, අනුන්ව උසිගැන්වීම, ක්‍රියාවට නැංවීම මගින් පමණයි සමාජයට බලපෑමක් වෙන්නේ. සිතීම පාලනය කරන්න නීති නැහැනේ.

  4. යම් දෙයක් නීති මගින් වාරණය කෙරුවත් ඒ යම් දෙය ගැන සිතිවිලි වාරණය කරන්න පුළුවන්ද ?හැමදේම නීති මගින් පාලනය කරන එක පහසු දෙයක් නෙමේ.එකක් අල්ලා ගන්න තව එකක් අත්හරින්න වෙනවා.

    • මනෝ, මා සාමාන්‍යයෙන් කිසිම කොමෙන්ටුවක් කපන කෙනෙක් නොවේ. නමුත් මෙහි තියන මට පාලනය කරන්න නොහැකි දේවල් නිසා, සමහරවිට ඔබගේ වැනි කොමෙන්ටු ස්පෑම් ගොඩට යනවා. ඒ ගැන කරදර වෙන්න එපා, මා එවැනි එව්වා යලි හරි ගොඩට දමනවා.

      (මෙතෙක් මා මකා ඇත්තේ එක කොමෙන්ටුවක් පමණයි. ඒ අන්‍යයෙක් ගැන ලියැවුන, මා අසභ්‍ය යයි සලකන වචන සහිත එකක්).

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s