පිටු පා යන්නට බැරි වග හැඟුණා?


මිනිසාගේ ජීවිතය පසුගිය දශක කිහිපය තුල විශාල ලෙස වෙනස් කරපු එක නිෂ්පාදනයක් තමා ප්ලාස්ටික්. අද අපට ප්ලාස්ටික් නොමැති ජිවිතයක් ගැන සිතා ගන්න නොහැකියි. ඒ වෙනුවට තියන විකල්ප වලින් ප්ලාස්ටික් විස්ථාපනය කරන්න නොහැකි වෙලා තියෙන්නේ, තවම ඒ කිසිවකින් ප්ලාස්ටික් තරම් ඒ තැන ගන්න සමත්ව නොමැති නිසා. එය කාලයේ පුරස්නයක් වෙන්න ඉඩ තියනවා තමා. හැබැයි, එයට තව කාලයක් යාවි.

ප්ලාස්ටික් වලින් වෙනස් වුනේ මිනිසාගේ ජීවිතය පමණක් නොවේ. පරිසරයට, විශේෂයෙන් වනසතුනට, ජල ජිවින්ට හා කුරුල්ලන්ට එයින් වන අනර්ථය ඉතා විශාලයි කියා, දිනෙන් දින වාර්තා වෙනවා. එයිනුත් නරකම කාණ්ඩය වන්නේ, එක වරක් භාවිතා කර ඉවත ලන ප්ලාස්ටික් බෑග් හා දවටුම් වර්ගයි.

මට මතකයි, ලංකාවේ අප පාසල් යනවිට, සිලි-සිලි බෑග් කියන වර්ගය මුලින්ම ආවේ වසර හයේ හතේ ඉගෙන ගන්න විට. ආපු මුල් දිනවල එව්වට සැලකුවේ අද වගේ නොවේ, ටිකක් “ගෞරවයකින්”. ඒ ටික දවසකට පමණයි. අද වෙනකොට සිලි-සිලි බෑග් වලට වෙලා තියන සංගෙදිය අප හැමෝම දන්නවා.

එක වරක් භාවිතා කරන බෑග්, බීම බට හා කෝපි  කෝප්ප ගැන මුළු ලෝකයම අද කතා වෙන කරුණක්. සමහර රටවල් හා තනි තනි කොම්පැණි  මේවා භාවිතයෙන් ඉවත් කර ගනිමින් ඉන්නවා. එක වරක් භාවිතා වන ප්ලාස්ටික් බෑග් ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත වල දැනටම තහනම්. ඒ කැපිටල් ටෙරිටොරිය, තස්මෙනියාව, සවුත් ඕස්ට්‍රේලියාව හා නොර්දර්න් ටෙරිටොරියයි.

එයිට අමතරව ඕස්ට්‍රේලියාවේ විශාලම සිල්ලර වෙළඳාම් ජාල දෙක වන වුල්වර්ත් හා කෝල්ස්, ඔවුන්ගේ කඩ වලින් තනි වරක් භාවිතා කරන, කවුන්ටරයෙන් දෙන පලස්ටික් බෑග් මේ මාසයේ සිට ඉවත් කරන්නට තීරණය කෙරුවා.

මිනිසුන් ගේ පුරුදු හා චර්යා වෙනස් කිරීම් ගැන අප හැමෝම කතා වෙනවනේ. ඉතාම අඩු ආයාසයක් යොදා ඉවත් කරන්න හැකි සමහර චර්යා වෙනස් නොවන්නේ මොකෝ කියන ප්‍රශ්නය අප නිතර කතා කරන දෙයක්. පාරේ කුණු වීසි  කිරීම, කෙල ගැහීම, පොදු දේපොළ වලට හානි කිරීම්, මහා පාරේ විනය  වැනි දේවල් ගැන මා මේ කියන්නේ.

අප දියුණුය කියන සමාජ වලත් තත්වය වෙනසක් නැහැ. දැනට තියන චර්යා වෙනස් කිරීම් වලට ඇවිත් තියෙන්නේ විශාල කාල පරාසයක් තිස්සේ එකම දිශාවකට ගමන් කිරීමෙන්. අර කඩ ජාල දෙක, කවුන්ටරයේ නොමිලයේ දෙන පල්ස්ටික් බෑග් ඉවත් කර, ඒ වෙනුවට කිහිපවතාවක් භාවිතා කරන්න හැකි බෑග් සත 15 ගන්නේ විකුණන්නට පටන් ගැනීම ගැන, තරහා ගිය පාරිභෝගිකයන් ගැන ප්‍රවුර්ති වල හා සමාජ ජාල වල මේ දිනවල අහන්නට දකින්නට ලැබෙනවා.

මෙතැන ඔවුනට තියන විශාලම ප්‍රශ්නය වන්නේ, තමන්ගේ අතින් ශත 15 වැය කිරීම කියා මා සිතනවා (එම අය  කිරීමේ තේරුම ම නම්, මිනිසුන් විසින් එව්වා නිකරුනේ ඉවත දැමීම අඩු කිරීම). පරිසරය, වන ජීවීන්, ජල ජීවීන්, පෘථිවියේ පැවැත්ම ගැන, වෙනදාට හැඟීම් බරව ප්‍රවුර්ති වලට හා සමාජ ජාල වල කතා කරන්නෙත් මේ මිනිසුන්ම මිසක් පිට සක්වල ජීවින් නොවේ.

