අපගේ කාලගුණයේ සෞම්‍යතම කාලය තමා දැන් ගෙවෙන්නේ. මා එහෙම කියන්නේ, තව ටික දිනකින් පරිසර උෂ්ණත්වය ඉහල යාමත් සමග වියලි බවත් වැඩි වන නිසා. හවස හතට කිට්ටු මෙවේලේ, තාම අඳුර පැතිරී නැහැ. පුතාව අසල තියන පිට්ටණියට එක්කන් ගියා, එයාට සෙල්ලම් කරන්න.
අද ඉන්න දරුවන් ගැන ගොඩක් දෙමාපියන් හා වැඩිහිටියන් ඉදිරිපත්කරන චෝදනාවක් තමා, ඔවුන් තම දිවියෙන් විශාල කාලයක් තිර ඉදිරිපිට ගත කරනවා කියන එක. අපේ කට්ටියත්, එයින් වෙනස් නැහැ.
දෙමාපියන් ලෙස එක්කෝ අපේ හොඳක් නැත්නම් නරකක් තමා, දරුවනට නීති නොපැනවීම. දැන් නිදා ගන්න වෙලාව හරි කියා සමහරවිට මතක් කළත්, මෙන්න මේ වෙලාවට කලින් නිදියන්නම කියා නීති පනවා නැහැ. ඒ නිසාම අන්තර් ජාල හා ගේම් ගැහීම් වලටත්, බැඳීම් වලට යටත් කර නීති දමා නැහැ.
මා සමහරවිට කියනවා, ගේම් ගැහීම් වැඩිනම්, ඩේටා අඩු පැකේජ් එකකට යනවා කියා. මන් හිතන්නේ ඔවුන් දන්නවා, එහෙම දෙයක් නම් වන්නේ නැති වග. දරුවන්, මනසින් නොමේරූ කාලයේ ඔවුනට, කොතරම් සම්භාදක පනවන්න ඕනිද නැතිද කියා මා දන්නේ නැහැ. ඔවුනට යම් මග පෙන්වීමක් නම් අවශ්‍යයි.
මා දන්නවා, සමහර සුදු පවුල් වලත්, දරුවන්ට ගොඩක් නීති දමා ඇති හැටි. අන්තර් ජාල වෙලාව විතරක් නොවේ, කන බොන දේවල් පවා.
දරුවන් නිවසින් එලියට ගියහම කරන්නේ මොනවාද? ඔවුන් ආශ්‍රය කරන්නේ කවුද? යන දේවල් සමහරවිට එතරම් බලන්නෙත් නැහැ, බලන්නත් බැහැ.
සමහර දෙමාපියන් මුලධර්ම වාදීන් ලෙස, කොකා කෝලා බොන්න දෙන්නේ නැහැ, මැක්ඩොනල්ඩ් වගේ ජරාව අරන් දෙන්නේ නැහැ. සමහර සංක්‍රමණිකයන්, ජිවිතේට තම ඉන්න රටේ කෑම කන්නේ නැතුව විතරක් නොවේ, දරුවන්ට හෝ ඒ අභාෂය ගන්න උදව් කරන්නේ නැහැ.
තමන්ගේ තේරීම් වලට අපට යමක් කියන්න බැරි වුවත්, මා හිතන්නේ ඒ හැම අවස්ථාවකම දරුවනට කරන්නේ උදව්වක් නම් නොවේ. මොකද, මා නිරීක්ෂණය කරපු දෙයක් තමා, විශාල නීති ගොඩක් එක්ක ඉන්න සමහර දරුවන්, සමහර දේවල් වලට අවසර ලත් විගස, ඒවායේ අන්තයටම යන හැටි.