මෙය ප්ලාස්ටික් වලට හෝ ඕස්ට්‍රේලියාවට පමණක් කොටු වූ පුරස්නයක් නොවේ.

Advertisements

9 Comments

Filed under Australia, Opinion

9 responses to “පිටු පා යන්නට බැරි වග හැඟුණා?

  1. ඔය කෑ ගහන්නේ පිස්සු පොරවල්.

    අල්ඩි නම් කඩදාමයේ එය මෙහි ඇරඹූ 2001 දිනවල සිටම සිලි-සිලි තිබුණේ නෑ.

    වූලීස්ලාට, කෝල්ස්ලාට මේකෙන් ආර්ථික වාසියක් තියෙන නිසා තමයි අමාරුවෙන් හරි තහනම පටන් ගත්තේ. සිලි-සිලි ෆැක්ටරි සේවක පිරිසකගේ රැකියා නැතිවෙලා ඇති.

    මට ඇති ප්‍රශ්නය නම් කුණු දාන්න වෙනම බෑග් ගෙන්න වීමයි!

    • ආර්ථික වාසියක් ඇතත් නැතත් රසික, මිලක් නියම නොකර, නිකරණේ පරිසරයට විසි කරන එක නවතන්න නොහැකියි. දැන් බලන්න, මිනිසුන් පෙරමෙන්, ඔය බෑග් කිරි බෝතලයකට, පාන් ගෙඩියකට වුවත් ගනීද කියා. නැහැ.

      අපගේ ප්ලාස්ටික් බෑග් තහනම් කර වසට 4-5 ක් වෙනවා මා හිතන්නේ. මුලදී මිනිසුන්ගේ නොකැමැත්ත ඔය පරිදිම තිබුණා. දැන් මිනිසුන් කඩේට යන විට, තමන් ගාව තියන බෑග් අරන් යනවා. අපත් එහෙමයි. එම බෑග් කාලයක් ගියහම අයින් කරන්න වූ විට, අලුත්වයින් විස්ථාපනය කරනවා. නමුත් එහෙම ලොකුවට අවශ්‍ය වන්නේ නැහැ.

      ඔව් අපත් බින් ලයිනර් වෙනම ගන්නවා.

  2. මෙහෙත් පොලිතින් නිෂ්පාදනය අධෙර්යමත් කරන්න නොයෙකුත් දේවල් කෙරුවත් තාමත් ලොකුවට ඒ තහනම් ක්‍රියාත්මක වෙන බවක් පේන්න නැහැ.හැබැයි මිනිස්සු ඉස්සරට වඩා පොලිතින් වලින් සමාජයට වෙන හානි ගැන දැනුවත් බව නම් පෙනෙනවා.

    • ටික ටික පුළුවන් වේවි මනෝ. පාරේ කුණු විසි කිරීම, කෙල ගහන එක වගේ දේවලුත් අයින් කරන්න හැකි වේවි. මේවාට විශාල සාමාජ බලවේග ඉදිරිපත් වෙනකම් ඉන්නේ නැතිව, ක්ෂුද්‍ර මට්ටමෙන් තමා යන්න අවශ්‍ය. ඒ කියන්නේ අප අපම වෙනස් වීම.

  3. ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක් මිනිස්සු හරිම හොඳයි නේද? 🙂

    • ඔව් කල්‍යාණ ගොඩක් වෙලාවට එහෙමයි. ලෝකයේ විවේචන තිබෙන තරම්, පුරස්න වලට විසඳුම් නැත්තේ ඒ නිසා නේ. 🙂

  4. මම දැකපු හොඳම කසල කළමනාකරණය තිබුණේ ජපානයේ. හැබැයි පොලිතින් රිසයිකල් කරන නිසාද මන්ද, ඇසුරුම් විදියට පොලිතින් භාවිතය නම් පුදුම තරමින් වැඩියි. බිස්කට් පැකට් එකක් ගත්තම, එළියේ කවරයයි, ඇතුලේ කවරයයි, බිස්කට් එකෙන් එක වෙන වෙනම කවර වල දාල.

    මෙහෙ නම් ඉතින් ඉන්නේ කම්මැලියෝ නේ. ඒ නිසා කුණු වෙන් කරලා දාන්න තරම් ශක්තිය වැය කරන්න කැමැත්තක් නෑ. 🙂

    • ආ තව එකක්. අල්දි මෙහෙත් තියනවා.

      • ඕස්ට්‍රේලියාවේ කුණු ප්‍රතිචක්‍රීකරණය එතරම් හොඳ එකක් නොවේ. විශේෂයෙන් චීනය කුණු ගන්න එක නැවතුනහම, සමහර පළාත් වල ප්‍රතිචක්‍රීකරණ කුණු එකතු කිරීමත් අර්බුදයට ගියා.

        ඇල්ඩි ජනප්‍රියයි සමහර දෙනා අතරේ. මා යන කඩයක් නොවේ.